Sunday, October 4, 2009
මගේ පුතා හරි හපනා ......අම්මට පඩි විසිවැනිදා
දෙකේ පන්තියට එනකොට මට වාක්‍ය රචනා ලියන්න තිබුණෙ පුදුම ආසාවක්. හිනාවෙන්න එපා .දැන් මට හොඳට ,ලස්සනට අකුරු ,ඉලක්කම් ලියන්න පුලුවනි . සිංහල පාඩමේදී පූසා, බල්ලා, පොල්ගස , ලේනා වගේ පොඩි පොඩි මාතෘකා ගැන රචනා ලියන්න ආරියවතී ගුරුතුමී අපිට කියනවා.ඇය මට හමුවූ හොඳම ගුරුතුමියක්. රචනා ලියන්න අපි උන්නදු කරන්න ඕනෙ නිසා හොඳම රචනා කීපයක් තෝරගෙන පන්තියටම ඇහෙන්න කියවීම ඇගේ සිරිතක්. ඉතින් කවුරුත් හරි කැමතියි ,උනන්දුයි රචනා ලියන්න .පොඩි ආඩම්බරයක් තියෙනවනෙ තමන්ගෙ රචනාව පන්තියටම ඇහෙන්න කියවනකොට.
එදා අපේ රචනා මාතෘකාව "අම්ම". හ්ම්ම්... පැන්සලත් අල්ලගෙන , තනිරූල් කොපි පොතට ඔලුව නවාගෙන මම බර කල්පනාවක. මොනවද අම්ම ගැන ලියන්නෙ ? අම්මගෙ හැඩ රුව , අම්මගෙ රැකියාව , අම්ම මට ආදරෙයි ,මමත් අම්මට ආදරෙයි... ම්ම්ම් ...ඒවා ඉතින් හැමෝම ලියනවනෙ . මට ටිකක් අමුතු දෙයක් ලියන්න ඔනෙ වුනා.....ආහ්හ්..මතක් වුනේ ඔන්න දැන් . අම්ම මට ආසකරන කතන්දර පොත් ඇඳුම් එහෙම ගෙනැත් දෙනවා. ඒත් සමහරදාට ඒවා ඉල්ලුවහම කියනවා
"පුතේ මේ මාසෙ විසිවැනිදා වෙනකන් ඉන්න , අම්ම පඩි ගන්නෙ එදාටනේ, එතකොට පුතාට අරගෙන දෙන්නම්" කියලා.
ඇත්ත ගොඩක් වෙලාවට මගේ ඉල්ලිම් විසිවෙනිදාට පස්සෙ ඉටුවෙනවා. ඒ නිසා මම මගේ රචනාවේ මතක ඇතිවම ලිව්වා
"මගේ අම්මාගේ රැකියාව ..zzzz....ඇයට පඩි ලැබෙන්නේ විසි වැනිදාට.එවිට ඇය මට අලුත් ඇඳුම් ,කතන්දරපොත් ගෙනැවිත් දෙනවා"
ගුරුතුමී පොත් එකතුකරගෙන අපේ රචනාවල හරි වැරදි බලනවා . අපි එයාගේ මෙසේ වටේ වට වෙලා එබීගෙන ඉන්නවා. අද කාගෙ රචනා වලට "ඉතා හොඳයි" ලැබිලා පන්තියටම කියවාවිද?ඔන්න එයා මගේ පොත අරගත්තා, මම නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා.අත් අකුරු වැරදිනම් නැහැවගේ.ඒත් ඇයි ගුරුතුමී හෙමිහිට හිනාවෙන්නෙ ? ආ අම්මට පඩි ලැබෙන දවස මම රචනාවෙ ලියලා තියෙනවනේ . එයා ඒක එහා පන්තියෙ ගුරුතුමීටත් පෙන්නුවා.ඒකට කමක් නැහැ මට "ඉතා හොඳයි" එකක් ලැබුනා.තව පුංචි ප්‍රශ්නෙකුත් ගුරුතුමී මගෙන් ඇහුවා ?
"පුතාට පඩි ලැබෙන දවසක මොනවද අම්මට ගෙනැත් දෙන්නේ" ?
මම මොනවගේ උත්තරයක් දුන්නද කියන්න මතක නැහැ.
ඒත් අම්මගෙ විසිවෙනිදා පඩි ලැබෙන දවස මම ටිකෙන් ටික ලොකුවෙනකොට හරිම වැදගත් දවසක් වුනා. දෙකේ පන්තියෙදි මට තිබුන කතන්දර පොත්, ටොෆි ,චොක්ලට් වගෙ සරල ඉල්ලිම් ලයිස්තුව මම ලොකුවෙනවත් එක්කම දිගවුනා,සංකීර්ණවුනා.ටියුෂන් ගාස්තු,සීසන් ටිකට් එක , පාසැල් සේවා ගාස්තු , ගැටවරවියේ අඳින්න ආස අලුත් අඳුම් මෝස්තර ඒකට එකතුවුනා. තාත්ත අතට දෙන පඩියත් එකතු කරලා ගෙදර අනිත් උවමනාවනුත් සම්පූර්ණ කරලා ඔය කිව්ව හැමදෙයක්ම ලබාදෙන්න අම්මට තිබුනෙ පුදුම කලමනාකරණ හැකියාවක්. මම විශ්වවිද්‍යාලයට යාමත් එක්ක , නංගිගේ උසස් අධ්‍යාපනයත් එක්ක අපේ ඉල්ලිම් තව දීර්ඝ වෙනවා.නවතැන් ගාස්තු,පොත් පත්,එක එක පාඨමලා, විභාග ,ඇඳුම් කැඩුම්,..අපේ ඉල්ලිම් ලයිස්තුව වේගයෙන් ඉහල ගියාට ඒ හා සාපේක්ෂව අම්මගෙ රජයේ සේවක වැටුප ඉහල ගියේ හෙමින්. ඒත් අම්ම කවදාවත් අපේ ඉල්ලිම් වලට බැහැ කිව්වෙන් නැහැ. දෙන සල්ලි වියදම් කලේ කොහොමද කියලා කවදාවත්ම ඇහුවෙත් නැහැ.විශ්වවිද්‍යාලෙ ගියාට පස්සෙ සමහර වෙලාවට මම ගෙදර එන්න හිතුවෙ විසිවෙනිදායින් පස්සේ මාසෙ අන්තිමට වගේ සල්ලි ඉල්ලගෙන යන්න .එහෙම ආවත් අම්ම මතක ඇතුව මම ඉල්ලන්නත් කලින් ලියුම් කවරෙක දාලා පරිස්සම් කරලා තිව්ව සල්ලි මට දෙනවා එන මාසේ වියදමට . පොඩි කාලෙ වගේමයි .ඇය කවදාවත් මගේ ඉල්ලිම් අමතක කලේ නැහැ.
උපාධියක් අරන් විශ්වවිද්‍යාලෙන් පිටවෙලා මගේ පලවෙනි රැකියාව කරද්දිත් , විසි වෙනිදා වැදගත් දවසක් වුනා. අම්ම කවදාවත් කිව්වෙ නැහැ "ඔයාගෙ පඩියෙන් දැන් ඔයාගෙ වැඩ කරගන්න "කියලා. උද්ධච්ච කමට මම නොකිව්වට එයා දැනගෙන හිටියා මගේ මුල්ම වැටුප ඒතරම් ලොකු වැටුපක් නොවෙන වග .ඒ දවස් වල ගෙදරින් සල්ලි නොඉල්ලුවත් අම්ම හරි පුදුම දෙයක් කලා.
හැම මාසෙ අගම මම ගෙදර එනකොට හරිම ලස්සන කොට්න් සාරියක් දෙකක් මගේ අල්මාරියේ තියලා තියෙනවා.ඒකටම හරියන හැට්ටෙකුත් මහලා. අම්මා දන්නවා මගේ ආධුනික කාලෙ වැටුප අඩුවුනාට වෘතීය මට්ටම පවත්වාගෙන යන්න ගොඩක් අඳුම් කැඩුම් ඔනෙ වග . ඒ සාරි වල මිල ගනන් කවදාවත් එයා මට කියලා නැහැ. එයා මට හැමදාම කිව්වේ
"ලොක්කා ලස්සනට ඇඳින්න , එක සාරියක් එක මාසෙක එක වතාවකට වැඩිය ඇඳින්න එපා "
අද මට තියෙන ලස්සන කොට්න් සාරි ඔක්කොම එදා අම්මා අරන්දුන්නු ඒවා . ඒ අතරින් මම ඇන්ඳ පලවෙනි සාරියත් , මගේ වෘතීය ජීවිතයේ ඉතාම වැදගත් දවසක ඇන්ඳ ඇත්දල +රිදී පාට සාරියත් මට හරිම වටිනා අම්මගේ විසිවැනිදා පඩියෙන් ලැබුන අගනාම සිහිවටන .මට අද මතක්වුනේ අම්ම කවදාවත් එයාගේ රැකියාවෙදි ඒවගේ වටිනා මිල අධික සාරි නොඇන්ඳ වග .
මට ආයෙත් සිහිවෙන්නෙ මගේ දෙකේ පන්තියෙ ගුරුතුමී ඇහුව ප්‍රශ්නෙ.
"පුතාට පඩි ලැබෙන දවසක මොනවද අම්මට ගෙනැත් දෙන්නේ" ?
ඒ එක්කම අම්ම මාව නලවද්දි කිව්ව මේ නැලැවිලි ගීයත් සිහිවෙනවා.
මගේ පුතා හරි හපනා
දවසක කොලඹට යනවා
පනම් තුනක් පඩි කනවා
ඉන් පනමක් මට දෙනවා
එදා දෙකේ පන්තියෙ ඉඳලා , විශ්ව විද්‍යාලයට ගිහින් ,උපාධියක් අරන් , කොලඹ රැකියාවක් කරලත් අවුරුදු දෙකක් යනකන් මට අම්මට එක පනමක් වත් දෙන්න බැරිවුනා.
තාමත් මට හිතෙනවා දෙකේ පන්තියෙදි ආරියවතී ගුරුතුමී ඇහුව ප්‍රශ්නෙට මම උත්තර දුන්න මදි කියලා.දැන් මම අම්මගෙන් කිසිම දෙයක් නොඉල්ලුවත් ,ඇගේ විසිවෙනිදා පඩිය දැන් මට අවැදගත් දෙයක් වුනත් ,අම්මා ආසකරන රසකැවිල්ලක්වත් අරගෙන යන්නෙ නැතුව අත්දෙක වන වන ගෙදර යන දවස් තාමත් ඔනෙ තරම් තියෙනවා.ගෙදර ගිහිල්ලත් "මට මහන්සියි" කියලා මුලු සති අන්තෙම අම්ම එක්ක කතා නැතුව නිදාගන්න වෙලාවල් අනන්තයි.ඒත් අම්ම තරහ නැහැ.කීයට හරි මම ගෙදර එන එක තමයි ඇගේ බලාපොරොත්තුව . ඒත් තාමත් ඉඳ හිට මගේ අල්මාරියේ අලුත් ලස්සන සාරි තියලා තියෙන ඇගේ පුරුද්දනම් නැවතිලා නැහැ.
Saturday, October 3, 2009
නුඹට රිසි නම් යන්ට යන්නෙමි මගේ හිමියනි
සුමිත්‍රා රාහුබද්ද මහත්මියගේ "අග පිපි මල්" නවකතාව මම ඉතාම ආසාවෙන් නැවත නැවතත් කියවන පොතක්.පසුව එය ටෙලි නාට්‍යක් ලෙසක් රස වින්දා.මධ්‍යම පාන්තික පවුලක සිදුවෙන් දික්කසාදවිම ගැන කියවෙන "අග පිපි මල්" මට කාරණා රාශියක් නිසා හරි සමීපයි .මගේ වෘතීය ජිවිතය ඇරඹෙන කාලයේ බොහෝ දික්කසාද නඩු ගොනු කියවන්න ලැබුණා.අපි මේ නඩු ගොනු දකින්නෙ කරුණු කාරණා ගොඩක් සම්පිණ්ඩණය කරලා නිගමන වලට එලඹෙන්න උවමනා "තොරතුරු සටහන් "හැටියට .නමුත් එයින් එහාට ගිය කොයි තරම සංවේදී හද සසල කරන කතා මේ වටා තියෙනවද ?
කසාද, දික්කසාද නීතිය සහ වචන අපිට ලැබුනෙ ලන්දේසි කාරයන්ගෙන් . පැරණි රෝම ලන්දේසි නීතිය අනුව නම් "කසාදය " ගිවිසුමක් .ඒකියන්න්නෙ "කන්ට්‍රැක්ට්" එකක්. හරි භෞතික දෙයක්. ඔය ගිවිසුම නීත්‍යානුකූලව විසුරුවා හැරීම තමයි දික්කසාදය . උඩරට නීතිය අනුව , මුස්ලිම් නීතිය අනුව සහ සාමාන්‍ය නීතිය අනුව කසාදයක් විසුරුවන්න උවමනා වෙන හේතු එකෙනෙකට වෙනස් . ඒත් ඔය කියන හේතු ඉදිරිපත් කරලා උසාවිය සෑහීමකට පත්වෙනවනම් කසාදෙ විසුරවන්න පුලුවන් .
කසාද සහ දික්කසාද ගැන තියෙන නීති කරුණු භෞතික හා රාජකාරි දේවල් වුනත්, මේ නඩු කටයුතු වලදි හද සසල නොවෙනවා කිව්වොත් එය හැබෑවක් නෙවෙයි .මේ කතන්දරය ලියන්න හිතුනෙත් ඒ නිසා 'අග පිපි මල් ' හි තේමා ගීතය මගෙ සවනට වැකුන වෙලාවෙ ඒ හැඟීම තීව්‍ර වුනා .මේ මගෙ ආධුනික කාලයේ අත් දැකීමක්.මෙහෙම දේවල් ගොඩක් තිබුනත සමහර වෘතීය කරුනු හරස් වීම නිසා ඒවා ලියන්න බැහැ.
එදා අගනුවරට ආසන්න උසාවියක දික්කසාද නඩුවක නසයි අඥාවක් නියත කරන දවසක්. තවමත් තරුණවිය නොඉක්මවූ ප්‍රකට පුද්ගලික ආයතනයක සේවය කරන කඩවසම් විධායක නිලධාරියෙකුත් , ඉතා රූමත් තරුණ වය්දයවරියකුත් පෙත්සම්කරු හා වග උත්තරකරු ලෙස පෙනීසිටියා. සැමියා නම් සිටියෙ මුහුනට නගාගත් උඩඟු සිනාවෙන් .ශෝකයෙන් වෙලුන බිරිඳ සෙමින් ඉකිලන වග මම දුටුවා . ඇය අපේ සේවා දායිකාව . මෙගේ ජ්‍යේෂ්ට සොහොයුරියක් ඇය වෙනුවෙන් පෙනී හිටියා .
නසයි තීන්දුව නියත කරමින් විවාහය විසිරවීමේ ආඥාව දිස්ත්‍රික් උසාවිය ප්‍රකාශකලා. ඇගෙ සිහින් ඉකි බිඳුම ඇයටත් නොදැනීම මහා කඳුලු ගංගාවක් වෙලා වේගවත් ඉකි බිඳුමකට හැරවිලා හිතේ හිරකරගෙන හිටි මහා වේදනාවක් ඉවුරු බිඳගෙන ගලා හැලෙනවා. නියෝගය නියත වීමත් සමග ඇගේ සැමියාව සිටි තරුණ නිලධාරියා නම් ඉතාම උදාරම් ලීලාවෙන් ,උඩඟු හිනාවෙන් තම නවීන මෝටර් රථයෙන් උසාවි බිමෙන් පිටව ගියා .ඒත් ඇය ?
කාලයක් ආදරයකරලා , අවුරුදු පහක් එකට දීගකාලා ,නාමෙට හරි එක වහලක් යට හිටිය දෙන්නෙකුට , තමන් එක්ක එකට හිටිය ගෑනි දිහා එකවරක් වත් නොබලා මෙහෙම යන්න පුලුවන්ද ? අඩු තරමින් මම යනවා කියන්නවත් හිතක් නැත්ද ?
ඇගේ මහා කඳුලු ගංගාව අපි සියලුදෙනාම වේදනාවට පත් කලේ ඇගේ කතාව අපි දන්නා නිසා . මෙවන් ගැහැනියකට අනුකම්පාව ඇවැසි වුනත් ඇය හැම දෙනගේම කුහුලින් පිරුන ඇස්වලට කතා මවන රසඳුනක් නොවිය යුතුයි .කසාද නිවසට නැවත යාමට අයිතිය අහිමි ඇයට අඩු තරමින් නිදහසේ හැඬීමටවත් ඉඩ දිය යුතුයි . ඒ නිසා අපි තීරණය කලා ඇය අපේ නිල මැදිරියට මදකට ගෙන යන්න .
මේ දෙන්නගේ විවාහය පෙම් සබඳතාවක් . ඒකත් හරි වෙනස් විදියට සිද්ද වුන දෙයක්. මේ තරුණයා ඇය හඳුනා ගන්නෙ , අගේ සොහොයුරියට ඉදිරිපත් වූ විවාහ යෝජනාවකින් . සොහොයුරියට සහ දෙමාපියන්ට ඔහු නොගැලපුනත් ඇගේ හිතේ ඔහු වෙනුවෙන් සෙනෙහසක් උපදිනවා. එය පෙම් සබඳතාවක් වෙලා දෙමවුපියන් එරෙහි වුවත් ඇය නොවෙයි එය නවතන්නෙ . "ඔය විවාහය කරහත්තොත් අයෙත් පවුලට වැද්ද නොගන්න බවට" ඇගේ මවත් ,පියාත් තර්ජනය කරද්දි , ඇය තනි කැමැත්තට ආසිරි සිලෝගීත දෙමාපිය හිතමිතුරු පිරිවර සෙනග නැතිව ඔහු හා අතිනත ගන්නවා ඒ වසර පහකට උඩදි .
එතකොට ඔහු ආයතනයේ සාමාන්‍ය මට්ටමෙ නිලධාරියෙක් . එත් ඇගේ මෙහෙයවීම , උනන්දු කිරීම විතරක් නෙවෙයි , ඇගේ ආර්ථික ශක්තිය නිසාත් ඔහුට හැකිවෙනවා තමන්ගෙ රැකියා ක්ෂ්ත්‍රයේ ඉහල සුදුසුකම් ලබන වෘතීය විභාග කීපයකට පෙනී සිට සමත් වෙන්න . ඒනිසා ඔහු ඉතා ඉක්මනින් ආයතනයේ ඉහලම මට්ටමේ තනතුරක් හොබවන විධායක නිලධාරියෙක් වෙනවා.ප්‍රශ්නෙ පටන්ගන්නෙ එතැන ඉඳලා .
අවුරුදු පහකට පස්සෙ ඔහුට ඇගේ අඩුපාඩු පේන්න ගන්නවා . ඔහුගෙන් ඇයට එල්ලවන පලවෙනි චෝදනාව හා දෝෂාරෝපණය දරුවන් නැතිකම . ඒක අවියක් කරගෙන ඇයට හිත් රිදවීම කරන්න විතරක් නෙවෙයි ඇයව නොතකා හැර වෙන තරුණියන් හා පෙම් සබඳතාවල පැටලෙන්නත් ඔහු පසු බට වී නැහැ . අන්තිමට ඔහුගේ ආදරය සිඳී වියලී යාමත් එක්ක ඇතිවන දැඩි බලපෑම් නිසා ඇය විවාහක නිවස හැරදා යනවා. නැවත ඔවුන් මුණගැහෙන්නෙ උසාවි බිමේ , ඔහු විසින් ඇය වග උත්තර කාරිය කර හා ඔහුපෙත්සම් කරු ලෙස පවරන දික්කසාද නඩුවකදියි.
ඔහු මේ නඩුව පුරාම ඇගෙන් දික්කසාදවීමේ දැඩි මතයක සිටියා.ඔහුට ඇය පෙනෙන්න ඇත්තෙ අලුයම ලූ කෙල පිඬක් වගේ .
ඇය මේ තරම් හඬා වැලපුනේ තාමත් ඇගේ හිතේ ඔහු වෙනුවෙන් තියෙන ආදරයත්, තමන් ගැන ඇතිවුන , ආත්මානුකම්පාවත් නිසාවෙන්න ඔනෙ. දෙමවුපියන් පවා එරෙහි වෙද්දි තනි මග ගිය ගැහැණියක් වූ ඇයට ඔහුත් ඇතුලුව බොහෝ දේ අහිමිව ගොස් තිබුණා.පවුලෙහි සියළුදෙනා ඇය සැලකුවේ ඔවුන්ගේ මුහුණු වල දැලි ගෑ එකියක් ලෙස .ඒ නිසා ගෙදරට ,පවුලට නැවත ගෙන්වා නොගැනීමේ පිය මහරජ අණ ක්‍රියාත්මක වෙලා තිබුණ.විනාඩි විස්සක් පමණ එක දිගට ඇය හැඬූ අයුරු අපේ හිත් සසල කලා.
උසාවි බිමෙන් නික්මී යන ඇයට ඇත්තේ කාගේ සවියද?සමාජයෙන් ඇයට කොයිතරම අපවාද ,අවමාන එල්ල වෙවිද ? මගේ හිතෙන් ආව එකී පැනයත් සමග ඇය නැගීසිටියේ එතනින් නික්ම යන්න. මගේ සහෝදර නිලධාරිනියගේ සන් කිරීම අනුව මම ඇය ඇගේ මෝටර් රථය තෙක් කැඳවා ගෙන ගියා .
අපි නිහඬව උසාවි සංකීරණයේ මදක් ඈතින් වූ රථ ගාල වෙත පිය මැන්නා.
"මේ මගේ පලවෙනි සහ අවසාන ආදරය, දැන් මම හිත හදාගන්න ඔනෙ , මාරුවක් අරගෙන මම ඈත පලාතකට යනවා ටික කාලෙකට .එතකොට මට මේවා අමතක කරන්න පුලුවන් වෙයි හෙමින් හෙමින් "
නිහඬ බව බිඳිමින් ඇය සෙමින් මා හා කතා කරන්න පටන් අරන් තිබුනා.මටත් නොදැනී ඇය මගේ අතක් අල්ලාගෙන මෝටර් රථය වෙත පිය මනිමින් හිටියා. ඇගේ අතේ සීතල ස්පර්ශය මට දැනුනා.ඒත් මම උත්සාහ කලේ නැහැ මගේ අත මුදාගන්න ඇයගෙන්.
එදායින් අවුරුදු පහකට කලිනුත් මේ ගැහැනිය ඔහු හා අතිනත අරන් ඇගේ මංගල ගමන යන වෙලාවේ ඇයට ආසිරි සුබ පැතුම් පතන්නට , මල් වරුසා විසුරුවන්නට කවුරුත් නොහිටින්න ඇති . අදත් ඇය කිවිවෙකුත් නැතිව , හුදෙකලාව එදා බැඳි පෙම් දම් විසුරුවා දමා තනිමගක යන වග මට සිහිවුනා.
"බැන්ද රන් දම් මගේ ගෙල වට මුදා අහසට..... නුඹට රිසි නම් යන්ට යන්නෙමි මගේ හිමියනි".....
පසු සටහන
ඇගේ සිදුවීම අපේ රාජකාරි දිවියේහි තවත් එක දික්කසාදයක් වුවත් එය කොපමණ අපේ සගයන් ගේ හද සසල කලාද කිව්වොත් ඇය වෙනුවෙන් පෙනී සිටි මගේ සහෝදර නිලධාරිනිය හවස ඇයට තිබුන සියලු රාජකාරි නඩු කටයුතු වෙනත් සොයුරෙකුට පවරා වරුවක නිවාඩු ගෙන ගෙදර ගියා ඇගේ හිත මහත් සේ කම්පාවූ වග පවසමින්. දික්කසාද නඩු ගොනු මහ ගොඩක් කියවූ මම ඊට ටික කාලෙකට පස්සෙ තීරණය කලා උසාවිය මට හිමි රාජකාරි ස්ථානය නොවන වග .
ඇගේ සිදුවීම අපේ රාජකාරි දිවියේහි තවත් එක දික්කසාදයක් වුවත් එය කොපමණ අපේ සගයන් ගේ හද සසල කලාද කිව්වොත් ඇය වෙනුවෙන් පෙනී සිටි මගේ සහෝදර නිලධාරිනිය හවස ඇයට තිබුන සියලු රාජකාරි නඩු කටයුතු වෙනත් සොයුරෙකුට පවරා වරුවක නිවාඩු ගෙන ගෙදර ගියා ඇගේ හිත මහත් සේ කම්පාවූ වග පවසමින්. දික්කසාද නඩු ගොනු මහ ගොඩක් කියවූ මම ඊට ටික කාලෙකට පස්සෙ තීරණය කලා උසාවිය මට හිමි රාජකාරි ස්ථානය නොවන වග .
Friday, October 2, 2009
වැඩ නිමවන්න.....
අගනුවරම නිදිගත් රෑ
මිහිරි පෙම් බස්
දුර ඈතකට ගිහින්
දෑස අයාගෙන
පරිගණක තිරය වෙත
වෙහෙසකර නෙතු පියන්
කර්කශ ලිපි අතර
නින්දට දඟලන
හීලෑ නැති හිත
වත්තන් කරන්
අඩක් කා හමාරවූ
චීන මකරුන්
සුව පහසු ඇති
සිතල පාලු කුටියක
රාත්‍රිය දිය කරන්
පෙරඹරින් හිරු නැගෙන
අරුණටත් පෙර
වැඩ නිමවන්න
අඩක් පිරියම් කර
ජීවිතය
මිහිරි පෙම් බස්
දුර ඈතකට ගිහින්
දෑස අයාගෙන
පරිගණක තිරය වෙත
වෙහෙසකර නෙතු පියන්
කර්කශ ලිපි අතර
නින්දට දඟලන
හීලෑ නැති හිත
වත්තන් කරන්
අඩක් කා හමාරවූ
චීන මකරුන්
සුව පහසු ඇති
සිතල පාලු කුටියක
රාත්‍රිය දිය කරන්
පෙරඹරින් හිරු නැගෙන
අරුණටත් පෙර
වැඩ නිමවන්න
අඩක් පිරියම් කර
ජීවිතය
Wednesday, September 30, 2009
නිවාඩු අද...... හිත (ආදරෙන් )ලෙඩවෙලා
නිමක් නැති මීටින් -ඉක්මනට තීරන ගන්න
පිටු ගනන් වාර්තා-හර බර ඉදිරි සැලසුම්
ආයෙත් සාකච්ඡා- තීරන කිරා මැන බලන්න
ඊමේල් ඇලර්ට්- ඔබේ දැනගනීම පිනිස
ඩෙඩ්ලයින් දිනපොතේ -මරණීය රතු එලි
කොන්ෆරන්ස් කෝල්-ලෝකෙම තනි යායක්
වැඩ කරන්න
වැඩ කරන්න
ලැප්ටොප් එක බදන්-විසිහතර පැයේ නොනිමෙන ආදරය
නිල් පාට එල් සී ඩී තිරයෙන් ඈතට
වලා තීරයෙන් එහා හිම කඳු යහනට
පලා යන්න එක මොහොතක් හිතට
ශෝට් ලීව්, හාෆ් ඩේ ,ඇනුවල් ලීව්- ඔක්කොම කැන්සල්
එහෙනම් සික් තමයි- එත් මොකක්ද ලෙඩේ ?
පාලුව කාන්සිය තනිකම -මූලික රෝග ලක්ෂණ
ඉබාගාතේ ඇවිද යන හිත- ඈත පාවෙන සිහිනයක
හිත ලෙඩ වෙලා
නිවාඩු අද
හිත (ආදරෙන්) ලෙඩවෙලා
Monday, September 21, 2009
ගෙදර බුදුන් අම්මා
ගෙදර බුදුන් අම්මා.......
ඉතින් යකුනේ මම
අම්මෙක් නෙවෙයිද?
මේ පැටියා උපදිනකන් මාත්
දහ මාසයක් ඇඟිලි ගැන ගැන
පෙරුම් පිරුවාමේකගේ අප්පා සෝමයා -මාව අනාත කරලා ගියා ගියාමයි
ආවෙ නෑ පැත්ත පලාතේ -ඒත් මගේ නෑ අමනාපයක්
අනේ මේ පැටියා
හීන් අතපය ගහලා
මයෙ කුසේ දඟලනකොට
හෙමිහිට හුස්ම ගන්නකොට
කොහොම මම සතුටු නොවී ඉන්නද ?
ඉතින් යකුනේ මොකද්ද? -මේ හරුපෙ තේරුම
අම්මෙක් නොවී මම -වේසාවියක් වුනේ කොහොමද?
නැද්ද ඕවට උත්තර?
උඹලගෙ මහ ලොකු
......... සංස්කුරුතිය ඇතුලෙ
නිමිත්ත
මෙහි ඇති සිත්තම ජෝජ් කීට් සිත්තරාගේ සිතුවම් එකතුවකිනි
මෙහි ඇති සිත්තම ජෝජ් කීට් සිත්තරාගේ සිතුවම් එකතුවකිනි
අපේ සිංහල බෞද්ධ සංකෘතිය අම්මාට මහත්සේ ගරු කරන බව පුන පුනා කියයි .උදම් අනයි .එහෙත් ගැහැණියක් විවාහයෙන් පිට මවක් වුනොත් සමාජය ඇයට මුව පුරා අම්මා යයි ආමන්ත්‍රණය නොකරයි. ඇය දෙස බලන්නේ උපහාසයෙනි පිලිකුළෙනි .ඇය මග වරද්දාගත් නරක ගැහැණියකි . විවාහය තුල හෝ ඉන් පිටත මවක් විමේ ජීව විද්‍යාත්මක සාධක/කාරණා එක හා සමානය . එහි වෙනසක් නැත . නමුත් විවාහයෙන් පිට දරුගැබක් දරන/ දරුවෙකුට උපත දෙන ගැහැනියකට අපේ සමාජය බොහෝ රුදුරු ලෙස සලකයි . මට ඇවැසි වූයේ මේ කුහක සමාජ සම්මතය ප්‍රශ්ණ කිරීමටයි . කවිය ලියවුණේ ඒ වෙනුවෙනි. බොහෝ ආවේගාත්මක අවස්ථාවක මෙය ලියැවුනි .එම ආවේග ස්වරය නොවෙනස්ව මෙහි පල කලෙමි.
කිරි කතන්දර
මං පොඩිකාලෙ අවුරුදු තුනක් විතර යනකන් අම්මගෙන් කිරි බිව්වලු.මහ ගෙදර ඉඳල සෙනසුරාද ඉරිද නිවාඩු දවස් දෙකට අම්ම මාව ගෙදර එක්ක එනවා. ඉතින් සිකුරාදට මම ලොක්ක වගේ ආච්චිට කියනවලු "මම කිරිබොන්න ගෙදර යනවා" කියලා.මට තාම මතකයි කවුරුහරි "පුතේ කිරි මොන රහද?" කියලා ඇහුවහම මම කියනවා "කිරි වලාකුලු රහයිනෙ " කියලා. වෙලාවට කවුරුවත් ඇහුවෙ නැහැ "වලාකුලු මොන රහද?" කියලා.
අම්මට ,මට දෙන්න කිරි තිබුණට එයා රස්සාවට යන නිසා මාව පිටි කිරි වලට ඉක්මනට හුරු කරන්න වුනා.මම ඉපදුනේ ලංකාවෙ පෝලිම් යුගයෙ අවසාන කාලෙ .ඉතින් ඒ දවස්වල තිබුන ප්‍රකට ලදරු කිරිපිටි වර්ගයක් වෙන S.M.A ගන්න සමූපකාර පෝලිමේත් ඉන්න වුනා කියලා අම්ම කියනව.ඒත් ඉතින් මම නෙවෙයි ලේසියෙන් පිටි කිරි බොන්න පුරුදුවෙලා තියෙන්න .ඔනෙ තරම් කිරි හදලා අහක දැම්ම වෙලාවල් අනන්තයි ලු.දවසක් මම පිටි කිරි නොබී දඟ කරන වෙලාවක , මගේ ලොකු මස්සිනා චන්දිමාල් අය්යිය ඇවිත් වීරයා වගේ "නැන්දේ මම නංගිට කිරි බෝතලේ ඔකොම පොවන්නම්" කියලා ඉල්ලගෙන තියෙනවා.චන්දිමාල් අය්යට එතකොට වයස අවුරුදු දහයක් විතර . මම කිරි බිව්ව කියලද හිතන්නෙ?
විනාඩි දහයකට විතර පස්සේ අය්යා එනවලු හිස් කිරි බෝතලයත් අරගෙන.
"නැන්දේ නංගි ඔක්කොම කිරිටික බිව්වා"
" මගේ හොඳ පුතා"
එහම කියලා අම්ම අය්යියගේ මුණ දිහා බලලා.එයාගෙ කට වටේටම ලොකු "කිරි රැවුලක්" තිවිලා. මම කිරි බොන්න අදිමදි කරනකොට අයියා කිරි බෝතලෙම කටේ තියාගෙන බීලා වැඩේ අහවර කරලා.
"නංගිත් නොබී අපරාදෙ කිරි අහක දාන නිසා මම බෝතලේ කටේ තියාගෙනම බිව්ව".
තාමත් අපේ චන්දිමාල් අය්ය එහෙම කියලා හිනහවෙනවා.
මුල් කාලෙ ඔයවගේ පිටි කිරි නොබී පෙරලි කරාට කාලයක් යනකොට මම ටිකෙන් ටික පිටි කිරි බොන්න හුරුවෙලා. එතකොට මම S.M.A යුගයෙ ඉඳලා ලැක්ටෝජන් වලට උසස්වෙලා.ආච්චි කුස්සියෙ උදේට කිරි හදන වැඩේ බලන්න ඉන්න ලස්සනයි . මම ගොඩක් කැමති කිරි හදලා නිවනවා බලාගෙන ඉන්න .උණු කිරි බිව්වොත් මගේ කට පිච්චෙනවනෙ.ඉතින් එයා කෝප්ප දෙකකට කිරි දාලා නිවන්න පටන්ගන්නවා එක කෝප්පෙකින් අනිකට කිරි වක්කරලා.මම උදේට නැගිටලා නිදිමතේ ඇස් පිහ පිහ
ලඟ තියෙන පොඩි පුටුවෙ වාඩිවෙලා කකුල් දෙකත් වන වන ඉන්නවා.සුදු බැලලිත් මං වටේ දැවටෙනවා.
වැනියන් සුදු වැනීයන් -කිරි දෙනකන් වැනීයන්
සුදු පූසිට කිරි නැතේ -සුදු දෝණිට කිරි ඇතේ
හා... මට කියන්න අමතක වුනානෙ. ගොඩක් කිරි බිව්වම සුදු වෙලා ,ලස්සනවෙලා, ඉක්මනට උස යනවා කියලා ආච්චි මට කියලා තිබුණා.
ඉතින් කිරි නිවනකොට කිරි ටිකක්වත් බිමට වැටෙනවට නම් මම කැමති නැහැ.එහෙම වුනොත් සුදු පූසිටනෙ වාසි . ඔන්න වැරදිලාවත් කිරි ටිකක් බිම වැටුනොත් මම කෑගහනවා.
Sunday, September 20, 2009
මොන්ටිසෝරි වර්ජනය
මගේ කාර්යාලයේ පරිස්‍රයේම ලදරු පාසලක් හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් තියෙනවා.පුංචි පැන්චො පැන්චියො ලදරු පාසල් එන්නෙ මම කාර්යාලයටත් එන්න කලින්.ඒ සමහරුන්ගෙ අම්මලා තාත්තලා උදෙන්ම රැකියාවට යන නිසා .
හැමදාම උදේට ටික වෙලාවක් මේ සිඟිත්තො දිහා බලා ඉන්න එක මගේ සිරිතක්. සමහරු බොහොම කැමැත්තෙන් ලදරු පාසල් ආවත් ටිකක් අඬාවැටිලා දෙමවුපියන්ගෙන් වෙන් වෙන අයත් ඉන්නවා.
මේ අය දිහා බලන් ඉන්නකොට මට මතක් වෙන්නෙ මගේ පුංචිකාලෙ ,ඇහුවට පුදුම වෙන්න එපා මම පුංචි සන්දියෙම වර්ජනයක් කරලා අයිතිවාසිකම් දිනාගෙන ලදරු පාසල් නොගිහින් කෙල්ලින්ම ඉස්කෝලෙ ගිය ළමයෙක්.
මම ඉපදුනේ හැදුනෙ වැඩුනෙ අපේ අම්මගෙ මහ ගෙදර . ඒ මගෙ ලමා ලෝකෙ රාජධානිය .ආච්චි,මාමලා, නිතරම මාව වඩාගෙන හුරතල් කරන අම්මගේ ඥාති සහෝදරියො ගොඩක් මැද්දෙ අවුරුදු හතරක් ගෙවෙනකන් හරි සතුටින් තමයි මම හිටියේ .පවුලෙ හැමෝගෙම හුරතලා මම ,මගේ නංගි ඉපදුනේ අවුරුදු හයකට පස්සෙනෙ.
සෙල්ලම් කරන්න, දුවන්න, පනින්න ,කාගෙන්වත් මට වැඩි තහංචි තිබුනෙ නැහැ.යන්තම් පයින් යන කාලෙ ඉඳලා දවල් දවසෙම මහගෙදර ලොකු වැලි මිදුලෙ ජංගි කොටේකුත් ඇඳන් තුල්සි අක්කා, සුදු,කුමුදුනි, මංගල ,මංජු අය්යා,ජානක අයියා වගේ ඥාති සහෝදර සහෝදරියන් එක්ක සෙල්ලම් බත් උයන්න ,තලාදුවන්න ,හැංගි මුත්තන් කරන්න වගේ වැඩ ඔනෙ තරම් මට තිබුණා.මහගෙදර මිදුලෙ ලස්සන ජපන් රෝස මල් පාත්ති ගොඩක් තිබුණා. කාලෙකට වැල නොකැඩී එන කහපාට සමනල්ලු මේ මල් පාත්ති වලට එනවා.උන් අල්ලන්න අපි පස්සෙන් දුවනවා.ටිකක් දවල් වෙනකොට ආච්චි හරි සුද්දි අම්ම හරි අපි ඔක්කොම ඇලට ගෙනියනවා නාවන්න . නාල ආවම වැඩි දවසට ඔක්කොම ලමයි බත් කන්නෙ අපේ ආච්චිගෙන්.සිංහල උලු හෙවිලි කරපු මහ ගෙදර මැද කෑල්ලෙ ඔක්කොටම පැදුරක් දාලා ආච්චි බත් බෙදලා දෙනවා.ගෙදර සුදු බැලලිත් අපි වටේම දැවටෙනවා.දවල්ට කෑවට පස්සෙ ආච්චි මාව නිදි කරනවා. ආයෙත් හවසට ඇහැරෙන්නෙ සෙල්ලම කරන්න .
හවස් වෙලා ලොකු මාම වැඩ ඇරිල ගෙදර ආවහම එයාගෙ ලස්සන නිල්පාට සයිකලයෙන් මාව රවුමක් ගෙනියනවා. හවස් යාමෙ පිපෙන හෙන්දිරික්ක මල් ගස් කීපයක් මග ගෙදර මිදුලෙ තිබුණා.මාත් ආච්චිත් හෙන්දිරික්ක මල් නෙලාගෙන බුදුන් වඳිනවා.පොඩි සන්දියෙම ආච්චි මට ගාථා ඉගැන්වුවා.රෑට බත් කවලා ඇඟ හෝදවලා කලින්ම මාව නින්දට යවන එක එයාගෙ සිරිතක්.නින්ද යනකන් කතා කියනවා.එත් කතාව ඉවර වෙන්න කලින් මම නිදි .ඉතින් අවුරුදු හතරක් ගෙවෙනකන් කිසිම හැල හැප්පිමක් නැතුව මගේ ලමා කාලෙ ගෙවුනා.
ඔන්න අවුරුදු හතර ලබනකොට අම්මා තීරණයකලා මාව ගෙදර ගේන්න ,ලදරු පාසල් යවන්න .මොකද ගමේ හොඳ ලදරු පාසලක් තිබුනෙ නැතිනිසා. මේ ලදරු පාසල් ගමන මාව අවුලෙන් අවුලටම පත්කලා.හැමදාම උදෙන් නැගිටලා ,වෙලාවට කිරි බීලා,මූන හෝදලා,කෑම කාලා,සපත්තු මේස් දාල,ඇඳුම් ඇඳගෙන ලහි ලහියෙ වැඩට යන්න සූදානම් වෙන අම්ම එක්ක මටත් යන්න වෙනවා.අම්ම මාව ලදරු පාසලට බාරදීල වැඩට යනවා.සීය දවල්ට මාව ගෙදර ගේනවා.
ලදරු පාසලේ මට හිතේ හැටියට සෙල්ලම් කරන්න බැහැ.ඔන්චිල්ලා, සී සෝ තිබුනට වෙලාවක් තියෙනවා සෙල්ලම් කරන්න .බිල්ඩින් බ්ලොක්ස් ,ක්ලේ වගේ දෙවල් එක්ක සෙල්ලම ඒතරම් මගේ හිත ගත්තෙ නැහැ.ඔක්කොමත් හරි කෑම පෙට්ටියකුයි වතුර බෝතලයයි අරගෙන යන එක මට මහ කරදරයක් වුණා.මට වුනේ නිදහසේ හිටි කුරුලු පැටියෙක් කූඩුවක් ඇතුලෙ දැම්ම වගේ වැඩක්.
ඔහොම ඔනෙනම් සතියක් යන්න ඇති .දවසක් අම්ම වැඩ ඇරිලා ආව විතරයි මම පටන්ගත්තෙ නැද්ද මොරදීල අඬන්න සාලෙ බිම පෙරලිලා.ලදරු පාසල් බෑගයත්, කෑම පෙට්ටියත් දෙකම පොලවෙ ගැහුවා.පොඩි සපත්තු දෙකත් බල්ලට ගන්න කියලා එලියට වීසිකලා."මට මොටිසෝරි එපා , ආයෙත් ආච්චිලගෙ ගෙදර යවන්න" කියලා මොරදීල අඬනවා.ආදරේ වැඩි කමටද කොහේද අම්මත් තාත්තත් දෙන්නම තීරණය කලා ආයෙත් මාව මහ ගෙදරටම යවන්න .මාව මහ ගෙදරට එක්ක ගියහම ආච්චි මං වඩාගෙන අම්මට බැන්න "උඹලගෙ විකාර පොඩි එකාට සාංකාව හැදුනෙ නැතුවා පුදුමයි"කියලා.
ආයෙත් මගේ ලමාලෝකෙ රාජධානියට මම ආවා මගේ ඉලීම් දිනාගෙන .ඒත් ආච්චි හරි පුදුම වැඩක් කලා.ඉඳහිට හවසට සෙල්ලම් කරන්න එන සම වයස් ලමයින්ට ලස්සන සෙල්ලමක් ඉගැන්නුවා. රතුපාට මදටිය ඇට අරගෙන ඉස්තෝප්පුවෙ බිම අකුරු හදන්න . මම හරි ආසාවෙන් "ම" "ර" "ට' "ව" වගේ රවුම් අකුරු ඉගෙන ගත්තා .ඊට පස්සේ හුනු කූරකින් මුලු ඉස්තෝප්පුවෙ බිම පිරෙන්නම ලොකුවට ඒ අකුරු ලිව්ව.ඒවට ලොකු මාමගෙන් හවසට සීනි බෝල ලැබුණ. දොඹගෙඩ් වලින් දහයට ගනන්කරන්නත් ආච්චි මට ඉගැන්නුවා.
ඉතින් අවුරුදු හය සම්පූර්ණවෙලා ඉස්කෝලෙ යනකොට මම හිතුවෙ මම මුලු සිංහල හෝඩියම දන්නවා කියලා.එත් ඉස්කෝලෙ ගියහම තමයි වැඩේ තේරුණේ . තව කොයිතරම් අකුරු තියෙනවද ඉගෙනගන්න .ලදරු පාසල් ගිය යාලුවොන්ට නම් වැඩේ ලේසි වුනා .මම හෝඩිය ඉගෙනගත්තෙ හරි හෙමින් .එකේ පන්තියට යනකනුත් හරියට අකුරු ලිව්වෙ නැහැ.අනිත් යාලුවො සීයට ගනන්කරන්න ඉගෙනගන්නකොට මම දහයට ගනින්න විතරයි දැනගෙන හිටියෙ .මම හිතුවෙ දහයට පස්සෙ සීය , ඊටත් පස්සෙ දාහ කියලා.
ඉතින් කාලයක් යනකන්ම "අපේ අම්ම තමයි මේ දරුව නරක් කලේ" කියලා අම්ම, ආච්චිට බනිනවා ."පොඩි එකා ඉගෙන ගනීවි ,කෑනොගහ හිටපල්ල" කියලා ආච්චි, අම්මට කියනවා .කොහොමහරි අකුරු ඉලක්කම් හරියටම මම දැනගත්තේ දෙකේ පන්තියෙදි.
Subscribe to:
Comments (Atom)
