Sunday, December 11, 2011

අබූ කන්දේ විස්තර - Trip to Mount Abu

උදයපූර් කියන්නේ රාජස්තාන් වල තියෙන අපූරු දේශගුණික හා භූගෝලීය වට පිටාවක් තියෙන නුවරක් කියල මට නිතරම හිතෙනවා . වියලි දේශගුණික රටාවකුත් ජුලි -අගෝස්තු වල එන මෝසම් වැස්සත් පතා සාගර් , පිචෝලා වගේ ස්වභාවික විල් , අරවල්ලි කඳු නගරයේ ප්‍රෞඪ අලංකාරය තව වැඩි කරනවා . ඒ වගේම උදයපූර් ඉඳලා කිලෝමීටර දෙසීය විසිපහක් ගියතැන මවුන්ට් අබු -Mount Abu කියන ලස්සන සීතල කඳුකර පලාතක් මුණ ගැගෙනවා .මවුන්ට් අබූ ගොඩාක් දේශීය සංචාරකයන් විනෝද ගමන් වලට , පික්නික් වලට යන හිල් ස්ටේශන් එකක් . 



මේ සැරේ ඌෂා මට කලින්ම පොරොන්දු වෙලා තිබුණා මවුන්ට් අබූ එක්ක යන්න . අපේ කල්පනාව වුනේ හවස් වරුවේ අබූ ගිහින්, රැයක් නැවතිලා , පහුවදා දවල් වෙනකන් ඉඳලා උදයපූර් එන්න . එදා හවස්වරුවේ මවුන්ට් අබූ යන ප්ලෑන් එක තව පොඩ්ඩෙන් අහෝසිකරන්න වෙනවා මාත් , ඌෂත් , රාජත් කල මෝඩ වැඩක් නිසා . අපි අබූ යන්න පිටත්වෙද්දීම එහාගෙදර හිටිය බල්ලා ගේට්ටුවට ඔලුව හිර කරගෙන බේරගන්න බැරුව කෑගහනව මර හඬ දෙනවා . අහිංසක සතාට බේරෙන්න විදියක් නෑ . කාර් එක ගමන යන්න ස්ටාර්ට් කරලත් කලබලේට එන්ජිම නිවලා යතුර වාහනේ ඇතුලේ දාලා අපි තුන්දෙනා බල්ලව බේරන්න දිව්වා . ඒ ඔක්කොම ඉවර කරලා ආවම තමා මත්ක්වුනේ කාර් එකේ දොර අරින්න බෑ කියලා . සේරම ශටර්ස් එහෙමත් වහලා . අන්තිමට තුන්දෙනාටම කල මෝඩ වැඩේට තරහටයි මහන්සියටයි ටිකක් වෙලා බලාගත්තු අත බලන් හිටියා . කොහොමහරි ඌෂගේ මල්ලි මොකද්දෝ අඬුවක් ගෙනිත් ශටර් එකක් ඇරලා යතුර ගත්තා .අන්තිමට ආයෙත් අබූ  යන්න අපි තීරණය කලා .




උදයපූර් ඉඳලා අබූ යන්නේ හයිවේ එකක . ඒ පාර දෙපැත්තත් හරි ලස්සනයි . පාලු කඳුකර තැනිතලා බිම් , හරක්ට එලුවන්ට තණකොල කවන ගෑනු මිනිස්සු , හරක් රංචු ඉස්සරකරන් ගෙදර යන ට්‍රයිබල් මිනිස්සු- Tribal men  නිතරම හමුවුණා. ඒ හැමදෙයක්ම කැමරාගත කරගන්න මට ඕනෙ වුනත් මෝසම් කාලයේ කඳුකර පාරක පැය තුනක විතර ගමනක් නිසාත් අපි උදයපූර් වලින් පිටත්වුනේ හවස්යාමයේ ටිකක් ප්‍රමාද වෙලා නිසාත් ඒ අදහස අතරින්න වුනා . නමුත් අත් දෙකේම වැලමිට වෙනකන් සුදු පැහැ වලලු පුරවගත්තු , වර්ණවත් බාන්දනී සාරි ඇඳගත්ත  , ට්‍රයිබල් ගෑණු Tribal Women , නා නා වර්ණ තලප්පා  බැඳගෙන වැහි බීරම් මැදින් හරක් රංචු දක්කන් යන මිනිස්සු , මෝසමට සාරවත් දුඹුරු පස් පෙරලිලා සී සාපු කුඹුරු යායවල් , ලා දලු නැගගෙන එන බඩ ඉරිඟු ,තිරිඟු හා අබ යායවල් ,ගෙමිදුල් වලට වෙලා සෙල්ලම් කරන ගැමි දරුවො මගේ නෙතට රසඳුනක් වුණා .ඒ අතරින් අමතක නොවෙන සිද්දිය තමයි හැටක් විතර වෙච්ච විසාල ඔටු රංචුවක් එක්ක , ඔටුවන්ගේ පිටේ බඩු මලු බැඳන් තාලෙට ජන ගී කියමින් ගිය අහිගුන්ඨික පිරිස . ඉන්දියාව මහ පුදුම රටක් .කොයි තරම් නම් ජන වර්ග ,ආගම් සංස්කෘතීන් මිශ්‍ර වෙලා තියෙනවද ? ගම්බද ඉන්දියාවේ හැම කිලෝ මීටර විස්සකට සැරයක් අලුත් ජන ජීවිතයක් දකින්න පුලුවනි .මේ විවිධත්වය-diversity රටක දේශපාලනික හා ඉතිහාස ගත කෝන්තර නිර්මාණය කිරීමේ සාධක වුනත් මම වගේ සංචාරකයෙකුට නම් ගවේශණය කරන්න රසවිඳින්න ලෝබ හිතෙන දෙයක්.

අහ්මදාබාද් වල ඉඳන් උදයපූර් එන රේල් වේ ලයින් එකත් , හයිවේ එකත් එකට හමුවෙන තැනක් මේ ගමනේදී මට දැකගන්න ලැබුනා . අහ්මදාබාද් ඉඳලා උදයපූර් වලට කෝච්චියෙන් පැය තුනකින් විතර එන්න පුලුවන් කියලා ඌෂා කිව්වේ .එතැන පහුවෙලා පැයකින් විතර අපි අබූ වලට යන කඳුකර මාර්ගය පටන්ගන්න තැනට ආවා . රූස්ස ගස් පේලියකින් හෙවන වුන මෙතැන පොඩි කඩ පොලක් .අබූ යන කවුරුත් මේ කඩේකට ගොඩවෙලා පකෝඩා කාලා ,චායේ එකක් බීල , ගමන් මහන්සිය නිවාගෙන තමයි කන්ද නගින්නේ .අපිත් එක පොඩි කඩේකට ගොඩවෙලා චායේ ඕඩර් කරලා කාට් කියන ලණු ඇඳක් උඩ වාඩිවෙලා වෙහෙස නිවාගත්තා.









අබූ කඳුකර පාර එක පැත්තකින් ප්‍රපාතයක් අනික් පැත්තෙන් ගස් කොලන් වලින් වැහුණ ගණ කැලෑවක් . පාර ඉඩකඩ සහිත වුණත් දල බෑවුම් හා සීග්‍ර වංගු නිසා බොහොම පරිස්සමෙන් තමයි වාහන එලවන්න ඕන . වැහි අඳුරත් මීදුම් පටලත් එක්ක පහල කැලෑවෙන වැහුන ප්‍රපාතාකාර බෑවුම හරිම සුන්දරයි.අපි කීප තැනකම වාහනේ නවත්වලා ඒ සුන්දරත්වය අත්වින්දා . වරින් වර එන පොද වැහි එක්ක වල් සමන්පිච්ච වගේ කැලෑ මල් වර්ගයක්  සුවඳ මුසු වෙලා එන හීතල හුලඟ හරි සනීපදායකයි . ඒවගේම රොමැන්ටික් ගතියකුත් තියෙනවා.අබූ සීමාවට එනකොට රෑ හතට විතර ඇති . උදයපූර් වලින් ආව ටුවරිස්ට් බස් ගොඩාක ඒ වෙනකොට අබූ වලට ලඟාවෙලා . GJ -ගුජරාත් ,UP-උත්තර් ප්‍රදේශ් වගේ පැති වල නාම පුවරු තියෙන මෝටර් වාහන හැම නවාතැනක් ගාවම නවත්වලා .ඒ කියන්නේ ගොඩාක් දේශීය සංචාරකයො විවේක සුව ගන්න අබූ එනවා වගේ . 


ලොකු සංචාරක හෝටල් වගේම පොඩි නවාතැන් පලවලුත්  ගොඩාක් මේ සීමාවේ තියෙනවා . අපේ නවාතැන වුනේ ඌෂා දන්න හඳුනන පුංචි ගෙස්ට් හවුස් එකක කාමරයක් . අපි එනකන් නවාතැන භාරකරු ලාල් ජී බලාගෙන හිටියා .සුපුරුදු ආචාර සමාචාර ආගිය කතා ( ඌෂ එක්ක ගමන් යද්දී මේ දේවල් වලට හුරු වෙන්න ඕනේ . එයා මනුස්ස සම්බන්දතා වලට සෑහෙන්න කාලයක් ආයෝජනය කරන කෙනෙක් .පහුගිය පූජා උත්සවේ විස්තරත් අහලයි එයා ලාල් ජී එක්ක කතාව ඉවර කලේ ) .කාමරේට ගිහින් ටිකක් මහන්සි අරිද්දී අපිට උණු චායේ ලැබුණා .දැන් හීතලයි ඒත් අපි තුන්දෙනාට ඕනෙ වුනේ රෑ යාමේ අබූ කඩපේලි දිගේ වීදි සංචාරයේ  යන්න .

කඩ වීදිය පාර විදුලි ආලෝකයෙන් බබලනවා . ආපන ශාලා , සාරි කඩ , තොරොම්බල් කාරයො, පලතුරු වෙලෙන්දො ,චායේ කඩ ,අයිස්ක්‍රීම් හල්  බඩ ඉරිඟු පුච්චල විකුණන තැන් එක්ක මුලු වීදියම හරි ජනාකීර්ණයි.මේ වීදිය කෙලවර වෙන්නේ නිකිලා කියන -Lake Nikhila ලොකු විලකින් . කඳු වලල්ලකින් වට වුණ නිකිලා විල අයිනේ තාමත් කඩල , රටකජු කකා චායේ බිබී මිනිස්සු ගැවසෙනවා . මට මතක්වුණේ නුවර එලියේ ග්‍රෙගරි වැවයි වසන්ත උත්සව කාලෙයි .අපිත් වීදි වල සිරි විඳිමින් , උණු උණු පිච්චුව බඩ ඉරිඟු කාලා , චායේ බීලා , කඩ පිල් වලටත් එබිකම් කරල එනකොට රෑ අටහමාරට විතර ඇති .එනකොට හොඳටම බඩගිණියි . ඌෂා කලින්ම රෑ කෑමට "කිචරි" සහ 'කඩායි" ඕඩර් කරල තිබුණා. කිචරි කියන්නේ අපේ මුං ඇට කිරිබත් වගේ මුං ඇට , හාල් මිශ්‍ර කරලා ගිතෙල් දාල උයන බෙරි බතක් .කඩායි කියන්නේ අල .ලූණු හීනියට කපලා ,කහ ,කරපිංචා දාලා උයන හොද්දක් .කෑම කන්න මේස පුටු තියලා පොඩි කෑම සාලාවක් තිබුණා .ටී වී එකේ රැජිණිකාන්ත් ,රේඛා රඟපාන පරණ ෆිල්ම් එකක් යනවා .ඌෂටත් මටත් ෆිල්ම් එක බලන්න ඕනෙ වුනත් එතන නවතින්න ආව තව පිරිමි නඩේකට ඉන්දියාව ප්ලේ කරන ක්‍රිකට් මැච් එක බලන්න ඕනෙ වුන නිසා ෆිල්ම් එක බලන අදහස අපි අතැරියා .උණු උණු කිචරි , කඩායි එක්ක අනාගෙන අඹ අච්චාරු එක්ක කනකොට හරි රහයි .මේ නවාතැන හෝම් මේඩ් ෆූඩ් වලට ප්‍රසිද්ධයි කියල ඌෂ කිව්වේ. 

අපි නිදාගත්තේ පහුවෙනිදා උදේම නිකිලා විලේ බෝට්ටු සවාරි යන්නත් , අබූ වල  දිල්වාරා කියන ජයින පංසල බලන්නත් යන්න හිතාගෙන .මුලු රෑත් පහුවෙනිදා උදේ හත විතර වෙනකනුත් තදේට වැස්සා.අපි තුන්දෙනාම හොඳට ගුලිවෙලා නිදාගත්තා. යාන්තන් වැස්ස තුරල් කලාම කාමරේ දොර ඇරලා බැල්කණියට ආවම තමයි දැක්කේ නැවතිලා ඉන්න තැන ලස්සන . වැස්ස තුරල් වෙලා යාන්තම් ඉර එලිය මෝදුවෙනවා . පහල පාරේ කිරි භාජන බයිසිකල් වල තියගෙන නගරෙට යන පිරිමි .වතුර කලගෙඩි ඔලුවෙ තියන් යන ගෑනු උදවිය දකින්න පුලුවනි .ඉස්සරහින් පේන කඳු වලල්ල අතරේ කොලෝනියල් තාලෙට හැදුව ආරුක්කු වහලක් තියෙන ලා කහපාට ගොඩනැගිල්ලක් පේනවා . ඒ රාජස්තාන් ආන්ඩුකාරයා එයාගේ ග්‍රීස්ම නිවාඩුව ගතකරන්න එන නිල නිවස කියලයි ලාල් ජී කිව්වේ .වැහි අඳුර මකලා මීදුම් පටල අතරින් ඉර එබෙන හැටි නම් හරිම මනරම්  .නුවර එලියට වඩා අබූ කඳුකරේ වෙනස්වෙන්නෙ ගල් කුලු වලින් බහුල වියලි කඳුකරයක් වීම කියලයි මට හිතුනේ.


කම්මැලි කම ඇරලා මූන හෝදලා , ඇඳ පැලඳ ගත්තු අපි තුන්දෙනා අල කරියක් එක්ක රොටී කාලා ආයෙත් ඇවිදින්න යන්නයි පිටත්වුනේ . මුලින්ම දිල්වාරා ජයින පංසලට ගිහින් ආශිර්වාද ලබාගෙන යමු කියලා රාජා කිව්වා. ගියහමයි දැක්කේ එදා උදේ නවයේ ඉඳන් දවල් දොලහ වෙනකන් පංසල විවෘත වෙන්නේ ජයින බැතිමතුන්ට විතරයි කියලා . මේ පන්සල් ගාවත් අපේ ප්‍රසිද්ද පන්සල් ගාව වගේ තමයි .මණි බඩු ඊලෙන්දො, චායෙ කඩ , කඩල රටකජු කාරයොත් , වන්දනා බස් හා බැතිමත්තුත් වැහි වැහැලා . එවෙලෙම සරුවත් හදල දෙන තැන් , ගී කර්ඩ් විකුනන තැන් , පලතුරු වට්ටි අම්මලා එහෙමත් ඉන්නවා . හරිම ලස්සන දෙයක් තමයි ඇස් ඇදගන්නා විදියට ලස්සනට සරසපු කඩල තට්ටු . ඒ අතරේ මගේ සිත් ගත් කෙනෙක් වුනේ කඩලයි , දෙලුම් ඇටයි විකුණන වෙලෙන්දියක්.මේ පංසලේ පැරණි ගල් කැටයම් බලන්න ඕනෙකම මට තිබුණත් අපිට ගොඩක් හවස් වෙනකම් ඉන්න බැරි නිසා කඩ වීදි දිගේ නිකිලා විලට ගිහින් බෝට්ටු සවාරි යන්න අපි තීරණය කලා . 


Tribal Family came to see the lake - see the women  and their  tribal  bangals !!  

කඩවීදියේ වෙලඳාම් පටන් අරන් .කලින්දා රෑ ඌෂත් මමත් නෝට් කරගෙන ආව සාරි කඩේකට ආයෙත් ගියා .ඒ අපි දෙන්නගේම අම්මලටයි , නංගිලටයි තෑගි හැටියට සාරි ගන්න . ඉන්දියාවෙ කොහෙත් සාරි කඩ වෙලෙන්දො ප්‍රියමනාපයි .අපි යනකොටත් කාන්තාවො කීපදෙනෙක් බොහොම සැහැල්ලුවෙන් බිම කුශන් වල වාඩිවෙලා , දිගෑදිල සාරි තෝරනවා .ඉක්මනට උවමනා තෑගි ගත්තු අපි නිකිලා විල දිහාට ගියේ බෝට්ටු සවාරි යන්න .පවුල් පිටින් සෙනග මේ විල දිහාට එනවා බෝට්ටු පදින්න .තනියම පදින පැඩල් බෝට්ටු වගේම , තොටියො එක්ක එන ඔරු එහෙමත් තියෙනවා . කඳු පෙලින් වටවුන විල තාම සිහින් මීදුම් පටල වලින් වෙලීලා . අපිත් පැය බාගෙකට පැඩල් බෝට්ටුවක් කුලියට අරන් පදින්න ගත්තා .මම කොහොමත් වතුරට බය ගතියක් තියෙන නිසා මුලින්ම චකිතයකින් හිටියේ .ඒත් ඌෂගේත් රාජගෙත් ආසාවට හරස් කපන්න බැරිනිසා ටිකෙන් ටික සංසුන් වෙලා බෝට්ටුව පෑගුවා .



බෝට්ටු සවාරිය ඉවර වෙලා අපි ආවේ විල මැද තියෙන බෝට්ටු අවන්හලට ගිමන් අරින්න .මෙතැන හරිම ලස්සන තැනක් .මුලු විලම මෙතැනට පේනවා . නිදහස් තැනක මේසෙකින් වාඩිවුන අපි දෙපැයකට වැඩිය මෙතැන ගතකලා කිසිම කතාවක් නැතුව . ඌෂා එයාගේ පුංචි ලැප් ටොප් එක අරන් ඔෆිස් එකේ වැඩක් .රාජා විලේ පිංතූර ගත්තා .මම නිහඬව විල දිහා බලන් කල්පනාවක . හිටිගමන් අවු රැල්ල පලාගිහින් විල අඳුරු වෙනවා .ආයෙත් හිරු එලිය පොදකින් ආලෝක වෙනවා .විල උඩින් දුම් දානව වගේ මීදුම් කැරලි නගිනවා .මම සෑහෙන්න වෙලා ඇස් පියාගෙන ඒ නිහඬ බව රසවින්දා . God this is the life කියලා මට කියවුණා .මම මේ ගමන ආවේ රාජකාරි නිවාඩුවකට . වැඩවලිනුත් , රටෙනුත් ඈත්වීමේ උපරිම සතුට දැනෙනු වෙලාවක්.එක පාරක් මම නිදාගෙන හිටිය කියලත් ඌෂ කිව්ව . 
She made my day !! 


විල මායිම පාරට කිට්ටුවෙන් නාන තොටක් .ගෑණු මිනිස්සු , ලමයි එතැන නානවා . ලොකු නුග ගහකින් සෙවණ වෙච්චි පරිසරයක් . ඒ කිට්ටුවම දිය සෙවෙල් බැඳුන සොල්දර , ගණකම බිත්ති තියෙන පරන මාලිගාවක් වගේ ගෙයක් . මේ පරිසරය මට මතක් කලේ දීපා මේතාගේ වෝටර් චිත්‍රපටියේ පසුතල දර්ශන . මට තිබුණ කුහුල නිසා කැමරාවත් අරන් නොදැනුවත්වම අර පරන ගේ දිහාට ඇදුනේ . කැමරාවෙ බ්ලැක් ඇන්ඩ් වයිට් ඉෆෙක්ට් දාලා ඒ ගෙයි පිංතූර ගනිද්දී දැක්ක දේකින් මම පුදුම වුණා . උඩ සොල්දර තට්ටුවෙන් එලියේ ගරා වැටුණ බැල්කණියට ආව සාම්ප්‍රදායික  තැඹිලි -කොල සාරියක් ඇඳගත්තු උස හීන් සිරුරක් දිගැටි අතපය තියෙන තිස් වියේ කෙලවර වගේ ඉන්න ලස්සන ගෑනු කෙනෙක් රෙදි වනනවා . මම ඉක්මනට ඒ දිහාට කැමරාව මෑනුවා.හරියටම කිව්වොත් අන්කූර් ෆිල්ම් එකේ ඉන්න ශබානා ආස්මි නිලිය වගෙමයි . මම කැමරාව මානද්දී එයා දැක්කා. බය හිතිලා කැමරාව ඉක්මනට අහකට ගත්තේ එයා කලබලවෙලා බනීවි කියලා .ඒත් කිසි කලබලයක් නැතුව හරිම සංසුන් විදියට එයා මාව දැකලා හිනා වුණා . ඒක පුදුම සහගත බැල්මක් .මද හිනාවකුත් එක්ක හරි ලස්සනක් තිබුණා .මම ඒ දසුන කැමරාගත කලා .මට තියෙන්නෙ සාමාන්‍ය තාක්ෂණ පහසුකම් තියෙන කැමරාවක් .මේ මම ගත්තු හොඳම ඡායාරූපයක් නෙවේ .ඒත් ඒ ඡායාරූපය එක්ක මොකද්දෝ මිස්ටීරියස් විදියේ  මගේ බැඳිමක් තියෙනවා කියලා මම ඌෂටත් කිව්ව . අබූ ගමනේ මම සතුටුම වුනේ නිකිලා විලේ බෝට්ටු අවන්හලට වෙලා නිහඬව තේ බොමින් , අවට පරිසරය රසවිඳිමින් , කැමරාවත් අරන් තොටුපල දිහාට ඇවිද්ගෙන ගිය පැය කීපය . 


දවල් එකට විතර අපි ආයෙ උදයපූර් එන්න පිටත්වුනේ .එන අතරෙත් මම කල්පනාකලේ අර මිස්ටීරියස් ඡායාරූපය ගැන . ඒ හිනාව සහ සිරුරේ රිද්මය කැමරාවට හසු කරගනිද්දී මට දැනුන සතුට ."ෂී මේඩ් මයි ඩේ she made my day" කියලා මම ඌෂට කිව්වේ . ඇත්තටම සංචාරයකින් සතුටු වෙන්න වැදගත්වෙන්නේ බොහොම පුංචි සරල දේවල් කියලා එදා අබූ ගමනෙදි මට දැනුනා .


ප/ලි


මාස ගානකට පස්සේ අද ඌෂ ඔන් ලයින් ඉඳලා කතා කලා.අපි දෙන්නම අපේ රාජස්තාන් ගමන් ගැන මතක් කරලා හිනා වුනා .ඒ නිසා මවුන්ට් අබූ ගමන ගැන ලියන්න හිතුනා.













4 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. නියම විස්තරයක්නේ...ආසයි ඉන්දියාවේ ඇවිදින්න යන්න..එක පාරක් ගියා ට්‍රේනිං එකකට ..මුම්බායි...කොහෙවත් ඇවිදින්න බැරිඋනා...

    ReplyDelete
  3. Thanks for yet another interesting travel note. Can You please add some more photos. Specially the ones on your way to Mount Abu :)

    ReplyDelete