Sunday, May 8, 2011

නමස්තේ පොකරා 1 -කඳු මංපෙත් අතරින්

Phewa Lake

Boat ride in the Lake


Lake Pewa ,Pokahra city and Mountains

Machchaya Putri get cleared
Headloading woman climbing hills

මේ සටහන කියවන්න කලින් මගේ නේපාලෙට සැපත්වීම ඉස්සෙල්ල කියවල ඉන්න.

අපේ පුහුණුව අවසන්වුනේ අප්‍රේල් දොලොස්වෙනිදා .අවුරුදු දවස් දෙක නේපාලෙම ගතකරලා එන්න තමයි මගේ කල්පනාව.මෝනගේ අදහස වුනේ දවස් දෙකකින් නරඹන්න පුලුවන් ගොඩක් දුර නැති පොකරා (Pokahra) වලට යන්න .පොකරා කත්මඩු වල ඉඳලා කිලෝමීටර 225 විතර ඈතින් තියෙන ලස්සන සංචාරක නගරයක් . ගුවනින් යනවනම් කත්මන්ඩු ඉඳලා  පැයබාගෙකින් යන්න පුලුවනි .යන්න එන්න ගුවන් ටිකට් පතක් නේපාල් රුපියල් 3000-4000 අතර වෙනවා . බස් එකක යනවනම් පැය හයක් ගතවෙනවා.ට්‍රැවල් ඒජන්සි වලින් ටුවරිස්ට් බස් එකක සීට් බුක් කරන් යන්න පුලුවනි . ටිකට් එකක් නේපාල් රුපියල් 700-1000 අතර වෙනවා . නමුත් පොකරා යන පාරේ තියෙන මනකම්මා දේවාලය වගේ තව සංචාරකයන්ගේ හිත්ගත්තු  තැන් වල  නවත්වමින් යන නිසා ගමන හෙමින් .මට තියෙන්නෙ දවස් දෙකක් වගේ කෙටිකාලයක් නිසා මහ පාරට වෙලාව නාස්තිකරන්න බැහැනේ. ඉක්මනින් , ලාබම ක්‍රමේට පොකරා යන්න වෙන්නෙ කත්මන්ඩු වල ග්‍රීන් ලයින් බස් නැවතුමෙන් මයික්‍රො වෑන් එකක නැගල යන එක.මේ හයි ඒස් වෑන් වලින් දුරගමන් මගීන් ප්‍රවාහනය කරන විදියක් . පොකරා වලට මයික්‍රො වෑන් එකකින් යන්න ටිකට් එකක් නේපාල් රුපියල් 400.


ඒත් පුහුණුවට ආව වැඩිදෙනෙක් මට නතුරු ඇඟෙව්ව වැහි කාලෙ ඔහොම වෑන් වලින් කිලෝමීටර 225 යන එක ඒතරම් හොඳ දෙයක් නෙවේ කියල.ඒ කතාවෙ පොඩි ඇත්තක් තිබුණා. කඳු ,හෙල් ,මහා පල්ලම්, දල බෑවුම් වලින් පිරුණ මේ පාරේ නිතරම නායයාම් , රිය අනතුරු බහුලයි .ඒත් ඉතින් එහෙම කියලා ගමන අතාරින්න පුලුවන්ද?.කොයිකටත් ගොදාවරියේ ට්‍රැවල් කවුන්ටරෙන් විපරම් කලාම ඒ අය කිව්වෙ මේ දවස් වල එහෙම  ප්‍රශ්නයක් නෑ යන්න පුලුවනි කියලා .කඳුකර පාරක  මෙහෙම බස් එකක යනකොට පොඩි විනෝදෙකුයි ත්‍රාසජනක ගතියකුයි තියනවනේ .මම ඉතින් රට තොට ,මිනිස්සු , ජනජීවිතේ දකින්නත් හරි කැමතිනිසා මයික්‍රො වෑන් එකකම පොකරා යන්න තීරණේකලා.


අපි ගමන පිටත්වෙන්න තීරණය කලේ දහතුන්වෙනිදා එලිවෙන පාන්දර හයට විතර. කලින් වතාවක මට මුණගැහිලා අඳුනගත්තු මෝනාගේ හොඳම මිතුරියක් වුණ සමීරාත් (සෑම්)  අපේ නඩේට එකතුවෙනවා. පොකරා පිටත්වෙන්න ඔනෙ නිසා මම දොලොස්වෙනිද රෑ මෝනගේ ගෙදර නතරවුණා.ඔන්න එදා තමයි මෝනගේ කෙලි පැංචි අදිතිව හම්බවුනේ අවුරුදු දෙකකට පස්සේ.දැන් එයාට අවුරුදු හතයි. මගේ ඉන හරියට විතර උස ගිහින්.පොඩි එකා මාව දැක්ක හැටිය දුවගෙන ඇවිත් අතින් අල්ලගෙන  එයාගෙ කුකුළු පැටවු බලන්න එක්කගෙන ගියා.පස්සේ අපි දෙන්න හෙලිකොප්ටරේත් උඩ ඇරියා.හිතුවට වඩා සෑහෙන්න දුරක් ඒක උඩයනවා.අදිතිට හරි සතුටුයි.මෝනගේ නැන්දත් මාමත් දෙන්න මාව ආදරෙන් පිලිගත්තා. නැන්දා මට තේ බොන්න පකෝඩා එක්ක තව විශේෂ කෑමක් ලෑස්තිකරගෙන ආවා.


This is "Beaten Rice " .Its a rice supplementary for us . Try it machan

 මෝනා කිව්ව . ඔන්න හොඳට බැලුවම දැක්කේ මේ අපේ හබල පෙතිනේ. වෙනස මේ අය හබලපෙති අපි වගේ අතුරුපසක් විදියට නෙවෙයි බත් වෙනුවට කන ප්‍රධාන ආහාරයක් විදියට පාවිච්චි කිරීම.අපි හබලපෙති වතුරේ දාලා පොඟවලා ගත්තට මේ අය නිකන්ම කෑමට ගන්නවා කඩල ,පරිප්පු එහෙම මිශ්‍ර කරලා හැදූ වෑන්ජන, අඹ අච්චාරුත් එක්ක . ඒකත් හරි අපූරු රහයි . ඔය අතරේ මම එයාලට කිව්වා අපි ලංකාවෙ හබලපෙති හදන විදිය . නැන්දා හුඟක් උනන්දුවෙන් අහගත්තා අත්හදා බලන්න .


අපි දෙන්නම කලින් නිදාගන්න ගියාට මොකෝ ඉතින් පරණ පුරුදු ලෙඩේ හෙවත් කයිවාරු ගැහිල්ල නිසා එදත් නිදාගන්නකොට එලිවෙන පාන්දර දොලහට විතර ඇති.උදේ පහට විතර ඇහරිලා ඉක්මනට ඇඳ පැලඳගෙන හීතලේ ගැහි ගැහිම ග්‍රීන් ලයින් බස් නැවතුමට ගියා.සෑම් ඒවෙනකොටත් අපි එනකන් මග බලමින් හිටියා .තුන්දෙනාම ටිකට් අරන් වෑන් එකේ පස්සෙම සීට් එකේ හරිබරි ගැහුනා.


බස් එක කත්මන්ඩු වලින් පිටත්වුන වෙලේ ඉඳලා මග දිගටම වහිනවා.හරි හීතලයි.රියදුරයි කොන්දොස්තරයි දෙන්න වෑන් එකට මගියො පහලවක් විතර පටවගෙන තිබුණා.මේ වාහන වල ජම්පින් සීට් වෙනුවට වේවැල් වලින් වියපු පොඩි ස්ටූල් තුනක් සීට් අතරට හිරකරලා ඒවට මගියො නග්ගගන්නේ නගරේ පහුවෙලා අතරමගදී. වැඩිදෙනෙක් උදේ පාන්දර නිසා නිදි කිරනවා .ඒත් අපි තුන්දෙනා පස්සෙ සීට් එකට වෙලා වගේ වගක් නැතුව කියව කියව හිනාවෙනවා.දැන් දැන් කත්මන්දු පහුකරගෙන බස් එක ඇදෙනවා ලොකු කඳු නගිමින් , පල්ලම් බහිමින් .පහල මහා ප්‍රපාතාකාර බෑවුම් බලන්නත් බයයි .ඒ මැදින්  නිල් කැටේට වතුර පිරුණ ත්‍රිශූලි ගංගාව වැස්ස නිසා සැර වුණ සැඩ පහර නංවමින් ගලනවා. පල්ලමේ තියෙන ගම් තාමත් තද මීදුමෙන් වැහිලා ඒ අතරින් හෙල් මලු විදියට වවපු කුඹුරු යායවල් , කැරට්.ගෝවා , බ්‍රොකලි පාත්ති,ගෙවල් වල කුස්සියෙන් අහසට යන දුම් රොටු  පේනවා .යන පාර දිගේම සැඟවෙමින් මතුවෙමින් කිරි පාට පෙන නගමින් ත්‍රිශූලී ගංගාව ගලනවා.ඔලුවෙ ඉඳන් දෙපතුල වෙනකන් පොරවගත්තු ගැමියො පහල බෑවුමේ ගම් වල ඉඳලා ගොවි බිම් වලට ඇදෙනවා .


අපේ වෑන් එකත් සෑහෙන්න වේගෙන් ඇදෙනවා.මීදුම පිරුණ කඳු වලල්ලේ පින්තූර අරගෙන ඉවරයක් නැති බව තේරුණහම මම වැඩේ අත ඇරල දැම්ම.උදේ නවය විතර වුණත් තාමත් වැහිබර අහස.හීතල නිසා හොඳටම බඩගිනියි .නිදාගෙන හිටි උදවියත් එකා දෙන්න ඇහැරිලා  ඇඟමැලි කඩනවා .කාටත් බඩගිනියි ටොයිලට් යන්නත් ඕනෙ.රියදුරාටනම් තාමත් ඒ ගන වගක් නෑ පාගල යනවා වැස්සෙම .අන්තිමට බස් එකේ මගියො කීපදෙනෙක් එයත් එක්ක වාද කරලා යන්තම් කෑම කඩේක නවත්තගත්තා .හම්මෝ බස් එකෙන් එලියට පැන්නම දැනුන සනීපෙ. මේ කෑම කඩේ එවෙලෙම උණු උණු උදේ කෑම හදල දෙනවා . අපිත් 'තුප්ප නූඩ්ල්සුයි" (ටිබෙටියන් විදියට හදන නූඩ්ල්ස්)  චායේ තුනකුයි ඕඩර් කරලා කෑමට වාඩි වුණා .ටික වෙලාවකින් උණු උණු නූඩ්ල්ස් කෝප්ප තුනක් මෙසෙට වැඩියා.ඒ තමයි මම මෙච්චර කාලෙකට කෑව රසම රස නූඩ්ල්ස් .


කාලා බීලා ඉවරවෙලා ආයෙ ගමන පටන්ගන්නකොට බස් එකේ  කාටත් නව පණක් ඇවිල්ලා.කවුරුත් ලඟ ඉන්න අය එක්ක  කතාවට වැටිලා. වැහි අඳුර මැකිලා ලා හිරු එලිය මෝදු වෙනවා.කඳු වැටි එයාල දවටගෙන හිටි මීදුම් සේල උනා දමලා ඉරු රැස් නානවා. අපේ රියදුරා එයාගේ කැසට් යන්ත්‍රය උස් හඬින් දැම්ම.නේපාල , හින්දි , ඉන්ග්‍රිසි කලවම් ගීත වාදනය වෙනවා .අපිත් තුන් දෙනා පිටිපස්සේ සීට් එකේ ඉඳන්  මෝනගේ මොබයිල් පෝන් එකේ රෙකෝඩ් කරල තිබුණ සින්දු අහන්න ගත්තා.හරි මරු. වෑන් එකෙ ඉස්සරහෙන් එක සංගීතයක්.පස්සෙන් තව සංගීතයක්.බස් එක ගම් නගර පහුකරගෙන ඇදෙද්දී මට පොටෝ කීපයක් ගන්න ඕනෙ වුණත් ඒ අදහස අත් ඇරලා දාන්න වුණා බස් එකේ වේගෙ වැඩි නිසා.



අපි පොකරා ටවුමට එනකොට දවල් දොලහමාරයි .හොඳට ඉර පායලා ."ඇවිදින්න යන්න හොඳ කාලගුණයක්" බස් එකෙන් බහින ගමන් සෑම් කිව්ව.අපේ නවාතැන වුනේ පිව්හා විල කිට්ටුව අතුරු පාරක තිබුණ බ්‍රෝඩ්වේ ඉන් කියලා පොඩි ගෙස්ට් හවුස් එකක් .පොකරා සංචාරක කර්මාන්තෙට ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ මේ ලස්සන විල් සහ ඒ වටේ තියෙන කඳු පන්ති නිසා. සංචාරකයන්ට වෙන්වුණ නවාතැන් අවන්හල් මේ සියල්ලම ගොනු වෙලා තියෙන්නෙ පිව්හා විල (Phewa Lake)  වටේ.බැලූ බැල්මටම පොකරා කියන්නේ බොහෝ සංස්කෘතීන් මිශ්‍රවුන මල්ටි කල්චරල් තැනක් . අවන්හල් , මග තොට යන එන මිනිස්සු , කඩ සාප්පු ඒක මැනවින් විදහාපානවා.කොන්ඩ වවාගෙන ,ටිබෙටියන් ඇට මාල දාගත්තු , ඕම් ලකුණ සහිත ටී ශර්ට් ඇඳගත් සංචාරකයන්ගෙන් මේ පොඩි නගරය පිරිලා.


අපි ට්‍රිපල් රූම් එකක් අරගෙන නාලා ටිකක් මහන්සි ඇරලා දවල්ට කාලා පිව්හා  විල වටේ සිරි නරඹන්න පිටත්වුණා. මෝනා සහ සෑම් දෙන්න තමයි ඔක්කොම ප්ලෑන් කලේ . විල දිහාට යන ලේක් සයිඩ් පාර ජනයාගෙන් පිරිලා ඉතිරිලා . සමහර තැන් වල ලොකු ගස් යට පාපැදි නවතලා තියෙනවා .ඕන කෙනෙකුට එයින් එකක් කුලියට අරන් විල වටේ සවාරි යන්න පුලුවන් .නේපාල් ජාතිකයොත් එයාලගේ නේවාරි අලුත් අවුරුද්ද සමරනවා අප්‍රේල් දාහතරවැනිදා .ඉතින් අවුරුදු නිවාඩුවට ට්‍රිප් ඇවිල්ල ඉන්න දේශීය සංචාරකයන්ගෙනුත්  නගරය පිරිලා .හැමෝම පවුල් පිටින් සතුටුවෙන්න විවේකගන්න පොකරා ඇවිත්.


පිව්හා විල නිල්පාට ජලතලයකින් පිරුණ ඇස් පෙනෙන මානෙකට යනකන් මීදුමෙන් වැහුණ කඳු වලල්ලකින් වටවුණ හරිම ලස්සන තැනක් . විලේ බෝට්ටු සවාරි යන්න පුලුවන් .අපිත් බෝට්ටුවකට නැගුනා.මම බෝට්ටුවල යන්න ටිකක් බයයි ඒත් විලේ ලස්සන  දැක්ක යන්න හිතුනා.ඔන්න ආයෙත් කඳු පෙල අඳුරු මීදුම් වලාවකින් වැහිලා හිරි පොද වැටෙනවා.හිරි පොද වැස්ස කපාගෙන අපේ බෝට්ටුව විල මැද තියෙන "බරායි" -(Barahi)දේවාලෙ දිහාට ඇදෙනවා.එන්න එන්න වැහි අඳුර වැඩි වෙනවා හිරි පොද ලොකු වැහිබින්දු වෙලා සට සට කියලා වැටෙනවා . මට ඒවෙලාවෙ මතක්වුනේ තාගෝර් තුමාගේ බංගාලි කවියක්.විල වටේ බෝට්ටු සවාරි යන කවුරුත් බරායි දේවාලෙට ගොඩවෙලා නමස්කාර කරලයි යන්නේ.


බරායි දේවාලෙට පඬුරු දාලා අපි ආයෙත් පිටත්වුනා විලේ අනික් ඉවුරට යන්න .වැස්ස හොඳටම සැරවෙලා හීතල හුලඟයි මීදුමයි එක්ක අපි විල් ඉවුරට ගොඩ බැස්සේ තෙත බරි ඇඳුම් පිටින් .එතනම තිබුණ අවන්හලට ගියේ ටිකක් උණුසුම් වෙන්න .තුන්දෙනාම හොට් චොක්ලට් පානයක් ඕඩර් කරලා කතා නැතුව විල දිහා බලාගෙන ඉන්නවා. වැස්සත් මීදුමත් කඳු වලල්ලත් හරි චමත්කාරජනක සුන්දරත්වයකින් පිරිලා .වහිද්දී මුලු දවසම වුණත් මෙතන ඉඳ විල දිහා බලන් නිස්කලංකේ ඉන්න පුලුවන් .ජීවිතේ රස විඳින්න සතුටුවෙන්න සොබාදහම මොනතරම් සොඳුරු දේවල් නිර්මාණය කරනවද කියලා මට හිතුණා.


දැන් හවස තුනයි .ආයෙත් ගමන පිටත්වෙන්නයි අපේ සූදානම . මේ අවන්හල කිට්ටුවෙන් තියෙන කඳුකර කැලෑපාරක් දිගේ කිලෝමීටර හතරක් විතර පයින් ඇවිදගෙන කඳුමුදුනේ තියෙන සාම ස්තූපය (World Peace Pagoda) දැක බලාගෙන ගම් මණ්ඩි මැදින් පහලට බහින්නයි අපේ කල්පනාව .

මෝන අපේ නඩේ ගුරා .එයා මට කියලාදුන්න මහන්සි නොවී කඳු නගින විදිය.ජන ශූන්‍ය කඳුකර කැලෑ පාරක හේදිලා ගිය ගල් පඩි , දල බෑවුම් දිගේ අපි උඩට නගිනවා . ගන සැරේට නොවුනත් උසට වැවුන ගස් කොලන් වලින් මග දෙපස පිරිලා. තාමත් වහිනවා .වැහිබින්දු සිරි සිරි ගාලා ගස් වල කොල උඩට වැටෙනවා. මගේ සීත කබායත් ,තොප්පියත් දෙකම තෙත්වෙලා . ටිකදුරක් යද්දී හොඳටම හති .එතකොට මෝනා සහ සෑම් දෙන්න "මචන් යූ කැන්" කියලා මාව දිරිමත් කරනවා .ආයෙත් අපි ගමන පිටත්වෙනවා.ඔහොම දල බෑවුමක් නැගලා උඩට යද්දී පුංචි තැනිතලා බිම් හම්බවෙනවා . එහෙම තැන්වල ටිකක් මහන්සි අරිනවා . මීදුමෙන් වැසුන පිව්හා විලත් පොකරා නගරයත් හරි ලස්සනට මේ තැන්වලට පේනවා.මගේ කැමරාව මේ සියල්ලම රූගත කරගන්න දඟලනවා.ඔයවගේ එක තැනකදී මෝන මට පෙන්නුවා පිව්හා විල ආරම්භවෙන තැනත් මීදුමෙන් වැහුන සිකිම් මනිපාල් විශ්වවිද්‍යාලයත්.ඉඳහිට පහලට බහින සංචාරකයෙක් දෙන්නෙක් අරුණම මිනිස් වාසයක් දකින්න නැති පරිසරයක් . කුරුලු හඬයි , වල් සමන්පිච්ච මල් වල සුවඳයි ,සිසි සිරි ගාල වහින සද්දෙ එක්ක හෙමින් හෙමින් අපි මේ කඳුකර කැලෑ පාරෙන් ඉදිරියට යනවා .කොහොමහරි හති දාගෙන  වෙහෙස නොබලා අපි සාම ස්ථූපය ගාවට ආවා.


මගේ ජීවිතේ දැක්ක සොඳුරුම දසුනක් තිබුණේ එතන .ඒවෙනකොට වැස්ස නතරවෙලා කඳුවලින් ලා හිරු කැරලි එබෙනවා .අඳුරු  වලාකුලු මෑත්වෙලා ලා නිල්පාට අහසේ තවරලා ඒ මැදින් සුදු හිමෙන් වැහුන අන්නපූර්ණා කඳුපෙල මෝදුවෙනවා .අපි තුන්දෙනා ආයෙත් අත් අල්ලගෙන කතා නැතුව ඈත කඳු දිහා බලන් සමාධිගතවෙලා හිටියා.ඒ තරම් ලස්සන දර්ශනයක් අපේ ඇස් ඉදිරිපිට මැවිලා තිබුණා.අන්නපුර්ණා වැටියේ හිමෙන් වැහුන  මච්ච පුත්‍රි  (Machyapucharee , Fishtail) කඳු මුදුන  හෙමින් මෝදුවෙනවා වලාකුල් අතරින්.ඒ වෙලාවෙ තමයි මට හිතුනේ වැස්ස සහ හිරු එලිය පරිසරයට දෙවිදියක ලස්සනක් ගේනවා කියලා


මගේ ගමන් මහන්සිය කොහේ ගියාද කියල නැහැ. තෙතබරි වුන සීත කබායත් තොප්පියත්  ගලවලා දාලා  බැහැගෙන යන  හිරු කිරණ විඳින්න මට ඕනෙ වුනා . සෑහෙන්න වෙලාවක් නිහඬව ස්ථූපය ගාව හිටිය අපි තුන්දෙනා අත් අල්ලගෙන පහලට බැස්සේ ඒ ලඟ තිබුන පොඩි කඩ පොඩ්ඩෙන් තේ ටිකක් බොන්න .


කඩේ ඉස්සරහ පිදුරු හෙවිලි කරලා උණබට වලින්  පුංචි  පැලක් හදාලා ලී බංකු කීපයක් තියලා තුබුණා සංචාරකයන්ට ගිමන් අරින්න . බිස්කට් පැකට් එකකුත් අරන් තේ බොන ගමන් අපි කතාකලේ කලබලෙන් පිරුණ විවේකයක් නැති ප්‍රශ්න ගොඩක හිරවෙලා ඉන්නවට වඩා මොනතරම සැහැල්ලුවක් මේ පරිසරයෙදී දැනෙනවද කියලා . තේ කඩේට ආව වයසක ආච්චිලා දෙන්නෙක් අපිට කිව්වෙ වැඩිය රෑවෙන්නෙ නැතුව පහලට යන්න කියල .අපි ඒ දෙන්නටත් අපේ ගානෙ තේ අරන්දීල ටිකක් කතාකලා.දෙන්නටම වයස හැත්තෑවකට වැඩියි.කවදාවත් ඉස්කෝලෙ ගිහින් නෑ.දරු මුනුබුරො ගොඩක් එක්ක පහල කඳුකර ගමේ ජීවත්වෙනවා . අපිට තරම සංකීර්ණ ජීවිත මේ මිනිස්සුන්ට  නැහැ.


තේ කඩේ ඉඳන් අන්නපූර්ණා වැටිය  සිඹින අවසන් හිරු රැස් දහරත් නෙතට හසු කරගත් අපි ආයෙත් ගම් මණ්ඩිය මැදින් හේදිලා ගිය ගල් පඩි අතරින් පහලට බැස්සා.පහලට බහින එක ඒ තරම් අමාරු නැහැ.  පොකරා නගරයේ ගොඩනැගිලි ගිනිපෙට්ටි වගේ පේනවා. හවස්කරේ කඳුකර නිවෙස් වල ගෑනු හරක් රංචු පිදුරු මඩු වලට ගාල් කරනවා .මේ පිදුරු මඩු හඳුන්වන්නේ "තුවා" කියල . හරක් ගාල් කරන්න , දර ,පිදුරු ගබඩා කරගන්න යොදාගන්න මේ පිදුරු මඩු කඳුකර ගම් වල  සුලබ දසුනක් . පොඩි ළමයි මිදුලේ සෙල්ලම් කරනවා .පහල නගරයට වැඩට  ගිය ගමේ උදවිය කඳුකර පාර දිගේ ගෙවල් වලට එනවා .බොහොමයක් ගෑනු උදවිය හාල් , එලවලු පිරුණ බඩුමලු පිටේ එල්ලන් කන්ද නගිනවා .මේ මිනිස්සු හැමදාම උදේ හවස කඳු පලම් නගිමින් බහිමින්  දුක් විඳගෙන ජීවිත සටන ගෙනියනවා .සමහර ගම් වැසියො අපිට නමස්තේ කියමින් පටු ගල් පඩි දිගේ පහලට බහින්න උදව් කලා .මෙහෙම ගමක ලෙඩක් දුකක් වුනෝත් ඉතින් දෙවියන්ගේ පිහිට ඇර වෙන පිහිටක් නෑ.ඒත් මේ මිනිස්සු ගෑනු එහෙම කියලා ජීවිත සටන අත ඇරලත් නෑ.ජීවිතේ බොහොම සුලු සැප පහසුකමක් නැතිවුණත් මැසිවිලි කියන අපිට මේ මිනිස්සු,ගෑනු  හොඳ ආදර්ශයක් හැමදේම නැතිවෙලා ගියත් ආත්ම දහිරියෙන් ජීවිතේ ගෙනියන්න .මේ ගමන සිහිවෙන්න මම කඳුපාරෙන් ගල් කැට කීපයක් අරන් සාක්කුවට දාගත්තා .


කඳුකර පාරෙන් පල්ලම් බැස්ස  ගමන අවසන් වුණේ ඩේවිස් ෆෝල් කියන තැනින් . පිව්හා විල මහා දිය ඇල්ලක් විදියට මෙතැනින් අවසන් වෙනවා. පිව්හා විල තරණය කරගෙන කැලෑවක් මැදින් ගිය අපේ කඳුකර ගමනත් මෙතැනින් අවසන් වුණා.


ප/ලි
පොකරා ගමනේ අමතක නොවෙන අත්දැකීම තමයි මේ කඳුකර කැලෑ පාරෙන් වැස්සට තෙමීගෙන ගිය ගමන .ලංකාවෙදි නම් මම ඇස්මා හැදෙනවට බයේ කිසිම දවසක තෙමීගෙන මෙහෙම ගමනක් යන්නෙ  නැහැ. නමුත් එදා හොඳටම තෙමිලත් මාව ලෙඩ වුනේ නැහැ.පොකරා නගරයේ වීදිසැරිය ගැන තව කතන්දරයක් තියෙනවා .ඒක එන සතියේ ලියන්නයි කල්පනාව .  නීතට විශේෂ ස්තුතිය .එයා කියවන්න මග බලාගෙන ඉන්නව කිව්ව නිසා මට කතාව ඉක්මනට ලියන්න හිතුණා

පොකරා ගැන තව විස්තර කියවන්න ආසනම් මෙන්න මෙතැන්නින් බලන්න පුලුවනි .

Saturday, May 7, 2011

නේපාලයට සැපත් වුණෙමි-හිත මිතුරු සෙනග හමුවීමි



Mo Moos
Godavari Village Resort , Tawukhil,Lalithpur-Kathmandu


අප්‍රේල් හත්වෙනිදා එලිවෙන පාන්දර  දොලහට විතර  වර්ෂ අවසාන  ව්‍යාපෘති වාර්තාව ලියලා හමාරකලා.මේ වාර්තාව බාරදෙන්න තව සති දෙකක් විතර තිවුණත් විදෙස් ගතවෙන හැම වෙලාවකම  මම කැමති මගේ ඔක්කොම වැඩ රාජකාරි අහවර කරලා යන්න .අවුට් ඔෆ් ඔෆිස් ඊ මේල් එකත් දාලා ,ඇක්ටින් වර්ක් ඇරේන්ජ්මන්ට් වලට කෙනෙකුත් පත්කල වග කියලා සේරම වැඩ අහවර කරල ගියහම හිතට සනීපයි .එලිවෙන පාන්දර හතරට විතර ගුවන්තොටුපොලට යන්න වෙනවා .නිදාගන්න වැඩිවෙලාවක් නෑ. ඔක්කොම වැඩ අහවර කරල ගමන්මලු දෙකත් හරි බරි ගස්සලා ලොක් කලා .මේ දෙකම පිරිල තියෙන්නෙ වැඩි හරියක් යාලුවන්ට් ගෙනියන පොඩි පොඩි තෑගි වලින්.මෝනගේ දුව අදිති වෙනුවෙන් ගත්තු රිමෝට් කන්ට්‍රෝල් එකකින් උඩයන හෙලිකොප්ටරය සහිත පාර්සලයත් මගේ බැක් පැක් එක ලඟින්ම තිව්ව අමතකවෙලා දාල යාවි කියන බයට .මේක දාන්න තරම් ඉඩක් මගෙ ට්‍රැවල් බෑග් දෙකේම  නෑ.බැරිවෙලාවත් අමතකවෙලා ගියොත් පොඩි එකා හරියට දුක්වේවි.එයා මම එනකන් මග බලාගෙන ඉන්නෙ මේ සෙල්ලම් හෙලිකොප්ටරේ එක්ක සෙල්ලම් කරන්න.කෙලි පැංචි මට ස්කයිප් වලින් කතාකරලත් ඒ ගැන විස්තර ඇහුවා.


යාන්තන් ඇහැ පියාගෙන එනකොට එලාම් එක වැදුනා පාන්දර තුනයි . ඉක්මනට ලෑස්තිවුනා තුනහමාර වෙද්දි ගුවන්තොටුපොලට මාව ගෙනියන ටැක්සිය එනවා. ඔය අතරේ කෝල් එකකුත් ආවා ටැක්සි රියදුරාගෙන් තව මොහොතකින් එනවා කියලා . වැඩි වෙලා ගියේ නෑ වාහනයක් ගේට්ටුව ගාව බෙරිහන් දුන්න.යාන්තන් වාහනේට ගොඩවෙලා හරි බරි ගැහිලා බම්බලපිටිය හරියෙදී ඇහැ පියාගන්න හිතුව විතරයි මෙන්න තව කෝල් එකක් ,


"මිස් මේ xz එයාර්පෝට් ටැක්සි සර්විස් එකෙන් අපි දැන් මිස්ව පික් කරන්න ඇවිත් ඉන්නෙ අංක දොලහ ගෙදරට "


මේ මොන අපබ්‍රංසයක් ද ? අපේ කන්තෝරුවෙ ඇඩ්මින් නෝනට මොකක් හරි පටලැවීමක් වෙලා ටැක්සි දෙකක්ම මට බුක් කරලා වගේ .හපෝයි ඒ රියදුරා එක්ක කතාකරල මනුස්සයට ඒක ඒත්තුගන්නන්න සෑහෙන්න වෙලාවක් ගියා .යාන්තන්න ආයේ ඇහැපියවෙන්න එනකොට මෙන්න කටුනායකට ඇවිත්.


තව පැයක් විතර නිදිමතේ එකල මෙකල වෙවී ඉඳල බැග් එක කාර්ගෝදාල ඉමිග්‍රේශන් පාස්කරල ගියා කියමුකෝ.අන්තිම සිකුරටි චෙකින් එකේදි තමයි වැඩේ වුනේ. අරෙහෙන් මෙහෙන් ලයිට් පත්තුවෙනවා සද්ද ඇහෙනවා. සෙල්ලම් හෙලිකොප්ටරේ රිමෝටෙක ඩිටෙක්ට් වෙලා . ගුවන් හමුදා නිලදාරිණියත් , ගුවන්සේවයේ නිලදාරීනුත් කලබල වෙලා . ප්‍රස්නේ ටිකක් බරපතලයි . රිමෝට් එකෙන් උඩයන සෙල්ලම් හෙලිකොප්ටරයක් නිසා  මේක කැබින් දාන්න දෙන්න බැහැ කියලා ඔවුන් කියනවා . අන්තිමට ලඟ තිබුන පොලිතින් බෑග් දෙකක දාලා පාර්සල් කරලා තව මොනවදෝ ෆෝර්ම් එකකුත් පුරවලා දුන්න කාර්ගෝ දාන්න හෙලිකොප්ටරය ගැන තියන ඔක්කොම ආසාවල් අත ඇරලා.දැන් ඉතින් හිත හදාගන්න වෙනවා මේ පොඩි පාර්සල් එක ,මහ බෑග් එක්ක තෙරපිල කැඩිල බිඳිල යාවිද මන්දා.දිල්ලියෙදි ට්‍රාන්සිට් වෙනකොට මේක මගේ කත්මන්ඩු ගුවන්යානයට යාවිද කියලත් සැකයි .මොනව කරන්නද? පොඩි එකාට දිල්ලියෙ ඩියුටි ෆ්‍රී එකෙන් චොක්ලට් එකක්වත් අරන් යනවා කියල හිත හදාගත්තා.


ගමන පිටත්වුන වෙලේ ඉඳන් කරදර .ඔහොම හිත හිත සිකුරටි චෙකින් ඉවරවෙලා සපත්තු දෙකේ ලේස් ගැටගහගෙන නැගිටිනකොටම  දැකල පුරුදු මූණක් . ආයෙත් හොඳට බැලුව. බොහොම පිලිවෙලට ඇඳලා ගාම්භීර පෙනුමත් එක්ක එයත් මට හිනාවෙනවා. දෙවියනේ ඔන්න දැන් මතක්වුනේ මේ ප්‍රොෆෙසර් නිලංකා නේද ?. විශ්ව විද්‍යාලෙන් පිටවෙලා අවුරුදු හයකට විතර පස්සේ මැඩම්ව දැක්කේ.ඉක්මනට ගිහින් කතාකලා .එතකොට තමයි අපි  දන්නේ අපි දෙන්නම එකම ගුවන් යානෙන් නේපාලෙට යනවා ප්‍රොෆෙසර් නිලංකා අපේ පුහුණුවේ දේශක වරියක් හැටියට සහබාගි වෙනවා .මම ආයෙත් එයාගෙ ගෝලයෙක් වෙලා.


යාන්තන් ගුවන්යානය ගුවන් ගතවුනහම තමයි හිතට සැහැල්ලුවක් ආවේ ,ඒපාරනම් ඇස්දෙක පියාගත්තා හොඳට.පැයබාගයක් විතර ප්‍රමාදවෙලා තමයි ගුවන් යානය දිල්ලියට ගොඩබැස්සුවේ.ඉන්දිරාගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොල "කොමන් වෙල්ත් ගේම්" වලින් පස්සේ හරියට හැඩ වැඩ වෙලා .ඒත් සෑහෙන්න දුරක් කිලෝමීටර එකකට වඩා ඇවිදගෙන එන්න වෙනවා ට්‍රාන්සිට් කවුන්ටරයට. එතන හරිම කලබලගෑනියක් .


නේපාලෙන් ආව ගුවන් යානයක් ප්‍රමාදවෙලා ගොඩබැහැලා .ඒකෙන් ආව ලන්ඩන් , ෆ්‍රැන්ක්පර්ට් , මිලානෝවලට ට්‍රාන්සිට් වෙන සුදු ජාතිකයන්ගේ දිග පෝලිමක් . මේ ඔක්කොම ඉක්මනට සිකුරටි චෙකින් කරලා යවන්න ගුවන් සේවා නිලධාරීන් උත්සාහ කරනවා .


එනි ජෙට් එයාර්වේස් පැසෙන්න්ජර් ටු මිලානෝ ෆ්‍රැන්ක්පර්ට් ?
වර්ජින් පැසිෆික් එයාර්වේස් පැසෙන්ජර්ස් ටු ලන්ඩන් ?
මිලානෝ ෆ්‍රැන්ක්පර්ට් ජෙට් එයාර්වේස්...
වර්ජින් ලන්ඩන් වර්ජින් ලන්ඩන්


බොහෝ මගියො හතිදාගෙන ට්‍රාන්සිට් කවුන්ටරයට දුවගෙන එනවා .සිකුරටි චෙකින් වලට ගියහම ඉන්දියන් පොලිස් කාරයො කෑගහනවා ලැප්ටොප් එක තරම් අපරාධකාරයෙක් ලෝකෙ කොහේවත් නෑ වගේ . ඒ මදිවට කාගෙද සුද්දෙක්ගේ සාක්කුවක තිබිල ලයිටරයක් අහුවෙලා එක ජංජාලයයි


 මේ හැමෝගෙම ගුවන් යානා වලින් මගීන් කැඳවන අවසාන නිවේදන නිකුත්වෙනවා. ගුවන්සේවකයො කෑගහනවා "ගේට්ස් ඕපන් උපර් උපර්" කියල (ඉන්දියන් ක්‍රමේට අපර් කියන්නේ ඔහොම ) 
මේ කලබගෑනිය බලාගෙන ට්‍රාන්සිට් පෝලිමේ ඉන්නකොට මට මතක්වුනේ පොඩිකාලෙ ඉගෙනගත්තු නර්සරි රයිම් එකක තාලෙ. මම ඒ තාලෙ  දාල විකාර කවියකුත්  ගෙතුව


Virgin London Virgin London
Madam Laptop ....Madam Laptop
No match box... No Match Box
Gates Open..... Gates Open
"Uper Uper .".
Finala call....Final call
London on Fire ...Fire


මම හදිස්සි කාරයො කීපදෙනෙකුට ඉඩදීල පෝලිමේ ගිහින් ට්‍රාන්සිට් වුණා.තව කිලෝමීටරයක් විතර ඇවිදගෙන ගිහින් මගේ ගුවන්යානාවට පිවිසෙන ගේට්ටුව හොයාගෙන හති අරින්න හිතුව විතරයි කවුදෝ මගේ පිටට තට්ටු කලා . ටිකක් වියපත් ප්‍රසන්න පෙනුමක් තියෙන ලස්සන සුදු ,කලු කපු සල්වාර් එකකින් සැරසුණ කාන්තාවක් හිනහවෙමින් හිටියා.


"ඔයා zzzz ආයතනයෙන් නේද ? " එයා අහනවා
.
මම පුදුමෙන් වගේ බලද්දි එයා හිනාවෙලා මගේ  බැක් පැක් එකේ ගැටගහල තිබුණ රාජකාරි කාඩ් පත පෙන්නුවා.එයා අපේ ආයතනයේ උපදේශක වරියක් හැටියට කාලයක් වැඩ කරලා තියෙනවා .මගේ යාලුවො කීපදෙනෙකුත් දන්නවා .ඇයත් මම යන පුහුණුවටම නේපාලෙට යනවා . අපේ ගුවන් යානෙ පැය බාගයක් ප්‍රමාද නිසා ලඟ තිවුණ කෝපි හලට ගිහින් හොඳ කය්යික ගහගෙන තේ බිව්ව.


ඔය ඔක්කොම ජර මර පහුකරගෙන අතුරු ආන්තරාවක් නැතුව නේපාලෙට සැපත්වුණේ එදා හවස තුනට විතර. ගොඩබැහැපු ගමන් ආයෙත් මතක්වුනේ පොඩි එකාගේ හෙලිකොප්ටරේ. ඒකට මොනවා වෙලාද කියල හිත හිත බැගේජ් බෙල්ට් එකට ගියා.හරි පුදුමයි මගේ බෑග් එකටත් කලින් හෙලිකොප්ටර්  පාර්සල  එනවා කිසි අතුරු ආන්තරාවක් වෙලා නෑ වගේ . මම පැනල පාර්සලය බෙල්ට් එකෙන් ඩැහැගත්තා .දැන් නම්  මගේ බෑග් එක නැතිවුනත් කමක්නැහැ.


හ්ම්ම්... ඔක්කොම කදමලු කරගහගෙන ත්‍රිබුවාන් ජාත්‍යන්තර ගුවන්තොටෙන් එලියට බැස්සා විතරයි වේරම්බ වාතයක් වගේ දුවගෙන අවිදින මෝනා මාව සිප  වැලඳගත්තා.


"මචං යූ කම් අගේන් රයිට් ආෆ්ටෙර් ටූ ඉයර්ස් ඈස් යූ ප්‍රොමිස්. වෙල්කම් ටු නේපාල් මෑන්" කියලා එයා මාව. බදාගෙන කෑගහනවා සතුට වැඩි කමට . මට "මචං" කියල ප්‍රසිද්දියේම කතාකරන හිතවත්ම මිතුරියන්ගෙන් එක්කෙනෙක් මෝනා .මාත් එයාට ඇටොමික් බොම්බ් , කවුබොය් ශර්පා වගේ නම් වලින් අමතනවා .ඔහොම සීමා බන්ධන නැතුව කතා කරන්න පුලුවන් , යාලුවො ඉන්න එකත් සැපතට කාරණාවක් . එහෙම යාලුවො කාලෙකින් දැක්කම හිතට ලොකු සතුටක් දැනෙනවා.


ආගිය විස්තර කතාකරමින් අපි ගියේ ලඟ තිවුණ කෝපිහලට .එතනින් ඩෝනට් දෙකකුයි , කෝපිය් අරගෙන ගුවන්තොටුපොලේ කුලී රථ ගාල පැත්තට ගිහින් කයිවාරුවක් ගහගෙන බෑග් පටවල තිබුණ මගේ ට්‍රොලිය උඩ වාඩිවෙලා දෙන්නම කෝපි බිව්ව.අපි දෙන්නට ටික වෙලාවක් මෙතැන ඉන්න වෙනවා කල්කටා වල ඉන්දල එන සුම් සහ එලිනා මිතුරියන්  මුණගැහෙන්න . ඒදෙන්නත් ආවම අපේ ප්ලෑන් එක ආයෙත් රෙස්ටුරන්ට් එකකට ගිහින් කාල බීල ටිකක් කයිවාරු ගහන්න . හැමෝම මුණගැහෙන්නෙ අවුරුදු දෙකකට පස්සේ නෙ .  ඔය අතරේ අපිව පිලිගන්න ගුවන්තොටුපොලට ඇවිත් හිටිය සංවිධායක මංඩලේ උදවිය මුණගැහිලා  අපි තුන්දෙනා  පරක්කුවෙලා අපේ නවාතැනට  එනව කියල කියන්නත් අමතක කලේ නැහැ .


අපි දෙන්න ඉතින් කට කමසිරියාවක් නැතුව කියව කියව හිනාවෙවී කෝපි බිබි ටැක්සිකාරයො පිරුණ තැනක වගේ වගක් නැතුව ඉන්නකොට එතැනට ආව නේපාල් පොලිස් රාලහාමිකෙනෙක් අවවාදකලා අමුත්තන් සඳහා වෙන් වෙලා තියෙන සාලාවට ගිහින් වාඩි වෙලා ඉන්න කියලා .අන්තිමේදී අපිට මනුස්සය මහ වදයක් වුණා . රංඩු කරන්න බැරි නිසා දෙන්නම කුනු දූවිලි පිරුණ ගුවන්තොටුපොල අමුත්තන්ගේ සාලාවට ගිහින් ඉඳගත්තා .මම හිතන්නෙ පොලිස්කාරයට අපි දෙන්නගේ කියවිල්ලයි ,හිනාවයි ටිකක් ගානට වැඩියි වගේ දැනෙන්න ඇති .කල්කටා ගුවන්යානය සෑහෙන්න වෙලාවක් ප්‍රමාදවෙලා ගොඩබැස්ස. සුම් සහ එලීනා මගීන් පීරගෙන ආවා . ආයෙත් සිප වැලඳගැනීම් , හිනා වීම් අඩුවක් නෑ. සුම් සතුටු කඳුලු හෙලනවා.අපි ප්ලෑන් කරලම  'සර්ප්‍රයිස්' එකක් දීල එයාව ඇඬෙව්වා.  සුම් දැනගෙන හිටියේ නෑ මමත් මෝනත් එයාව බලාපොරොත්තුවෙන් ගුවන්තොටුපොලේ ඉන්නව කියලා.ගොඩක් සතුටුවුණහම සුම්ට ඇඬෙනබව අපි දැනගත්තේ මීට කලින් දුලික් හිල් වල හමුවුණ වෙලාවෙ.


ඉතින් කට්ටියම ටැක්සියක නැගලා පාතන් දර්බාර් වලට ගියා . යනගමන් කතාවුනේ ලංකාව අවාසනාවන්ත විදියට ලෝක කුසලානෙ පරාදවුන එක ගැනයි , නේපාලෙ සංවර්ධනේට ඉන්දියාව කරන නින්දිත බලපෑම් ගැනයි . ඒවෙලාවට මෝන ඉන්දියානුවන්ට බනින්න පටන්ගන්නෙ " දීස් ඉන්ඩියන්ස්" කියල.අපි පාතන් දර්බාර් වල "කැෆේ ඩි පාතන්" කියන අවන්හලට ආවා.මේ හරියෙම තමයි මීට අවුරුදු දෙකකට කලින් අපි බෆ් ඩෙවල් කාල චැන්ග් බිව්ව පොඩි කඩේ තියෙන්නෙත්.


අවන්හලේ වැඩි සෙනගක් නෑ. මිටි මේස තියල කුශන් මෙට්ට අතුරපු බොහොම ප්‍රියමනාප තැනක් . හැමෝගෙම ගමන් මලු පැත්තක තියලා වාඩිවෙලා මහන්සි ඇරලා කෑම ඕඩර් කලා .කාටත් "මො මෝ" (Mo Moo)  කන්න දොලදුකක් තිබුණ නිසා චිකන් "මො මෝ" ලොකු  පිඟන් දෙකකුයි , ලැසියි , ස්ට්‍රෝන්ග් බ්ලැක් තේ හතරකුයි , "සයිෆාලි" කියන නේපාල් කෑමයි ඕඩර් කරා.


කෑම එනකන් ආයෙත් ආගිය කතන්දර කියවන්න ගත්තා . සුම් තව මාස දෙකකින් නිව්යෝර්ක් යනවා . මෝනට කාර්යාලයේ උසස්වීමක් ලැබිලා.එයා ගිය මාසෙ රාජකාරි වැඩකට බ්‍රසීලයට ගිහින් ඇවිත් වැඩි දවසක් නැහැ.එලිනා අලුත් තැනක  රැකියාවකට ගිහින්. අපි හැමෝම ටිකක් මහත් වෙලා .කවුරුත් කතාකරමින් හිනාවෙන අතරේ මම පොටෝගහනවා. "මචං ඩෝන්ට් ටේක් මයි ටමී" කියලා මෝන කෑගහනවා .


අපි හැමෝගෙම ගමන් මලු ලිහාගෙන කාටත් ගෙනාව තෑගි දිග අරිනවා .මනිපූර් වල අපේ හොඳම මිතුරියක් වෙන චිත්‍රා, සුම් අතේ අපි හතරදෙනාටම මනිපුර් දුපට්ටා (shawls) එවල . ඒව ඉම්පාල් ටවුමෙදී සුම්ට දෙන්න චිත්‍රා, සුම් එන බස් එක අල්ලගන්න ගොඩක් වෙලා මග බලාගෙන ඉඳලා තියෙනවා.මිතුරියන් අතර සහෝදරත්වය වැඩි කරගන්න දුපට්ටා තෑගි දීම ඉන්දියානු කාන්තාවන්ගේ සිරිතක්. කවුරුත් තමන්ගෙ දුපට්ට පෙරවගෙන ඒ මේ අත කැරකෙමින් හැඩ බලද්දී මම ෆැශන් ෂෝ එක කැමරා ගත කලා.එලිනා සහ සුම් , මෝන සහ මා වෙනුවෙන් කල්කටාවෙන් ලස්සන මෝස්තර තියෙන කුරුතා දෙකක් ගෙනිල්ල . මගේ ගමන් මල්ලෙන් ලංකාවෙන් ගෙනිච්ච ටී ශර්ට් , පොත් සහ චිත්‍රපටි සී ඩී ඒ තුන්දෙනාට තෑගි කලා .අදිතිගේ හෙලිකොප්ටරයත් මෝනට බාරදුන්න. අපි බෑග් දිග ඇරගෙන හිනා වෙමින් කෑකෝ  ගහමින් සතුටුවෙනවට රෙස්ටුරන්ට් එකේ උදවියගෙන් කිසි බාදාවක් තිබුණේ නැහැ.ඔය අතරේ කවුරුත් යාලුකමට  මාල්බරෝ ලයිට්ස් එකකුත් පත්තුකරන් මාරුවෙන් මාරුවට දුම් උගුරු කීපෙකුත් බිව්ව.ඒ සැඳෑව    යාලු මිතුරුකම් උතුරා පිටාරගලා ගිය මොහොතක් වුණා.


මෝනට සමුදීල හවස හතට විතර  සුම් , එලිනා සහ මම අපේ නවාතැන වුන  ගෝදාවරී නිවාඩු නිකේතනයට පිටත්වුනා. පැයක විතර ගමනකට පස්සේ අපි ගෝදාවරියට ආවා.පුහුනුව සංවිධානය කරන ආයතනයේ ගයත්‍රි ඒ වනවිටත් ගුවන්තොටුපොලේදීම කට්ටි පැන්න අපි හතරදෙනා එනකන් මග බලමින් හිටියා .අපි හැර පුහුණුවට සහහාගිවන අනිත් සියලුම දෙනා ඒවනවිටත්
ගෝදාවරියට ඇවිත් තමන්ගේ නවාතැන් කාමර ලබාගෙන තිබුණා.


ගයත්‍රි තරමක් බැගෑපත්වී අපි තුන්දෙනාට කියාසිටියේ නිවාඩු නිකේතනයේ කාමර වෙන් කරගනීමේ ගැටලුවක් පැන නැගුන නිසා පොරොන්දු වූ පරිදි අපිට ඩබල් රූම් දීමට නොහැකි බවත් මේ ගැටලුව හෙට උදේ විසඳන තෙක්  අපි තුන්දෙනාට අද දිනයේ ට්‍රිපල් රූම් එකක ඉන්න ලෙසය.ඉබ්බ දියට දැමූවිට ඇන්නෑවෙදැයි කිව්වසේ අපි එක පයින්ම යෝජනාවට කැමතිවුණා පමණක් නොව මුලු පුහුණු කාලයේම ට්‍රිපල් රූම් එකක ඉන්න හැකි බව ඇයට සතුටින් පැවසුවෙමු. සංවිධායකයන්ට එය මහත් සැනසුමට හේතු වූ කාරණයක් වූවාට සැකයක් නැත .

දුලික් හිල් වලදි වගේ ආයෙත් රෑ මැදියමක් වෙනකන් නොනිදා කතාකරන්න අපි තුන්දෙනාම  ගාව ඕනෙතරම රස කතා තිබුණා. ඉතින් අවුරුදු දෙකකට පස්සේ හමුවුණ අපි තුන්දෙනාට මීට වැඩිය සැපක්  කොහෙද .

ප/ලි


හිමාල මිටියාවතෙ ගමන් කතන්දර ලියන්න ටිකක් පරක්කු වුණා . වැඩ වැඩි වුණ නිසා .මේ සටහනින් හිමාල ගමන් කතා පටන්ගන්නවා .  බස් එකෙන් පොකරා ගිය කතාව ගැන මීලඟට  ලියන්න හිතාගෙන ඉන්නවා .



Monday, April 25, 2011

විවාහය සහ ඛලීල් ජිබ්‍රාන්


ඔබ දෙදෙන සදාකල්හිම එකව වෙසෙනු ඇත
උපතේ සිට  සීතල මරණය අතවනන
පාලු සුසානයක මිහිදන්වන තුරු
දෙවියන් අබිමුව හෘද සාක්ෂි ඉදිරියේත්
ඔබ එක්ව වෙසෙනු ඇත


ඒත් ඔබ දෙදෙන අතරින් පොඩි ඉඩක් තබනුමැන 
දේවදූතයන් හට අත් තටු සලමින් රඟන්නට
ආදර රැහැන් පටින් නොබැඳී
එකිනෙකාට ආදරය කරන්න
එවිට රල රැලි නගන සයුර
වෙරළත සිප ගන්නා ලෙස 
ආදරය, ඔබේ ආත්මය සිඹිනු ඇත


උනුන් ගේ බඳුන් පැනින් පුරවාලන්න
නමුත් එක බඳුනකින් පමනක්
පැන්සනහා නොගන්න
ඔබේ පාන් කැබැල්ලෙන් අනිකා සන්තර්පණය කරන්න
ඒත් එකම පාන් ගෙඩියකින් අනුභව නොකරන්න
සතුටේ දී උනුන් හා ප්‍රීතියෙන් රඟ දෙන්න
නමුත් ඇවැසි විට අනිකාට තනිවෙන්න ඉඩදෙන්න
මියුරු සර නගන වෙණ තත්
වෙන් වෙන්ව පිහිටි සේ


ඔබේ හද පුද දෙන්න
එකිනෙකා වෙනුවෙන් මිය යන්න  නොව
ජීවිත අත්වැල අල්ලාගෙන යන්න
දෙවොලක විසල් කුලුණු
වෙන්ව නැගී සිටිනයුරින් 
ඕක් ගස් සෙවණෙහි සයිප්‍රස් ගස් නොවැඩෙන නිසා
එකිනෙකාගෙන් මදක් ඈත් වී
උනුන් හා නැගී සිටින්න


මේ විවාහය ගැන ඛලීල් ජිබ්‍රාන් කියූ මා සිත් ගත්  අදහසක සරල සිංහල පරිවර්තනයකි . ඛලීල් විවාහය ගැන කියූ මේ අදහසම චාලි ප්‍රයිඩ් ද ගයනු ඇත .සැමවිටම උනුන්ගෙ ජීවිත  අතරෙහි ඉඩක් තිබුණවිට සතුට සහ ආදරය දෝරෙ ගලා උතුරා   යන්න ලෙහෙසිවනු ඇත  .

නමුත්  අපි තේරුම්ගන්න අඩුවෙන්ම උත්සාහ දරන්නෙත් එයමය .

ප/ලි
ඛලීල් ජිබ්‍රාන්ගේ මේ අදහස මම දුටුවේ මූනු පොතේ මගේ හොඳම මිතුරියකගේ සටහනකින් .මේ එය අසුරු කරගෙන මා විසින් කල සරල පරිවර්තනයක් .මේ සති අන්තයේ හිමාල මිටියාවතේ ගමන් කතන්දර  ලියන්න හිතාගෙන ඉන්නවා.

Saturday, March 5, 2011

අපේ කන්තෝරුවේ "වෙඩි නොවදින බොලෙරෝ ඩක්කු"




මගේ "ලැට් එක "නැතිවුණ කාලෙ අපේ කන්තෝරුවෙ උන්නු ඔෆිසර උන්දැලා වැඩ රාජකාරි වලට යහමින් ගමන් බිමන් ගිය කාලයක්.කොලඹ , මාතර , හම්බන්තොට , මොණරාගල , අම්පාර ,බැටී, ට්‍රින්කො , වවුනියා,මන්නාරම ,   නුවර , හැටන් , ......බලාගෙන ගියහම ගොගිය දිල්ලියක් නෑ.හැම තැනම කරක්ගහලා .ඉතින් මේවයෙ යන උන්දැලට වාහනත් දෙන්න ඔනෙ නේ.  ඔෆිස් එකට ඒවෙනුවෙන් මහින්ද්‍රා ස්කෝපියෝ ජීප් තුනකුයි , මහින්ද්‍රා බොලෙරෝ කැබ් දෙකකුයි ,ටොයෝටා ඩබල් කැබ් එකකුයි, හයර් වෑන් එකකුයි , ඉස්තිර රියදුරො පස්දෙනෙකුයි සැදී පැහැදී හිටියා. ඔය මහින්ද්‍රා වාහන අපේ අල්ලපු රටේ ඒවනෙ .ඒකලෙ අපේ ප්‍රෝග්‍රෑම් සපෝර්ට් යුනිට් එකේ ඉහල  මැනේජර් කෙනෙකුට පුදුම උණක් තීල තියෙනවා මෙච්චර හොඳ සෙකන්ඩ් හෑන්ඩ් ජපන් වාහන තියෙද්දිත්  අල්ලපු රටෙන්ම වාහන ගෙන්නන්න. ස්කෝපියෝ ජීප් නම් හොඳ පෙනුමයි .ගමනත් පහසුයි . හතර පස් දෙනෙක් නග්ගගෙන  යන උන්දැලගේ හට්ටි, පෙට්ටි, වට්ටිත් අරස්සා ඇතුව  පටෝගෙන දුරගමන් ගියහැකි .හැබැයි නඩත්තු වියදම් අධිකයි කියල තමා ලොජිස්ටික් අංසේ කොල්ලො කියන්නේ . මේ ඔය මහින්ද්‍රා ස්කෝපියෝ ,බොලෙරො ලංකාවට ආපු අලුතම .මගෙ හිතේ අපේ ආයතන සමූහයේ   වෙන්න ඕනේ එක්වර මේ තරම මහින්ද්‍රා වාහන තොගයක් තිබුනේ ඒ කාලේ .


බොලෙරෝ වාහන නම් කිසිම කෙනෙකුට පෙන්නන්න බෑ. වැරදිලාවත් පැය තුනක හතරක දුර ගමනකට ඔයින් එකක් ලැබුනොත් යන එකාට බුදු සරණයි .අපි යන එන පාරවලුත් ඒ තරම් හොඳ නැහැනේ.ඉතින්  ගමනාන්තෙට යනකොට  ලඟම තියෙන හොස්පිටල් එකට තමා ඇඩ්මිට් වෙන්න වෙන්නේ .ඒ තරම් ගැස්සෙනවා , උඩයනවා, පැද්දෙනවා.අතපය කැකුම් ,කොන්දේ අමාරු හැදෙනවා. ඔය වාහන වල දොරවල් වහන්න ඕනේ අල්ලපු රටේ වාහන හැදුව  ෆැක්ටේරියේ උන්දැලට ඇහෙන්න කියලා තමයි රියදුරු මහත්තුරු කියන්නේ .නැත්නම් දොර ලොක් වෙන්නේ නෑ. වැඩි සැප  පහසු නැති මේ බොලෙරෝ කැබ් වලට කවුරුත් කිව්වේ "බොලෙරෝ ඩක්කු" කියලා. ඉතින් ඔහොම  බොලොරෝ ඩක්කුවක දුර ගමනක් කාරිය යන්න වුනොත් අපේ උන්දැල ප්‍රෝග්‍රෑම් සපෝර්ට් යුනිට්  එකේ ලොක්කගේ නෑ පරම්පරාවම මතක්කරකර පින්දිදී  තමයි ගමන යන්නේ . ඒ තරම ගමන සැප පහසුයි .


වාහන ගැන වගේම අපේ රියදුරු තුමාල ගැනත් කියන්න එපැයි . රියදුරො පස් දෙනාගෙන් හතරදෙනෙක්ම මැදි වයසේ අංකල්ලා, අයියලා. කලින් ඔය ටුවරිස්ට් බස් කොම්පැනි වල , රෙන්ට් අ කාර් සර්විස් වල , ලංගමේ වැඩකොරපු පුරුදු කාරයො.පස්වැනියා පොඩි කොල්ලෙක් .අවුරුදු විසිතුනක් විතර .අලුතෙන් ඩ්‍රයිවින් ලයිසොමක් අරන් වැඩට ආව එකෙක් .මිනිහගේ නම සුනිල් .හැම ඔෆිස් එකේම වගේ අපේ ඔෆිස් එකෙත් රියැදුරු උන්දැලා තම තමුන්ගේ ඩ්‍රයිවින් සීනියෝරිටි එක ගැන බොහොම සැලකුවා.ඉතින් සීනියර් උන්දැලා නිතරම ඔය ස්කෝපියෝ ජීප් , ටොයොටා කැබ් එක  වගේ වැදගත් වාහන  ඩ්‍රයිවින් කොලා .අනේ අර සුනිල් කොලුවට තමා හැමතිස්සේම බොලෙරෝ ඩක්කු එලවන්න වුනේ. 


සුනිලුත් ඉතින් මහ පිස්සු වාත පොරක් .කිසි දවසක වෙලාවට වැඩට යන්න එන්නේ නෑ.අට කිව්වොත් නවයට තමා එන්නෙ. මම දවසක් උදේ අටට මේ යෝදයා එක්ක ගමනක් යන්න බලන් හිටියා .ම්හූ... මිනිහ නෑ අටයි කාලත්.  පහුවෙලා ඉතින් මිනිහගේ මොබයිල්  පෝන් එකට කතා කලහම කිව්වේ "මිස් මම මේ ඔෆිස් එක ගාවමයි ඉන්නේ " කියල .එහෙම කිව්වට ආවේ නවයට විතර .මිනිහට මම කතාකරනකොට ඉඳල තියෙන්නේ මොරටුව හරියෙ වගේ .සුනිල් ඔහොම පරක්කුවෙලා එන්නත් තමන් ඉන්න තැන ගැන බොරු විදින්නත් හරි සූරයා.ඒනිසා ලොජිස්ටික් අංසේ කොල්ලොත් , සීනියර් ඩ්‍රයිවර්ලත් මිනිහට නිතරම කාඩ් ගහනවා , මඩ ගහනවා ඉවරයක් නෑ.


මට කියන්න අමතක වෙනවා තව පොඩ්ඩෙන් .අපේ වාහන වල යන ඔෆිසර උන්දැලට නීති මාලාවක් තියෙනවා . දුර ගමන් යද්දි "කෝලින් පොයින්ට්ස්" කියල එව්ව වගයක් තියෙනවා . ඒව පහුකරනකොට ප්ලීට් මැනේජර්ට කෝල් කරන්න ඕනේ .ඔය වාහන වල කිසිම පිටස්තරයෙක් අඩු තරමින් පවුලෙ කෙනෙක්වත් ගෙනියන්න බෑ.එහෙම නම් ආයතනයේ ලොක්කගේ අවසර ඕනේ. කිසිම හේතුවක් නිසා සන්නද්ද හමුදාවල උදවිය මේ වාහන වල ගෙනියන්න බෑ. ඒක නිසා හැම වාහනේකම   කලු  තුවක්කුවක් රතු  තනි ඉරකින් කැපුව සඥාවක් සහිත ලොකු  ඉස්ටිකර් එකකුත් අලවලා තිවුනේ.


ඒ අපිට  බෙලිඅත්ත , වීරකැටිය පත්තෙත වැඩිපුර රවුම් ගහන්න වුන කාලයක් . ඒගමන් බිමන් වල ඩ්‍රවින් වැඩේ අපේ ප්ලීට් මැනේජර් සුනිල්ට බාරදුන්න මිනිහගේ ගමත් ඔය කිට්ටුව නිසා .මිනිහ බොලෙරෝ වාහනෙන් අපිව එකගෙන යනවා එනවා .ඔය අතරේ ලොජිස්ටික් කොල්ලො කියන්න ගත්තා වීරකැටියේ , බෙලිඅත්තේ සමහර මුදලාලිලත් බොලෙරෝ ඩක්කු  ගන්න හරි උනන්දු වෙලා කියලා .ඒකට හේතුව අපේ සුනිල් කියලයි කාඩ් ගැහුවේ .


ලොජිස්ටික් එකේ උදවිය කියන විදියට මෙහෙමයිලු වෙලා තියෙන්නේ . අපි රාජකාරියට බැස්සුවාට පස්සේ අපේ රියදුරු සුනිලට වෙන වැඩක් නැහැනේ .ඉතින් මිනිහා වාහනේ හෙවනක පාක් කරගෙන ඇලට් පාරක් දානවා, එක්කො පත්තරයක් බලනවා, නැත්නම් අහල පහල කඩේකට වෙලා කයිවාරු ගහනවා. ඉතින් දවසක් ඔහොම ලඟ කඩේක මුදලාලි  කෙනෙක් එක්ක අපේ සුනිල් කතාවට වැටිලා. කඩේ මුදලාලිත් එයාගේ වැඩ වලට බඩු අදින්න වාහනයක් ගන්න හිතහිත හිටි වෙලාවක් නිසා ඒ ගැන සුනිල්ගෙන් විස්තර අහමින් හිටි වෙලාවක මෙන්න මෙහෙම සංවාදයක් ඇතිවෙලා .


මුදලාලි- "මහත්තයෝ මොකෝ අර ඔහේගේ වාහනේ තුවක්කුවක්   තනි ඉරකින් කැපුව ඉස්ටිකර් එකක් අලෝල තියෙන්නේ ?


සුනිල් -" මේකනේ මුදලාලි අපි මේ බෙලිඅත්තේ , වීරකැටියෙ එහෙම එනකොට ආරස්සා ඇතුව එන්න එපැයි.(කවුරුවත් මගෙන් අහන්න එපා ඔය කියන කාලෙ ඔය  පලාත්වල තිවුණ ආරක්ෂක මුරකාවල් , තර්ජන ගැන  හොඳේ ) .ඉතින් අපි ඒ ගැන හිතලා වෙඩිනොවදින වාහන ගත්තා අපේ කන්තෝරුවට . ඔය තුවක්කුව තනි ඉරෙන් කපපු ඉස්ටිකරෙන් කියන්නේ මේ වාහන බුලට් පෲෆ් ,වෙඩි වදින්නේ නෑ.ඉන්දියාවේ වාහන කොම්පැනියෙන්මයි ඔය බුලට් පෲෆ්  සහතික කරන ඉස්ටිකරේ අලෝල එවල තියෙන්නෙ .  ඔන්න මුදලාලි කියාපු වාහනේ ගන්නවනම් ,බඩු අදින්න , ගමන් බිමන් යන්න , මේ පැත්තේ ඕනෙ වලියක් , තර්ජනයක් වුණු වෙලාවක පැනල යන්න නියම වාහනේ මෙ බොලෙරෝ ඩක්කුව.වෙඩිවදිනව බොරු "

ඉතින් සුනිල්ගේ ඔය කතාවෙන් පස්සේ තමයිලු බෙලිඅත්ත ,වීරකැටිය පැත්තේ මුදලාලිලා බොලෙරෝ ඩක්කු ගන්න උනන්දු වුනේ ....ලොජිස්ට්ක් කොල්ලෝ කියන්නේ එහෙමයි 

ප/ලි
ඇත්තටම අපි ඔය වාහන වලින් ඔය ගම් පැතිවල කරක් ගහන්න ගත්තට පස්සේ ඒ පලාත්වල යමක් කමක් ඇති උදවිය කීපදෙනෙකුත් බොලෙරෝ වාහන ගත්තු බව නම් ඇත්ත කතාව .මාත් ඔයකාලෙ ඒ ගම වල ඔය වාහන තියෙනවා දැක්ක අපේ ආගමනයෙන් පස්සේ .

Friday, February 25, 2011

"ලැට් මිස්"



ලැප්ටොප් එකට වයිරස් එකක් ගිහින් කිසිම පයිල් එකක් ඕපන් කරගන්නවත් ඩොන්ගල් එකෙන් ඉන්ටෙර්නෙට් යන්නවත් බැරිවුණ වෙලාවේ නිකන් පපුව හිර වෙලා හදවත කඩාගෙන වැටුණා .දැන් කොහොමෙයි  ඊ මේල් යවන්නෙ , චැට් කරන්නෙ , මූණු පොත බලන්නෙ , නිවාඩු උණත් රාජකාරි ඊමේල් ලියන්නෙ ,සින්දු අහන්නෙ , යූ ටියුබ් එකෙ නිව්වි හැනහිල්ලේ ආසකරන චිත්‍රපටි බලන්නෙ ? වනේ වන හතුරෙකුටවත් නම් මෙහෙම විපතක් වෙන්න එපා . ලැප්ටොප් එක මගේ ජීවිතේ කොටසක් වගේ නෙ . ඒ තරම් මම දැලේ සැරිසරන්න ඇබ්බැහිවෙලා . අපේ ඔෆිස් එකේ IT මැනේජර් සතියකට නිවාඩු.කාට කියල හදවගන්නද ?දවස් දෙකක් තිස්සේ දන්න ඔක්කොම සෙල්ලම් දාල යන්තම් දෙය්යනේ කියල යතාතත්වෙට පත්කරගතේ.

මට මුලින්ම ලැප්ටොප් එකක් පාවිච්චි කරන්න ලැබුනේ දැනට අවුරුදු පහකට විතර කලින් . රස්සාවට ඇවිත් මාස හයකින් ඔපිසර පට්ටමකට ප්‍රමෝශන් එකකුත් එක්ක අලුත් Toshiba Sattelite වර්ගයේ ලැප්ටොප් එකකුත් මට කන්තෝරුවෙන් ලැබුණා .ඉතින් අලුත්ම තාක්ෂණේ කිරි ටොය්යියෙක් ලැබුණම පුදුම ප්‍රීතියකුයි ආඩම්බරේකුයි දැනුනට මොකෝ එකේ රඟේ තේරුණේ අවුරුද්දක් විතර ගිහින් . ඉතින් දෙයියනේ දැන් ඔය යත්ත්‍රය යන යන තැන පරිස්සමින් ගෙනියන්න ඕනෙ ඒ විතරක් නම් මොකෝ ඕනෙ හදිසියකට නිවාඩුද සෙනසුරාද ඉරිදද කියල නෑ ඔෆිස් එකේ හදිසි පණිවුඩ රාජකාරි වලට උත්තර බඳින්නත් සූදානමින් ඉන්න ඕනේ .


ඉතින් මගේ අලුත් ඔපිසර පට්ටමේ රාජකාරි කරගෙන අලුත් ලැප්ටොප් යන්ත්‍ර රාජයා එක්ක දැහැමෙන් සෙමෙන් කාලෙ ගතකරන අතරේ තමයි මට මේ අබැද්දිය වුනේ .ඔය දවස්වල මට දවස් දෙකක ට්‍රේනින් එකක් කරන්න හම්බන්තොට යන්න වුණා. ඉතින් අලුතෙන් ලබුණ යන්ත්‍ර රාජයත් ඔය වගෙ වැඩ වලට හරි ප්‍රයෝජනයිනෙ .ඒ නිසා එයාවත් ඇන්නගෙන වැඩේට ගියා . ට්‍රේනින් එකට ගොඩක් තරුණ ලමයි ඇවිත් හිටියා.ඒගොල්ලොත් ඉතින් මේ අලුත් ලැප්ටොප් රාජයා ගැන හරි විමසිලිමත් .ඒ අතරින් එක කොලුගැටයෙක් ගොඩක් උනන්දුවෙන් මේ ගැන විමසන බව පෙනුණා .මමත් ඉතින් දන්න තොරතුරු ඔක්කොම කිව්වා . ඔහොම පලවෙනි දවස ගතවුණයි කියමුකො . ඔන්න දෙවෙනි දවස .අද තමා අන්තිම දවස .අර මගේ ලැප්ටොප් එකේ අලුත් ගැජට් කෑලි ගැන උනන්දු වුණ ලමයට හදිසි වැඩක් නිසා එන්න වෙන්නෙ නෑ කියල කෝල් එකකුත් ආවා . ඉතින් ඉතුරු අයත් එක්ක වැඩ කරලා දවල් කෑමට අපි එකට විතර වැඩ නතරකරලා කෑම සාලවට ගියා . සතුටු සාමිච්චියෙන් කාලා බීලා ආයෙත් වැඩපටන් ගන්න දේසන සාලාවට ආවා කියමුකො.මලා..... මගේ ලැප්ටොප් රාජයා තිබුණ තැන නැහැ. වයර් කෝඩ් එකයි මවුස් එකයි ලැප්ටොප් බෑග් එකයි විතරක් මේසෙ උඩ තියෙනවා .කවුරුවත් විහිළුවටවත් හැංගුවද ? හැමෝගෙන්ම අහලා බැලුවා , ට්‍රේනින් සෙන්ටර් එක බාරව හිටි අයගෙනුත් ඇහුවා . ම්හූ කවුරුත් එහෙම කරලා නැහැ. කොහෙන් හොයන්නද ? දැන් ඉතින් කරන්න දෙයක් නෑ. අපේ ඔෆිස් එකේ ලොජිස්ටික් අංශයේ උපදෙස් පිට පොලීසියන්න තීරණය කලා.


එතන් ඉඳන් තමයි රසවත්ම කතාව . මේ පොලීසිය තංගල්ලයි අම්බලන්තොටයි අතර පොලීසියක් . රාලහාමිලා කියන සුනංගුවට ආවා.ට්‍රේනින් සෙන්ටර් එකේ උදවිය ,ට්‍රේනින් එකට ආව අය කාගෙනුත් කට උත්තර ගත්තා .ඔන්න එතකොට පොඩි හෝඩුවාවක් ආව .කලින්දවසේ ට්‍රේනින් එකට ආව මිටි ,මහත ,ඉත්තැකූරු කොන්ඩේ තියෙන පිරිමි ලමයෙක් අපි කෑමට ගිය අතරේ දේසන සාලාවට ඇවිත් ගිහින් .ඇවිත් තියෙන්නෙ ත්‍රීවීල් එකකින් . ආපයින්ම ගිහින් .යද්දී තරමක සී ආර් පොතක් වගේ දෙයක් ඉටි බෑග් එකක අරන් යනවා එතන හිටි කෙනෙක් දැකලා . දැක්කකෙනා මේ ගැන වැඩි විපරම් කරල නැත්තේ ඔය ගැටයා කලින්දවසෙත් ආව කෙනෙක් නිසා.කිව්ව හැඩහුරුකම් අනුව නම් කලින්දවසේ ලැප්ටොප් එක උනන්දුවෙන්න අත පත ගෑව ගැටයට සමානයි . විස්තරේ සොයාගත්තු ගමන් මට පොලීසියට ගිහින් පැමිණිල්ලක් දාන්න කියලා රාලහමිලා ඉගිලුනේ ත්‍රීවීල් පාක් එකට .

පේන විදියට නම් මගේ ලැප්ටොප් එක හොරකම් කරලා .මේ තරම් කාලෙකට අපේ ඔෆිස් එකේ මෙහෙම දෙයක් වෙලා නෑ. ඔන්න දැන් ලැප්ටොප් එකේ විස්තර , නම ගම ,අවසාන වතාවට දැක්කවෙලාව වගේ වග විස්තර සාවධානව මගෙන් අහගත්තු රාලහාමි කෙනෙක් පොලිස් පැමිණිල්ල අර ලොකු පොතේ ලියනවා මෙන්න මෙහෙම .


මිස් ටී.ජී විසින් පරිහරණය කල වර්ගයට අයත් රුපියල් 200,000 පමණ වටිනා "ලැට්" යන්ත්‍රයක් xxxxxxx දින හෝ ඊට ආසන්න දිනකදී xxxxx නම් ස්ථානයේදී සොරකම් කරගෙන ඇත. මෙමෙ "ලැට්" යන්ත්‍රය ටී .ජී රාජකාරි කරන xxxx ආයතනය මගින් ලබාදී ඇති xxxx අංකය දරන නිල "ලැට්" යන්ත්‍රයයි . "


දෙයිහාමුදුරුවන්ටම ඔප්පුවෙච්චාවෙ ! රාලහාමි "ලැප්ටොප්" කියන වචනෙ වෙනුවට නම කොට කරලද මන්දා "ලැට්" කියලා අලුත් නමක් හදලා . දැන් ඉතින් ඔය පැමිනිල්ල කියෝල ඒක නිවැරදි බවට අස්සන් කරන්නත් ඕනෙ නේ. ඉතින් ඊට කලින් මම රාලහාමිට කිව්ව "ලැට්" කියන නම වෙනුවට "ලැප්ටොප්" කියලා ලිව්වොත් හොඳා කියලා.ඉතින් නම වෙනස්කොරල ලියනගමන් රාලහාමි කියනවා "හරි පුදුමයිනෙ මිස් ටී ජී දැන් අතේ ගෙනියන "ලැට්" කොම්පියුටරුත් තියෙනව එහෙනම් .හොරුන්ට කියාපු බඩුවක් " කියලා .මම වෙච්චි අලකලංචි මැද්දේ හිනාව තද කරගත්තේ හරිම අමාරුවෙන්.ඔය අතරේ පොලීසියට සැපත්වුන ඕ අයි සී මහත්තයා මට එන්න කියලා පණිවුඩයක් එව්වා. ඉතින් නිල මැදිරියට ගියහම එතුමා කිව්වෙ මේ හොරකම ගැන පරීක්ෂණ කරන්න උවමනා හේතු සාධක ඕනෙ තරම් තියෙනවා කියලා .


"මිස් ටී .ජී අර කිව්ව හැඩහුරු කම තියෙන කොල්ලෙක් වීල් පාක් එකේ ඩැයිවර් කෙනෙක් එක්ක හයර් එකක් ගිහින් තියෙනවා.අපිට වීල් පාක් එකේ කොල්ලන්ගෙන් විස්තරේ ලැබුණා.මේක බරපතල හොරකමක් .මම ලේසියෙන් අරින්නෙ නෑ මේක .කොල්ලගේ, නම ,ගම, ලිපිනය තියෙන විස්තර ට්‍රේනින් එකේ පැමිණීමේ සටහනේ තියෙනවනේ .අපිට ඒ හොඳටම ඇති ඉන්වෙස්ටිගේෂන් එකට. මම දන්නවා ඔය කොම්පියුටර් ගොඩක් මිලයි.අපේ SSP මහත්තෙයෙකුත් ලඟදී ඔයින් එකක් ගත්තා"


ඔන්න දැන් ලොකු මහත්තයගේ අණ පරිදි පොලීසියේ රාලහාමිලා "ලැට්" එක සෙවීමේ මහා මෙහෙයුමට යන්න ලේස්තිය. පොලීසියේ ඒ වෙලාවෙ වාහනයක් තිබුණේ නැති නිසා අපේ ඔෆිස් එකේ හයර් වෑන් එක රාලහාමිලට ලැබුණා. ඒගොල්ලන්ට මේක කොච්චර ත්‍රිල් කේස් එකක්ද කිව්වොත් ඒ වෙලාවෙ ඩියුටි ඕෆ් වෙලා උන්නු රාලහාමිලත් පොලිස් කෝට් දාගෙන වාහනේට ගොඩවුණා.ඔන්න ඒ අතරේ ඕ අයි සී මහත්තයාගෙ ගෝරණාඩුව ඇහුණා.


"දැන් තමුසෙලා දන්නවද ඔය නැතිවෙච්චි ලැප්ටොප් එකේ හැඩ හුරුකම විස්තර එහෙම , යන්න කලින් ඒගැන අහගන්නව මේ මිස් ටී .ජී ගෙන්"


ඊට පස්සේ ඕ අයි සී මහත්තයා හිමින් සීරුවෙ මටකියනවා "මිස් ටී ජී මේ අය ඩෙස්ක්ටොප් දැකලා ඇති .ඒත් කවුරුවත් ලැප්ටොප් ගැන දන්නෙ නෑ, දැකලත් නෑ.ටිකක විස්තර කරල කියන්න මොකක්ද කිඅයලා .මම ඕක දැක්කෙත් අපේ SSP මහත්තයා ගාව තිබිලා"


ඔන්න රාලහාමිලා පූස් පැටවු ටිකක් වගේ වාහනෙන් බැහැලා ඇවිත් 'ලැට්" එක ගැන විස්තර අහනවා . මාත් ඉතින් කියනවා ."මෙක මේ අතේ ගෙනියන්න පුලුවන් හරියට පයිල් එකක් වගේ අරින්න ඇහැකි දෙයක .එහෙම ඇරියම තිරයක් තියෙනවා.නිකන් සී ඩී ප්ලේයර් එකක් වගෙ හැඩහුරු කම . ඔහොම කියලා අන්තිමට ලැප්ටොප් බෑග් එකේ තිබුණ මැනුවල් එකෙන් ලැට් එකේ පින්තූරෙකුත් පෙන්නුවා .


ඔය අතරේ අපේ ලොජිස්ටික් එකේ චන්දන මට රහසෙන් කියනවා "ටී ජී මටනම් ෂුවර් නෑ , මේ රාලහාමිලා ලැප්ටොප් එකක් කියලා මොනවා උස්සගෙන ඒවිද කියලා ".වෙච්චි අලකලංචි මැද මට ආයෙත් හිනා යන්න එනවා. 


ඔන්න ඉතින් පොලීසියෙ කටයුතු ඉවරවෙලා මම නවාතැනට ගියා හිත තාන්තුවාවෙන් . මම හිතුවෙ නැහැ කීයටවත් මේක හොයාගන්න පුලුවන් වේවි කියලා .කවදාවත් අපේ ඔෆිස් එකේ මෙහෙම ලැප්ටොප් එකක් නිලධාරියෙක් අතින් නැතිවෙලා නැහැ. මට මේකෙ අලාබේ පඩියෙන් ගෙවන්න වේවිද මන්දා කියලා හිත හිත ගෙදර ගියේ .නමුත් ඕ අයි සී මහත්තයා නම් එක හෙලාම කිව්වේ බඩු එක්ක හොරා කොහොමහරි අල්ලනවා කියලා.කිව්වත් වගේ මෙන්න එදා රෑ මැදියමේ මට කෝල් එකක් ආවා එතුමාගෙන් ලැප්ටොප් එකයි හොරයි දෙන්නම අල්ලා කියලා.මට සොර බඩුවේ අයිතිය තහවුරු කරන්න අදාල ලිය කියවිලිත් අරන් උදෙන්ම පොලීසියට එන්න කිව්වා.එදාම හම්බන්තොට මහේස්ත්‍රාත් උසාවියට දාල ලැප්ටොප් එක නිදහස් කරගන්න පුලුවන් කිව්ව . හොරකම් කරලා තිබුණේ ට්‍රේනින් එකට ආව ගැටයා. කොල්ල ඒ අවුරුද්දේ දෙවෙනි පාරට උසස්පෙල ලියනවා කියලා ඕ අයි සී මහත්තයා කිව්ව. මට ඕන වුනේ ලැප්ටොප් එක විතරක් නිසා පෙර වැරදි නැත්නම් කොලුවට අත්හිටවූ හිර දඬුවමක් වගේ හිරගෙදර නොයන ක්‍රමේකට වැඩ සලස්සන්න කියලත් එතුමගේ ඒ වෙලාවෙ ඉල්ලාහිටියා.


ඔන්න පහුවෙනිදා තමයි වැඩේ.මම පොලීසියට යනකොට ඉස්සෙල්ලම මුණගැහුනේ පැමිණිල්ල ලිව්ව රාලහාමි . එයා හිනාකටක් පුරවගෙන ඇවිත් "හා මේ අපේ "ලැට් මිස්" නේ , ඔන්න අපේ ඕ අයි සී මහත්තයා බඩු එක්ක හොරු ඇල්ලුවා " කියාගෙන ගියා .


ඊලඟට ඕ අයි සී මහත්තයා මුණගැහිල ඉස්තුති කරලා ඉවරවුණාම එතුම කිව්ව මගේ ලැප්ටොප් එක අඳුනාගන්න කියලා . ඉතින් ඔන්න රාලහාමි කෙනෙක් එක්ක තව කාමරේකට ගියා. ඒ රාලහාමි ලොකු ලී පෙට්ටගමක් වගේ එකක් ඇරගෙන අනිත් රාලහාමිගෙන මෙන්න මෙහෙම අහනවා .


"මචං මේ මිස්ගෙ ලැට් එකේ නඩුබාණ්ඩ අංකේ මොකක්ද "?
"xxxxx මචං" අනික රාලහාමි උත්තර දෙනවා
"නෑ බන් xxxxx කියන්නේ ඊයෙ අල්ලන් ආව කසිය බෝතලේනෙ "


දෙය්හාමුදුරුවන්ට ඔප්පුවෙච්චාවේ මගේ "ලැට්" එක හොරබඩු දාල තියෙන පෙට්ටියේ කසිය බෝතල් එක්ක තමයි රැයක් පුරා තිබිල තියෙන්නෙ . මට හිනාත් යනවා


ඉතින් කොහොමහරි එදාම උසාවියෙන් ලැප්ටොප් එක නිදහස් කරගත්තා .කොල්ලට පෙර වැරදි නැති නිසාත් ,වැරැද්ද පිලිගත්ත නිසාත් නඩුකාර උන්නාන්සේ තදින් අවවාද කරලා නිදහස් කරා . මොනවා වුණත් ඒ පොලීසියේ මහත්තුරු අපිට ලොකු උදව්වක කලේ .බොහොම අඩුපාඩු එක්ක තමයි මේ රාලහාමිලා පොලීසියේ රාජකාරි කරන්නෙ .නඩු උසාවියට දාන්න චෝදනා පත්‍ර ටයිප් කරගන්න කඩදාසිත් ගිඟයි .ඉතින් අපි ඔෆිස් එක ගානෙ ටයිපින් පේපර් බන්ඩල් පහකුයි නිල් රතු ,කලු, පෑන්, පෙට්ටි තුනකුයි පරිත්‍යාග කලා මේ කරපු යහපත් රාජකාරි කටයුත්ත වෙනුවෙන් .


ඉතින් ඊට පස්සේ අපේ ලොජිස්ටික් අංසේ කොල්ලො කතාකරන්නෙ මෙහෙම .


"මචං අපි මේ අවුරුද්දේ අලුතෙන් ලැට් ගන්නවද ?අලුත් ලැට් වලට බජට් කරාද "?


"දැන් අපේ ඔෆිස් එකේ ලැට් සර්විස් කරන්න යවන්න කාලෙ හරි නේද " ?


ඔන්න ඔහොමයි "ලැට් මිස්ගේ කතාවස්තුව "


ප/ලි


අර ලැට් එක අවුරුදු පහක්ම මාත් එක්ක දිවා රෑ නොබලා රට වටේ රවුම් ගහමින් මහන්සියෙන් වැඩ කොලා .ඉතින් අවුරුදු පහක් ගියත් ඉහෙන බහින ලෙඩක් නොතිබුණත් බොහොම පරණ නිසා ඔෆිස් එකේ නීතිවලට අනුව මට අලුතෙන් ලැට් එකක් ලැබුණා ගිය දෙසැම්බර් වල . දැන් පරණ "ලැට්" එක IT අංසයේ රාක්කයක් උඩ ඉන්නවා තනියම කාත් කවුරුවත් නැතුව බොහොම දුකෙන් .

Tuesday, February 15, 2011

සබ්‍රිනා ,ජීවා සහ නූතන තේරි ගාථා




නිවී සැනසිල්ලේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ තේරි ගී පොතේ පිටු අතර සැරිසරද්දී මගේ සිහියට ආවේ ඈත ඉන්දියවේ සීතල ඩාර්ජිලින් කඳුකරයේත් , මෑත ලංකාවේ අනුරාධපුරයේ අරාමයකත් ගිහි දිවි හැරපියා බවුන් වඩනට ගිය මගේ ප්‍රිය මිතුරියන් දෙදෙනෙක් වන සබ්‍රිනා සහ ජීවා ගැනයි . මේ දෙදෙනාම තුරුණු වියේම  එකිනෙකට වෙනස් මාර්ග දෙකක ගියත්  එකම ආධ්‍යාත්මික අරමුණකට කැපවූ දෙන්නෙක්. සබ්‍රිනා කල්කටාවේ ප්‍රකට ලොරේටෝ නිකායට අයත් කන්‍යා සොයුරියක්.ජීවා බෞද්ධ භික්ෂුණියක්.


සබ්‍රිනා මට මුණගැහුනේ නේපාලයේ දුලික් හිල් කඳුකරයේ ගෙවුණ මාසෙක පුහුණු කාලයේදී.පුහුණුව පටන්ගන්න පෙර දවසේ හවස තේ මේසයේ  මගේ තේ කෝප්පය ලැබෙනකන් බලන් ඉන්න අතරතුරේ මේසයෙ අනික් කෙලවරේ ඉන්දියානු හා පාකිස්තාන යුවතියන් කතා බහ කරමින් සිටියා.ඔවුන් අතරේ ලා දුඹුරු පැහැ චාම කපු සල්වාර් ඇඳුමකින් සැරසුණ , ප්‍රියමනාප ඡවි වර්ණයෙන්යුතු මද සිනහවකින් මුව සරසා ගත් එකියක් මා වෙත පකෝඩා පිරවූ බඳුනක් දික් කරමින්  "ප්ලීස් හැව් සම් " කීවා.   ඔවුන්ගේ අල්ලාප සල්ලලාපයට එක් නොවුණත් එයට කන්දී සිටි මට හැඟී ගියේ මාසයක් පුරා සියලු  වැඩ රාජකාරි හැරදමා දුලික් හිල් වල ගතකරන්න සිදුවන කාලය ගැන මේ හැමදෙනාම කතා බස් කරන බවයි. එවිට අර ප්‍රියමනාප යුවතිය කිව්වේ I am going to miss my congregation & the community that i work.මේ අදටත්  සබ්‍රිනා මට හොඳින්ම මතක තියෙන විදියයි .එදාට පසු දිනයේ අපේ  පුහුණුවේ දී අපි එකිනෙකා හඳුනාගත් අවස්ථාවේ ඇය කන්‍යා සොයුරියක් බව කී විට අප පුදුමයෙන් පුදුමයට පත් වුවත් කාටත් නොදැනීම අප සිත් දිනාගත් මිතුරියක් වෙන්නට සබ්‍රිනාට හැකිවුණා.


ජීවා සහ මා හමුවුනේ එකම පීඨයක   වසර හතරක් එකට උගත් මිතුරියන් ලෙසයි.ඇය මට නිරතුරුව මතකයට එන්නේ ස්පෝට්ස් දිනයට ක්‍රිකට් ගහන්නට ආ කෙල්ලන් කන්ඩායමේ ඉදිරි පෙල සාමාජිකාවක් ලෙසයි. මිටි සිහින් සිරුරකින් හා සිනහ මුසු මුහුණකින් යුතු ජීවා  අනලස්ව ඉගෙනීමේ කටයුතු වල යෙදුනා. ඇය  වෘතීය ජීවිතයට  පිවිසී ඉතා කෙටිකලකින් රජයේ අධිකරණ සේවය හා බැඳුණ ප්‍රකට දෙපාර්තමේන්තුවකට එක්වුණේ දීප්තිමත් අනාගතයකට හිමිකම් කියමින්.


 සබ්‍රිනා ඩාර්ජිලින් වල ධනවත් වෙලඳ පවුලක සුව පහසු ජීවිතයට හිමිකම් කියූ තරුණියක් .ඇය කන්‍යාරාමයට යන්නේ වයස දහනවයක් තරම් හිරිමල් වියේදී. වෘත්තීය ජීවිතයේ දීප්තිමත් අනාගත්යකට හිමිකම් කියූ මැදපන්තියේ පවුලකින් පැමිණි ජීවා භික්ෂුණී ආරාමයට යන්නේ සිය තුරුණු දිවියේ තිස් විය එලඹීමටත් පෙරයි   මේ දෙදෙනා ගැනම කියූ තොරතුරුවලින් ඕනෑම කෙනෙක් සිතනු  ඇත්තේ ජීවිතයේ කොතැනක හෝ ඇතිවූ මහා කල කිරිමකින් ,නොසතුටක් නිසා ඔවුන් ගිහි ගෙය හැරගිය වගයි .එසේත් නැත්නම් සිතනේ මොවුන් මැණිකකට පයින් ගසා ගිය මෝඩයන් හෝ පිස්සන් ලෙසයි .


සබ්‍රිනා පලමුව හඳුනාගත් දිනයේ අපි සියලු දෙනාම ඇයට යොමු කලෙත් මේ පැනයමයි . ඉතා සිනහ මුසුව එය ඇසූ ඇය අපිට පිළිවදන් දුන්නේත් පැනයකින්මයි .
"ආධ්‍යාත්මික ජීවිතයකට යන්නේ කලකිරීම් ඇතිවුණොත් විතරමද "? ඇයි සතුටින් තීරණයක් අරන් කන්‍යාරාමයකට යන්න බැරි ?
 "මම හොඳින්ම දැනගෙන හිටියා කන්‍යාරාම ජීවිතය බොහොම කටුක බව . මම බොහොම ඉක්මනින් ඒකට හුරු වුණා .ඒ මම කැමැත්තෙන් මේ ගමන් ආව නිසා . මට ඕනෙතරම් ඉඩ තිබුණා මේ ජීවිතය අතහැර යන්න . මගේ අවසාන පොරොන්දුව දෙද්දිත් මට ඊට ඉඩ තිබුණා. ඒත් මම එහෙම නොකලේ මගේ හිතේ ඇතිවුණ තදබල කැමැත්තෙන් දේව සේවයට ආව නිසා . අදත් මට පුලුවනි මේ ජීවිතෙන් මිදෙන්න . නමුත් එහෙම කරන්න තරම් හේතුවක් මට නැහැ. රැකියාව , විවාහය ,ඉගෙනීම වගේ දේ වලින් ඔබ ලබන සතුට හා සමාන සතුටක් මමත් පැවිදි දිවිය තුල ඉඳිමින් මිනිස්සුන්ට උපකාර කරමින්  ලබනවා".ඈත නේපාල් මිටියාවතේ කඳු හෙල් තරණය කරමින් දුෂ්කර ගම්බද මිනිස්සුන්ට උපකාර කරන්න යන්නෙත් , අඩුපාඩු පිරුණ ගම්බද ආරාම වල මගේ තරුණ කාලය ගෙව්වේත් ,පූජ්‍යත්වයට පෙර කල්කටාවේ  ඉතාම අඩු පහසුකම් සහිත පරිසරයක ඉගෙනුම ලබමින් අපිස් දිවියකට හුරුවුනෙත්,ලාදුරු රෝහල් වල ලෙඩුන්ට උපස්ථාන කලෙත්  ඉතාම සතුටින්.සමහරවිට ජීවිතේ කල කිරිල පැවිදි වුණානම් මට මේ තරම් සතුටින් සේවය කරන්න ඉඩ ලැබෙන්නෙ නෑ."


ජීවා ඇගේ පැවිද්දෙන් පසුව මට හමු වුනේ නැහැ. ඇය මීට වසර 3කට පෙර පැවිදි වූ වග දැනගත්තේ ඉතාම මෑතක මිතුරියක් මාර්ගයෙන් .ඇගේ තීරණය ගැන ඇසුවා නම් ඇයත් මට දෙනු ඇත්තේ සබ්‍රිනාට සමාන උත්තරයක් . දීප්තිමත් වෘතිය ජීවිතය පසෙක දමා පැවිදි දිවියක ඇති සීමා ,වගකීම්  ,කටුක බව විෂේශයෙන් ලංකාවෙ ස්ත්‍රී පැවිද්ද එතරම් අගය නොකරන කාලයක මෙවැනි තීරණයකට එලඹෙන්න තරම් යහපත් තිර සිතුවිලි ඇයට තියෙන්නට ඇති .


අපේ  කතෝලික පල්ලිය නිර්දය ලෙස විවේචනය කිරීම් ,  නොසන්ඩාල විහිලු තහලු ප්‍රිතිමත් ලෙස සිනා මුසුව අසන්ට  සබ්‍රිනාට තිබුනේ පුදුම  ඉවසීමක් .කොටින්ම අපි අපේ නඩය unholy congregation  ලෙස හඳුන්වා ඇය holy sister  ලෙසත් , අපි අතර වූ ඉතාම කටකාර හා විසේකාර එකියක් holy lucifer  ලෙස  ආමන්ත්‍රණය කරන විටත් ඇය සිනහසුන අයුරු මට මතකයි . අදටත් අපි අතර හුවමාරු වෙන  ඊ මේල් පණිවුඩ වල මේ නොසන්ඩාල විහිලු කතා තිබුණත් ඇය සිනා මුසුව අපිව ඉවසන්නීය .මේ තරම් ලඟින් අපි ඇසුරු කල මුත් ඇය අපේ නාඩගම් වැඩ හෙලා දුටුවේ නැත .නමුත් ඊට එක්වුනේත් නැත . ඒ ඇය තුල වූ සංයමය නිසා විය යුතුය .තිස්පස් වියට වත් නො එලඹුන ඇයට ඒ හික්මීම අත්දැකීම් තුලින් පුරුදු පුහුණු කළා විය යුතුය .


"සමාජය අපි පැවිදි ජීවිතයට ගියහම දේවත්වයෙන් සලකලා අපිව  බාහිර සමාජයෙන් ඈත් කරන්න හදනවා. නමුත් අපිත් සාමාන්‍ය මිනිස්සු . අපිටත් පැවිදි දිවිය තුල වැරදෙන තැන් එමටයි.අපිට අසාමාන්‍ය බලයක් නැහැ සාමන්‍ය මනුස්ස ලෝකෙ තියෙන හැඟීම් වලින් ඈත්වෙන්න ". වරෙක තම පැවිදි ජීවිතයේ හදිසියෙන් ඇතිවී නැතිවූ ප්‍රේම කුණාටුවක්  ගැන ඇය පාපෝච්චාරණය කරමින් කිය හිටියා .


එදා ක්‍රිකට් ගහන්නට ආ කෙල්ලන් රැලෙහි පෙරමුනේ සිටි ජීවාද අද මෙබඳු සංයමයකින් කසාවත් දරා ජීවිතය දෙස දකිනු ඇත . තම රැකියාවෙන් ලද සතුටට වඩා සතුටක් ඇයට පැවිද්දෙන් ලැබෙනු ඇත .  අප ඉතා ගරු කරන අපට උගැන්වූ විශ්ව විද්‍යාල ආචාර්යවරියක් අවසන් වසරෙහිදී අපට කිවේ තමන් ඉතාම සතුටට පත් වෙන දෙය තම වෘත්තිය කරගන්නා ලෙසත් එම කාර්ය ඉතාම උසස් අයුරින් කැප වී ඉටු කරන්නටත්ය.ඒ තුල වැදගත් වන්නේ අපේ තරාතිරම නොව අප කැපවී කරන කටයුත්ත බව ඇය අපට පැහැදිලි කලාය .


ඒසේ නම් සබ්‍රිනා සහ ජීවා යනු මුග්ධයින් හෝ ජීවිතය කලකිරුන වුන් නොවේ. කිසිදු දෙයක් කරගත් නොහුනු තැන පැවිද්දි වූවන්ද නොවේ . ඒ දෙදෙනාම අපිට වඩා පරිණත , සංයමයකින් හා ජීවිත දැක්මකින් යුත් ,බොහෝ ඇලීම් බැඳීම් ඉවත දමා එන්නට තරම් තිර සිත් ඇති ,කැපවීමක් ඇති,ජීවන දැක්මක් සහිත ගැහැණුන්ය . මේ දෙදෙනාම මතු  යම් දිනෙක තමන් යන ආධ්‍යාත්මික  මග වෙනස් කොට අප හා එක්වුවද මම ඔවුන් පරාජිතයන් ලෙස නොසකලකමි . ඒ ඔවුන්ගේ තීරණයයි. එසේ වුවද ඔවුන් කෙරෙහි මසිත නොපහන් හැඟීමක් හට නොගනු ඇත. මට ඇවසි වුයේ මිනිස් ජීවිතයේ සමහර තීරණ සහ ලෝකය දෙස බලන දෘෂ්ටිය කෙතරම් පුදුම සහගතදැයි විමසීම පමණකි 


සියලු සැප සම්පත් , අනාගත යස ඉසුරු , බැඳිම් හැරපියා සරල දිවියකට හුරු වුණ ඔවුන් යම් දිනෙක සිය අපිස් දිවිය ගැන උදන් අනමින් නූතන තේරි ගී ලියනු ඇතැයි මට හිතේ.






In the eyes of  flowers,flowers is the world
In the eyes of thorn,thorn is the world
The shadow is casted according to the object
In the eyes of thorn,thorn is the world
In the eyes of  flowers,flowers is the world


 May my heart be pure
May my words be like of the Buddha
May my feet never kill any insects]
In a beautiful eye opens a beautiful world
 In the eyes of thorn,thorn is the world
In the eyes of  flowers,flowers is the world


May I see the bright moonlight in a dark night
and hear the music of life with the moments of bliss
 In a transparent heart opens a transparent world
In the eyes of thorn,thorn is the world
[In the eyes of flowers,flowers is the world
In the eyes of thorn,thorn is the world
The shadow is casted according to the object


ප/ලි
මේ මම ඉතාම ප්‍රිය කරන නේපාල් ගීයක් .මෙහි විශේෂයක් තියෙනවා .මෙය ගයන්නෙත් Ani Choying Dolma නම් වූ නේපාල් ජාතික බෞද්ධ භික්ෂුණියක් . ඇගේ Moments of Bliss  ඇල්බමයේ ඇති මේ මිහිරි ගීය මගේ පැවිදි මිතුරියන් වෙනුවෙන් . නේපාලයෙදී මම මේ භික්ෂුණියගේ ගීත සජීවීව අසා තිබෙනවා
Moments of Bliss ඇල්බමය මට තෑගි ලැබුණේ මගේ හොඳම නේපාල් මිතුරියක් වන මෝනා ශර්පාගෙන්.

Saturday, February 5, 2011

ප්‍රේම පුරාණය ,ආර්ථික විද්‍යාව සහ සුනේත්‍රා



වැඩිදෙනෙක් සුනේත්‍රා රාජකරුණානායක විසින් ලිව්ව "ප්‍රේම පුරාණය" පොත කියවල ඇතිනේ.මට මේ පොත කියවන්න ලැබුනේ පැඟිරි වයසේ දී වගේ .ඒ කියන්නේ වයස දහනවේදී විතර.ප්‍රේම පුරාණය , ලෝකෙවටා යන සංචාරක පිස්සුව සුනේත්‍රාගේ වචනවලින් කිව්වොත් පරණ ගඩොල් නැරඹීමේ පිස්සුවෙන් හිටි නිර්මලා ජයසූරිය කියන බොහොම නිදහස් මතධාරී පත්තරකාරියකගේ ශෘංගාරාත්මක අසම්ත පෙම් කතා ගොඩක් .වරෙක ප්‍රේමයේ ඇලෙමින් තවත් විටෙක ප්‍රේමයන් ඉවත්වෙමින් ප්‍රේමය අත්විඳින්න ගත්ත වෑයමක් කියලයි කතුවරිය කියල තිබුනේ. කොහොම වුණත් මේ පොත මා අතට පත්වෙන්නෙත් තරමක් පුදුම විදියකට . ඒ අපේ ඉස්කෝලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදී උසස්පෙල ආර්ථික විද්‍යා විෂය සඳහා ඉහලම ලකුණු ලැබූ ශිෂ්‍යාට ලැබෙන ත්‍යාගය ලෙසින් . ඔය වයසෙදී ගොඩක් ඉස්කෝලවලින් තෑගි ලැබෙන්නේ විෂයට ගැලපෙන පොත් මිසක් ප්‍රේම කතා නෙවෙයිනේ . මේ කතාවේ හොඳම හරිය තමයි මගේ තෑග්ගට අනුග්‍රහය  දීල තිබුණෙ මට අවුරුදු දෙකක් ආර්ථික විද්‍යාව උගන්වපු ගුරුවරයා. සුනේත්‍රා වරෙක ඇගේ "මතක පොතෙහි" තමන් උගත් රත්නපුරේ මිෂනාරි පාසල ගැන "බ්ලේක් සමයේ පාසල් මතක" සටහනේ කියාතිබුණා එවක ඔවුන්ගේ තුරුණුවියේහි පාසල තුල ප්‍රේම කතා, මාරක කතා කියවීම මිෂනාරී කන්‍යා සොයුරියන් තහනම්කොට තිබූ වග .නමුත් ඉතාම බෞද්ධ ආගමික පරිසරයක වූ මගේ පාසලෙන් ඇගේ ප්‍රේම පුරාණය මට තෑගි ලැබීම යම් ප්‍රමාණයක විස්මය දනවන කරුණක්.


ප්‍රේම පුරාණය මට මතක්වුනේ ගිය සතියේ දවසක සරසවියට ගොඩවැදුන නිසා.වෙනත් විෂයකට අදාල පොතක් මිලට ගන්න ගියත් අන්තිමට නතරවුණේ නවකතා පොත් රාක්කෙ ගාව. අංශක අනූවට විතර බෙල්ල ඇද කරගෙන පොත් වල නම් ගම් විස්තර කියවද්දී රාක්කේ උඩින්ම තිවුණ සුනේත්‍රාගේ පොත් වලට ඇහැ ගියේ නිතැතින්ම . නවකතා පොත් සල්ලිදීලා අරගෙන කියවන පුරුද්දක් මට නැතත් සුනේත්‍රාගේ පොත් මිලට ගැනීමේ තණ්හාවක් ප්‍රේම පුරාණය කියවූ පසු මට තියෙනවා.ඒ නිසාම කලින්වතාවල සරසවියෙන්ම "පොදු පුරුෂයා", "නන්දිතය" , "බත් තරංග", "කෙටි පණිවිඩ හා දිග කතා","රිදී තිරංගනාව", "සුබෝධාලංකාරය","මතක පොත 1, 2", "හර්ද්ය සූත්‍ර", සහ "සඳුන් ගිර ගිනිගනී" ගෙනැවිත් කියෙව්වා.මේ හැමපොතක්ම සුනේත්‍රාටම ආවේණික සරල කටවහරට අනුව රසවත්ව කුතුහලය එක්කර කතන්දර කීමේ රටාවකට ලියැවුන පොත් . ඇගේ හැම පොතකම ප්‍රේමණීය සමහර වෙලාවට බොලඳ, ප්‍රේමය වෙනුවෙන් මට සිලිටි බොරු ගොතලා හිත රවටාගන්න, ආයෙත් පෑරුණ හදවතේ තුවාල කැලැල් ගැන දුක්වෙන,ප්‍රේමය බෙදාගන්න බැරුව රණ්ඩුවෙන ආයෙමත් ප්‍රේම කරන ගෑණු මිනිස්සුන්ගේ කතා එමටයි . නිදහස් ශයිලියකින් ලියන කතුවරිය ආලවට්ටන් දාල පෙම් කතා කියන්න දස්සයි.ඒවගේම ඇගේ පොත්වල බොහොම ප්‍රබල ගැහැණු චරිත නිර්මාණය වෙනවා. ජීවිතේ ගැන බොහොම විමසුම් බැලුම් හෙලන උගත් ,නූගත් නාගරික සහ ගැමි ගෑනු ඇගේ පොත් වල ජීවත්වෙනවා.කෙටි පණිවිඩ හා දිග කතා පොතේ කෙටිකතාවක ගැමි ගැහැණියක් යුද සෙබලෙක් සමග හොරෙන් විවාහවෙන්න යන ඇගේ දුවට කියන්නේ "ගෑණියෙකුට ජීවිතේ ගෙනියන්න හමුදාවකට වඩා හිතේ හයියක්" උවමනා බවයි .


මතකපොත 1 සහ 2 තුලින් සුනේත්‍රාගේ කතන්දර සහ ඇගේ සිතුම් පැතුම් වල අක් මුල් හෙලිකරගන්න සමහර අවස්ථාවල මග පෑදෙනවා කියලා මට හිතෙනවා. "සංවර්ධන සුබ සිහිනවල ස්ත්‍රී දායකත්වය" ගැන කියන කතුවරිය ඈත සූරිය වැව වගේ ගම් දන්වු වල වැස්සකටවත් ඉස්කෝලෙ නොගියත් කවි සින්දු කතා ලියන ගැමි ගෑනු ගැන කියනවා. ඒ අතරේ ඉන්දියාවෙත් චීනයේත් පැරණි නගර , මාලිගා හා මිනිස්සු ගෑණු අතර තනිවෙමින් සිහින දකින්නියක් වෙනවා.වරෙක ඇය සිය චරිතය තුල වූ දුඹුල් තැන් බොලඳ ගති ගැන තමන්වම හාස්‍යටත් ලක් කරගන්නවා. තදබල සමාජවාදී උණකින් ආතුරව සිටි තම තුරුණුවිය සිහිපත් කරන කතුවරිය තමන්ට සදය සිනා නගන්නේ "රුසියාවට වහිනකොට රත්නපුරේ ඉඳන් කුඩයක් අල්ලාගෙන හිටි ගෑනු ළමයා" කියමින් .


මෙවර සරසවියේ පොත් රාක්කෙන් මට හමුවූ සුනේත්‍රාගේ අලුත් පොත් තුනක් තිබුණා. ඒ "පූර්ව ජන්මය" ,"සුචිත්‍ර චාරිකා සටහන්" සහ "බුද්ධදාසි" පොත්.පූර්ව ජන්මය සහ සුච්ත්‍ර චාරිකා සටහන් තුල මා දුටුවේ ආලවට්ටන් දමා ප්‍රේම කතා කියන කතුවරියකට වඩා යම් ආධ්‍යාත්මික සතුටක් සොයා යන්නියක්.සුචිත්‍ර චාරිකා කතුවරිය දකුණු ඉන්දියානු ආගමික ස්ථාන කරා ගිය වන්දනා චාරිකා කතා එකතුවක් .ඒත් පූර්ව ජන්මය නම් කියවන්න මම වෙලා නොගත්තේ බුද්ධදාසි වඩා හිත් ගත්ත නිසා.


බුද්ධදාසී සුනේත්‍රාගේ අනික් නවකතාවලින් වෙනස්වුණ ඉතිහාස කතා ඇසුරෙන් ගොඩනැගුන ප්‍රබන්ධ කතාවක් හා සමානයි.බොහෝ වංශකතා,අටුවා ටීකා, වල කියැවෙන්නේ අනුරාධපුර යුගයේ රජුන්ගේ වීර ක්‍රියා , වාරි කර්මාන්ත , වෙහෙර විහාර කර්මාන්ත ගැන වුවත් වංශ කතාවල නොලියවුණ රජ සිටු මැදුරු තුල වගේම අභය ගිරිය ,මහා විහාරය වගේ පන්සල්වලත් වූ බල අරගල , නොහොඳ නෝක්කඩු, සිත් රිදුම් ,ඊර්ෂ්‍යාවන් , සීතල යුද්ධ සහ ඒ වාට මැදිව දුක් දොමනස් සහ වයිර ගිණි ගොඩවල් වල දැවෙන රජ සිටු ඇමතියන් සහ පොදු ජනයා ගැන කතාවක් "බුද්ධදාසි".මේ බල අරගල වලදී රාජ්‍යත්වය සුරකින්න , හදිසි සමාදානය වෙනුවෙන් ගෑණුන්ගේ ජීවිත බිලිවෙන අයුරු ඇය විස්තර කරනවා.සුනේත්‍රාගේ කතන්දර කීමේ විලාසය නොඅඩුව මේ පොතෙත් තියෙනවා. සෙසු පොත් වල වගේම දුකින් තැවුණත් ,දුකින් නැගිටින ප්‍රබල ගැහැණු චරිත මේ ඉතිහාස කතාවෙත් ඉන්නවා.


ප්‍රේම පුරාණයෙන් සුනේත්‍රා කියවන්න පටන්ගත් මම අන්තිමට සරසවියෙන් පිටවුනේ "බුද්ධදාසි" නවකතාවත් මිලට අරගෙනයි.සුනෙත්‍රාගේ බොහෝ පොත් වල සටහන් ගැන මතකෙන් කියන්න මට පුලුවන්. ඒ අතරින් මගේ සිත් ගත් ප්‍රේම පුරාණයේ ඉන්ග්‍රිසි පරිවර්තන සටහනකින් (Attaining Age ) මේ කතාව ඉවර කරන්න හිතුවා.


" I laughed with a hundred new eyes . The eyes acquired after many workshops and many seminars . Those eyes appear all over the room. How can i explain it in plain words ?? He'll never understand .I did not want to spoil the evening. After all these years ,we were there to love and to be loved , not to hold preliminary session for the forth world conference on women."
Attaining Age - p - 33 -Sunethra Rajakarunanayake -Sarasavi Publishers


ප/ලි


සුනේත්‍රා මම ප්‍රිය කරන කතුවරියක් .ඇය ගැන මම දැනගත්තේ ආර්ථික විද්‍යාවට පාසලෙන් තෑගි ලද ප්‍රේමපුරාණයෙන් . මේ සුනේත්‍රාගේ පොත් වල ගුණාගුණ විවේචනය කරන්න ලිව්ව සටහනක් නම් නෙවේ