දුව ඔයාට කෝල් එකක්..උමංගාගෙන් ඉක්මනට එන්න..බෝඩිමේ ආන්ටි මට පහල තට්ටුවෙ ඉඳන් කතාකරනවා.එයා මට කෝල් කරන යාලුවො ටිකදෙනා කටහඬින්ම දන්නවා.
උමංගා..හ්ම්ම් මොකද දන්නේ නැහැ..අද හවස 3.00 ට නෙ ලෙක්චර්ස්? අද බදාද නේද ?මට වැරදුන වත්ද ?එහෙම නැත්නම් මොකක් හරි ගෙදරින් උමංගට මරාලයක් පහත්වෙලාද?දැන් ගෙදර ඇවිලිලානෙ ඉන්නෙ ඔය සමින්දගේ සම්බන්දෙට ,ඉතින් ගෑනි වැඩි වෙලාවක් ගෙදර ගතකරන්නෙ ඇඬූ කඳුලින්නෙ ...යාලුවෙකුට කරදරයක් වෙනකොට ඒක හිතට හරි වදයක් .ඔහොම දේවල් හිතහිත තමයි මම මගේ උඩතට්ටුවෙ අට්ටාලෙන් බිමට බැස්සෙ.
කෝල්ලෙක ගත්තා .මනෝ... අද උදේ නවයට එන්න ජිම් එකට.පොඩි ගමනක් යන්න ඔනේ..ඉක්මනට ගියොත් ඉක්මනට එන්න පුලුවනි. උමංගා...කියාගෙන යනවා .හ්ම් ඒක ඈත්තනෙ."ගියොත් එන්න හැකිය. ..නොගොස් එන්න බැරිය."මම හෙමිහිට මුමුණ මුමුණ මගේ උඩතට්ටුවෙ අට්ටාලෙට නැග්ගා.
හ්ම්..ඔන්න මම මගේ ඔක්කෝම බදාදා ප්ලෑන් කැන්සල් කලා.හිතුවෙ නම් රෙදි හෝදලා ,නාලා,සිංන්දුවක් අහලා,පාඩමක් කරලා,කාලා,නින්දක් ගහලා ලෙක්චර්ස් යන්න .දැන් ඒක බැහැ.ඉතින් ඉක්මනට ලෑස්තිවෙලා 138 අරගෙන ගියා කැම්පස් .මම යනකොටත් උමංගා ජිම් එකේ.
"මනෝ මම ඔයා එනකන් හිටියේ ...මොනවද කන්නේ ?"
මම ඉතින් අමුතුවෙන් නොකිව්වත් එයා තෝසෙ ගෙනෙන බව මට සහතිකයි.
"කෑම නෙවෙයි ඇයි උදෙන් එන්න කිව්වේ ?කොහෙද යන්නේ ?" මගෙන් ප්‍රශ්න වැලක්.
"සමින්දට පොඩි තෑග්ගක් ගන්න ඔනෙ මනෝ,එන සතියෙ එයාගේ බර්ත්ඩේ එක" උමංගා හිනහවුනා.
"අය්යෝ ඕක මහ වැඩක්යැ..ඔය තියෙන්න ඔනෙ තරම් තෑගි,ෂර්ට්ස්,ලෙදර් බෙල්ට්ස්,ටයි,ඔෆිස් බෑග්" මම නම් වැලක්ම කිව්වා.
"තෑග්ගකුත් දීලා අපි පාටියකුත් දාමු" මම තව ඉදිරි සැලසුම් හැදුවා.
"මනෝ මට එයාට තෑගි දෙන්න ඔනෙ මුද්දක් ,රත්තරන් මුද්දක්" මම උඩගිහින් බිම වැටුනා. හ්ම්ම්.. සුපුරුදු විදියට අමාරු කේස් එකක් තමයි එහෙනම්.
"ඒත් සමින්දගේ අතට ගැලපෙන සයිස් එක ගැන තමයි හිතාගන්න අමාරු. එයා එක්ක ගිහින් තෝරගන්න පුලුවන්. එහෙම වුනොත් අන්තිමට එයාම එයාගේ මුද්දට සල්ලිගෙවයි නැත්නම් මුදු වෙනුවෙන් සල්ලි නාස්ති කරන්න එපා කියයි.ඔය දෙකෙන් එකක් වෙනනිසා තමයි මම ඔයාට එන්න කිව්වෙ "
"හ්ම්ම්..හරි ඉස්සෙල්ල ඔයා තෝසෙ අරන් එන්න,අපි කාලා ඉඳිමු" එහෙම කියලා මම කල්පනාවට වැටුනා.රත්තරන් මුද්දක්ම තෑගි දෙන්න ඔනෙමද උමංගට ? රත්තරන් ගණන් මේ දවස් වල,අපේ අම්මත් එහෙම කියනවා මම අහගෙන ,ඇරත් අද කොහේ යන්න වෙයිද මුදු හොයන්න ?හෙට්ටිවීදියෙ? ඊට වැඩිය සරල ලස්සන දෙයක් දෙන්න පුලුවනි නේ?
හ්ම්ම්.. ඒත් ඉතින් රත්තරන් කියන්නේ ආදර බැඳීම් තහවුරු කරන සංකේතයක් නේ ?ඒක වෙන්න ඇති එයාට රත්තරන් මුද්දක් දෙන්න හිතුනේ .විවාහ වෙන්නෙත් මුදු පලන්දල ආදරය තහවුරු කරලා වටිනාකමක් දීලා,රත්තරනේ සදහටම ඔබ මගේ කියලනෙ."
"හලෝ මොකද කල්පනාව?" ඔන්න කටහඬක් ආවා.බැලීනම් අපේ බැචා පත්ම කාලෙකට පස්සේ.පත්මට එලිවෙන්න, රෑවෙන්න,පාඩම්කරන්න,පැවරුම් ලියන්න හිත දෙන්නේ පේරදෙනියේ මල් ගස් යට කියලයි අපේ බැචාල කියන්නෙ.ඒ එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් උදානි ඉන්නෙ පේරා නිසා.
"ඉතින් මොකද උදෙන්ම අද?" කියාගෙන පත්ම මගේ මේසෙ කොනක වාඩි වුනා.
"පොඩි ගමනක් යන්න වෙලා උමංගාගෙ වැඩකට" මම උත්තර බැන්දා.මුද්දක් ගන්න ඕනෙලු සමින්දට,ඒත් ප්‍රශ්නෙ සමින්දගේ ඇඟිල්ලට හරියන සයිස් එක හොයාගන්න බැරි එක.සමින්ද එන්නෙ නැහැනේ අපි එක්ක." මම මගේ ප්‍රශ්නෙ ඉදිරිපත් කලේ පත්ම ගාවවත් විසඳුමක් ඇති කියලා හිතලා. සමහර විට එයාට ඔයවගේ අත්දැකීම් ඇතිනෙ. මට හිතුනා
පත්ම හරි ප්‍රියමනාප යාලුවෙක්.නිතරම සිනහ මුසු මුහුනින් ඉන්න කෙනෙක්.උසයි අඩි 6ක් විතර ,කෙට්ටු,සිහින් සිරුර සහ රවුම් මූනත්,තට්ට හිසත් ,වැඩිය නොකැපුව රැවුලත් එයාට අපට වඩා වැඩිහිටි පෙනුමක් එක්කලා.
"හරි මට උදව්වක් කරන්න පුලුවනි.සමින්දත් මම වගේ කෙට්ටු හීන්දෑරි කෙනෙක් නේද? මහතත් මම තරම් ඇති.මම දැකල තියෙනවා උමංගා එක්ක තුම්මුල්ලෙ රවුම් ගහනවා.ඔව් නේන්නම් මට එකපාරටම මතක් වුනා. එහෙනම් මෙහෙම කරන්න මනෝ.මම මගේ මුදු ඇඟිල්ලේ මිම්ම දෙන්නම් ඔයාලට .ඒ මිම්මට තෝරගන්න.වැඩි වෙනසක් වෙන එකක් නැහැ." පත්ම කිව්වා.
"හ්ම්ම් අදහස හොඳයි ..ඒත් මිම්ම ගන්නේ කොහොමද ?" එතකොටම පත්ම එයාගේ නෝට්ස් මිටියෙන් ෆයිල් කටුවක් ඇදල අරගෙන ඒක දිගාරිනවා. මට වැඩේ තේරුම් ගියා.පත්ම සීරුවට ඒක එයාගේ මුදු ඇඟිල්ල වටේ දවටලා රවුමක් හැදුවා මිම්ම ගන්න .උමංගත් තෝසෙ අරගෙන අවා.මෙන්න කියලා පත්ම ෆයිල කටු කවය උමංගගේ අතටම දුන්නා. එයා පුදුම වෙලා ඇහුවා මොකද්ද කියලා.මමත් පත්මත් හිනාවෙලා කිව්වා සමින්දගේ මුද්දේ මිම්ම කියලා. උමංගට නොකිව්වත් කතාව තේරිලා හිනහවුනා.
තෝසෙ පාරක් දාලා, පත්මටත් මුව නොසෑහෙන්න ස්තුති කරලා අපි පිටත්වුනා මුදු හොයන්න.
ඉතින් මුදු හොයන ඒ වැඩෙත් හිතූ තරම් ලේසිවුනේ නැහැ.
උමංගා කිව්වා එයාට නුගේගොඩ තියෙන ප්‍රකට ස්වර්ණාභරණ සාපුවක නමක්.එහේ වටිනා රන් බඩු තියෙනවා කියල්ලා.එයාගේ අම්ම්,ලොකු අම්මල,පුංචිලා,නැන්දලා කවුරුත් කාලයක් තිස්සෙ රන් බඩු මිලට ගන්න රන් හා බැඳුනු විස්වාසනීය නාමයක් සහිත තැනක්.ඉතින් මට කට කොනකට හිනාවකුත් නැගුනා.උමංගා ගෙදරට හොරෙන් තනි මතයට ප්‍රේම කළාට පවුලෙ පරම්පරාවෙ ගැහැනු අය පිළිපැද්ද සම්ප්‍රදායනුත් අරක්ෂාකරන්න සූදානම් වග පෙනිලා.
අපි එතැනට ගියා ඉස්සෙල්ලම .හරිම ලස්සන වටිනා අලංකාර රන් ආභරණ.පිරිමි අය පලඳින විවිධ මුදු.මම අර ෆයිල් කටු කවයත් එයා අතට දුන්න .ලොකු සාප්පුවක් නිසා හොරැහින් ඒදෙස බලමින් තමයි එයා රන් මුදු තෝරන්න උත්සාහ කලේ .ඒත් එයා අන්තිමටම මට හෙමිහිට කිව්වා "මේවා හරි ගණන්;අපි වෙන තැනක් බලමු" කියලා.
එයා හෙව්වෙ රුපියල් 4000-5000 ත් අතර වගේ වටිනාකම තියෙන මුද්දක්.පවුම් වල වටිනාකම ඇරුණහම සාප්පුවෙ නමටත් ගානක් එකතුවෙලා මුදු වල මිල ඉහල යන වග මට පෙනුනා.ඒත් පවුම් රත්තරන් තේරීම ගැන නම් මට තිබුණු දැනුම අල්පයි.ඒව ඉතින් අම්මලාගේ වැඩනේ .නුගේගොඩ තව රන් බඩු සාප්පු දෙකකටම ගියත් උමංගාගේ අවශ්‍යතාවය ඉටුකරගන්න බැරිවුණා.ෆයිල් කටු කවය මගේ අතේ රැඳිල තිබුණා.
ඉතින් ප්‍රකට නම් සහිත සාප්පු ගැන තිබුන අදහස අතැරලා අන්තිමටම අපි දෙන්න සේන්දු වුනේ වැඩිය දැකුම්කලුපෙනුමක් නැති සාප්පුවකට .එකේ හිටියේ වැඩිහිටි මුස්ලිම් මනුස්සයෙක්.සාප්පුව දිහා මම වටයක් කැරකිලා බැලුවා.අනිත් සාප්පුව වල වගේ ප්‍රදර්ශනය කරන්න ගොඩක් රන් බඩු එතැන තිබුනෙ නැහැ.නාම පුවරුවෙ උගස් බඩු ගන්නවා කියලා සටහනක් තිබුනා.
උමංගා අවශ්‍යතාවය කියලා අර ෆයිල් කටු කවයත් ඔහුට පෙන්වුවා.ඒදිහා හොඳට විපරම් කරලා බලලා ඒ මනුස්සයා "එහෙනම් නෝනා මේක තම්යි හරියටම ගැලපෙන්නෙ කියලා" එයාගේ මේස ලාච්චුවෙන් ගත්ත පොඩි වෙල්වට් පෙට්ටියක තිබුණ මුද්දක් උමංගාට පෙන්නුවා.මාත් එබිලා බැලුවා.පෙනුමට නම් මිම්ම හරි .ඒත් ඇයි මේක අනිත් රන්බඩු වගේ වීදුරු අලමාරියක නොතියා මේස ලාච්චුවක තිබුණේ?මට ගැටලුවක්.මමත් ඒක අතට අරගෙන හොඳින් විපරම් කලා.එතකොටම අර මනුස්සයා කිව්ව "මේක හොඳට පොලිෂ් කරලා අලුත් පෙට්ටියක දාල දෙන්නම්" කියලා.මට මුද්දෙ පිටිපස්සෙ තියෙන කතාව තේරුම් ගියා .මම උමංගගේ මූණ දිහා බැලුවා.
"කමක් නැහැ මනෝ අපි මේක ගමු .මා අතේ සල්ලි තියෙන්නෙත් රුපියල් 4000 යිනෙ" එයා සිහින් හඬින් මට කිව්ව.ඔන්න මුද්ද පොලිෂ්වෙලා අලුත් පෙට්ටියකට වැටිලා පුන්චි කවරෙකත් දාලා උමංගගේ අතට ආවා.දැන් එයාගෙ මූණත් පොලිෂ් වුන මුද්ද වගේ කාන්තිමත්.
ආයෙත් අපි ස්ටැන්ලි තිලකරත්න මාවතේ 138 බස් එකක් ගන්න ඇවිදගෙන ගියා ලෙක්චර්ස් යන්නත් එපැයි .
මම කල්පනාවකට වැටිලා ඉන්න අතරෙ උමංගා අයෙත් කියනවා
"මනෝ මට තව උදව්වක් ඔනෙ.මේ මුද්ද ඔයා ගාව තියා ගන්න .මට ගෙදර ගෙනියන්න බැහැ.දැන් අපේ අම්ම නිතරම මගේ කාමරේ අවුස්සනවා.එයාට සැකයි.බැරිවෙලාවත් මේක අහුවුනොත් මම ඉඳල හමාරයි.එන බදාද සමින්දගේ උපන්දිනේ .එදාට ඔයා මේක අරන් එන්න" කියලා.
ඒ පොඩි කවර පොඩිත්තේ තිබුන මහා ආදරයේ සංකේතය මගේ බෝඩිමේ රට අඹලෑලි පොත් මේස ලාච්චුවේ සුරක්ෂිතව තිබිලා හරියටම හත් දවසකට පස්සෙ මම එකේ හිමිකාරිට දුන්නා ඒක එයාගෙ හිමිකාරයාට පලඳන්න.
ඉතින් මම හිතුවා ඉන්පස්සේ සමින්ද මේ උමංගගේ මහා ආදර සංකේතය හැමදාකම පලඳීවි කියලා.ඒත් එක එහෙම වුනේ හැනැනේ.
හේතුව මේකයි.මුද්දෙ මිම්මෙ වරදක් නෙවෙයි .සමින්ද රෝමානු කතෝලිකයෙක්.ඉතින් ඒ අය රන් ආභරණ පලඳින්නේ නැහැ කියලා උමංගා මට කිව්වෙ .ඔය ගැන දැන දැනත් උමංගා දුක්විඳලා තෝරගත්ත මේ ආදර සන්කේතය අදටත් මට මහා ගැටලුවක් .
ඔන්න ඔහොමයි ඉතින් ඒදෙන්නා මුදු පැලඳුවේ .
ඒක හරි වැඩක්නෙ.. කතෝලිකයෙක් උනා කියලා රන් ආභරණ පළඳින්නැතුව ඉන්න කිසිම හේතුවක් නෑ.. (මමත් කතෝලිකයෙක්) කොහොමත් ඉතිං විවාහ වෙද්ද අනිවා රත්තරං මුද්දක් පළඳිනවනෙ.. මොනා උනත් කතාව නම් දිගටම කියවන්න ආස හිතෙන විදියට ලියලා තියෙනවා... ඔහොම යං.. ඔහොම යං... :)
ReplyDelete