Wednesday, August 26, 2009
බත් සෙවීම
මට විදෙස් ගතවෙන්න වෙන හැමදාම මගේ යාලුවො විහිලු කරනවා හාල් කිලෝ දෙකකුයි පරිප්පු කිලෝ එකකුයිත් නොවරදවාම අරගෙන යන්න කියලා.ඒ කතාවට ඇත්තක් තියෙනවා.ගමන් බිමන් වලදි කෑම බීම ඉඳුම් හිටුම් ගැන මම පැමිණිලි කරනවා අඩුයි .ඒත් එක වේලකට හරි බත් කන්න මට ඔනෙ වග මගේ යාලුවො හොඳින්ම දන්නවා. ඒනිසා මේ බත් සෙවීම ගැන හරි රසවත් සිදුවීම් තියෙනවා.
නවදිල්ලියෙ ගිය පලවෙනි වතාවෙ මම හිටියෙ හරිම බඩගින්නෙ .දවාලට බතුයි පරිප්පු ටිකකුයි අනිවාර්යෙන් ලැබෙයි කියලා හිතුවා,ඉන්දියාවෙ බත් පරිප්පු සොයන්න අමාරු නැහැනෙ.ඔන්න දවල් කෑම ලැබුනා, මගේ ඉන්දියානු යාලුව කිව්වෙ එයා ලොකු බත් තාලි දෙකක් ඕඩර් කලා කියලා.ඇත්ත තමයි අඩියක් විතර දිග පලල ඇති කඩදාසි පෙට්ටියක් මේසෙට වැඩියා. ලොකු බත් පෙට්ටියක් කියල සතුටින් පිනා ගිහිල්ල ඇරියට මොකෝ එකෙ බත් මේස හැඳි 4 ක් විතර තිබුණා.හම් වගේ රොටි නම් දුසිමක් විතර .මම මූන අකුලගෙන බත් ටික කාලා රසම් බීලා,රසගුල්ල එකත් කාල නිකන් හිටියා .හිතට නම් හරි මදි. බඩට දැනුනෙ කැලනි ගඟ යටින් පොල්ලෙල්ලක් ගියා වගේ.
තව සති දෙකක් මෙහෙම ජීවත් වෙන්න වෙයිද කියලා මම විස්සෝප වුනා. ඔය අතරෙ තම්යි මට රාන්චි යන්න ලැබුනේ.දුෂ්කර පලාතක්.දුප්පත් මිනිස්සු ඉන්නෙ .මම නැවතුනේ පොඩි හෝටලයක .එතැන කලමනාකරු මාව පිළි අරගෙන කෑම බීම ගැන විමසුවා. මම නවදිල්ලියේ කටුක අත්දෙකීම් නිසා එකවරම ඇහුව ප්‍රශ්නෙ දන්නවද ?
"ඔයාගෙ හෝටලයේ ලොකු තාලියක බත් ටිකක්ද දෙන්නෙ එහෙම නැත්නම් පුංචි තාලියක බත් ගොඩක් දෙනවද?"
මගේ ඉන්දියානු යාලුවන් උඩ පැන පැන තාමත් හිනහවෙනවා මේ ප්‍රශ්නෙට .කොහොම වුනත් මගේ බිය සැක ඇරලා ඒ මනුස්සයා කිව්ව බය වෙන්න එපා ඔබ මේ ඇවිත් ඉන්නෙ ඉන්දියාවෙ රයිස් බෙල්ට් එකට .අපි ඔබට හොඳින් සලකන්නම් කියලා.ඉතින් මහා දිල්ලියෙ බඩගින්නෙ වේලුන මට රාන්චියෙදි ඒ පොඩි හෝටලයෙන් තමයි හිතේ හැටියට බත් ලැබුනේ .ඒ කෑම වෙල හරි රසයි .නොවැරදීම මට පරිප්පුත් ලැබුන .අමු මිරිසුයි රතු ලූනුයි, අඹ අච්චාරුයිත් තිබුන .මම කාල ඉවරවෙන හැම වෙලාවකම කලමනාකරයා ඇවිත් කෑම ඇතිද රසද කියලා ඇහුවා,ඒ මූනිච්චාවට නෙවෙයි.අවංකවම
ආයෙමත් මට එහෙම ආදරෙන් බත් වේලකින් සංග්‍රහ කෙරුව වයසක අම්ම් කෙනෙක් මතක්වෙනවා.එයා මට හමුවුනේ බුබනෙශ්වර් වල පුන්චි ගමකදි,උත්කල් ප්‍රාන්තයේ .මම ගමේ අයත් එක්ක ඇවිදගෙන යනකොට අපි ඇගේ ගෙදරටත් ගියා ඇගේ දුව තමයි මගේ භාෂා පරිවර්තිකාව .ගෙදරට යද්දි වයසක අම්ම දවල්ට උයන්න එලවලු කපනවා දෑකැත්තක හැඩහුරුව ඇති පිහියක් පයට තදකරගෙන ගෙදර පිලේ වාඩිවෙලා, එයා ලා බන්ඩක්ක කරල් කපනවා.මම දෙපාරක් නොහිතා එකවරම ඇය ගාවින් වාඩිවෙලා ඇතිලියෙන් අමු බන්ඩක්ක කෑල්ලක් කිසිම අවසරයක් නැතුව කටේ දාගත්තා.මට දැනුනෙ හරියට මම අපේ ගෙදර කුස්සියේ ඉන්නව වගේ.අම්ම හිනාවෙලා මොනවද කිව්ව ,ඇගේ දුව මට එය පරිවර්තනය කලා.දවල් කෑමට ආරාධනාවක්.මට හරි ලැජ්ජ හිතුනා .ඒත් ඒ අම්ම පෙරැත්ත කලා.මගේ හිත ඒ වියපත් අම්මට තේරුම් යන්න ඇති . ඉතින් වැඩ ඉවර කරලා දවල් කෑමට ඇගේ ගෙදරට ගොඩවුනා.පිත්තල සෙම්බුවක් පුරවලා වතුර ලැබුනා ඒ අත සෝදන්න .ගෙයි පිටිපස්සේ පිලක් වගේ තැනක පැදුරක් එලලා කෑම භාජන තියලා.මට කෙසෙල් කොලයක් ලැබුනා පිඟාන වෙනුවට .කිරිම කිරි රස සුදු හාලක බත් එක්ක ,පරිප්පු,බැදපු මාලු ,බන්ඩක්ක ව්‍යන්ජන ,අච්චාරු,මී කිරි ,යහමින් තිබුනා.
අම්මත් දුවත් මට පෙරැත්ත කරමින් කෑම බෙදුවා.ඉතින් සීමා මායිම් නැති කෙහෙල් කොලේ බඩපුරා කන්න ලැබුන ඒ අම්මගෙ බත් වේලත් අමතක නැහැ.
පිලිපීනයට ගියහම නම් මම වැටුනෙ අලි අමාරුවක.සහල් පර්යේෂණ ආයතනයත් නුදුරෙම තිබුන මැනිලා වල් කන්න දෙන්නෙ පුංචි බත් කෝප්පයක්. හරියට යෝගට් කෝප්පෙකින් හැදුව කෝම්ම්පිට්ටුව වගේ. එයින් එකක් පෙසෝ 15ක් .මට එයින් හතරක් වත් ඔනෙ.ලොකු, පොඩි හෝටල් හැම එකේම බත් දෙන්නෙ ඒ විදියට.ඉතින් සහල් ගැන ලෝකෙටම කියල දුන්නත් බත් දන් දෙන්න සත් ජනයා නැති රටක මම දෙවෙනි බත් කෝම්පිට්ටුව කනකොට මගේ යාලුවො විහිලු කරනවා "ටොප් අප්" දානවා කියලා.
දුරු රටක ගියහම ආදරෙන් ලැබෙන හැම කෑම වේලක්ම හොඳින් මතක හිටිනවා.සාගින්නක ඉන්නකොට වුනත් ඒගැන මතක්කරලා සාගිනි නිවා ගන්න පුලුවන්.
Subscribe to:
Post Comments (Atom)
මටත් ඔයාට වගෙ බත් නැතුව ඉන්න බැරි ගතියක් තියෙනව..කතා ලස්සනයි...අපි බලාන ඉන්නව, අලුත් කතා පිපෙන කල් අහස්ගව්වෙ. ජය!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඇයි කැන්දේ නුඹ ලන්දේ වැනේන්නේ
ReplyDeleteමං මෙතැනේ අම්බලමේ තැවෙන්නේ
බත් නැති දා සියලුම දුක් දැනෙන්නේ
බත් ඇතිදාට කැන්ඳන්නා වරෙන්නේ.
-අන්දරේ-
ape kammali baka muunu patiya andharege kavith dannawa ne..Jaya hey!
ReplyDelete