"ඒ කියන්නේ ඔයාගේ තීරණේ වෙනසක් නෑ "
ඔහු සැලෙන හදත් කට හඬත් පාලනය කරගනිමින් ඇගෙන් ඇසුවේය
"ම්ම්ම්ම්ම්.........නැහැ වෙනසක් නෑ .......මට වෙන් වෙන්න කාලේ හරි .."
ඇය ඉතා පැහැදිලි සියුම් ස්වරයෙන් කීවාය.
එකිනෙහිම කොලඹ අහස දෙබෑ කර අකුණක් පුපුරා හැලුනි .කෙමෙන් පොද වැස්ස ධාරාණිපාත වර්ෂාවක් විය.
ඔවුහු නිහඬව එකිනෙකා දෙස මොහොතක් බලා සිටියෝය .කවුලුවෙන් එපිට එකම ලතාවට වැස්ස වැටේ .
"මට යන්න වෙලාව හරි" . ඈ සෙමෙන් මතුලාය
"එලියේ තාම වහිනවා ....ටිකක් ඉන්න ..ඉඳලා යන්න " ඒ ඔහුගේ ආයාචනාත්මක හඬයි
"නෑ මට ඉක්මනට යන්න ඕනේ .හෙට උදෙන්ම එන්නත් ඕනෙ නෙ "
නොසැලකිලිමත් හදිසි හඬින් තෙපලූ ඇය බැක් පැක් එක උරෙහි ලාගත්තාය .
හ්ම්....ඔහු සුසුමක් හෙලා එක වර අසුනෙන නැගිට අවුත් ඇය යන මග අවුරා සිටියේය .
"ඇයි මේ ?" ....ඇගේ මුවග නුරුස්සනා සිනාවකි
"කැන් ඇයි හග් යූ? " ...ඔහු සිනාසෙමින් දෑත විහිදා අසයි
උරෙහි ලාගන්න ගිය බැක් පැක් එක එක නිමේෂයකින් බිම තැබුණි .දිගු වූ දෑත් වලින් ඔවුහු එකිනෙකා වැලඳ සිනාසුනෝය .
අට වසරකට පෙර ඇයට ඔහු මුලින්ම හමුවුන දා දිගු වූයේත් ඒ සෙනෙහසේ දෑත්මය . එදාත් ඔවුහු උනුසුම් ලෙස සිනා සුනෝය .
***************
"මම දැනගෙන හිටියා ඔයා තීරණේ වෙනස් කරන්නෙ නෑ කියලා ..." ඔහු මන්දස්මිතයෙන් මුව සරසාගෙන රන් පැහැ බුබුලු නගින බීර බඳුන දෙස අඩවන් ඇසින් බලා කියයි
අඩ අඳුරු අවන්හලේ පහන් වලින් විහිදෙන මන්දාලෝකය ඇගේ මුහුණට දීප්තියක් එක් කර ඇත
එලියේ සීත මීදුම් දුමාරය මැදින් පොද වැස්සක් වැටේ .ඈ රතු පැහැ ජර්සිය කර පියවෙන ලෙස හැඳ සීතල පලවාහරින්නට දෑතින්ම කෝපි බඳුන අල්ලාගෙන ඉන් නික්මෙන ප්‍රසන්න සුවඳ හා දුමාරය දෙස මන් මත්ව බලා හුන්නාය .
අවුරුදු අටකට කලින් මතකද ඔයාට ? මන්දස්මිත දෑසින්ම ඔහු ඇගෙන් ඇසයි
ඈ සිනා සෙයි ..."ඒ කාලේ ඉඳන්ම ඔයාට එක මොහොතක් එක තැනක ඉන්න බෑ."
"දැන් කියලා අමුතු වෙනසක් නෑ ..." .ඈ සිනා සලමින් පිලිතුරු බඳියි ...
"හරි එහෙනම් චියර්ස් ...ඔයාගේ අලුත් ජීවිතේට" .ඔහු රන් බීර බඳුන ඔසවා සවුදිය පුරයි .
"චියර්ස් අපේ හෙට දවසට" ඇය කෝපි බඳුන ඔහු වෙත පාන්නිය
මට ආස හිනැහෙන්න මුලු ජීවිතේ ....
අවන්හලේ මන්දාලෝකය අතරින් වාදනය වෙයි . ඔවුහු එකිනෙකා දෙස වශීකෘතව බලා සිටිති .
ලෙට්ස් ඩාන්ස් ...ඔහුගේ අත දිගු වෙයි
ඈ ඔහු අත ගෙන රැඟුමට යන්නීය
එක වර වාදනය වෙනස් වෙයි
ආදර මල් පවනේ ...ඈ යන මේ ගමනේ
ඈ ඔහු අත අතහැර සෙමෙන් කෙමෙන් වේගවත් රඟනයකට පාද තබන්නීය .
ඇගෙන් මිදුන දෑත් ඇති ඔහු මද සිනාවෙන් මුව සරසා සෙමෙන් රිද්මයට ඇගේ රැඟුමට අත්පොලසන් දෙයි ....
පසු සටහන
Lovers need to know how to lose themselves and then how to find themselves again.-