Friday, February 25, 2011

"ලැට් මිස්"



ලැප්ටොප් එකට වයිරස් එකක් ගිහින් කිසිම පයිල් එකක් ඕපන් කරගන්නවත් ඩොන්ගල් එකෙන් ඉන්ටෙර්නෙට් යන්නවත් බැරිවුණ වෙලාවේ නිකන් පපුව හිර වෙලා හදවත කඩාගෙන වැටුණා .දැන් කොහොමෙයි  ඊ මේල් යවන්නෙ , චැට් කරන්නෙ , මූණු පොත බලන්නෙ , නිවාඩු උණත් රාජකාරි ඊමේල් ලියන්නෙ ,සින්දු අහන්නෙ , යූ ටියුබ් එකෙ නිව්වි හැනහිල්ලේ ආසකරන චිත්‍රපටි බලන්නෙ ? වනේ වන හතුරෙකුටවත් නම් මෙහෙම විපතක් වෙන්න එපා . ලැප්ටොප් එක මගේ ජීවිතේ කොටසක් වගේ නෙ . ඒ තරම් මම දැලේ සැරිසරන්න ඇබ්බැහිවෙලා . අපේ ඔෆිස් එකේ IT මැනේජර් සතියකට නිවාඩු.කාට කියල හදවගන්නද ?දවස් දෙකක් තිස්සේ දන්න ඔක්කොම සෙල්ලම් දාල යන්තම් දෙය්යනේ කියල යතාතත්වෙට පත්කරගතේ.

මට මුලින්ම ලැප්ටොප් එකක් පාවිච්චි කරන්න ලැබුනේ දැනට අවුරුදු පහකට විතර කලින් . රස්සාවට ඇවිත් මාස හයකින් ඔපිසර පට්ටමකට ප්‍රමෝශන් එකකුත් එක්ක අලුත් Toshiba Sattelite වර්ගයේ ලැප්ටොප් එකකුත් මට කන්තෝරුවෙන් ලැබුණා .ඉතින් අලුත්ම තාක්ෂණේ කිරි ටොය්යියෙක් ලැබුණම පුදුම ප්‍රීතියකුයි ආඩම්බරේකුයි දැනුනට මොකෝ එකේ රඟේ තේරුණේ අවුරුද්දක් විතර ගිහින් . ඉතින් දෙයියනේ දැන් ඔය යත්ත්‍රය යන යන තැන පරිස්සමින් ගෙනියන්න ඕනෙ ඒ විතරක් නම් මොකෝ ඕනෙ හදිසියකට නිවාඩුද සෙනසුරාද ඉරිදද කියල නෑ ඔෆිස් එකේ හදිසි පණිවුඩ රාජකාරි වලට උත්තර බඳින්නත් සූදානමින් ඉන්න ඕනේ .


ඉතින් මගේ අලුත් ඔපිසර පට්ටමේ රාජකාරි කරගෙන අලුත් ලැප්ටොප් යන්ත්‍ර රාජයා එක්ක දැහැමෙන් සෙමෙන් කාලෙ ගතකරන අතරේ තමයි මට මේ අබැද්දිය වුනේ .ඔය දවස්වල මට දවස් දෙකක ට්‍රේනින් එකක් කරන්න හම්බන්තොට යන්න වුණා. ඉතින් අලුතෙන් ලබුණ යන්ත්‍ර රාජයත් ඔය වගෙ වැඩ වලට හරි ප්‍රයෝජනයිනෙ .ඒ නිසා එයාවත් ඇන්නගෙන වැඩේට ගියා . ට්‍රේනින් එකට ගොඩක් තරුණ ලමයි ඇවිත් හිටියා.ඒගොල්ලොත් ඉතින් මේ අලුත් ලැප්ටොප් රාජයා ගැන හරි විමසිලිමත් .ඒ අතරින් එක කොලුගැටයෙක් ගොඩක් උනන්දුවෙන් මේ ගැන විමසන බව පෙනුණා .මමත් ඉතින් දන්න තොරතුරු ඔක්කොම කිව්වා . ඔහොම පලවෙනි දවස ගතවුණයි කියමුකො . ඔන්න දෙවෙනි දවස .අද තමා අන්තිම දවස .අර මගේ ලැප්ටොප් එකේ අලුත් ගැජට් කෑලි ගැන උනන්දු වුණ ලමයට හදිසි වැඩක් නිසා එන්න වෙන්නෙ නෑ කියල කෝල් එකකුත් ආවා . ඉතින් ඉතුරු අයත් එක්ක වැඩ කරලා දවල් කෑමට අපි එකට විතර වැඩ නතරකරලා කෑම සාලවට ගියා . සතුටු සාමිච්චියෙන් කාලා බීලා ආයෙත් වැඩපටන් ගන්න දේසන සාලාවට ආවා කියමුකො.මලා..... මගේ ලැප්ටොප් රාජයා තිබුණ තැන නැහැ. වයර් කෝඩ් එකයි මවුස් එකයි ලැප්ටොප් බෑග් එකයි විතරක් මේසෙ උඩ තියෙනවා .කවුරුවත් විහිළුවටවත් හැංගුවද ? හැමෝගෙන්ම අහලා බැලුවා , ට්‍රේනින් සෙන්ටර් එක බාරව හිටි අයගෙනුත් ඇහුවා . ම්හූ කවුරුත් එහෙම කරලා නැහැ. කොහෙන් හොයන්නද ? දැන් ඉතින් කරන්න දෙයක් නෑ. අපේ ඔෆිස් එකේ ලොජිස්ටික් අංශයේ උපදෙස් පිට පොලීසියන්න තීරණය කලා.


එතන් ඉඳන් තමයි රසවත්ම කතාව . මේ පොලීසිය තංගල්ලයි අම්බලන්තොටයි අතර පොලීසියක් . රාලහාමිලා කියන සුනංගුවට ආවා.ට්‍රේනින් සෙන්ටර් එකේ උදවිය ,ට්‍රේනින් එකට ආව අය කාගෙනුත් කට උත්තර ගත්තා .ඔන්න එතකොට පොඩි හෝඩුවාවක් ආව .කලින්දවසේ ට්‍රේනින් එකට ආව මිටි ,මහත ,ඉත්තැකූරු කොන්ඩේ තියෙන පිරිමි ලමයෙක් අපි කෑමට ගිය අතරේ දේසන සාලාවට ඇවිත් ගිහින් .ඇවිත් තියෙන්නෙ ත්‍රීවීල් එකකින් . ආපයින්ම ගිහින් .යද්දී තරමක සී ආර් පොතක් වගේ දෙයක් ඉටි බෑග් එකක අරන් යනවා එතන හිටි කෙනෙක් දැකලා . දැක්කකෙනා මේ ගැන වැඩි විපරම් කරල නැත්තේ ඔය ගැටයා කලින්දවසෙත් ආව කෙනෙක් නිසා.කිව්ව හැඩහුරුකම් අනුව නම් කලින්දවසේ ලැප්ටොප් එක උනන්දුවෙන්න අත පත ගෑව ගැටයට සමානයි . විස්තරේ සොයාගත්තු ගමන් මට පොලීසියට ගිහින් පැමිණිල්ලක් දාන්න කියලා රාලහමිලා ඉගිලුනේ ත්‍රීවීල් පාක් එකට .

පේන විදියට නම් මගේ ලැප්ටොප් එක හොරකම් කරලා .මේ තරම් කාලෙකට අපේ ඔෆිස් එකේ මෙහෙම දෙයක් වෙලා නෑ. ඔන්න දැන් ලැප්ටොප් එකේ විස්තර , නම ගම ,අවසාන වතාවට දැක්කවෙලාව වගේ වග විස්තර සාවධානව මගෙන් අහගත්තු රාලහාමි කෙනෙක් පොලිස් පැමිණිල්ල අර ලොකු පොතේ ලියනවා මෙන්න මෙහෙම .


මිස් ටී.ජී විසින් පරිහරණය කල වර්ගයට අයත් රුපියල් 200,000 පමණ වටිනා "ලැට්" යන්ත්‍රයක් xxxxxxx දින හෝ ඊට ආසන්න දිනකදී xxxxx නම් ස්ථානයේදී සොරකම් කරගෙන ඇත. මෙමෙ "ලැට්" යන්ත්‍රය ටී .ජී රාජකාරි කරන xxxx ආයතනය මගින් ලබාදී ඇති xxxx අංකය දරන නිල "ලැට්" යන්ත්‍රයයි . "


දෙයිහාමුදුරුවන්ටම ඔප්පුවෙච්චාවෙ ! රාලහාමි "ලැප්ටොප්" කියන වචනෙ වෙනුවට නම කොට කරලද මන්දා "ලැට්" කියලා අලුත් නමක් හදලා . දැන් ඉතින් ඔය පැමිනිල්ල කියෝල ඒක නිවැරදි බවට අස්සන් කරන්නත් ඕනෙ නේ. ඉතින් ඊට කලින් මම රාලහාමිට කිව්ව "ලැට්" කියන නම වෙනුවට "ලැප්ටොප්" කියලා ලිව්වොත් හොඳා කියලා.ඉතින් නම වෙනස්කොරල ලියනගමන් රාලහාමි කියනවා "හරි පුදුමයිනෙ මිස් ටී ජී දැන් අතේ ගෙනියන "ලැට්" කොම්පියුටරුත් තියෙනව එහෙනම් .හොරුන්ට කියාපු බඩුවක් " කියලා .මම වෙච්චි අලකලංචි මැද්දේ හිනාව තද කරගත්තේ හරිම අමාරුවෙන්.ඔය අතරේ පොලීසියට සැපත්වුන ඕ අයි සී මහත්තයා මට එන්න කියලා පණිවුඩයක් එව්වා. ඉතින් නිල මැදිරියට ගියහම එතුමා කිව්වෙ මේ හොරකම ගැන පරීක්ෂණ කරන්න උවමනා හේතු සාධක ඕනෙ තරම් තියෙනවා කියලා .


"මිස් ටී .ජී අර කිව්ව හැඩහුරු කම තියෙන කොල්ලෙක් වීල් පාක් එකේ ඩැයිවර් කෙනෙක් එක්ක හයර් එකක් ගිහින් තියෙනවා.අපිට වීල් පාක් එකේ කොල්ලන්ගෙන් විස්තරේ ලැබුණා.මේක බරපතල හොරකමක් .මම ලේසියෙන් අරින්නෙ නෑ මේක .කොල්ලගේ, නම ,ගම, ලිපිනය තියෙන විස්තර ට්‍රේනින් එකේ පැමිණීමේ සටහනේ තියෙනවනේ .අපිට ඒ හොඳටම ඇති ඉන්වෙස්ටිගේෂන් එකට. මම දන්නවා ඔය කොම්පියුටර් ගොඩක් මිලයි.අපේ SSP මහත්තෙයෙකුත් ලඟදී ඔයින් එකක් ගත්තා"


ඔන්න දැන් ලොකු මහත්තයගේ අණ පරිදි පොලීසියේ රාලහාමිලා "ලැට්" එක සෙවීමේ මහා මෙහෙයුමට යන්න ලේස්තිය. පොලීසියේ ඒ වෙලාවෙ වාහනයක් තිබුණේ නැති නිසා අපේ ඔෆිස් එකේ හයර් වෑන් එක රාලහාමිලට ලැබුණා. ඒගොල්ලන්ට මේක කොච්චර ත්‍රිල් කේස් එකක්ද කිව්වොත් ඒ වෙලාවෙ ඩියුටි ඕෆ් වෙලා උන්නු රාලහාමිලත් පොලිස් කෝට් දාගෙන වාහනේට ගොඩවුණා.ඔන්න ඒ අතරේ ඕ අයි සී මහත්තයාගෙ ගෝරණාඩුව ඇහුණා.


"දැන් තමුසෙලා දන්නවද ඔය නැතිවෙච්චි ලැප්ටොප් එකේ හැඩ හුරුකම විස්තර එහෙම , යන්න කලින් ඒගැන අහගන්නව මේ මිස් ටී .ජී ගෙන්"


ඊට පස්සේ ඕ අයි සී මහත්තයා හිමින් සීරුවෙ මටකියනවා "මිස් ටී ජී මේ අය ඩෙස්ක්ටොප් දැකලා ඇති .ඒත් කවුරුවත් ලැප්ටොප් ගැන දන්නෙ නෑ, දැකලත් නෑ.ටිකක විස්තර කරල කියන්න මොකක්ද කිඅයලා .මම ඕක දැක්කෙත් අපේ SSP මහත්තයා ගාව තිබිලා"


ඔන්න රාලහාමිලා පූස් පැටවු ටිකක් වගේ වාහනෙන් බැහැලා ඇවිත් 'ලැට්" එක ගැන විස්තර අහනවා . මාත් ඉතින් කියනවා ."මෙක මේ අතේ ගෙනියන්න පුලුවන් හරියට පයිල් එකක් වගේ අරින්න ඇහැකි දෙයක .එහෙම ඇරියම තිරයක් තියෙනවා.නිකන් සී ඩී ප්ලේයර් එකක් වගෙ හැඩහුරු කම . ඔහොම කියලා අන්තිමට ලැප්ටොප් බෑග් එකේ තිබුණ මැනුවල් එකෙන් ලැට් එකේ පින්තූරෙකුත් පෙන්නුවා .


ඔය අතරේ අපේ ලොජිස්ටික් එකේ චන්දන මට රහසෙන් කියනවා "ටී ජී මටනම් ෂුවර් නෑ , මේ රාලහාමිලා ලැප්ටොප් එකක් කියලා මොනවා උස්සගෙන ඒවිද කියලා ".වෙච්චි අලකලංචි මැද මට ආයෙත් හිනා යන්න එනවා. 


ඔන්න ඉතින් පොලීසියෙ කටයුතු ඉවරවෙලා මම නවාතැනට ගියා හිත තාන්තුවාවෙන් . මම හිතුවෙ නැහැ කීයටවත් මේක හොයාගන්න පුලුවන් වේවි කියලා .කවදාවත් අපේ ඔෆිස් එකේ මෙහෙම ලැප්ටොප් එකක් නිලධාරියෙක් අතින් නැතිවෙලා නැහැ. මට මේකෙ අලාබේ පඩියෙන් ගෙවන්න වේවිද මන්දා කියලා හිත හිත ගෙදර ගියේ .නමුත් ඕ අයි සී මහත්තයා නම් එක හෙලාම කිව්වේ බඩු එක්ක හොරා කොහොමහරි අල්ලනවා කියලා.කිව්වත් වගේ මෙන්න එදා රෑ මැදියමේ මට කෝල් එකක් ආවා එතුමාගෙන් ලැප්ටොප් එකයි හොරයි දෙන්නම අල්ලා කියලා.මට සොර බඩුවේ අයිතිය තහවුරු කරන්න අදාල ලිය කියවිලිත් අරන් උදෙන්ම පොලීසියට එන්න කිව්වා.එදාම හම්බන්තොට මහේස්ත්‍රාත් උසාවියට දාල ලැප්ටොප් එක නිදහස් කරගන්න පුලුවන් කිව්ව . හොරකම් කරලා තිබුණේ ට්‍රේනින් එකට ආව ගැටයා. කොල්ල ඒ අවුරුද්දේ දෙවෙනි පාරට උසස්පෙල ලියනවා කියලා ඕ අයි සී මහත්තයා කිව්ව. මට ඕන වුනේ ලැප්ටොප් එක විතරක් නිසා පෙර වැරදි නැත්නම් කොලුවට අත්හිටවූ හිර දඬුවමක් වගේ හිරගෙදර නොයන ක්‍රමේකට වැඩ සලස්සන්න කියලත් එතුමගේ ඒ වෙලාවෙ ඉල්ලාහිටියා.


ඔන්න පහුවෙනිදා තමයි වැඩේ.මම පොලීසියට යනකොට ඉස්සෙල්ලම මුණගැහුනේ පැමිණිල්ල ලිව්ව රාලහාමි . එයා හිනාකටක් පුරවගෙන ඇවිත් "හා මේ අපේ "ලැට් මිස්" නේ , ඔන්න අපේ ඕ අයි සී මහත්තයා බඩු එක්ක හොරු ඇල්ලුවා " කියාගෙන ගියා .


ඊලඟට ඕ අයි සී මහත්තයා මුණගැහිල ඉස්තුති කරලා ඉවරවුණාම එතුම කිව්ව මගේ ලැප්ටොප් එක අඳුනාගන්න කියලා . ඉතින් ඔන්න රාලහාමි කෙනෙක් එක්ක තව කාමරේකට ගියා. ඒ රාලහාමි ලොකු ලී පෙට්ටගමක් වගේ එකක් ඇරගෙන අනිත් රාලහාමිගෙන මෙන්න මෙහෙම අහනවා .


"මචං මේ මිස්ගෙ ලැට් එකේ නඩුබාණ්ඩ අංකේ මොකක්ද "?
"xxxxx මචං" අනික රාලහාමි උත්තර දෙනවා
"නෑ බන් xxxxx කියන්නේ ඊයෙ අල්ලන් ආව කසිය බෝතලේනෙ "


දෙය්හාමුදුරුවන්ට ඔප්පුවෙච්චාවේ මගේ "ලැට්" එක හොරබඩු දාල තියෙන පෙට්ටියේ කසිය බෝතල් එක්ක තමයි රැයක් පුරා තිබිල තියෙන්නෙ . මට හිනාත් යනවා


ඉතින් කොහොමහරි එදාම උසාවියෙන් ලැප්ටොප් එක නිදහස් කරගත්තා .කොල්ලට පෙර වැරදි නැති නිසාත් ,වැරැද්ද පිලිගත්ත නිසාත් නඩුකාර උන්නාන්සේ තදින් අවවාද කරලා නිදහස් කරා . මොනවා වුණත් ඒ පොලීසියේ මහත්තුරු අපිට ලොකු උදව්වක කලේ .බොහොම අඩුපාඩු එක්ක තමයි මේ රාලහාමිලා පොලීසියේ රාජකාරි කරන්නෙ .නඩු උසාවියට දාන්න චෝදනා පත්‍ර ටයිප් කරගන්න කඩදාසිත් ගිඟයි .ඉතින් අපි ඔෆිස් එක ගානෙ ටයිපින් පේපර් බන්ඩල් පහකුයි නිල් රතු ,කලු, පෑන්, පෙට්ටි තුනකුයි පරිත්‍යාග කලා මේ කරපු යහපත් රාජකාරි කටයුත්ත වෙනුවෙන් .


ඉතින් ඊට පස්සේ අපේ ලොජිස්ටික් අංසේ කොල්ලො කතාකරන්නෙ මෙහෙම .


"මචං අපි මේ අවුරුද්දේ අලුතෙන් ලැට් ගන්නවද ?අලුත් ලැට් වලට බජට් කරාද "?


"දැන් අපේ ඔෆිස් එකේ ලැට් සර්විස් කරන්න යවන්න කාලෙ හරි නේද " ?


ඔන්න ඔහොමයි "ලැට් මිස්ගේ කතාවස්තුව "


ප/ලි


අර ලැට් එක අවුරුදු පහක්ම මාත් එක්ක දිවා රෑ නොබලා රට වටේ රවුම් ගහමින් මහන්සියෙන් වැඩ කොලා .ඉතින් අවුරුදු පහක් ගියත් ඉහෙන බහින ලෙඩක් නොතිබුණත් බොහොම පරණ නිසා ඔෆිස් එකේ නීතිවලට අනුව මට අලුතෙන් ලැට් එකක් ලැබුණා ගිය දෙසැම්බර් වල . දැන් පරණ "ලැට්" එක IT අංසයේ රාක්කයක් උඩ ඉන්නවා තනියම කාත් කවුරුවත් නැතුව බොහොම දුකෙන් .

Tuesday, February 15, 2011

සබ්‍රිනා ,ජීවා සහ නූතන තේරි ගාථා




නිවී සැනසිල්ලේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ තේරි ගී පොතේ පිටු අතර සැරිසරද්දී මගේ සිහියට ආවේ ඈත ඉන්දියවේ සීතල ඩාර්ජිලින් කඳුකරයේත් , මෑත ලංකාවේ අනුරාධපුරයේ අරාමයකත් ගිහි දිවි හැරපියා බවුන් වඩනට ගිය මගේ ප්‍රිය මිතුරියන් දෙදෙනෙක් වන සබ්‍රිනා සහ ජීවා ගැනයි . මේ දෙදෙනාම තුරුණු වියේම  එකිනෙකට වෙනස් මාර්ග දෙකක ගියත්  එකම ආධ්‍යාත්මික අරමුණකට කැපවූ දෙන්නෙක්. සබ්‍රිනා කල්කටාවේ ප්‍රකට ලොරේටෝ නිකායට අයත් කන්‍යා සොයුරියක්.ජීවා බෞද්ධ භික්ෂුණියක්.


සබ්‍රිනා මට මුණගැහුනේ නේපාලයේ දුලික් හිල් කඳුකරයේ ගෙවුණ මාසෙක පුහුණු කාලයේදී.පුහුණුව පටන්ගන්න පෙර දවසේ හවස තේ මේසයේ  මගේ තේ කෝප්පය ලැබෙනකන් බලන් ඉන්න අතරතුරේ මේසයෙ අනික් කෙලවරේ ඉන්දියානු හා පාකිස්තාන යුවතියන් කතා බහ කරමින් සිටියා.ඔවුන් අතරේ ලා දුඹුරු පැහැ චාම කපු සල්වාර් ඇඳුමකින් සැරසුණ , ප්‍රියමනාප ඡවි වර්ණයෙන්යුතු මද සිනහවකින් මුව සරසා ගත් එකියක් මා වෙත පකෝඩා පිරවූ බඳුනක් දික් කරමින්  "ප්ලීස් හැව් සම් " කීවා.   ඔවුන්ගේ අල්ලාප සල්ලලාපයට එක් නොවුණත් එයට කන්දී සිටි මට හැඟී ගියේ මාසයක් පුරා සියලු  වැඩ රාජකාරි හැරදමා දුලික් හිල් වල ගතකරන්න සිදුවන කාලය ගැන මේ හැමදෙනාම කතා බස් කරන බවයි. එවිට අර ප්‍රියමනාප යුවතිය කිව්වේ I am going to miss my congregation & the community that i work.මේ අදටත්  සබ්‍රිනා මට හොඳින්ම මතක තියෙන විදියයි .එදාට පසු දිනයේ අපේ  පුහුණුවේ දී අපි එකිනෙකා හඳුනාගත් අවස්ථාවේ ඇය කන්‍යා සොයුරියක් බව කී විට අප පුදුමයෙන් පුදුමයට පත් වුවත් කාටත් නොදැනීම අප සිත් දිනාගත් මිතුරියක් වෙන්නට සබ්‍රිනාට හැකිවුණා.


ජීවා සහ මා හමුවුනේ එකම පීඨයක   වසර හතරක් එකට උගත් මිතුරියන් ලෙසයි.ඇය මට නිරතුරුව මතකයට එන්නේ ස්පෝට්ස් දිනයට ක්‍රිකට් ගහන්නට ආ කෙල්ලන් කන්ඩායමේ ඉදිරි පෙල සාමාජිකාවක් ලෙසයි. මිටි සිහින් සිරුරකින් හා සිනහ මුසු මුහුණකින් යුතු ජීවා  අනලස්ව ඉගෙනීමේ කටයුතු වල යෙදුනා. ඇය  වෘතීය ජීවිතයට  පිවිසී ඉතා කෙටිකලකින් රජයේ අධිකරණ සේවය හා බැඳුණ ප්‍රකට දෙපාර්තමේන්තුවකට එක්වුණේ දීප්තිමත් අනාගතයකට හිමිකම් කියමින්.


 සබ්‍රිනා ඩාර්ජිලින් වල ධනවත් වෙලඳ පවුලක සුව පහසු ජීවිතයට හිමිකම් කියූ තරුණියක් .ඇය කන්‍යාරාමයට යන්නේ වයස දහනවයක් තරම් හිරිමල් වියේදී. වෘත්තීය ජීවිතයේ දීප්තිමත් අනාගත්යකට හිමිකම් කියූ මැදපන්තියේ පවුලකින් පැමිණි ජීවා භික්ෂුණී ආරාමයට යන්නේ සිය තුරුණු දිවියේ තිස් විය එලඹීමටත් පෙරයි   මේ දෙදෙනා ගැනම කියූ තොරතුරුවලින් ඕනෑම කෙනෙක් සිතනු  ඇත්තේ ජීවිතයේ කොතැනක හෝ ඇතිවූ මහා කල කිරිමකින් ,නොසතුටක් නිසා ඔවුන් ගිහි ගෙය හැරගිය වගයි .එසේත් නැත්නම් සිතනේ මොවුන් මැණිකකට පයින් ගසා ගිය මෝඩයන් හෝ පිස්සන් ලෙසයි .


සබ්‍රිනා පලමුව හඳුනාගත් දිනයේ අපි සියලු දෙනාම ඇයට යොමු කලෙත් මේ පැනයමයි . ඉතා සිනහ මුසුව එය ඇසූ ඇය අපිට පිළිවදන් දුන්නේත් පැනයකින්මයි .
"ආධ්‍යාත්මික ජීවිතයකට යන්නේ කලකිරීම් ඇතිවුණොත් විතරමද "? ඇයි සතුටින් තීරණයක් අරන් කන්‍යාරාමයකට යන්න බැරි ?
 "මම හොඳින්ම දැනගෙන හිටියා කන්‍යාරාම ජීවිතය බොහොම කටුක බව . මම බොහොම ඉක්මනින් ඒකට හුරු වුණා .ඒ මම කැමැත්තෙන් මේ ගමන් ආව නිසා . මට ඕනෙතරම් ඉඩ තිබුණා මේ ජීවිතය අතහැර යන්න . මගේ අවසාන පොරොන්දුව දෙද්දිත් මට ඊට ඉඩ තිබුණා. ඒත් මම එහෙම නොකලේ මගේ හිතේ ඇතිවුණ තදබල කැමැත්තෙන් දේව සේවයට ආව නිසා . අදත් මට පුලුවනි මේ ජීවිතෙන් මිදෙන්න . නමුත් එහෙම කරන්න තරම් හේතුවක් මට නැහැ. රැකියාව , විවාහය ,ඉගෙනීම වගේ දේ වලින් ඔබ ලබන සතුට හා සමාන සතුටක් මමත් පැවිදි දිවිය තුල ඉඳිමින් මිනිස්සුන්ට උපකාර කරමින්  ලබනවා".ඈත නේපාල් මිටියාවතේ කඳු හෙල් තරණය කරමින් දුෂ්කර ගම්බද මිනිස්සුන්ට උපකාර කරන්න යන්නෙත් , අඩුපාඩු පිරුණ ගම්බද ආරාම වල මගේ තරුණ කාලය ගෙව්වේත් ,පූජ්‍යත්වයට පෙර කල්කටාවේ  ඉතාම අඩු පහසුකම් සහිත පරිසරයක ඉගෙනුම ලබමින් අපිස් දිවියකට හුරුවුනෙත්,ලාදුරු රෝහල් වල ලෙඩුන්ට උපස්ථාන කලෙත්  ඉතාම සතුටින්.සමහරවිට ජීවිතේ කල කිරිල පැවිදි වුණානම් මට මේ තරම් සතුටින් සේවය කරන්න ඉඩ ලැබෙන්නෙ නෑ."


ජීවා ඇගේ පැවිද්දෙන් පසුව මට හමු වුනේ නැහැ. ඇය මීට වසර 3කට පෙර පැවිදි වූ වග දැනගත්තේ ඉතාම මෑතක මිතුරියක් මාර්ගයෙන් .ඇගේ තීරණය ගැන ඇසුවා නම් ඇයත් මට දෙනු ඇත්තේ සබ්‍රිනාට සමාන උත්තරයක් . දීප්තිමත් වෘතිය ජීවිතය පසෙක දමා පැවිදි දිවියක ඇති සීමා ,වගකීම්  ,කටුක බව විෂේශයෙන් ලංකාවෙ ස්ත්‍රී පැවිද්ද එතරම් අගය නොකරන කාලයක මෙවැනි තීරණයකට එලඹෙන්න තරම් යහපත් තිර සිතුවිලි ඇයට තියෙන්නට ඇති .


අපේ  කතෝලික පල්ලිය නිර්දය ලෙස විවේචනය කිරීම් ,  නොසන්ඩාල විහිලු තහලු ප්‍රිතිමත් ලෙස සිනා මුසුව අසන්ට  සබ්‍රිනාට තිබුනේ පුදුම  ඉවසීමක් .කොටින්ම අපි අපේ නඩය unholy congregation  ලෙස හඳුන්වා ඇය holy sister  ලෙසත් , අපි අතර වූ ඉතාම කටකාර හා විසේකාර එකියක් holy lucifer  ලෙස  ආමන්ත්‍රණය කරන විටත් ඇය සිනහසුන අයුරු මට මතකයි . අදටත් අපි අතර හුවමාරු වෙන  ඊ මේල් පණිවුඩ වල මේ නොසන්ඩාල විහිලු කතා තිබුණත් ඇය සිනා මුසුව අපිව ඉවසන්නීය .මේ තරම් ලඟින් අපි ඇසුරු කල මුත් ඇය අපේ නාඩගම් වැඩ හෙලා දුටුවේ නැත .නමුත් ඊට එක්වුනේත් නැත . ඒ ඇය තුල වූ සංයමය නිසා විය යුතුය .තිස්පස් වියට වත් නො එලඹුන ඇයට ඒ හික්මීම අත්දැකීම් තුලින් පුරුදු පුහුණු කළා විය යුතුය .


"සමාජය අපි පැවිදි ජීවිතයට ගියහම දේවත්වයෙන් සලකලා අපිව  බාහිර සමාජයෙන් ඈත් කරන්න හදනවා. නමුත් අපිත් සාමාන්‍ය මිනිස්සු . අපිටත් පැවිදි දිවිය තුල වැරදෙන තැන් එමටයි.අපිට අසාමාන්‍ය බලයක් නැහැ සාමන්‍ය මනුස්ස ලෝකෙ තියෙන හැඟීම් වලින් ඈත්වෙන්න ". වරෙක තම පැවිදි ජීවිතයේ හදිසියෙන් ඇතිවී නැතිවූ ප්‍රේම කුණාටුවක්  ගැන ඇය පාපෝච්චාරණය කරමින් කිය හිටියා .


එදා ක්‍රිකට් ගහන්නට ආ කෙල්ලන් රැලෙහි පෙරමුනේ සිටි ජීවාද අද මෙබඳු සංයමයකින් කසාවත් දරා ජීවිතය දෙස දකිනු ඇත . තම රැකියාවෙන් ලද සතුටට වඩා සතුටක් ඇයට පැවිද්දෙන් ලැබෙනු ඇත .  අප ඉතා ගරු කරන අපට උගැන්වූ විශ්ව විද්‍යාල ආචාර්යවරියක් අවසන් වසරෙහිදී අපට කිවේ තමන් ඉතාම සතුටට පත් වෙන දෙය තම වෘත්තිය කරගන්නා ලෙසත් එම කාර්ය ඉතාම උසස් අයුරින් කැප වී ඉටු කරන්නටත්ය.ඒ තුල වැදගත් වන්නේ අපේ තරාතිරම නොව අප කැපවී කරන කටයුත්ත බව ඇය අපට පැහැදිලි කලාය .


ඒසේ නම් සබ්‍රිනා සහ ජීවා යනු මුග්ධයින් හෝ ජීවිතය කලකිරුන වුන් නොවේ. කිසිදු දෙයක් කරගත් නොහුනු තැන පැවිද්දි වූවන්ද නොවේ . ඒ දෙදෙනාම අපිට වඩා පරිණත , සංයමයකින් හා ජීවිත දැක්මකින් යුත් ,බොහෝ ඇලීම් බැඳීම් ඉවත දමා එන්නට තරම් තිර සිත් ඇති ,කැපවීමක් ඇති,ජීවන දැක්මක් සහිත ගැහැණුන්ය . මේ දෙදෙනාම මතු  යම් දිනෙක තමන් යන ආධ්‍යාත්මික  මග වෙනස් කොට අප හා එක්වුවද මම ඔවුන් පරාජිතයන් ලෙස නොසකලකමි . ඒ ඔවුන්ගේ තීරණයයි. එසේ වුවද ඔවුන් කෙරෙහි මසිත නොපහන් හැඟීමක් හට නොගනු ඇත. මට ඇවසි වුයේ මිනිස් ජීවිතයේ සමහර තීරණ සහ ලෝකය දෙස බලන දෘෂ්ටිය කෙතරම් පුදුම සහගතදැයි විමසීම පමණකි 


සියලු සැප සම්පත් , අනාගත යස ඉසුරු , බැඳිම් හැරපියා සරල දිවියකට හුරු වුණ ඔවුන් යම් දිනෙක සිය අපිස් දිවිය ගැන උදන් අනමින් නූතන තේරි ගී ලියනු ඇතැයි මට හිතේ.






In the eyes of  flowers,flowers is the world
In the eyes of thorn,thorn is the world
The shadow is casted according to the object
In the eyes of thorn,thorn is the world
In the eyes of  flowers,flowers is the world


 May my heart be pure
May my words be like of the Buddha
May my feet never kill any insects]
In a beautiful eye opens a beautiful world
 In the eyes of thorn,thorn is the world
In the eyes of  flowers,flowers is the world


May I see the bright moonlight in a dark night
and hear the music of life with the moments of bliss
 In a transparent heart opens a transparent world
In the eyes of thorn,thorn is the world
[In the eyes of flowers,flowers is the world
In the eyes of thorn,thorn is the world
The shadow is casted according to the object


ප/ලි
මේ මම ඉතාම ප්‍රිය කරන නේපාල් ගීයක් .මෙහි විශේෂයක් තියෙනවා .මෙය ගයන්නෙත් Ani Choying Dolma නම් වූ නේපාල් ජාතික බෞද්ධ භික්ෂුණියක් . ඇගේ Moments of Bliss  ඇල්බමයේ ඇති මේ මිහිරි ගීය මගේ පැවිදි මිතුරියන් වෙනුවෙන් . නේපාලයෙදී මම මේ භික්ෂුණියගේ ගීත සජීවීව අසා තිබෙනවා
Moments of Bliss ඇල්බමය මට තෑගි ලැබුණේ මගේ හොඳම නේපාල් මිතුරියක් වන මෝනා ශර්පාගෙන්.

Saturday, February 5, 2011

ප්‍රේම පුරාණය ,ආර්ථික විද්‍යාව සහ සුනේත්‍රා



වැඩිදෙනෙක් සුනේත්‍රා රාජකරුණානායක විසින් ලිව්ව "ප්‍රේම පුරාණය" පොත කියවල ඇතිනේ.මට මේ පොත කියවන්න ලැබුනේ පැඟිරි වයසේ දී වගේ .ඒ කියන්නේ වයස දහනවේදී විතර.ප්‍රේම පුරාණය , ලෝකෙවටා යන සංචාරක පිස්සුව සුනේත්‍රාගේ වචනවලින් කිව්වොත් පරණ ගඩොල් නැරඹීමේ පිස්සුවෙන් හිටි නිර්මලා ජයසූරිය කියන බොහොම නිදහස් මතධාරී පත්තරකාරියකගේ ශෘංගාරාත්මක අසම්ත පෙම් කතා ගොඩක් .වරෙක ප්‍රේමයේ ඇලෙමින් තවත් විටෙක ප්‍රේමයන් ඉවත්වෙමින් ප්‍රේමය අත්විඳින්න ගත්ත වෑයමක් කියලයි කතුවරිය කියල තිබුනේ. කොහොම වුණත් මේ පොත මා අතට පත්වෙන්නෙත් තරමක් පුදුම විදියකට . ඒ අපේ ඉස්කෝලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදී උසස්පෙල ආර්ථික විද්‍යා විෂය සඳහා ඉහලම ලකුණු ලැබූ ශිෂ්‍යාට ලැබෙන ත්‍යාගය ලෙසින් . ඔය වයසෙදී ගොඩක් ඉස්කෝලවලින් තෑගි ලැබෙන්නේ විෂයට ගැලපෙන පොත් මිසක් ප්‍රේම කතා නෙවෙයිනේ . මේ කතාවේ හොඳම හරිය තමයි මගේ තෑග්ගට අනුග්‍රහය  දීල තිබුණෙ මට අවුරුදු දෙකක් ආර්ථික විද්‍යාව උගන්වපු ගුරුවරයා. සුනේත්‍රා වරෙක ඇගේ "මතක පොතෙහි" තමන් උගත් රත්නපුරේ මිෂනාරි පාසල ගැන "බ්ලේක් සමයේ පාසල් මතක" සටහනේ කියාතිබුණා එවක ඔවුන්ගේ තුරුණුවියේහි පාසල තුල ප්‍රේම කතා, මාරක කතා කියවීම මිෂනාරී කන්‍යා සොයුරියන් තහනම්කොට තිබූ වග .නමුත් ඉතාම බෞද්ධ ආගමික පරිසරයක වූ මගේ පාසලෙන් ඇගේ ප්‍රේම පුරාණය මට තෑගි ලැබීම යම් ප්‍රමාණයක විස්මය දනවන කරුණක්.


ප්‍රේම පුරාණය මට මතක්වුනේ ගිය සතියේ දවසක සරසවියට ගොඩවැදුන නිසා.වෙනත් විෂයකට අදාල පොතක් මිලට ගන්න ගියත් අන්තිමට නතරවුණේ නවකතා පොත් රාක්කෙ ගාව. අංශක අනූවට විතර බෙල්ල ඇද කරගෙන පොත් වල නම් ගම් විස්තර කියවද්දී රාක්කේ උඩින්ම තිවුණ සුනේත්‍රාගේ පොත් වලට ඇහැ ගියේ නිතැතින්ම . නවකතා පොත් සල්ලිදීලා අරගෙන කියවන පුරුද්දක් මට නැතත් සුනේත්‍රාගේ පොත් මිලට ගැනීමේ තණ්හාවක් ප්‍රේම පුරාණය කියවූ පසු මට තියෙනවා.ඒ නිසාම කලින්වතාවල සරසවියෙන්ම "පොදු පුරුෂයා", "නන්දිතය" , "බත් තරංග", "කෙටි පණිවිඩ හා දිග කතා","රිදී තිරංගනාව", "සුබෝධාලංකාරය","මතක පොත 1, 2", "හර්ද්ය සූත්‍ර", සහ "සඳුන් ගිර ගිනිගනී" ගෙනැවිත් කියෙව්වා.මේ හැමපොතක්ම සුනේත්‍රාටම ආවේණික සරල කටවහරට අනුව රසවත්ව කුතුහලය එක්කර කතන්දර කීමේ රටාවකට ලියැවුන පොත් . ඇගේ හැම පොතකම ප්‍රේමණීය සමහර වෙලාවට බොලඳ, ප්‍රේමය වෙනුවෙන් මට සිලිටි බොරු ගොතලා හිත රවටාගන්න, ආයෙත් පෑරුණ හදවතේ තුවාල කැලැල් ගැන දුක්වෙන,ප්‍රේමය බෙදාගන්න බැරුව රණ්ඩුවෙන ආයෙමත් ප්‍රේම කරන ගෑණු මිනිස්සුන්ගේ කතා එමටයි . නිදහස් ශයිලියකින් ලියන කතුවරිය ආලවට්ටන් දාල පෙම් කතා කියන්න දස්සයි.ඒවගේම ඇගේ පොත්වල බොහොම ප්‍රබල ගැහැණු චරිත නිර්මාණය වෙනවා. ජීවිතේ ගැන බොහොම විමසුම් බැලුම් හෙලන උගත් ,නූගත් නාගරික සහ ගැමි ගෑනු ඇගේ පොත් වල ජීවත්වෙනවා.කෙටි පණිවිඩ හා දිග කතා පොතේ කෙටිකතාවක ගැමි ගැහැණියක් යුද සෙබලෙක් සමග හොරෙන් විවාහවෙන්න යන ඇගේ දුවට කියන්නේ "ගෑණියෙකුට ජීවිතේ ගෙනියන්න හමුදාවකට වඩා හිතේ හයියක්" උවමනා බවයි .


මතකපොත 1 සහ 2 තුලින් සුනේත්‍රාගේ කතන්දර සහ ඇගේ සිතුම් පැතුම් වල අක් මුල් හෙලිකරගන්න සමහර අවස්ථාවල මග පෑදෙනවා කියලා මට හිතෙනවා. "සංවර්ධන සුබ සිහිනවල ස්ත්‍රී දායකත්වය" ගැන කියන කතුවරිය ඈත සූරිය වැව වගේ ගම් දන්වු වල වැස්සකටවත් ඉස්කෝලෙ නොගියත් කවි සින්දු කතා ලියන ගැමි ගෑනු ගැන කියනවා. ඒ අතරේ ඉන්දියාවෙත් චීනයේත් පැරණි නගර , මාලිගා හා මිනිස්සු ගෑණු අතර තනිවෙමින් සිහින දකින්නියක් වෙනවා.වරෙක ඇය සිය චරිතය තුල වූ දුඹුල් තැන් බොලඳ ගති ගැන තමන්වම හාස්‍යටත් ලක් කරගන්නවා. තදබල සමාජවාදී උණකින් ආතුරව සිටි තම තුරුණුවිය සිහිපත් කරන කතුවරිය තමන්ට සදය සිනා නගන්නේ "රුසියාවට වහිනකොට රත්නපුරේ ඉඳන් කුඩයක් අල්ලාගෙන හිටි ගෑනු ළමයා" කියමින් .


මෙවර සරසවියේ පොත් රාක්කෙන් මට හමුවූ සුනේත්‍රාගේ අලුත් පොත් තුනක් තිබුණා. ඒ "පූර්ව ජන්මය" ,"සුචිත්‍ර චාරිකා සටහන්" සහ "බුද්ධදාසි" පොත්.පූර්ව ජන්මය සහ සුච්ත්‍ර චාරිකා සටහන් තුල මා දුටුවේ ආලවට්ටන් දමා ප්‍රේම කතා කියන කතුවරියකට වඩා යම් ආධ්‍යාත්මික සතුටක් සොයා යන්නියක්.සුචිත්‍ර චාරිකා කතුවරිය දකුණු ඉන්දියානු ආගමික ස්ථාන කරා ගිය වන්දනා චාරිකා කතා එකතුවක් .ඒත් පූර්ව ජන්මය නම් කියවන්න මම වෙලා නොගත්තේ බුද්ධදාසි වඩා හිත් ගත්ත නිසා.


බුද්ධදාසී සුනේත්‍රාගේ අනික් නවකතාවලින් වෙනස්වුණ ඉතිහාස කතා ඇසුරෙන් ගොඩනැගුන ප්‍රබන්ධ කතාවක් හා සමානයි.බොහෝ වංශකතා,අටුවා ටීකා, වල කියැවෙන්නේ අනුරාධපුර යුගයේ රජුන්ගේ වීර ක්‍රියා , වාරි කර්මාන්ත , වෙහෙර විහාර කර්මාන්ත ගැන වුවත් වංශ කතාවල නොලියවුණ රජ සිටු මැදුරු තුල වගේම අභය ගිරිය ,මහා විහාරය වගේ පන්සල්වලත් වූ බල අරගල , නොහොඳ නෝක්කඩු, සිත් රිදුම් ,ඊර්ෂ්‍යාවන් , සීතල යුද්ධ සහ ඒ වාට මැදිව දුක් දොමනස් සහ වයිර ගිණි ගොඩවල් වල දැවෙන රජ සිටු ඇමතියන් සහ පොදු ජනයා ගැන කතාවක් "බුද්ධදාසි".මේ බල අරගල වලදී රාජ්‍යත්වය සුරකින්න , හදිසි සමාදානය වෙනුවෙන් ගෑණුන්ගේ ජීවිත බිලිවෙන අයුරු ඇය විස්තර කරනවා.සුනේත්‍රාගේ කතන්දර කීමේ විලාසය නොඅඩුව මේ පොතෙත් තියෙනවා. සෙසු පොත් වල වගේම දුකින් තැවුණත් ,දුකින් නැගිටින ප්‍රබල ගැහැණු චරිත මේ ඉතිහාස කතාවෙත් ඉන්නවා.


ප්‍රේම පුරාණයෙන් සුනේත්‍රා කියවන්න පටන්ගත් මම අන්තිමට සරසවියෙන් පිටවුනේ "බුද්ධදාසි" නවකතාවත් මිලට අරගෙනයි.සුනෙත්‍රාගේ බොහෝ පොත් වල සටහන් ගැන මතකෙන් කියන්න මට පුලුවන්. ඒ අතරින් මගේ සිත් ගත් ප්‍රේම පුරාණයේ ඉන්ග්‍රිසි පරිවර්තන සටහනකින් (Attaining Age ) මේ කතාව ඉවර කරන්න හිතුවා.


" I laughed with a hundred new eyes . The eyes acquired after many workshops and many seminars . Those eyes appear all over the room. How can i explain it in plain words ?? He'll never understand .I did not want to spoil the evening. After all these years ,we were there to love and to be loved , not to hold preliminary session for the forth world conference on women."
Attaining Age - p - 33 -Sunethra Rajakarunanayake -Sarasavi Publishers


ප/ලි


සුනේත්‍රා මම ප්‍රිය කරන කතුවරියක් .ඇය ගැන මම දැනගත්තේ ආර්ථික විද්‍යාවට පාසලෙන් තෑගි ලද ප්‍රේමපුරාණයෙන් . මේ සුනේත්‍රාගේ පොත් වල ගුණාගුණ විවේචනය කරන්න ලිව්ව සටහනක් නම් නෙවේ 

මිහිරයි මමයි බින්දුමතියි


අපි පොඩි කාලේ රසවින්ද කාටූන් , ත්‍රාසජනක ටෙලි කතා , හඬ කැවූ විදෙස් ටෙලි නාට්‍ය ගැන මෑතකදී පිස්සා බ්ලොග් පෝස්ට් කීපයක් ලියලා තිබුණා. ඒ මතක ඔස්සේ යද්දී මට මතක් වුණේ ඒ කාලෙ රසවින්ද ළමා පත්තර ගැන යමක් ලියන්න ඕනෙ කියලා .

ටී .වී එකේ යන ළමා පත්තර දැන්වීම් දැක්කම හිතෙනවා  දැන් නම් ගොඩක් ළමා පත්තර පලවෙන්නෙ ශිෂ්‍යත්ව විභාගෙට ළමයි පුහුණු කරන්නද කියලා. මොකද එවායේ පලවෙන වෙනත් ලිපි , කතා ගැන සඳහනක් නැති තරම් .හැමතිස්සෙම කියන්නෙ පත්තර එක්ක ලැබෙන ප්‍රශ්න පත්තර පොත් කට්ටල ගැන .  එතකොට මට මතක්වෙන්නෙ මිහිර පත්තරේ පලවුණ "බින්දුමතී" කතාව.

තුනවසරේ ඉන්දලා  හත වසර විතර වෙනකන්ම මම නොකඩවා "මිහිර" කියෙව්වා. හැම සඳුදාම "මිහිර " එනකන් මම හිටියෙ නොඉවසිල්ලෙන් . ඒ කොටස් වශයෙන් පලවුණ "බින්දුමතී" කියවන්න. බින්දුමතී දුප්පත් දක්ෂ ගෑනු ලමයෙක් . අම්ම විතරයි එයාට හිටියේ. අම්ම රබර් කට්ටියේ කිරි කපලා දුවට උගන්වනවා. ගමේ පාසලේන් ශිෂ්‍යතවය සමත්වෙලා   සුදුවැල්ල ම්ධ්‍ය මහ විද්‍යාලයට  යන්න  බින්දුමතී ගමේ ඉඳන් ගොඩක් දුර පයින් යද්දී සපත්තු දෙක ඉක්මනට ගෙවෙන එක වලක්වන්න සපත්තු අතින් අරන්  පයින් ඇවිදගෙන ගිය හැටි කතාවෙ තිබුණ විදිය මට මතකයි. දුප්පත් වුණත් බින්දුමතී  දුර්වල යාලුවන්ට ඉගෙන ගන්න ගොඩක් උදව් කළ ළමයෙක්.එයා කිසිම වෙලාවක තමන් දුප්පත් කියලා ඉගෙනීම අතරින්නෙ නැහැ.අන්තිමට එයා ඉගෙන ගත්ත පාසලේම ගුරුවරියක් විදියට සේවයට යන එකෙන් තමයි කතාව සමාප්තවුනේ.ඒ සමාප්ති සටහනේ තිබුණේ මෙතෙක් කල් ඔබේ ලමා ලෝකයේ හිටිය බින්දුමතී අද පටන් වැඩිහිටි ලොවට පිවිසීමත් එක්ක මේ කතා මාලාව නිමා වෙනවා කියලා .  මිහිරෙ මුල්පිටුවෙ තියෙන බින්දුමතී  ලිව්වෙ සිරිල් සී පෙරේරා මත්තයා. මුලින්ම පත්තරේ අතට ගත්තු හැටියෙම රස කෑමක් කනවා වගේ මම බලන්නෙ බින්දුමතී කතාව.ඒ තරම් ලමයින්ට රසවත් ආකාරයට කතාව ලියැවිලා තිබුණා.ඒ කාලෙ තිබුණ විජය වගේ පත්තර අබිබවා  මිහිර පත්තරය වටා විසාල ළමා පාඨක පිරිසක් රොක්වෙන්න බින්දුමතී හේතුවුණා කියලා මට හිතෙනවා. මොකද මගේ පන්තියෙ යාලුවො ගොඩක් බින්දුමතී කියවන්න මම වගේම නොඉවසිල්ලෙන් හිටි අය .

මිහිරෙ ගිය කාටූන් අතරින් මම ආසාවෙන් බැලුව "බට කොල ආච්චී " සහ "පුංචිත්ත" කතන්දරත් මතකයි . බටකොල ආච්චි නිතරම නපුරු වැඩ කල මායාකාරියක් වුණත් "බූ බබා" ඒ නපුරු වැඩ වලින් අනික් අය බේරගන්න උත්සාහ කල කෙනෙක් .පුන්චිත්තා එක්ක එයාගෙ තනියට එහෙ මෙහෙ ගිය , නිතර එයා කතාබස් කරන බලු කුක්කෙකුත් හිටිය බව මතකයි. ඉන්ටර් නෙට් නොතිබුණ ඩිස්කවරි ගැන අහලාවත් නැති  ඒ කාලේ ඇල්ප්ස් කඳු , පිරමිඩ සහ පාරාවෝ  රජවරු , හිමවලස්සු , හිමාලයේ යෙටී මිනිස්සු, අප්‍රිකාවේ වනාන්තර, ගැන  ඩැනිස්ටර් පෙරේරා කියල කෙනෙක් ලිව්ව කුතුහලය දනවන රසවත් ලිපිත් මට මතකයි .  එදිනදා සිදුවන  විද්‍යාත්මක සන්සිද්ධි රසවත්ව හරිම සරලව කතා අනුසාරයෙන් පැහැදිලි කරලා දෙන විශේෂාංගයක් මිහිරෙ තිබුණත් මට ඒකේ නම මතක නැහැ."කමලක්කාගෙන් අහන්න " යනුවෙන් පලවුණ හාස්‍ය මුසු කවි සහ කතා අතුලත් වුණ රසවත් තීරු සටහනකුත් මිහිරෙ තිබුණා.

විජය පත්තරේ පල වුණේ බදාදට වෙන්න ඕනෙ. විජය මිහිර තරම් මගෙ සිත්ගත්තේ නැතිවුණත් එකේ  තිවුණ පියල් උදය සමරවීර ලිව්ව "මකාගේ යලක්" එකේ නාහෙ මල් ඇටයක් හිරවෙලා නාහෙට උඩින් පිපුණ මලක් එක්ක හිටිය  මල් මාමා මට තාමත් මතකයි . එහාගෙදර චූටි නැන්දා කියෙව්ව විජය පත්තර මිටියක්ම ඒ වෙනකොට මට ලැබිලා තිබුණේ . විජය පත්තරේ කාලයක්ම මැදපිටුව පුරාම බොහොම ලස්සනට වර්ණ චිත්‍ර රාමු  එක්ක පලවුන කතන්දර පොත මතකද?. ඒ පිටුව වෙන්කරලා ඊතල වලින් දක්වලා තියෙන උපදෙස් අනුව කපාගෙන ඒ මේ අතට නැව්වම ලස්සන හුරු බුහුටි  පොඩි කතා පොත් පිංචක් ලැබෙනවා. එයින් මිටියක්ම මාගාව තිබුණා විජය පත්තරෙත් එක්ක චූටි නැන්දාගෙන් ලැබිලා. ඒවා ඉස්කෝලෙ ගෙනිහින් යාලුවො එක්ක හුවමාරු කරන් කියෙව්වා මතකයි .

ඔය කාලෙ මිහිරක් රුපියල් තුනක් විතර වගේ .කොහොමහරි පත්තරේ ගන්න අම්මගෙන් හරි තාත්තගෙන් හරි රුපියල් තුනකුත් ඉල්ලගෙන සඳුදා වෙනකන් ඉන්නෙ පුදුම නොඉවසිල්ලකින් .  සඳුදාට ඉස්කෝලෙ ඇරිලා අවිත් බත් ඇටේ හරස්වෙන්න කලින් හන්දියෙ පත්තරකඩේට දුවලා යන්නෙ මිහිරක් ගේන්න .
අපේ ගමටම තිබුනෙ එකම එක  පත්තර කඩයයි ඒ දවස්වල . ඒ "මැම්බර්ගේ කඩේ"  කියල හැඳින්වුව ලේක් හවුස්, ලංකාදීප  සහ උපාලි පුවත්පත් අලෙවි නියෝජිතයන් හැටියට කටයුතු කල  හාල් සිල්ලර බඩු විකිණුව කඩයක්. සඳුදා අපේ ගමේ පොල දවස .ඉතින් හාල් සිල්ලර බඩු ගන්න උදවියත් මැම්බර් කඩේ පිරිලා . යන්තම් කඩ බක්කියට උස නැතිව අතේ රුපියල් තුනකුත් මිට මොලවගෙන ඉන්න මාව කඩේ බඩු කිරන අය ඒ තරම් ගනන් ගන්නේ නැහැ.ඒ නිසා ටිකක් වෙලා යනවා පත්තරේ ඉල්ලගන්න .ටිකක් ලොකුවෙනකොට මම කලේ කෙලින්ම 'මැම්බර් සීයගේ"  මේසේ ගාවට යනවා රුපියල් තුනත් මිට මොලවගෙන . උන්දැ උස, හීන්දෑරි, සුදු ,මනුස්සයෙක් . වැඩි කතා නෑ. මේසෙකුයි පුටුවයි තියාගෙන වාඩි වෙලා ඉන්නවා.මේසෙ උඩ ඔක්කොම පත්තර ජාති අතුරලා තියෙනවා. මේස ලාච්චුවේ සල්ලි තියෙනවා. උන්දැගේ පිටිපස්සේ  ලස්සන දම්පාට වතුර බෝතල් පිරෙව්ව රාක්කෙකුත් තියෙනවා. අමුතු සැර සුවඳකුත් පැතිරෙනවා. ඒ සුවඳට එක්වුණ අලුත් පත්තර සුවඳ නාහෙට දැනෙනකොට හරි අපූරුයි . පස්සෙයි මම දන්නෙ මැම්බර් කඩේ පත්තර , සිල්ලර වලට අමතරව වයින් ස්ප්‍රීතු විකිණුවා කියලා. මට හදිස්සියෙන්වත් සඳුදට මිහිර පත්තරේ ගන්න මග ඇරුණොත් අනිවාර්යෙන්ම පස්සෙ දවසක මැම්බර් කඩෙන් මට ඒ  පත්තරේ  ලැබුණා. ඉතින් සල්ලිටික දීලා ඉක්මනට මිහිර පත්තරෙත් ඩැහැගෙන හැල්මෙ ගෙදර දුවන් එන්නෙ රටක් රාජ්ජයක් ලැබුණ වගේ සතුටින් .

ඔහොම අවුරුදු ගනනාවක් එකතු කරපු ,රසවින්ද මිහිර පත්තර මිටියක්ම අපේ ගෙදර තිබිලා පස්සෙ කාලෙක විසිකරල දැම්ම . දැන්නම් මිහිර මොනවගේද කියන්න මම දන්නේ නැහැ. කාලෙකින් මිහිර පත්තරයක් දැකලා නැහැ.ඒත් මිහිර එක්ක ගෙවුණ මගේ ළමා මතකයන්නම් බොහොම මිහිරියි  කියලා හිතෙනවා.

ප/ලි
බින්දුමතී කතාව ආයෙත් කියවන්න ආසයි .මේක පොතක් හැටියට පලවෙලා තියෙනවද? . දන්න කෙනෙක් ඉන්නවනම් මට මේ තොරතුර දෙන්න .ඔයාලත් කැමතිනම් මිහිර , විජය එක්ක තිබුණ රසවත් මතක කියන්න පුලුවනි . ඔය උඩින් තියෙන මිහිර පත්තරේ පින්තූරෙ ගත්තේ ලේක් හවුස් වෙබ් පිටුවෙන් . එතකොටයි දන්නෙ මිහිරට අවුරුදු හතලිස්පහකුත් පිරිලා කියලා .දැන් පත්තරයක් රුපියල් පහලවයි .කාලෙ ගිය ඉක්මන !