ලැප්ටොප් එකට වයිරස් එකක් ගිහින් කිසිම පයිල් එකක් ඕපන් කරගන්නවත් ඩොන්ගල් එකෙන් ඉන්ටෙර්නෙට් යන්නවත් බැරිවුණ වෙලාවේ නිකන් පපුව හිර වෙලා හදවත කඩාගෙන වැටුණා .දැන් කොහොමෙයි ඊ මේල් යවන්නෙ , චැට් කරන්නෙ , මූණු පොත බලන්නෙ , නිවාඩු උණත් රාජකාරි ඊමේල් ලියන්නෙ ,සින්දු අහන්නෙ , යූ ටියුබ් එකෙ නිව්වි හැනහිල්ලේ ආසකරන චිත්‍රපටි බලන්නෙ ? වනේ වන හතුරෙකුටවත් නම් මෙහෙම විපතක් වෙන්න එපා . ලැප්ටොප් එක මගේ ජීවිතේ කොටසක් වගේ නෙ . ඒ තරම් මම දැලේ සැරිසරන්න ඇබ්බැහිවෙලා . අපේ ඔෆිස් එකේ IT මැනේජර් සතියකට නිවාඩු.කාට කියල හදවගන්නද ?දවස් දෙකක් තිස්සේ දන්න ඔක්කොම සෙල්ලම් දාල යන්තම් දෙය්යනේ කියල යතාතත්වෙට පත්කරගතේ.
මට මුලින්ම ලැප්ටොප් එකක් පාවිච්චි කරන්න ලැබුනේ දැනට අවුරුදු පහකට විතර කලින් . රස්සාවට ඇවිත් මාස හයකින් ඔපිසර පට්ටමකට ප්‍රමෝශන් එකකුත් එක්ක අලුත් Toshiba Sattelite වර්ගයේ ලැප්ටොප් එකකුත් මට කන්තෝරුවෙන් ලැබුණා .ඉතින් අලුත්ම තාක්ෂණේ කිරි ටොය්යියෙක් ලැබුණම පුදුම ප්රීතියකුයි ආඩම්බරේකුයි දැනුනට මොකෝ එකේ රඟේ තේරුණේ අවුරුද්දක් විතර ගිහින් . ඉතින් දෙයියනේ දැන් ඔය යත්ත්‍රය යන යන තැන පරිස්සමින් ගෙනියන්න ඕනෙ ඒ විතරක් නම් මොකෝ ඕනෙ හදිසියකට නිවාඩුද සෙනසුරාද ඉරිදද කියල නෑ ඔෆිස් එකේ හදිසි පණිවුඩ රාජකාරි වලට උත්තර බඳින්නත් සූදානමින් ඉන්න ඕනේ .
ඉතින් මගේ අලුත් ඔපිසර පට්ටමේ රාජකාරි කරගෙන අලුත් ලැප්ටොප් යන්ත්‍ර රාජයා එක්ක දැහැමෙන් සෙමෙන් කාලෙ ගතකරන අතරේ තමයි මට මේ අබැද්දිය වුනේ .ඔය දවස්වල මට දවස් දෙකක ට්‍රේනින් එකක් කරන්න හම්බන්තොට යන්න වුණා. ඉතින් අලුතෙන් ලබුණ යන්ත්‍ර රාජයත් ඔය වගෙ වැඩ වලට හරි ප්රයෝජනයිනෙ .ඒ නිසා එයාවත් ඇන්නගෙන වැඩේට ගියා . ට්‍රේනින් එකට ගොඩක් තරුණ ලමයි ඇවිත් හිටියා.ඒගොල්ලොත් ඉතින් මේ අලුත් ලැප්ටොප් රාජයා ගැන හරි විමසිලිමත් .ඒ අතරින් එක කොලුගැටයෙක් ගොඩක් උනන්දුවෙන් මේ ගැන විමසන බව පෙනුණා .මමත් ඉතින් දන්න තොරතුරු ඔක්කොම කිව්වා . ඔහොම පලවෙනි දවස ගතවුණයි කියමුකො . ඔන්න දෙවෙනි දවස .අද තමා අන්තිම දවස .අර මගේ ලැප්ටොප් එකේ අලුත් ගැජට් කෑලි ගැන උනන්දු වුණ ලමයට හදිසි වැඩක් නිසා එන්න වෙන්නෙ නෑ කියල කෝල් එකකුත් ආවා . ඉතින් ඉතුරු අයත් එක්ක වැඩ කරලා දවල් කෑමට අපි එකට විතර වැඩ නතරකරලා කෑම සාලවට ගියා . සතුටු සාමිච්චියෙන් කාලා බීලා ආයෙත් වැඩපටන් ගන්න දේසන සාලාවට ආවා කියමුකො.මලා..... මගේ ලැප්ටොප් රාජයා තිබුණ තැන නැහැ. වයර් කෝඩ් එකයි මවුස් එකයි ලැප්ටොප් බෑග් එකයි විතරක් මේසෙ උඩ තියෙනවා .කවුරුවත් විහිළුවටවත් හැංගුවද ? හැමෝගෙන්ම අහලා බැලුවා , ට්‍රේනින් සෙන්ටර් එක බාරව හිටි අයගෙනුත් ඇහුවා . ම්හූ කවුරුත් එහෙම කරලා නැහැ. කොහෙන් හොයන්නද ? දැන් ඉතින් කරන්න දෙයක් නෑ. අපේ ඔෆිස් එකේ ලොජිස්ටික් අංශයේ උපදෙස් පිට පොලීසියන්න තීරණය කලා.
එතන් ඉඳන් තමයි රසවත්ම කතාව . මේ පොලීසිය තංගල්ලයි අම්බලන්තොටයි අතර පොලීසියක් . රාලහාමිලා කියන සුනංගුවට ආවා.ට්‍රේනින් සෙන්ටර් එකේ උදවිය ,ට්‍රේනින් එකට ආව අය කාගෙනුත් කට උත්තර ගත්තා .ඔන්න එතකොට පොඩි හෝඩුවාවක් ආව .කලින්දවසේ ට්‍රේනින් එකට ආව මිටි ,මහත ,ඉත්තැකූරු කොන්ඩේ තියෙන පිරිමි ලමයෙක් අපි කෑමට ගිය අතරේ දේසන සාලාවට ඇවිත් ගිහින් .ඇවිත් තියෙන්නෙ ත්‍රීවීල් එකකින් . ආපයින්ම ගිහින් .යද්දී තරමක සී ආර් පොතක් වගේ දෙයක් ඉටි බෑග් එකක අරන් යනවා එතන හිටි කෙනෙක් දැකලා . දැක්කකෙනා මේ ගැන වැඩි විපරම් කරල නැත්තේ ඔය ගැටයා කලින්දවසෙත් ආව කෙනෙක් නිසා.කිව්ව හැඩහුරුකම් අනුව නම් කලින්දවසේ ලැප්ටොප් එක උනන්දුවෙන්න අත පත ගෑව ගැටයට සමානයි . විස්තරේ සොයාගත්තු ගමන් මට පොලීසියට ගිහින් පැමිණිල්ලක් දාන්න කියලා රාලහමිලා ඉගිලුනේ ත්‍රීවීල් පාක් එකට .
පේන විදියට නම් මගේ ලැප්ටොප් එක හොරකම් කරලා .මේ තරම් කාලෙකට අපේ ඔෆිස් එකේ මෙහෙම දෙයක් වෙලා නෑ. ඔන්න දැන් ලැප්ටොප් එකේ විස්තර , නම ගම ,අවසාන වතාවට දැක්කවෙලාව වගේ වග විස්තර සාවධානව මගෙන් අහගත්තු රාලහාමි කෙනෙක් පොලිස් පැමිණිල්ල අර ලොකු පොතේ ලියනවා මෙන්න මෙහෙම .
මිස් ටී.ජී විසින් පරිහරණය කල වර්ගයට අයත් රුපියල් 200,000 පමණ වටිනා "ලැට්" යන්ත්‍රයක් xxxxxxx දින හෝ ඊට ආසන්න දිනකදී xxxxx නම් ස්ථානයේදී සොරකම් කරගෙන ඇත. මෙමෙ "ලැට්" යන්ත්‍රය ටී .ජී රාජකාරි කරන xxxx ආයතනය මගින් ලබාදී ඇති xxxx අංකය දරන නිල "ලැට්" යන්ත්රයයි . "
දෙයිහාමුදුරුවන්ටම ඔප්පුවෙච්චාවෙ ! රාලහාමි "ලැප්ටොප්" කියන වචනෙ වෙනුවට නම කොට කරලද මන්දා "ලැට්" කියලා අලුත් නමක් හදලා . දැන් ඉතින් ඔය පැමිනිල්ල කියෝල ඒක නිවැරදි බවට අස්සන් කරන්නත් ඕනෙ නේ. ඉතින් ඊට කලින් මම රාලහාමිට කිව්ව "ලැට්" කියන නම වෙනුවට "ලැප්ටොප්" කියලා ලිව්වොත් හොඳා කියලා.ඉතින් නම වෙනස්කොරල ලියනගමන් රාලහාමි කියනවා "හරි පුදුමයිනෙ මිස් ටී ජී දැන් අතේ ගෙනියන "ලැට්" කොම්පියුටරුත් තියෙනව එහෙනම් .හොරුන්ට කියාපු බඩුවක් " කියලා .මම වෙච්චි අලකලංචි මැද්දේ හිනාව තද කරගත්තේ හරිම අමාරුවෙන්.ඔය අතරේ පොලීසියට සැපත්වුන ඕ අයි සී මහත්තයා මට එන්න කියලා පණිවුඩයක් එව්වා. ඉතින් නිල මැදිරියට ගියහම එතුමා කිව්වෙ මේ හොරකම ගැන පරීක්ෂණ කරන්න උවමනා හේතු සාධක ඕනෙ තරම් තියෙනවා කියලා .
"මිස් ටී .ජී අර කිව්ව හැඩහුරු කම තියෙන කොල්ලෙක් වීල් පාක් එකේ ඩැයිවර් කෙනෙක් එක්ක හයර් එකක් ගිහින් තියෙනවා.අපිට වීල් පාක් එකේ කොල්ලන්ගෙන් විස්තරේ ලැබුණා.මේක බරපතල හොරකමක් .මම ලේසියෙන් අරින්නෙ නෑ මේක .කොල්ලගේ, නම ,ගම, ලිපිනය තියෙන විස්තර ට්‍රේනින් එකේ පැමිණීමේ සටහනේ තියෙනවනේ .අපිට ඒ හොඳටම ඇති ඉන්වෙස්ටිගේෂන් එකට. මම දන්නවා ඔය කොම්පියුටර් ගොඩක් මිලයි.අපේ SSP මහත්තෙයෙකුත් ලඟදී ඔයින් එකක් ගත්තා"
ඔන්න දැන් ලොකු මහත්තයගේ අණ පරිදි පොලීසියේ රාලහාමිලා "ලැට්" එක සෙවීමේ මහා මෙහෙයුමට යන්න ලේස්තිය. පොලීසියේ ඒ වෙලාවෙ වාහනයක් තිබුණේ නැති නිසා අපේ ඔෆිස් එකේ හයර් වෑන් එක රාලහාමිලට ලැබුණා. ඒගොල්ලන්ට මේක කොච්චර ත්‍රිල් කේස් එකක්ද කිව්වොත් ඒ වෙලාවෙ ඩියුටි ඕෆ් වෙලා උන්නු රාලහාමිලත් පොලිස් කෝට් දාගෙන වාහනේට ගොඩවුණා.ඔන්න ඒ අතරේ ඕ අයි සී මහත්තයාගෙ ගෝරණාඩුව ඇහුණා.
"දැන් තමුසෙලා දන්නවද ඔය නැතිවෙච්චි ලැප්ටොප් එකේ හැඩ හුරුකම විස්තර එහෙම , යන්න කලින් ඒගැන අහගන්නව මේ මිස් ටී .ජී ගෙන්"
ඊට පස්සේ ඕ අයි සී මහත්තයා හිමින් සීරුවෙ මටකියනවා "මිස් ටී ජී මේ අය ඩෙස්ක්ටොප් දැකලා ඇති .ඒත් කවුරුවත් ලැප්ටොප් ගැන දන්නෙ නෑ, දැකලත් නෑ.ටිකක විස්තර කරල කියන්න මොකක්ද කිඅයලා .මම ඕක දැක්කෙත් අපේ SSP මහත්තයා ගාව තිබිලා"
ඔන්න රාලහාමිලා පූස් පැටවු ටිකක් වගේ වාහනෙන් බැහැලා ඇවිත් 'ලැට්" එක ගැන විස්තර අහනවා . මාත් ඉතින් කියනවා ."මෙක මේ අතේ ගෙනියන්න පුලුවන් හරියට පයිල් එකක් වගේ අරින්න ඇහැකි දෙයක .එහෙම ඇරියම තිරයක් තියෙනවා.නිකන් සී ඩී ප්ලේයර් එකක් වගෙ හැඩහුරු කම . ඔහොම කියලා අන්තිමට ලැප්ටොප් බෑග් එකේ තිබුණ මැනුවල් එකෙන් ලැට් එකේ පින්තූරෙකුත් පෙන්නුවා .
ඔය අතරේ අපේ ලොජිස්ටික් එකේ චන්දන මට රහසෙන් කියනවා "ටී ජී මටනම් ෂුවර් නෑ , මේ රාලහාමිලා ලැප්ටොප් එකක් කියලා මොනවා උස්සගෙන ඒවිද කියලා ".වෙච්චි අලකලංචි මැද මට ආයෙත් හිනා යන්න එනවා.
ඔන්න ඉතින් පොලීසියෙ කටයුතු ඉවරවෙලා මම නවාතැනට ගියා හිත තාන්තුවාවෙන් . මම හිතුවෙ නැහැ කීයටවත් මේක හොයාගන්න පුලුවන් වේවි කියලා .කවදාවත් අපේ ඔෆිස් එකේ මෙහෙම ලැප්ටොප් එකක් නිලධාරියෙක් අතින් නැතිවෙලා නැහැ. මට මේකෙ අලාබේ පඩියෙන් ගෙවන්න වේවිද මන්දා කියලා හිත හිත ගෙදර ගියේ .නමුත් ඕ අයි සී මහත්තයා නම් එක හෙලාම කිව්වේ බඩු එක්ක හොරා කොහොමහරි අල්ලනවා කියලා.කිව්වත් වගේ මෙන්න එදා රෑ මැදියමේ මට කෝල් එකක් ආවා එතුමාගෙන් ලැප්ටොප් එකයි හොරයි දෙන්නම අල්ලා කියලා.මට සොර බඩුවේ අයිතිය තහවුරු කරන්න අදාල ලිය කියවිලිත් අරන් උදෙන්ම පොලීසියට එන්න කිව්වා.එදාම හම්බන්තොට මහේස්ත්‍රාත් උසාවියට දාල ලැප්ටොප් එක නිදහස් කරගන්න පුලුවන් කිව්ව . හොරකම් කරලා තිබුණේ ට්‍රේනින් එකට ආව ගැටයා. කොල්ල ඒ අවුරුද්දේ දෙවෙනි පාරට උසස්පෙල ලියනවා කියලා ඕ අයි සී මහත්තයා කිව්ව. මට ඕන වුනේ ලැප්ටොප් එක විතරක් නිසා පෙර වැරදි නැත්නම් කොලුවට අත්හිටවූ හිර දඬුවමක් වගේ හිරගෙදර නොයන ක්‍රමේකට වැඩ සලස්සන්න කියලත් එතුමගේ ඒ වෙලාවෙ ඉල්ලාහිටියා.
ඔන්න පහුවෙනිදා තමයි වැඩේ.මම පොලීසියට යනකොට ඉස්සෙල්ලම මුණගැහුනේ පැමිණිල්ල ලිව්ව රාලහාමි . එයා හිනාකටක් පුරවගෙන ඇවිත් "හා මේ අපේ "ලැට් මිස්" නේ , ඔන්න අපේ ඕ අයි සී මහත්තයා බඩු එක්ක හොරු ඇල්ලුවා " කියාගෙන ගියා .
ඊලඟට ඕ අයි සී මහත්තයා මුණගැහිල ඉස්තුති කරලා ඉවරවුණාම එතුම කිව්ව මගේ ලැප්ටොප් එක අඳුනාගන්න කියලා . ඉතින් ඔන්න රාලහාමි කෙනෙක් එක්ක තව කාමරේකට ගියා. ඒ රාලහාමි ලොකු ලී පෙට්ටගමක් වගේ එකක් ඇරගෙන අනිත් රාලහාමිගෙන මෙන්න මෙහෙම අහනවා .
"මචං මේ මිස්ගෙ ලැට් එකේ නඩුබාණ්ඩ අංකේ මොකක්ද "?
"xxxxx මචං" අනික රාලහාමි උත්තර දෙනවා
"නෑ බන් xxxxx කියන්නේ ඊයෙ අල්ලන් ආව කසිය බෝතලේනෙ "
දෙය්හාමුදුරුවන්ට ඔප්පුවෙච්චාවේ මගේ "ලැට්" එක හොරබඩු දාල තියෙන පෙට්ටියේ කසිය බෝතල් එක්ක තමයි රැයක් පුරා තිබිල තියෙන්නෙ . මට හිනාත් යනවා
ඉතින් කොහොමහරි එදාම උසාවියෙන් ලැප්ටොප් එක නිදහස් කරගත්තා .කොල්ලට පෙර වැරදි නැති නිසාත් ,වැරැද්ද පිලිගත්ත නිසාත් නඩුකාර උන්නාන්සේ තදින් අවවාද කරලා නිදහස් කරා . මොනවා වුණත් ඒ පොලීසියේ මහත්තුරු අපිට ලොකු උදව්වක කලේ .බොහොම අඩුපාඩු එක්ක තමයි මේ රාලහාමිලා පොලීසියේ රාජකාරි කරන්නෙ .නඩු උසාවියට දාන්න චෝදනා පත්‍ර ටයිප් කරගන්න කඩදාසිත් ගිඟයි .ඉතින් අපි ඔෆිස් එක ගානෙ ටයිපින් පේපර් බන්ඩල් පහකුයි නිල් රතු ,කලු, පෑන්, පෙට්ටි තුනකුයි පරිත්‍යාග කලා මේ කරපු යහපත් රාජකාරි කටයුත්ත වෙනුවෙන් .
ඉතින් ඊට පස්සේ අපේ ලොජිස්ටික් අංසේ කොල්ලො කතාකරන්නෙ මෙහෙම .
"මචං අපි මේ අවුරුද්දේ අලුතෙන් ලැට් ගන්නවද ?අලුත් ලැට් වලට බජට් කරාද "?
"දැන් අපේ ඔෆිස් එකේ ලැට් සර්විස් කරන්න යවන්න කාලෙ හරි නේද " ?
ඔන්න ඔහොමයි "ලැට් මිස්ගේ කතාවස්තුව "
ප/ලි
අර ලැට් එක අවුරුදු පහක්ම මාත් එක්ක දිවා රෑ නොබලා රට වටේ රවුම් ගහමින් මහන්සියෙන් වැඩ කොලා .ඉතින් අවුරුදු පහක් ගියත් ඉහෙන බහින ලෙඩක් නොතිබුණත් බොහොම පරණ නිසා ඔෆිස් එකේ නීතිවලට අනුව මට අලුතෙන් ලැට් එකක් ලැබුණා ගිය දෙසැම්බර් වල . දැන් පරණ "ලැට්" එක IT අංසයේ රාක්කයක් උඩ ඉන්නවා තනියම කාත් කවුරුවත් නැතුව බොහොම දුකෙන් .
අඩේ අවු 5 කට කලින් තමයි මටත් මුලින්ම ලැපක් ලැබුනේ.
ReplyDeleteමිනිස්සු වාහන වලට ලව් කරන බව නම් දන්නවා. යකඩ ගොඩවල් වලට මොකට පෙම් බඳිනවද කියලා කියන්නේ. මං කලින් අහලා තිබ්බේ නැහැ සිලිකන් ගොඩකට පෙම් බඳින කට්ටිය ගැන.
මට නම් කොම්පියුටර් මෙලෝ රහක් නැති ද්‍රව්‍යයක්. කැඩෙන එක නිසා වහ කදුරු වගේ. වැරදි ෆීල්ඩ් එකේ ඉන්න බව තෙරිලාත් ගොඩක් කල්.
අපේ පොඩිත්තියට අනුව සියලු විශ්වය සප්රානිකයි. එයාගේ සෙල්ලම් කාර් එයත් එක්ක ඇවිදින්න යන්නේ සපත්තු දාලා කොන්ඩේ ගොතා ගෙන ලු. මේස පුටු එහෙමත් නටනවා සින්දු වලට. මේක වයසත් එක්ක ඇරිලා යන ලෙඩක් කියලා හිතන හිටියේ. ලැප්ටොප් හෙවත් ලැට් වලට පන ඇතැයි හිතෙන එක වෛද්‍යවරයකු මුණ ගැහෙන්න තරම් හේතුවක් නොවේද?
මට නම් අවුරුදු දෙකකට කලින්...අනේ ඒ ලැට් එකම තමා මම තාම දෙයියන්ගේ පිහිටෙන් පාවිච්චි කරන්නේ.. හරි හුරතල් තාමත්...
ReplyDeleteමම මේ ඇහුවාමයි ලැප් එකක් උසාවි ගිය කතාවක්..
කොහොමහරි අන්තිමට ලැට් එක හොයා ගත්තනේ..
ReplyDeleteමටනම් අවු 7,8 කට කලින් විදේශාධාර යටතේ තාත්තගෙන් ලැපක් හම්බවුනා.
p1, ram 32MB.
ඒ කාලෙනම් නියම භාණ්ඩෙ!
ඔය ආයතන වලින් දෙන ලැට් ගැන නං කියාපු කතාව මසුරං. ඉස් ඉස්සෙල්ලම හනම ජොලි. ඇයි මටම කියල ලැට් එකක් දැං තියනවනෙ. ඒත් නිවාඩු දවසටත් මේල් චෙක් කරන්න, අප්ඩෙට් දමන්න, ඔෆ්ෆිස් එකේ වැඩ බලන්න, කියල වැඩක් නෑ වැඩ කෝටියයි.
ReplyDeleteමටත් නම් ඉතින් ඔය 'ලැට්' නැතුව ජීවත් වෙන්න පුලුවන් කෙනෙක් නෙමේ. ඒක නැතුව කොහොමද ලොකේ වටේ ඉන්න කොල්ලන්ට බනින්නෙවත්. අපට ඉතින් 'ලැප්' පිහිට ඇර වෙන පිහිටක් නැහැනේ. අපි නේපාලේ ගිහින් රස්තියාදු ගහලා ආපු වෙලාවේ මගේ 'ලැට්' එකට වයිරසයක් හැදිලා මම වින්ඳ වදේ මතක් වෙනකොට දැනුත් පපුව හය්යෙන් ගැහෙන්න පටන්ගන්නවා.
ReplyDeleteලස්සන හිනායන කතාවක් 'ලැට් මිසී'. මීට පස්සෙදිවත් ඔය කොහෙවත් යන පිරිමි ලමයින්ට තමන්ගේ 'ලැට්' ගැන විස්තර නොකියා ඉන්න හොඳ පාඩමක් මේක. අඩු ගානේ කොල්ලා මිසීවත් අරගන ගියා නම් ඒක වෙනම කතාවක්.
Toshiba Satellite අමුතුවෙන් කියන්න දෙයක් නෑ අපේ ඔෆීස්එකේ තියන එක දැන් අවුරුදු 7ක් පරණයි. තාම වැඩ. මට නම් වයිරස් ප්‍රශ්ණ නෑ.
ReplyDeleteලැප්ටොප් නොකියා නෝට්බුක් කීවානම් ඉවරනේ. දැනට ඔය ලැප්ටොප් කියන නම Toshiba එක්ක යෙදෙන්නේ නෑ. ඒත් Dell නම් තාම ඒ නම යොදාගන්නවා.
කියන්න අමතක වෙනවා තව ටිකෙන්. ලස්සන මතකයක්.
මටනම් තාම ලැට් එකක් නෑ ... අපේ ඔෆිස් එකේනම් තියනවා එකක් ඒත් ඒක පොදු ලැට් එකක් ...
ReplyDeleteනියමයි මේ කතාව ...
කියන්න බැරි උනා. මේ ලැට් එක නැත්තන් නම් ජීවිතෙන් කොටසක් නෑ වගේ තියේවි. ඒතරම් මේක මාත් එක්ක බැඳිල තියෙන්නේ. යන්ත්‍ර වලට වහල් වෙන්න හොඳ නෑ කියනවා. ඒත් නොදැන හරි අන්තිමට මේකට යට වෙලා. කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේක නිසානේ
ReplyDeleteකතාව කියවූ,රසවින්ද , කමෙට් ලියූ හැමෝටම ස්තුතියි
ReplyDelete@ sujeewa
ReplyDeleteපන ඇති මිනිස්සුන්ට වඩා පන නැති යන්ත්‍ර බොහොම හොඳයි . ඒවට හදවතක් නැතිවුණාට කාටවත් කරදරයක් නෑ. අත්දැකීම් තියෙන නිසයි මෙහෙම කිව්වේ .
අනික තමන්ගෙ රැකියා ජීවිතේ එක්ක බද්දවෙලා තියෙන දේවල් ගැන බල සොයා ගැනීම් , පරිස්සම් කිරීම ඒවට ආදරේ කිරීම වරදක් නෙවෙයිනෙ . ඒක පිස්සුවකුත් නෙවෙයි . එහෙනම් වැඩ ඉවර වෙල උදලු කැති පොරෝ වලට වඳින ගොවි රාලලාටත් පිස්සු වෙන්න ඕනෙ .