Wednesday, August 24, 2011

ශ්‍රී ලංකන් හනුමාන් ඉන් නිව් දිල්ලි


මට ලැබී තිබුණ කෙටි ශිෂ්‍යත්වයේ දෙවෙනි අදියර සඳහා නැවතත් නවදිල්ලියට යාමට සිදුවුණි .මීට වසරකට කලින් මා දුටුවේ පොදු රාජ්‍යමණ්ඩලීය ක්‍රීඩා උලෙලේ සමාරම්භක කටයුතු වෙනුවෙන් හැඩ වැඩ වෙන ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොලයි .දැන් එහි සියලු කටයුතු අවසන්වී සෝභමාන පෙනුමක් ලැබී ඇත .බෝහෝ පිලිවෙල, පිරිසිඳු හා අමුතු අලංකාරයක් එකවී ඇත . ගුවන්තොටින් එලියට ආ පසු ලොකුම කටයුත්ත වුණේ සාධාරණ මිලකට මගේ නවාතැන වෙත යෑමට කුලී රථයක් සොයා ගැනීමයි .දිල්ලියේදී කුලී රථ රියැදුරන් සමග හෙට්ටු කිරීමට පුදුම ඉවසීමක් උවමනාය . පැය තුනක වෙහෙසකර ගුවන් ගමනකට පසු මට එහෙම ශක්තියක් ඉතිරි වී නැති නිසා මම ගුවන්තොටුපොල කුලී රථ සේවාව වෙත ගියෙමි . සැප පහසුකම් සහිතව යා හැකි රේඩියෝ කැබ් සේවා තිබුණත් ලාබදායී දිල්ලි ට්‍රැෆික් පොලිස් සේවයේ කුලී රථයක් මුදල් ගෙවා ලබාගත්තේ අත දිගහැර වියදම් කිරීමට තරම් මුදල් මගේ ශිෂ්‍යත්වයෙන් නොලැබෙන නිසා  සහ වඩා ආරක්ෂාවෙන් ගමන යාම වෙනුවෙනි .

කුලී රථ රියදුරා පැමිණ මගේ බෑග් දෙක පටවා වාහනයට නගින ලෙස සන් කලේය . තැලී, පොඩිවුණ, සීරීම් ඇති, දුහුවිල්ලෙන් වැසුණ ,කොල හා කහ පැහැ මරුති වෑන් රිය වෙත ගොඩවුණ මට සිතුණේ මෙය යන්තම් සුක්කානම හා රෝද හතර සමග අටවාගත් වාහනයක් කියාය .මා වාඩි වී සිටි එකම අසුනද හෙල්ලෙන දතක් වගේය . වාහනයේ පිටිපස ආසන පෙල ගලවා දමා ඇත්තේ මගියන්ගේ බඩු මුට්ටු පටවාගෙන යන්නය .ඉඩ මදිවුණොත් වහල උඩත් පැටවිය හැක . ගුවන්තොටුපොල මාර්ගයේ සිට රියදුරා වේගයෙන් ඉදිරියට ඇදෙයි .මෙවර මගේ නවාතැන පිහිටියේ දිල්ලි නගර සීමාවෙන් කිලෝමීටර 30 ක් පමණ ඈත හරියානා ප්‍රාන්ත මායිමේ පිහිටි ගුරුගාන් ආසන්නයේ ඇති කපශේරා නගරයයි .

ජුලි මාසය දිල්ලියට මෝසම් කාලය වුවද දහවල් අධික රස්නයෙන් යුක්තය . අපි වාහන පෝලිමක හිරවී ඇති හැඩය .මගේ රියදුරා බොහොම හෙමින් ඉදිරියට ඇදෙයි . අප යන මාර්ගයට සමාන්තරව ගුවන් මාර්ග-fly over දෙකක් ඇදී යයි .පෙනෙන විදියට ඉදිරියෙන් මෙවැනි මාර්ග කීපයක් එකට එක වන තැනකි . එනිසා වාහන තදබදයකි . දිල්ලිය හුරු පුරුදු තැනක් මුත් එය දිනෙන් දිනම බොහෝවේගයෙන් වෙනස්වෙන හැඩකි .මේ තරම් ගුවන් මාර්ග ගිය වසරේ මා දුටුවේ නැත .නගරය සිසාරා යෝද ගොඩනැගිලි ඉදිවීමත් වැඩිවෙමින් පවතියි . ඒ සුපිරි සාප්පු සංකීර්ණ හා මහල් නිවාස ආදියයි . වාහන පෝලිම අතරින් ඉදිරියට යන්නට නිතරම වලිකන්නේ ටුක් ටුක් රියැදුරන්ය .මේ ත්‍රීවීල් රථ සියක් වසරක් පැරැණි මහල්ලන් බඳුය . බඳ පුරා තැලී ,පොඩිවී ,සීරී ,දුර්වර්ණ වී ඇත . නොඉවසිලි ත්‍රීවීල් කරුවන් සමග  බහින් බස් වෙන රියැදුරන් වාහන පෝලිමේ සුලබ දසුනකි . දික්ගැහෙන වාහන පෝලිමේ බලන තරමක් ඇත්තේ ඉන්දියාවේ නිෂ්පාදිත  මරුටි සහ ඉන්ඩිකා වාහනයි. ජපාන හෝ යුරෝපීය වර්ගවල මෝටර් රථයක් දකින්නේ අහම්බෙනි . මෝටර් සයිකල් කරුවෝද ත්‍රීවීල් කාරයන්ට දෙවැනි නැත .කොහේ හෝ ඉඩකින් ඉදිරියට යන්නට දඟලන වැඩි දෙනෙක් හෙල්මට් පලඳින්නේ නැත . බොහෝ මෝටර් සයිකල් වලට සයිඩ් කණ්නාඩි ඇත්තේද නැත .ගිනියම් රස්නය නිසා ඉහෙන් කණින් දාඩිය බේරේ . කෝටු ඉපල් බඳු පොඩි කොල්ලෝ ඉන්ඩියා ටුඩේ , ටයිම්ස් ඔෆ් ඉන්දියා , ද හින්දු , පත්තර සඟරා ගෙන වාහන පෝලිමේ යන මගියන්ට විකුණති . කුනුදූලි, නාවර පෙරාගත් එවැනිම තවත් දරුවෝ වාහන වල යන මගියන්ට අත පාමින් සිඟමන් යදිති . ඈත ගම් වලින් රැකියා සොයා දිනපතා දිල්ලියට සංක්‍රමණය වන දිලින්දන් බොහෝය . ඔවුන්ගේ හිසට වහල තැනෙන්නේ ගුවන් පාලම් යටය . මේ ගුවන් මාර්ග යට ජීවත් වෙමින් උයන පිහන , නිදාගන්න මිනිසුන්ගේ දසුන් වේගයෙන් සංවර්ධනය වෙන දිල්ලියට අරුමයක් නැත  .වාහන කවුලුවෙන් පිටත බලාගෙන සිටි මම දිගු හුස්මක් ගෙන සිත සනසාගත්තේ "හ්ම් මේ තමයි ඉන්දියාව" යයි සිතමිනි. මිහිපිට සුර පුරත් , අපායත් එකම තැනක දැක ගන්නට නම් දිල්ලියේ වීදි දිගේ ඇවිදයා යුතුයයි මට සිතේ .ඔබ ඉන්දියාවට පෙම් බැඳගත්  සංචාරකයෙක් වෙන්නට නම්  නම් කුනු , දූලි , දහඩිය , තද හිරු රැස් , පැය ගනන් දිග මාර්ග තද බද , කිසිදු විනයක් නැති පාරේ  එහෙන් මෙහෙන් වාහන රිංගවමින් යන කුලී රියදුරන්  සමග හෙට්ටු කිරීම ආදී කරුණු සියල්ලද හොඳින් විඳීමට ,ඉවසා  දරාගැනීමට හුරු විය යුතුය , එසේ නැතිව ඉන්දියාව රස විඳිය නොහැක .

කුලී රථය ගුරුගාන් සීමාවට පැමිණි නමුත් තාමත් මගේ නවාතැන සොයා ගැනීමට රියදුරා අසමත්ව ඇත .මා අතේ තිබුණ මගේ නවාතැනේ නම, ලිපිනය  සඳහන් කෙටි සටහන් පොත මා අතින් උදුරාගත් රියැදුරා කීප තැනකම වාහනය නවත්වා යන මග විපරම් කලේය . අවසාන වතාවට ඔහු පැමිණියේ හින්දියෙන් මොන මොනවාදෝ කියමින් මා වෙත අත දික් කරමින් තරමක කෝපයෙනි . ඔහුට පිලිතුරු දෙන්නට යාම පලක් නැති වැඩකි .ඇරත් මම දන්න හින්දි ඊට හොඳටම මදිය .ඒ නිසා කට පියාගෙන සිටියෙමි.

බොහෝ පාරවල් වල රවුම් ගසා යාන්තම් මගේ නවාතැන අශෝක් රිසෝට් හෝටලය වෙත රියදුරා මා ගෙනැවිත් බැස්සුවේය.මීලඟට මගේ පලමු රාජකාරිය වූයේ නිවසට දුර ඇමතුමක් දීමට ක්‍රමයක් සොයා ගැනීමත් , නවාතැනේ ෆ්‍රී වයි ෆයි පහසුකම් ඇතිදැයි දැන ගැනීමත්ය . ඒ කරුණු දෙකම සපුරාගතහැකි බව පිලිගැනීමේ ආලින්දයෙන් මට දැනගන්නට ලැබුණි . වහා ලංකාවට දුර ඇමතුමක් ගෙන මම කරදරයක් නැතිව දිල්ලියට ආ වග ගෙදරට දැන්වූ පසු , එම නිවේදනය කාර්යාලයේ  ඇඩ්මින් නෝනාට ද e මේල් පණිවුඩයකින් යැව්වෙමි.දැන් මම නිදහස්ය . නාගෙන ඉක්නමට දවල් ආහාරය ගත් මගේ ඒකායන අරමුණ වූයේ හොඳ නින්දක් දැමීමයි. නින්දේ හොඳකම කෙතෙක්ද කියතොත් කාමරයේ දොරට තඩි බාන සද්දයට ඇහැරුණ මට මා ඉන්නේ කොහේද කියා මතක් කරගැනීමට තව විනාඩි කීපයක් ගත විය .

යාන්තම් අතපය වාරු කරගෙන නිදි මරගාතේ ගොස් දොර ඇරිය විට එහි සිටියේ මගේ කාමර සගයා හෙවත් රූමිය .

"මම රිස්වානා ,පාකිස්තානයෙන්"  ඇය සිනහ මුසුව තමන් හන්දුන්වා දුන්නාය . "මට ඇතුලට එන්න අවසරද" ආයෙත් අසුවාය . 

මම ඇගේ ගමන් මල්ලක් උස්සාගෙන "එන්න ඇතුලට සාදරයෙන් පිලිගන්නවා" යයි කීවෙමි . ඒ සමගම මට මතකයට ආවේ පුහුණුවේ මුල අදියරේදී හමුවූ මගේ පාකිස්තාන් මිතුරිය රබියාය . ඇය දෙවෙනි අදියරටද සහබාගිවීමට නියමිතය . වහා පිලිගැනීමේ ආලින්දයට දුර ඇමතුමක් ගත්විට ඔවුන් කීවේ ඇය මේ දැන් හෝටලයට ආ බවත් පිලිගැනීමේ ආලින්දයේ සිටිනාවගත්ය . රිස්වානාට කාමරය බාර කල මම ඉහ වහා ගිය සතුටින් පිලිගැනීමේ ආලින්දයට ගියෙමි .මා දුටු රබියා 'ඔහෝ හනුමාන් ගුඩ් ටු සී යූ " කියමින් මා වැලඳගත්තායා . රාවණා රටෙන් ආනිසා ගියවර ඉන්දියානුවන් හා පාකිස්තානුවන් එක්වී මට හනුමාන් යන විහිලු නමින් ඇමතීමට පුරුදුවී තිබුණි . එසේම වෙනසකින් තොරව එකවිට පාකිස්තානු හා ඉන්දියානු යහලුවන් ඇසුරු කිරීමත් මේ දෙපිරිස සමගම මහ රෑ වෙනතුරු ගෝදාවරියේ දී විහිලු කතා සහ ගොදාවරී "ජමාත්" වට මෙස සාකච්චා දැමීමත් නිසා මෙ නම ප්‍රසිද්ද විය .අපේ ඔය අතීත විහිලු  නොදත් පුහුණුවට අලුතින් එක්වූ සෙසු ඉන්දියානු හා පාකිස්තානු සගයන් අප දෙස දෑස් හයා බලා සිටින වග තේරුම් යන්නට අපිට වැඩි වේලා ගියේ නැත.ඒ බව දැනගත් නිසා දෝ රබියා ඔවුන්ට එය පැහැදිලි කලේ හැමදෙනාම සිනහගස්වමිනි. ආලින්දයේ පුහුනුවට පැමිනි ඉන්දීය , නේපාල් ,හා බන්ගලාදේශ සගයෝ බර කතාවක සිටින වගක් පෙනුණි.මටත් රබියාටත් උවමනාවූයේ නවාතැනෙන් පිටට ගොස් අවන්හලකට වී මසාලා තේ බොමින් නිදහසේ කයිවාරුවක් ගහන්නටය .

"ඇට්ටෑක් ඉන් මුම්බායි ...අයි ගොට් එස් එම් එස් ෆ්‍රොම් මයි ෆැමිලි..."

එකවර ආලින්දයේ සිටි ඉන්දියානු සගයන්  අතරින් හඬක් නැගී ආවේය . සියල්ලෝම තරමක වික්ෂිප්ත බාවයකට පත්ව ඇත .මද වෙලාවකින් සියලුදෙනාම අවන්හලේ ඇති රූපවාහිනී යන්ත්‍රය දෙස ඇස් අයා බලා සිටිති . මුම්බායේ ප්‍රහාරය ගැන එන් .ඩී .ටී. වී වාර්තාකාරියක් බොහෝ ආවෙගයෙන් රසකර කියයි .පොලිස් සයිරන් හඬ , කුපිතවූ මිනිසුන්ගේ දසුන් , තුවාල කරුවන් , මුම්බායි පොලීස් ප්‍රධානින් තිරය මත දිස්වේ .

පකිස්තානු මිතුරියන් වන රබියා , නිකිලා, රිස්වානා , ශුමයිලා හා රුබීනාගේ  මුහුණු අඳුරු වී ඇත . මොහොතකට පෙර පිලිගැනීමේ ආලින්දයේ වූ සාද සතුටු කතා සිනහ හඬ දැන් නැත . "දිස් ඉස් නොට් අ ගුඩ් ටයිම් ඉන් ඉන්ඩියා" රබියා සෙමෙන් මා දෙස බලමින් කියයි . ඇගේ අදහස පැහැදිලිය .මීට පෙර මුම්බායේ සිදුවූ දරුණු ප්‍රහාරයක වගකීම පැවරුණේ  පාකිස්තාන ත්‍රස්තයින් වෙතය . ඉන්දීය අගමැති මන මෝහන් සිං සහ පාකිස්තාන අගමැති යූසුෆ් රාසා ගිලානි ඒ වෙනුවෙන් එකිනෙකාට  දේශපාලන කරලියේ බොහෝ චෝදනා එල්ල කරගත්හ . එන් .ඩී .ටී .වී නාලිකාවට අනුව දැනටමත් මේ ප්‍රහාරයේ වගකීමද පාකිස්තානයට යන හැඩකි. එවැනි වාතාවරණයක් තුල ඉන්දියාවේ සිටින සාමාන්‍ය සිවිල් වැසි පාකිස්තානුවෙකුට දැනෙන්නේ අසරණ අනාරක්ෂිත බවකි .අපේ මසාලා තේ බොන්න යන ගමනද අතහැර දමන්නට සිදුවිය .එන්. ඩී. ටී. වී කියන ලෙස දිල්ලිය ඇතුලු සෑම ප්‍රධාන නගරයකම පොලිස් ආරක්ෂාව තරකර මාර්ග බාධක දමන්න කටයුතු යොදා ඇත .එවැනි වට පිටාවක පාකිස්තානුවෙක් හා ශ්‍රී ලාංකිකයෙක් හවස්යාමයේ දිල්ලිය නුදුරෙන් ඇති ප්‍රත්‍යන්ත නුවරක වීදි සැරිය  එතරම් ගුණ දායක නැත.

"ටුමොරෝ වී හැවුටු ගො ටු දිල්ලි පොලිස් හෙඩ් ක්වාටර්ස් ටු රෙජිස්ටර් අවර්සෙල්ව්ස් .දැට් ඉස් අ මස්ට් ෆොර් පාකිස්තානීස් විසිටින්   ඉන්ඩියා" . රබියා මට පැවසුවාය .එහෙනම් තත්වය තව දරුණුය . මේ ප්‍රහාරය නිසා හැම පකිස්තානුවෙකු දෙසම ඉන්දීය පොලීසිය  සැකයෙන් බලනු නියතය . පුහුණුවක් නිසා අපිට ලැබී ඇත්තේ බිස්නස් වීසාවකි.එය ඉන්දීය අභන්තර කටයුතු හා ආරක්ෂක අමාත්‍යාංශ වල අනුමැතිය පිට ලැබුණත් මෙවැනි වෙලාවක දිල්ලි පොලීසියට ඒවා වැදගත් කාරණා නොවෙනු ඇති වග අපේ පාකිස්තාන සගයන් ගේ මතය විය .

අවන්හලේ තැනින් තැන රාත්‍රී ආහාර ගන්න අතර මුම්බායි ප්‍රහාරය ගැන සියලුදෙනාම  කතාවෙනු පෙනේ. අපේ පාකිස්තානු සගයන් සිටින්නේ හෙට දින ඔවුන් විසින් දිල්ලි පොලීසියට වාර්තාකිරීම ගැන බිය මුසු තරමක තැති ගත් සිතකිනි . "හනුමාන් කැන් යු කම් විත් අස් ටු ගො ටු පොලිස් ස්ටේශන් ටුමොරෝ,දෙන් වී හැවු සම් වන් ටු අකම්පනී අස්"  රබියා අවසානයේ මගෙන් ඇසුවාය . මම හිස වනමින් ඔවු මම එන්නම් කීවෙමි .

ප/ලි

ජුලි මාසයේ ගිය ගමන් කතාවක විස්තර සහිත කතා පෙලක් විවේක  ලැබෙන විදියට ලියන්නට සැලසුම් කර ඇත . එහි පලවන ,දෙවැනි කතා දිල්ලියේ මගේ අත්දැකීම් පදනම් කරගෙන ලියවෙන අතර සෙසු කතා කීපයක් මා නැවතත් රාජස්තානයේ උදයපූර් , අබූ හා චිතෝර් යන නගර දකින්නටත් , චිතෝර්  සිට    අග්‍රා නුවරට  ගිය  සංචාරක ගමනක විස්තර වෙනුවෙනුත්  වෙන් වී ඇත

20 comments:

  1. ශ්‍රීලාංකික හනුමාන් කියන්නේ කවුද කියලා අහන්ට ඕනේ නෑනේ. මම දිල්ලිය දැක්ක විදියටම ඔයා ඒක විස්තර කරලා තියනවා. අර පරන දිල්ලිය පැත්තේ යනකොට නම් මිනිස්සු බලාගන ඉන්නේ ගිලින්ට වගේ කියලා බයත් හිතුනා. ඒත් යාලුවෙක්ගේ වාහනයයි, ඩ්‍රයිවර් මහත්තයයි හිටපු හන්දා බයක් දැනුනේ නෑ. මම නම් ඉන්දියාවේ ඇවිද්දා හොඳටම මදි. ඉන්දියාව කියන්නේ කොච්චර බැලුවත් ඇතිවෙන රටකුත් නෙමේ. අනෙක බඩේ අමාරු හදාගන්ට හොඳම රට ඉන්දියාව...:D

    පරන මතකයන් සියල්ල ඔයා අවදි කලා. රසවත් පෝස්ට් එකක්.

    ReplyDelete
  2. ''වෙල්කම් බැක්'' ...හනුමාන් . මේ ඔයාට පොලිසියට යන්න අඬ ගැහුවේ හදිසියකදී පොලිසිය ගිනිතියන්නද . ලස්සන විස්තරය . ගියා වගේ තමයි. මන් දන්නා සුද්දෙක් ලඟදි ලංකාවට ගිහින් ඇවිත් කිව්වා මගදී මැරෙයි කියල බය වෙච්ච එක ඇර අනික් එව්වා හරිම හොඳයි . ඉන්දියාවට ගිහින් හැදුන බඩේ අමාරුව මතක් වෙද්දී ආයේ ඒ දිහා බලන්නේවත් නැතිලු .
    මට නම් මැවිලා පේනවා ඔයා නිකන් හින්දි මුවි එකක වගේ කබල් මරුටියක ..ඒ මදිවට කච කච ගාන ඩ්‍රයිවරයෙක් එක්ක ...හා හා ඉතුරු ටිකත් කියන්න . නමස්තේ ඉන්දියා !!!!

    ReplyDelete
  3. හනුමාන්. :D රසවත් විස්තරයක්. එක හුස්මට කියවං ගියා.

    ReplyDelete
  4. මමත් දිල්ලියේ ඇවිද්දා වගේ දැනෙනවා.
    හනුමාන්. අපොයි ඒකනම් නියම නමක්....
    අපි ගියොත් අපිට මොනවා කියයිද මන්දා...:DDD

    ReplyDelete
  5. සුපිරි වේගෙන්
    ඉහල යන අධි තාක්ෂණයෙන්
    පළමු ලොව පරයන
    බුද්ධියෙන්
    දැන උගත්කමිනුත්
    ධනයෙන් මෙන්ම පිළිවෙතින්
    පෙර ගමන් කල මිනිසුන්
    ඇමරිකාවට වඩා ඉන්නා
    දිදුලන සිනහසෙන
    අනාගතයේ හිනිමග

    කන්නට දෙයක් නැති තැන
    කුණු බක්කියේ
    දිව බොදුන් සොයමින
    කානු කට ළඟ වැතිරී
    දූලි විලවුන් තවරන
    මළකඳන් මග ලූ පසු
    මදක් ඔබ්බෙන් සැතපෙන
    කුල ගොත් කුණු මලින්
    එදිනෙදා උනුන්ට වද දෙන
    ගඳ ගහන කුණු බක්කිය

    "හ්ම් මේ තමයි ඉන්දියාව"

    අනාගතයේ හිනි මග
    එකෙකු ඉහලට නැග්ගොත්
    ගෙන යා යුතුය ඌ
    එල්ල ගෙන තව තිදෙනෙක්
    කුණු බක්කියෙන්

    "හ්ම් මේ තමයි ඉන්දියාව"

    ReplyDelete
  6. වැල් කම් බැක් හනුමන්.

    ReplyDelete
  7. හම්මේ ඇති යාන්තං ලියන්ට පට්ටාං ගත්තා... :)

    ReplyDelete
  8. @Sujeewa,

    කවි ටිකේ ලස්සන.....:D

    ReplyDelete
  9. ඊලඟ පෝස්ට් එක පසුව දෙමි .රාජකාරි වැඩ ගොඩ වී ඇත .හැමදෙනාටම ඉස්තුතියි ලිපි කියවන්න කමෙන්ට් ලියන්න ආවට. සුජීවට විශේෂ ඉස්තුතිය ලස්සන කවි කමෙන්ට් එකට

    ReplyDelete
  10. ඉන්දියවේ වාහනයි ට්‍රැ‍ෆිකුයි හොඳයි මං ඉන්න බංගලාදේශෙ එක්ක බලද්දි! :)

    ReplyDelete
  11. ඊයේ මේල් එක ආවම මට පුදුමත් හිතුනා. එවෙලේම කියෙව්වට මොබයිල් එකේ පිහිට හින්දා කොමන්ට් ලියන්න බැරි උනා.
    මනෝගේ සටහන් පින්තූර දකින දකින පාරට ඉන්දියාවට මාත් යන්න ආසයි. ඒත් අර කිවුවත් වගේ ඉන්දියාවට යනවා නම් අළුතින්ම හුරුවෙලා යන්න ඕන කියලා තවම හිතෙන්නේ. මට ඉතින් දකින දකින එක කන්න ඕනේ වුනාට ඉන්දියාවේදි නම් මට එහෙම කවදාවත් හිතුනේ නෑ.
    කොහොමත් ඉතින් මම ආපහු ඉන්දියාවට යනවා නම් මනෝ එක්ක තමයි. අඩු ගානේ මනෝ වගේ පාරේ තියෙන හැම ස්ටෝල් එකෙන්ම කාලා බඩේ අමාරුවක් හදාගන්න හරි බැරියැ.
    ඔන්න මිරිස් නම් එපෝ.

    ReplyDelete
  12. හනුමාන් ගේ බ්ලොග් එකට ඔන්න මම නම් අදයි ගොඩ වැදුනේ පලවෙනි ලියවිල්ල කියවාපු ගමන්ම හිත ගියා ..

    ආයේ දවසක එන්නම් ඇවිල්ලා යන්න ..

    ReplyDelete
  13. හෆෝ හනුමාන් කියන්නෙ අර යන යන තැන ගිණි තියන දැලිපිහියක් පාවිච්චි කරන්නවත් නොදන්න නෝටි වානරයා නේද ?

    ReplyDelete
  14. යන දිල්ලියක පරිස්සමින් යන්න කියන්නෙ ඇයි කියා දැන් තේරේ

    ReplyDelete
  15. රාවණා ගෙ රටෙන් ආවය කියල හනුමාන් කියල නමක් දාන එක වැරදියි නෙවද?.....හනුමාන් ආවෙ ඉන්දියාවෙන්නෙ.

    ඉඩ ලැබෙන පරිදි ලියන්න Tg, Welcome BacK,

    ReplyDelete
  16. පාලු කඩේ ලෙක්චර් එක නිසා හොයලා බැලුවේ, මෙතෙක් කල් මේ බ්ලොගය මට මඟහැරිලා නොවැ.

    විස්තර කියවද්දි මුම්බායි, හයිද්‍රාබාද් හි ටැක්සි ගැනත් වාහන තද බදය ගැනත් ඇති මතකය අලුත් විය. පලමු වරට මුම්බායි වලට ගියේ 1996 දී ට්‍රේනිං ප්‍රොග්‍රෑම් එකක් කරන්න ඒ ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය ගත් අලුත, ඔවුන් නිතර කියපු දෙයක් තමයි පුංචි රට දෙවෙනි වතාවටත් ඔවුන්ව පරාජය කර බව. ඉන් පසු එළඹුන හැම දීවාලි (දීපවාලි) උත්සවයක දීම රවනා කොටුව ගැන කතාව අපේ ටීම් එකේ ඇදිලා ආ මාතෘකාවක් විය.

    මුල් වතාවට මුම්බායි වලට බහිද්දී රාත්‍රී දෙගොඩ හරිය, ඉන්දීය නිදහස් දිනය දා රෑ. ඊලඟ එයාපොර්ට් ටැක්සියට මගේ වාරය, බලා ඉන්නවා ඉන්නවා ඒකා එන්නේ නැහැ. මාව එක්ක යන්න ඇවිත් හිටියේ තමිල්නාඩු කෙනෙක් ගිහින් බලද්දී ඩ්‍රයිවර් වාහනය තුල නිදි. ඊට පිටුපසින් ඉන්න කෙනෙක්වත් හෙලවෙන්නේත් නැහැ. බොහෝම අමාරුවෙන් ටැක්සි ඩ්‍රයිවර්ව ඇහැරගෙන ගමන් ගියා. ඊලඟ දවසේ උදෙන්ම දාරාණිපාත වරුසාව. මුම්බායි වල දී අපාය දැක්කා කියන්න පුලුවනි. එය පසුකර ඇවිත් සාන්ත කෲස් ආයෝජන කලාපයේ වෙනස්ම ලෝකය දැක්කා. එයයි ඉන්ක්‍රෙඩිබල් ඉන්ඩියා.

    ඉන්දියාවට ගිය හැම පාරම මතක් වුනේ මගේ කොරියානු සම්බවයක් ඇති ඇමරිකානුවෙක් කියන කතාවක් "ජෙනරාල් මාඕ ඉන්දු චීන යුද්දයේ දී ඉන්දියාව අත්පත් කරගන්න එක අතහැර දැම්මේ ඉන්දියානුවන්ගේ බඩ කට පුරවන්න තියෙන අභියෝගය සිහි වෙලාලු"

    මතක ගොඩාක් අදිලා එනවා...

    ReplyDelete
  17. චානක ,ඩීන් ,සඳරු,රවි , රංගි ස්තුතියි මෙහේ ආවට .

    ඩීන් -ඔයා හරි ඉන්දියාවේ ඇවිදින හැම වාරෙකම මටත් මොක හරි කතාවක් තියෙනව කියන්න

    ReplyDelete
  18. Sabith Thank you too for coming here

    ReplyDelete
  19. ""ශ්‍රී ලංකන් හනුමාන්"
    මේ එහෙම කෙනෙක් ගැන ඇහුවමයි!
    මමත් කාලයක් බැංගලෝරෙයි තිරුවනන්දපුරෙයි හිටිය. ඒත් කවදාවත් ආයි යන එකක් නෑ, අඩු තරමෙ දඹදිව වන්දනාවකටවත්. එච්චරට අප්‍රසන්නයි ඒ මතක!

    ReplyDelete
  20. සැබෑ දිල්ලිය හරි අපූරුවට මවල නොවැ! වජිරදේවිගේ ආසම රට ඉන්දියාව කිවුවාම සමහර ඇත්තො නහය අකුල ගන්නවා. ටීජී වුණත් ඒ අත්දැකීමට මූණ දීල ඇති. වජිරදේවි ඔහේ ඉබාගාතේ රෝන්දේ ගහනකොට ධර්මද්වීපෙන් අසූ ගණන් වල කලබල කාලේ රට අත ඇරල ගිය කීප දෙනෙක් හම්බ වුණා. ඒ අයෙගෙන් වැඩි දෙනෙක් තුන් සරණ ඩ්‍රයිවර්ලා තමයි. ලංකාවේ කමටද කොහෙද සල්ලි ගත්තෙත් හරි අඩුවෙන්.

    ReplyDelete