Monday, December 27, 2010

රාජස්තාන් සැරිසර මතක සමාප්ති සටහන -ජෝද්පූර්... කබි අල්විද නා කෙහෙනා...

Umed Bhawan



Umed Bhawan inside

On the way to Meherangar Fort

Mirror Galary -Meherangar Fort

A victory Gate - Meherangar Fort

Rao Jodha founder of fort


Folk musician inside the fort






අපි ජෝද්පූර්වලින් බහිනකොට පහුවෙනිද උදේ හයට විතර ඇති. මම උෂත් එක්ක එයාගේ කාර්යාලයට ගිහින් තව පැයදෙකක් විතර නිදා ගත්තා. රැස්වීම් සාලාවක් හැටියට පාවිච්චි කරන උඩු මහලේ බිම අතුරල තියෙන පලස් උඩ පැදුරක් දාගෙන , උණුසුම යන්න ඔක්කොම ජනෙල් දොරවල් ඇරල සැප නින්දක් නිදාගෙන ඇහැරුණේ උදේ අටට විතර .ඔෆිස් එකේම නාන කාමරේට ගිහින් හොඳට නාගෙන අඳුම් ටිකත් හෝදලා දැම්ම . මම දැන් ඉන්දියානු ගමන් වලට හොඳට පදම් වෙච්ච නියම සංචාරකයෙක් .මේ සැප්තැම්බර් විසිහය වෙනිදා. මම රාජස්තානයේ ඉන්න අන්තිම දවස . එදාම හවස හතයි විස්සට තියෙන මන්දෝර් එක්ස්ප්‍රස් කෝච්චියෙන් මම නවදිල්ලි යන්න ඕනෙ පහුවෙනිදා ලංකාවට යන්න . ඉතින් උදේ නවය වෙනකොට ලහි ලහියේ ලෑස්ති වුණා ජෝද්පූර් සිරි විසිතුරු බලන්න යන්න . ඌෂට කාර්යාලයේ රාජකාරි වැඩ යෙදිල නිසා මම එයාව ටුවර් ගයිඩ් කමින් නිදහස් කලා .ඒ වෙනුවට මග පෙන්වන්න එයාගේ නංගි සෝණු කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා . ගමන පිටත්වෙනකොට උදේ දහය විතර වුණාට තද හිරු එලියෙන් මුලු නගරයම බබලනවා. ජෝද්පූර් ‘සන් සිටි' කියලා හඳුන්වන්නේ මේ නිසා වෙන්න ඕනෙ.


සෝණු රික්ශෝ රියදුරන් සමග හෙට්ටු කරමින් කොහොම හරි මාව ජෝද්පූර් නගර මාලිගාවට එක්කගෙන ගියා .”උමේඩ් භවන්” කියල හඳුන්වන මේ සිටි පැලස් එක තියෙන්නෙ ජෝද්පූර් නගර මායිමෙන් කිලෝමීටර දෙකක් විතර ඈත පොඩි කඳු ගැටයක .මහරාජා "උමේඩ් සිං" විසින් දහ නවවැනි ශතවර්ෂයේ (1929-1943 ) ඉදිකෙරුව මේ මාලිගාව ඉන්දියාවේ විතරක් නෙවෙයි ලෝකයෙත් අති නවීන මාලිගා අතරට එකතු වෙනවා.


මුලින්ම මම ඇතුල් වුනේ "සභා නිවාස්" ශාලාවට .මේ මහා මන්දිරයේ ආකෘතියක් සහ එහි හිමිකරුවන් වූ මහරාජා වරුන්ගේ ඉතිහාසය , ජීවන පුවත් හෙලිකරන අගනා ඡායාරූප , ගෘහ භාණ්ඩ එකතුවක් මෙහි තියෙනවා. Henry Voughn Lanchester කියන එංගලන්ත ජාතික ගෘහ නිර්මාණ ශිල්පියා අතින් නිමවුන මේ මාලිගාව ගොඩනැගීම් කටයුතු වලට පන්දාහක් විතර සේවකයො සහභාගි වෙලා තියෙනවා . කාමර 300කට වැඩි මෙහි විසාල මැද මිදුල් කීපයක් තියෙනවා. මාලිගාවේ ගොඩනැගීම් කරලා තියෙන්නෙ කහ පැහැති විශේෂ ගල් වර්ගයකින් . බදාම යොදාගෙන නැහැ බිත්ති බඳින්න . හැම කාමරයකම උෂ්ණත්ව පාලනය කරන ස්වභාවික ක්‍රමයක් අනුගමනය කරලා තියෙනවා .පෝලන්ත ජාතික ශිල්පියෙක් මාලිගාවෙ ඇතුලත අලංකරණය කරලා තියෙන්නෙ . මහරාජා වරු පරිහරණයකල බඩු භාන්ඩ ඔවුන්ට විවිධ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් ලද තෑගි ප්‍රදර්ශනයට තබා තිබුණා . මේ මාලිගාවේ ඇති සියලු අංගෝපාංග ප්‍රකට කල කරුණක් වුනේ මේ නව පරම්පරාවේ මහරාජා වරු බ්‍රිතාන්‍ය සමග ඉතා කිට්ටු සම්බන්ධකම් පවත්වපු වග . මුලු මාලිගා බිම අක්කර 26 විතර වෙනවා. අලංකාර තණබිමකින් යුත් උද්‍යාන බිමක මාලිගාව පිහිටල තියෙන්නෙ . මාලිගාවෙ එක් කොටසක් බොලිවුඩ් හා හොලිවුඩ් නලුනිලියන් නවාතැන් ගන්න සුඛෝපභෝගී හෝටලයක් බවට පත් කරලා. කොහොම වුණත් මම දුටු නගර මාලිගා තුනෙන්ම මම වඩාත් කැමති අතීත ශ්‍රී විභූතිය විදහාපාන උදයපූර් මාලිගාවට.


"උමේඩ් භවන් "වලින් සමුගත්ත මම ඊලඟට ගියේ "මෙහෙරාන් නගර්" බලකොටුව බලන්න . මේ බලකොටුවට පිහිටල තියෙන කඳුගැටයට යන්න තියෙන්නෙ ජනාකීර්ණ පටු පාරක් දිගේ . පාරදිගේ ඉදිරියට යනකොට මේ අති දැවැන්ත නිර්මාණය ක්‍රමයෙන් දිවෙනවා. බලකොටුවට ඇතුල් වුනහම එහි විශාලත්වය දුටු මට ඇස් අදහාගන්න බැරුව ගියා . තනිකර ගඩොලෙන් නිමවූ අහස උසට නැගුණ මහල් තල විසාල ගණනක් සහ අලි ඇතුන්ට වුවත් ඇතුල් විය හැකි දැවැන්ත ද්වාර හතක් සහිත අරුම පුදුම බලකොටුවක් . මේ ජෝද්පූර් වල ජය භූමිය සහ හදවත කිව්වොත් නිවැරදියි.


ජෝද්පූර් නුවර ගොඩනැගුව රතෝර් වංශයට අයත් වීරයෙක් වුන "රාඕ ජෝදා" විසින් තමයි මේ බලකොටුව ඉදිකිරිම පටන්ගත්තේ . ඒ 1459 දි.නමුත් මෙහි බොහෝ ඉදිකිරීම් නිමාකරල තියෙන්නෙ මහරාජා "ජස් වන්ත් සිං" විසින් දහසයවෙනි ශතවර්ෂයේදි. බලකොටුවෙ තියෙන ද්වාර හත හන්දුන්වන්නේ ජයග්‍රහණයේ ද්වාර (Jaya Poles -Victory Gates ) කියලා. ඒ ජෝද්පූර් වැසියන්ගේ අතීත යුධ ජයග්‍රහණ සිහි ගන්වන්න.


මෙතැන දෙස් විදේ සංචාරකයන් බොහෝදෙනෙක් ඇදී එන ජනාකීර්ණ හරිම සජීවී තැනක්. මධුර ස්වරයෙන් ගැයෙන් රාජස්තාන් ජන ගී අහන්න නම් මේ බල කොටුවට එන්න ඕනෙ . විසාල බෙරයක් හා නලාවක් වාදනයකරමින් මුනුණේ සුන්දර සිනහවකින් ජන ගී ගයන ගායකයාගේ රිද්මයට නටන්නෙ නැතුව ඉන්න මට බැරිවුණා. සෝණු තවමත් මට මේ ගැන විහිලු කරනවා. හිතේ හැටියට ඡායාරූප ගනිමින් පැරැණි ගඩොල් අතර මට කිමිදෙන්න දීලා සෝණු හිනාවෙවී බලාගෙන හිටියා ,බලකොටුව බලන්න ආව පාසලක පොඩිත්තෝ පෙලකගෙ රූ සටහන් කැමරාවට හසු කරගත් මම ඒවා ඔවුන්ට පෙන්වමින් සතුටු වුණා.ඒ අතරෙ ඇතුලෙ ඉන්න සපත්තු වෙලෙන්දෙක්ගෙන් රාජස්තාන් චපල්ස් ජෝඩුවකුත් ගත්තා. මේ බලකොටුවේ විශේෂ මතු මහල් තල කීපයක් තියෙනවා . ඒ මෝටි මහල් (pearl gallary) , ශිශ් මහල් (mirror gallary) , පූල් මහල් (flower gallary) සහ මහරාජගේ වාස භවන . මේ හැමතැනක්ම එකකකට එකක් නොදෙවෙනි රන් රිදී මුතු කැටයම් වලින් ඔප වුණ පැරැණි කලා ශිල්පීන් ගේ දස්කම් විදහ දක්වන සුන්දර නිර්මාණ . ඒ වගේම මහ විසාල ආයුධ ගැලරියක් , අතීත සිතුවම් එකතුවක් සහ තලප්පා ගැලරියක් මෙහි තියෙනවා. ඉන්දියාවේ සංචාරක කර්මාන්තය කොයි තරම් දියුණුද කිව්වොත් මෙහි එන සංචාරකයන්ට බලකොටුවේ හැම තැනක් ගැනම හෙඩ්ෆෝන් උපකරණ පාවිච්චි කරලා විස්තර දැනගන්න ක්‍රමයක් බලකොටුවෙ තියෙනවා. බලකොටුවේ ඉහලම මාලයේ බැල්කණියට ගිහින් ජෝද්පූර් නුවර නරඹද්දි මට හිතුනෙ මහරාජා සහ රාණි වරුන්ගේ අතීත කතන්දර ගොඩක් මේ මහා බලකොටුවේ පැරණි ගඩොල් අතර සැඟවිලා ඇති කියලා. ඒ වගේම අපේ ආසියාතික කලා ශිල්පීන් මොනතරම් දක්ෂ මිනිස්සුද කියන එකට මේ බලකොටුව හොඳ සාක්ෂියක්. ඇත්තටම මෙතනෙ හොඳින් බලන්න නම් මුලු දවසක්ම ඕනෙ. ඉර බැහැගෙන යන හැන්දෑවට මෙතැන හරිම ලස්සනයි කියලා සෝණු කිව්ව.


මෙහෙරාන් නගර් බලකොටුවට මම සමු දුන්නේ අකමැත්තෙන් .තව ටිකක් ඉන්න හිතුනත් අයේ හවස ජෝද්පූර් වලින් යන්න ලෑස්ති වෙන්න ඕනෙ. ආයෙමත් නගරෙට ගිහින් ප්‍රියා තාලි රෙස්ටුරන්ට් එකෙන් ලොකු රාවන් දෝස එකක් කාලා ලැසී වීදුරුවකුත් බීලා සෝණුට පොඩි තැග්ගකුත් අරන් ජෝද්පූර් නගර සිරි විසිතුරු බැලීම නිමා කරලා එනකොට හවස දෙකහමාරට විතර ඇති .


දැන් ඉතින් දිල්ලි යන්න සූදානම් වෙන්න ඕනෙ. ඔක්කොම බඩු මුට්ටු බෑග් එකට අහුරලා , නාලා , ටිකක් විවේක අරගෙන , සේරම පොටෝ ලැප් ටොප් එකට දාගත්තා. ‍යෝගේශ් ජී ඇතුලු කාර්යාලයේ හැමෝම එක්ක ආල්ලාප සල්ලාපයේ යෙදුන . මොකද ඊට කලින් දවසෙ මට ඒ අය කා එක්කවත් කතාකරන්න බැරි වුණානෙ . අපි ඔක්කොම හවස "කානා" අවන්හලෙන් ගෙනාව රස කැවිලිත් එක්ක ලංකාවෙන් ගෙනාව තේත් බිව්ව . ඒත් මගේ ජල්දී ජල්දී මිතුරිය ඌෂා තවම නැහැ. ඔන්න හවස පහමාරට විතර හති දාගෙන එයා එනවා . මම හවස යන නිසා ගොඩක් කලබල වෙලා. මට රාජස්තාන් ඔටු පවුලකුයි , දම්පාට ලස්සන කුරුතා රෙද්දකුයි තෑගි හැටියට ඌෂා ගෙනැවිත් තිබුණා. මගෙ ගමන් මල්ලෙ ඉඩ නැති නිසා ඔටු පවුල රෙදි උරයක දාල ගමන් මල්ලෙම ගැට ගහගත්තා. "දැන් නම් ඔයා නියම රාජස්තාන් වැසියෙක්" කියලා යෝගේශ් ජී හිනා වුණා.


මම ආයෙත් ඒ හැමෝටම ස්තුති කලා මට අමතක නොවෙන නිවාඩුවක් දුන්නට . ඌෂ , යෝගේශ් ජී එක්ක එයාගෙ වැගන් ආර් කාර් එකෙන් මාව ජෝද්පූර් ඉස්ටේසමට ඇරලවන්න ආව . සෝණු , රාජා එක්ක මෝටර් සයිකලෙන් ආවා. . මන්දෝර් එක්ස්ප්‍රස් කෝච්චිය නියමිත වේදිකාවෙ විනාඩි විස්සකට කලින් නතර කරලා තියෙනවා. මට ඔනෙ වුණා ඒ හැමෝම එක්ක පොටෝ එකක් ගන්න . ඒත් සෝණුත් , රාජත් ප්‍රමාදයි. ‍යන්තම් කෝච්චිය අද්දන්න ඉස්සර ඒ දෙන්න මොනවදෝ මල්ලක් උස්සගෙන ආවා. "මේ රස කැවිලි ඔයාට . සමු ගන්නකොට රස කැවිලි දෙන එක අපේ සිරිතක්" . යෝගෙශ් ජී ජන්තා ස්වීට් එකෙන් ගෙනාව රස කැවිලි මල්ලක් මගේ අතේ තිව්ව . ආයෙමත් ඔක්කොම සිප වැලඳගෙන සමු දුන්න මම කෝච්චිය අද්දන්න විනාඩි කීපෙකට කලින් පා පුවරුවට ගොඩවුණා. හැමෝම මට අත වනනවා. "කම් අගේන්" කියලා ඌෂා , රාජා සහ සෝණු කෑගහනවා. මම කෝච්චියේ සද්දෙ පරයමින් “කබි අල්විද නා කෙහෙනා” – නෙවර් සේ ගුඩ් බායි කියමින් ඔවුන් නොපෙනී යනතුරුම අත වැනුවා.


ප/ලි
මම අහස්ගව්වට ලිව්ව රාජස්තාන් සැරිසර මතක කතන්දර පෙල මෙතැනින් නිමාවට පත්වෙනවා. එදා මම මගේ මිතුරියට සමුදුන්නෙ නැවත උදයපූර් වලට එන පොරොන්දුවෙන් . ආයෙත් දවසක නිවී සැනසිල්ලේ රාජස්තානයේ රවුම් ගහන්න ඉඩ ලැබේවි කියලා මගෙ හිතේ කොනක පොඩි බලාපොරොත්තුවක් තියෙනවා.

Saturday, December 25, 2010

රාජස්තාන් සැරිසර මතක – ජල්දී ජල්දී ජායිපූර්


city palace Jaipur

City Palace Jaipur

Jantar mantar

Hawa mahal in the night
Jal Mahal






අපි ජායිපූර් වලින් බහිනකොට වෙලාව පහුවෙනිද උදේ පහමාරට විතර ඇති. අපේ නවාතැනට ගිහින් කෙටි නින්දකට පස්සේ ඉකමනට නැගිටලා ඇඳ පැලඳගෙන මේ ලෑස්තිය ජායිපූර් නුවර බලන්න යන්න .හරියටම උදේ නවය වෙනකොට කලින් දැනුම් දීලා තිබුණ ටැක්සි රියදුරා ආවා.ඌෂා එයාට ඔක්කොම උපදෙස් දුන්නා. අපි ඌෂත් යෝගේශ් ජීත් රැස්වීමට යන්න "ඉන්ධිරා ගාන්ධි පන්චායතී රාජ් මධ්‍යස්ථානයෙන් බස්සලා ජායිපූර් නගර මන්දිරය නරඹන්න යන්න පිටත්වුනා . ජායිපූර් රාජස්තානයේ වාණිජ අගනුවර .උද්යපූර් සහ ජෝද්පූර් වල නොදුටුව විසාල ගොඩනැගිලි , මංමාවත් ,වාහන තදබදය ,KFC අවන්හල් ජායිපූර් වල දැකගන්න පුලුවන් . ඒත් ඒ හැම එකක්ම අබිබවා ගිය රාජ්පුත් වරුන්ගේ අභිමානයත් මේනුවර රැඳිලා තියෙන වග මම දැක්කා. ජායිපූර් ප්‍රසිද්ධ පින්ක් සිටි , රෝස නගරය නමින් . ඒකට හේතුව දහ අටවන සිඅවසේදී විතර මේ නුවරට ආව එංගලන්ත රජපවුලේ සාමාජිකයෙක් පිලිගන එවකට හිටිය මහරාජා මුලු නුවරම බලකොටු තාප්ප රෝසපාටින් පාටකරවපු නිසා.
ජායිපූර් නගරය ඉදිකෙරුවෙ දාහත්වෙනි සියවසේ දී එවක සිටි දෙවැනි ස්වායි ජායි මාන් සිං මහරාජා විසින් . වාස්තු විද්‍යාව , තාරකා සාස්ත්‍රය , සහ ගණිතය පදනම් කරගෙන ඔහු මේ නුවර ගොඩනැගූ බව තමයි ඉතිහාසයේ ලියවී තියෙන්නෙ .




ප්‍රධාන වීදිය දිගේ ජායි පූර් කෞතුකාගාරය පසුකරගෙන ජායිපූර් සිටි පැලස් , නගර මාලිගා චතුරශ්‍රයෙට ආවා. මහ විසාල මාලිගා අංගණයකට මැදිවුණ සභා සාලා , පරිවාර මාලිගා සහ , කෞතුකාගාරයක් එහි තිබුණා. නුවර වැවේ වලාකුලු බැම්ම සිහිගන්වන වලාකුලු හැඩැති ආරුක්කු සහිත දැවැන්ත පිවිසුම් ද්වාර මගෙ සිත් ගත්තා . මැද පිහිටි සාලාවක ජායිපූර් මහරාජා වරුන් පරිහරණය කල කඩු, කිණිසි, තෝමර , හෙල්ල , තුවක්කු වලින් සමන්විත ආයුධ එකතුවක් ප්‍රදර්ශනයට තබා තිබෙනැවා. ඒ එක්කම ටෙක්ස්ටයිල් ගැලරියක ඔවුන් පරිහරණය කල මල් ලියකම් වලින් අලංකාර වූ ඇඳුම් ආයිත්තම් සංරක්ෂණය කරලා තියෙනවා.මේ තැන් දෙක සංචාරකයන් ගේ සිත් ඇදගත් ස්ථාන .ගොඩක් විදේශිකයන්ට රාජස්තාන් වරුන් පලඳින වර්ණවත් තලප්පා කුහුල දනවන දෙයක් බවට පත්වෙලා . ඒ නිසා ඔවුන් වෙනුවෙන් තලප්පාව පලඳින හැටි කියා දෙන ටර්බන් ඩෙමොන්ස්ට්‍රේශන් එහෙමත් මාලිගාවේ සේවකයන් සිදුකරනවා . මාලිගාව පුරාඅ ඇවිදලා හති වැටුණ මම මහ විසාල මාලිගා අංගණයේ බංකුවක් උඩ වාඩිවෙලා මේ දිහා බලගෙන හිටියෙ පුදුම විනෝදෙන්.සමහර විදේශිකයො තලප්පාව පැලඳගෙන ඡායාරූපත් ගන්නවා.


වට පිට බලනකොට තමයි දැක්කේ මාලිගා පරිශ්‍රය ඇතුලෙ එක පැත්තක තියෙන ඇඳුම් ,අත්කම් භාණ්ඩ එහෙම අලෙවි කරන සාප්පු පෙල . මටත් කුහුලක් ඇතිවුණා ඒ පැත්තෙ කැරකෙන්න . විදේශිකයන් වෙනුවෙන් තියෙන මේවයේ බඩු මිල අධික වග ඌෂා මට කලින්ම කියලා තිබුණේ . එක සාප්පුවකට ඇතුල්වුණ මට අන්තිමට සිද්ධවුනේ සාපුව අයිතිකාරයත් එක්ක කතාවට වැටෙන්න . අන්තිමට මගේ ආගිය තොරතුරු විස්තර කරලා රාජකාරි කාඩ් පතකුත් දෙන්න වුණා. මේ සාප්පු හිමියාගේ නම "ඕම්". මට උවමනා එහි ඇති ඇඳුම් මෝස්තර බලන්න විතරයි කියලා කිව්වත් "ඕම්" නොපැකිලී ඔහුගේ සාපුවේ තියෙන බොහෝ සාරි සහ කුරුතා මට පෙන්වමින් ඒවයේ විස්තර වර්ණනා කලා . ඒ අතරේ මට චායේ බොන්න කියලත් ඇවිටිලි කලා . අන්තිමට චායේ කෝප්පෙකුත් හිස්කරලා ,පසුම්බියෙන් ඉන්දියන් රුපියල් දෙදාහකුත් වැය කරලා අම්මටයි , පොඩි නැන්දටයි සාරි දෙකකුත් , මට කුරුතා දෙකකුත් අරගෙන තම්යි සාප්පුවෙන් පිටවුනේ . මට ඔටු රංචුවක් ඉන්න ට්ෂර්ට් එකකුත් නොමිලෙ ලැබුනා. කොහොමද කස්ටමර් කෙයාර් වල තරම .


නගර මාලිගාවෙන් පිට වුණ මම ඒ අසලම තියෙන ලෝක උරුමයක් හැටියට නම් කරලා තියෙන "ජන්තර් මන්තර්" බලන්න ගියා . මෙතනෙ පුදුම උපදවන තැනක් . ග්‍රහ තරු විශ්වය ගැන කියාදෙන අතීත කලෙ ග්‍රහ ලෝකාගාරයක් වගේ තැනක් . අක්ෂාංස , දේශාංස පිහිටීම මනින ලොකු තැටියක් වගේ රවුම් උපකරණයක් , හිරු පෘථුවිය වටා ගමන් කිරීමේදී ශෘතු අතිවෙන ආකාරය , පෘථුවි බ්‍රමණය සමග පායන තරු රටා , රාශි චක්‍රය ගැන කියන උපකරණ ගොඩක් මෙහි තිබුණා. ජායිපූර් මහරජා වරු ග්‍රහ තරු ශාස්ත්‍ර ගැන ගොඩක් උනන්දුව දැක්වුව පිරිසක් කියලා මම මුලිනුත් කිව්වනේ .ඒ කිට්ටුවම තිබුණ පොත් හල වෙත මගේ සිත ඇදී ගියේ නිතැතින්ම . මේ පොත්හලේ කැරකිලා පොත් පිටු අතරේ රාජස්තානයේත් , රාජ්පුත් වරු සහ ජායිපූර් වල තොරතුරු සොයන්නත් ටික වෙලාවක් ගත්තා.ජායිපූර් මහරාජ වරු පෝලෝ ක්‍රීඩාවේ අති දක්ෂයන් වග මේ පොත් වලින් තමයි මම දැනගත්තේ .රාජතානයේ ගැමි දිවිය විදහා දැක්වෙන වර්ණවත් ඡායාරූප එකතුවක් සහිත පොත් මගේ හිත ගත්තත් ඒ ගැන ආසාව අතාරින්න වුණේ මිල වැඩි නිසා . රාජස්තාන් ජන ගී සහිත සී ඩී තැටියක් නම් ගන්න අමතක කලේ නැහැ.


හිතේහැටියට හැම තැනකම රවුම් ගහලා අන්තිමටම තීරණයකලා නගර මාලිගා චතුරශ්‍රයෙන් සමුගන්න . කාර් පාක් එකට යන්න තියෙන්නෙ ජනාකීර්ණ වීදියක් දිගේ . කඩල කාරයන් , අශ්ව කරත්ත කාරයන් , රික්ශෝ කරුවන් , විසිතුරු බඩු වෙලෙන්දෝ, මේ පාරදිගේ වැහි වැහැලා. මට මතක්වුණේ ගමේ පොලක්.එතන රූකඩ විකුණන මන්නුසයෙකුගෙන් මහරාජා සහ රාණිගේ රූකඩ දෙකකුත් අරගෙන මගේ කුලී රථය ගාවට ආවහම රියදුරා හිනාවෙනවා රූකඩ දෙකකුත් උස්සගෙන එන මම දැකලා.


“මැඩම් ඌෂාජී එස් .එම් .එස් , කෝල් “ කියල රියදුරා කිව්වා. ඔහුට ඌෂා එවලතිබුණ කෙටි පණිවුඩ පෙන්නුවා. මීටිමේ ඉන්න ගමනුත් ඌෂා මා ගැන වදවෙනවා. ඉතින් දන්න හින්දි කලවම් කරලා මම රියදුරාට කිව්ව “බොලෝ මැඩම් ජී මෙරා බොහොත් අච්චා” කියලා .රියදුරා ඌෂගේ උපදෙස් අකුරටම පිලිපැද්ද නිසා ඉසෙල්ලම දවල් කෑමට මාව “කානා” අවන්හලට එක්කගෙන ගියා. ඊලඟට මීටිම ඉවරවෙන වෙලාවට ආයෙත් “ඉන්ධිරා ගාන්ධි පන්චායතී රාජ් “මධ්‍යස්තානයට ගියේ ඌෂත් , යෝගේශ් ජීත් එකතුකරගන්න ..අපි ආයෙත් අපෙ නවාතැනට ගිහින් ටිකක් මහන්සි ඇරලා හවස සාප්පු සවාරියක් ගියා . එන අතරමග “ජල් මහල් “ මන්දිරය නරඹන්න අමතක කලේ නැහැ. "ජල් මහල්" ලොකු විලක් මැද තියෙන පැරණි මාලිගාවක් . හවස් කාලයේ මෙතැන හරි ලස්සනයි . නගරයේ බොහෝ දෙනෙක් විවේක ගන්න එන තැනක් .කඩල කාරයො, චායෙ විකුණන මිනිස්සු , මණි බඩු වෙලෙන්දො පිරිලා ඉන්න තැනක් . අපි චායේ බීල , කඩල කාලා ටිකක් මහන්සි ඇරලා ආයෙත් නවාතැනට පිටත්වුණා. එන තරමග සුන්දර “හවා මහල “ විදුලි ආලෝකයෙන් බැබලෙනවා. පුදුම ලස්සනක් . මේත් නගර මාලිගාවෙ කොටසක් කියලා ඌෂා කිව්වෙ . හිතේ හැටියට "හවා මහල්" වල ඡායාරූප ගත්ත මම ඌෂත් යෝගේශ් ජීත් එක්ක එදා රෑ දහයට විතර ජායිපූර් නුවරට සමුදීලා ජෝද්පුර් බලා යන කෝච්චියට ගොඩවුණා. මේ ගමනෙදී මට "ඇම්බර් බලකොටුව" බලන්න බැරිවුණේ හදිස්සියෙන් ආව ගමනක් නිසා . ඔන්න ඔහොමයි මම "දඩි බිඩි "වේගෙට එහෙම නැත්නම් ඌෂා කියනව වගේ "ජල්දී ජල්දී "කියලා ජායිපූර් නුවර බැලුවෙ.




ප/ලි


ඔන්න කාලෙකට පස්සේ බ්ලොග් ලියන්න ඉඩ ලැබුණේ අද නත්තල් නිවාඩුව දවසේ . මේ බ්ලොග් සටහන තමයි මගෙන් ඔයාලට දෙන නත්තල් තෑග්ග. අහස්ගව්වට එන යන කාටත් ප්‍රීතිමත් සුබ නත්තලක් ප්‍රාර්ථනා කරනවා !!!!

Sunday, November 7, 2010

රාජස්තාන් සැරිසර මතක -උදයපූර් -ජෝද්පූර් මග සිරි විසිතුරු

Villagers
women on the way to a festival

Our Chaye stop - Making Kachori


A man holding his calf




අපේ ඔරිජිනල් ප්ලෑන් එක තිබුණෙ නම් පහුවෙනිද උදේ පාන්දරිම ජෝද්පූර් පිටත්වෙන්න. ඒත් කාරණා කීපයක් නිසා ප්ලෑන් එක වෙනස්වුණා. ගමන යන්න කලින් අපේ රියදුරු තැනට සිද්දවුනා කලින් දවසෙ පැච් එක ගිය රෝදෙ අලුත්වැඩියා කරගන්න . උදයපූර් ඉඳලා ජෝද්පූර් යන්න පැය නවයක් විතර යනවා . අලුතෙන් ඉදිවුණ හයි වේ එකක් වුණත් තවම ඔක්කොම වැඩ සම්පූර්ණ නැති නිසා අපේ ගමන් මාර්ගය තරමක් දුෂ්කර බව තමයි ඌෂා කිව්වේ.ඒ නිසා වාහනේ හොඳ තත්වෙන් තිබීම වැදගත්නේ. දුර ගමනක් නිසා අපිට රියදුරු තැනකුත් ඔනෙ වුණා.අපිත් එක්ක ජෝද්පූර් යන්න ඌෂගේ නංගි සෝනු සහ මල්ලි රාජාත් එක්වුණා.


පැච් එක අලුත් වැඩියා කරගෙන අපි පිටත්වෙනකොට දවල් එකොලහට විතර ඇති. උදයපූර් වලට ආයුබෝවන් කිව්ව මම ජෝද්පූර් ගැන සිහින මවමින් හිටියා.ටිකෙන් ටික නගරයෙන් ඈත්වුන අපි කඳුකර මිටියාව තණබිම් වලින් වැසුණ ගම්බද රාජස්තානය වෙත යමින් සිටියා.කඳුකර තණ බිම් වල උලාකන ගවයන් ,එලුවන් සුලබ දසුන් වුණා. හරක් රන්චු වලට තණ කවමින් ගස් සෙවනැලි වල සුව පහසුවෙන් ඈඳිගෙන සල්ලාපයේ යෙදී ඉන්න ගැහැනු , වැඩිහිටි පිරිමි , ලමයි දුටු විට මට හිතුනේ මොන තරම් නිදහ ජීවිතද කියලා . අපිට වගේ හැල්මේ දුවන ජීවිත නැති වුනත මේ ගම්බද මිනිස්සු අපිට වඩා සතුටින් හීල් හෙවනේ ඉඳන් ජීවිතේ රස විඳිනවා වෙන්න ඔනේ . අපි ඉතින් දවස පුරාම කාර්යාල , ඉන්ටර්නෙට් , බ්‍රෝඩ් බෑන්ඩ්, මොබයිල් ෆෝන් අතරේ ජීවිතේ හිරකරගෙනනේ ඉන්නෙ .


අතරින් පතර ගම් මන්ඩි පහුවෙනවා. මැටි ගෙවල් වල පිල් උඩ පොඩි ලමයි සෙල්ලම් කරනවා. වයසක උදවිය ඇනබාගෙන කයිවාරු ගහනවා. මේ පාර දිගේ යද්දි දැක්ක සුන්දරම දසුන් තම්යි වර්ණවත් බන්දානි සාරි වලින් සහ තලප්පා වලින් සැරසුණ රාජස්තාන් ගැහැණු සහ පිරිමි .මේ මිනිස්සුන්ගේ වර්ණ රටා නම් හරි පුදුම සහගතයි . ගම්බද රජසතානය පුරාම රතු, කොල , කහ ,දම් , නිල් වගේ වර්ණ රටා වලින් ඔප වුන සාම්ප්‍රදායික සාරි වලින් සැරසිලා දරමිටි ,හිස තියාගෙන , එහෙම නැත්නම් කලගෙඩි අතින් අරගෙන යන ගැහැණු හරිම සුලබ දසුනක් .මේ හැම දසුනක්ම කැමරා ගතකරගන්න මට තිබුණේ පුදුම ආසාවක් . ඒනිසා නිතරම රියදුරු තැනට වාහනේ වේගය අඩුකරන්න කියන්න මට සිදුවුණා. මගේ අදහස් දන්න රි‍යැදුරා මැඩම් පොටෝ කියල සමහර අවස්ථාවල මට සොඳුරු දසුන් පෙන්වුවා.


අපි පහුකරගෙන යන පාරේ කොටසක් කඳුකර වනපෙත මාර්ගයක් වුණා. සෙවණපිරුණ ගසින් හා ගලාබසින දිය පහර වලින් ඒ පෙදෙස හැඩ වෙලා.මම අහල තිබුණේ රාජස්තාන් කියනේ ථාර් , බාමර් වගේ කාන්තාර බහුල වියලි කඳුකරයක් කියලා .ඒත් මේ වන පෙත් දකිද්දී රාජස්තාන් කියනනේ වියලි නිසරු කඳුකරයක් නොවන වග මට තේරුණා.
අපේ රියදුරාගේ අදහස වුණේ මාර්ග තදබදය නැති ගම්බද පෙදෙස්වලදි හොඳට පාගල යන්න ඔනෙ කියලා.එහෙම වුණොත් විතරයි අපිට රෑ වෙන්න කලින් ජෝද්පූර් යන්න පුලුවන් වෙන්නෙ . ඒත් ඉතින් පොටෝ ගන්න තියෙන පිස්සුව නිසා මට ඒක නිතරම අමතක වෙනවා. ඉතින් මාව ඉක්මන් කරන්න උෂා "ජල්දී, ජල්දී " කියනවා. ඒකෙ අදහස ඉක්මන් කරන්න කියන එක . ඉතින් මම එයාට නමක් දැම්ම ජල්දී ජල්දී ටුවර් ගයිඩ් කියලා.


ගම් මංඩි පහුකරලා අපි ජනාකීර්ණ නගරබද පෙදෙසකට ආවා. එතකොට හවස තුනට විතර ඇති . දවල්ට කන්න මතක්වුණේ එතකොට.අපේ රියදුරත් උෂගෙ මල්ලි රාජත් ලොකු උත්සාහයක් ගත්තා මට බත් කන්න පුලුවන් තැනක නතර කරන්න . ඉතින් දෙතුන් පලකම ව්පරම් කරලා අන්තිමටම හොයාගත්තා බත් කඩයක්. එක වැඩි විච්චූරන නැති පොඩි කෑම කඩයක් . ලොකු සිමෙන්ති කල දෙකකට වතුර පුරවලා තියෙනව බෙලෙක් කෝප්ප දෙකක් එක්ක . එකකින් අත හෝදනවා . අනික් එකෙන් වතුර බොන්න පුලුවනි හැබැයි කටේ නොගෑවෙන්න උඩ බලාගෙන වතුර උගුරට හලාගන්න ඔනෙ. මාත් අනිත් අය වගේ අත් හෝදලා , මූණටත් වතුර ටිකක් ඉහගෙන වතුර උගුරකුත් කටට හලාගෙන බංකු පොඩ්ඩකුත් ලංකරගෙන ජෑම් ගස් හෙවනේ අපිට කෑම කන්න ලෑස්ති කරල තිබුණ මේස කෑල්ලෙන් වාඩිවුණා. උණු බතුය් , පරිප්පුයි , පෙති කපපු රටළුණුයි , අමු මිරිස් කරලුයි දැක්කම මගේ මූණේ ඇඳුණු හිනාව දැකල ඔක්කොටම හරි හිනා.


දවල්ට කෑමකාල ගමන පිටත්වුණහම කවුරුත් ටිකක් නිදිකිරා වැටෙනවා. අපේ රියදුරානම් පාගල යනවා. අපිව පහුකරගෙන අධිවේගෙන් ලොරි සහ ට්‍රක් රථ ඇදිලා යනවා . ඒ හැම වාහනේකම පිටිපස්සේ "හෝන් ප්ලීස්" කියලා ඉංග්‍රිසියෙන් ලියලා තියෙනවා.ඔය අතරේ ඌෂගේ ජංගම දුරකතනයට වලින් වර කෝල් එකක් එනවා ඒත් සිග්නල් හොඳ නැති නිසා කෝල් එක කට් වෙනවා.අන්තිමට රියදුරා වහනේ නතරකරා කෝල් එක ගන්න. පණිවුඩය ඌෂගේ ආයතන ප්‍රධානියා යෝගේශ් ජී ගෙන්. පණිවුඩේ විදියට ඌෂට එදාම රාත්‍රියේ ජෝගේශ් එක්ක ජායිපූර් යන්න වෙනවා පහුවදා උදේ ජායිපූර් වල ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ වැදගත් රැස්වීමකට. ඌෂ කලබල වෙලා අපේ සේරම ජෝද්පූර් සැලසුම් වෙනස් වෙන නිසා. අපි ජායිපූර් යන්න සැලසුමක් තිබුනේ නැහැ. ඒත් මේක හොඳ අවස්ථාවක් මට ජායිපූර් නරඹන්න . මම කියාහිටියා එදා රෑ ජායිපූර් ගමනට මාත් එක්වෙන බව . "ඊයෙත් එලිවෙනකන් කොච්චියෙ ඇවිත් ඔයාට මහන්සියි , ජායිපූර් කෝච්චිය අද රෑ දහයට පිටත්වෙන්න. අපි ජෝද්පූර් වලට යනකොටත් රෑ හත විතර වෙනවා.කවුද ඔයා එක්ක ජායිපූර් ඇවිදින්න යනේ , අපි මීටිමේ ඉන්නකොට ? , ඇරත් බාබරි මස්ජිද් නඩුවෙ තීන්ඩුව හෙට දෙන නිසා ඉන්දියාව පුරාම කලබල ඇතිවේවි කියලා රජය අනතුරු අඟවලා තියෙනවා, ඒ නිසා ඔයා ජෝද්පූර් ඉන්න " කියමින් ඌෂත් , යෝගේශ් ජීත් මාව වලක්වන්න හැදුවත් මම එක හෙලාම කියාහිටියා ඒදෙන්න එක්ක ජායිපූර් යන්න ඔනෙ කියලා. මම ඌෂ අස්වසමින් කිව්ව "බයවෙන්න එපා කිසි කරදරයක් වෙන්නෙ නැහැ , ඔයලා ජායිපූර් වලදී ගමන් යන දන්න කියන ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් මට සොයලදෙන්න , ඔය දෙන්න මීටිමේ ඉන්න අතරේ මම එයා එක්ක ඇවිදින්න යන්නම් . ඒ නිසා මටත් යන්න ට්‍රේන් එකේ සීට් බුක් කරන්න , ඔය දෙන්න නවතින තැනකම මාත් නවතින්නම්" . ඔන්න ඒ ප්‍රශ්නෙත් විසඳුණා.


ටිකෙන් ටික හවස්වෙනවා.අපි ආයෙත් ගම් මංඩි අතරින් ඇදිලා යනවා. ආයෙමත් හරක් රංචු දක්කගෙන , දර මිටි ඔලුවෙ තියාගෙන යන ගෑණු මිනිස්සු දකින්න පුලුවන් . එක තැනකදී ගැමියෙක් එයාගේ හරක් රංචුවේ ඉන්න පොඩි වහු පැටියෙක් අත් දෙකෙන් වඩාගෙන යනවා පොඩි දරුවෙක් වගේ ."මෙහෙමත් ඉන්දියාවක්" කියලා මට කියවුණා. "තව පැයකින් විතර අපිට ජෝද්පූර් වලට යන්න පුළුවනි , තව ටිකක් ඉස්සරහට යනකොට කචෝරි බදින කඩපොලක් හම්බවෙනවා. එතන කචෝරි හරිම රහයි . එතැන ඉඳලා වැඩි දුරක් නැහැ ජෝද්පූර් වලට අපි එතන නවත්වලා චායේ බොමු " කියලා ඌෂ කියලා වැඩිවෙලාවක් නැහැ ආයෙත් "පංචර් හෝගයා" .ඉතින් මොනව කරන්නද ? රාජත් , රියදුරාත් ටයර් මාරු කරනකන් ඌෂත් මමත් දෙන්න පාරෙ කොනක වාඩි වෙලා කයිවාරුවක් ගැහුවේ පෙරලුන අත හොඳයි කියලා.ඔය ඔක්කොම කරගෙන කචෝරි කඩපොලට ලංවෙනකොට රෑ හතට විතර ඇති. එතන නම් නියමම ගැමි කම රැඳුණු කඩ පොලක් . තලප්පා බැඳගත්තු පිරිමි ලණු ඇඳන් උඩට වෙලා කය්වාරු ගහමින් චායේ බොනවා. කඩ පේලියේ මැටි ලිප් උඩ ලොකු ඇල්මිනියම් තාච්චි වල කචෝරි බැදෙනවා , කචෝරි පරිප්පු වඩේ වගේ කෑමක් නමුත් පොඩි ඇඹුල් රහකුත් තියෙනවා, චායෙ බොන්න කියාපු කෑමක් . හැම කඩේකම ලොකු ඇලුමිනියම් බේසන් වල බැදපු රට කජු , පකෝඩා, කඩල , ගාටියා පිරෙන්න තියෙනවා. උණු උණු කචෝරි ලැබෙනකන් මම අපේ රියදුරා දුන්න රටකජු අහුරක් හැපුවා.ඔය අතරේ වහලක් නැති පොඩි තුන් රෝද වෑන් එකකින් සිංන්දු කියාගෙන ගෑනු කට්ටියක් එලියට බැස්ස. එක්කෙනෙක් කචෝරි කඩේට යන අතරේ අනික් අය නොනැවතී සින්දු කිව්ව. "මේ කිට්ටුව ගමක ගෑණු අය වෙන්න ඕනේ , ඒගොල්ලො උත්සවයකට යනව වගේ , බලන්න ලස්සනට සාරි ඇඳගෙන ඉන්න හැටි . ඔය කියන්නෙත් උත්සව වෙලාවට කියන ජන ගීයක්" ඌෂා එහෙම කියනකොට මගේ දෙපා නොදැනුවත්වම ඒ දෙසට ඇදෙමින් තිඹුනා. ගෑණු නඩේට එක්වෙලා මම සින්දුවට ටිකක් නටන්න ගත්තා. ඒගොල්ලො ටිකක් පුදුම වුණත් සින්දුව නැවැත්තුවෙ නැහැ.පස්සේ ඌෂා එක්ක මොන මොනවදෝ කියද්දි ඌෂා මාව හඳුන්වලා දුන්න "සහේලි" කියලා. ඒ ගොල්ලො හැමෝටම හිනා. ආයෙත් ඌෂට එයාල මොනවදෝ කිව්ව . කට්ටිය හිතල තියෙන්නෙ මගේ කලිසම්යි ටී ශර්ට් එකයි ,කොට කොන්ඩේ නිසා "ලර්කා - කොල්ලෙක්" කියලා. හැබෑටම ලංකාවෙදි නම් මෙහෙම පාරෙ නටන්න බැහැනේ.මම එයාලගෙන් සමුගත්තේ හල්දිරාම් පැකට් එකකුත් එයාලට අරන් දීලා ඒගොල්ල කිව්ව ලස්සන සින්දුවටත් ස්තුති කරලා .


අපි ජෝද්පූර් වල ඌෂගේ කාර්යාලයට සේන්දු වෙනකොට රෑ අටහමාරයි. යෝගේශ් ජී අපි එනතුරු මග බලාගෙන හිටියා .ඇවිත් යෝගේශ් ජී එක්ක හරියට කතාකරන්න වත් ලැබුණේ නැහැ ඌෂා මාව ඔෆිස් එකේ නාන කාමරයකට තල්ලු කරලා "ජල්දී ජල්දී" කිව්වා. පැය නවයක විතර ගමනකට පස්සේ , පැයබාගෙකින් ආයේමත් ලක ලැහැස්තිවෙලා තව පැය අටක විතර කෝච්චිගමනක් යන්න මම පිටත්වෙනවා. "හරි නියමයි මේක තමයි මගේ ජීවිතේ හොඳම සංචාරේ . මෙහෙම නොනවත්වා ගමන් යමින් ,එක වාහනේකින් තව වාහනයකට මාරු වෙමින් පොටෝ ගනිමින් , නැටුම් නටමින් මම කවදාවත් ගමන් ගිහින් නෑ" කියලා ජෝද්පූර් ඉස්ටේසමට වෙල ජායිපූර් යන්න කෝච්චිය එනකන් ඉන්න අතරේ මම ඌෂටත් යෝගේශ් ජීටත් කිව්ව . ඒකට දෙන්නටම හරි හිනා .



Saturday, October 23, 2010

රාජස්තාන් සැරිසර මතක -උදයපූර් සිරි විසිතුරු

Woman selling corn
Lake Pichola and sunsetting

Jag Mandir in Lake Pichola


Rajanstan camel



Lake Pichola
Lake Fata Sagar





City Palace Udaipur






දයපූර් ඉස්ටේසමට පය තියලා වටපිට බැලුවා විතරයි මගේ මිතුරිය ඌෂා "උදපූර් වලට ආදරයෙන් පිලිගන්නවා " කියමින් දුවගෙන ඇවිත් මාව වැලඳගත්තා . හමුවීම් ,සිප වැලඳගැනීම් වලින් පස්සේ අපි දෙන්න එලියේ නවත්වලා තිබුණ එයාගේ වැගන් ආර් කාර් එකෙන් අපේ නවාතැනට පිටත්වුණා
තවම වෙලාව උදේ අටටවත් නැහැ.ඒත් හොඳට හිරු එලිය බබලනවා හරියට ගිනි මද්දහනේ වගේ ."ඇවිදින්න කියාපු දවසක්".මට ඉබේම කියවුණා . "ටිකක් ඉවසලා ඉන්න කියලා" ඌෂා හිනාවුණා.


අපේ නවාතැන්පොල වුනේ ජයින දරම් සාලාවක් . උදයපූර් ධනවත් ජයින් භක්තිකයන් ගොඩක් ඉන්න පලාතක්.මේ ඒ අයගේ විශ්‍රාම සාලාවක් . "මෙහේ ඉන්න ආරක්ෂාව ගැන බයවෙන්න ඕනේ නැහැ. මේ මිනිස්සු හරිම අවංක ප්‍රතිපත්තිගරුක අය . මම රාජකාරි වැඩවලට උදයපූර් ආවම නිතරම නතරවෙන්නෙ මෙතන" .ඌෂා මට කිව්ව.ඇත්තටම මෙතැන උදවිය හරි ප්‍රිය මනාපයි . කවුරුත් ඌෂා හොඳට අඳුනනවා . අපිට වෙන්වුණ කාමරය වැඩි විච්චූරණ නැති ඇඳන් දෙකකුයි ,ලියන මේසෙකුයි . පුටු කීපයක් සහ පිරිසිඳු නානකාමරයක් සහිත තැනක් . "මේ ඇති හොඳටම "කියමින් මම පුටුවකට බරදීලා සපත්තු දෙක ගලවලා වීසිකරලා කකුල් දෙක අනික් පුටුව උඩින් තියාගත්තා . එතකොටම අපිට චායේ දෙකකුත් ලැබුණා.


මෙහෙමත් නිදහසක්..... අපිදෙන්න එකතුවෙලා අවුරුදු දෙකක කතන්දර කියවමින් චායේ බොන්න පටන්ගත්තා .කොයිතරම් දේවල් කියන්න තියෙනවද අෆ්‍රිකාවෙදි හමුවුණාට පස්සේ .අපේ යාලුවෝ , රාජකාරි වැඩ ,ගෙවල් දොරවල් වල වගතුග ,මගේ කේරල ගමන ඔය ඔකෝම ගැන කියවල ඉවරවෙනකොට දවල් දහයට විතර ඇති. හිත පිරිල නිසාද කොහෙද උදේ කෑම නැහැ කියලා බඩගිණි දැනුනේ නැහැ.ඒ අතරේ මම උෂාට ගෙනාව තෑග්ගිත් ගමන් මල්ලෙන් එලිය ඇදලා ගත්තා. ලංකාවෙන් අරගෙන ගිය අත් යන්ත්‍ර රෙදි වලින් නිමවපු නිල් කොල සාරිය දැකලා එයා සතුටින් පිනා ගියා .ඒකත් පෙරවගෙන වටයක් කැරකිලා හැඩ බැලුවා . ගිය අවුරුදේ එයා මට රාජස්තානයට ආවේනික "බන්දානි සිල්ක් " සාරියක් දිල්ලියේ ඉඳලා ලංකාවට ආව යාලුවෙක් අතේ එවල තිබුණා.ඉතින් මම ඒකට කලගුණ සලකන්න ඔනනේ .


අපිදෙන්නට ආගිය කතා කියවන්න තව දවස් කීපයක්ම තියෙන වග මතක්වුණේ පස්සෙ. ඉතින් නාගෙන අලුත් ඇඳුමක් එහෙම දාගෙන ඔන්න උදයපූර් සිරි විසිතුරු බලන්න දෙන්න එක්ක පිටත්වුණා. යමින් ගමන් ලඟ තිබුණ පලතුරු යුෂ කඩේක නවත්වල ලොකු අන්නාසි වීදුරු දෙකකුත් බිව්වා. රස නියමයි. දඩින් බිඩින් ගාල අතික් කරකවන මැසිමකට අන්නාසි කෑලි දාලා විනාඩියට බීම හදලා දෙනවා යස අපූරුවට.


අපේ මෝටර් රථය නගයර මැදින් ඇදිල යද්දි මම නුවර සිරි විසිතුරු බලන්න පටන් ගත්තා.උදයපුර් නගරය නිර්මාණය කරල තියෙන්නේ මහරාජා (උදයපූර් වල නම් කියන්නේ මහ රාණා කියලා) "උදායි මාන් සිං" ඒ දහසයවෙනි ශතවර්ශයේදී. මෝගල් අධිරාජයන්ගෙන් මේ නුවර බේරගත්ත වීරයෙක් එයා. උදායි තැනුව නුවර උදය පුරය , උදයපූර් වුනා. උදයපූර් වැඩි කලබලයක් නැති පිරිසිඳු නගරයක් කියලා මට හිතුනා.නගරය වටේ කඳු වලල්ලක් තියෙනවා.


ඔය අතරේ අපි නගර සීමාව පහුකරලා මහා ජල තලයක් අසලට ආවා. මගෙ දෙවියනේ එතන පුදුම ලස්සනක් ...ඈතින් කඳු වලල්ලකින් වට වුණ නිල් කැටේට වතුර පිරිලා උතුරන රැලි නගන මහා සාගරයක්.. මහා ජල තලය පිසගෙන එන සුලඟ හරි සනීපයි .මම කාර් එකෙන් එලියට බැස්සා නෙවෙයි පැන්නා. "මේ පතා සාගර් විල , උදයපූර් වල හදවත කියලයි අපි කියන්නේ "ඌෂා හිනාවෙමින් කිව්වා. ඇත්තනේන්නම් මේ උදයපූර් වල හදවත කිව්වට වැරදි නැහැ. පවුල් පිටින් ඇවිත් විනෝදවෙන අය , තරුණ උදවිය , එහෙ මෙහේ දුවපනින සතුටුවෙන පොඩිත්තො ගොඩක් එතන හිටියා. ඒ වගේම හරි අපූරු දෙයක් වුණා .සමහර පවුල් වල උදවිය ගණ දෙවි ප්‍රතිමා සහිත පූජාවට්ටි ගෙනිල්ල මේ විලේ පාකරනවා. මේ ගණේෂ පූජා උත්සව දවස් කියලා ඌෂා කිව්ව."කලබල වෙන්න එපා විල වටේම අපිට යන්න පුලුවන්" කියලා එහෙ මෙහේ දුවමින් පින්තූර ගන්න මට එයා කිව්වා .


අපි තව ටිකක් ඉස්සරහට ගියා ,එතන හරිම ලස්සනයි .විලේ වතුර වාන් දානවා දිය ඇල්ලක් වගේ . රාජස්තානයේ ප්‍රකට ඔටු සවාරි යන්නත් මෙතැනදි පුලුවන් . ලස්සනට සැරසුව ඔටුවො කීපදෙනෙක් එතැන හිටියා. විලේ බැම්ම වටේම ඔටුවන්ගේ පින්තූර ඇඳලා තියෙන වග මට පෙන්නුවේ ඌෂා.එයා කාර් එක එතැන හෙවණ ගහක් යට නතර කලා .මම ගහ මුලින් වාඩිවුනේ මට පුදුම සතුටක් දැනෙනවා කියමින් .ගස් හෙවනේ කරත්තයක් නවත්වගෙන බඩ ඉරිඟු වෙලෙන්දියක් ඉරිඟු පුච්චනවා. එයා කරත්තෙට ගොඩවෙලා අඟුරු කබලක් ලඟ තියාගෙන ඉරිඟු පුච්චන අපූරුව මම බලාගෙන හිටියා.මගේ මිතුරිය අපිට ඉරිඟු මිලට ගන්න අතරේ ඇයත් එක්ක කතාවට වැටිලා. උෂා රාජස්තානයේ සමාජසේවා ආයතනයක ගොවියන් , කම්කරුවන්, වීදි දරුවන්, මුඩුක්කු වැසියන් එක්ක උරෙනුර ගැටෙමින් වැඩකරන කෙනෙක් නිසා මේ වගේ පුංචි මිනිස්සු එක්ක සතුටු සාමිච්චියේ යේදීම අරුමයක් නෙවේ . මම පලවෙනි වතාවටයි පිච්චුව ඉරිඟු කෑවෙ. ලුණුත්, දෙහිත් එකතු කෙරුව ඉරිඟු කරල හරි රසයි. වෙලෙන්දියට සමුදීල අපි යන්න හදනකොට එයා හිනාවෙලා තව ඉරිඟු කරලක් මට දුන්න .මම මුදල් ගෙවන්න හැදුවත් එයා එපා කිව්වා. ලංකාවෙන් ආව කෙනෙකුට කෙරුව ආගන්තුක සත්කාරයක් කියලයි එයා කිව්වේ.දුප්පත් වුනත් මේ මිනිස්සු කොයිතරම් ප්‍රසන්නද කියලා මට හිතුනා.


දැන් දැන් ඉර මුදුන්වෙලා ගිනියම් අව්ව. පතා සාගර් විල අසලම 'රජිව් ගාන්ධි අනුස්මරණ උද්‍යානයට අපි දෙන්න ගියේ ටිකක් හීල් හෙවනේ ඉන්න හිතාගෙන . එතනට ගියහම උදයපූර් නගරයත් ,කඳු වලල්ලත් ,මහ විසාල පතා සාගර් විලත් හරිම ලස්සනට පේනවා. අපි දෙන්න උද්‍යානයේ ගිම්හාන මන්දිරයකට වෙලා ආයෙමත් උදේ වගේ කතා බහක යෙදුනා.කාලෙ ගියේ නොදැනීම.සමාන අදහස් තියෙන ප්‍රියයන් සමග එක්වීම හිතට හරි සතුටක් . හවස දෙකත් පහුවෙලා හොඳටම බඩගිණි දැනුනම තමයි අපි එතැනින් නැගිට්ටේ.


එතනින් අපි ගියේ 'ෂුකදියා චතුරස්‍රයට".ලාබෙට, රසට කෑම කන්න අපූරු තැනක්.මෙතන අඩ කවයක ආකාරයට ආහාර පාන එවෙලෙම හදල දෙන අවන් හල් පෙලක් තියෙනවා. හැම අවන්හලක් ඉදිරියෙම ඉටිරෙදි හෙවණක ගනුදෙනු කරුවන්ට වාඩිවෙලා කෑම කන්න මේස පුටු පෙලක් තියෙනවා.මෙතැන විවේකයෙන්න ඉන්න කදිම තැනක්.පලතුරු, චායේ, රසවත් පානී පුරී අලෙවි කරන පොඩි පොඩි කඩපේලි ගොඩාක් තියෙනවා .උදයපූර් වල ප්‍රකට විද්වතෙක්ගෙ නමින් වෙන් වුණ "මෝහන් ලාල් ෂූකදියා" විශ්ව විද්‍යාලය තියෙන්නෙත් මේ කිට්ටුව.සරසවි සිසුන් නිතර යන එන තැනක් බව මට පෙනුනා. මම ඉතින් කොහොමහරි ප්ලේන් රයිස් පිඟානකුයි ,සාම්බාරුයි, පරිප්පුයි ඉල්ලගත්තා දවල් කෑමට. ඌෂා රස බලන්න කියලා මටත් එක්ක පාවා බාජී කියන පාන් වර්ගය සහ තක්කාලි වලින් හැදුව කරියක් ඕඩර් කලා.ඒකත් හරි රසයි .


දවල් කෑම කාලා අපි දෙන්න ගියේ උදයපූර් වල තවත් අරුම පුදුම තැනකට ඒ තමයි උදයපූර් "නගර මන්දිරය" එහෙම නැත්නම්" සිටි පැලස් "කියල හඳුන්නෙත් මෙතැන. ඇස් අදහගන්න බැරි අපූරු නිර්මාණයක්. පිචෝලා විලේ නැගෙනහිර මායිමේ මහරාජා "උදායි මිර්සා සිං" ඉදිකෙරුව මහා මන්දිරයක්.මල්,ලියකම්,රන්කම් කැටයමින් අලංකාරවුනු මතුමහල් තල ගොඩක් සහ සී මැදුරු කවුලු , සභා ශාලා, රවුම් ආරුක්කු වලින් යුත් රාජ්පුත් වරුන්ගේ ප්‍රෞඩ බව ලෝකෙටම කියන දැවැන්ත මන්දිරයක්.මේ මන්දිරය නරඹන්න නම් දවසක්ම ඔනෙ කියලා මට කියවුණා.දැන් මේ මාලිගාවේ අයිතිය තියෙන්නෙ "මහ රාජා අරවින්ද මෙවාර් සිංට".එයා මේ මාලිගාවේ කොටසක් සුඛෝපභෝගී හෝටලයක් බවට පත් කරලා තියෙනවා . ඔහු "හෙරිටේජ් රිසොර්ට් හෝටල "සමුහයේ හිමිකාරයෙක්.උදයපූර් වල මිනිස්සු මේ මහරාජා ගැන ප්‍රසාදයෙන් කතාකරන්නෙ ඔහු හොඳ සමාජ සේවකයෙක් නිසා.


මාලිගාවේ පිටුපසින් පිචෝලා විල දිහාවට යන්න පුලුවන්. ඉර බැසගෙන යන වෙලාවට එතන හරිම සුන්දර තැනක්.විල මැද "මහ රාජා ජගත් මාන් සිං" විසින් ඉදිකෙරුව "ජග් මන්දීර්"කියන ප්‍රේමයට කැපවුන මන්දිරයක් තියෙනවා. ඒ එක්කම ලේක් පැලස් කියන ගිම්හාන මාලිගාවත් විල මැද තියෙනවා. මේතන තමයි ප්‍රකට "ටාජ් හෝටල සමූහය විසින් පවත්වාගෙන යන ටාජ් ලේක් පැලස් හෝටලය තියෙන්නෙ. මගේ ගමන් සගයා වුන අමිරිතා සේවය කරන්නෙ එතැන. පිචෝලා විල ගාවට වෙලා අපි දෙන්න ඉර බහින හැටි බලන් හිටියා .ඈතින් පෙනෙන අරවල්ලි කඳු අතරින් ඉර ගිලෙන හැටි හරිම ලස්සනයි."වෙනිස් ඉන් ඊස්ට්" කියලා උදයපූර් නගරය හඳුන්වන්නෙ ඇයි කියලා ඒවෙලේ තමයි මට තේරුම් ගියේ.මේ මාලිගාවත් ,එහිපසු තල සහ පිචෝලා විලත් ප්‍රකට ජේම්ස් බොන්ඩ් සිනමා පටයක් වුන "ඔක්ටොපුසී" රූගතකරන්න යොදාගෙන තියෙනවා.


හිරු බැස ගිහින් අඳුර වැටෙනවත් එක්කම 'ටාජ් ලේක් පැලස් " හෝටලයෙත්, ජග් මන්දිරයෙත්, නගර මාලිගාවෙත් විදුලිපහන් දැල්විලා විල්දිය මතට එලිය වැටිලා බබලනවා. මාලිගාව අසල උස්බිමක තියෙන උයනටත්, එතනින් කේබල් කාර් එකක නැගිලා කඳුවැටියටත් ගියහම හරි අපූරුවට මේ දර්ශනය රස විඳින්න පුලුවන් . ඌෂත් මමත් කේබල් කාර් එකක නැගිලා කඳු මුදුනට ගිහින් හිරු අවරට ගිලීයද්දී නගර මන්දිර ආලෝකමත් වෙන අයුරු නැරඹුවා.
අට විතරවෙනකන් නගර මන්දිරයේ හිරු බැසයන දසුන් නැරඹුව අපිදෙන්නා රෑ කෑමට 'අප්නේ ඩානි" අවන්හලට ගියා . මෙතන සාම්ප්‍රදායික විදියට කෑම දෙන අවන්හලක්. "අප්නේ ඩානි" කියන්නේ "අපේ තැන" කියන අරුත. අවන්හලට අපි පිලිගන්නේ "රාම් රාම්" කියල ආචාර කරලා නලලට රතු තිලක තියලා. කෑම කන්න විතරක් නෙවෙයි රූකඩ නැටුම් , සර්කස් , මැජික් දර්ශන, රාජස්තාන් ජන නැටුම් බලන්න, ඔනෙ නම් නටන්න සින්දු කියන්නත් පුලුවන් තැනක් මෙතැන. ඌෂත්,මමත් ලණු ඇඳක් උඩට වෙලා පපඩම් කමින් නැටුම් බැලුවා. කෑම කන්න වෙන්වුන අවන්හලේ බිම වාඩිවෙන්න ආසන පනවලා තියෙනවා. මැටියෙන් නිමාවුන බිත්ති , පිදුරු හෙවිලිකල වහල සහ බිත්ති වල ඇඳි සිතුවම් රටා එතැනට අපූරු බවක් එක් කලා.
කෑම කාලා කාර් එකට නැගිලා යන අතරේ මම ඌෂට ස්තුතිකලේ "හරිම අපූරු දවසක්" කියලා .අපිට වැඩිදුර යන්න ලැබුණේ නැහැ. ඌෂා කාර් එක නතරකලා "පින්චර් හෝගයා " කියමින්. හ්ම්ම්.... මහ රෑ දහයට විතර , ටිකක් පාලු හයි වේ එකක අපේ කාර් එකේ මග හිටලා පැච් එකක් ගිහිල්ල .කාට කියන්නද කියල කල්පනාකරනකොටම මෝටර් සයිකලේකින් ආව තරුණයො දෙන්නෙක් නතරවුනේඅ "සහෝදරී මොකද වුනේ-දිදී ක්යා හුවා " කියලා අසමින් . ඔවුන් දෙන්නා විජේ සහ ප්‍රකාශ්. කාර් එකේ අඬු බඬු මිටි සහ ස්පෙයාර් වීල් එක සොයාගත්තු ඒදෙන්නාගෙ ලෑස්තිය අපට උදව් කරන්න . දෙන්නා ගාවින් හීන් මත්පැන් ගඳකුත් වහනයවුණ නිසා මම හෙමිහිට ඌෂට කිව්ව "මේ දෙන්න මේ වැඩේ හරියට කරාවිද දන්නෙ නැහැ කියලා". එතකොටම ප්‍රකාශ් හිනාවෙලා කිවා දෙන්නම ටිකක් බීල වුණාට බය වෙන්න එපා කියලා". වුණු අකරතැබ්බ මැද්දේ අපි ඔක්කොම හිනා වුණා.මේ මිතුරන්ගේ උදව්වෙන් අපේ වාහනේ පැච් එක හදා ගත්තා. ඒවිතරක් නෙවේ ඌෂත් මමත් ඔවුන් සමග ටික වෙලාවක් කතා කරමින් ඉඳලා මුව නොසෑහෙන්න ස්තුතිකරලා සමුගත්තේ. ඔවුන් දෙන්නම රාජස්තාන් කෘෂිකර්ම විශ්වවිද්‍යාලයේ සේවකයෝ.
අපේ නවාතැනට යනකොට රෑ දොලහට කිට්ටුයි .ඌෂා දුක්වුණා අන්තිම මොහොතේ අපට වුණ කරදරය ගැන .මම එයාව අස්වසමින් කිව්වේ උදයපූර් ගමනේ හොඳම අත්දැකීම ඒක කියලා.ඒ විතරක් නෙවෙයි දන්න හින්දි වචන ඔක්කොම ගැටගහලා මම එයාට මෙහෙම කිව්වා.
"උදයපූර් ආගයා-පන්චර් හෝගයා" .ඒකට ඌෂා උඩපැන පැන වරුවක් විතර හිනා වුණා. අපි දෙන්නා ආයෙමත් කයිවාරුවක් ගහලා , චායේ කෝප්ප දෙකකුත් හිස් කරලා නිදාගතේ එලිවෙන ජාමෙ පහුවෙනිදට ජෝද්පූර් යන්න සැලසුම් කරලා.


ප/ලි
උදයපූර් හොඳින නරඹන්න නම් දවස් හතරක් වත් ඔනෙ වෙනවා.උදයපූර් අවට අබූ කඳු වැටි, චිතෝර් බලකොටුව,රානක් පූරි ජයින පන්සල , කුම්බල්ගහ බල කොටුව , කෞතුකගාර වගේ තැන් හොඩාක් තියෙනවා.පිචෝලා සහ පතා සාගර් විල් වල බෝට්ටු සවාරි යන්නත් පුලුවන් .2009 අවුරුද්දේ උදයපූර් ලෝකයේ හොඳම සංචාරක නගර වලින් එකක් හැටියට නම් කරලා තිබුණා .ඒ නිසා උදයපූර් නරඹන්නම වටින තැනක් .

Thursday, October 21, 2010

රාජස්තාන් සැරිසර මතක -මෙහෙවාර් එක්ස්ප්‍රස්




සැප්තැම්බර් 19 වෙනිදා කේරලයේ තිබුණ සියලු රාජකාරි නිමාකරලා මම නව දිල්ලිය බලා පිටත්වුනා . මම මේ දිල්ලිය දකින්නෙ අවුරුදු දෙකකට පස්සෙ. අනෝරා වැස්සත් ,පොදු රද මඩුලු උලෙලේ කලබගෑනියත් එක්ක ඇවිලුන දිල්ලියට ගොඩ්බහිද්දී ගොඩක් හවස් වෙලා. හරිම සතුටක් දනුනා. තව දවස් දෙකක දිල්ලි නුවර රාජකාරි වලින් පස්සෙ මම නිවාඩු යනවා!
විසි එක්වෙනිදා හවස එකී මෙකී නොකී සියලු වැඩ නිමා කරලා මම නිවාඩු වගට ඊ මේල් එකකුත් ලියලා නවදිල්ලි කාර්යාලයෙන් එලියට බැස්සෙ පාවෙන පිහාටුවක් වගේ සැහැල්ලුවෙන් . මෙදාපොටේ තව දවස් හතකට මාව අල්ලන්න බෑ කාටවත් හී හී.
එදාම මම හවස හතට තියෙන කෝච්චියෙන් දිල්ලියෙ ඉන්දලා උදයපූර් යනවා. කවුරුත්උපදෙස් දුන්නෙ ක්‍රීඩා උත්සවේ කලබගෑනි හේතුවෙන් පාරවල් වල තදබදය ඕනෙ වෙලාවක් එන්න ඉඩතියෙන නිසා පැය දෙක තුනක් කලින් හසරත් නිසාමුදීන් දුම් රියපලට යන්න කියලා .ඉතින් මම ඒ උපදෙස් අනුව හවස හතරහමාර වෙද්දි දුම් රියපලට ගියා.


දිල්ලියේ ඉන්දලා උදයපූර්, යන දුම් රිය හඳුන්වන්නෙ "මෙහෙවාර් එක්ස්ප්‍රස් "කියලා.උදයපූර් වල ඉන්න මිනිස්සු පැවතගෙන එන්න "මර්වාර්" කියන ගෝත්‍රිකයන්ගෙන්.ඒ නිසා වෙන්න ඔනෙ කෝච්චියෙ නම මෙහෙවාර් එක්ස්ප්‍රස් වුනේ . ඉන්දියන් රේල්ලුවේ යන්න ඊ ටිකට් ගන්න පුලුවනි කල්තියාම.දුම් රිය කියන්නේ ඉන්දියාවෙදි ලාබයටත් පහසුවටත් ගමන් බිමන් යන්න පුළුවන් විදිය. මට වෙන් වෙලාතිබුණෙ තුන්වැනි පන්තියේ වායු සමනය කල නිදන මැදිරියක්. පැය දෙකක් විතර දුම් රියපොලේ තිබුන අවන්හලේ ගතකෙරුව මම මගේ දුම් රිය නවත්වන වේදිකාව සොයගන්න ගියා .ඉලෙක්ට්‍රොනික් පුවරු වල දුම් රිය පොලෙන් පිටත්වෙන ලඟාවෙන දුම් රිය වල නම් , අංක , වෙලාව සහ වේදිකා අංකය සටහන්වෙනවා . ඒ නිසා "මෙහෙවාර් එක්ස්ප්‍රස්" නවත්වන හත්වෙනි වේදිකාව සොයාගන්න අමාරු වුනේ නැහැ. ඒත් මගෙ අම්මෝ හිටිය සෙනග කන්දරාව . ගෑණු, පිරිමි ,ලමයි ,වයසක උදවිය ගමන් මළු ලංකරගෙන වගේ වගක් නැතුව කුනු ,දූවිලි පිරුණ බිමත් වාඩිවෙලා ඉන්නවා. සමහරු කෝච්චිය එනතුරු නිදාගන්නවා.දිල්ලියේ ඉඳලා උදයපූර් යන දුම් රිය මාවත හඳුන්වන්නෙ "නෝත් වෙස්ටර්න් රේල්වේ" කියලයි.


දැන් මගේ දුම් රිය මැදිරිය නවතවන ඉසව්ව සොයාගන්න ඔනෙ නේ . ඉතින් ඒගැන ලතවෙනකොට තමයි මම දැක්කේ වයස විස්සක විතර යුවතියක් එයාගෙ මිතුරියත් එක්ක කෝච්චිය එනතුරු බලාගෙන ඉන්නවා . එයාගෙන ඇහුවම එයා මාව සන්සුන් කරලා කිව්ව බයවෙන්න එපා මම යන්නෙත් ඔබේ මැදියියේ මෙතනින් ඉන්න කියලා .මගේ ටිකට් පත බැලුව ඇය කිව්වා අපි දෙන්නටම ඉඳගන්න තියෙන්නෙ ලඟින් තියෙන ආසන වල කියලා. . ඒ ප්‍රශ්නෙත් විසඳුනා


කවුරු කවුරුත් බොහොම කලබලෙන් කෝච්චියට නැගිලා තම තමගේ ආසන සොයාගෙන හරි බරි ගැහෙනවා. තම තමගෙ ගමන් මලු ආසන යටට ආරක්ෂා කාරි විදියට දානවා.සමහරු ගමන් මළු යකඩ දම්වැල් වලින් ආසනයේ තියෙන කොකුවලට ගැටගහනවා වැඩි ආරක්ෂාවට. මමත් හරිබරි ගැහිලා ආසනේ වාඩිවෙලා අවට බැලුවා. එහා පැත්තේ ආසන පේලියේ ඉන්දියානු පවුලක් අම්මයි , තාත්තයි ලස්සන පොඩි කෙලි පැංචියො දෙන්නෙකුයි. අක්කට වයස අවුරුදු හතක් විතර ,නංගි නම් තාම බහ තෝරන වයසෙ.


කෝච්චිය පිටත්වෙනවා එක්කම මගේ ගමන් සගයා වුන ඉන්දියානු යුවතිය එයාගෙ මිතුරියට සමුදීල අවිත් මා අසලින් අසුන්ගත්තා. ඊට පස්සෙ එයාව හඳුන්වලා දුන්නා. ඇගේ නම අමිරිතා. බෙංගාලි යුවතියක් . කල්කටාවෙ හෝටල් කලමණාකරණ පාසලක හෝටල කලමණාකරණ උපාධිය වෙනුවෙන් ඉගෙනගන්න වයස දහනවයක යුවතියක්. ඇය මාස තුනක පුහුණු කාල සීමාවකට උදයපූර් වල තියෙන අති ප්‍රසිද්ධ ටාජ් හෝටල් සමූහයට අයත් "ටාජ් ලේක් සිටි" හෝටලයට යනවා එයාගේ දින පහක නිවාඩුව අවසන් කරලා. මට හරි සටුතුටක් දනුනා මේ යුවතිය ගැන . එයාගෙ කතාබහ හරි ප්‍රීතිමත් , ප්‍රියමනාප , සුහද බවක් තිබුණා . නොනවත්වා මා එක්ක කතාකල මේ යුවතිය හරිම කුතුහලයකින් ලංකාව ගැන , මගේ රැකියාව ගැන විස්තර විමසුවා . ඒ අතර එයාගෙ ගමන් මල්ලට අත දාලා ගන්න චොක්ලට් , චිප්ස් , චුවින්ගම් වලින් කොටසකුත් මට දීලා "හැව් සම්" කිව්වා . එයාගේ ෆැන්ටා බෝතලෙනුත් ටිකක් මට බොන්න කියලා වද කලා.ඔය අතරේ කල්කටාවෙ ගෙදර ගැනත් හෝටල් පාසලේ ජීවිතය ,යාලුවන් ගැනත් කිව්වා. උදයපූර් ගියහම නොවැරදීම යන්න ඔනෙ තැන් වල ලිස්ට් එකකුත් දුන්නා.මම එයාට විහිළුකලා "ඔයාට නම් ගැලපෙන රැකියාව හෝටල් රැකියාව ඒකට උවමනා සුහදශීලිගතිය අඩු නැතිව ඔයා ගාව තියෙනවා කියලා".
මගේ දුම් රිය ගමන පැය දොලහක් . දුම් රියේදි හැම කෙනෙක්ම ඉමනින් සාමූහික ජීවිතයකට හුරුවෙනවා. ඒවෙනකොට ඉන්දියානු පවුලේ තාත්තයි ලොකු දුවයි මගෙ අනිත් පැත්තෙන් වාඩි වෙලා හිටිය සික් ජාතිකයත් එක්ක කාඩ්සෙල්ලම් කරනවා. පොඩි කෙලි පැංචි අපි එක්ක හිනාවෙවී අතදික්කරමින් මොනවදෝ කියන්න උත්සාහ කරනවා. අමිරිතා, පොඩ්ඩි එක්ක ඉක්මනට යාලුවුණා.පැන්චි එයාගෙ ගාවින් ඇවිදින් වාඩිවෙලා හුරතල් වෙනවා. පොඩ්ඩිගේ අම්මත් අපි එක්ක කතාවට වැටුනා. දුවලගේ තාත්තා රජයේ සේවකයෙක් .එයාට ලැබුණ සේවා මාරුවක් නිසා පවුලම උදයපූර් යන වග තමයි කිව්වේ.
ටිකක් රෑ වෙනකොට කෝච්චියෙ ඉන්න කවුරුත් රෑ කෑමට ගෙනාව මොනවහරි දෙයක් කාල නිදාගන්න තමයි සූදානම .ඔනෙ නම් කෝච්චියෙ ආපන ශාලා සේවයෙන් කෑම ඇණවුම් කරලා ආසනය ලඟටම ගෙන්න ගන්න පුලුවන් පහසුකමත් තියෙනවා. නිදාගන්න මගීන්ට තමන්ගේ ආසනය නිදන බංකරයක් හැටියට සකසා ගන්න පුලුවන් . හැම කෙනෙකුටම අලුත් පොරෝණාවක් , ඇතිරිල්ලක්, කොට්ටයක් , සහ බ්ලැන්කට්ටුවක් සහිත කට්ටලයක් ලැබෙනවා. අපි එක්ක හිටිය සික් ජාතිකයා ඉක්මනටම නිදා ගන්න උඩ තිබුණ බංකරයට ගියා .
රෑ දහය විතර වෙලත් මමත් අමිරිතත් කතාකරමින් හිටියා . ඔය වයසෙදි අපි කාටත් ඉගෙන ගන්නකොට තියෙන අවුල් සහගත බව , අනාගත බලාපොරොත්තු , හෝටල් කලමණාකරණ රැකියාවකට පිවිසෙන යුවතියක් හැටියට ආසියානු සමාජයේදී එයාට මූණදෙන්න වෙන අභියෝග ගැන , එයා මට විස්තරකරමින් හිටියා .මම එයාට උපදේශකයෙක් වෙමින් හෝටල් ක්ෂේත්‍රයේ තියෙන අවස්ථා විශ්ලේෂණය කරමින් එයාව දිරිමත් කරමින් "නෙවර් ගිව් අප් කිව්වා."
අර පොඩි කෙලි පැංචි නිදිකරවන්න එයාගේ අම්ම ලොකු උත්සාහයක් ගන්න වග අපිට පෙනුනා. පොඩ්ඩි අම්ම කියනදේ අහන්නෙම නැහැ. හොරාට වගේ නිදාගෙන ඉඳලා අපි දෙන්නට අතවනමින් හිනා වෙනවා. ඉතින් අමිරිතාත් මමත් තීරණය කලා නින්දට යන්න . එහෙම හිතලා එයා අපේ මැදිරියේ ඩිම් ලයිට් එකක් හැර අනිත් ඔක්කොම ඕෆ් කලා. පොඩ්ඩිව ඉක්මනට නින්දට යවන්න හිතලා ඒපැත්තේ තිබුණ කර්ටන් දෙකත්වහලා දැම්ම. ඒත් මේ පොඩි පැංචි හරිම දඟකාරියක් . වහලා තිවුණ කර්ටන් පලු දෙක අතරින් එකපාරටම ඔලුව දාලා අපිට අතවනමින් හිනාවුණා .එතකොටනම් අපිටත් හිනාව නතරකරගන්න බැරිවුණා. "වෙරි ඉන්ටෙලිජන්ට් ගර්ල්" කියලා මට කියවුණා.
අමිරිතා මට උදව් කලා දෙවෙනි බංකරයට නැගගන්න . පොඩ්ඩිට ගුඩ් නයිට් කියලා අපි නිදාගන්න ගියා. ඒවෙනකොට දුම් රිය වෙල්යායක් මැදින් යමින් තිබුණා. ඈත ගෙපැලවල් වල මලානික පහන් එලි පෙනෙනවා. හෙට උදයපූර් වලදි අවුරුදු දෙකකට පස්සේ දකින මගේ මිතුරිය ඌෂා ගැන හිතමින් සීරුවෙ ගැස්සෙමින් පැද්දෙමින් යන ඉන්දියානු දුම් රියක මම සුව නින්දකට වැටුණා.
හොඳ නින්දකට පස්සෙ මට අවදි වුණේ පහුවෙනිදා උදේ හයහමාරට විතර . මම ටිකක් ඇස් පිහ පිහ කලපනා කරල තමයි මතක්කරගත්තේ මම නිදාගතේ කෝච්චියේ කියලා .උඩ බංකරයේ හිටිය සික් ජාතිකයත් නැගිටලා එරමිණිය ගොතාගෙන වාඩි වෙලා ඉන්නවා . ඉන්දියානු පවුල කලින්ම අවදි වෙලා වගේ . අම්ම ලොකු දුවගේ කොණ්ඩේ පීරනවා. පොඩි පැංචි විස්කෝතුවක් හපනවා. අක්ක නනෝ දෙන්නම අලුත් ගවුම් දෙකකින් සැරසිලා .අමිරීතා මට අත වැනුවා පහලට එන්න කියලා.ඉතින් මම පහලට පැන්න.අපි දෙන්නම එකතුවෙල මම නිදාගෙන හිටිය දෙවෙනි බංකරය පහලට දාල වාඩිවෙන්න පුලුවන් විදියට ආසනය හැදුවා . කවුරුත් තම තමන්ගේ ආසන යට තැන්පත් කරලා තිබුණ ගමන් මළු එලියට අරගෙන ලහි ලහියේ උදයපුර් නැවතුමෙන් බහින්න සූදානම් වෙනවා. මම සපත්තුදෙක දාගත්තා . ඊට පසේ මතක් වුනේ ඔලුව පීරගෙන , වෙට් ටිෂූ එකකින් මූණ පිහගෙන ටිකක් පිලිවෙල වෙන්න ඕනෙ කියලා. අවුරුදු දෙකකට පස්සේ දකින යාලුවෙක් හමුවෙන්න ටිකක් මනුස්ස පාටට යන්න ඕනනේ.
ඔන්න එතකොටම අමිරිතා කියනවා ඇහුණා 'වී ආර් ඕල්මෝස්ට් දෙ ආර් " කියලා . එහෙනම් අපි උදයපූර් ඇවිල්ලා . නියමයිනේ. පැය දොලහක් හැල්මේ ආව කෝච්චිය හිමින් හිමින් හතිලමින් උදයපූර් ඉස්ටේසමට සේන්දුවෙනවා. ඒ අතරේ මම මගේ ගමන් සගයාගෙන් සහ ඉන්දියානු පවුලෙන් සමුගත්තා. මගේ රාජකාරි කාඩ් පතකුත් පුද්ගලික ඊ මේල් ලිපිනයත් අමිරිතාට දුන්නා. බහිනකොට අපි වෙන්වුනේ මූණුපොතේ යාලුවන් බවට ඉක්මනින්ම පත්වෙන ගිවිසුම ඇතුව.
ප/ලි
"රාජස්තාන් සැරිසර මතක -පූර්ව සටහන" ලියලා ගොඩ දවසකින් පස්සෙ තමයි ගමන් කතන්දර ලියන්න පුලුවන් වුනේ. ඒකට හේතුව පහුගිය සති තුනක් විතර ලොකු ව්‍යාපෘති වාර්තාවක් ලිවීමේ සහ මධ්‍යවාර්ෂික ප්‍රගති වාර්තා යැවිමේ ජංජාල රාජකාරි කටයුත්තක දිවා රෑ නොබලා නිරතවෙන්න වීම . ඒව ඔක්කොමම අකුරටම ඉටුකරලා "රාජස්තාන් සැරිසර මතක" ලියන්න නිදහස්වුණේ අද සිකුරාදා. ඔන්න ඉතින් කතාවෙ කොටසක් කිව්වා .තව තියෙනවා.ඉඩ ලැබෙ
න විදියට ලියන්නම් හොඳේ .

Saturday, June 19, 2010

ඔහොම කෙලින් යන්න....සැකයක් හිතුනොත් අහන්න...

නුහුරු ඉසව් වල සංචාරය කරනකොට මග තොට් ගමන් විස්තර ,පාරවල් දැනගන්න ඉතින් අතරමග ඉන්න ගම්වැසි ,නගර වැසි කාගෙන් හරි පිහිට පතන්න වෙනව නේ.
ඔන්න එක දවසක් කුරුණෑගල ගිහින් බිංගිරිය ඉසව්වෙදි අපිට දැනගන්න ඕනෙ වුනා ඒ පලාතේ තියෙන පොල් කර්මාන්ත සාලාවකට යන පාර .මගේ රියදුරු තැන ආරියදාස වාහනේ කඩමන්ඩියක නතරකරල එතැන හිටිය වයසක උන්දැකෙනෙක්ගෙන් බොහොම ගරු සරුව ඇහුවා
"මාමේ අර පොල් ෆැක්ටේරියට යන පාර කියනවද" කියලාවයසක උන්දැ දුන්න අපූරු උත්තරයක් .
"මහත්තයෝ හරි ලේසියි හොයාගන්න ඒ ඉසව්ව . ඔහොම කෙලින් පාරෙ යන්න.සැකයක් හිතුනොත් නවත්තලා කාගෙන් හරි අහන්න " කියලා උන්දැ කියපි . මට මැරෙන්න හිනා. "මේ මාමට ඔලුව හොඳ නැහැ වගේ , ඇයි දෙය්යනේ මට දැනටමත් සැක නිසානෙ පාර අහුවෙ" කියල වාහනේ සැර දාල එලවනගමන් මගෙ ඩැයිවර් උන්නැහේ කියපි .

තවත් දවසක් අපේ ලඟ හිතවතෙක්ගෙ අවමගුලකට සහභාගිවෙන්න බලපිටිය ප්‍රදේශයට යන්න වුනා අපිට . දැනගත්තු මග ඉසව් අනුව ගියත් අපිට මළගෙදරට යන පාර සොයාගන්න අපහසුවෙලා ගාලු පාරෙ ඉන්න අතරෙ ඒ ගම් පලාතෙ වගේ පෙනෙන මැදිවියේ පිරිමි දෙන්නෙක් ඩබල් දාල සයිකලේක ඇවිත් අපේ වාහනේගාව නතර කරලා සිය කැමැහ්තෙන්ම උදව් කරන්න වගේ "ඇයි මහත්තය මොකෝ අවුල " කියල රියදුරු තැනගෙන් අහපි .

"අයියේ අර සුනිල් මහත්තයගේ මළගෙදරට යන පාර කොහෙද?" කියලා ආරි ඇහුවා.
ඔන්න එක්කෙනෙක් කියනවා "අනේ රත්තරන් මහත්තයා අකාලෙ මළේ , මහත්තයල ඔහොම යන්න , ටිකක් දුර යනකොට නුග ගහක් හම්බවේවි . ඒක පහු කරල තව ටික දුරක් යනකොට අපේ ගෙදර . අපේ ගෙදර ගාවින් හැරෙන්න මහත්තයා. වරදින්නෙ නැහැ"
"මම කොහොමද ඒකගෙ ගෙදර දන්නෙ" කියල ඔරවගෙන මගෙ රියදුරා බැණ බැණ වාහනේ පනගැන්වුවා . මට නම් හරි හිනා

ඔන්න ගමන් බිමන් ගියහම අපිට වෙන ඇබැද්දි :)

යාල්

අපි ලෝකෙ කොහේ කරක් ගැහුවත් අපේ ප්‍රාදේශිය මානසිකත්වයට හරි කැමතිය් නෙ .ඉතින් මේක හොඳ වෙලඳපොල උපක්‍රමයක් විදියට පාවිචිවෙනව නිතරම .එකනේ මාතර බත් කඩයක් හඳෙත් තිබුන කියල කියන්නෙ නීල් ආම්ස්ට්‍රොන් උන්නැහේ හඳ තරණය කොරපු දවස්වල .
මේ කියන්න යන්නෙ මාතර බත් කඩ ගැන නෙවේ , යාපනේ බත් කඩයක් ගැන .අපේ ද්‍රවිඩ මිතුරන් යාල් පානම් කියල බොහොම ගර්වයෙන් කියන්නෙ යාපනේ අර්ධද්වීපයට නෙව . යාපනේ ගිය දුම් රිය හැඳින්වුවේ යාල් දේවි කියල .යාපනේට උරුම වුන මේ ප්‍රදෙශිය සන්ස්කෘතිය මුල් කරගෙන යාපනේ කෑම බීම රහ බලන්න , කොලොම්පුරේ තියෙනව තැනක් . ඒ යාල් රෙස්ටුරන්ට් එක . යාල් තියෙන්නෙ වැල්ලවත්තේ මැරයින් ඩ්‍රයිව් එකේ , වැල්ලවත්ත දුම් රිය පොල පෙනෙන නොපෙනෙන දුරින් .
යාල් පටන් අරන් තාම හය මාසෙකට වැඩිය නැහැ .ඒ වුනාට ගනුදෙනුකරුවො බොහොමය් .යාල් ද්‍රවිඩ හිතවතුන් විතරක් නෙවේ සින්හල අපිත් , විදේශිකයොත් නිතර යන එන තැනක් වෙලා.
මමත් යාල් අවන්හලට නිතර යන එන කෙනෙක් . මගේ කාර්යාලයට හා නවාතැනට ආසන්නයේ පිහිට තියෙන නිසාත් ,වැඩි විච්චූරණ නැතිවුනාට බොහොම නිස්කාන්සුවෙ පිරිසිඳුව කෑම කන්න පුලුවන් වට පිටාව , සහ රසවත් කෑම් බීම නිසා මම මෙතැනට හරි මනාපයි.ඒ නිසා කාර්යාල පරිසරයෙන් මිදිල නිදහසේ යාලුවො මුනගැහෙන්නත් මම එන්නෙ මෙතැනට.
යාල් අවන්හලේ දවල් සහ රාත්‍රි ආහාර ලබාගන්න පුලුවන් .Take Away පහසුකමත් තියෙනව . කවුරුත් දන්නවනේ දවල්ට කොහොමහරි බත් කන සිරිතක් මගේ තියෙනව කියල . ඒකට යාල් නියම තැන . කෙසෙල් කොලයක් එලුව තාලියක , උනු උනු බත් පිරෙව්ව පොඩි බාජනයකුත් , රහ විතරක් නෙවෙ ගුණත් තියෙන ( කරවිල වරදින්නේ නැහැ ) එළවලු හතර පස් ජාතියක් සහිත හුරු බුහුටි බඳුන් කීපයකුත් , රසම් සහ අතුරු පසට පායාස (සව්) , අවල් (හබලපෙති ) , පොන්ගල් වගේ දේකුත් වරදින්නේ නැහැ. තමන්ට මනාප විදියට මස් , මාලු ඉල්ලගන්න පුලුවන් . හරක් මස් නම් නැහැ. ඒත් රස මාලු කරි , ඉස්සො , දැල්ලො , කුකුල් මස් , එලුමස් තියෙනවා.ඔනේ නම් එවෙලෙම හදපු පලතුරු බීමත් බොන්න පුලුවන් .මම නම් තව රසම් කෝප්පයක් ඉල්ලන් බොන්නත් අමතර අතුරුපස බාජනයක් ඉල්ලන්නත් අමතක කරන්නේ නැහැ. හබලපෙති හරි රහයි .හකුරු එහෙම දාල තමයි හදන්නෙ.
යාල් අවන්හලේ රෑ කෑම කන්න ගියොත් නා නා ප්‍රකාර යාපනේට ආවේණික කෑම කන්න පුලුවන්. ඒ අතරින් ඉඳිආප්පම් බිරියානි , කොත්තු විශේෂයි . මේව චිකන් , මාලු එලවලු රස වලින් ගන්න පුලුවන් . ඒ වගේම රතු හාල් පිටි , පාන් පිටි , අටා පිටි , කුරක්කන් පිටි වලින් හදපු පිට්ටුත් මගේ ප්‍රියතම රෑ කෑම වලට අයිතියි. මේව කන්නත් හරි රස කරි විශේෂයක් තියෙනවා. ඒවා හඳුන්වන්නේ කුරුමා කියල . චිකන් , මාලු , එලුමස් , එලවලු කුරුමා රස බලන්න පුලුවනි . කියන්න අමතක වුනා නෙව . බොහොම රස යාපනෙ විදියට උයාපු කකුලුවොත් තියෙනවා. මම නම් වැඩි මනාප නැහැ. කොලෙස්ටරොල් යහමින් තියෙන කෑම නෙව .
යාල් අවන්හල මගේ හිතගත්ත තවත් හේතුවක් තමය් මේ දවවල මගේ ඩයට් කිරිල්ලට ගැලපෙන තැනක් නිසා . නැත්නම් තෙල් ගොඩකරල උයපු චීන මකරු ෆ්‍රයිඩ් රයිස් ගිලලා මම ලෙඩ වෙනවා සිකුරුයි . යාල් කෑම වල තෙල් ගතිය හරි අවමයි .ඒ වගේම දෙන බත්කෝප්පෙ හරි ගානට බඩ පිරෙන්න .අඩුත් නෑ වැඩිත් නෑ. .කෑම කන්න මගේ නවතැනේ හරි කාර්යාලෙ ඉඳල හරි ඇවිදගෙන එන දුර නිසා මට ව්‍යායාමත් ලැබෙනවා.පසුම්බියටත් පහසුයි.
ඔන්න ඔහොමයි කොලොම්පුරේ තියේන යාපනේ බත් කඩේ කතාව .

Sunday, May 16, 2010

වීදි සැරිය සහ සුරා පානය


නේපාලයේ නේවාසික පුහුණුවකට ගතකල මාසෙකට වැඩි කාලය ගැන දුලික් හිල් දවස් ලිපියේ ලියවුනා මතක ඇතිනෙ .ඔන්න ඉතින් උදේ හයේ ඉඳන් රෑ දහය වෙනකන් දවස් හයක් එක දිගට අධ්‍යන වැඩ වල යෙදෙන අපට හත්වෙනි දවස නිවාඩු .ඉබ්බ දියේ දැම්ම වගේ එදාට . මොකද කිලෝමීටර විස්සක් විතර දුරින් තියෙන කත්මන්ඩු නුවර සිරි නරඹන්න ,ෂොපින් කරන්න ,නිදහසේ පිස්සු නටන්න ලැබෙන්නෙ එදාටනෙ.
ඔන්න ඒ අපේ නේපාලයේ පලවෙනි නිවාඩු දවස.කට්ට්ටියම උදෙන්ම කත්මන්ඩු වලට බස් එකකින් ඇරලුවා නුවර සිරි බලන්න .කාටත් දවල්ට කන්න ,තේ බොන්න නේපාල් රුපියල් පන්සීයකුත් ලැබුණ , අපි එක්ක හිටිය අපේ නේපාල යාලුවො තමය් දැන් අපේ කත්මන්ඩු ගයිඩ්ස්ලා.
වැඩි දෙනෙක් මෙහෙම පිටරට සවාරි වලදි ශොපින් යන්නමනෙ කල්පනාව .ඒවුනාට අපි කීපදෙනෙක් හිටියා එකම විදියෙ පිස්සු තියෙන . අපිට ඕනෙ වුනේ කත්මන්ඩු වල බක්තාපුර් ,බවුද්ධනාත් ,පාතන්,බසන්තපුර් වගේ තැන් වලට ගිහින් පැරණි සිරිවිසිතුරු බලන්න ,හිතේ හැටියට ඡායා රූප ගන්න , නේපාල කෑම බීම් වල රහ බලන්න ,රස්තියාදු ගහමින් වීදි වල , අවන්හල් වල සැරිසරමින් ජන ජීවිතය දකින්න වගේ පිස්සු වැඩ. ඉතින් අපේ නේපාල් ගයිඩ් වුන අපේ මිතුරිය මෝනාත් මේවට සැදී පැහැදිලා හිටි නිසා අපි ඔක්කොම ජාඩියට මූඩිය වගේ පැහුනා.
ඔන්න එදා කත්මඩු වලදි බස් එකෙන් බැස්ස විතරය් අපි කට්ටියම අපේ ගයිඩ් මිතුරියට දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කලා. අපි අතර හිටි වැඩිදෙනෙක් හොඳ සැරට මිරිස් ,එහෙම දාලා කෑම කන උදවිය.නමුත් දුලික් හිල් නවාතැනේ නේපාල් කෑම වල මිරිස් රහක් ,කුලුබඩු රහක් නැති තරම .ඉතින් කටට රහ කෑමක් කන්න අපිට තිබුණෙ පුදුම දොල දුකක්.මෙන්න කිව්ව සැනින් අපේ ගයිඩ් මෝනා අපි එක්ක ගෙන ගියා එහෙම කෑම හදන තැනකට .
හ්ම් , මේ හෝටලේට ඇතුල්වීම කුස්සියෙ දොරෙන් , අපි යනකොටත් ගනු දෙනු කාරයො කිපදෙනෙක් වගේ වගක් නැතුව මිටි බංකු වල වාඩිවෙලා හාය් හූය් ගාලා කෑම කනවා .දුම් දාන බූමිතෙල් ලිප් වල කෑම ඉදෙනවා. එතනම ලස්සන නේපාල් යුවතියක් බිත්තර වලින් මොනවදෝ ආප්ප වගයක් උයනවා . එතනම ලොකු ඇතිලි දෙකක කඩල කරියකුයි අල හොදි කරියකුයි උනු උනුවෙ දුම් දානවා , ආහ්.... මගේ කටට කෙල ඉනුව තරම .ලන්කාවෙන් ආවට පස්සේ මෙව දකින එකත් සතුටක් .
තරමක් වයසක් උන්දැකෙනෙකුයි එයගෙ පුතා වගෙ පෙනුම තියෙන ගැටයෙකුය් තමය් මෙතන ගනු දෙනු කාරයන්ට සේවාව දෙන්නෙ . පහල කුස්සිය පෙදෙස හවුස් ෆුල් .ඒනිස අපිට එතන තිබුණ පටු තරප්පුව නැගල වහල උඩට යන්න කියල වයසක් උන්දැ කිව්ව කිව්ව .
හ්ම් පොඩි රූෆ් ටොප් එකක් වගේ .මෝනත් ,මමත් එකතුවෙලා අහල පහල තිබුණ කලු පාට ගැහුන බංකු ටික එකතු කරලා හය දෙනෙකුට වාඩිවෙන්න පුලුවන් විදියට ආසන පැනෙව්ව . තරුණ ගැටය ඇවිත් අපේ ඕඩර් එක ගත්තා.නේපාල් කෑම ගැන අපේ දැනුම අල්ප නිසා ඒ ගැන වගබලාගත්තේ මෝනා.අපිට ඕන වුනේ මිරිස් රහට කන්න විතරයි.
ඔන්න අපේ කෑම ආවා. බෙලෙක් පිඟන් වල උණු උණු අල ,කඩල කරි , තව මොකද්දෝ බැදුමක් , අර බිත්තර ආප්ප වගේ ජාතිය සහ අලුමිනියම් ජොග්ගු හයක් ."මේ තරම් වතුර මොකටද අපි හය දෙනෙකුට , කඩේ ගැටය හිතුවද දන්නෙ නෑ අපි මිරිස් කන්න පුරුදුවෙන එවුන් කියල , "මට එකපාරට කියවුනා.
"නැහැ මේ තමය් "චැන්ග්" හාල් වලින් පෙරන ලෝකල් බියර් ,මේ අය සිරිතක් හැටියට මෙතන කන බොන අයට "චැන්ග්" වලින් සන්ග්‍රහ කරනව"මෝනා මාව නිවැරදි කලා
හ්ම් කවුද දන්නෙ , දැන් එහෙනම් අපි නේපාල් බියර් බොන්න යන්නෙ ,හුහ් සෙල්ලන්ද කොල්ලෝ. ඔන්න ඉතින මම අර බිත්තර වලින් හදපු කෑම කඩල කරි එක්ක හායි හූය් ගාල ගිලලා 'චැන්ග්" බොන්න හදන්නෙ . ලෝකල් වුනත් බියර්නෙ . ඉතින් සිරිතට බොන්න ඕනනේ.එහෙම හිතලා මම අර බැදුම ලඟට ගත්ත බයිට් එකට . කෝකටත් මම මෝනගෙන් ඇහුව මේ මොනවද කියල . මේ "බෆ් ඩෙවල් " එයා කිව්ව .මම සැක හැරගන්න "බීෆ් නේ" කියල අහුව ."නැහැ මේ බෆ්, බෆලෝ මීට්" කියල එයා කියපි .කිරි අප්පට බල්ලො පැනපි .මී හරක් මස් ඩෙවල් එකක් , කවද කාපු කේක්ද .ඒ මීහරක් මස් ඩෙවල් එක පැත්තක තියල මම "චැන්ග්" බොන්න පටන් ගත්තා. පැහුන රා බොනව වගේ . උගුරු දෙකතුනක් බීල කවුරුත් කට කාරනවා .
"මොකද තවම සූර් නැත්තෙ මම දැන් වීදුරු දෙකක්ම ගැහුව කියල" මම කියද්දි අපේ අයට හිනා.කොහොම වුනත් ජොග්ගු දෙකකට වඩා අපිට හිස් කරන්න බැරිවුණා.
ඉතිරිවට මොකද කරන්නෙ ..සුම්ෂොට් අහනවා ."දුලික් හිල් ගෙනියමු ආයෙ බොන්න ,ඒත් කොහොමද ගෙනියන්නෙ" ,එලිනා කියනවා . ඔන්න එතකොට මට ආව අයිඩියා එකක්."අපි ගාව තියෙන වතුර බෝතල් හිස් කරලා මේව පුරවගනිමු " කවුරුත් වැඩේට එක පයින් කැමතිවුනා.ඔන්න අපේ වතුර බෝතල් හිස් වෙල "චැන්ග්" ඒවට පිරවුන , කඩේ ගැටය ඉතිරි බෆ් ඩෙවල් ෆොයිල් කඩදාසියක ඔතල දුන්න .
හවස දුලික් හිල් නවාතැනට ගිය අපි රෑ කෑමට අවන් හලට එකතුවුනා , "චැන්ග්" පිරවූ බෝතල් හතරකුයි ,ඉතිරි බෆ් ඩෙවල් එක එක්ක . අපිට සෙට් වෙන්න ඕනෙ නිස කලින්න කට්ටියම බාර් කවුන්ටරේ ගාව ගිනි උඳුන වටේ තියෙන සුව පහසු සෝෆා සෙටිය ආක්ක්‍රමණය කලා.වෙනද මෙතන ඉන්නෙ මදුවිත තොලගාන විදේශිකයො.අවන්හල් සේවකයොත් අපේ මේ අලුත් නාඩගම මොකද්ද කියල කුහුලෙන් බලනවා .ඔය අතරේ මෝනා බාර් එකෙන් වීදුරුත් ගෙනාව .දැන් කට්ටියම අනික් ඔක්කොම යාලුවොත් එක්ක 'චියර්ස්" කියල "චැන්ග්"බොනවා. වැඩේ නැගල යනවා .
ඔය අතර දුලික් හිල් නවාතැන බාරව ඉන්න ප්‍රේම් මහත්තයත් එතැනට ආවා ,අපි කෙල්ලො ඔක්කොම "ප්‍රේම් දායි we love you " කියල එයාටත් "චැන්ග්" වීදුරුවක් පෙව්වා.කොහොමද වැඩේ .
ඊට දවස් දෙකකට පස්සේ මරු වැඩක් වුනා . රාත්ත්‍රි චිත්‍රපටි සන්දර්ශනය වෙලාවෙ බුරුම ජාතික මිතුරිය ස්වේ සුදුපාට ලීටර දෙකක විතර ගැලුමක මොනවදෝ පුරවගෙන හිනාවෙවී උස්සන් එනවා .ඒ පිටිපස්සෙන් අපේ නේපාල් මිතුරියන් වන අනීශා සහ ප්‍රාචි දෙන්න ප්ලස්ටික් කෝප්ප ගොඩක් එක්ක තව බාජනයක් උස්සන් එනවා.බැලීනම් දුලික් හිල් නවාතැනේ ප්‍රේම් මහත්තය එයාගෙ ගානේ අපි හැමෝටම ආයෙ චැන්ග් සංග්‍රහයක් ලෑස්ති කරල බෆ් ඩෙවල් එක්ක .ඉතින් බිව් නොබිව් කවුරුත් එදා ආයෙත් මදි නොකියන්න ගැහුවා .ඒත් අපි කාටවත් සූර් වුනේ නැහැ නෙ.
ආහ් කියන්න අමත්කවුනනෙ. අර අපි කැම කාල චැන්ග් බිව්ව පොඩි හෝටලය තියෙන්නෙ පාතන් දර්බාර් වල . මම කිව්ව හරි මේක පවුලෙ බිස්නස් එකක් .අම්මය් ,පුතයි, ලේලියි මේ බිස්නස් එක කරන්නෙ .මෝන මේ ජොයින්ට් එක දන්නෙ ඉස්කෝලෙ යන කාලෙ ඉඳලු .මොකද එයා ඉස්කෝලෙ කට් කරල මෙතනට එනවලු නෙ චැන්ග් බොන්න .  කඩේ අය එයා හොඳට දන්න වග අපිට පෙනුන .මෙතැන කැම බීම ගැන ඩිස්කවරි නාලිකාවෙත් වැඩසටහනක් ගිය කියල මෝනා කිව්ව . ප්‍රසිද්ද ජොයින්ට් එකක් බලාගෙන යනකොට .

Tuesday, April 13, 2010

දුලික් හිල් දවස් හෙවත් Living in the present time











හිස සිට දෙපතුල දක්වා පොරවගත්ත කම්බිලි පොරෝණාවෙන් මිදෙන්න හිත ඉඩදෙන්නෙ නෑ.හිම නොවැටුනාට පුදුම හීතලක් තියෙන්නෙ.ඈත කඳුකර ගම්මාන වල ඉඳලා නගරයට එන බස් රථ වල නලාසද්දෙ කියන්නෙ දැන් එලිවෙලා කියලා.වෙලාව උදේ හයයි.පිටත ආලින්දයට තියෙන කවුලුව විවර කලොත් මීදුමෙන් වැසුන කඳු මිටියාවත් සහ ලා හිරු රැස් සිඹගන්නා අන්නාපුර්ණා කඳුවැටිය දැකගන්න පුලුවන් .එත් කවුලුව විවර කරන්නෙ කොහොමද ?හීතල රාස්සයෙක් වගේ කඩාපනිනවා.


කම්මැලිකමට ගුලිවෙලා ඉන්නබැහැ.යෝග ව්‍යායාම වලට යන්න වෙලාව හරි.මුල් දවස්වල හීතලේ ගැහි ගැහී යෝගපන්තියට ගියේ අපේ යෝගා ගුරුට හිතින් සාප කරකර.ඒත් ටිකදවසක් යනකොට නොගිහින් බැරිවුනා.මෘදු සංගීතයට හිත එකඟ කරගනිමින් ඇරඹෙන යෝග ආසන නිසා අපේ ගුඩු වෙලා තිබුණ කම්මැලි ශරීර කූඩු නම්‍යශීලී වුනේ අපිටත් නොදැනිම.


අපේ දවස පටන්ගන්නෙ ඔහොම . පැයක් යෝග කරලා ඉවරවෙනකොට හොඳටම බඩගිණියි .කවුරුත් කඳු මුදුනෙ තියෙන අවන්හලට යන්නෙ උදේකෑමට. උණු උණු නැවුම් එළකිරි, දුඹුරු පාන්,පළතුරු කෑම රුචිය වැඩිකරනවා. අපි නැවතිලා ඉන්න දුලික් හිල් නවාතැන තියෙන්න හිමාල මිටියාවතේ කඳු බෑවුමක. ගහකොල මල් වලින් පිරුන හරි ලස්සන තැනක්.දුලික් හිල් නිකේතනය මැදින් පහල මිටියාවතේ කඳුකර ගම්මානයට යන පාරක් වැටිය තියෙනවා.මේ පාර දිගේ සීතල නොතකා නගරයට යන කම්කරුවන් ධාන්‍ය මලු ,කිරි බාල්දි , එලවලු කූඩ හිස තියාගෙන යන ගැහැනුන් , මිනිසුන් දැකගන්න පුලුවන් . පාසල් බස් රිය එනකන් මග බලාගෙන ඉන්න පොඩිත්තො පිරිසත් සුලබ දසුනක් . මේ අය පහල ගමේ ඉන්න "තාමන්ග්" කුලයට අයත් ගම් වැසියො . මේ ගැහැනුන් , මිනිසුන් හා දරුවන් ගේ මුහුණු බැලුවම පෙනෙනව ජීවිතේ ගැටගහගන්න ඔවුන් ලොකු සටනක් කරන බව .


දැන් ඉතින් කවුරුත් කාල ,නාල , ඇඳ පැලඳගෙන හරියටම නමය වෙනකොට දේශන සාලාවට එනවා. ඒක නීතියක් නොවුනත් හරියටම අකුරට අපි පිළිපැද්ද දෙයක්. මේ දේශන සාලාව හොඳට වාතාශ්‍රය ලැබෙන,ඉඩ පහසුකම් සහිත තැනක්.අපි හැමෝම අසුන්ගන්නෙ බිම . ඒකට ඇති තරම් කුශන් මෙට්ට තිබුණ. බිමට කාපට් අතුරල තියෙනවා .කවුරුත් සීතල පලවාහරින්න තට්ටු තුන හතරක් ඇඳුම් අඳලයි ඉන්නෙ . දුම් දමන උණුවතුර බොය්ලේරුවත් , දෙහි යුශ ,සීනි,මී පැණි පානයත් සීතල නිසා එන පොඩි පොඩි ලෙඩ පලවා හරිනවා.මේ සාලාව කෙලවර තණපිටියෙ කහපාට මල් පිපුන මෙරිගෝල්ඩ් මල් පඳුරු සහ සීත මැදින් එන හිරු රැස් උදෑසන නෙතට සොඳුරු දසුන් මවනවා. ඉගෙනගන්න ,දැනුම සොයන්න හොඳ වට පිටාවක් .මට දැනෙන්නෙ පැරණි ඉන්දියාවෙ ගුරු කුලයක ඉන්නව වගේ හැඟීමක් .


දකුණු ආසියාවේ සියලුම රටවල් සහ නැගෙනහිර ආසියාවේ බුරුමය නියෝජනය කරමින් පැමිනි තරුණ කාන්තාවන් මේ දේසන සාලාවෙ අසුන් අරන් ඉන්නේ. මේ අය අතර විශ්ව විද්‍යාල ආචාර්ය වරියන් ,නීතිවේදිනියන්, ජනමාධ්‍යවේදිනියන්, රජයේ ආයතන වල විධායක නිලධාරිනියන් වගේම ඈත ගම වල මිනිසුන් සමග ඔවුන්ගේ යහපත වෙනුවෙන් උරෙනුර ගැටී හරි හරියට වැඩකරන කාන්තාවනුත් සිටියා.ඔවුන් දකුණු ආසියාවේ විවිධ ජාතීන් , ආගම් ,කුල නියෝජනය කලා.අපි තුල තිබුණ විවිධත්වය හරියට නොයෙක් පාටින් හැඩවුන සුවඳින් අනූන ලස්සන මල් කලඹකට සමානයි.අපේ කාලය වෙන්වුනේ ආසියාවේ කාලීන ආර්ථිකය , දේශපාලනය , සංවර්ධනය , ආගම් , ජන සමාජය ගැන විමර්ශනාත්මකව ඉගෙන ගන්න .බොහොම උණුසුම වාද විවාද ,අලුත් අදහස් වලින් පිරුණ දේශන සාලාවක්. අපිට උගන්වන්න ඇවිල්ල හිටියේත් ලෝප්‍රකට දකුණු ආසියාණු සම්භවයක් සහිත ආචාර්යවරියන් . මේ උණුසුම් වාද විවාද මුලු ආසියාව පුරා පැතිරිල හිටිය අපි අතර වෙනස්කම් ඉක්මවා ගිය සහෝදරත්වයක් ඇතිකලා. මේ හැම කාන්තාවක්ම විශේෂ කෙනෙක්. ඒ ඔවුන් ඉහල වෘත්තීන් වල නිරතවෙලා ඉන්න නිසා නෙවෙයි . මේ හැමකෙනෙක්ම ඒ තත්වෙට එන්න ලොකු සටනක් කරලා තිබුණා.දුප්පත් කම ,කුල පීඩනය,පටු සමාජ ආකල්ප වගේම ,ධනවත් ,කුලවත් පවුල් පෙලැන්ති වල යල් පැන ගිය මත වලට පයින්ගසා ඉදිරියට ආව ගමන ගැන ඒ හැම කෙනෙක්ටම වෙන්වුන කතාවක් තිබුණා.


අපි හැමෝටම ඉගෙනීම විනෝදජනක දෙයක් වුනා. බොහොම හර බර සාකච්ඡා අතර දකුණු ආසියාවට ආවේණික ජන නැටුම් ,ගායනා එහෙමත් අපි රඟ දැක්වුවා. තේ විවේකයේ කවුරුත් අසල තියෙන තණපිටියට දුවයන්නෙ අව්ව තපින්න. පැය දෙකක දවල් කෑම විවේකයේ රෙදි හෝදගන්න , ඔනෙ නම් නිදාගන්න , එහෙම නැත්නම් පොතක් පතක් කියවගන්න පුලුවනි .


හවස් වීගෙන එනකොට අන්නාපූර්ණා වැටිය සිඹින මලානික හිරු රැස් අමුතු සිතුවම් අඳිනවා.හවස පහ වෙනකොට අපේ දවල් දවස අවසානයි. සමහරු නම් හීතල නොතකා තණපිටිය වටේ දුවනවා. යෝගා ව්‍යායාම කරනවා.මම පටු මාවත දිගේ දුලික් හිල් නිකේතනයේ පහල බෑවුමට ඇවිදගෙන යනවා. එතනට ගියහම හිමාල මිටියාවතෙන් සමුගන්නා අවසාන හිරු කිරණත් දැකගන්න පුලුවනි . උදේ නගරයට ගිය ගැහැණුන් මිනිසුන් ආයෙමත් ගම්මානය දෙසට පල්ලම් බහිනවා. ඒ හැම කෙනෙක් අතේම අඩුම කුඩුම පිරුණ මල්ලක් තියෙනවා. සමහරු ගොවි බිම් වලට උවමනා පොහොර මිටි කරෙන් අරගෙන යනවා. ඈත මිටියාවතේ පැල්පත් වල පහන් දැල්වෙනවා. පොඩි දරුවන්ගේ කටහඬවල් , හරකුන් ගේ උම්බෑ සද්දේ ඇහෙනවා. මට දැනෙන්නේ "අපූගේ ලෝකය " පොතේ නිශ්චින්දි පුරේ තොටුපොලවල්, බට කැලෑ,මල් ගොමු අතර තනිවුනා වගේ හැඟීමක් .


සීතල වැඩිකමට හවස හත විතර වෙනකොට හරි බඩගිණියි. ඒ නිසා කලින්ම රාත්‍රී ආහාර සූදානම්. හීතල මකන්න අවන්හල මැදතියෙන ලොකු ගිනි උඳුනේ දර කොට පිලිස්සෙනවා. කවුරුත් උඳුන වටේ තියෙන සෝෆා වල වාඩිවෙලා උණුසුම් වෙනවා. කෑමෙන් පස්සෙ ආයෙත් කවුරුත් දේශන සාලාවට එක්වෙන්නවා. ආසියාවේ විවිධ රටවල ප්‍රකට සිනමා කෘති නරඹන්න. හැම රටකින්ම ආව අය මේ සිනමා දර්ශන සඳහා චිත්‍ර පට ගෙනැවිත් තිබුණ.බොහෝමයක් ඒවා ආසියාවේ සමාජ ප්‍රශ්න විදහා දක්වන සිනමා පට . ගොඩක් වෙහෙස දවස්වල නම් සිනමා දර්ශන අවලංඟු කරනවා.ඒ වෙනුවට කවුරුත් කැමති හින්දි චිත්‍රපට ගීත සමග නටන්න පුලුවනි . එහෙම නැත්නම් සංගීත සැඳෑවල් පවත්වනවා. හැමෝම තරඟෙට පන්ජාබි, බෙන්ගාල ,කර්නාටක , උර්දු,පශ්තුන් , දෙමල ,සිංහල,නේපාල ගීත ගයෙනවා.ලංකාවෙ "සුරංගනී" බයිලා සිංදුවට තිබුණෙ පුදුම ඉල්ලුමක් !!


මෙහෙම දවස් වල රාත්‍රී දහය විතර වුනත් අපි සමහරුන්ට නිදාගන්න උවමනාවක් නැහැ.ආයෙමත් කාගෙහරි කාමරේකට කට්ටියම එකතුවෙනවා. දවල් දවසේ අපි කතාකල දේවල් අපේ රටවල තියෙන දේශපාලන ප්‍රශ්න , ඒ හා බැඳුන අපේ අත්දැකීම් , ගැන බොහොම උණුසුම් සංවාද මේ වෙලාවට ඇතිවෙනවා. කවුරුත් ලෝක බලවතා වුණු ඇමෙරිකාව නිර්දය ලෙස විවේචනය කරනවා විතරක් නෙවේ , අපේ කලාපයේ ඉන්දියාවේ , පාකිස්ථානයේ පිලිවෙත් එහෙමත් හෙලා දකිනවා.ඒ වෙලාවට අපි අපේ රට වල දේශ සීමා වලින් ඈත්වෙලා සර්වලෝක පුරවැසියො වෙනවා. මේ වෙලාවට අපි ලංකාවෙන් ගෙනිච්ච ඉඟුරු තේ , ලෙමන් තේ ,මාරි බිස්කට් හරි වටිනවා. කෙලවරක් නැති විහිලු කතා , පරණ ප්‍රේම කතා ,වලට එහෙමත් මේ වෙලාව වෙන් වෙනවා. හීතල කපාගෙන මහ රෑ අපේ සින හඬවල් දෝංකාර දෙනවා.


මාසයක් තිස්සේ උදේ පාන්දර ඉඳලා මැදියම් රැය වෙනකන් මෙහෙම අපේ දවස් ගෙවුණද කියලා හිතනකොටත් පුදුමයි. ඉගෙනීම අපේ සිත , කය හා මනසට විනෝදයක් වෙන විදියට සකස්වෙලා තිබුණා. බොහෝ පුහුණු වැඩමුලු වල වගේ කෙලවරක් නැති නීරස පවර් පොයින්ට් ප්‍රසන්ටේශන්ස් තිබුණෙ නැහැ.අපේ දැනුමේ සහ බුද්ධියේ උල්පත් වුනෙත් අපිමයි.වට පිටාවේ තුබුණ සැහැල්ලු බව,සරල බව , සුන්දරත්වයත් නිසා අපි වෙහෙසට පත්වෙන්න නැතුව ඇති . හැමෝම කිව්වෙ තමන් ගෙවූ හොඳම පුහුණු කාලසීමාව මෙය බව .


මට මේ වෙනස කොයිතරම් දැනුනද කිව්වොත්,හරියට මාසෙකට පස්සෙ ලංකාවට ඇවිත් ඊට පහුවදා ජායික් හිල්ටන් හෝටලේ තිබුණ දින තුනක රැස්වීමකට හසභාගි වෙද්දි මට දැනුණෙ මම ඒ තරු පන්තියේ සුපිරි පරිසරයට අයිති නැති සත්වයෙක් වගේ. ඒ අධි පහසුකම් සහිත පරිසරය හැරදමා හිමාල මිටියාවතේ අල්පේච්ච දුලික් හිල් නවාතැනට ආයෙ යන්න ඇත්නම් කියලා හිතුන වාර අනන්තයි.එදා තමයි මට දැනුනෙ ජීවිතේ මේ මොහොත රස විඳීම හා ජීවත් වීම කොයි තරම් වැදගත් ද කියලා. මොකද ආයෙමත් ඒ මොහොත එන්නෙ නැති නිසා.










Wednesday, January 27, 2010

Suba Anagathya & better Change


ඊයෙ පෙරේදා මිය ගිය වුන්ගේ
මල සොහොන් උඩින්
අඬු බඬු කැඩුන වුන්
මග තනි කර දමා
වේදිකාවෙන් ඇසුන
දෙස් දෙවොල් පරුස බස්
දෝංකාරය මැදින්
කොල රතු නිල්
පොලිතින් කඳු අතරින්
යහපත් වෙනසකට දකින්න
සුබ අනාගතයට පාර මේ