Wednesday, December 28, 2011

කොණ්ඩේ කැපීම


"තාත්තත් කොණ්ඩේ කපනවා , ලොකුමාමත් කොන්ඩේ කපනවා ,පොඩි මාමත් කොන්ඩේ කපනවා .ඉතින් මගෙත් කොන්ඩේ කපන්නකෝ "

පුංචි සන්දියේ තාත්තා බාබර් සාප්පුවට යන හැම වතාවකම මම අම්මාට ඇවිටිලි කරනවා මතකය . ගැහැණු දරුවන් හෝ පිරිමි දරුවන් වේවා පොඩි වුන් පොඩි කාලේ අවුරුද්දක් හමාරක් ගිය තැන සිරිතක් ලෙස හිස කෙස් රොදක් කපා සුදු රෙදි කඩක දවටා සිරිපා වන්දනා සමයට සිරීපාදේ ගෙන ගොස් සීත ගඟුලට දමන සිරිතක් අපේ ගම් වල ඇත .දරුවන්ගේ කොන්ඩේ කැපීම සිදුවන්නේ එහෙම කල පසුය. ඉපදිලා හයමාසෙකින්  මගේත් එහෙම කල වගක් අම්ම කිව්වාය.

"ඔයා උපදිනකොටත් හොඳට කොන්ඩේ වැවිලා. හරි නිරෝගියි.කලුම කලු පාට ඉසකෙස් .තාත්තගේ වගේමයි කොණ්ඩ කැරලි කැරලි ලස්සනයි.හැබැයි පොඩි කාලේ කිසි කරදරයක් වුනේ නෑ කොන්ඩේ කපන්න යන්න" .අම්මා දැනුත් මතක් කරන්නීය

යන්තන් අවුරුදු හතරේදී , පහේදී තාත්තා හෝ ලොකු මාමා එක්ක ගමේ බාබර් සාපුවට ගිය හැටි මට මතකය . තේ හා සිල්ලරකඩ පෙලකින් යුත් කඩ මන්ඩියේ කොනක බාබර් සාප්පුව තිබුණි .එහි යන එන කාගේත් කොණ්ඩේ කැපුවේ රත්නේ අය්යාය .කෙට්ටු හීන්දෑරි ඔහු මා දුටු විගස "ආ අද සුදු බබාත් කොන්ඩේ කපනවාදැයි" අසයි . මමත් ඔවු කියමින් උජාරුවෙන් උත්තර දෙමි . බොහෝ මගේ වයසේ පොඩි දරුවෝ කොණ්ඩේ කපන්න බය වෙති . හඬති . කොන්ඩේ කපන්න ආ විට අම්මා හෝ තාත්තා අතින් බිමට බහින්නේ නැත . මට නම් එහෙම බයක් නැත .බාබර් සාපුව විසිතුරු ලෝකයකි . එහි සෑහෙන්න කාලයක් විජය , මාලනී , ගීතා ,ජෝති වැනි නලු නිලියන්ගේ ගායකයන්ගේ විසාල පින්තූර අලවා තිබුණි . සිත්තර , සරසවිය වැනි පත්තර ද විය . ඒවා බලන්න බණ්ඩාර මමා, විට්ටර් මාමා  , සිරිසෝම සීයා  වැනි ගමේ මා දන්නා හඳුනන අසල්වැසියන්ද බාබර් සාපුවට රොක්වෙති . ඉසෙල්ලාම  තාත්තා හෝ ලොකුමාමා කොන්ඩේ කපාගනී .එතකන් මම පොඩි ලමයින්ට කොන්ඩේ කපන්න තියෙන උස කැරකෙන ලී පුටුවේ වාඩි වී පොඩි සපත්තු දැමූ කකුල් පද්දමින් වටපිට බලමින් සිටිමි . වැඩේ හරි ශෝක්ය .රත්නේ අයියා ටිකි ටිකි හඬින් පනාව හා කතුර මෙහෙයවමින් සට පට ගා කොන්ඩේ කපයි . අන්තිමට මකුනෙක්ගේ හැඩය ඇති අඬු කතුරකින් කන් දෙපැත්ත හා ගෙල පිටුපස කෙස් කොටස් බූගා දමයි . ඊලඟට සටස් පටස් ගා සුදු තුවායකින් ගසා දමා පියරු පෙට්ටියෙන් පියරු ගොඩාක් ගෙන කම්මුල් වලත් බෙල්ලෙත් , කන් දෙපැත්තෙත් තවරයි .මට නම් ඕඩි කොලොන් ටිකකුත් අතුලා "දැන් සුදු බබා හරි හැඩයි" කියයි එතකොට හරි සනීපය .ඉතින් කොන්ඩේ කපන්න මොකට බයවෙනවාදැයි මට හිතේ . ඒ වුනාට කොන්ඩේ කපාගත්තාම ලේසි නැත . හවසට ආච්චිලාගේ ගෙදර ගල් වැට ගාවට  රස්තියාදුවට එන කුමාර මමා , ජානක අයියා , මංජු අයියා වැනි වැඩිහිටි ඥාති සොහොයුරන් මාව අවුස්සන්න පටන්ගනේ "ආ අද අපේ  සුදු නෑඹිලි කට් කපලා හූ හූ කියමිනි" . එතකොට මට ඉහිලුම් නැත . ඒ සේරටම මම ගල් ඉබ්බා කියමින් බැන වදිමි . අවුරුදු හයක් විතර වෙනතුරු මා දැනගෙන හිටි නරකම නරක වචනය එය විය .

ගෑනු හෝ පිරිමි දරුවන් බාල කල කොන්ඩේ තරමක් වැවීගෙන එන විට පොල් ගහක් වගේ පොඩි කොන්ඩ මලක් ඔලුවේ ගැටගහන පුරුද්දක් අම්මලාගේ  තිබුණි .ඒත් කවදාවත් එහෙම කොන්ඩ මලක් මට තිබුණා මතක නැත. වැඩියක් මම ගෙදරට ඇන්දේ පොඩි කලිසම් කොටය . ඩොනල්ඩ් ඩක් ඉන්නා එවැනි පොඩි කලිසම් , ලස්සන සන් සූට්  ගොඩාක් මට තිබුණා මතකය ".කොන්ඩෙත් කපලා , ජංගි කොටෙත් ඇඳලා, ඉස්තෝප්පුවේ ට්‍රයිසිකලය පදිනකොට   සුදු පුතා  නියම කොල්ලා.ලොකු අක්කට පුතෙක් නැතුවට පාඩු නෑ".එහෙම කියන්නේ අපේ රමණි මම්මාය . ගෙදර කවුරුත් ආදරේට මා ඇමතුවේ පුතා ලෙසිනි .වැඩි සෙනෙහස නිසාවෙන් විය යුතුය ..දුව කිව්ව වගක් අද වෙනකනුත් මතක නැත.පොඩි කාලේ ගොඩක් සුදු නිසා අම්මාගේ නෑ පරපුර මා ඇමතිමට සුදු විශේෂණ පදයද යෙදුවා විය යුතුය .

ඉස්කෝලේ යන්න පටන්ගත් පසු නිතරම හැම නිවාඩු කලයකට වරක්ම කොන්ඩේ කැපුවා මතකය . උකුනන් බෝවීම වැලැක්වීමත් එයට හේතු විය .පොඩි ලමයින්ට දිග කොණ්ඩා කරදරයි අම්මා කිව්වාය  .ඒත් මට අවුරුදු දොලහක් විතර වෙනකොට නම් අම්මා , ආච්චී හා රමණිම් මම්මලා ඇතුලු අම්මගේ නෑ පිරිවරම මගේ කොන්ඩේ ගැන බොහෝ උනන්දු වුවෝය  ."සුදු පුතා දැන් කොන්ඩේ දික්කරන්න ගන්න , ඉස්සර ඉස්කෝලේ යන කාලේ ලොකු අක්කගේ කොණ්ඩේ හරි දිගයි , කරල් දෙකට ගොතලා ලස්සනයි කියා නොනැවතුන රමණි මම්මා ,  ආච්චී සමග එක්වී පවුලේ ඡායාරූප එකතුවේ වූ අම්මාගේ ලස්සන, කොන්ඩේ දිග පින්තූර පෙන්නමින් මා උනන්දු කලාය .

"කොහොමද එහෙම කොන්ඩේ දික්වෙන්නේ" ? මගේ පැනය විය ." හරි ලේසියි. දැන් නිතර කොන්ඩේ කපන්න එපා . හැමදාම නාන්න , නිදාගන්න කලින් තැඹිලි තෙල් ගාලා පීරලා තියෙන කොන්ඩේ එකතු කරලා කරල් දෙකකට ගොතලා ගැටගහන්න" .එතකොට ඉක්මනට දික්වේවි . එහෙම කිව්වේ රමණි මම්මා හා ආච්චිය . හැමදාම නාන්න ?ඒකනම් මට අරහං වැඩකි . ඇරත් රෑට දත්මැදලා නිදාගන්න කියා තියෙන එකේ අමුතුවෙන් කොන්ඩේ ගොතා නිදාගැනීමේ බරකුත් පැටවේ .

දැන් දික්වෙන විට මගේ කොන්ඩේ ගොඩාක්  කැරලි කැරලි වගේය ."සුදු පුතා  තාත්තගේ ආරෙට යනවා වගේ " අම්මාගේ පවුලේ හැමෝම කියයි .ඒ කියන්නේ මට අම්මා පාසල් යන කාලේ වගේ  ලස්සන ස්ට්‍රේට් දිග කොන්ඩයක් නොලැබෙන හැඩකි .එහෙම එකක් නැති එකමයි වැඩේ .කාටද පුලුවන් ඔය ටූ ප්ලේට්ස් ගොතාගෙන හැමදාම ඉස්කෝලේ යන්න .ටිකක් කොන්ඩේ වැවෙන කෙල්ලන්ට දැන් ඉස්කෝලෙන් හරි නීතිය .පෝනි ටේල් දැමීම තහනම්ය . යාන්තන් කොන්ඩේ වැවෙන විට බලු නැටි දෙකක් ගොතන් කලු රිබන් ගැටගහන් යා යුතුය .උදේට ඉස්කෝලේ යන්න ලෑස්තිවෙන එක ලේසි නැත . සපත්තු ලේස් ගැටගහන් , ටයි පටි ගැටගහන් ඒ මදිවට කොන්ඩෙත් ගැටගහන එක හරි කරදරයක්නේ මට හිතෙයි . ඒ එක්කම මට මගේ මිතුරියන් ගැන අනුකම්පා හිතේ .ඒ හැමෝගෙම අම්මලා උදේට ඔලුව පීරා කොන්ඩේ කරල් දෙකක් වෙන්න  ගැට ගහනවග කියති  .ඉතින් අපේ අම්මාට එහෙම මගේ ඔලුව පීරන්න වෙලා නැත . උදැහැනින් රාජකාරියට යන්න පෙර අපි පාසල් යැවීම ,කෑම හැදීම වැනි වැඩ ගොඩාක් ඇයට අත .  "හැමදාම මගේ ඔලුව පීරුවේ තාත්තාය . පාසල ඇරී ගෙදර ආ පසුත් සෙනසුරාදා ඉරිදාටත් හිස පීරීම ගැන මට වගේ වගක් නැත .මේකගේ කොණ්ඩේ වලස්තොප්පිය වගේ , හැටි විතරක් කපුටු කූඩුවේ" කියමින් අම්මත් තාත්තාත් බැන වැදුන වාර එමටය .ඒත් මට වගක් නැත .

කොහොමත් මගේ වලස්තොප්පිය කොට නොකලොත් ඉස්කෝලෙන් එලවීම නියත නිසා වෙලාවට කොණ්ඩේ කප්පවන්නට අම්මා උනන්දු වූවාය . දැන් මාව කොණ්ඩේ කපන්නට එක්ක යන්නේ ටවුමේ ඇති සැලූන් එකකටය .ඒ අම්ම දන්නා ආන්ටි කෙනෙකි .මගේ කොණ්ඩේ කපනදාට අම්මා හාෆ් ඩේ දමා වෙලපහින් එන්නීය .සැලොන් ආන්ටී නම් කියන්නේ නිතර කොන්ඩේ කපන්න නොව වවන්න කියාය . "ගෑනු ලමයෙකුට කොන්ඩේ ඕනෙමයි"  ඈ කියයි . "ඔවු ඒත් මෙයාගෙ කොණ්ඩේ ගොඩාක් කැරලිනේ දික් වෙනවා අඩුයි" අම්මා දුකින් මෙන් කියන්නිය . ඒ දෙන්නගේ කතාවල් මට නම් විහිලු වගේය . කොන්ඩේ කොට වුනාට ඕ ලෙවල් වෙනකන්  මම පන්තියේ තුන්වැනියාගෙන් පහල ගිහින් නැත . "මෙම සිසුවිය  ගොඩාක් පිරිසිඳුවට ඇඳලා පාසල් එන විනය ගරුක දක්ෂ ලමයෙක් " කියා මට හත -අට වසර වල  ඉගැන්වූ රත්නපාල සරුත් ඕ ලෙවල් කාලයේ ඉගැනුවූ තිලකරත්න සරුත්  මතක ඇතුවම රිපෝර්ට් කාර්ඩ් එකේ ලියා තිබුනි . මේ සර්ලාගෙන් කෙල්ලන්ට හොඳ ඇහීම කලු නික හෙවීම වගේ වැඩකි .ඒ නිසා කොන්ඩේ කොට වුනාට අවුලක් නෑ මට හිතේ ."ඒ වුනාට  කොන්ඩේ වවන්න" යාලුවෝ හැමෝම පෙරැත්ත කරති . "වෙලා නෑ අනේ පන්ති යන්නයි , පාඩම් කරන්නයි , ගියහම කොන්ඩෙට සාත්තු කරන්න කොහෙද වෙලාවක් ? . ඇරත් මම කොන්ඩේ ගොතන්න දන්නේ නෑ නේ . ඉතින් දික් වුනහම අපේ අම්මට  උදේට ඕවට කරදරයි" .එවැනි උත්තර දී මම ඇඟ බේරාගනිමි .

ඒ ලෙවල් කල පසු තත්වය ටිකක් වෙනස් විය .අනිත් යාලු කෙල්ලන් හා සමග සසඳා බැලූ විට මගේ කොන්ඩේ දික් වුනා නම් හොඳ යයි සිතුණි . අවුරුදු දෙකක් ගෙදර හිටි නිසා කොන්ඩේ ටිකක් දික් කරගන්න පුලුවන් වුණි .මම හිතාගෙන හිටියේ අම්මගේ මගුල් පින්තූරයේ තරමට කොන්ඩේ දික්කරගන්නය .ඒත් අම්මා පාසල් යන කාලේ තරම් වත් කොන්ඩේ දික් වුනේ නැත .යාන්තම් ගෙල තෙක් රූරා වැටෙන බූසි කොන්ඩය පිටිපස්සට කර බැඳ තබා ගතයුතුය .නැතිනම් පහසු නැත .කැම්පස් ගිය පසු මෙය දස වදයක් විය .හවසට නාන්න නැති බෝඩිමේ උදේම නාගත යුතුය .නාලා ලෙක්චර්ස් යන විට කඩාගෙන යන කොන්ඩය වියලී බූසියක් වෙයි .එවිට අනික් වුන් මට විහිලු කරන්නේ "හැත්තෑව දශකයේ සිනමා නලු නීල් අලස් වගේ" කියමිනි .මේ කෙරුවාව හැමදාම කල නොහැකි නිසා නැවත කොන්ඩය කොටටම කැපුවෙමි .එවර යාලුවෙක්ගේ උපදෙස් මත බොරැල්ලේ සැලූනයකට ගොස් හොඳම විදියෙන් කොන්ඩේ කප්පාගතිමි . ඉන් පසු නැවත මගේ කොණ්ඩය කොට විය .

" දැන් ඔය කොට කොන්ඩේ එක්ක සාරි ඇන්දම පුවක් ගහට සාරි පෙරෙව්වා වගේ තියේවි" .ඉන්ටර්න් කරන කාලයේ චමී ඇතුලු අනික් මිතුරියෝ කියන්න පටන්ගත්හ .ඔවු හැබෑට කොට කොන්ඩේ සාරියට කැතයි වගේ . ආයෙත් කොන්ඩේ වැවීම ඇරඹුනි ."ලොක්කා දැන්වත් ඔය කොන්ඩේ දික් කරන්න .ලේසියට හැම්දාම ඕක කපලා හරියන්නේ නෑ .බලන්න මගේ කොන්ඩේ තාම දිගයි ". අම්මාත් වහෙන් ඔරෝ කිව්වාය . දැන් මට කවුරුත් සුදු පුතා කියන්නේ නැත .ඒත් මම ලොක්කාය එහෙම නැත්නම් ලොකු පුතාය .ආයෙත් කොන්ඩේ දික්වුණි .ඒත් වෙනසක් නැත කලින් වගේමය . ස්ට්‍රේට් කරන්න යාලුවෝ කියති ."බෑ එතකොට මගේ අයිඩෙන්ටිටි එක නැතිවෙනවා .අනික මගේ කොන්ඩේ තාත්තගේ වගේ . මෙහෙම කොන්ඩේ එක්ක මම ගොඩාක් තාත්ත වගේ . ඒ නිසා ඕනෙ නෑ ". මම කියමි

රස්සාව මාරුවුනේ ඔය අතරේය .දැන් සාරි ඇඳීම අනිවාර්ය නැත .ස්මාර්ට් කැෂුවල් අඳින්න පුලුවන්ය . එහෙනම් මොකටද දිග කොණ්ඩේ . අනික මේක ගොඩාක් දික්වෙන්නෙත් නැති එකේ වෙනසකට එක්ක අලුත් තැනකට වැඩට ගිය නිසා කපනවා . ආයෙත් කොන්ඩේ කපන්න පොටක් පෑදුණි . ඉන් පසු හැම මාස තුනකට හෝ හතරකට සැරයක් ගානට කොන්ඩේ ට්‍රිම් විය . කැම්පස් කාලේ මෙන් කොටට කොටේ  නොව .හරි ගානට පිලිවෙලටය . කොන්ඩේ කැපීම මගේ දින සටහන් අතර වැදගත් පුද්ගලික කටයුත්තක් විය . ඒ වෙනුවෙන් ශෝර්ට් ලීව් හෝ හාෆ් ඩේ දැමීම සිරිතක් විය . රාජකාරිය අතර තුරේ යන නිසා කාර්යාලය අසලම හොඳ සැලූන් එකක් සොයාගන්න සිදුවිය.එහි යා යුත්තේ වෙලාවක් වෙන් කරගෙනය . බොහෝ වැඩ අධික නිසා ස්ට්‍රෙස් වීම , නිවාඩු යෑම් හා ඉඳ හිට රටින් පිටව යෑම්  නිතර කොන්ඩේ ට්‍රිම් කරන්න හේතු වූ කාරණ විය . කොහොමත් සැලුන් එකේ නිදහසේ ඉන්න ලැබෙන කාලයත් හිසට ලැබෙන මසාජ් එකත් නිසා නිතර කොන්ඩේ ට්‍රිම් කරන්න පුරුදු වූයෙමි .එමෙන්ම හෙයාර් කටිං කරන කුමාර් ද බොහොම ප්‍රිය මනාපය . ඔහු සමග කයිවාරුවක් ගහන එකත් කොන්ඩේ කැපීමේ වැදගත් අංගයකි . කොන්ඩේ කපන්න පෙර ඊලඟ මාස වල ඇති වැඩ රාජකාරි හා ඒවාට සැරසෙන අයුරු හිතා බලා කොන්ඩේ කපන ක්‍රමය ගැන  උපදෙස් දීම සිදුවේ . එහෙම බලන විට කොන්ඩේ ට්‍රිම් කරගැනීම සෑහෙන්න වැදගත් කටයුත්තකි .රටින් පිටව යන්නේ නම් බොහෝ කොටටම කැපීම සිදුවේ . එසේ කොටට කැපූ විට නොයෙක් අබග්ගද වෙයි . කාර්යාල වල සිකියුරිටි ගාර්ඩ් ලා හා ටැක්සි රියදුරන් සර් කියා කතා කරති . මිතුරියන්ගේ කුඩා දරුවෝ කුතුහලයෙන් අංකල් කියූ අවස්තාත් එමටය .මගේ පින්තූර දකින යාලුවෝ මේකව නම් වෙනස්කරන්න බෑ යයි නෝක්කඩු කියති 


.ඔවැනි අබග්ග නිසා අන්තිමට පහුගිය වසරක කාලයක් කොන්ඩේ වවන්න සිතුවෙමි .ආයෙත් සුපුරුදු ලෙස වැවුණි . වැඩිය දිගාත්  නැත .ගොඩාක් කොටත් නැත . බූසි ගතියකුත් කැරලි ගතියකුත් ඇත  .කපන්න තරම් හේතුවක් හෝ වෙලාවක් තිබුනේත් නැත .ඔය අතරතුර " ඔයාගේ කොන්ඩේ දික්වෙන්නේ නැද්දැයි " කෙනෙක් බොහෝ උනන්දුවෙන් ඇසීය . "නෑ පොඩි කාලේ ඉඳන් මෙහෙමයි.දික් වෙන්නේ ටිකයි "මාත් උනන්දුවෙන් පිලිතුරුදුනිමි . "ඉතින් ස්ට්‍රේට් කරන්න ඇයි හොඳ සැලොන් එකකට යන්නෙ නැත්තේ .ඔයා කොලනේ වැඩ කරන්නේ "ආයෙත් පැනයකි එවර ටිකක් උපහාස ස්වරයෙනි . "මෙහෙම  හොඳයි  ,මම ආස විදිය  මෙහෙම කොණ්ඩේ එක්ක මට මගේ  තාත්තගේ පෙනුමත් එනවා .පවුලේ හැමෝම එහෙම කියනවා . අනික අපි ජීවත්වෙන්නේ කොණ්ඩෙන් නෙවෙයිනේ.ජීවත් වෙනකොට කොන්ඩෙට වඩා හිතන්න අපිට  ගොඩාක්  වැදගත් දේ තියෙනවා " .අවසාන පේලි කීපය කියවුනේ නොහිතාය .ආයේ කොන්ඩේ ගැන කවුරුත් මුකුත්ම  මගෙන්  ඇහුවේ නැත .

එබැවින් මෙවර වසර අවසානයට   පෙර මතක ඇතුව කල යුතු පුද්ගලික හා රාජකාරි වැඩ ලැයිස්තුව සකස් කල වෙලාවේ කොන්ඩය කපන්නට සැලොන් යාමත් එක්කලෙමි . රාජකාරි කරන තැන මාරු වීම නිසා සැලුනයද මාරු විය .  ඒ අනුව හෙයාර් කටිං ශිල්පියාද මාරුවිය .ඇය මැදි වයසේ සිටින ප්‍රියමනාප හෙයාර් කටර් කාන්තාවකි . සැප පහසු පුටුවෙන් වාඩි වීමට සන් කල ඇය මට පිරිසිඳු රෝබ් එකක් දැවටුවාය . කොහොමද කපන්නේ ? ඇය විමසුවාය

ලේයර්ස් , කොටට......ගොඩාක් කොටටම කපන්න.ඔයිල් මසාජ් එකකුත් ඕනෙ .පුටුවෙහි පහසුවෙන් හිඳගනිමින් මම කිව්වේමි .

කොටටම කපන්න ?ඔෆිස් යනව නේද ?ය සැක හැරගන්න  මෙන් විමසයි .

"ඔවු කොටටම කපන්න .කොණ්ඩෙන් නෙවෙයිනෙ අපි ජීවත්වෙන්නේ ". මම මා ඉදිරිපිට ඇති  කණ්නාඩියෙන් පෙනෙන මගේ රුව දෙස සෘජුව බලමින්  සතුටින්  සිනාසෙමින්  ඉතා සැහැල්ලුවෙන් පිලිතුරු දුන්නෙමි .


ඔවු ඒකත් ඇත්ත .ඇය සිනා පා මගේ උරහිසට තට්ටුවක් දමා කොන්ඩය කපන්නට ලෙන්ත් එක ගත්තාය .

P/S -To be beautiful means to be Yourself . You don't need to be accepted by others . You need to accept yourself
 ...and what matters most is your inner beauty ....Beauty in your thoughts . Beauty in your heart.Beauty in your deeds ! 

Friday, December 23, 2011

Jaw Bone , Back Bone and Wish Bone - Story of Three Bones



ඔන්න එකෝමත් එක කාලෙක කතාවක් කියන්නයි යන්නේ.දැනට අවුරුදු සියක් කාලෙකට එහා පුංචි සාගර දූපතක හිටියා මහලු ධීවරයෙක් . දන්න කියන කාලෙක ඉඳලා පරම්පරාවෙන් පරම්පරාවට පුරුද්දෙන් මුහුදු ගිහින් මාලු මරන් ගොඩට ඇවිදින් විකුණලා කීයක් හරි යොයාගන්න එක තමයි එයාගේ රස්සාව.ඔය සාගර දූපතේ හිටි කොයි කාගෙත් කතාව ඔහොමයි . මුහුදු ගිහින් උපය ගන්න දේකින් එදා වේල ගැටගහගෙන චාමෙට ජීවත්වෙනවා .

අපේ මේ ධීවරයට හිටියා තරුණ පුතෙක් .පුරුද්දෙන් පරම්පරාවෙන් තාත්තගේ රස්සාව කලාට මොකෝ එයාට නම් සාගර දූපතේ තනිවෙලා ඉන්න ඒ හැටි කැමැත්තක් තිබුණේ නෑ .තාත්තත් දැනගෙන හිටියා පුතණ්ඩියා දූපතට කොටු වෙලා ඉන්න වැඩි මනාපයක් නැතිවග . ඔන්න ඉතින් තාත්ත හිතූ විදියටම එක දවසක පුතා මේ සාගර දූපත අතෑරලා එයාගේ වාසනාව සොයාගෙන , අලුත් ලෝකෙකට යන්න ඕනෙ කියලා  තීරණය කලා .වයසක තාත්තා පුතාගේ අදහසට බාධා කලේ නෑ. ඔය තීරණේ ගත්තු දා ඉඳන් දෙමාසයක් යනකන් පුතා ගමනට සූදානම් වුණා . ඉස්සෙල්ලම හොඳ පුංචි රුවල් ඔරුවක් හදාගත්තා . සාගරේ තරණය කරගෙන දේශ දීපංකරේ යන්න නේ කල්පනාව .ඊලඟට දෙතුන් මාසෙකට උවමනා  කෑම බීම ඩිංගකුත් පුලුවන් විදියට සොයාගෙන ඔරුවේ ගබඩා කලා .අන්තිමටම ගමන පිටත්වෙන දවස ආවා .ඒ කියන්නේ පුතා තාත්තගෙන් සමු අරගෙන එයාගේ අලුත් ලෝකෙ හොයාගෙන යන  දවස .දරුවෙක් මෙහෙම ඉරණම් ගමනක් යනකොට හැම තාත්තෙකුටම ලොකු දුකක් ,බයක් දැනෙනවනේ .ඒ වගෙම තමයි දරුවන්ටත් නොපෙන්නුවට දුකයි.ඒත් තාත්තල දාල යන්න වෙනවා .ඒක ලෝක සොබාවෙ කියලා හිතලා මේ තාත්තයි පුතයි තමන් හැමදාම මුහුදු ගිය සාගර දූපතේ පුංචි වරායට ගියා සමුගන්න අන්තිම වතාවට. එදාවෙල හරි හම්බ කරගත්තු තාත්තට පුතාවෙනුවෙන් දෙන්න සල්ලි බාගේ ,වස්තුව තිබුණේ නෑ .පුතත් දැනගෙන හිටියා තාත්ත සල්ලිකාරයෙක් නොවෙන වග .ඒ නිසා මහලොකු යමක් තාත්තගෙන් බලාපොරොත්තු නොවුනත්, ගමනට එයාගේ ආශිර්වාදය බලාපොරොත්තු වුණා. ඔන්න ඉතින් සේරම ලෑස්තිකරලා රුවල් ඔරුව දියත්කරන්න යද්දී පුතාව වැලඳගෙන සුබ පැතුව තාත්තා එයාගේ අතට ලොකු තල්මහෙක්ගේ මාලු කටු තුනක් දීලා කිව්ව "මේවා පරිස්සමින් තියාගන්න , නැතිකරගන්න එපා ,ජීවිතේ හැමදාම ඕනෙ වේවි .අමතක කරන්න එපා"කියලා .


"හ්ම්.... තල්මහෙක්ගේ කටු කෑලි වකින් මොනව කරන්නද?" කියලා හිත හිතා අර ඉලංදාරියා ධීවරයගේ මූණ බැලුවා ප්‍රශ්නාර්ථෙකුත් එක්ක . පුතාව තේරුම ගත්ත තාත්තා ඒයින් එකක් අරන් මෙහෙම කිවා .

පුතේ මේක නුඹේ හකු කටුව -Jaw Bone  හා සමානයි . නැතිකරගන්න එපා .මතක තියාගනින් කොයි දේස දීපංකරේ ගියත් කවදා හරි දවසක සත්‍ය කතා කරන්න , හොඳ වචන කතා කරන්න මේ හකු කටුව නුඹට උදවු වේවි කියලා .

"ඉතින් පුතා අහනවා එත්කොට තාත්තේ මේ අනික් ඇට කටු ?"

තව මාලු ඇට කෑල්ලක් අතට ගත්තු ධීවරයා කියනවා "මේක නුඹේ කොඳු ඇටය -Back Bone හා සමානයි .මතක තියාගනින් මේ කොඳු කටුව තියෙනතාක් කල් උඹට අයුක්තිය , අසාධාරණේ , ඉස්සරහ නැවෙන්න ඕනෙ වෙන්නේ නෑ.හැබැයි යුක්තිය , නිවැරදි දේ වෙනුවෙන් හිස නවපන් ,එකඟ වෙයන් .තමන්ගේ නිවැරදි මතය වෙනුවෙන් බය නැතුව නැගී හිටපන් "කියලා . ඒ අවවාදයත් හිස් මුදුනෙන් පිලිගන්න පුතා අහනවා අන්තිම මාලු ඇට කෑල්ල පෙන්නලා "තාත්තේ එතකොට මේ මොකද්ද "?කියලා .

"මේ නුඹේ පැතුම් කටුව- Wish Bone . මොන තරම් අසරණ වුනත් , වස්තු සම්පත් ,යාලුවො නැති වුනත් , ජීවිතේ එපා වෙන තැනට ආවත් මේ පැතුම් කටුව අතාරින්න නම් එපා .ප්‍රාර්ථනා , බලාපොරොත්තු තමයි යම් දවසක නුඹව අලුත් ලෝකෙකට ගෙනියන්නේ "කියලා .

ඉතින් ඔය කටු තුන පිලිගත්තු පුතා සාගර දූපතෙන් තාත්තට සමුදීලා සතුටින් නික්ම ගියා කියල තමයි කියන්නේ .

අද මේ කතාව මට මතක්වුණේ කාරණා කීපයක් නිසා .මේ කතාව මට කියලා දුන්නේ කාලෙකට ඉස්සර මගේ ආචාර්යවරයෙක්ව හිටි හා අපේ ස්ටුඩන්ට් කවුන්සලර් හැටියට වැඩ කල ආචාර්ය ගරු නොයෙල් ඩයස් පියතුමා .හරි ප්‍රසන්න සිනා මුසු කෙනෙක් .එතුමා තන්ගේ පලවෙනි වසරේ සිසුන්ට මුලින්ම කියලා දෙන කතාව මේ .පියතුමා එයාගේ විෂය උගන්වලා විවේක තිබුණොත් ලස්සන හිම්ස් එහෙමත් ගායනා කරනවා මට මතකයි .එතුමන් කිව්ව බොහෝ ආදර්ශ කතා ශුද්ධවූ බයිබලයෙන් කල උපුටා ගැනීම් වලට සම්බන්ධයි .තව දෙදවසකින් කිතුණුවන් ඉතාම ඉහලින් සමරන නත්තල උදාවෙනවා .තව සතියක් ගියතැන අලුත් අවුරුද්දක ආරම්භය . අද මම කොලඹඉඳලා ගෙදර එද්දී පාර පුරාම අවුරුදු හා නත්තල් සැරසිලි එක්ක මට අපේ ෆැකල්ටියේ තිබුණ ක්‍රිස්මස් කැරොල් හා ආචාර්ය ඩයස් පියතුමා මතක් වුණා .ඒ වගේම නත්තල ,අවුරුද්ද වෙනුවෙන් ජීවිතේට යම් අදහසක් මෙයින් එකතුවෙනවා .මම ගොඩාක් කැමති පැතුම් කටුවට -Wish Bone .ජීවිතේ බලාපොරොත්තු නැති කරගන්න එපා කියලා කිව්ව අවවාදයට . ඒ වගේම දෙමවුපියන් හා දරුවො අතර තියෙන බැඳීම් ගැන යම් යටි පෙල අරුතකුත් මෙයින් කියවෙනවා .

එහෙනම් කාටත් ප්‍රීතිමත් ශ්‍රී සුබ නත්තල් මංගල්‍යයක් වේවා !

ප\ලි

මේ තියෙන්නේ පියතුමා කිව්ව තවත් අදහසක් .මේක උපුටාගත්තේ මගේ ජූනියර් බැච් එකක නංගි කෙනෙක්ගේ මූණු පොතේ තිබිලා .


For attractive lips, speak words of kindness.



For lovely eyes, seek out the good in people.



For a slim figure, share your food with the hungry.



For beautiful hair, let a child run his/her fingers through it once a day.

For poise, walk with the knowledge that you never walk alone.



People, even more than things, have to be restored, renewed, revived, reclaimed, and redeemed; never throw
 out anyone.


Remember, if you ever need a helping hand, you will find one at the end of each of your arms.

As you grow older, you will discover that you have two hands; one for helping yourself, and the other for helping others.

Sunday, December 11, 2011

අබූ කන්දේ විස්තර - Trip to Mount Abu

උදයපූර් කියන්නේ රාජස්තාන් වල තියෙන අපූරු දේශගුණික හා භූගෝලීය වට පිටාවක් තියෙන නුවරක් කියල මට නිතරම හිතෙනවා . වියලි දේශගුණික රටාවකුත් ජුලි -අගෝස්තු වල එන මෝසම් වැස්සත් පතා සාගර් , පිචෝලා වගේ ස්වභාවික විල් , අරවල්ලි කඳු නගරයේ ප්‍රෞඪ අලංකාරය තව වැඩි කරනවා . ඒ වගේම උදයපූර් ඉඳලා කිලෝමීටර දෙසීය විසිපහක් ගියතැන මවුන්ට් අබු -Mount Abu කියන ලස්සන සීතල කඳුකර පලාතක් මුණ ගැගෙනවා .මවුන්ට් අබූ ගොඩාක් දේශීය සංචාරකයන් විනෝද ගමන් වලට , පික්නික් වලට යන හිල් ස්ටේශන් එකක් . 



මේ සැරේ ඌෂා මට කලින්ම පොරොන්දු වෙලා තිබුණා මවුන්ට් අබූ එක්ක යන්න . අපේ කල්පනාව වුනේ හවස් වරුවේ අබූ ගිහින්, රැයක් නැවතිලා , පහුවදා දවල් වෙනකන් ඉඳලා උදයපූර් එන්න . එදා හවස්වරුවේ මවුන්ට් අබූ යන ප්ලෑන් එක තව පොඩ්ඩෙන් අහෝසිකරන්න වෙනවා මාත් , ඌෂත් , රාජත් කල මෝඩ වැඩක් නිසා . අපි අබූ යන්න පිටත්වෙද්දීම එහාගෙදර හිටිය බල්ලා ගේට්ටුවට ඔලුව හිර කරගෙන බේරගන්න බැරුව කෑගහනව මර හඬ දෙනවා . අහිංසක සතාට බේරෙන්න විදියක් නෑ . කාර් එක ගමන යන්න ස්ටාර්ට් කරලත් කලබලේට එන්ජිම නිවලා යතුර වාහනේ ඇතුලේ දාලා අපි තුන්දෙනා බල්ලව බේරන්න දිව්වා . ඒ ඔක්කොම ඉවර කරලා ආවම තමා මත්ක්වුනේ කාර් එකේ දොර අරින්න බෑ කියලා . සේරම ශටර්ස් එහෙමත් වහලා . අන්තිමට තුන්දෙනාටම කල මෝඩ වැඩේට තරහටයි මහන්සියටයි ටිකක් වෙලා බලාගත්තු අත බලන් හිටියා . කොහොමහරි ඌෂගේ මල්ලි මොකද්දෝ අඬුවක් ගෙනිත් ශටර් එකක් ඇරලා යතුර ගත්තා .අන්තිමට ආයෙත් අබූ  යන්න අපි තීරණය කලා .




උදයපූර් ඉඳලා අබූ යන්නේ හයිවේ එකක . ඒ පාර දෙපැත්තත් හරි ලස්සනයි . පාලු කඳුකර තැනිතලා බිම් , හරක්ට එලුවන්ට තණකොල කවන ගෑනු මිනිස්සු , හරක් රංචු ඉස්සරකරන් ගෙදර යන ට්‍රයිබල් මිනිස්සු- Tribal men  නිතරම හමුවුණා. ඒ හැමදෙයක්ම කැමරාගත කරගන්න මට ඕනෙ වුනත් මෝසම් කාලයේ කඳුකර පාරක පැය තුනක විතර ගමනක් නිසාත් අපි උදයපූර් වලින් පිටත්වුනේ හවස්යාමයේ ටිකක් ප්‍රමාද වෙලා නිසාත් ඒ අදහස අතරින්න වුනා . නමුත් අත් දෙකේම වැලමිට වෙනකන් සුදු පැහැ වලලු පුරවගත්තු , වර්ණවත් බාන්දනී සාරි ඇඳගත්ත  , ට්‍රයිබල් ගෑණු Tribal Women , නා නා වර්ණ තලප්පා  බැඳගෙන වැහි බීරම් මැදින් හරක් රංචු දක්කන් යන මිනිස්සු , මෝසමට සාරවත් දුඹුරු පස් පෙරලිලා සී සාපු කුඹුරු යායවල් , ලා දලු නැගගෙන එන බඩ ඉරිඟු ,තිරිඟු හා අබ යායවල් ,ගෙමිදුල් වලට වෙලා සෙල්ලම් කරන ගැමි දරුවො මගේ නෙතට රසඳුනක් වුණා .ඒ අතරින් අමතක නොවෙන සිද්දිය තමයි හැටක් විතර වෙච්ච විසාල ඔටු රංචුවක් එක්ක , ඔටුවන්ගේ පිටේ බඩු මලු බැඳන් තාලෙට ජන ගී කියමින් ගිය අහිගුන්ඨික පිරිස . ඉන්දියාව මහ පුදුම රටක් .කොයි තරම් නම් ජන වර්ග ,ආගම් සංස්කෘතීන් මිශ්‍ර වෙලා තියෙනවද ? ගම්බද ඉන්දියාවේ හැම කිලෝ මීටර විස්සකට සැරයක් අලුත් ජන ජීවිතයක් දකින්න පුලුවනි .මේ විවිධත්වය-diversity රටක දේශපාලනික හා ඉතිහාස ගත කෝන්තර නිර්මාණය කිරීමේ සාධක වුනත් මම වගේ සංචාරකයෙකුට නම් ගවේශණය කරන්න රසවිඳින්න ලෝබ හිතෙන දෙයක්.

අහ්මදාබාද් වල ඉඳන් උදයපූර් එන රේල් වේ ලයින් එකත් , හයිවේ එකත් එකට හමුවෙන තැනක් මේ ගමනේදී මට දැකගන්න ලැබුනා . අහ්මදාබාද් ඉඳලා උදයපූර් වලට කෝච්චියෙන් පැය තුනකින් විතර එන්න පුලුවන් කියලා ඌෂා කිව්වේ .එතැන පහුවෙලා පැයකින් විතර අපි අබූ වලට යන කඳුකර මාර්ගය පටන්ගන්න තැනට ආවා . රූස්ස ගස් පේලියකින් හෙවන වුන මෙතැන පොඩි කඩ පොලක් .අබූ යන කවුරුත් මේ කඩේකට ගොඩවෙලා පකෝඩා කාලා ,චායේ එකක් බීල , ගමන් මහන්සිය නිවාගෙන තමයි කන්ද නගින්නේ .අපිත් එක පොඩි කඩේකට ගොඩවෙලා චායේ ඕඩර් කරලා කාට් කියන ලණු ඇඳක් උඩ වාඩිවෙලා වෙහෙස නිවාගත්තා.









අබූ කඳුකර පාර එක පැත්තකින් ප්‍රපාතයක් අනික් පැත්තෙන් ගස් කොලන් වලින් වැහුණ ගණ කැලෑවක් . පාර ඉඩකඩ සහිත වුණත් දල බෑවුම් හා සීග්‍ර වංගු නිසා බොහොම පරිස්සමෙන් තමයි වාහන එලවන්න ඕන . වැහි අඳුරත් මීදුම් පටලත් එක්ක පහල කැලෑවෙන වැහුන ප්‍රපාතාකාර බෑවුම හරිම සුන්දරයි.අපි කීප තැනකම වාහනේ නවත්වලා ඒ සුන්දරත්වය අත්වින්දා . වරින් වර එන පොද වැහි එක්ක වල් සමන්පිච්ච වගේ කැලෑ මල් වර්ගයක්  සුවඳ මුසු වෙලා එන හීතල හුලඟ හරි සනීපදායකයි . ඒවගේම රොමැන්ටික් ගතියකුත් තියෙනවා.අබූ සීමාවට එනකොට රෑ හතට විතර ඇති . උදයපූර් වලින් ආව ටුවරිස්ට් බස් ගොඩාක ඒ වෙනකොට අබූ වලට ලඟාවෙලා . GJ -ගුජරාත් ,UP-උත්තර් ප්‍රදේශ් වගේ පැති වල නාම පුවරු තියෙන මෝටර් වාහන හැම නවාතැනක් ගාවම නවත්වලා .ඒ කියන්නේ ගොඩාක් දේශීය සංචාරකයො විවේක සුව ගන්න අබූ එනවා වගේ . 


ලොකු සංචාරක හෝටල් වගේම පොඩි නවාතැන් පලවලුත්  ගොඩාක් මේ සීමාවේ තියෙනවා . අපේ නවාතැන වුනේ ඌෂා දන්න හඳුනන පුංචි ගෙස්ට් හවුස් එකක කාමරයක් . අපි එනකන් නවාතැන භාරකරු ලාල් ජී බලාගෙන හිටියා .සුපුරුදු ආචාර සමාචාර ආගිය කතා ( ඌෂ එක්ක ගමන් යද්දී මේ දේවල් වලට හුරු වෙන්න ඕනේ . එයා මනුස්ස සම්බන්දතා වලට සෑහෙන්න කාලයක් ආයෝජනය කරන කෙනෙක් .පහුගිය පූජා උත්සවේ විස්තරත් අහලයි එයා ලාල් ජී එක්ක කතාව ඉවර කලේ ) .කාමරේට ගිහින් ටිකක් මහන්සි අරිද්දී අපිට උණු චායේ ලැබුණා .දැන් හීතලයි ඒත් අපි තුන්දෙනාට ඕනෙ වුනේ රෑ යාමේ අබූ කඩපේලි දිගේ වීදි සංචාරයේ  යන්න .

කඩ වීදිය පාර විදුලි ආලෝකයෙන් බබලනවා . ආපන ශාලා , සාරි කඩ , තොරොම්බල් කාරයො, පලතුරු වෙලෙන්දො ,චායේ කඩ ,අයිස්ක්‍රීම් හල්  බඩ ඉරිඟු පුච්චල විකුණන තැන් එක්ක මුලු වීදියම හරි ජනාකීර්ණයි.මේ වීදිය කෙලවර වෙන්නේ නිකිලා කියන -Lake Nikhila ලොකු විලකින් . කඳු වලල්ලකින් වට වුණ නිකිලා විල අයිනේ තාමත් කඩල , රටකජු කකා චායේ බිබී මිනිස්සු ගැවසෙනවා . මට මතක්වුණේ නුවර එලියේ ග්‍රෙගරි වැවයි වසන්ත උත්සව කාලෙයි .අපිත් වීදි වල සිරි විඳිමින් , උණු උණු පිච්චුව බඩ ඉරිඟු කාලා , චායේ බීලා , කඩ පිල් වලටත් එබිකම් කරල එනකොට රෑ අටහමාරට විතර ඇති .එනකොට හොඳටම බඩගිණියි . ඌෂා කලින්ම රෑ කෑමට "කිචරි" සහ 'කඩායි" ඕඩර් කරල තිබුණා. කිචරි කියන්නේ අපේ මුං ඇට කිරිබත් වගේ මුං ඇට , හාල් මිශ්‍ර කරලා ගිතෙල් දාල උයන බෙරි බතක් .කඩායි කියන්නේ අල .ලූණු හීනියට කපලා ,කහ ,කරපිංචා දාලා උයන හොද්දක් .කෑම කන්න මේස පුටු තියලා පොඩි කෑම සාලාවක් තිබුණා .ටී වී එකේ රැජිණිකාන්ත් ,රේඛා රඟපාන පරණ ෆිල්ම් එකක් යනවා .ඌෂටත් මටත් ෆිල්ම් එක බලන්න ඕනෙ වුනත් එතන නවතින්න ආව තව පිරිමි නඩේකට ඉන්දියාව ප්ලේ කරන ක්‍රිකට් මැච් එක බලන්න ඕනෙ වුන නිසා ෆිල්ම් එක බලන අදහස අපි අතැරියා .උණු උණු කිචරි , කඩායි එක්ක අනාගෙන අඹ අච්චාරු එක්ක කනකොට හරි රහයි .මේ නවාතැන හෝම් මේඩ් ෆූඩ් වලට ප්‍රසිද්ධයි කියල ඌෂ කිව්වේ. 

අපි නිදාගත්තේ පහුවෙනිදා උදේම නිකිලා විලේ බෝට්ටු සවාරි යන්නත් , අබූ වල  දිල්වාරා කියන ජයින පංසල බලන්නත් යන්න හිතාගෙන .මුලු රෑත් පහුවෙනිදා උදේ හත විතර වෙනකනුත් තදේට වැස්සා.අපි තුන්දෙනාම හොඳට ගුලිවෙලා නිදාගත්තා. යාන්තන් වැස්ස තුරල් කලාම කාමරේ දොර ඇරලා බැල්කණියට ආවම තමයි දැක්කේ නැවතිලා ඉන්න තැන ලස්සන . වැස්ස තුරල් වෙලා යාන්තම් ඉර එලිය මෝදුවෙනවා . පහල පාරේ කිරි භාජන බයිසිකල් වල තියගෙන නගරෙට යන පිරිමි .වතුර කලගෙඩි ඔලුවෙ තියන් යන ගෑනු උදවිය දකින්න පුලුවනි .ඉස්සරහින් පේන කඳු වලල්ල අතරේ කොලෝනියල් තාලෙට හැදුව ආරුක්කු වහලක් තියෙන ලා කහපාට ගොඩනැගිල්ලක් පේනවා . ඒ රාජස්තාන් ආන්ඩුකාරයා එයාගේ ග්‍රීස්ම නිවාඩුව ගතකරන්න එන නිල නිවස කියලයි ලාල් ජී කිව්වේ .වැහි අඳුර මකලා මීදුම් පටල අතරින් ඉර එබෙන හැටි නම් හරිම මනරම්  .නුවර එලියට වඩා අබූ කඳුකරේ වෙනස්වෙන්නෙ ගල් කුලු වලින් බහුල වියලි කඳුකරයක් වීම කියලයි මට හිතුනේ.


කම්මැලි කම ඇරලා මූන හෝදලා , ඇඳ පැලඳ ගත්තු අපි තුන්දෙනා අල කරියක් එක්ක රොටී කාලා ආයෙත් ඇවිදින්න යන්නයි පිටත්වුනේ . මුලින්ම දිල්වාරා ජයින පංසලට ගිහින් ආශිර්වාද ලබාගෙන යමු කියලා රාජා කිව්වා. ගියහමයි දැක්කේ එදා උදේ නවයේ ඉඳන් දවල් දොලහ වෙනකන් පංසල විවෘත වෙන්නේ ජයින බැතිමතුන්ට විතරයි කියලා . මේ පන්සල් ගාවත් අපේ ප්‍රසිද්ද පන්සල් ගාව වගේ තමයි .මණි බඩු ඊලෙන්දො, චායෙ කඩ , කඩල රටකජු කාරයොත් , වන්දනා බස් හා බැතිමත්තුත් වැහි වැහැලා . එවෙලෙම සරුවත් හදල දෙන තැන් , ගී කර්ඩ් විකුනන තැන් , පලතුරු වට්ටි අම්මලා එහෙමත් ඉන්නවා . හරිම ලස්සන දෙයක් තමයි ඇස් ඇදගන්නා විදියට ලස්සනට සරසපු කඩල තට්ටු . ඒ අතරේ මගේ සිත් ගත් කෙනෙක් වුනේ කඩලයි , දෙලුම් ඇටයි විකුණන වෙලෙන්දියක්.මේ පංසලේ පැරණි ගල් කැටයම් බලන්න ඕනෙකම මට තිබුණත් අපිට ගොඩක් හවස් වෙනකම් ඉන්න බැරි නිසා කඩ වීදි දිගේ නිකිලා විලට ගිහින් බෝට්ටු සවාරි යන්න අපි තීරණය කලා . 


Tribal Family came to see the lake - see the women  and their  tribal  bangals !!  

කඩවීදියේ වෙලඳාම් පටන් අරන් .කලින්දා රෑ ඌෂත් මමත් නෝට් කරගෙන ආව සාරි කඩේකට ආයෙත් ගියා .ඒ අපි දෙන්නගේම අම්මලටයි , නංගිලටයි තෑගි හැටියට සාරි ගන්න . ඉන්දියාවෙ කොහෙත් සාරි කඩ වෙලෙන්දො ප්‍රියමනාපයි .අපි යනකොටත් කාන්තාවො කීපදෙනෙක් බොහොම සැහැල්ලුවෙන් බිම කුශන් වල වාඩිවෙලා , දිගෑදිල සාරි තෝරනවා .ඉක්මනට උවමනා තෑගි ගත්තු අපි නිකිලා විල දිහාට ගියේ බෝට්ටු සවාරි යන්න .පවුල් පිටින් සෙනග මේ විල දිහාට එනවා බෝට්ටු පදින්න .තනියම පදින පැඩල් බෝට්ටු වගේම , තොටියො එක්ක එන ඔරු එහෙමත් තියෙනවා . කඳු පෙලින් වටවුන විල තාම සිහින් මීදුම් පටල වලින් වෙලීලා . අපිත් පැය බාගෙකට පැඩල් බෝට්ටුවක් කුලියට අරන් පදින්න ගත්තා .මම කොහොමත් වතුරට බය ගතියක් තියෙන නිසා මුලින්ම චකිතයකින් හිටියේ .ඒත් ඌෂගේත් රාජගෙත් ආසාවට හරස් කපන්න බැරිනිසා ටිකෙන් ටික සංසුන් වෙලා බෝට්ටුව පෑගුවා .



බෝට්ටු සවාරිය ඉවර වෙලා අපි ආවේ විල මැද තියෙන බෝට්ටු අවන්හලට ගිමන් අරින්න .මෙතැන හරිම ලස්සන තැනක් .මුලු විලම මෙතැනට පේනවා . නිදහස් තැනක මේසෙකින් වාඩිවුන අපි දෙපැයකට වැඩිය මෙතැන ගතකලා කිසිම කතාවක් නැතුව . ඌෂා එයාගේ පුංචි ලැප් ටොප් එක අරන් ඔෆිස් එකේ වැඩක් .රාජා විලේ පිංතූර ගත්තා .මම නිහඬව විල දිහා බලන් කල්පනාවක . හිටිගමන් අවු රැල්ල පලාගිහින් විල අඳුරු වෙනවා .ආයෙත් හිරු එලිය පොදකින් ආලෝක වෙනවා .විල උඩින් දුම් දානව වගේ මීදුම් කැරලි නගිනවා .මම සෑහෙන්න වෙලා ඇස් පියාගෙන ඒ නිහඬ බව රසවින්දා . God this is the life කියලා මට කියවුණා .මම මේ ගමන ආවේ රාජකාරි නිවාඩුවකට . වැඩවලිනුත් , රටෙනුත් ඈත්වීමේ උපරිම සතුට දැනෙනු වෙලාවක්.එක පාරක් මම නිදාගෙන හිටිය කියලත් ඌෂ කිව්ව . 
She made my day !! 


විල මායිම පාරට කිට්ටුවෙන් නාන තොටක් .ගෑණු මිනිස්සු , ලමයි එතැන නානවා . ලොකු නුග ගහකින් සෙවණ වෙච්චි පරිසරයක් . ඒ කිට්ටුවම දිය සෙවෙල් බැඳුන සොල්දර , ගණකම බිත්ති තියෙන පරන මාලිගාවක් වගේ ගෙයක් . මේ පරිසරය මට මතක් කලේ දීපා මේතාගේ වෝටර් චිත්‍රපටියේ පසුතල දර්ශන . මට තිබුණ කුහුල නිසා කැමරාවත් අරන් නොදැනුවත්වම අර පරන ගේ දිහාට ඇදුනේ . කැමරාවෙ බ්ලැක් ඇන්ඩ් වයිට් ඉෆෙක්ට් දාලා ඒ ගෙයි පිංතූර ගනිද්දී දැක්ක දේකින් මම පුදුම වුණා . උඩ සොල්දර තට්ටුවෙන් එලියේ ගරා වැටුණ බැල්කණියට ආව සාම්ප්‍රදායික  තැඹිලි -කොල සාරියක් ඇඳගත්තු උස හීන් සිරුරක් දිගැටි අතපය තියෙන තිස් වියේ කෙලවර වගේ ඉන්න ලස්සන ගෑනු කෙනෙක් රෙදි වනනවා . මම ඉක්මනට ඒ දිහාට කැමරාව මෑනුවා.හරියටම කිව්වොත් අන්කූර් ෆිල්ම් එකේ ඉන්න ශබානා ආස්මි නිලිය වගෙමයි . මම කැමරාව මානද්දී එයා දැක්කා. බය හිතිලා කැමරාව ඉක්මනට අහකට ගත්තේ එයා කලබලවෙලා බනීවි කියලා .ඒත් කිසි කලබලයක් නැතුව හරිම සංසුන් විදියට එයා මාව දැකලා හිනා වුණා . ඒක පුදුම සහගත බැල්මක් .මද හිනාවකුත් එක්ක හරි ලස්සනක් තිබුණා .මම ඒ දසුන කැමරාගත කලා .මට තියෙන්නෙ සාමාන්‍ය තාක්ෂණ පහසුකම් තියෙන කැමරාවක් .මේ මම ගත්තු හොඳම ඡායාරූපයක් නෙවේ .ඒත් ඒ ඡායාරූපය එක්ක මොකද්දෝ මිස්ටීරියස් විදියේ  මගේ බැඳිමක් තියෙනවා කියලා මම ඌෂටත් කිව්ව . අබූ ගමනේ මම සතුටුම වුනේ නිකිලා විලේ බෝට්ටු අවන්හලට වෙලා නිහඬව තේ බොමින් , අවට පරිසරය රසවිඳිමින් , කැමරාවත් අරන් තොටුපල දිහාට ඇවිද්ගෙන ගිය පැය කීපය . 


දවල් එකට විතර අපි ආයෙ උදයපූර් එන්න පිටත්වුනේ .එන අතරෙත් මම කල්පනාකලේ අර මිස්ටීරියස් ඡායාරූපය ගැන . ඒ හිනාව සහ සිරුරේ රිද්මය කැමරාවට හසු කරගනිද්දී මට දැනුන සතුට ."ෂී මේඩ් මයි ඩේ she made my day" කියලා මම ඌෂට කිව්වේ . ඇත්තටම සංචාරයකින් සතුටු වෙන්න වැදගත්වෙන්නේ බොහොම පුංචි සරල දේවල් කියලා එදා අබූ ගමනෙදි මට දැනුනා .


ප/ලි


මාස ගානකට පස්සේ අද ඌෂ ඔන් ලයින් ඉඳලා කතා කලා.අපි දෙන්නම අපේ රාජස්තාන් ගමන් ගැන මතක් කරලා හිනා වුනා .ඒ නිසා මවුන්ට් අබූ ගමන ගැන ලියන්න හිතුනා.













Monday, December 5, 2011

ජීවිතයේ ගෙවීගිය තවත් එක සොම්නස් සහගත කාලයක්-God...that was the best time in our life !!



දැනට වසර හතකට එහා කාලයයි .අපි ජීවිතයේ දෙවනි දශකය අග උපාධියක් පමණක් අතැතිව සරසවියෙන් පිටවූ අලුතය . අපේ උපාධියටම පමණක්  වෘතීය සුදුසුකම් ලබානොදෙන නිසා එය  වලිගය නැති ගොනෙකුට සමානකර තිබුණි . සිවු වසරක උපාධිය නිමාකර තවත් වසර එකහමාරක ආධුනික සමයක් ගෙවා දැමිය යුතුව තිබිණි .ඒ කාලය තුල ජේෂ්ඨයන්  හා වැඩ පුහුණු වීම් ,අදාල වෘතීය ආයතනයේ දේශනවලට යාම් , සහ විෂයන් හතකින් සමන්විත මාසයක් පුරා පවත්වන විබාගයක් සමත් වීමද අනිවාර්යෙන් කලයුතු අංග විය .මේ විබාගය අසමත් වුනොත් අර වෘතීය වලිගය එල්ලාගැනීමට නොලැබේ .එසේම උපාධියට අපර්ස් ගත් උදවියත් එය අසමත් වන අවස්ථා ඇතිනිසා පලමුවර ගොඩයාම ඇඟට ගුණ බව කාගේත් උපදෙස විය .

සරසවි කාලයේ යැපුණේ ගෙදරින් දෙන මුදලින් හා මහපොල ශිෂ්‍යත්වයෙනි. ආසා ඇඳුමක් , පොතක් ගන්න යන්න , මාසෙකට වරක් රස්තියාදුවක යන්න මහපොලෙන් වූ සේවය අපමණය .දැන් ඉතින් එයත් අහෝසිය .ඇත්තේ ගෙදරින් ලැබෙන දීමනාවයි .අර ලතින් බසින් කියවෙන උපාධිය ගත් පසු ගෙදරි සල්ලි ඉල්ලිමද මහා  මදි කමකි . ලජ්ජාවකි .ඊටත් වඩා එකල  ඔය අකුරු දෙක තුන ගැන මහා උද්ධච්ච ලෙස සිතූ නාහෙට නාහන කාලයකි .ජේෂ්ඨයන්   සමග ආධුනික පුහුණුව කරනමුත් එහිදී ගෙවීමක් නැත .නමුත් හිත හොඳ ජේෂ්ඨයන්   හෝ පුද්ගලික සමාගම් රුපිය තුන්දාහක් හෝ හාරදාහක් ගෙවීමට ඉඩ ඇත . මේ  ආධුනික කාලයේ සල්ලි බාගේ නැතිවුණත් වෘතීය ආචාරධර්ම කඩ නොකර පවත්වාගෙන යාම ඇවැසිය .ඒ වෙනුවෙන් සම්මත වර්ණයන්ගෙන් යුත් සාරි හැඳීම අනිවාර්යය . අර බරපතල විභාගයට අදාල කටයුතු නිසා ගම රට යාමක් නැත . ආයෙත් කොලඹ බෝඩිමකට කූඩු විය යුතුය .ලැබෙන රුපියල් තුන් හාරදාහෙන් කෙල්ලන්  වූ අපිට මාසෙට එක වෙන්න අලුත් සාරි ගන්නට නොහැක . කෑම බීම , බස් ගාස්තු , විබාගයට අදාල වියදම් , නවාතැන් ගාස්තු ,කොලඹ ජීවිතය තුල රුපියල් තුන්හාරදාහකින් කල හැකි දෙයක් නැතිය .කොටින්ම මේ ගන්දබ්බ කාලයකි .ගෙදරින් ඉල්ලිමට හිත් නොදෙයි .එකක් අර උද්ධච්ච කමය .අනික තව ඉගෙනගන්න වියදම් කලයුතු බාල සොහොයුරු සොහොයුරියන් අපි කාටත් අතැයි යනුවෙන් සිතන වගකීම් සහගත බවයි .

මෙවැනි වකවානුවල පිහිටට එන්නේ සාමූහික ජීවිතයයි .එහෙත් ඉතින් ගැලපෙන කචල් නැති සමූහයකට වැටුනොත් හොඳය  .නැත්නම් ඉතින් නිතර සිත් තැවුල් , නවාතැන් මාරු කිරීම් සිදුවෙයි .ඒ අනුව අපි සිවුදෙනෙක් සමූහික ජීවිතය ආරම්භ කලෙමු .අපි තිදෙනෙක්ම එකම බැච් එකේ අර වසර එකහමාරක ආධුනික කාලය නම් වූ දැඩි දඬුවමට සූදානම් වූ   බැචීලාය .අනිකා අපි සියලුදෙනාටම වඩා වසර තුනකින් පමණ බාල චාර්ටඩ් විබාගයට ලෑස්තිවෙන නංගී කෙනෙකි .අපේ නවාතැන අපේ එක බැචියක් වූ චමීගේ  දුරින් නෑවෙන නිවසක උඩු මහලයි . මේ තිප්පොල තිබුණේ බෙල්ලන්විල පන්සලත් , ජ'පුර සරසවියත් අතර එකසිය විස්ස පාර ආසන්නයේමය .කොලඹ සීමාවේ නවාතැන් මිල අධික වීමත් , කෙල්ලන්ට දැඩි නීති දාන සාම්ප්‍රදායික නවාතැන් අපිට රුස්සන්නේ නැති නිසාත් , ස්වාධීන ජීවිත ගෙවිය යුතු නිසාත් ඔය සේරටම වඩා සාමූහිකව උයා පිහාගෙන කෑමෙන් කොලඹ ජීවිතේ විය හියදම් අඩු කරගත හැකි නිසාත් , පරිසරය නිස්කලංක නිසාත් මේ නවාතැනට අපි සෙට්වූයෙමු . උඩුමහල අපිට පවරාදුන් නිවැසියන්ගෙන් එතරම් කරදර නොවීය . වෙලාවට ගෙවල් කුලී දුන්නහම ඇතිය .ලයිට් හා වතුර බිල් අපි ගෙවිය යුතු විය . මේ උඩුමහල අපිට ලැබුනේ රුපියල් පන්දාහකටය . අපිඅට ඇවැසි මූලික ගෘහ උපකරණ වූ ඇඳන් හතරක් ,පාඩම් කරන්නට  ලොකු මේස දෙකක් , පුටු කීපයක් , කෑම මේසයක් හා කොටස් හතරකට බෙදූ අල්මාරියක් එහි විය .රෝහල් වාට්ටුවක් විතර ලොකු වූ ප්‍රධාන සහ එකම කාමරයේ අපේ ඇඳන් හා අල්මාරිය වූ අතර ඉස්තෝප්පුවේ පාඩම් මේස විය .ඉස්තෝප්පුව බැල්කණියකට විවර වූ අතර එයට පහල මිදුලේ වූ විසාල අඹ ගසකින් සෙවන ලැබුණි . කුඩා කුස්සියත් ඉස්තෝප්පුවත් අතර අපේ නානකාමරය වි.ය පිටුපස බැල්කණියේ අපේ රෙදි සෝදා වේලීමට පහසුකම් තිබුණි  .බොහෝ නවාතැන් හා සසඳද්දී එය සෑහෙන්න පහසුකම ,ඉඩ කඩ  තිබූ තැනකි.මේ අපේ වාසභවනයි .

අපි හතරදෙනාම උයා පියාගෙන කන්න යන පලමු වතාව මෙය විය .අපි හතරදෙනාගේම දෙමවුපියන්ට නම් මෙය විහිලුවක් විය .එහෙත් අපි සීරියස් වීමු . අපි අතර ටිකක් ඩොමිනේට් චරිතය වූ ඉන්දු ගෘහපාලනය අතට ගත්තාය .උයන පියන සියල්ල ඇයට ඕනේ ලෙසින් තීරණය කරන්නට ඉඩදුන්නත් පහුවෙනකොට අපි අපට උවමනා ලෙස කටයුතු කෙරුවෙමු .

හිතුවා මෙන් නොව සාමූහික ජීවිතයේ බොහෝ වගකීම් ඇති වග අපිට වැටහුණේ පලමු මාසය ගතවෙද්දීය . සතියේ දවස් හතරෙහි උදේ , දවල් හා රෑ කැම පිලියෙල කිරීම හතර දෙනා බෙදාගත්තෙමු .උදේට හා දවල්ට එකටම උයාගත් අතර රෑට වෙනම කෑම ඉව්වෙමු . සතියටම ඇවැසි උයන , පිහන එලවලු , හාල් , පොල් ආදිය ගෙන ඒම එක් අයෙක් කලයුතුය .බඩු මුට්ටු ගෙනාවා පමණක් නොව ඒවා මිල හා ප්‍රමාන සහිතව අදාල දිනය සමග පොතක සටහන් කලයුතුය .ඒ වෙනුවෙන් කුඩා සටහන් පොතක් කුස්සියේ කෑම මේසය මත තබාතිබුණි .එය අපේ විගණන කටයුතු බාරව සිටි සරා නංගීගේ වැඩකි. අවසානයේ ලයිට් බිල් වතුර බිල් ආදියද එකතු කර එකිනෙකා විසින් ගෙවිය යුතු ගනන් අඩු නැතිව සතේටම නිවැරදිව කියන්න ඈට හැකිය .ඒ කුඩා පොත අද තිබුණානම් කොලඹ බඩු මිල වසර පහකදී ඉහලගිය අයුරු නිරීක්ෂණය කලහැකිව තිබිණ . සරා හැර තිදෙනාම තාවකාලික වර්ගයේ රැකියා සොයාගෙන තිබුණි . චමී අපේ සරසවියට අදාල අනුබද්ධ ආයතනයක ඉන්ටර්න්ශිප් එකක් කලාය . ඉන්දුටද එවැනිම බාහිර ආයතනයක ඉන්ටර්න්ශිප් එකක් ලැබුණි . මගේ තත්වය  ටිකක් වෙනස්විය .සරසවියෙන් පිටවෙද්දී වූ හදිසි අබග්ගයක් අවසානයේ  වාසනාව ගෙන ආවෙන් මට ප්‍රකට සමාජ විද්‍යා පර්යේෂණ ආයතනයක ජූනියර් රිසර්ච් ඔෆිසර පට්ටමක් නම් පත්වීම් ලිපියක්ද සහිත රුපියල් අටදාහක වැටුපක් ඇති , ඊ පී එෆ් , ඊ ටී එෆ් සහිත ඉස්තිර යයි කියන රැකියාවක් ලැබීතිබුණි .ඔය අටදාහ ලැබුණේ 2003 දීය . කැපෙන සියල්ල  අවසානයේ ඔවර් ටයිම් ද එක්වුනොත් රුපියල් හත්දාහක් පමණ ලැබුණි .ජීවිතේ වැටුපක් ගත් පලවෙනි වතාව එයයි .පඩි ගත් මුල් දවසේ ලෝකයම දිනූ වීරයෙක්සේ පේ ස්ලිප්- pay slip එකත් අරන් ගෙදර ආ හැටිත් නවාතැනේ හැමෝටම ප්‍රයිඩ් රයිස් ගෙනාහැටිත් මට අදවගේ මතකය . නමුත් මේ රැකියා අපේ වෘතීය පුහුණුවට සම්පූර්ණයෙන් ගැලපෙන ඒවා නොවේ .ඒ නිසා සති අන්තයේ කොහුවල සිටි ප්‍රකට ජේෂ්ඨයෙක් හා වැඩකිරීමට පොටක් පාදාගන්න මට සිදුවිය .රැකියාවේ වැඩ කටයුතු වලින් වෘතීය සුදුසුකම් පුහුණුව ,සම්පූර්ණ නොවේ . එහෙත් රුපියල් හත්දාහක් ලැබෙන රස්සාව අතහැරියොත් කොලඹ ජීවිතය අපහසුය .ඒ නිසා සති අන්තයේ දික්කසාද ලිපිගොනු කියවූයේ මේ කාලයේය .එමෙන්ම මා වැඩකල ආයතනයේ ලොක්කාගේ හිතහොඳ කම නිසා සතියේ එක් දවසක් පැවැත්වෙන ,විබාගයට පෙනීසිටීමට අදාල වෙන දේශන වලටද ගියෙමි .අනිවාර්යෙන් සාරි ඇඳිය යුතු එකී දේශන වාර වලට මම සහබාගි වුයේ කැෂුවල් ඇඳුමින් කොලෙජ් එකේ පස්සාදොරිනි .එවිට අපේ කෝස් කෝඩිනේටර් වූ කන්දයියා මහතාගේ ඇසට වැලිගැසීමට ලේසිය .නීතිය වූයේ සියලු ආධුනිකයන් නිවැරදි ඩ්‍රෙස් කෝඩ් එකෙන්  දේශන වලට පැමිණීම වුවත් රිසර්ච් රස්සාව නිසා මට සාරි අඳීන වෙලා නැත .ඒ හැම රුපියලක්ම දෙවරක් හිතා වියදම් කල කාලයයි . පිටකොටුවේ සිට වේල්ල වීදිය දිගේ පයින් ඇවිදගෙන ගිණි ගහන අව්වේ යන්නත් , වැඩ ඇරී මගේ කාර්යාලය නුදුරෙන් වූ නුගේගොඩ පොලට පයින්ම  ගොස් සතියක එලවලු අරන් ආයිත් කොහුවල හන්දියට අවුත් 135 බසයෙන් නවාතැනට යන්නත් පැකිලුණේ නැත .එසේම හම්බකරගත් එවායින් ඕ ටී එකට අදාල රුපියල් දාහක පමන මුදල කලුබෝවිල වූ ඉතිරිකිරීමේ බැංකුවේ ඉතුරු මිතුරු ගිණුමක දැම්මා මතකය .ඒ අදාල වෘතීය විභාගයට කලයුතු විවිධ මුදල් ගෙවීම් සපුරාගැනීමේ අටියෙනි .

ඩොමිනේටින්ග් කැරැක්ටර් එක වූ ඉන්දු සමග මමත් චමීත් ජීවත්වූයේ බොහෝ පරිස්සමිනි .එහෙත් කටට බ්‍රේක් නැති සරා නංගී නම් ඇයට එතරම් බය වුණේ නැත .ඉන්දු උදෙන්ම වැඩට පිටත්ව යන්නේ ඇගේ කාර්යාලය නවාතැනට තරමක් දුරින් පිහිටි නිසාය. ඊලඟට පිටත්ව යන්නේ චමීය .මම වැඩට යන්නේ අන්තිමටය .මගේ කාර්යාලය නවාතැනට ආසන්නය .සරාට හැමදාම පන්ති නැත .ඇයට උයන්න පියන්න නැත්නම් පරක්කුවෙනතුරු නිදාගන්න හැකිය .කොහොමනමුත් උදෑසන අපේ නිවහනේ තරමක කලබලයකි .කෑම උයන පිහන ඩියුටියට උදෙන්ම නැගිටින කෙනෙක් හතරදෙනාටම තේ හදයි .එකිනෙකා බොන කිරි වර්ග වෙනස්ය .නමුත් හතරදෙනාගේම මග් වලට නියම රස පදමට කිරි හදන්න අපි ඉගෙනගත්තෙමු . එවිට අනික්වුන් ඇස් පිහමින් නැගිටලා එයි . විබාගයට ආසන්න කාලයේ පාඩම් කිරීමට අනික් අය නැගිට්ටවීමද උදේ උයන කෙනාගේ රාජකාරියකි .  කලින්ම වැඩට යන අය මුලින්ම බාත් රූම් යයි .ඉන්දු හා චමීට අනිවාර්යෙන් සාරි හැඳ වැඩට යායුතුය .ඉතින් 
 මේ දෙන්නා කණ්නාඩිය බදු ගනී.මා නිදන ඇඳ තිබුණේ මේ කණ්නාඩිය ආසන්නයේය .ඒ නිසා සියලුදෙනාගේම රූප ලාවණ්‍ය කටයුතු , අලුත් සාරි හැඳ හැඩ බැලීම් වලදී  මේ ඇඳ බදුගැනීම සිරිතක් විය .මුහුණේ කුරුලෑවක් ආවත් දිනගනනක් විස්සෝප වන සරා නංගී වැඩි දාට මේ කණ්නාඩියේ හිමිකාරිය වූවාය .අපි සියලුදෙනාගේම ක්‍රීම් , ෆර්පියුම් ,ලිප්ස්ටික් සහ සෙසු රූපලාවන්ය උපකරන ඇත්තේ  කණ්නාඩිය මතයි . එයින් වැඩිහරියකට හිමිකම් කිව්වේ සරා සහ චමීය .මට වැඩිපුර තුබුනේ ෆර්පියුම් වර්ගය . ඉන්දු  ෆර්පියුම් පාවිච්චියක් නැත . අපි තුන්දෙනාගේ ෆර්පියුම් පොදු දේපල වගේය . සියලුදෙනාගේම සුවඳ විලවුන් බෝතල් වලින් විලවුන් නාගෙන යන සිරිතක් එකල මට තිබුණි . .ඔය අතර අන්තිමට වැඩටයන මට තව රාජකාරියක් ඇත .ඒ දොරටුපාල වැඩේය . පඩිපෙලෙන් බැල්කණියට ඇතුල්වෙන යකඩ ගේට්ටුවේ හා ප්‍රධාන දොරේ යතුරු මා සතුවිය . උදෙන්ම අනික් අයට පිටත්ව යන්න දොරවල් හැරීමත් ,සියල්ල හොඳින් වසා යතුර පහල මල් පෝච්චියක් තුල සුරැකිව තබා යාමත් , අන් සියලුදෙනා පැමිණි පසු රෑට සියලු දොර ජනෙල් වසා තරකොට යතුරු පොත්මේසයේ මගේ පෙන් හෝල්ඩරයට දැමීමත් මීට අදාල කටයුතු විය .ඒ හැරුනවිට විදුලි බල්බ මාරු කිරීම , කුස්සියේ හිටිගමන් බ්ලොක් වෙන සින්ක් එකේ ඩ්‍රැනේජ් සිස්ටම් එක යථාතත්වයට පත්කිරීම වැනි මකබාස් වැඩ කිරීම මට හා සරා නංගීට ඉබේම මෙන් පැවරී තිබුණි .

 සියල්ලන්ම නැවත් එක්වන්නේ හවස්වරුවටය .එවිට එක අයෙක් හැමෝටම තේ හදයි .හැමෝගෙම බිස්කට් එක ප්ලාස්ටික් ටින් එකක අසුරා තිබුණි .කැමති කෙනෙක්ට කැමති වර්ගයකින් කෑහැකිය .තේමේසය අපේ දවසේ වැඩකටයුතු සමාලෝචනය කරන වෙලාවයි .කාටත් තමන් ප්‍රියකරන සීක්‍රට් ක්‍රෂ් වූ කොල්ලන්ගේ සිට අලුත්ම වර්ගයේ මෝටර් රථ,මොබයිල් ෆෝන්  දක්වා කියවන්න දෑ බොහෝය . ඒ සෙෆීරෝ -Cefiro කාර් වලට මමත් චමීත් වහ වැටී සිටි කාලයයි .හේතුව අපේ සීනියර්ලා කීපදෙනෙක්ම සෙෆිරෝ කාර් මිලට ගත් නිසාය .මොබයිල් ෆෝන් නඩත්තුවට අපි අතවූ මුදල් මදිය .එහෙත් ඔය කාලයේ තුබූ අදනම් ඉතාම ප්‍රිමිටිව් වර්ගයේ Nokia  1100 ,1110  phone  එකක සතුකරගැනීම එකම සිහිනය විය ඉන්දු නම් බොහෝවිට කතාකලේ පලක් ඇති දෙයකි .විබාගයට උවමනා සටහන් සොයාගන්න අයුරු , ඊට අදාල වැදගත් දින වකවානු , පාඩම් කලයුතු පිලිවෙල ආදිය ඇය නිතර මතක්කලාය අපි මෙය නම් කලේ "ඉන්දුගේ උපදෙස් පන්තිය " ලෙසයි .බොහෝවිට හවස තේ මේසය සූදානම් කරන්නේද චමීය . තේ සූදානම් වූ පසු ඇය අප අමතන්නේ ' සෙක්සිලා තේ බොන්න එන්න' යනුවෙනි . ඇය අපි සියලුදෙනාටම පොදුවේ ඇමතුවේ "සෙක්සි- sexy  " යන පදයෙනි . චමීට අනුව ඕනෑම හොඳ දෙයක් , ලස්සන යමක් , රස කෑමක් 'සෙක්සිය ".මේ අපේ නවාතැනේ නිතර දෙවේලේ අහුණ ඉතාම සාමාන්‍ය  වචනයකි . චමීගෙන එය මටත් සරාටත් හුරුවිය. සමහර දිනවලට ඔය තේ මේසය ටිකක් වෙනස්වෙයි . පාන්පිටි , බිත්තර වැනි කලමණා ඇත්නම් චමී ඇගේ ප්‍රියතම කෑමක වන  පෑන්කේක් සාදන්නීය .කොහොම කලත් ඉන්දුනම් එහි අඩුවක්ම දකී .මටත් සරාටත් රසේ වගක් නැත .ඕනමදෙයක් බඩට දාගන්න අපි එවරෙඩිය .ඒනිසා පදම වැරදී රෙසිපිය අල වුවත් අපිට කමක් නැත .සරා අපි හැමෝගෙම උපන්දින කුස්සියේ ඇති බිත්ති  කැලැන්ඩරයේ ලකුණු කර තිබුණි .පෙබරවාරි , මාර්තු , මැයි හා දෙසැම්බර් වල අපේ උපන්දින යෙදී තිබුණි . උපන්දින සමරන උදවියට  ෆැබ් එකෙන් කේක් ගෙන ඒම සරාගේ අනිවාර්ය නියෝගය විය .ටී වී බැලීමක් නොවුන අතර සියලුදෙනාම නිවසට එන හවස් යාමයේ සිට අපි රෑ නින්දට යන තෙක් ඉසිර ගුවන්විදුලියේ සින්දු ඇසුවෙමු .ඊට කුඩා  රේඩියෝවක් අප සතු විය .ඔය අතර සති මැද නිවාඩුවක් තිබ්බොත් උදෙන්ම නැගිටින ඉන්දු මුලු ගෙයම අස්කරන්න පටන්ගනී .අපේ කොට්ට මෙට්ට අපිටත් නොකියාම බැල්කණියට විසිවෙලාය .ඒ වේලා ගෙටගන්නය . ඇඳ ඇතිරිලි රින්සෝවල පොඟවලාය .සමාවක් නැත .ඒවා තනි තනිව හෝදාගත යුතුය .පොත්මේසය වනසා තිබෙනවාට ඇය කැමති නැත .ඉතින් හැමෝගේම සටහන් ගොනුකරන්නේද ඇයයි .අපිට නම් මේවා මල වදය . ඒත් ඉතින් පොදු යහපතට-in the public interest   උහුලා සිටිමු .


රැකියා කලත් සුලු වැටුපක් නිසා අපි හැමෝම මාසේ අන්තිමට යන්නේ රිම් එකෙනි .තත්වය උග්‍ර වන්නේ හිටිගමන් අපි රැකියා කරන තැන් , හඳුනන සීනියර්ස්ලාගෙන ලැබෙන විවිධ ආරාධනා නිසාය .මේවා මගහැරීමට නොහැක්කේ වෘතීය ජීවිතය අරඹන්න ඇවැසි සමහර නෙට්වර්කින්ග් අවස්ථා මෙයින් ලැබෙන නිසාය .ඉතින් ඒවාට සූදානන් වීම යනු සෑහෙන්න ලොස් වීමකි .අලුත් සාරියක් ගන්නටම සිදුවේ . 

මේ සියල්ල මැද ප්‍රධාන කාරණාව  හෙවත් විබාගය අමතක කල නොහැක .අපි තිදෙනාම රැකියා සහ වෘතීය පුහුණු ලබන අතරම පාඩම් කලයුතු විය  .අපේ බොහෝ බැචීලා අප මෙන් නොව සතියට දින පහම වෘතීය පුහුණුවට සහභාගිවූ නිතර දෙවේලේ සාරි පටලවාගෙන සිනියර්ස්ලාගේ පොත් අතින් ගෙන අලුත්කඩේ කැරකුන  අයයි.ඔවුන්ට විබාගයට හොඳ සප් එකක් සිනියර්ස්ලාගෙන් ලැබුණ අතර සමහර දෙපාර්තමේන්තු වල සේවයට  යාමට ඇවැසි සහයද කල්තියාම ලැබුණි.නොකඩවා යමක් පාඩම් කලේ ඉන්දු පමණකි .චමී සහ මම උදේට හිතුනොත් පාඩම් කරන චරිත විය .විබාගය අත ලඟටම ආකල මම මගේ රැකියාව කරන ආයතනයෙන් මාස දෙකක නෝ පේ නිවාඩු ඉල්ලාගත්තෙමි . විෂයන් හතකට ඇවසි කාරනා පාඩම් කලේ ඔය කාලයේය .විබාගය පැවතියේ දෙවන මාසය මැදය .එය සති හතරක් නොකඩවා තිබුණි .එකල ඉවුම් පිහුම් සියල්ල සරා තනිව කරන්න බාරගත්තාය .අපිට තේ පවා හදා දුන්නේ ඇයයි .සමහරවිට අපේ රෙදිත් හේදුවා මතකය .එපමණක් නොව විබාගයට පෙර දිනවල සමහර පනත් , වගන්ති ගැන අපේ මතකය පිලිබඳ දැනුම මැනීමද ඇය විසින් සිදුකලාය . අපි තිදෙනාම උදේ , දවල් , රෑ නිදිවරන් පාඩම් කලෙමු .මේ සේරම සෙල්ලම් දාන්නේ අර වෘතීය සුදුසුකම් වලිගය එල්ලා ගන්නය .


අන්තිමේ සියල්ල යහපත් ලෙස නිමාවිය .අපි තිදෙනාම විබාගය සමත්වී තිබිණි .රිසල්ට්ස් බැලූ දා හිතට නැගුන සතුට මෙතෙකැයි නිමක් නැත .එතැනම වූ කාසිපෙට්ටි දුරකතනයකින් මම ගෙදරට කතා කර ඒපුවත තාත්තාට දැන්වූයේ මහත් උද්දාමයෙනි .ඉන් දෙදවසකට පසු අපි තුන්දෙනාම කලු නිල කබා මස්සන්නට ගිය අයුරුත් මතකය . හොඳම රෙදි වර්ගයකින් තෝරා , ඉස්තරම් විදියට නිමා කිරිමේ පලපුරුද්දක් ඇති අලුත් කඩේ ටේලර් ජොයින්ට් එකකට අපේ ඕඩරය කලින්ම දුන්නේ දිවුරුම් දෙන කාල වකවානුවේ වැඩි කරදරයක් නොවෙන්නය .අපි තිදෙනාම කලින් කතාවී එකම සෙෂන් එකක දිවුරුම් දීමට හැකි වන ලෙස  අදාල ලියකියවිලි බාරදුනිමු .චමී අපේ දිවුරුම් දුන් දිනයේ අමතක නොවෙන යමක් ඉතිහාසයට එක් කලා විය යුතුය .ඒ තමන්ගේ වෘතීය ජීවිතය අරඹන පොරොන්දුව දෙන්නටත් පමාවී පැමිණීමෙනි .එවිට අපි සියලුදෙනාම දිවුරුම් දී හමාරය . වසර දෙකකට මදක් වැඩිවූ සන්තුෂ්ටි දායක කාලසීමාවක් ගෙවී ගියේ එසේය . ඒ ජීවිතේ මහා බරක් පතලක් නොගත් ,එදිනෙදා ජීවත්වෙන හැටි හිතූ ,අතේ සතේ නැතත් හිතේ  සතුටින් හිටි කාලයකි.අප සිවුදෙනාගෙන් පලමුව වෙන්ව ගියේ මමය .ඒ කලුකබා රස්සාවට වඩා හාත්පසින් වෙනස් රස්සාවක් කරන්න උවමනා වූ නිසාය . ඒ වනවිට මම රජයේ කොමිසමක කලු කබා රස්සාව කරමින් සිටි කාලයයි . මගේ පත්වීම ඉස්ථිර කිරීමට ඔන්න මෙන්න තිබියදී මම ඉන් ඉවත්වීමි .මා නික්ම යනවාත් සමගම චමී එම ආයතනයේ සේවයට එක්වූවාය .ඉන්දු ඉන්ටර්න්ශිප් එකෙන් මුදවා ඔෆිසර තනතුරකට උසස්වී සිටියාය .සරා චාර්ටඩ් තුන්වන පියවරට සූදානම් වුවාය .ඉන්පසු කාලවලදී අප එතරම් මුන නොගැහුන මුත් උපන්දිනවලට සුබපැතුම් එවීම නම් නොකඩවා විය .අවසන් වරට අපි තිදෙනෙක් චමීගේ වෙඩින් එකේදී මුණගැසුනේ 2008දීය.පසුව අපි හමුවුනේ මූණු පොතෙනි .තාමත් චමී හිටිගමන් මා අමතන්නේ සෙක්සි ලෙසිනි . අපි අතර ඉඳහිට හුවමාරු වන ඊමේල් වල පවා එදවස්වල තේ බොමින් නන් දෙඩවූ අයුරු සිහිකර සිනාසෙමු .ඒ හැම ඊමේල් පණිවුයක් අගම හැමදාම කියවෙන දෙයක් ඇත - God.... That was the best time in our life -දෙවියනි ඒ අපේ ජීවිතයේ ගෙවීගිය හොඳම කාලයයි !

ප/ලි


ඒ ජිවිතේ ස්වාධීන වෙන්නට එකතරා අයුරකින් වෙර දැරූ කාලයකි .එහි සිහිවටන දෙකක් තාමත් මා සතුය . ඒකක් සරසවියේ අවසන් වසරේ වූ අබග්ගයක් නිසා අහම්බෙන් ගිය රස්සාවෙන් ලද පලමු වැටුප සටහන්වූ පේ ස්ලිප් එකය .අනික මගේ වෘතීය පුහුණුව ලබන්න යන මුලම දවසේ ඇඳි ලා ක්‍රීම්  පාට පසුබිමේ ලා කොල පැහැ සිහින් මල් මෝස්තරයක් වැටුන  කොට්න් සාරියයි . 





Saturday, November 19, 2011

මට මහන්සියි


එලාමය මරහඬ තලන  හඬලන ජංගමයා ඇඳ පුරා අතපතගා සොයාගත්තෙමි .උදේ පහයි.අද සඳුදා .එතකොට මේ ඉන්නේ රාජකාරි නිවහනේ කොලඹ .දැන් මේක මගේ ගෙදර වගේ .පොරවන් නිදාගන්න තියේනම් හොඳයි .එතකොට මතක්වුණේ  හරියට හයට ඔෆිස් එකේ ඉන්න ඕනෙ.හබරණ යන නඩේට එක්කහුවෙන්න . මොන කෙහෙම්මලකට මේ මීටිම හබරණ දැම්මද ? හබරණට මම කැමති කාලෙකුත් තිබුණා .අර ගහක් යට නිදාගත්තු දවස්වල .දනි පනි ගාල නැගිටලා මූණ හෝදලා ඇඳුම් ඇඳගත්තා . ඊලඟට මොනවද ගෙනියන ඇඳුම් .ඒව ට්‍රැවල් බෑග් එකට ඔබා ගන්න ඕනේ . අයන් කරන්න ? පිස්සුද ? රෙදිටික හෝදගත්තේත් බොහොම අමාරුවෙන් .මේ ට්‍රැවල් බෑග් එකේ මුලු ජීවිතේම පැක්වෙලා වගේ .සිකුරාදට අන්ලෝඩ් කරලා වෙලා තිබ්බොත් රෙදි හෝදනවා. ආයෙත් තව අලුතෙන් ලොට් එකක් පටවගන්නවා ඉරිදට හරි සඳුදට හරි යනවා . හරි ඔන්න උවමනා අඩුමකුඩුම ටික ගත්තා .තව ටිකක් නිල නිවාසේ අල්මාරියට දැම්මා.ඒව ආයේ කොලඹ ආවම අඳින්න .මතක ඇතුව කැමරාවයි ඒකෙ අනික් ආම්පන්නයි ගත්තා .මල්ල පිටට එල්ලගත්තා .ලැප්ටොප් එක, එක උරිසකට . කාර්යාල බෑගය අනික් උරිසට . ඇවිදගෙන ඔෆිස් එකට . නිල නිවාසේ යතුර බාරදුන්න සිකුරටිට . එකා දෙන්න මලු උස්සන්  ඔෆිස් එකට එනවා බාගෙට නිදිමතේ .අපේ නඩේ බෑගමලු , මීටිමට ඕනෙ අනික අඩුම කුඩුම ඔක්කොම වෑන් එකට ඇහිරිලා අපි දහදෙනෙක් පැක්වුණාම කොහොමද සනීපෙ? වෑන් එක ඇදිල යනවා නුවර පාර දිගේ .

මගේ ලොක්ක ඉස්සරහ සීට් එකේ .
"ටී ජී ගිය සතියේ අර රිපෝට් එකේ ප්‍රශ්ණ වගයක් අහල තිබුණා එක්ස්පෙන්ඩිචර් ගැන .උත්තර ඇරියද ?" එයා අහනවා .
මොන මගුලක්ද ? ගිය සිකුරාදා රෑ ආව මේල් එකක් ."ඒකට උත්තරහදිස්සි නෑ" . මම මුමුණනවා.
ඒ මදිවට මගේ එහාපැත්තේ ඉන්න අනික් ලොක්කි අහනවා "ටී ජී ඔයා අර කන්සෙප්ට් නෝට් එක ලියන්න පටන්ගත්තද ?"
මේක තමයි ලොක්කො එක්ක එකට ගමන් යන්න මම අකමැතිම වැඩේ . මුන්දැල එක්ක වාහනේකවත් නිදහසේ යන්න නෑ.කෙහෙම්මල් රාජකාරි ප්‍රස්න අහනවා ඒවට උත්තරදීල ඉවරක් නෑ .නිදාගන්න බැලුවා .ඒත් ඉතින් මට කවදාවත් වාහන වල නිදාගන්න බෑ. නිකන් ඇස් පියාගෙන ඉඳල ඇසුත් රිදෙනවා . ඒ වැඩෙත් අතඇරලා දැම්ම .කවුලුවෙන් ඉර එලිය වැටිලා මූණ පිච්චෙනවා . පිටිපස්සේ ප්‍රෝග්‍රෑම් සපොර්ට් කට්ටිය නම් හොඳට ලී ඉර ඉර නිදි . ලොක්කො තුන්දෙනෙක් ලැප්ටොප් දිගඇරන් ප්‍රසන්ටේශන් ගැන කතාව . ඔෆිස් එකෙන් දැන් කාර් චාජර් දීල .මල වාතයක් . නොකිය කියන්නේ අපිට විසිහතර පැයම වැඩ කරන්නද ? යන්තන් ඔෆිස් එන අතරේ නෙස්කැෆේ එකක් බිව්ව .වෙලාව නවයට කිට්ටුයි . අඹේපුස්සෙ නැවැත්තුවොත් හොඳයි උදේ කෑමට .

මේ මීටිම අවුරුද්දකට පස්සේ තියන්නේ .පේන විදියට සෑහෙන්න බොන්න ඕනෙ ප්‍රශ්න ගොඩක් කතාකරන්නයි යන්නේ .ලඟදි වෙන මැනේජ්මන්ට් චේන්ජ් .ස්ටාෆ් එකත් මැනේජ්මන්ට් එකට අවුලක් අදින්න ඉන්නේ .දෙගොල්ලම නොදන්න තාලෙට ඩිප්ලොමැටික් විදියට ඉන්නවා .හොඳ හොඳ සෙල්ලං එලිවෙන ජාමෙට .

දොලහමාරට විතර හබරණ ආවෙ .සුපුරුදු නවාතැන . හරි ලස්සනයි .දවල් කෑමෙන් පස්සේ හරියට දෙකට මීටිම පටන්ගන්න . රූම් එකට ගිහින් නාගත්තට පස්සේ ආයෙ කෑම ඕනත් නෑ . පැය දෙකතුනක් දපන්න ඇත්නම් හොඳයි .ඒත් ඒව කොහෙද . මීටිම පටන්ගත්තා .ලොක්ක වහෙන් ඔරෝ කතාවෙන් ඔන්න එනවා මැනේජ්මන්ට් චේන්ජ් එකට .
"මේගොල්ලො මේව තීරණේ කරල නොදන්න බබාල වගේ අපිට කියනවා . ඉස්සර මේ තීරණ මෙහෙම ගත්තෙ නෑ" .අපි සෙට් එකක් කෙලවර ඉඳන් කුටු කුටු ගානවා .
ලොක්ක එපාර කතාව ටිකක් වෙනස් කරලා. "අපි අද වර්කින්ග් කමිටියක් දාල ඩිනර් එකේදිත් මේගැන කතාකරමු" එයා කියනවා  .

මේ කතන්දර ඉවර වෙනකොට රෑ හයහමාරයි . ආයෙ ඩිනර්  ඩිස්කෂන් . මේකනම් පූරුවෙ පවක් .මෙහෙම තැනකට ඇවිත් වත් නිදහසේ කෑම ටිකක් කන්න නෑ .වර්කිං කොමිටියට නොයන්න මම හිතාගත්තා .හැබැයි යන දෙන්නෙක්ව අල්ලං කියන්න ඕනෙ ඒව ටික මතක් කලා . ටිකක් ඇවිදින්න යන්න හිතුවා .වැඩි දෙනෙක් වර්කිං කොමිටියෙන් පස්සේ සෙට් වෙන්න වගේ .රූම් එකට ගිහින්  ලැප්ටොප් එකයි ,කාර්යාල බෑග් ඇඳ උඩට විසිකරලා කැමරාව අතට ගත්තා .රබර් සෙරෙප්පු දෙකත් දාගත්තා .එලියට බැහැලා අඩි පාර දිගේ ඇවිදන් ගියා ඈතින්පේන වැව දිහාට .එතන ඉඳගන්න බංකු ,සමර් හට් එහෙම තියෙනවා .මගේ කල්පනාව පුලුවන් තරම් මෙතැනට වෙලා ඉඳලා පරක්කුවෙලා රෑ කෑමට යන්න . නැත්නම් වෙන්නෙ එක එක ඕප දූප කතා කරන්නයි , එක එක්කෙනාගෙ ඔෆිස් පොලිටික්ස් වලට අහුවෙන්නයි ,පලක් නැති වාද වලට පැටලෙන්නයි . මෙහෙම වෙලාවට තියෙන එකම සහනය ඇති තරම් කැමරාවෙන් පින්තූර ගන්න එක .මෙතැනට ඉර බැහැගෙන යන හැටි හරිම ලස්සනයි .අහසේ විසිරුණ  වර්ණවත් ගතියට මම ආසයි . බැහැගෙන යන ඉරේ අන්තිම රැස් කැරැල්ලත් කැමරාවට අහු කරගෙන ආයෙත් කාමරේට ආව .මගේ රූමි වර්කිං කොමිටි මීටිමේ. නාලා දෙපැයක් නිදාගන්න හිතුවා .රෑ දහය වෙනකන් ඩිනර් තියෙනවා .නවයහමාරට විතර ගිහින් තනියෙන් කෑම ටිකක් කන්නයි කල්පනාව .නිදගන්න ගියාට ආයෙ උඩ විසි වෙලා ඇහැරුණා . මගේඅ රූමි කතා කරනවා .
"ටී ජී එන්න ඩිනර් වලට දැන් අටහමාරයි" . මෙහෙමත් වදයක් .ටීම් එකක් එක්ක ගියහම ඔහොම තමා .නිදහසක් නෑ .
"මම පොඩි වැඩක් .හදිසි ඊමේල් වගයක් යවන්න වෙලා . ටිකක් පරක්කු වෙනවා" . බොරුවක් කිව්ව බේරෙන්න .

"මැඩම් අතන මේසෙ තමයි  මැඩම්ලගෙ ටීම් එකට වෙන කරල තියෙන්නෙ .තාමත් මැඩම්ලගේ ටීම් එකේ අය එතැන කෑම කනවා . එතැනට යන්න "හෝටල් සේවකයා මට කියනවා .
"නෑ එයාල වෙන කතාවක් .
 මට ඒක අදාල නෑ. මම කැමති මෙතැන ඉඳන් කෑම කන්න .ටේබල් එකක්  lay කරන්න ප්ලීස් ? "මාත් අතාරින්නේ නෑ

කොහොමහරි තනියෙන් ඉඳන් කෑම කන්න ස්විමින්ග් පූල් එකට මූණ දාපු මේසයක් ලැබුනා.
"මැඩම් මොනවත් බොනව්ද ?" ආයෙත් හෝටල් සේවකයා බාර් එක දිහා බලන් අහනවා .
"ඔවු ගේන්න බ්ලැක් ටී පොට් එකකක් ලෙමන් ස්ලයිසස් එක්ක" .
"තව මොනවත් ඕනෙද මැඩම් "?. "ඔවු තියේ නම් ඔයාල බ්‍රෙක්ෆස්ට් එකට තියන හකුරු කෑලි ටිකකුත් ගේන්න . "මම වැරදි උත්තරයක් දුන්නද මන්දා .මිනිහා තක්බීර් වෙලා ඉඳලා ගියා තේ ගේන්න

කෑවට වැඩිය තේ බිව්ව මගෙ හිතේ . තාම වර්කිං කොමිටිය යනවා .කට්ටියගේ සද්දේ ඇහෙනවා .වරින් වර උස් හිනා හඬවල් .ඒ කියන්නේ වැඩේ සාමාකාමී වෙලා වෙන්න ඇති . නිදහසේ කෑවා . ටීම් එකක් එක්ක වැඩට ගියහම වැඩ ඉවරවෙලා තනියම්ම ඉන්න මම තරම් කැමතියි උදවිය වෙන මේ ලෝකෙ නැතුව ඇති . මගේ රූමි තව පරක්කුයි කියල එස් එම් එස් එකක් ආවා . නිවුස් බලලා නිදාගන්නහිතලා කාමරේට යන්න නැගිට්ටා .

"තව තේ බොනවද මැඩම් /". අර සේවකයා ආයිත් ."නෑ අදට බිව්වා ඇති "කියාගෙන මම ස්විමිං පූල් සයිඩ් එක දිගේ කාමරේට ඇදුනා .

ස් ස් ස් ටී ජී ...කාගෙදෝ පුරුදු හඬක් .බැලිනම් සිවා පූල් සයිඩ් එකේ මේසෙක වාඩිවෙලා .

එන්න වාඩිවෙන්න එයා මට පුටුවක් පෙන්නලා අතින් සන් කලා .

"ඇයි මෙතැන ? කෑවද ? නිදාගන්නෙ නැද්ද ? දැන් දහයයි වෙලාව ".මගෙන් ප්‍රශ්න වැලක් .

"නෑ තව පරක්කුවෙලා යනවා .සුදා මගේ රූම් මේට් .එයා වර්කිං කොමිටියට ගිහින්" .

සිවාට මෑතකදි ප්‍රමෝශන් ලැබුණා. සුදා ඒකට අකමැතියි .දැන් එයා රිපෝට් කරන්නෙ සිවාට.මේ දෙන්න අතර  සීතල යුද්ධයක් ය අවුලුවලා ඔෆිස් එකෙ අනික් ලොක්කො ටික. සිවා මට ඒ වග විස්තර කියනවා .සිවා  කතාකරන්නෙ බොහොම හෙමින් , ඉන්ග්‍රිසියෙන් වචන තෝරගෙන.බොහොම පරිස්සමින් සංයමයෙන් . ඉස්සර ඉඳන් මම සිවාට කැමතියි . ඔහොම ටීම් එකතුවුණහම අනික් වුන් ස්ටාෆ් හවුස් එක දෙවනත් වෙන්න බීලා පාර්ටි දානවා . එයා බොන්නේ නෑ . ෆුල් වෙජිටේරියන් . බොහොම සුහද ගතිගුණ තියෙන යාලුවෙක් . අනික් වුන් නිතරම පාර්ටි දාලා සිවාට බලෙන් පොවන්න හදලා බුලී කරනවා .සිවා නොබොන නිසා පාර්ටි ඉවර කරලා හිස් බෝතලුයි , මස්කටුයි සිවාගෙ කාමරේ දොර එලිපත්තෙ තියනවා. වර්කිං කොමිටියෙ එකාදෙන්න විසිරිලා යනවා .එයාල අපි ගාවත් නතරවෙලා ටිකක් පුදුම වෙලා බලලා" ඔහ් යූ ගයිස් හියර්" කියල ගූඩ් නයිට් කියලා යනවා.අපිත් වෙනසක් නැතුව "ගූඩ් නයිට් "කියනවා .තවටිකක් කතා කරකර ඉඳලා අපි දෙන්නත් යන්න නැගිට්ටා ."අතාරින්න එපා . මුල් හරිය ටිකක් කරදරවේවි මැනේජ්මන්ට් වලදි .ඒත් ඔයා ඉක්මනට හුරු වේවි ඒකට" .මම සිවාට කිව්ව .තෑන්ක්ස් ටී ජී .එයා අතට අත දුන්න .

කාමරේට ගියා තාම නිදි මත නෑ. එපාර ආයෙත් ඊමේල් දෙකතුනක් ලිව්වා . මීටිමක රිපෝර්ට් එකකුත් ලියලා ඉවරකරලා මේල් කලා . මගේ රූමිත් වැඩ .ලොක්කට හෙට කරන්න තියෙන ප්‍රසන්ටේශන් එකකට ගැජමැටික්ස් දාලා ලස්සන කරන්න එයාට පැවරිලා .ආයෙත් කාමරේ තිබුණ හීටරේ ගහල වතුර උණු කරලා බ්ලැක් තේ හදන් බීලා නිදියනකොට එලිවෙන පාන්දර දෙකයි .

පහුවෙනිදා මුලු දවසෙමත් ,ඊට පහුවෙනිදා දවස් බාගෙතුත් මීටිම . දැන් කට්ටිය ඒතරම් මැනේජ්මන්ට් එක චැලෙන්ජ් කරන්නෙ නෑ . දවල්ට ,රෑට කෑම කද්දි එක එකා ස්මෝල් ගෲප් හැටියට ගිහින් ලොක්ක එක්ක ඉඳගෙන කතාව . වර්කිං කොමිටියෙ ගත්තු තීරණ ආයෙ රිවිව් කරලා තම තමන්ට උවමනා විදියට හදාගන්න හැමෝම දඟලනවා .ඔන්න ඔහේ ඕනෙ දෙයක් කියලා මම ඉතුරු දවස් වලත් හවසට කැමරාව අරන් ඇවිද්දා . රෑට අනික් හැමෝම ගියාට පස්සේ අන්තිමටම ගිහින්  නිදහසේ කෑම කෑවා. ටිකක් ඔෆිස් වැඩ කරලා පරක්කුවෙලා නිදාගත්තා .

දවස් දෙකහමාරක මීටිම ඉවරවුනේ "එම්බ්‍රේස් ද අන්සර්ටිනිටි" කියල ලොක්ක දුන්න පණිවිඩේකින් .ඕක කියන්න මීටින් තියන්න ඕනෙ නෑ .දැන් අවුරුදු හයක් තිස්සේ ඔය කතා අහලම පුරුදුයිනේ . කොලඹ පිටත්වෙනකොට හවස දෙකයි. දැන් නම් ඔක්කොම ලොක්කො වාහනේ නිදි ගොරව ගොරව .ඇති යන්තන් .කොලඹ එනකොට රෑ අටයි .හරි තෙහෙට්ටුයි .කාර්යාල නිවහනේ අනික් සගයට ඕනෙ මාව ඩිනර් එක්කන් යන්න .බෑ කියන්න විදියක් නෑ .එදාට එයාගෙ රස්සවෙ එකොලොස්වෙනි අවුරුද්ද සමරනවා . අවුරුදු එකොලහක සේවෙන් පස්සෙ එයා මේ මාසෙ අග අයින්වෙනවා . ආයෙත් නාගෙන ඇඳගෙන ගියා රෑ කෑම කඩේකට . මික්ස් රයිසුයි , ඔරෙන්ජූසුයි ඕඩර් කරලා මට එයාගෙ මැනේජ්මන්ට් එකත් එක්ක තියෙන frustration  , අවුරුදු එකොලහක එක්ස්පීරියන්ස් , සමහරු ලොක්කට අල්ලන පන්දම් ගැන අහන්න වුණා .ඇත්ත වුනත් බොරුවුනත් නිදි මරගාතේ ඔලුව වන වන ඉන්න එක තමයි කලේ . ඇවිත් නිදාගන්නකොට දහයයි

අහැරුණේ කාර්යාල නිවහන සුද්දකරන්න එන සේවිකාවගේ සද්දෙට .
"මිස් තාම නිදිද? . තේකක් හදන්නද ?"එයා දොරට තට්ටුකරනවා .

ගමන් මහන්සියට ද කොහේ ඇඟ රිදෙනවා . නිදිමතයි තව .වෙලාව නවයයි . හරියට නම් නවයට ඔෆිස් ඉන්න ඕනේ .දඩි බිඩි ගාලා ඇඳගන්න හිතුවා . ශීලා තේ එක හදලා අතටම ගෙනත් දුන්නා

"මිස්ට මහන්සි පාටයි . ඊයෙ පරක්කුවෙලා ආව කියලා ජයසේන සිකුරටි අයියා කිව්වේ ?"."
ඔවු ටිකක් මහන්සියි ශීලා  .මම හිමිහිට කිව්ව ".
"ඒක හැබැව .දැන් මෙහෙ මිස්ට ගෙදර වගේ .ගිය සතියෙ සිකුරාදා වෙනකනුත් මෙහේ නෙ" .

හැබෑටම මොකද්ද මේ ජීවිතේ කියලත් හිතෙනවා වෙලාවකට . දන්න කියන යාලුවො හිතන්නේ හරි ෆන් වැඩක් කියලා ..සමහර යාලුවො කියන්නේ කෙයාර් ෆ්‍රී ජිප්සි ලයිෆ් කියල .මාත් ඉතින් ජීවිතේ කරදර කියන දේවල් ,අපහසුකම් තව කාටවත් කියන කෙනෙක් නෙවී .මොනව වුණ හිනා වෙලා ඉන්නවා .ඉතින් හැමෝම හිතන්නේ මම හොඳින් කියලා. බැලුවම ඒකෙත් වරදක් නෑ..

ආයෙත් මතක්වුණා ගෙදරට කතාකලේ නෑ කියලා .ඉක්මනට අම්මට කෝල් එකක් ගත්තා . දවසක් ඇර දවසක් විනාඩි පහක් අම්මට කතාකරන්න දැන් ටික කාලෙක ඉඳන් කරන දෙයක් .මේ විනාඩි පහ තමයි අපි දෙන්න රණ්ඩුවක් අල්ලන්නේ නැතුව කතාකරන එකම වෙලාව . නැත්නම් මම ඉතින් ප්‍රශ්නවලට උත්තර දෙන්නේ තව ප්‍රශ්නෙකින් . ගෙදර විස්තර අහලා නාගන්න ගියා . ශීලා බෙඩ් ශීට් හෝදන්න අහනවා .මම එපා කිව්ව . දවස් දෙකක් පාවිච්චිකලාට ඒව කිලුටු නෑහැ. එයා එන්නෙ කැස්බෑව පැත්තේ ඉඳලා .සුමානෙකට දවස් තුනක් ඇවිත් කාර්යාල නිවහන සුද්දකරනවා .උදේ නවයට ඇවිත් හවස 2 වෙනකන් වැඩ කරලා ආයෙත් ඔෆිස් එකට ගිහින් ඒකත් අස්කරලා පහට ගෙදර යනවා .අපි  කිලුටු කරලා දාන බෙඩ්සීට් , කාල තැන තැන දාන පිඟන් ,කිලුටු bath room ,  එහෙ මෙහෙ වුන පුටු අස් පස් කරලා තට්ටු දෙකක් මොප් කරනකොට හොඳ ගනන් ඇති . මට සේරම පහසුක්ම් දීලත් මහන්සියි .මීටර සීයක් ඈතින් තියෙන ඔෆිස් එකට යන්න පැයක් පරක්කුයි .ලැජ්ජ නැද්ද මනුස්සයෝ කියල හිතෙන් බැන බැන  ඉක්මනට නාලා ඇඳගත්තා .දිනපොත බැලුවා එලියේ මීටින් නෑ.ඒ නිසා අයන් කලේ නෑ .ෆෝමල් ඇඳුම් ඕනත් නෑ.ටී ශර්ට් එකක් ඇන්දා .ෆර්පියුම් බෝතලෙන් බාගයක් විතර නාගත්තා .මෙහෙම මහන්සි දවස් වලට වැඩට යන්න මොර්ටිවේෂන් එකකුත් ඕන නේ . හිත බෑ කිව්වත් නොගිහින් කොහොමද . හිත බෑ කියන වියර්ඩ් ෆීලින් එක මම දන්නවා . ගත්තා ලැප්ටොප් එක එක උරහිසකට , කාර්යාල බෑග් එක අනික් උරහිසට . ගියා ඔෆිස් එකට . රිසෙප්ශන් ඉන්න වයසක ඇඩ්මින් නෝනා  හිනාවක් දාලා ටී ජී යූ ලූක් ටයර්ඩ් කියලා , ගල් යූ හැව් සම් මේල්ස් කියලා මගේ ලියුම් ටික දුන්න .නොගිහින්ම බැරි වෙඩිං ඉන්විටෙශන් දෙකකුයි , බැංකුවෙන් එවන ලියුම් වගේකුයි . ඒව දිගෑරන් බලනකොට ලොක්කගෙන් කෝල් එකක්.

"ටී ජී ටිකක් හදිස්සියි කේස් ස්ටඩීස් දෙකක් ඕනේ යූ .කේ යවන්න . හවස තුන වෙනකොට එවනවද ?මේල් එක දැන් මම ෆොර්වර්ඩ් කලා .අර එක්ස්පෙන්ඩිචර් ප්‍රශ්නෙට ඔයා උත්තර ලියල තුබුණ. තෑන්ක්ස් .හොඳ ස්ට්‍රොන්ග් ආන්සර් එකක් ......." එයා තව මොනවද කියනවා .... මොන උත්තරය දුන්නද මන්දා මට නිදිමතයි . මහන්සියි . .....අයි ෆීල් වියර්ඩ් .ඒත් කවුරුත්ම හිතන්නෙ හිතන්නෙ මම හොඳින්, සතුටෙන්  කියලා.ඉතින් මාත් ඒගොල්ලන්ට කියනව මම සතුටෙන් කියල.


ප/ලි

කොහොමහරී නිදිමතේම වුනත් ඔක්කොම එනර්ජි කලෙක්ට් කරලා උවමනා වැඩේ කරල වෙලාවට සබ්මිට් කරා.උඩතියෙන්නෙ මම ගත්තු පින්තූර වලින් දෙකක් .කැමරාව මගේ හොඳම ගමන් සගයා .

Sunday, October 30, 2011

වස්සාන මාලිගාවේ ගෙවුන ආනන්දනීය මොහොතක් -Monsoon Palace ( Sajjan Gahr)



මේ දවස්වල හැන්දෑවෙනකොට හතරවටින් අහස කළු කරලා වහින්න පටන්ගන්නවා .වැස්සත් එක්ක එන සීතල ,වැහි වතුර වැටෙන සද්දෙට මම ආසයි .ඔහොම වෙලාවට මම කැමති නිවී සැනසිල්ලේ එක තැනකට වෙලා දුම් දාන කිරි කෝපි එකක් බොන්න .ඒ ගමන් අතීත මතක අහුලන්නත් කැමති .ඔයහිරි පොද වැස්ස මැදින් යාලුවොත් එක්ක කඳුකර මිටියාවත් වල ගිය ගමන් වල රස මතක අවුස්සන්නේ ඔහොම වෙලාවලදී .අදත් නිවාඩු පාඩුවේ වැස්ස රසවිඳින ගමන් පහුගිය දවස්වල ගිය ගමනක්දී ගත්ත  ඡායාරූප එකතුවක් බලනකොට  තමයි මට වස්සාන මාලිගාව මතක්වුනේ.



වස්සාන මාලිගාව එහෙමත් නැත්නම්   Sajjan Gahr  ,  උදයපූර් වල තවත් ලස්සන අප්‍රකට තැනක්.නගරෙන් කිලෝමීටර දහයක් විතර ඈතින් අරවල්ලි කඳු වල තියෙන පුංචි මාලිගාවක්. මේක පිහිටල තියෙන කඳුකර බිම අක්කර දාස්ගානක රක්ෂිත කැලෑවක් .බෑවුම් පාරක් දිගෙයි මාලිගාවට යන්න ඕනේ . අතරමග වඳුරො , මොනරු , මීමින්නො , මුව පැටවු එහෙමත් හම්බවෙනවා . මම වස්සාන මාලිගාව බලන්න ගියෙත් උදයපූර් වල අහස කලු කරන් පැල් බැඳන්  වහින දවස්වල .ඒ නිසාම වැහි අඳුරේ , පොදවැස්සට තෙමීගෙන මේ කඳුකර මාලිගාවට ගිය ගමන හරි සුන්දරයි .


උදයපූර් කියන්නේ රාජස්ථානයේ ප්‍රෞඩ මහරාජාවරුන්ගේ වංශයක් වුන 'මර්වාර්" වරුන්ගේ වාසභූමිය . නගර මාලිගා ,අලංකරණ කටයුතු වෙනුවෙන් ඔවුන් දැක්වූයේ පුදුම උනන්දුවක් .අරවල්ලි කඳු මුදුනේ මේ වස්සාන මාලිගාව ඉදිවුනෙත් එහෙමයි . මර්වාර් රාජවංශයේ සාජන් සිං කියන මහරාජා තම්යි මහල් නවයකින් යුත් මාලිගාව ඉදිකරල තියෙන්නේ ඒ 1874-1884 කාලේ . මෙතැන පාවිච්චිවෙලා තියෙන්නේ වැහි වලාකුලු නිරීක්ෂණය කරන කාලගුණික මධ්‍යස්ථානයක් හැටියට .ඒවගේම මහරාජාවරු දඩයමේ යද්දිත් වැහි කාලයේ විනෝදයෙන් ඉන්නත් පරිහරණය කල මාලිගාවක් .පොලවත් බිත්තිත් සුදු කිරි ගරුඬ වලින් නිමවලා තියෙන්නේ .වලාකුලු ආරුක්කු සහිත ද්වාර වලින් යුත් රාජස්ථානයට ආවේණික වාස්තු නිර්මාණශිල්පය මෙහිත් තියෙනවා . ඇතුලේ වනජීවී තොරතුරු එකතුවකුත්  තියෙනවා .


පොලව මට්ටමේ ඉඳන් මීටර දාහක් විතර උසින් තියෙන මේ මාලිගා බිමේ ඉඳන් බැලුවම මුලු උදයපූර් නුවරම හරි ලස්සනට පේනවා . පිචෝලා හා පතා සාගර් විල් , අරවල්ලි බෑවුමේ කොලපැහැයෙන් වැසුන මිටියාවත් දකගන්න පුලුවන් .මාලිගාවේ තුන්වෙනි මහල වෙනකන් ඉහලට නැග්ගම හරි අපූරුවට මේ දේවල් පේනවා .සාජන් සිංගෙන් පස්සේ ආව මහරාජාවරු මෙතැන ගැන එතරම් සැලකිල්ලක් දක්වලා නෑ.ඒ ජල පහසුකම් නොතිබ්බ නිසා .නමුත් මෑත අතීතයේ 1956 විතර එවක සිටි උදයපූර් මහරාජා ආයෙත් මෙතැන  ප්‍රතිසංස්කරණය කරලා උදයපූර් වැසියන්ට පවරලා තියෙනවා විනෝද උයනක් හැටියට . මෙතැන පෙම්වතුන්ගේ පාරාදීසයක් කියන්නත් පුලුවන් . යන එන අයට නිවී හැනහිල්ලේ විවේක ගන්න උද්‍යාන බංකු තියෙනවා . ඒවගෙම හොඳට පායන දවස් වල ඉර උදාවත් , ඉර බැහීමත් බලන්න පුලුවන් පහසුකම් තියෙනවා .


වැහි අඳුරේ , පොදවැස්සට තෙමීගෙන ඔය බංකුවක් උඩට වෙලා ,ඈත මීදුමෙන් වැහුන මිටියාවත් දිහා බලන් ,සීතල සුලඟ විඳිමින් මාත් සෑහෙන්න වෙලාවක් මෙතැන හිටියා . ඒ මොහොත ගැන නම් කියන්න වචන නෑ . මුලු ලෝකෙන්ම ඈත්වෙලා ,කරදර ,වැඩ රාජකාරි ඔක්කොම මොහොතකට අමතක කරලා මොණරුන්ගේ සද්දෙ අහගෙන  ඇස්පියාගෙන අනන්තයට ගිය පැය කීපයක් .ජීවිතේ ගතකෙරුව හොඳම මොහොතක්.
ආනන්දනීය අත්දැකීමක් .


ප/ලි

වැස්ස එක්ක අපි ඉන්න  මනෝභාවය ,පරිසරය සමග  වැස්ස විඳීම  සිද්දවෙනවා( මම මේ කියන්නේ ගංවතුරක් නෙවෙයි හොඳේ ) මට එහෙම හිතුනේ හදිස්සියෙන් මතක්වුන ථේර ගාථාවක් නිසා .මේ ගාථාවේ සිංහල පරිවතනේ මතකින් කියන්න තරම් මගේ මතකය පැහදිලි මදි . ඊට අදාල පොත තමයි පරාක්‍රම කොඩිතුවක්කු මහත්මයගේ රශ්මි කියන කාව්‍ය ග්‍රන්ථය . ඉන්ග්‍රිසියෙන් ඔය අදාල ථේර ගාථාව මම දැක්කේ  දැන් කියවමින් හිටි පොතක තිබිලා . මේ අජකරණී කියන නදිය අසබඩ දන් වලඳලා සැහැල්ලු සමවත් සුවෙන්න හිටි වෙලාවක හාත්පස පරිසරය වැස්සකට සූදානම් වෙන විදිය දුටුව රහතන් වහන්සේ නමක් ඒ පරිසරය ඇසුරෙන්  තමන්ගේ ආනන්දනීය අත්දැකීම කියන විදිය .

When the cranes with clear pale wing 
Fly in fear with the black cloude 
seeking shelter and finding none
The river Ajakarani gives me joy

From- Wonder That was India - p459 by A.L Basham

මේ ඉන්ග්‍රිසි කවියේ සිංහල අදහස මගේ පරිවර්තනයක්

කලු වැසි වලාකුලට බිය වැද
ලැගුම් සොයා
අව පැහැ පියාපත් සලා  
පලා යන කණකොක් රැලින් යුතු
අජකරණී නදිය
මසිතට ආනන්දනීය වෙයි