අනංග දෙවිඳු |
වෙස්සන්තර කතාව -ජූජකයා දරුවන් කැටිව යාම |
පංච නාරි ඝටය |
සක් පිඹින්නා |
සාම ජාතකය රහතන් වහන්සේ නමක් |
මාර පරාජය |
අද වෙසක් පුන් පෝයදා පන්සල් යන්න හිතුවා .ඉතින් හවස් යාමේ අයිස්ක්‍රීම් , සිසිල් බීම දන්සල් කීපයකුත් වැඳපුදාගෙන තොටගමුවේ රන්පත් පුරාණ රජමහා විහාරයට ගියා .ගාලු කොලඹ ප්‍රධානපාරේ කහව සහ හික්කඩුව කියන නගර දෙක අතර තියෙන පනස් හත්වෙනි සැතපුම් කණුව කිට්ටුව තියෙන අතුරු පාරකින් මීටර පන්සීයක් විතර ඉස්සරහට යනකොට තමයි "තෙල්වත්තේ පුරාණ තොටගමු රන්පත් රජ මහා විහාරය " හමුවෙන්නේ.පන්සල පිහිටි ගම ගම හඳුන්වන්නේ තෙල්වත්ත කියලා .
මේ පන්සල ඓතිහාසික වශයෙන් බොහොම වැදගත්කමක් ගන්න පූජනීය ස්ථානයක් . පුරා විද්‍යා දෙපාර්තමේන්තු ලිපි ලේඛණ වල "තෙල්වත්තේ පුරාණ තොටගමු රජ මහා විහාරය" ලෙස හඳුන්වන නමුත් ගම් වැසියන් අතර ප්‍රසිද්ධ "තොටගමු විහාරය" කියලා.ලංකාවේ විහාර දේවාල වල නම් ගම් ඇති පැරණි පොතක් වෙන "නම් පොතෙත් " පන්සල හඳුන්වන්නේ ඔය කියන නමින්. මෙහි සිත දියුණු කරගත් රහතුන් වහන්සේලා වැඩසිටි නිසා රන්පත් විහාරය ලෙස හැඳින්වුණාලු. මේ පන්සලේ ඉතිහාසය අනුරාධපුර ,පොලොන්නරු යුගයන් තෙක් දිව යනවා .පොලොන්නරු යුගයේ සිටි පලවන විජයබා රජතුමා මෙහි විහාර කර්මාන්ත කෙරෙව්වා කියලා පැරණි පොතපතේ තියෙනවා.
කොහොම නමුත් මේ විහාරයේ ස්වර්ණමය යුගය සනිටුහන්වන්නේ කෝට්ටේ රාජධානි සම්යේ විසූ සයවෙනි පැරකුම්බා රජුගේ අනුග්‍රහය සහ උගත් පැවිදි පඬිරුවණක් වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන්ගේ අධිපතිත්වය නිසා.ෂඩ් භාෂා පරමේශ්වර රාහුල හිමියන් හා තොටගමු විහාරය අතර ඇත්තේ ගසට පොත්ත මෙන් බැඳුන සම්බන්ධතාවක් .
කුමර වියේ සිටම කාව්‍ය ශාස්ත්‍රයට උපන් හපන් කම් පෑ රාහුල හිමියන් ගැන බොහෝ ජනප්‍රවාද තියෙනවා. උන්වහන්සේ කුඩා කාලේ තමන්ගේ දුක සැප විමසන්න ආව හයවැනි පැරකුම්බා රජුට කවියකින් උත්තර දුන්නේ මෙහෙම
මා වැනි බිලින්දා -වර වර ලඟට කැන්දා
දුක් සැප කුමන්දා - අසන නිරිඳෝ වෙන කොයින්දා
පුංචි රාහුල හාමුදුරුවෝ පන්සල් මිදුලේ තිබුණ ගොම ගොඩක් අස්කරන්න සුර දෝතා නම් කොලුගැටයාට කවියකින් කිව්ව විදිය මේ
සුර දෝතා -වර මෑතා
ගොම දෝතා- දම ඈතා
වීදාගම මෛත්‍රිය හිමියන්ගේ ගෝලයෙක් වුණ රාහුල හිමියන් සංස්කෘත, ප්‍රාකෘත,මාගධි, පෛසාචි,සෞරසේනි , අපබ්‍රංස කියන භාෂා හයෙහි කෙල පැමිනි උගතෙක් .ඒනිසයි උන්වහන්සේ ෂඩ් භාෂා පරමේෂ්වර වුනේ . කාව්‍ය කරණයේ කෙල පැමිනි රාහුල හිමියන් පරවි, සැලලිහිණි සන්දේශ කාව්‍ය සහ කාව්‍යශේඛරය රචනා කර තිබෙනවා.ඒ විතරක් නෙවේ ගුප්ත විද්‍යාවන්ගේ පරතෙරටම උගත් හාමුදුරුවෝ යකුන් ගස් බැඳගෙන වැඩගත්තා කියා ජනප්‍රවාද කතාවල කියවෙනවා.
කෝට්ටේ යුගයේ හයවැනි පැරකුම්බා රජුගේ නොමද රාජ්‍ය අනුග්‍රහයත් ,රාහුල හිමියන්ගේ හසල බුද්ධි ප්‍රභාවත් හේතුවෙන් පහලොස්වැනි ශතවර්ෂයේ තොටගමු විහාරය උසස් විද්‍යාස්තානයක් වෙලා තියෙනවා .එහි වූ විජයබා පිරිවෙණෙහි බොහෝදෙස් විදෙස් ගිහි පැවිදි උගතුන් ඉගෙනුම ලැබුවාලු.ඔවුන්ට කාව්‍ය , ඡන්දස්,තර්ක ශාස්ත්‍රය ,තුන්පිටකය , ගුප්ත විද්යා,සකු ,මගධ,දෙමල භාෂා, වෛද්‍ය ශාස්ත්‍රය,අර්ථශාස්ත්‍රය උගන්වලා තියෙනවා."තොටගමුවෙ වෙලත් බණ බැරිනම් වැඩක් නෑ කියල" මේ පන්සල පැත්තේ මිනිස්සු අතර ජන වහරේ කියවෙන ප්‍රස්ථාපිරුලකුත් තියෙන්නවා. උසස් අධාපන ආයතනයක් ලෙසින් විජයබා පිරිවෙණෙහි වූ අතීත ශ්‍රී විභූතිය ගිරා සංදේශයේ මේ කවි පෙලින් කියවෙනවා.
විදි විහිගුම් සමුදුර වෙරළත හමුව
සුර පුර බිම් බටමෙන් වඩවන ළමුව
සැදි පලරම් විසිතුරු ගෙවුයන් සුමුව
දකු මනරම් සව් සිරි පිරි තොටගමුව (197 පැදිය )
තුරු යටියෙන් හුණු පැටි ලෙහෙණුන් රැගෙන
සිතු අටියෙන් සිඹ ඇඟැ පිරිමැද සෙමින
මල'ගටියෙන් පැන් පොවමින් අතින'තින
සිටිපැටියෙන් හෙරණුන්ගෙන් වෙයි සොබන (208 පැදිය )
මනරම් වෙහෙර තුල තැන තැන සපැමිණිය
සිතියම් බණ අසුන් විදහා අපමණය
සිත සොම්නසින් සිහිකර කර බුදු ගුණය
අබිදම් පෙල අරුත් විමසන සඟගණය (219 පැදිය )
ඔය කවි අතරින් ගස් වලින් බිම වැටුන ලේන් පැටවු ආදරයෙන් සිඹ පිරිමැද සනහා මල්ගොටු වලින් උන්ට පැන් පොවන පුංචි හාමුදුරුවරු ගැන කියන කවියට මම ගොඩක් ආසයි.ජනප්‍රවාදයන්ට අනුව මේ මහා පිරිවෙණෙහි විසූ විද්‍යාර්ථින්ගේ නඩත්තුවට අහල පහල ගම් වලින් ලොකු සේවයක් වෙලා තියෙනවා .ඔය හේතුව නිසාම ඒ ගම් වලට නම් යෙදිලා තියෙන්නෙත් ඔවුන් පිරිවෙණට සැපයූ සේවාව අනුව .
1) අහාර පාන සහල් බත් සැපයූ ගම -බත් දුන් ගම -බද්දේගම
2) සීනි සැපයූ ගම -සීනි ගම
3) පූජාවට මල් සැපයූ ගම -මල්වැන්න, මලවැන්න
4) පෙරහන්කඩ සැපයූ ගම- පැරෑලිය
5) පහන් පූජාවට තෙල් සැපයූ ගම -තෙල්වත්ත
6) රෑ පහන් ආලෝකවත් කරන්න මී ඉටි සැපයූ ගම -මීටියාගොඩ
7) හාමුදුරුවන්ට වෙහෙර විහාර තනාදුන් ගම -විහාරගොඩ , වේරගොඩ
8) සිවුරු පඬුපොවන්න උදවු කල ගම -කහව
9) අවු වැසි වලින් ආරක්ෂාවෙන්න බට පැලලි සැපයූ ගම - බටපොල
10) පිරිවෙණට සම්බන්ධ බමුණන් නැවතීසිටි ගම -බ්‍රහ්මණවත්ත
ශ්‍රීවිභූතියෙන් ඇලලී ගිය මේ උසස් අද්‍යාපන ආයතනයට කණකොකා හඬන්නේ 1505 පෘතුගීසි ආක්‍රමණයත් එක්ක .ඔවුන් සියලු වෙහෙර විහාර ගිනිබත් කරනවා. ශතවර්ෂ දෙකක් විතර වල් බිහිවුණ මේ පුදබිම කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ,වැලිවිට සරණංකර සංඝරාජයන් සමග මෙහෙයවූ ආගමික පුනරුදය නිසා නැවත ස්ථපනයවෙනවා ඒ 1734-1799 කාලෙදී. ඔය වකවානුවේ දැන් පුරාණ පිළිමගෙය කියලා හඳුන්වන විහාර මන්දිරය ගොඩනැගෙනවා.1805 දී දැන් අලුත් පිලිමගෙය කියලා හඳුන්වන විහාර මන්දිරය නිමවෙනවා .
පුරාණ පිළිමගෙයත් , අලුත් පිලිමගෙයත් කලාත්මක වශයෙන් බොහොම වැදගත් තැන් දෙකක් .මේ පිලිම ගෙවල් දෙකේම මහනුවර සම්ප්‍රදායට අයත් බිතු සිතුවම්, ලතා ,මාලා කර්ම වලින් අලංකාරවෙලා තියෙනවා.පැරණි පිලිමගෙයි වෙස්සන්තර ජාතකය , දහම්සොඬ ජාතකය සිතුවමට නගා තියෙනවා . එහි අන්තරාලයේ විශේෂ දෙව් රුවකුත් අඹලා තියෙනවා.ඒ විවාහයට ප්‍රෙමයට අදිපති අනංග දෙවියාගේ රුව .ලංකාවේ අනංග දෙවි රුවක් සහිත එකම පන්සල තොටගමු විහාරය බවයි කියන්නේ.ගර්භ ගෘහයේ සැතපෙන් පිලිමයට ඉදිරියෙන් මතු බුදුවෙන බෝසතුන් බවට විශ්වාස කරන උපුල්වන් දෙවි රුවක් අඹාතියෙනවා .අලුත් විහාරගෙයි සාම ජාතකය ,අටවිසි බුදුවරු , බුදුන්වහන්සේ බුද්ධත්වයට පත්වී කල මාර පරාජය එහෙම දැකගන්න පුලුවන් .බුදුන් බුදුවූ බවට මහී කාන්තාව සාක්ෂි දෙන අයුරු , කෝපයෙන් දැවෙමින් ඇතුපිට නැගී සේනාව සමග එන මාරයා අපූරුවට සිත්තමට නගා තියෙනවා.
නුවර යුගයේ සිතුවම් වලට ආවේණික කහ ,රතු,සුදු ,නිල් වර්ණ රටා සහ ද්විමාන මිනිස් රූ ,සතුන් , ගස් වැල් මේ සිත්තම් වලත් තියෙනවා.මහනුවර යුගය වනවිට මහා සම්ප්‍රදායන්ගෙන් ඈත්වුණ ජන කලා සම්ප්‍රදායකට සාහිත්‍ය කලාවන් යොමුවෙලා ගැමියන් සිත්තරුන් වෙලා පොදු ජනයාගේ පහන් සංවේගය,ශ්‍රද්ධාව පිණිස බණ කතා සිතුවමට නගනවා .1799දී නිමැවූ පුරාණ පිළිමගෙයි සිත්තම් අඳින්න ගාලුදිසාවේ කඩොල්ගල්ලේ මහ සිත්තරා සහ පොඩ්ඩ සිත්තරාගේ සේවය ලබාගෙන තියෙනවා.අලුත් පිලිමගෙයි සිතුවම් නිමවලා තියෙන්නේ අටකෝරළේ මුදියන්සේ සිත්තරා.විහාරගෙවල් වල බිතු සිතුවම් ගැන කියනකොට මතකද සැලලිහිණියේ එන තොටගමුවේ රාහුල හිමියන් ලියූ මේ කවි පද ?
මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවතී
බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති
18 වැනි හා 19 වැනි සියවස් වලත් තොටගමු විහාරය එවක විසූ දානපතියන්ගේ අනුග්‍රහයෙන් දියුණු පමුණු කරලා තියෙනවා .ඒ අතරින් සුවිසාලව ඉදිවුණ බණ මඩුව විශේෂයි .නමුත් කෝට්ටේ යුගයේ විශිෂ්ට විද්‍යාස්තානයක් ලෙස පැවති යුගයනම් ඉන් පස්සේ ආව පර සතුරු උවදුරු එක්ක ගරාවැටෙනවා.විශේෂයෙන් ඉංග්‍රිසින් කෝල්බෘක් ප්‍රතිසංස්කරණ යටතේ පිරිවෙන් අධ්‍යාපනය බැහැර කර දමනවනේ .ඉතින් පන්සල් වලට විසාල අධ්‍යාපන ආයතන පවත්වාගෙන යන්න රාජ්‍ය අනුග්‍රහය නැතිවෙලා බටහිර මිෂනාරී අධ්‍යාපනය පැතිරෙනවා. එහෙම වුණත් අදටත් පොඩි හාමුදුරුවරු 25 නමක් විතර විජයබා පිරිවෙනේ ඉගෙන ගන්නවා.
යුග කීපයක් තිස්සේ නැගෙමින් , වැටෙමින් පැවතගෙන එන මේ පැරණි පන්සලේ අදත් ඒ අතීත ශ්‍රී විභූතියේ නටබුන් තියෙනවා ,නමුත් මේ වනවිට බිතු සිතුවම් බොහොමයක් දුර්වර්ණ වෙලා විනාශවෙමින් යනවා.පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ඒගැන ඉක්මන් පියවරක් නොගත්තොත් මේ සිතුවම් තව ටික කාලෙකින් මැකිල යාවි.ඒ වගේම පන්සල නිධන් හොරුන්ටත් ගොදුරු වුණ කාලයක් තිබුණා . පහුගිය සුනාමි මහා ජල ගැල්ම වෙලාවේ අහල පහල ගම් වල අසරණ වුණ බොහෝ පිරිස් දිවි ගලවාගන්න දුවගෙන ආවෙත් මේ පන්සලට .පුරානෝක්ති කතාවක කියනවා කැලණිතිස්ස රජ සමයේ මුහුද ගොඩගැලූ විටත් සක් දෙවි රජ මේ පන්සල ආරක්ෂා කලා කියලා. ගැමියො අදත් කියන්නේ මුහුද නුදුරින් තිබුණත් සුනාමි සැඩ රල පන්සලට ආවෙ නැත්තේ ඒ නිසා කියලා .මෙහි ඇති නාථ ,විශ්ණු හා කතරගම දේවාල ගැනත් බෝධීන් වහන්සේ ගැනත් අහල පහල ගම් වල උදවියගේ ලොකු විශ්වාසයක් තියෙනවා.
ගාලු පාරේ තියෙන ඓතිහාසික හා කලාත්මක වටිනාකමක් සහිත ඒත් බොහෝ ප්‍රසිද්ධනැති බොදු පුදබිමක තොරතුරු ලියමින් මේ වෙසක්ඟේ සමරන සම්බුද්ධත්ව ජයන්තියට සුලුවෙන් හරි දායක වෙන්න පුලුවන් වුණා කියල මට හිතෙනවා .
ප/ලි
ඔබ ගාලු පාරේ විනෝද ගමනක් , රාජකාරි ගමනක් යන අතරේ වුණත් ගොඩ වැදිලා මේ පන්සල නරඹන්න පුලුවනි. පාසල් සිසුන්ට ගවේශකයන්ට බොහොම වටින තැනක් කියලා හිතෙනවා. වවිශේෂයෙන් අර චිත්‍ර නරඹන්න අමතක කරන්න එපා .මේ ලිපිය ලියන්න මම වැඩි දුර කරුණු එකතු කරගත්තේ මෙන්න මේ පොත් වලින්.
1 ) Paintings of Sri Lanka -Thelwatta by Nandana Wutwongs,Leelananda Premathilake and Roland Silva ( Archaeological Survey of Sri Lanka - Central Cultural Fund )
2) තෙල්වත්තේ පුරාණ තොටගමු රන්පත් විහාරය - මහානාම මංගලසිරි මයා
තොරතුරු සොයාගන්න පොත් ලියූ මේ ලේඛකයන්ටත් පින් අනුමෝදන් කරනවා .ඒ වගේම සිංහල භාෂාව හා සාහිත්‍ය , චිත්‍ර කලාව , පෙර අපරදිග ඉතිහාසය ,සමාජ අධ්‍යනය,ඉංග්‍රිසි භාෂාව ,බෞද්ධ ශිෂ්ටාචාරය විෂයන් ලෙස බොහොම රසවත්ව මට ඉගැන්වූ සියලුම ගුරුවරුන්ට මේ සටහන පූජා කරනවා . ඒ ඔවුන් හැම කෙනෙක්ම කලාවට සාහිත්‍යට , ගවේශණයට හා සංචාරයට උවමනා නොසිඳෙන රසවත් සිතුවිලි උල්පත් මට දුන්න නිසා.
ඔබත් තොටගමු විහාරය හා රාහුල හිමි ගැන දන්නා තොරතුරු ඇතොත් මෙහි සටහන්කරන්න
ඔන්න හොඳ පින් වැඩක් කරලා වෙසක් පෝයට. පන්සලුත් ගිහින්, අපිවත් එහේ එක්කගන ගිහින්. ලස්සන තැනක්. ඒ වගේම හොඳ 'ඉතිහාස පාඩමක්' ඉගෙන ගත්තා. ගිහින් තියන තැනක් නම් නෙමෙයි හැබැයි ගිහින් බලන්න වටිනා තැනක්. විශේෂයෙන්ම 'අනංග' දිව්‍ය රාජයාගේ' පිලිමේ බලන්ට.
ReplyDeleteඑයාට ශරීරයක් නෑ කියන හන්දා රූපේ කොහොමද කියලා කවුරුහරි එයාව නිර්මානය කලේ කොහොමද? ලංකාවේ අනඟ දෙවි රූපයක් තියන එකම පන්සල එතැන වීමට හේතු තියනවද?
'වෙඩි නොවදින තෙලක්' හැදූ බවට කතා පවතින්නේ මේ හාමුදුරුවන් ගැනද?
ලිපිය කියවපුවාම ප්‍රශ්න මහා ගොඩාක් හිතට ආවා. ඒවාට පිලිතුරු අවශ්‍යයි පින්වතිය...
අර ගම් වලට නම් හදලා තියන හැටිත් හරිම අපුරුයි.
ReplyDelete//"මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවතී
බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති "//
හාමුදුරුවෝ මෙහෙම කීවට අව්වට, වැස්සට ඔය බිතු, සිතුවම් හේදිලා, පිච්චිලා යනබව හාමුදුරුවොන්ට ඒ වෙලාවේ අමතක වෙලා තියෙන්ට ඇති.
@පොඩි කුමාරිහාමි
ReplyDeleteඅනංග රූප ඉන්දියාවේ පැරණි පුදබිම් (හින්දු දේවාල ) වල තියෙනවා කියලා මම අහල තියෙනවා.සමහරවිට ඒ බලපෑම් උඩ මේ පන්සලෙත් අනංග රුවක් නිර්මාණය වෙන්න ඇති.
මේ පන්සලත් තෙල් වලට ප්‍රසිද්ධයි.රාහුල හාමුදුරුවෝ ධාරණ ශක්තිය වැඩිකරගන්න සරස්වතී කියලා තෙලක් පානය කරලා තියෙනවා.ඒ තෙල් අදටත් පැරණි පිලිමගෙයි සැතපෙන පිලිමය ගාව නිධන් කරලා තියෙනවාලු.උන්වහන්සේ අපවත්වෙද්දී සිද්ධාලෝකරසය කියන තෙලක් වැලඳුව නිසා දේහය ගෝවේ පල්ලියක නොදිරා තියෙනවලු,පෘතුගීසි උන්වහන්සේගේ දේහය ගෝවට ගෙනිහිල්ල .
ඔය වෙඩි නොවදින තෙල තිබිලා තියෙන්නෙ උතුවන්කන්දේ සරදියෙල් නැවතිලා හිටි පන්සලේ .
සංචාරයත් එක්කම මනා අධ්‍යනයකුත් එකතු කරන සුවිශේෂී සටහනක්. ඉගෙන ගත්ත කාරනා බොහොමයි.
ReplyDeleteඉස්සර ඉතිහාසෙට වඩා ළඟ ඉතිහාසය [කෝට්ටේ හා පසු යුගයන්] වලට සම්බන්ධ මේ වගේ තැන් ගැන දැනෙන උනන්දුව වැඩි ඒවා තවම සහමුලින් මියගොස් නැති නිසා. මේ ප්‍රදේශ වල මිනිසුන්ගේ එදිනෙදා ජිවීත කතා හා ඉතිහාසය එකිනෙකට බද්ධ වෙනවා.
හැතැම්ම කීපයක් මෙහායින් අවුරුදු ගානක් ම හිටියත් මට යන්න වෙලා නැහැනේ තොටගමුවට.
ඉතාමත් උසස් සටහනක්. ජය වේවා.
@පොඩ්ඩි;
ReplyDeleteසිතුවම් ජරා ජීරණ වෙන බව ඇත්ත තමයි, ඒත් කවදාවත් පිටු පාන්නේ නම් නැහැ. තියෙන කම්ම අපි දිහා බලාගෙන ඉන්නවා. මං හිතන්නේ පොයින්ට් එක මිස් වෙලා නැහැ.
පොඩ්ඩිගේ හා සුජීවගේ අදහස් වලට බොහොම ස්තුතියි .ඔවු කෝට්ටේ යුගයෙන් පස්සේ මෑත ඉතිහාසයට අයත් පන්සල් එක්ක මිනිස්සුන්ගේ ජන ජීවිතය බොහොම හොඳින් බද්ධ වෙලා තියෙනවා .ඒ බව බිතුසිතුවම් , පිලිම නැරඹුවාම පෙනෙනවා.
ReplyDeleteපහතරට ප්‍රකට , අප්‍රකට පන්සල් කීපෙකම ඔය කාරණාව මම දැකලා තියෙනවා.උදාහරණයක් හැටියට දික්වැල්ලේ වැවුරු කන්නල බුදු රජ මහා විහාරය ( අපාය පන්සල , වෙහෙර හේන පන්සල , වේරගම්පිට කොරතොට පන්සල) වගේ තැන් මගේ සිහියට එනවා. මේ සටහනින් පස්සේ ඔය පන්සල් වලට ගිහින් දැකපු බලපු දේ ගැන ලිව්වොත් හොඳයි කියලා හිතුනා.මොකද ඒවගේ ලොකු සමාජ විග්‍රහයක් තියෙනවා .
අපි රාජකාරියට ඔය ගං නියංගං වල ඇවිදිනකොට ඔහොම තැන් වලටත් ගිහින් බලන පුරුද්දක් තියෙනවා .එක ගමනින් වැඩ දෙකක් කෙරෙනවනේ .
හැබැයි කොයිදේත් කොරන්නේ රාජකාරි අහවර කොරලා.
ගාලු පාරේ කොයි තරම් නම් යන්න ඇතිද . කවදාවත් ගොඩ නොවුණු තැනක් . ස්තුතියි තොරතුරට. ඔය වගේ සැඟවුණු තැන් කොච්චර තියෙනවද. මේක කියවද්දී මට මතක් වුනේ කැළණි පන්සලේ චිත්‍ර බලබල තනියම රස්තියාදු වෙන්න නිදහසක් තිබු කාලය. කවුරුවත් කලින් ලියා තියෙනවද දන්නේ නැහැ. කැළණි විහාරයේ චිත්‍ර ගැන මම සැහෙන අද්යනයක් කලා ඒ කාලේ. චිත්‍ර කීපයක් කොපිත් කලා. ඒ ගැන ලියන්න අදහසක් දුන්නට ඔන්න වෙසක් සමයේ වැඩිපුර පින්.
ReplyDeleteතොටගමුවේ රාහුල හිමියන්ගේ සාහිත්‍යයත් අපි ටිකක් ඉගෙන ගත්ත . දහම් පාසලට අයිති විෂයක් නොවුනට අඹන්පොල සීලරතන හාමුදුරුවෝ සැළලිහිණි සංදේශය ඉතාම ගැඹුරින් රස විඳින්න කියා දුන්න.
මට නම් ලස්සනම සංදේශ කාව්‍යය සැළලිහිණිය තමයි.
පැහැ සරණිය මිනි පැමිණිය කොත් අගට
බැඳ කිකිණිය දද ගිහිණිය විමන් වට
නොව පැරණිය වන රමණිය විටින් විට
සැළලිහිණිය වදු කැලණිය පුරවරට
අපි දකින යන එන තැන් නිසා කෝට්ටේ යුගයට අයත් ප්‍රදේශ ගැන සොයා බැලීම රසවත්.
රාහුල හිමි සැළලිහිණිය ලිව්වේ ඇයි දන්නවද . උලකුඩය දේවියට දරුවෙක් ලබා ගැනීම සදහා විභීෂණ දෙවියන්ගේ ආශීර්වාදය ඉල්ලා යැවූ හසුනක් සැළලිහිණියා අත යවන ආකාරයට.
තවමත් කැළණි පුරේ ඉපදෙන පොඩ්ඩන් ඉස්සර වෙලාම පන්සල් ගෙනිහින් බුදු ගේ ඇතුලේ තියෙන තඹ තහඩුව උඩ තියෙනවා . ඒක යට තියෙන්නේ පන්චායුදයක්. [තැන් තැන් කොලපාට වෙලා ..පොඩ්ඩෝ දන්නවය දෙවියෝ ඉස්සරහ චු දාන්න හොඳ නැහැ කියල. ] විභීෂණ දෙවියෝ ළමයින්ට ආදරෙයි කියා විශ්වාස කෙරෙනවා.
ඉතාම හොඳයි . දඹුලුත් ගිහින් තලගොයිත් මරාගෙන එන්නකෝ. රාජකාරිය අතපසු වුනත් අපිට මොකෝ. ලියන ඒවා අපි කියවන්නම්.
ප .ලි.
මේ චිත්‍ර සංරක්ෂණය වුනොත් හොඳයි වගේ නේද
@බින්දි
ReplyDeleteදන්නවද කැලණි විහාර චිත්‍ර ඇන්ද සෝලියස් මෙන්දිස් සිත්තරාගේ ගමත් ඔය තොටගමු පන්සල නුදුරෙමයි අම්බලන්ගොඩ .කැලණි බිතුසිතුවම් අනුරාධපුර යුගයේ චිත්‍ර කලාවට නෑකම් කියනවා වගේ ගතියක් තියෙනවා .
රාහුල හාමුදුරුවන්ගේ කවිත්වයේ අග්‍ර ඵලය සැලලිහිණිය කියලා මටත් හිතෙනවා.බොහොම ශබ්ද සහ අර්ථ මාධූර්යයෙන් යුතු කවි තියෙනවා .මම කැමති "මග වැනුම " කවි වලට
සන්නන් සිහින් ගෙඳි සෙවණලු වැලිතෙලෙන
තැන් තැන් වලම සැතපී සියුමැලි බැවින
රන් වන් කරල් ගෙන එන ගිරවුන් අතින
යන් මන් තොසින් මග තොරතුරු නියම දැන
මේ කවිය කියනකොට මට නිතරම මතක් වෙන්නේ සිංහබාහු නාට්‍යයේ සිංහයා කියන සින්දුවක්
තැන් තැන් වල ලැගි සන්නන් මුවන් රැල ගන්මින් බුදින්නට රස බොජුනා
වන් නෙත් අඳුන් බඳු දූ පුත් රුවන් දැක මන් සන්තොසින් වලඳමි සමගින්
සැලලිහිණි කවි නොයෙක් තාල දාලා ගායනා කෙරෙව්ව ගුරුතුමෙක් අපිට හිටියා.තොවිල් කවි තාලෙටත් අපි කවි කිව්ව.ඒ නිසා ඉබේ කට පාඩම් වුණා .
නරකද ඔයාගෙ කැලණි පන්සලේ ලිපිය ඉක්මනට ලිව්වොත් .වියට්නාම් වලත් බොහොම ප්‍රසිද්ධ පන්සල් තියනවනේ .ඉක්මනට ඒවයෙත් විස්තර ලියන්න
Sujeewa Kokawala,
ReplyDeleteමටත් කමෙන්ට් එක දැම්මට පස්සේ ඔය අදහසම ආවා සුජීව. නිවාඩුවක් දාලා පන්සල් ටික බලන්ටම ආවා නම් හරි කියලා හිතෙනවා. අනෙක ඔය කවි පොත් ටිකත් බලාගත්තා නම් වඩාත් හොඳයි කියලත් හිතෙනවා. ඒත් මම කවි පොත් කියවන්ට නම් ටිකක් විතර හොරයි.
පොඩි කුමාරිහාමි
ReplyDeleteසිංහල භාෂාවේ තියෙන ලාලිත්‍ය හා මධුර සුගායනීය රසය ඔය කවි පොත් වල කවි කියෙව්වොත් (ගායනා කලොත්) දැනේවි
නිවාඩුවක් දාලා ආවොත් ඔය තැන් බලන්න යන ටුවරිස්ට් ගයිඩ් වැඩේ මම කොරන්නම් .හැබැයි ඇවිදින්න ජීප් කටුවක් වත් හොයාගන්න වෙනවා
TG;
ReplyDeleteතනිකර ම පන්සල් විතරක් නොවෙයි. කොච්චර නම දේවල් තියෙනවද? පහත සඳහන් කරන්නේ මෑත ඉතිහාසය ගැන විවිධ තැන්වලින් ඇසු දුටු කියවූ මතක සටහන් කීපයක්. මුලාශ්‍ර මතකයේ ඉතිරි වී නැහැ.
කෝට්ටේ රාජධානිය කියන්නෙ අද කාලේ කට්ටිය බෝඩ් වෙන කුලියට ඉන්න ඉඩම් ගන්න ගෙවල් හදන දකුණු හා නැගෙනහිර කොළඹ නගරය [මෙට්‍රෝ සිටි නොවේ] නෙ. නැදිමාල අස්සේ තියෙනවා කඩවත කියා ගමක්. කවුරුත් දන්නවා ඒ නම්න්ම නුවර පාරෙත් ගමක් ඇති බව. මේවා කෝට්ටේ නගරේ කඩවත් හතරෙන් දෙකක් කියලයි මගේ මතය. ඉතිරි දෙක කොහෙද දන්නේ නැහැ.
ඔය මැලිබන් ලඟින් හැරිලා අත්තිඩිය, පැපිලියාන, ගම්සබා, කට්ටිය, ජුබිලි, පහු කරගෙන කෝට්ටේ යන පාර [හරියට ම අද තියෙන එකම නොවේ] තමයි ඒ කාලේ ප්‍රධාන පාර. ගාලු පාරක් තිබ්බේ නැහැ ලූ. මොරටුව පැන්නම ආයිත් කොටුවට යනකම් මාළු ගම් කිහිපයක් විතර ලු තිබ්බේ.
ඔන්න ඔය ගමක උන්න පෘතුගීසි සිංහල මිශ්‍ර [පහතරට ගොඩක් අය මෙහෙම බව ඒ අයවත් දන්නේ නැහැ] ලොවිනා කියන කෙල්ල ගෙ ආණ්ඩුකාරයා එක්ක බැඳී ආදර කතාවයි "ලොවිනගේ කඳුගැටය" උඩ හැදු මාලිගාවයි ඔක්කොම දන්නවා ඇතිනේ.
කෝට්ටේ පැත්තේ යන කොට හමු වෙනවා උස බැමි වගේ කඳු. අර වතුර ටැංකිය ගාවින් ඇවිත් පාගොඩ පාරට වැටෙන්නේ. ඒවා ඇත්ත කදුද නැත්නම් එකල හැදු නගරාරක්ෂක බැමි ද කියල සැක හිතෙනවා. මොකද ඒ වගේ කඳු පිහිටන්න අමාරුයි.
කෝට්ටේ කියා නටඹුන් නැත්තේ පෘතුගීසින් එක සහමුලින්ම කොල්ල කෑ නිසා. ඒත් එකේ හිටි මිනිසුන් ට මොකද උනේ? කොට්ටෙ ඉන්න බැරි වෙච්ච එවුන් කළුතර හා ගාල්ල දිස්ත්‍රික් දෙකට සංක්‍රමණය වෙලා තියෙනවා. idp සෙට් ඒකෙන ලන්දේසි කාලේ ආයිත් එන්න ලැබුනේ පදිංචිය ඔප්පු කල අයට පමනයිලු. ගාල්ල හා කළුතර දිස්ත්‍රික්ක එහි පහසුකම් වලට සාපේක්ෂ ව අධි ජනගහන වලින් යුක්තයි. හේතුව මං හිතන්නේ මේ නගර වාසීන්ගේ සංක්‍රමණය.
අදත් මේ මුළු පළාතේ ම කසාද රෙජිස්ටර් කරන්නේ සල්පිටි කෝරලේ කියලා. ඒ කාලේ [බොහෝ විට ලන්දේසි කාලේ] මේ පළාතේ කෝරලේ මහත්තයා හිටි මහා නගරය තමයි කැස්බෑවේ හල්පිට [අද පොඩි ගමක්] මොරටුව දෙහිවල නුගේගොඩ ඇතුළු මුළු පළාත ම මේ කොරලේටයි අහුවෙන්නේ. කෝට්ටේ හල්පිට පැපිලියාන මොරටුව කොළඹ ඔන්න ඒ කාලේ නගර.
කොම්පඥඥවිදිය [මේක හරියට ලියාගන්න බැහැ] කියන හරිය ලන්දේසි කාලේ දුපතක් ලු නෙ. 1757 විතර මේක වටේ තිබ්බ මහා වගුර හරහට ආපු අලියෙක් එවකට නගරය වූ කොළඹ කොටුවට ඇතුළු වෙලා යකා නැටු බවත් ඌ පසුව මරා දැමු බවත් සඳහන් වෙන සටහනක් තියෙනවලු. ඔය කාලේ ටීජී ලගේ අද්යාපන ආයතනය තියෙන තැනින් ලු මේ පැත්තේ ඉවුර තිබ්බේ. ඒ කියන්නෙ අලි ඉන්න කැලයක්.
එතකොට ඊට එහායින් තිබ්බේ සොයිසාගේ කුරුඳු වත්ත 1900 විතර කාලේ. තවමත් පොලිසියේ නම කුරුඳු වත්ත නෙ. පහුගිය සියවස ආරම්බයේ ලංකාවේ උන් ඉතාමත් ම වැදගත් මිනිසුන් දෙදෙනෙක් ඉන්නවා. ධනය බලය අතින් මුළු අධිරාජ්‍යයත් හොල්ලපු අය. එක්කෙනෙක් මොරටුවේ සොයිසා. ටවුන් හෝල් ඉඳං මොරටුවට වෙනකම් තියෙන පොඩි ඉඩම් කෑල්ල අයිත කරගෙන හිටි ඔහුගේ සියලු නටඹුන් විනාස වී ගොස්. අන්තිමට 1960 ගණන වල මිනිපිරියකට අයිති මාලිගාවක් තිබ්බලු. ඒ ඉඩම් ටික කට්ටි කඩලයි ගොළු මඩම/බොරුපන හරියේ තියෙන ගෙවල් ටික හදලා තියෙන්නේ. මාලිගාව පාර කියන පාර ට නම දැම්මේ මේ මාලිගාව නිසා. සොයිස ගැන පොතක් තියේලු මට අද වෙනකම් හමු වී නැහැ. ආසයි කියවන්න. සොයිසාගේ පිළිමේ තියෙන්නේ ටවුන් හෝල් එක ළඟ. කාක්කොත් සලකන්නේ නැහැ පොරට දැන්.
අනික ලොක්ක තමයි මඩුවන්වෙල මහා දිසාවේ. එයාගේ මහා වලවුව ලෙසටම තියෙනවා සුරිය කන්ද හරියේ. ගිහින් බලන්න මං මෙතන නාස්ති කරන්නේ නැහැ ඒ ගැන.
තවත් එවැනි ප්‍රදෙශාධිපතියෙකුගේ සුපිරි මාලිගාවක් තියෙනවා කලතර රිච්මන්ඩ් කාසල් කියලා. ගිහින් නැත්නම් යන එන ගමනක ගොඩ වදින්න. ඔරලෝසු කණුව ලඟින් හැරිලා කිලෝ මීටර කිහිපයක් දුර.
මතක තිබ්බ සටහන් ලිව්වේ. ඔක්කොටම මුලාශ්‍ර නැහැ. සොයිස කියන්නෙ මොරටුවේ ඉන්න පරණ පවුල් වල අය කටවහරින් දන්නා මිනිහෙක්. මාත් ඒ වගේ අයත් එක්ක නිවාඩු වෙලාව්වට කතා බහ කරලා එකතු වෙච්ච දැනුමත් මෙතන. ඒ කිව්වේ මේක 100% නිවැරදි නොවන්නට හැකි බවයි.
දිග වැඩි ද මන්දා. මේ ඔක්කොම ජීවිතය හා බද්ධ වී ඇති ඉතිහාසය. ඔබ අප උදේ හවස මේවා අවට ගැවසෙනවා.
මේ වගේ තැන් වල ආයිත් යන්න ආසයි. ඒත් මොනවා කරන්නද? ආයිත් ඉතින් නාකි වෙලා තමයි.
TG පාසල් යන කාලේ කළ පාඩම් තුනක් ආයෙම කියෙව්වා. ඉතිහාසය, චිත්‍ර හා සිංහල සාහිත්‍යය. සංදේශ කාව්‍යයන්, පන්සල් චිත්‍ර මේවා තමා අපේ ඉතිහාසයෙන් වර්තමානයට එන එකමදේ. අනික් සියල්ලම වගේ අභාවයට ගිහින්නේ.
ReplyDelete@ පොඩ්ඩි
විදාගම හිමියන් හැදුවේ සරස්වතී තෛලය. එය අශ්ව ලෝමයකට ටිකක් ගෙන සත්වරක් ගසා දමා ඉතිරිවන ටික දිවේ තවරා ධර්ම දේශනාවට ගිය විට ඉක්මනින් යමක් මතක් කරන්න පුළුවන් බව පැවසෙනවා. රාහුල හිමියන් මෙය සම්පූර්ණ කුප්පියම පානය කරා යැයි පැවසෙනවා. ඉන්පසු සිහිමුර්ජාවී සිටි නිසා දින හතක් (මතක ආකාරයට) මවුකිරෙන් පිරවූ බෙහෙත් ඔරුවක ගිල්වා තබා තියනවා. මේ නිසා එම හිමියන්ට ඕනෑම දෙයක් දෙවතාවක් ඇසූවිට මතක තබා ගන්න පුළුවන්. කාලයක් සරස්වතී තෛලය භාවිතා කළ වීදාගම හිමියන්ට එක් වරක් ඇසූ දේ මතක තිබෙනවා.
තොටගමු විහාරයේ පුස්ථකාලය එකල පැවති සෑම පොතක්ම තිබූ එකම පුස්ථකාලය බව පැවසෙනවා.
කියන්න ගියාම ගොඩක් දේ මතක් කරන්න පුළුවන්.
මම කලින් වෙසක් එකට ඓතිහාසික හිඳගල රජමහා විහාරය බලන්න ගියා. එහි මහනුවර යුගයේ චිත්‍ර ගණනාවක් තියනවා. ඒවා සමග පෝස්ට් එකක් දාන්න හිතෙනවා.
තරංගා මේක නම් හොඳම පොස්ට් එකක්.
@පොඩ්ඩි;
ReplyDeleteඉස්සර නම් මාත් සාහිත්‍යය ගැන සැහෙන්න පිස්සුවකින් හිටියේ. ඒත් දැන් වෙන ලෙඩ එක්ක ඒ ගැන හිතන්න බැහැ. කාලයත් එක්ක මතකයත් සිදුරු වෙලා [මෙමරි ලීක්].
නිවාඩු වෙන ම ගන්න වෙන්නේ ඇයි? තවම මාස තුනේ දෙසැම්බර් නිවාඩුව ලැබෙනවා නොවේද?
@TG,
ReplyDeleteබොහෝම තැන්කූ ආයෙමත් පාරක් O/L කාලෙ සාහිත්‍යය, ඉතිහාසය මතක් කොරලා දුන්නට.. අර ගිරා සංදේශයේ "සිටි පැටියෙන් හෙරණුන්ගෙන්" කවි පන්තිය මාත් ඒකාලෙ බොහෝම ආසාවෙන් රසවින්ද එකක්..
මගේ ඉතිහාසය මතකය හරිනං ඔය තොටගමුවේ විජයබා පිරිවෙන හැදුවේ දඹදෙණියේ රජකරපු දෙවෙනි පරාක්‍රමබාහු රජු.. එයා තමා ඔය බොහෝම ප්‍රසිද්ධ කෑරගල පද්මාවතී පිරිවෙන, පැපිලියානේ සුනේත්‍රාදේවී පිරිවෙන (එයාගෙ මෑණියන් වූ සුනේත්‍රා දේවිය සිහිවෙන්න) වගේ ඒවත් හැදුවෙ.. දෙවෙනි පරාක්‍රමබාහුගෙන් පස්සෙ සිංහල සාහිත්‍යයේ ස්වර්‍ණමය කාලය එන්නෙ කෝට්ටේ යුගයේ හයවෙනි පරාක්‍රමබාහුගෙ කාලෙ..වීදාගම හිමියන්, රාහුල හිමියන් වගේ අය බිහිවෙන්නෙත් රාජ්‍ය අනුග්‍රහය නොඅඩුවම ඒඅයට ලැබෙන්නෙත් මේ කාලෙ..
සැලලිහිනිය අහන්න හා ගයන්න කැමැත්තෝ මෙන්න මෙතනට යන්ට.. කවුරු කලත් මේකනං බොහොම පිංඅතේ වැඩක්..
http://epothgula.com/selalihiniya/
රාහුල හාමුදුරුවන් ගැන ජනප්‍රවාදයේ කතා බොහොමයක් තියෙනවා.. මෙන්න එයින් කීපයක්..
මහණවෙන්න පෙර පොඩිකොල්ලා කාලෙ එයා දවසක් බිලීබානවා වතුර වලක් ගාව පෝය දවසක.. ඔතනින් යන්න එනවා පස්සෙ එයාගෙ ගුරුතුමාවුන වීදාගම හිමියන්.. වීදාගම හිමියන් දකිනවා මේ බිලීබාමින් ඉන්න කොල්ලා, දැකලා අහනවා "මේ පෝ දා බිලීබාන්නේ තා කොයි 'වල' යන්ටද?" කියලා.. කොල්ලත් අරින්නෙ නෑ ගත් කටටම කියනවා "හාමුදුරුවනේ, මේ 'වල' නැතිනං අනිත් 'වලට' යනවා" කියලා.. කොල්ලගෙ මේ මුඛරි කතාවෙන් පැහැදෙන වීදාගම හිමියන් තවතවත් විස්තර අහනවා.. අහලා තේරුම්ගන්නවා හොද බුද්ධිමත් කොල්ලෙක් බව.. ඉතිං මේ කොල්ලව එක්කගෙන ගිහිං හයවෙනි පරාක්‍රමබාහු රජුට බාරදෙනවා විස්තරේ කියලා.. රජතුමා මෙයාව තමන්ගෙ පුත් තනතුරේ ඇතිදැඩි කරනවා.. එහෙමයි තොටගමුවේ ශ්‍රී රාහුල කියන චරිතය බිහිවෙන්නේ..
ඔය කියපු සරස්වතී තෛලය මුලින්ම තියෙන්නෙ වීදාගම හිමියන් ගාව.. ඒක බොහෝම බලගතු තෙලක්ලු, ගන්න ඕනෙ අස්ව ලොමක අගට එන බිංදුවක් තරම් ප්‍රමාණයක්ලු.. වීදාගම හිමියන් බණකට එහෙම වඩිද්දි මේකෙන් ෂොට් එකක් දාලලු යන්නෙ එතකොට බොහොම මිහිරිවට බණ කියන්න එහෙම පුලුවන්ලු.. ඉතිං මේක කීපදවසක්ම බලන් හිටපු රාහුල සාමනේර තැන තීරණය කොරනවලු මොකක්ද මේ ගුරු හාමුදුරුවන්ගෙ තෙලේ බලේ කියලා දැනගන්ට.. ඉතිං දවසක් අරවගේ වීදාගම හිමියන් බණකට ගියාට පස්සෙ ආවාසෙ අස්සෙ හොයලා හොයලා තෙල් බෝතලේ හොයාගන්න අපේ රාහුල සාමනේර තැන එක හුස්මට ගුඩු ගුඩු ගාලා බෝතලේම ඉවරකොරනවා.. තෙලේ බලේ කොච්චරද කියනවනං උන්නාන්සෙ එතනම සිහිනැතුව පතබෑවෙනවා මලා වගේ.. මේ පන්සලේ ඇතිදැඩි වෙනවා ගිරවෙක්, මූ දකිනවා සීන් එක.. ඉතිං වීදාගම හිමියන් බණ අහවරවෙලා ආපහු පන්සලට වඩිද්දි ගිරවා මගට යනවා කෑ ගහගෙන "හාමුදුරුවනේ තොටයා මලා, තොටයා මලා" කියාගෙන.. සීන් එක දැකලා වෙලා තියෙන්නෙ මොකක්ද කියලා දැනගන්න වීදාගම හිමියන් දවස් ගානක් බෙහෙත් ඔරුවක දාලා සාත්තු කරලා තමා රාහුල සාමනේර තැනට ආයෙමත් සිහි එලවන්නෙ.. රාහුල හිමියන්ට ඔයතරම් කාව්‍යකරණයේ හැකියාවක් ඇතිවුනේ ඔය සරස්වතී තෛලයේ permanent effect එක නිසාය කියලයි කියන්නෙ..
හික් හික්.. මම කොමෙන්ට එක ටයිප් කරලා දාද්දි ප්‍රියන්තත් ඒකම දාලා තියෙන්නෙ, අපූරුයි.. එහෙනං ඔන්න මං තව කතාවක් කියඤ්ඤං..
ReplyDeleteතොටගමු විහාරයේ පුස්ථකාලය එකල පැවති සෑම පොතක්ම තිබූ එකම පුස්ථකාලය කියලා ප්‍රියන්ත කියපු කතාව හරි.. ඒ බව ලංකාවෙ විතරක් නෙවේ ඉන්දියාවෙ පවා ප්‍රසිද්ධලු.. ඉතිං මේ ගැන සෑහෙන්න හිත්වේදනාවෙන් ඉන්න එක්තරා බමුණෙක් ඉන්දියාවෙ සිට එනවා වීදාගම හිමියන්ව පරද්දන්ට, එයා අලුතෙන්ම ලියපු පොතත් අරගෙන.. බුවාට හොදටම ෂුවර්නෙ මේ පොත තොටගමු විහාරයේ නෑ කියලා.. ඉතිං ඇවිත් අහනවා "හාමුදුරුවනේ ඔබවහන්සෙ ගාව මේ පොත තියෙනවද?" කියලා.. වීදාගම හිමියන් කියනවා "මේ පොත තියෙනවද නැද්ද දැනගන්ට එහෙනං කියවමු බලන්ට ඔය පොත" කියලා, එහෙම කියන ගමන් රාහුල හිමියන්ට පොඩි ඉගියක් කරනවා.. ඉතිං දැන් බමුණා පොත කියවගෙන යනවා එක සීරුවට, රාහුල හිමියන් අනිත් කාමරේ ඉදං මේක පිටපත් කොරනවා අලුත්ම පුස්කොල වලට.. ඉතිං ඔන්න පොත කියවලා ඉවරවුනාට පස්සෙ බමුණා අහනවා බොහොම ජයග්‍රාහක ලීලාවෙන් "කොහොමද, තියෙනවද?" කියලා.. වීදාගම හිමියන් අහනවා "රාහුල, මේ පොත අපි ගාව තියෙනවද?" කියලා.. එතකොට රාහුල හිමියන් අනිත් කාමරේ ඉදන් එනවා "පොත අපි ගාව තියෙනවා, හැබැයි තාම කළු මැදලා නං නෑ" කියාගෙන.. ඉතිං අර බමුණා නෝන්ඩිවෙලා යන්ට යනවා..
සුජීව ,පොඩ්ඩි, බුරා,ප්‍රියන්ත,බින්දි
ReplyDeleteහරි නියමයි.ඔයාලගේ කමෙන්ට් වලින් ආයෙත් කෝට්ටේ යුගය , ගැන හොඳ වැදගත් කරුණු කාරණා ගණනාවක්ම සංවාදයට ලක්වෙලා .
පන්සල ගැන ලියද්දී කෝට්ටේ යුගයයි ,රාහුල හාමුදුරුවො ගැනයි තිබුණ ජනප්‍රවාද ඔක්කොම මේකෙ ලියන්නේ කොහොමද කියලා මම කල්පනාකලේ .බුරයි ,ප්‍රියන්තයි ඒ වැඩේ නියමෙටම කරලා.
බූරෝ බොහොම ස්තුතියි ,පිං අර සැලලිහිණි කවි අහන්න පුළුවන් ලින්ක් එක එව්වට . ඊයේ ගිරා සන්දෙශය හොයන්න ගෙදර අනික්පැත්තගහපු වෙලාවෙ මට හිතුනා ඔය පොත් ඊ බුක්ස් හැටියට තිබුණනම් කොයිතරම් හොඳද කියලා .
මේ පෝස්ට් එක ලියලා හොඳ සංවාදයක් ඇතිකිරීම ගැන මාත් ගොඩක් සතුටු වෙනවා.
හෙට අනිද්දා මගේ කෝස් එකේ තාර බර අඩු වෙනවා. මටත් ටිකක් වෙලාව නිදහස් වෙයි. දාමුද මේ කවි පොත් නෙට් එකට? මොකද කොපි රයිට් අවුලකුත් නැහැනේ.
ReplyDelete@බුරා
ReplyDeleteමම බමුණාගේ කතාව ටයිප් කරන්න එනකොට ඔයා ඒක දාල තියෙන්නේ. අපි ඒ ඉගෙනගත් දේ රසය තවම නොඅඩුව දැනෙනවා නේද?
ඔය කතාවට පොඩි සංශෝධනයක් තියනවා. විදාගම හිමියන්ට එකවරම මතක තිබුනත් රාහුල හිමියන්ට දෙවරක් ඇහෙන්න ඕන. බමුණා කියවන විට එය මතක ඇති විදාගම හිමි එය නැවත කියනවා. දෙවරක් අසන රාහුලහිමි එය ලියනවා.
අර ගල්උඩ ඉන්නක් සිටවූ නැකතේ කතාව දන්නවාද?
@TG,
ReplyDeleteපොත් ඊ බුක්ස් හැටියට තිබුණනම් හොඳයි හා ලේසියිනම් තමා.. ඒත් ඒ වගේද මුද්‍රිත පොතක පිටු අතරින් එන සුවඳ විඳ විඳ (පරණ පොත් තමා මමනං වැඩියම කැමැති) පොතක් කියවන එක..
@සුජීව,
ආන්න කොරනවනං වැඩ.. පට්ටාං ගන්නවානං කියන්ට, මාත් පුළු පුළුවන් විදියට සප් එක දෙඤ්ඤං..
@ප්‍රියන්ත,
ReplyDeleteදනිමි සුවාමීනී දනිමි.. :)
Guys I have to sleep now
ReplyDeleteදැන් නිදාගන්න ඕනෙ .හෙට මහ පාන්දරින් නැගිටලා රාජකාරියකට බිංතැන්න පැත්තේ යන්න.good night thanks for the comments again !
@TG,
ReplyDeletee-books ගැන හොයද්දි මේං මේ ටිකත් හම්බවුනා.. බාගෙන තියාගන්ට..
http://www.subasa.lk/pothgula/download.php
බින්තැන්න පැත්තෙ යනවා කිවුවා.. එහෙනං බින්තැන්නෙ මහහූරාවත් මතක්කොරා කියන්ට..
හැබෑට ඔයා නිසා හොඳ සහිත්‍ය රස වින්ඳයක් වාගෙම හොඳ දැනුමකුත් ලැබුවා.සැළලිහිනි සංදේශයෙ කවිටික විවේක වෙලාවක රසවිඳින්න ඕනේ.වෙසක් සතියේ සැමට පින්!
ReplyDeleteවලවූ වල ආවතේව කළාට මොකෝ බුරාගේ සාහිත්‍ය දැනුම ඉස්තරම් . ප්‍රියන්ත, සුජීව ..හැමෝමත් සාහිත්‍ය ලෝකයේ පීනපු අය වගේ . හරිම සතුටක් ඇතිවුණා. තවමත් අපට මෙවැනි රසවත් අදහස්ද බෙදා ගත හැකි වීම ගැන. මුලපුරපු TG ට මෙන්න හැනොයි වලින් මල් කුඩයක්ම.
ReplyDeleteඅපොයි TG,
ReplyDeleteඉතාම රසවත් සංවාද මණ්ඩපයක් නෙව මට මඟ ඇරිල තියෙන්නෙ,
Better Late than Never....heh, heh
තොටගමුවෙ හාමුදුරුවොයි වීදාගම හාමුදුරුවොයි ගැන තවත් ජන ප්‍රවාද කීපයක්ම මතකයට නැඟුනා. ගුරු හිමියන්ට බළල් වසුරු කැවූ අන්දම සහ යකුන්ගෙන් වැඩගත් හැටි ඒවයින් දෙකක්.....
ස්තූතියි TG නැවත වරක් මෙවන් රසබර සංවාදයකට මුල පිරීම පිළිබඳව.
රවි අයියා,
ReplyDeleteයකුන්ගෙන් වැඩගත් කතාවනං මට මතකයි.. ඒවුනාට ගුරුහාමුදුරුවන්ට බළල් වසුරු කැවූ කතාව මතකෙට එන්නෙ නෑ නේ..දාන්ටකො බලන්ට පරණ මතකය අලුත් වෙන්ටත් එක්කලා..
පලි: මේ ගුරු-ගෝල දෙනම පස්සෙ කාලෙක තදින්ම විරසක වුන බවනං ප්‍රසිද්ධ දෙයක්නෙ.. එහෙමනං ඔය කතාව ඒ කාලෙ වෙච්චි දෙයක් වෙන්ටැ..
මෙතන කතන්දර සාගරයක්නෙ. ඉතිහාසය, සම්භාව්‍ය සාහිත්‍යය, ජන සාහිත්‍යය, ගවේෂණ... හැම එකක්ම. කතිකාවතට මුල පිරූ TG ටත්, නොයෙක් අප්‍රකට තොරතුරු හා කතා පුවත් ගෙන ආ හැමෝටම තුති.
ReplyDelete@නලිනි
ReplyDeleteඔවු කවුරු කවුරුත් තමන් දන්න ජනප්‍රවාද , කෝට්ටේ යුගයේ සාහිත්‍ය විස්තර ලියලා බ්ලොග් ලිපියේ අගේ වැඩි කරලා .
@ බූරා & රවි
යක්කුන්ගෙන් වැඩ ගත්තු කතාව නම් මතකයි . දවසක් රාහුල හාමුදුරුවො දුර බැහැර පිරිතකට වැඩලා සවස්කොරේ පන්සලට එන්න දෝලාවට ගොඩවෙලා යක්කුන්ට කිව්වලු "තොටගමුවට ගෙනියපල්ලා" කියලා . යක්කු ඉතින් හාමුදුරුවො උස්සගෙන යක්කුන්ගේ ගමට යනවලු .රාහුල උන්නාන්සෙටත් විඩාවට ඇහැපියවෙලා .අවදිවෙලා බලද්දී අමුත්තක් දැනෙනවලු . අමුතු සද්ද ඇහෙනවලු . කාරණේ අවබෝධ වුණ උන්නන්සේ කිව්වලු "යකුනේ තොටගමුවට නෙවේ මටගමුවට යමල්ල "කියලා .යක්කු දෝලාව හරෝගෙන තොටගමු පන්සලට ආවලු .
බලල් වසුරු කතාව නම් මම දන්නේ නෑ. නරකද ඒකත් කිව්වොත් .
කට්ටියම කතන්දර කියන කොට ඉන්න අමාරුයි බලාගෙන. මට මේක හරියටම විශ්වාස නැහැ හරි පුද්ගලයෝ දෙන්නද කියලා. හැබැයි මේ අය සොයාගත් ක්‍රමවේදය අද ධ්‍රැව ගවේෂණ කටයුතු වලට යොදාගන්නවා.
ReplyDeleteහාමුදුරුවෝ දෙනමක් වෙනත් රටක ගමනක් ගිය වෙලාවක ඒ රටේ අය මේ දෙන්නව අල්ලලා හිරේක දානවා. මේ හිරේ හරිම සීතලයි. පොරවන්න රෙද්දක් වත් දීලා නැහැ. ගැහි ගැහි හිටිය නම් හෙට වෙද්දී මියැදිලා. මේ දෙන්න කරන්නේ පරණ තරහක් අරන් පොර බදන්න පටන් ගන්න එක. දෙන්නා දාඩිය පෙරා ගෙන පොරකනවා. වෙන මොකුත් ආයුධයක් යොදා ගන්නේ නැහැ. පස්සෙන්දා උදේ වෙනතුරු මේ සටන යනවා. අන්තිමට මහන්සි වුනත් ශරීරය වෙහෙසීමෙන් ලද තාපය නිසා මේ දෙන්නට සීතලෙන් හානි වන්නේ නැහැ.
මේ දෙන්න රාහුල හිමි හා වෑත්තෑවේ හිමියන් කියයි මට මතක. ෂුවර් නැහැ.
කය වෙහෙසීම තුලින් සිතල මග හරවා ගැනීම ධ්‍රැව ගවේෂණයේ යන අය කරන දෙයක්. [අහුබුදු උන්නැහේ උන්න නම් කියයි "ධ්‍රැවයටත් මුලින්ම ගියේ අපේ හෙළයෙක්" කියලා]
ගුරු ගෝල ප්‍රශ්නය ගැන කල පල නොකියා පලා බෙදීමත්, එය සංසිඳවා ගන්නට ගුරු භක්තිය වෙනුවෙන් ලියු ගුත්තිලයත් කවුරුත් දන්නවා ඇති.
මට මේ කතා ඇහුවම හිතෙන්නේ රාහුල හාමුදුරුවන් හොඳ හයේ හතරේ පොරක් කියලා, අනික ආගමාලයට වඩා සාහිත්යාලය නිසා සසුන ගත වුන. බන දහමට වඩා මේ පුද්ගලයා ගැන ඇහෙන්නේ දේශපාලන හා චන්ඩි කතා නේ. ආශ්‍රය කලෙත් රජ පවුල. ලිව්වෙත් බොහොම රොමැන්ටික් පොයම්ස්. කෙල්ලන්ගේ අංග පසඟ හරි අඟලට ලියන්න කිසිම චකිතයක් නොතිබ්බ හිමි නමක්.
වඩාත් ආගමට බර කවි ලිව්වට වෑත්තෑවේ හිමියන් නම් පස්සේ සිවුරු ඇරියාලු.
තව ප්‍රශ්නයක්. ඇයි රාහුල හාමුදුරුවෝ වෑත්තෑවේ හිමියන්ට නමක් නොදැම්මේ?
@සුජීව,
ReplyDeleteඔයාගෙ කමෙන්ට් එක කියෙවුවට පස්සෙ මට පොඩි ප්‍රශ්නයක් පැනනැගුනා.. රාහුල හිමියන්ගෙ ගුරුවරයා වීදාගම මෛත්‍රිය හිමියන්ද නැත්තං වෑත්තෑවේ හිමියන්ද..?? මට මතක තිබුනෙ වීදාගම හිමි වගේ.. පොඩ්ඩක් හොයලා බලන්ට ඕනේ..
// එහිමියන්ගේ ගුරුවරයා කවරක් ද යන්න ගැන පැහැදිලි සඳහනක් හමු නොවෙතත් ඒ වීදාගම මහාස්ථවිර නමින් ප්‍රකට වූ හිමිනමක් බව අනුමාන කෙරේ. මේ වීදාගම හිමියන් බුදුගුණ අලංකාරය ලියූ වීදාගම හිමියන් නො වේ. //
ReplyDeleteවිකියේ නම් කියන්නෙ එහෙමයි..
නලිනි;
ReplyDeleteරාහුල හිමියන් ගේ ගුරුතුමා විදාගම. රාහුල හිමියන් ගේ ගෝලයා තමයි වෑත්තෑවේ.
රාහුල හා වෑත්තෑවේ හිමියන් දෙන්නම් කවියන් නිසා ගෝලයා කෙරෙහි උපන් ඉරිසියාවට පන්සලෙන් පලයන් කියා කියන්න [වැඩිය ප්‍රසිද්ධ නොවුනට අද පන්සල්වල සුලබ කතාවක් මේක] කෑම පිඟානේ කිහිප තැනකට [පස් තැනක් නේද?] පලා බෙදලා තිබ්බා කියනවා. "පල පල පල පල පල" කියන්න. මෙව්වා ඉතින් මිස් අන්ඩර්ස්ටෑන්ඩින් වෙන්නත් බැරි නැහැ.
තමන් ගුරු භක්තිය ඇති අයෙකු බවට ඔප්පු කරන්නට ලු ගෝලයා ගුත්තිලය ලිව්වේ. ලාබාල දක්ෂයින්ට ඉඩ අහුරමින් මැජික් බලෙන් හා හිතවත් කමින් තනතුරු අල්ලන් ඉන්න නාකි ඩයල් එකක වීර කාව්‍යයක් නේ මේක. ඒ කාලේ හිතන විදිහ තමයි ඒ.
විදාගම හිමි වරුන් දෙන්නෙක් ගැන මාත් අහලා තිබුනා වගේ මතකයි.
මතකය දිරාපත් වෙලා ගිහින්. බිතු සිතුවම් රූ මෙන් තවමත් අප සමග සිටියට පොඩ්ඩි කිව්වා වගේ අපේ මතකයන් දැන් අව්වට වැස්සට හේදිලා ගිහින්.
කෝට්ටේ යුගය හා රාහුල හාමුදුරුවො ගැන සංවාදේ නැගල යනව වගේ . බොහොම හොඳයි .
ReplyDeleteඒත් සමාවෙන්න ඕනෙ . මට ආයෙත් වෙලාව හොයගන්න විදියක් නෙතිවෙනවා ටික කාලෙකට කමෙට් වලට උත්තර ලියන්න සහ අහස්ගව්වෙ අලුත් පෝස්ට් දාන්න . නහය ගාවට වැඩ ගොඩක් තියෙනවා ජුලි 15ට කලින් ඉවර කරන්න . රාජකාරි වැඩකට නිවාඩු අරන් එහෙමම ඇනුවල් ලීව් දාල ඇවිදින්න ප්ලෑනක් තියෙනවා .ඒකෙත් සැලසුම් ගොඩක් දේවල් තියෙනවා . දමල ගහල නිවාඩු දාල යන්න බෑනේ .යන්න කලින් ඇග්‍රිමන්ට් කීපෙක වැඩ ඉවර කරලා , පිලිවෙලක් කරන්න ඕනෙ. ඉතින් ජුලි ඇනුවල් ලීව් ගන්න උපක්‍රම සොයමින් ඉන්නව . රාජකාරි ලීව් අනුමත වුණා අද උදේ.ගමනට ලෑස්තිවෙන්නත් තියෙනවා .ලොකු ප්‍රශ්න පත්තරයකට උත්තර ලියන්න ඕනෙ . ටිකක් රිසර්ච් කරන්න වෙනවා.තව පොත් පත් ටිකකුත් කියවගෙන මොලේ අලුත් කරගන්න ඕනේ . යන්න කල් තිබුණට දැන් තියා ගෙවල් දොරවල් වල කටයුතු ගැනත් සොයල පිලිවෙල කරල තියන්න වෙනවාය .ඔඅය අතරේ පුද්ගලික අංසයේ ආයතනයකට ප්‍රසන්ටේෂන් එකක් කිර්‍රිමට සිදුවී ඇත .ඊට ලෑස්තිවෙන්න උවමනාය . ඔක්කොම ඉතින් මට තනියෙන් කරන්න වෙනවාය . වලව්වේ පොඩි කුමාරිහාමි ලමයාගෙන් හරි අහන්න ඕනෙ කවුරුවත් මගෙ උදව්වට එවන්න බැරිද කියල පුද්ගලික ලේකම් වැඩේට .
එකී මෙකී නොකී සියලු හේතු නිසා අහස්ගව්වට කෙටි විරාමයක් දෙනවාය . ඒ ගැන සමාවෙන්න . එතකන් මගේ පරණ කතන්දර කියවා ඒවයේ ගුන දොස් විමසන්න .
ප/ලි
ඉඩක් ලැබුනොත් පුංචි කතාවක හරි ලියන්නම්ය . හැමෝගෙම කමෙට් මට ජී මේල් එකට ලැබෙනවා. ඒවා නොවරදවා කියවනවා.
මීට
TG
@සුජීව,
ReplyDeleteමතකය දිරාපත්වෙලා කියලා කිවුව කතාව ඇත්ත වගේ.. ප්‍රශ්නෙ ඇහුවෙ මං, ඔයා උත්තර දීලා තියෙන්නෙ නලිනිට.. හික්ස්.. ඒත් කමක් නෑ උත්තරේ ලැබුනනෙ, තෑන්ක්ස්.!!
අපි කියවන තරමට මේ තරමටවත් මතකයේ තියෙන එකත් ලොකුදෙයක් නේ.. ඇයි දෙයියනේ කොච්චරනං කියලා ඔළුවට වැටෙනවද.. :)
@TG,
අප්පා, නහයටත් තව චූටිත්තක් ඉහලින් වැඩනේ මැඩම්ට.. හොදා හොදා ඕවා ඉවරකොරන් එඤ්ඤකො..
මෙන්න කැමති අය බලන්න ලංකාවේ පැරණි සිතියම.
ReplyDeleteඇන්ද කාලේ හා විස්තර ටිකක් තිබ්බ නම් අගෙයි. මං තවම හොයනවා කෝට්ටේ රාජධානියේ සිතියමක්. අර ගාලු පාරට කලින් තිබ්බ පාර [දැන් 117 බස් පාර].
මේ පන්සල මමත් අනන්ත වතාවක් නරඹල තියෙනවා. ඒ වුනත් ආයේ යනකොට අලුත් අත්දැකීමක් කියලා දැනෙනවා. හරිම සුන්දර තැනක්. අර වගේ කාමදේව ප්‍රතිමාවක් තියෙන එකම පන්සල මේක. ඒවගේම ගල් උළුවස්සට උඩින් තියෙන පන්චනාරි ගැටය අපූරු චිත්‍රකර්මයක්. විහාර මන්දිරයක් ඇතුලේ තියෙන විශාලම විෂ්ණු දේව ප්‍රතිමාව තියෙන්නෙත් මේ විහාරයෙමයි.
ReplyDelete