ඒ දිගු දවසක නිමාවයි .හුරු පුරුදු පරිසරයෙන් හැතැක්ම දාස් ගාණක් එහා තනි වී ඇත.වෙලාව වෙනස නිසා නිදිමත අහලක නැත. රෑ ගෙවාගන්න කෝපි එකක් බොන්න තද උවමනාවකුත් ඇත .සැහැල්ලු ඇඳුමක් ඇඟලා කෝපි බොන්න සිතා ලා නිල් පැහැ තරමක් ලොකු සැහැල්ලු ටී ශර්ට් එකත් එහිම කොටසක් වූ දනිස් තෙක් දිග සැහැල්ලු ලොකු කොට කලිසමත් අතටගත් ඇය ප්‍රකට වෙලඳ නාමයක් සහිත එහි ලේබලය දෙස බලමින් නොදැනීම කල්පනාවකට වැටුණාය .
දිනපොතේ අවසන් කල යුතු වැඩ ලයිස්තුව සටහන් වී ඇත .රාජකාරි වැඩ මෙන්ම ගමන යාමට පෙර සපුරා ලියයුතු පුද්ගලික වැඩ කටයුතු ද එහි සටහන් වී ඇත .වරින් වර පරිගණකයට එබෙමින් කලයුතු රාජකාරි අවසන් කරමින් ඒ අතර වාරයේ ලද අවසරයෙන් ඇඳුම් බෑග් පැක් කරමින් ,වැදගත් රාජකාරි දුර ඇමතුම් දෙමින් ,ගෙන යා යුතු පොත් පත් එකතු කරමින් ඇය එහා මෙහා දුවන්නීය.නවාතැන් කාමරය යක්කු නැටූ පිටිය මෙන් හැඩි වී ඇතත් එය අස්කිරීමෙන්ද පලක් නැත .කෙතරම් කාර්ය බහුල වුනත් කොහේ යතත් මේ ඇඳුම් බෑග් පැක් වෙන්නේ ඇගේ අතින්මය . පරිගණක තියර දෙසින් සිහින් සද්දයක් එයි .
"හලෝ ආ යූ රෙඩි විත් පැකින්ග් ?"
ඇය දුව ඇවිදිමින්ම පරිගණක තිරය දිහා බලන් උත්තර බඳියි .සුපුරුදු ලෙස ගෙන යා යුතු දේ වල් නැවත මතක් කිරීම සිදුවෙයි . සීතලට අඳින අත් දිග ජර්සියත් ,රතු පැහැ මෝස්තර වලින් යුත් ඉන්දියානු සාලුවත් , නවාතැන මග තොට විස්තර සහිත කාර්යාලයෙන් එවූ ඊමේල් පණිවුඩ පිටපත් , අමතර උපැස් යුවල , කැමරාවට අයත් ආම්පන්න මේ වැදගත් ලයිස්තුවට හැමදාම වගේ ඇතුලත්ය .
"හරි හරි ඒ ඔක්කොම තියෙනවා"ඇය නැවත කලබලෙන් උත්තර දෙන්නීය .
"බලන්න ඔයා පිටත්වෙන වෙලාව ?"
නැවත පරිගණක තිරය දෙසින් අණ කිරීමකි .
"ප්‍රශ්නයක් නෑ තව ගොඩක් වෙලා තියේ .හෙට දවල් දොලහයි තිහටනේ "
. ඇය නොසැලකිල්ලෙන් උත්තර දෙන්නීය ,
"නිලූ හොඳට බලන්න ආයෙත් "එවර වඩාත් ඇගේ අවධානය ගන්නට වෑයම් දරන හැඩකි .
මොන කරදරයක්දැයි හිතෙන් බනිමින් ඇය පිටත්වියයුතු වෙලාව බලන්නීය .දෙවියනේ ......ගමන පිටත්වෙන්න ඇත්තේ එදින එලිවෙන පාන්දර යාමයේ දොලහයි තිහටය .ඇගේ සියොලඟම සීතල වී යයි .තව වැඩි වෙලා නැත .දැන් වෙලාව හවස දෙකට පමණය . තව දෙපැයකින්වත් කොලඹ බලා යා යුතුය .තාමත් පැක් කර ඇත්තේ බාගෙටය .අද ගමන යන්න සූදානමක් කොහෙත්ම නොතිබුණත් නියමිත ලෙස මේ ගමන යා යුතේ අද මැදියම් රැයේය .
"කලබල වෙන්න එපා ,බය වෙන්න එපා .හිමින් පැක් කරන්න .වෙලා තියේ .මම උදවු කරන්නම් . ''
හැතැක්ම දාස් ගාණක් එහා සිට පරිගණක තිරය මත ලියැවෙන මේ වදන් හිතට අස් වැසිල්ලකි .පැය බාගයක් ඇතුලත හැම දෙයක්ම පැක් වී හමාරය .කොලඹ යන්න වෙන්කර තිබූ වාහනයටද නැවත කතා කර ගමන් වෙලාවේ වෙනස දැනුම් දී එය ගෙන්වාගැනීමට කටයුතු සිදුවුණි .
"කලබල වෙන්න එපා , ටිකක් මහන්සි අරින්න . මම කෝල් කරන්නම් ".නැවත පරිගණක තිරයෙන් මතුව එන වදන් පෙලකි .
"පරිස්සමින් යන්න .මම ආයෙත් කතා කරන්නම් රෑට නිදිමත නොවෙන්න ."
දුරකතන ඇමතුම අවසන් වන්නේ එසේය . නින්දත් නොනින්දත් අතරින් විඩාව මැදින් ගුවන්තොට බලා පිටත්වූ වෙලේ සිට වරින් වර ලැබුණ දුර ඇමතුම් නිසා නිදිමත නොවී ඉන්න පුලුවන් විය .අවසන් දුර ඇමතුම ලැබුණේ ගුවන් යානයේ දීය .
"ගිහින් ස්කයිප් කෝල් එකක් දෙන්න නැත්නම් සිම් එකක් අරන් කතා කරන්න ".ඒ ආයාචනයකි .
"ඇති යන්තම් ෆ්ලයිට් මිස් නොවුනා" ඒ සමග විහිලුවකින් කතාව අවසන් වෙයි
පැය දහයක පමණ වෙහෙසකර ගුවන් ගමනක් අග ඈ නවාතැනට ආවාය . දුර ඇමතුමක් හෝ ඊ මේල් පණිවුඩයක් යැවීමට වඩා තෙහෙට්ටුව නිවාගතයුතුය . නින්දක් නැතිව ගෙවුන දවස බොහෝ වෙහෙසකාරී නිසා නවාතැනට ආ ඇය වහා නින්දට වැටුණාය .ඇහැරෙන විට බොහෝ රෑ වී තිබුණි . අන්තර්ජාල පහසුකම් ලැබුනද එය එතරම් හොඳ සම්බන්ධතාවක් නොවීය .කෙසේ හෝ ඊ මේල් පණිවුඩ බලාගැනීමට හැකි විය .ඒ වනවිට ඇය කරදරයක් නැතිව ගමනාන්තයට ලඟා වූවාදැයි විමසා ඊ මේල් පණිවුඩ හතරක් ලැබී තිබුණි .යුහුසුලුව ඊට පිලිතුරු දුන් සැනින් නෝක්කාඩු බස් මුසු වූ පිලිතුරක් ඇයට ලැබුණි .ඇය ඊට පිලිතුරු ලිව්වේ තරහිනි .
"හිතන් ඇති මට වෙන වැඩ නෑ කියලා .මොනවත් කරගන්න බැරි පොඩි එකෙක් නෙවෙයි මම" .ඈ තරහෙන් සිතන්නීය .සතියක් යන තෙක් ඇය නැවත ඊ මේල් පණිවුඩ යැව්වේ නැත .දුර ඇමතුමක් දුන්නේත් නැත .එහෙත් ඇගේ දුක සැප විමසා ඊමේල් පණිවුඩ ගනනාවක් ලැබී තිබුණි . ඒ කිසිවකට උත්තර නොලිව් නමුත් ඇය ඒ සියල්ල කියවීමට අමතක නොකලාය .
"පවු සෑහෙන්න මං ගැන කරදර වෙනවා "ඇයට සිතුන වාර බොහෝය .
ඔවුන් හමුවන්න හිතන් උන්නේ දෙසැම්බර් අග නිවාඩුවටය . "සර්ප්‍රයිස් එකක් දෙන්නවා නොදැනෙන්න" ඇය හිතුවාය
සුපිරි ඇඳුම් සාප්පුවකට ගිය වෙලාවක ඇයට මේ ලා නිල් පැහැ ටී ශර්ට් එකත් කොට කලිසමත් සහිත නිදන ඇඳුම නෙත ගැටුනි .එය ප්‍රියමනාපය . නිල් පැහැයට ඈ බොහෝ ප්‍රිය කලාය .එය සුව පහසු හා පිලිගත් වෙලඳ නාමයකින් යුත් ඉස්තරම් වර්ගයක එකකි .තරමක් මිලෙන් වැඩි වුවත් තෑග්ගකට කදිම නිසා දෙවරක් නොහිතා මිලට ගත්තාය .
මේ තෑග්ග මිලට ගත්තේ දැන් දෙවසරකට පෙරාතුවය .එහෙත් ඔවුන් සිතූ ලෙස ඒ දෙසැම්බරයේ අග එකිනෙකා හමු වූයේ නැත .ඒ දෙසැම්බරය යලි උදා වූයේත් නැත .ඉන් පසුව ඇයට බොහෝ ගමන් බිමන් යෙදුනි.ඒ සියල්ල ගැන වගබලා ගන්නට ඇයට සිදුවුනේ තනිවමය . දෙවසරක් ඇගේ අල්මාරියේ වූ නිල් පැහැ නිදන ඇඳුම මෙවර ඇගේ ඇඳුම් බෑගයට පැක් වී ආවේය .අවසානයේ තෑග්ග එහි නියම හිමිකාරයා වෙනුවට ඇයටම පරිහරණය කරන්න සිදුවී ඇත .
අයියෝ තෑග්ග දෙන්නේ නැතුව තියාගෙන නේ...
ReplyDeleteඒ යාලුවට මොකද උනේ? අපිට කැමති දෙයක් හිතාගන්ට ඇරලා ඉන්නව නිකං ඉන්ටද කල්පනාව? :D
ReplyDeleteහිතේ අහුමුළුවල පිරුණු භාවාතීෂ ලටපට.. ;)
ReplyDeleteපලි: ගෑල්ලමයි ඔහොම්මයි අප්පා.. අපි වදයක් කියලමයි හිතන්නෙ, they don't know how much we care about them.. :D
යාළුවා ළඟ නැති හින්දා, එයාට ගත්තු තෑග්ගවත් තියෙන එක දෙයක්නෙ. මොනවා වුණත්. නිලූ ගැන හොඳට හොයා බැලුව අම්මෙක්/ තාත්තෙක් වගේ යාළුවෙක්.
ReplyDeleteඅපිට ලග ඉද්දි අගේ තේරෙන්නේ නැහැ ඒත් එයා දුරට ගියාම තමා අගේ වැඩි.
ReplyDelete