Thursday, October 21, 2010

රාජස්තාන් සැරිසර මතක -මෙහෙවාර් එක්ස්ප්‍රස්




සැප්තැම්බර් 19 වෙනිදා කේරලයේ තිබුණ සියලු රාජකාරි නිමාකරලා මම නව දිල්ලිය බලා පිටත්වුනා . මම මේ දිල්ලිය දකින්නෙ අවුරුදු දෙකකට පස්සෙ. අනෝරා වැස්සත් ,පොදු රද මඩුලු උලෙලේ කලබගෑනියත් එක්ක ඇවිලුන දිල්ලියට ගොඩ්බහිද්දී ගොඩක් හවස් වෙලා. හරිම සතුටක් දනුනා. තව දවස් දෙකක දිල්ලි නුවර රාජකාරි වලින් පස්සෙ මම නිවාඩු යනවා!
විසි එක්වෙනිදා හවස එකී මෙකී නොකී සියලු වැඩ නිමා කරලා මම නිවාඩු වගට ඊ මේල් එකකුත් ලියලා නවදිල්ලි කාර්යාලයෙන් එලියට බැස්සෙ පාවෙන පිහාටුවක් වගේ සැහැල්ලුවෙන් . මෙදාපොටේ තව දවස් හතකට මාව අල්ලන්න බෑ කාටවත් හී හී.
එදාම මම හවස හතට තියෙන කෝච්චියෙන් දිල්ලියෙ ඉන්දලා උදයපූර් යනවා. කවුරුත්උපදෙස් දුන්නෙ ක්‍රීඩා උත්සවේ කලබගෑනි හේතුවෙන් පාරවල් වල තදබදය ඕනෙ වෙලාවක් එන්න ඉඩතියෙන නිසා පැය දෙක තුනක් කලින් හසරත් නිසාමුදීන් දුම් රියපලට යන්න කියලා .ඉතින් මම ඒ උපදෙස් අනුව හවස හතරහමාර වෙද්දි දුම් රියපලට ගියා.


දිල්ලියේ ඉන්දලා උදයපූර්, යන දුම් රිය හඳුන්වන්නෙ "මෙහෙවාර් එක්ස්ප්‍රස් "කියලා.උදයපූර් වල ඉන්න මිනිස්සු පැවතගෙන එන්න "මර්වාර්" කියන ගෝත්‍රිකයන්ගෙන්.ඒ නිසා වෙන්න ඔනෙ කෝච්චියෙ නම මෙහෙවාර් එක්ස්ප්‍රස් වුනේ . ඉන්දියන් රේල්ලුවේ යන්න ඊ ටිකට් ගන්න පුලුවනි කල්තියාම.දුම් රිය කියන්නේ ඉන්දියාවෙදි ලාබයටත් පහසුවටත් ගමන් බිමන් යන්න පුළුවන් විදිය. මට වෙන් වෙලාතිබුණෙ තුන්වැනි පන්තියේ වායු සමනය කල නිදන මැදිරියක්. පැය දෙකක් විතර දුම් රියපොලේ තිබුන අවන්හලේ ගතකෙරුව මම මගේ දුම් රිය නවත්වන වේදිකාව සොයගන්න ගියා .ඉලෙක්ට්‍රොනික් පුවරු වල දුම් රිය පොලෙන් පිටත්වෙන ලඟාවෙන දුම් රිය වල නම් , අංක , වෙලාව සහ වේදිකා අංකය සටහන්වෙනවා . ඒ නිසා "මෙහෙවාර් එක්ස්ප්‍රස්" නවත්වන හත්වෙනි වේදිකාව සොයාගන්න අමාරු වුනේ නැහැ. ඒත් මගෙ අම්මෝ හිටිය සෙනග කන්දරාව . ගෑණු, පිරිමි ,ලමයි ,වයසක උදවිය ගමන් මළු ලංකරගෙන වගේ වගක් නැතුව කුනු ,දූවිලි පිරුණ බිමත් වාඩිවෙලා ඉන්නවා. සමහරු කෝච්චිය එනතුරු නිදාගන්නවා.දිල්ලියේ ඉඳලා උදයපූර් යන දුම් රිය මාවත හඳුන්වන්නෙ "නෝත් වෙස්ටර්න් රේල්වේ" කියලයි.


දැන් මගේ දුම් රිය මැදිරිය නවතවන ඉසව්ව සොයාගන්න ඔනෙ නේ . ඉතින් ඒගැන ලතවෙනකොට තමයි මම දැක්කේ වයස විස්සක විතර යුවතියක් එයාගෙ මිතුරියත් එක්ක කෝච්චිය එනතුරු බලාගෙන ඉන්නවා . එයාගෙන ඇහුවම එයා මාව සන්සුන් කරලා කිව්ව බයවෙන්න එපා මම යන්නෙත් ඔබේ මැදියියේ මෙතනින් ඉන්න කියලා .මගේ ටිකට් පත බැලුව ඇය කිව්වා අපි දෙන්නටම ඉඳගන්න තියෙන්නෙ ලඟින් තියෙන ආසන වල කියලා. . ඒ ප්‍රශ්නෙත් විසඳුනා


කවුරු කවුරුත් බොහොම කලබලෙන් කෝච්චියට නැගිලා තම තමගේ ආසන සොයාගෙන හරි බරි ගැහෙනවා. තම තමගෙ ගමන් මලු ආසන යටට ආරක්ෂා කාරි විදියට දානවා.සමහරු ගමන් මළු යකඩ දම්වැල් වලින් ආසනයේ තියෙන කොකුවලට ගැටගහනවා වැඩි ආරක්ෂාවට. මමත් හරිබරි ගැහිලා ආසනේ වාඩිවෙලා අවට බැලුවා. එහා පැත්තේ ආසන පේලියේ ඉන්දියානු පවුලක් අම්මයි , තාත්තයි ලස්සන පොඩි කෙලි පැංචියො දෙන්නෙකුයි. අක්කට වයස අවුරුදු හතක් විතර ,නංගි නම් තාම බහ තෝරන වයසෙ.


කෝච්චිය පිටත්වෙනවා එක්කම මගේ ගමන් සගයා වුන ඉන්දියානු යුවතිය එයාගෙ මිතුරියට සමුදීල අවිත් මා අසලින් අසුන්ගත්තා. ඊට පස්සෙ එයාව හඳුන්වලා දුන්නා. ඇගේ නම අමිරිතා. බෙංගාලි යුවතියක් . කල්කටාවෙ හෝටල් කලමණාකරණ පාසලක හෝටල කලමණාකරණ උපාධිය වෙනුවෙන් ඉගෙනගන්න වයස දහනවයක යුවතියක්. ඇය මාස තුනක පුහුණු කාල සීමාවකට උදයපූර් වල තියෙන අති ප්‍රසිද්ධ ටාජ් හෝටල් සමූහයට අයත් "ටාජ් ලේක් සිටි" හෝටලයට යනවා එයාගේ දින පහක නිවාඩුව අවසන් කරලා. මට හරි සටුතුටක් දනුනා මේ යුවතිය ගැන . එයාගෙ කතාබහ හරි ප්‍රීතිමත් , ප්‍රියමනාප , සුහද බවක් තිබුණා . නොනවත්වා මා එක්ක කතාකල මේ යුවතිය හරිම කුතුහලයකින් ලංකාව ගැන , මගේ රැකියාව ගැන විස්තර විමසුවා . ඒ අතර එයාගෙ ගමන් මල්ලට අත දාලා ගන්න චොක්ලට් , චිප්ස් , චුවින්ගම් වලින් කොටසකුත් මට දීලා "හැව් සම්" කිව්වා . එයාගේ ෆැන්ටා බෝතලෙනුත් ටිකක් මට බොන්න කියලා වද කලා.ඔය අතරේ කල්කටාවෙ ගෙදර ගැනත් හෝටල් පාසලේ ජීවිතය ,යාලුවන් ගැනත් කිව්වා. උදයපූර් ගියහම නොවැරදීම යන්න ඔනෙ තැන් වල ලිස්ට් එකකුත් දුන්නා.මම එයාට විහිළුකලා "ඔයාට නම් ගැලපෙන රැකියාව හෝටල් රැකියාව ඒකට උවමනා සුහදශීලිගතිය අඩු නැතිව ඔයා ගාව තියෙනවා කියලා".
මගේ දුම් රිය ගමන පැය දොලහක් . දුම් රියේදි හැම කෙනෙක්ම ඉමනින් සාමූහික ජීවිතයකට හුරුවෙනවා. ඒවෙනකොට ඉන්දියානු පවුලේ තාත්තයි ලොකු දුවයි මගෙ අනිත් පැත්තෙන් වාඩි වෙලා හිටිය සික් ජාතිකයත් එක්ක කාඩ්සෙල්ලම් කරනවා. පොඩි කෙලි පැංචි අපි එක්ක හිනාවෙවී අතදික්කරමින් මොනවදෝ කියන්න උත්සාහ කරනවා. අමිරිතා, පොඩ්ඩි එක්ක ඉක්මනට යාලුවුණා.පැන්චි එයාගෙ ගාවින් ඇවිදින් වාඩිවෙලා හුරතල් වෙනවා. පොඩ්ඩිගේ අම්මත් අපි එක්ක කතාවට වැටුනා. දුවලගේ තාත්තා රජයේ සේවකයෙක් .එයාට ලැබුණ සේවා මාරුවක් නිසා පවුලම උදයපූර් යන වග තමයි කිව්වේ.
ටිකක් රෑ වෙනකොට කෝච්චියෙ ඉන්න කවුරුත් රෑ කෑමට ගෙනාව මොනවහරි දෙයක් කාල නිදාගන්න තමයි සූදානම .ඔනෙ නම් කෝච්චියෙ ආපන ශාලා සේවයෙන් කෑම ඇණවුම් කරලා ආසනය ලඟටම ගෙන්න ගන්න පුලුවන් පහසුකමත් තියෙනවා. නිදාගන්න මගීන්ට තමන්ගේ ආසනය නිදන බංකරයක් හැටියට සකසා ගන්න පුලුවන් . හැම කෙනෙකුටම අලුත් පොරෝණාවක් , ඇතිරිල්ලක්, කොට්ටයක් , සහ බ්ලැන්කට්ටුවක් සහිත කට්ටලයක් ලැබෙනවා. අපි එක්ක හිටිය සික් ජාතිකයා ඉක්මනටම නිදා ගන්න උඩ තිබුණ බංකරයට ගියා .
රෑ දහය විතර වෙලත් මමත් අමිරිතත් කතාකරමින් හිටියා . ඔය වයසෙදි අපි කාටත් ඉගෙන ගන්නකොට තියෙන අවුල් සහගත බව , අනාගත බලාපොරොත්තු , හෝටල් කලමණාකරණ රැකියාවකට පිවිසෙන යුවතියක් හැටියට ආසියානු සමාජයේදී එයාට මූණදෙන්න වෙන අභියෝග ගැන , එයා මට විස්තරකරමින් හිටියා .මම එයාට උපදේශකයෙක් වෙමින් හෝටල් ක්ෂේත්‍රයේ තියෙන අවස්ථා විශ්ලේෂණය කරමින් එයාව දිරිමත් කරමින් "නෙවර් ගිව් අප් කිව්වා."
අර පොඩි කෙලි පැංචි නිදිකරවන්න එයාගේ අම්ම ලොකු උත්සාහයක් ගන්න වග අපිට පෙනුනා. පොඩ්ඩි අම්ම කියනදේ අහන්නෙම නැහැ. හොරාට වගේ නිදාගෙන ඉඳලා අපි දෙන්නට අතවනමින් හිනා වෙනවා. ඉතින් අමිරිතාත් මමත් තීරණය කලා නින්දට යන්න . එහෙම හිතලා එයා අපේ මැදිරියේ ඩිම් ලයිට් එකක් හැර අනිත් ඔක්කොම ඕෆ් කලා. පොඩ්ඩිව ඉක්මනට නින්දට යවන්න හිතලා ඒපැත්තේ තිබුණ කර්ටන් දෙකත්වහලා දැම්ම. ඒත් මේ පොඩි පැංචි හරිම දඟකාරියක් . වහලා තිවුණ කර්ටන් පලු දෙක අතරින් එකපාරටම ඔලුව දාලා අපිට අතවනමින් හිනාවුණා .එතකොටනම් අපිටත් හිනාව නතරකරගන්න බැරිවුණා. "වෙරි ඉන්ටෙලිජන්ට් ගර්ල්" කියලා මට කියවුණා.
අමිරිතා මට උදව් කලා දෙවෙනි බංකරයට නැගගන්න . පොඩ්ඩිට ගුඩ් නයිට් කියලා අපි නිදාගන්න ගියා. ඒවෙනකොට දුම් රිය වෙල්යායක් මැදින් යමින් තිබුණා. ඈත ගෙපැලවල් වල මලානික පහන් එලි පෙනෙනවා. හෙට උදයපූර් වලදි අවුරුදු දෙකකට පස්සේ දකින මගේ මිතුරිය ඌෂා ගැන හිතමින් සීරුවෙ ගැස්සෙමින් පැද්දෙමින් යන ඉන්දියානු දුම් රියක මම සුව නින්දකට වැටුණා.
හොඳ නින්දකට පස්සෙ මට අවදි වුණේ පහුවෙනිදා උදේ හයහමාරට විතර . මම ටිකක් ඇස් පිහ පිහ කලපනා කරල තමයි මතක්කරගත්තේ මම නිදාගතේ කෝච්චියේ කියලා .උඩ බංකරයේ හිටිය සික් ජාතිකයත් නැගිටලා එරමිණිය ගොතාගෙන වාඩි වෙලා ඉන්නවා . ඉන්දියානු පවුල කලින්ම අවදි වෙලා වගේ . අම්ම ලොකු දුවගේ කොණ්ඩේ පීරනවා. පොඩි පැංචි විස්කෝතුවක් හපනවා. අක්ක නනෝ දෙන්නම අලුත් ගවුම් දෙකකින් සැරසිලා .අමිරීතා මට අත වැනුවා පහලට එන්න කියලා.ඉතින් මම පහලට පැන්න.අපි දෙන්නම එකතුවෙල මම නිදාගෙන හිටිය දෙවෙනි බංකරය පහලට දාල වාඩිවෙන්න පුලුවන් විදියට ආසනය හැදුවා . කවුරුත් තම තමන්ගේ ආසන යට තැන්පත් කරලා තිබුණ ගමන් මළු එලියට අරගෙන ලහි ලහියේ උදයපුර් නැවතුමෙන් බහින්න සූදානම් වෙනවා. මම සපත්තුදෙක දාගත්තා . ඊට පසේ මතක් වුනේ ඔලුව පීරගෙන , වෙට් ටිෂූ එකකින් මූණ පිහගෙන ටිකක් පිලිවෙල වෙන්න ඕනෙ කියලා. අවුරුදු දෙකකට පස්සේ දකින යාලුවෙක් හමුවෙන්න ටිකක් මනුස්ස පාටට යන්න ඕනනේ.
ඔන්න එතකොටම අමිරිතා කියනවා ඇහුණා 'වී ආර් ඕල්මෝස්ට් දෙ ආර් " කියලා . එහෙනම් අපි උදයපූර් ඇවිල්ලා . නියමයිනේ. පැය දොලහක් හැල්මේ ආව කෝච්චිය හිමින් හිමින් හතිලමින් උදයපූර් ඉස්ටේසමට සේන්දුවෙනවා. ඒ අතරේ මම මගේ ගමන් සගයාගෙන් සහ ඉන්දියානු පවුලෙන් සමුගත්තා. මගේ රාජකාරි කාඩ් පතකුත් පුද්ගලික ඊ මේල් ලිපිනයත් අමිරිතාට දුන්නා. බහිනකොට අපි වෙන්වුනේ මූණුපොතේ යාලුවන් බවට ඉක්මනින්ම පත්වෙන ගිවිසුම ඇතුව.
ප/ලි
"රාජස්තාන් සැරිසර මතක -පූර්ව සටහන" ලියලා ගොඩ දවසකින් පස්සෙ තමයි ගමන් කතන්දර ලියන්න පුලුවන් වුනේ. ඒකට හේතුව පහුගිය සති තුනක් විතර ලොකු ව්‍යාපෘති වාර්තාවක් ලිවීමේ සහ මධ්‍යවාර්ෂික ප්‍රගති වාර්තා යැවිමේ ජංජාල රාජකාරි කටයුත්තක දිවා රෑ නොබලා නිරතවෙන්න වීම . ඒව ඔක්කොමම අකුරටම ඉටුකරලා "රාජස්තාන් සැරිසර මතක" ලියන්න නිදහස්වුණේ අද සිකුරාදා. ඔන්න ඉතින් කතාවෙ කොටසක් කිව්වා .තව තියෙනවා.ඉඩ ලැබෙ
න විදියට ලියන්නම් හොඳේ .

Saturday, June 19, 2010

ඔහොම කෙලින් යන්න....සැකයක් හිතුනොත් අහන්න...

නුහුරු ඉසව් වල සංචාරය කරනකොට මග තොට් ගමන් විස්තර ,පාරවල් දැනගන්න ඉතින් අතරමග ඉන්න ගම්වැසි ,නගර වැසි කාගෙන් හරි පිහිට පතන්න වෙනව නේ.
ඔන්න එක දවසක් කුරුණෑගල ගිහින් බිංගිරිය ඉසව්වෙදි අපිට දැනගන්න ඕනෙ වුනා ඒ පලාතේ තියෙන පොල් කර්මාන්ත සාලාවකට යන පාර .මගේ රියදුරු තැන ආරියදාස වාහනේ කඩමන්ඩියක නතරකරල එතැන හිටිය වයසක උන්දැකෙනෙක්ගෙන් බොහොම ගරු සරුව ඇහුවා
"මාමේ අර පොල් ෆැක්ටේරියට යන පාර කියනවද" කියලාවයසක උන්දැ දුන්න අපූරු උත්තරයක් .
"මහත්තයෝ හරි ලේසියි හොයාගන්න ඒ ඉසව්ව . ඔහොම කෙලින් පාරෙ යන්න.සැකයක් හිතුනොත් නවත්තලා කාගෙන් හරි අහන්න " කියලා උන්දැ කියපි . මට මැරෙන්න හිනා. "මේ මාමට ඔලුව හොඳ නැහැ වගේ , ඇයි දෙය්යනේ මට දැනටමත් සැක නිසානෙ පාර අහුවෙ" කියල වාහනේ සැර දාල එලවනගමන් මගෙ ඩැයිවර් උන්නැහේ කියපි .

තවත් දවසක් අපේ ලඟ හිතවතෙක්ගෙ අවමගුලකට සහභාගිවෙන්න බලපිටිය ප්‍රදේශයට යන්න වුනා අපිට . දැනගත්තු මග ඉසව් අනුව ගියත් අපිට මළගෙදරට යන පාර සොයාගන්න අපහසුවෙලා ගාලු පාරෙ ඉන්න අතරෙ ඒ ගම් පලාතෙ වගේ පෙනෙන මැදිවියේ පිරිමි දෙන්නෙක් ඩබල් දාල සයිකලේක ඇවිත් අපේ වාහනේගාව නතර කරලා සිය කැමැහ්තෙන්ම උදව් කරන්න වගේ "ඇයි මහත්තය මොකෝ අවුල " කියල රියදුරු තැනගෙන් අහපි .

"අයියේ අර සුනිල් මහත්තයගේ මළගෙදරට යන පාර කොහෙද?" කියලා ආරි ඇහුවා.
ඔන්න එක්කෙනෙක් කියනවා "අනේ රත්තරන් මහත්තයා අකාලෙ මළේ , මහත්තයල ඔහොම යන්න , ටිකක් දුර යනකොට නුග ගහක් හම්බවේවි . ඒක පහු කරල තව ටික දුරක් යනකොට අපේ ගෙදර . අපේ ගෙදර ගාවින් හැරෙන්න මහත්තයා. වරදින්නෙ නැහැ"
"මම කොහොමද ඒකගෙ ගෙදර දන්නෙ" කියල ඔරවගෙන මගෙ රියදුරා බැණ බැණ වාහනේ පනගැන්වුවා . මට නම් හරි හිනා

ඔන්න ගමන් බිමන් ගියහම අපිට වෙන ඇබැද්දි :)

යාල්

අපි ලෝකෙ කොහේ කරක් ගැහුවත් අපේ ප්‍රාදේශිය මානසිකත්වයට හරි කැමතිය් නෙ .ඉතින් මේක හොඳ වෙලඳපොල උපක්‍රමයක් විදියට පාවිචිවෙනව නිතරම .එකනේ මාතර බත් කඩයක් හඳෙත් තිබුන කියල කියන්නෙ නීල් ආම්ස්ට්‍රොන් උන්නැහේ හඳ තරණය කොරපු දවස්වල .
මේ කියන්න යන්නෙ මාතර බත් කඩ ගැන නෙවේ , යාපනේ බත් කඩයක් ගැන .අපේ ද්‍රවිඩ මිතුරන් යාල් පානම් කියල බොහොම ගර්වයෙන් කියන්නෙ යාපනේ අර්ධද්වීපයට නෙව . යාපනේ ගිය දුම් රිය හැඳින්වුවේ යාල් දේවි කියල .යාපනේට උරුම වුන මේ ප්‍රදෙශිය සන්ස්කෘතිය මුල් කරගෙන යාපනේ කෑම බීම රහ බලන්න , කොලොම්පුරේ තියෙනව තැනක් . ඒ යාල් රෙස්ටුරන්ට් එක . යාල් තියෙන්නෙ වැල්ලවත්තේ මැරයින් ඩ්‍රයිව් එකේ , වැල්ලවත්ත දුම් රිය පොල පෙනෙන නොපෙනෙන දුරින් .
යාල් පටන් අරන් තාම හය මාසෙකට වැඩිය නැහැ .ඒ වුනාට ගනුදෙනුකරුවො බොහොමය් .යාල් ද්‍රවිඩ හිතවතුන් විතරක් නෙවේ සින්හල අපිත් , විදේශිකයොත් නිතර යන එන තැනක් වෙලා.
මමත් යාල් අවන්හලට නිතර යන එන කෙනෙක් . මගේ කාර්යාලයට හා නවාතැනට ආසන්නයේ පිහිට තියෙන නිසාත් ,වැඩි විච්චූරණ නැතිවුනාට බොහොම නිස්කාන්සුවෙ පිරිසිඳුව කෑම කන්න පුලුවන් වට පිටාව , සහ රසවත් කෑම් බීම නිසා මම මෙතැනට හරි මනාපයි.ඒ නිසා කාර්යාල පරිසරයෙන් මිදිල නිදහසේ යාලුවො මුනගැහෙන්නත් මම එන්නෙ මෙතැනට.
යාල් අවන්හලේ දවල් සහ රාත්‍රි ආහාර ලබාගන්න පුලුවන් .Take Away පහසුකමත් තියෙනව . කවුරුත් දන්නවනේ දවල්ට කොහොමහරි බත් කන සිරිතක් මගේ තියෙනව කියල . ඒකට යාල් නියම තැන . කෙසෙල් කොලයක් එලුව තාලියක , උනු උනු බත් පිරෙව්ව පොඩි බාජනයකුත් , රහ විතරක් නෙවෙ ගුණත් තියෙන ( කරවිල වරදින්නේ නැහැ ) එළවලු හතර පස් ජාතියක් සහිත හුරු බුහුටි බඳුන් කීපයකුත් , රසම් සහ අතුරු පසට පායාස (සව්) , අවල් (හබලපෙති ) , පොන්ගල් වගේ දේකුත් වරදින්නේ නැහැ. තමන්ට මනාප විදියට මස් , මාලු ඉල්ලගන්න පුලුවන් . හරක් මස් නම් නැහැ. ඒත් රස මාලු කරි , ඉස්සො , දැල්ලො , කුකුල් මස් , එලුමස් තියෙනවා.ඔනේ නම් එවෙලෙම හදපු පලතුරු බීමත් බොන්න පුලුවන් .මම නම් තව රසම් කෝප්පයක් ඉල්ලන් බොන්නත් අමතර අතුරුපස බාජනයක් ඉල්ලන්නත් අමතක කරන්නේ නැහැ. හබලපෙති හරි රහයි .හකුරු එහෙම දාල තමයි හදන්නෙ.
යාල් අවන්හලේ රෑ කෑම කන්න ගියොත් නා නා ප්‍රකාර යාපනේට ආවේණික කෑම කන්න පුලුවන්. ඒ අතරින් ඉඳිආප්පම් බිරියානි , කොත්තු විශේෂයි . මේව චිකන් , මාලු එලවලු රස වලින් ගන්න පුලුවන් . ඒ වගේම රතු හාල් පිටි , පාන් පිටි , අටා පිටි , කුරක්කන් පිටි වලින් හදපු පිට්ටුත් මගේ ප්‍රියතම රෑ කෑම වලට අයිතියි. මේව කන්නත් හරි රස කරි විශේෂයක් තියෙනවා. ඒවා හඳුන්වන්නේ කුරුමා කියල . චිකන් , මාලු , එලුමස් , එලවලු කුරුමා රස බලන්න පුලුවනි . කියන්න අමතක වුනා නෙව . බොහොම රස යාපනෙ විදියට උයාපු කකුලුවොත් තියෙනවා. මම නම් වැඩි මනාප නැහැ. කොලෙස්ටරොල් යහමින් තියෙන කෑම නෙව .
යාල් අවන්හල මගේ හිතගත්ත තවත් හේතුවක් තමය් මේ දවවල මගේ ඩයට් කිරිල්ලට ගැලපෙන තැනක් නිසා . නැත්නම් තෙල් ගොඩකරල උයපු චීන මකරු ෆ්‍රයිඩ් රයිස් ගිලලා මම ලෙඩ වෙනවා සිකුරුයි . යාල් කෑම වල තෙල් ගතිය හරි අවමයි .ඒ වගේම දෙන බත්කෝප්පෙ හරි ගානට බඩ පිරෙන්න .අඩුත් නෑ වැඩිත් නෑ. .කෑම කන්න මගේ නවතැනේ හරි කාර්යාලෙ ඉඳල හරි ඇවිදගෙන එන දුර නිසා මට ව්‍යායාමත් ලැබෙනවා.පසුම්බියටත් පහසුයි.
ඔන්න ඔහොමයි කොලොම්පුරේ තියේන යාපනේ බත් කඩේ කතාව .

Sunday, May 16, 2010

වීදි සැරිය සහ සුරා පානය


නේපාලයේ නේවාසික පුහුණුවකට ගතකල මාසෙකට වැඩි කාලය ගැන දුලික් හිල් දවස් ලිපියේ ලියවුනා මතක ඇතිනෙ .ඔන්න ඉතින් උදේ හයේ ඉඳන් රෑ දහය වෙනකන් දවස් හයක් එක දිගට අධ්‍යන වැඩ වල යෙදෙන අපට හත්වෙනි දවස නිවාඩු .ඉබ්බ දියේ දැම්ම වගේ එදාට . මොකද කිලෝමීටර විස්සක් විතර දුරින් තියෙන කත්මන්ඩු නුවර සිරි නරඹන්න ,ෂොපින් කරන්න ,නිදහසේ පිස්සු නටන්න ලැබෙන්නෙ එදාටනෙ.
ඔන්න ඒ අපේ නේපාලයේ පලවෙනි නිවාඩු දවස.කට්ට්ටියම උදෙන්ම කත්මන්ඩු වලට බස් එකකින් ඇරලුවා නුවර සිරි බලන්න .කාටත් දවල්ට කන්න ,තේ බොන්න නේපාල් රුපියල් පන්සීයකුත් ලැබුණ , අපි එක්ක හිටිය අපේ නේපාල යාලුවො තමය් දැන් අපේ කත්මන්ඩු ගයිඩ්ස්ලා.
වැඩි දෙනෙක් මෙහෙම පිටරට සවාරි වලදි ශොපින් යන්නමනෙ කල්පනාව .ඒවුනාට අපි කීපදෙනෙක් හිටියා එකම විදියෙ පිස්සු තියෙන . අපිට ඕනෙ වුනේ කත්මන්ඩු වල බක්තාපුර් ,බවුද්ධනාත් ,පාතන්,බසන්තපුර් වගේ තැන් වලට ගිහින් පැරණි සිරිවිසිතුරු බලන්න ,හිතේ හැටියට ඡායා රූප ගන්න , නේපාල කෑම බීම් වල රහ බලන්න ,රස්තියාදු ගහමින් වීදි වල , අවන්හල් වල සැරිසරමින් ජන ජීවිතය දකින්න වගේ පිස්සු වැඩ. ඉතින් අපේ නේපාල් ගයිඩ් වුන අපේ මිතුරිය මෝනාත් මේවට සැදී පැහැදිලා හිටි නිසා අපි ඔක්කොම ජාඩියට මූඩිය වගේ පැහුනා.
ඔන්න එදා කත්මඩු වලදි බස් එකෙන් බැස්ස විතරය් අපි කට්ටියම අපේ ගයිඩ් මිතුරියට දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කලා. අපි අතර හිටි වැඩිදෙනෙක් හොඳ සැරට මිරිස් ,එහෙම දාලා කෑම කන උදවිය.නමුත් දුලික් හිල් නවාතැනේ නේපාල් කෑම වල මිරිස් රහක් ,කුලුබඩු රහක් නැති තරම .ඉතින් කටට රහ කෑමක් කන්න අපිට තිබුණෙ පුදුම දොල දුකක්.මෙන්න කිව්ව සැනින් අපේ ගයිඩ් මෝනා අපි එක්ක ගෙන ගියා එහෙම කෑම හදන තැනකට .
හ්ම් , මේ හෝටලේට ඇතුල්වීම කුස්සියෙ දොරෙන් , අපි යනකොටත් ගනු දෙනු කාරයො කිපදෙනෙක් වගේ වගක් නැතුව මිටි බංකු වල වාඩිවෙලා හාය් හූය් ගාලා කෑම කනවා .දුම් දාන බූමිතෙල් ලිප් වල කෑම ඉදෙනවා. එතනම ලස්සන නේපාල් යුවතියක් බිත්තර වලින් මොනවදෝ ආප්ප වගයක් උයනවා . එතනම ලොකු ඇතිලි දෙකක කඩල කරියකුයි අල හොදි කරියකුයි උනු උනුවෙ දුම් දානවා , ආහ්.... මගේ කටට කෙල ඉනුව තරම .ලන්කාවෙන් ආවට පස්සේ මෙව දකින එකත් සතුටක් .
තරමක් වයසක් උන්දැකෙනෙකුයි එයගෙ පුතා වගෙ පෙනුම තියෙන ගැටයෙකුය් තමය් මෙතන ගනු දෙනු කාරයන්ට සේවාව දෙන්නෙ . පහල කුස්සිය පෙදෙස හවුස් ෆුල් .ඒනිස අපිට එතන තිබුණ පටු තරප්පුව නැගල වහල උඩට යන්න කියල වයසක් උන්දැ කිව්ව කිව්ව .
හ්ම් පොඩි රූෆ් ටොප් එකක් වගේ .මෝනත් ,මමත් එකතුවෙලා අහල පහල තිබුණ කලු පාට ගැහුන බංකු ටික එකතු කරලා හය දෙනෙකුට වාඩිවෙන්න පුලුවන් විදියට ආසන පැනෙව්ව . තරුණ ගැටය ඇවිත් අපේ ඕඩර් එක ගත්තා.නේපාල් කෑම ගැන අපේ දැනුම අල්ප නිසා ඒ ගැන වගබලාගත්තේ මෝනා.අපිට ඕන වුනේ මිරිස් රහට කන්න විතරයි.
ඔන්න අපේ කෑම ආවා. බෙලෙක් පිඟන් වල උණු උණු අල ,කඩල කරි , තව මොකද්දෝ බැදුමක් , අර බිත්තර ආප්ප වගේ ජාතිය සහ අලුමිනියම් ජොග්ගු හයක් ."මේ තරම් වතුර මොකටද අපි හය දෙනෙකුට , කඩේ ගැටය හිතුවද දන්නෙ නෑ අපි මිරිස් කන්න පුරුදුවෙන එවුන් කියල , "මට එකපාරට කියවුනා.
"නැහැ මේ තමය් "චැන්ග්" හාල් වලින් පෙරන ලෝකල් බියර් ,මේ අය සිරිතක් හැටියට මෙතන කන බොන අයට "චැන්ග්" වලින් සන්ග්‍රහ කරනව"මෝනා මාව නිවැරදි කලා
හ්ම් කවුද දන්නෙ , දැන් එහෙනම් අපි නේපාල් බියර් බොන්න යන්නෙ ,හුහ් සෙල්ලන්ද කොල්ලෝ. ඔන්න ඉතින මම අර බිත්තර වලින් හදපු කෑම කඩල කරි එක්ක හායි හූය් ගාල ගිලලා 'චැන්ග්" බොන්න හදන්නෙ . ලෝකල් වුනත් බියර්නෙ . ඉතින් සිරිතට බොන්න ඕනනේ.එහෙම හිතලා මම අර බැදුම ලඟට ගත්ත බයිට් එකට . කෝකටත් මම මෝනගෙන් ඇහුව මේ මොනවද කියල . මේ "බෆ් ඩෙවල් " එයා කිව්ව .මම සැක හැරගන්න "බීෆ් නේ" කියල අහුව ."නැහැ මේ බෆ්, බෆලෝ මීට්" කියල එයා කියපි .කිරි අප්පට බල්ලො පැනපි .මී හරක් මස් ඩෙවල් එකක් , කවද කාපු කේක්ද .ඒ මීහරක් මස් ඩෙවල් එක පැත්තක තියල මම "චැන්ග්" බොන්න පටන් ගත්තා. පැහුන රා බොනව වගේ . උගුරු දෙකතුනක් බීල කවුරුත් කට කාරනවා .
"මොකද තවම සූර් නැත්තෙ මම දැන් වීදුරු දෙකක්ම ගැහුව කියල" මම කියද්දි අපේ අයට හිනා.කොහොම වුනත් ජොග්ගු දෙකකට වඩා අපිට හිස් කරන්න බැරිවුණා.
ඉතිරිවට මොකද කරන්නෙ ..සුම්ෂොට් අහනවා ."දුලික් හිල් ගෙනියමු ආයෙ බොන්න ,ඒත් කොහොමද ගෙනියන්නෙ" ,එලිනා කියනවා . ඔන්න එතකොට මට ආව අයිඩියා එකක්."අපි ගාව තියෙන වතුර බෝතල් හිස් කරලා මේව පුරවගනිමු " කවුරුත් වැඩේට එක පයින් කැමතිවුනා.ඔන්න අපේ වතුර බෝතල් හිස් වෙල "චැන්ග්" ඒවට පිරවුන , කඩේ ගැටය ඉතිරි බෆ් ඩෙවල් ෆොයිල් කඩදාසියක ඔතල දුන්න .
හවස දුලික් හිල් නවාතැනට ගිය අපි රෑ කෑමට අවන් හලට එකතුවුනා , "චැන්ග්" පිරවූ බෝතල් හතරකුයි ,ඉතිරි බෆ් ඩෙවල් එක එක්ක . අපිට සෙට් වෙන්න ඕනෙ නිස කලින්න කට්ටියම බාර් කවුන්ටරේ ගාව ගිනි උඳුන වටේ තියෙන සුව පහසු සෝෆා සෙටිය ආක්ක්‍රමණය කලා.වෙනද මෙතන ඉන්නෙ මදුවිත තොලගාන විදේශිකයො.අවන්හල් සේවකයොත් අපේ මේ අලුත් නාඩගම මොකද්ද කියල කුහුලෙන් බලනවා .ඔය අතරේ මෝනා බාර් එකෙන් වීදුරුත් ගෙනාව .දැන් කට්ටියම අනික් ඔක්කොම යාලුවොත් එක්ක 'චියර්ස්" කියල "චැන්ග්"බොනවා. වැඩේ නැගල යනවා .
ඔය අතර දුලික් හිල් නවාතැන බාරව ඉන්න ප්‍රේම් මහත්තයත් එතැනට ආවා ,අපි කෙල්ලො ඔක්කොම "ප්‍රේම් දායි we love you " කියල එයාටත් "චැන්ග්" වීදුරුවක් පෙව්වා.කොහොමද වැඩේ .
ඊට දවස් දෙකකට පස්සේ මරු වැඩක් වුනා . රාත්ත්‍රි චිත්‍රපටි සන්දර්ශනය වෙලාවෙ බුරුම ජාතික මිතුරිය ස්වේ සුදුපාට ලීටර දෙකක විතර ගැලුමක මොනවදෝ පුරවගෙන හිනාවෙවී උස්සන් එනවා .ඒ පිටිපස්සෙන් අපේ නේපාල් මිතුරියන් වන අනීශා සහ ප්‍රාචි දෙන්න ප්ලස්ටික් කෝප්ප ගොඩක් එක්ක තව බාජනයක් උස්සන් එනවා.බැලීනම් දුලික් හිල් නවාතැනේ ප්‍රේම් මහත්තය එයාගෙ ගානේ අපි හැමෝටම ආයෙ චැන්ග් සංග්‍රහයක් ලෑස්ති කරල බෆ් ඩෙවල් එක්ක .ඉතින් බිව් නොබිව් කවුරුත් එදා ආයෙත් මදි නොකියන්න ගැහුවා .ඒත් අපි කාටවත් සූර් වුනේ නැහැ නෙ.
ආහ් කියන්න අමත්කවුනනෙ. අර අපි කැම කාල චැන්ග් බිව්ව පොඩි හෝටලය තියෙන්නෙ පාතන් දර්බාර් වල . මම කිව්ව හරි මේක පවුලෙ බිස්නස් එකක් .අම්මය් ,පුතයි, ලේලියි මේ බිස්නස් එක කරන්නෙ .මෝන මේ ජොයින්ට් එක දන්නෙ ඉස්කෝලෙ යන කාලෙ ඉඳලු .මොකද එයා ඉස්කෝලෙ කට් කරල මෙතනට එනවලු නෙ චැන්ග් බොන්න .  කඩේ අය එයා හොඳට දන්න වග අපිට පෙනුන .මෙතැන කැම බීම ගැන ඩිස්කවරි නාලිකාවෙත් වැඩසටහනක් ගිය කියල මෝනා කිව්ව . ප්‍රසිද්ද ජොයින්ට් එකක් බලාගෙන යනකොට .

Tuesday, April 13, 2010

දුලික් හිල් දවස් හෙවත් Living in the present time











හිස සිට දෙපතුල දක්වා පොරවගත්ත කම්බිලි පොරෝණාවෙන් මිදෙන්න හිත ඉඩදෙන්නෙ නෑ.හිම නොවැටුනාට පුදුම හීතලක් තියෙන්නෙ.ඈත කඳුකර ගම්මාන වල ඉඳලා නගරයට එන බස් රථ වල නලාසද්දෙ කියන්නෙ දැන් එලිවෙලා කියලා.වෙලාව උදේ හයයි.පිටත ආලින්දයට තියෙන කවුලුව විවර කලොත් මීදුමෙන් වැසුන කඳු මිටියාවත් සහ ලා හිරු රැස් සිඹගන්නා අන්නාපුර්ණා කඳුවැටිය දැකගන්න පුලුවන් .එත් කවුලුව විවර කරන්නෙ කොහොමද ?හීතල රාස්සයෙක් වගේ කඩාපනිනවා.


කම්මැලිකමට ගුලිවෙලා ඉන්නබැහැ.යෝග ව්‍යායාම වලට යන්න වෙලාව හරි.මුල් දවස්වල හීතලේ ගැහි ගැහී යෝගපන්තියට ගියේ අපේ යෝගා ගුරුට හිතින් සාප කරකර.ඒත් ටිකදවසක් යනකොට නොගිහින් බැරිවුනා.මෘදු සංගීතයට හිත එකඟ කරගනිමින් ඇරඹෙන යෝග ආසන නිසා අපේ ගුඩු වෙලා තිබුණ කම්මැලි ශරීර කූඩු නම්‍යශීලී වුනේ අපිටත් නොදැනිම.


අපේ දවස පටන්ගන්නෙ ඔහොම . පැයක් යෝග කරලා ඉවරවෙනකොට හොඳටම බඩගිණියි .කවුරුත් කඳු මුදුනෙ තියෙන අවන්හලට යන්නෙ උදේකෑමට. උණු උණු නැවුම් එළකිරි, දුඹුරු පාන්,පළතුරු කෑම රුචිය වැඩිකරනවා. අපි නැවතිලා ඉන්න දුලික් හිල් නවාතැන තියෙන්න හිමාල මිටියාවතේ කඳු බෑවුමක. ගහකොල මල් වලින් පිරුන හරි ලස්සන තැනක්.දුලික් හිල් නිකේතනය මැදින් පහල මිටියාවතේ කඳුකර ගම්මානයට යන පාරක් වැටිය තියෙනවා.මේ පාර දිගේ සීතල නොතකා නගරයට යන කම්කරුවන් ධාන්‍ය මලු ,කිරි බාල්දි , එලවලු කූඩ හිස තියාගෙන යන ගැහැනුන් , මිනිසුන් දැකගන්න පුලුවන් . පාසල් බස් රිය එනකන් මග බලාගෙන ඉන්න පොඩිත්තො පිරිසත් සුලබ දසුනක් . මේ අය පහල ගමේ ඉන්න "තාමන්ග්" කුලයට අයත් ගම් වැසියො . මේ ගැහැනුන් , මිනිසුන් හා දරුවන් ගේ මුහුණු බැලුවම පෙනෙනව ජීවිතේ ගැටගහගන්න ඔවුන් ලොකු සටනක් කරන බව .


දැන් ඉතින් කවුරුත් කාල ,නාල , ඇඳ පැලඳගෙන හරියටම නමය වෙනකොට දේශන සාලාවට එනවා. ඒක නීතියක් නොවුනත් හරියටම අකුරට අපි පිළිපැද්ද දෙයක්. මේ දේශන සාලාව හොඳට වාතාශ්‍රය ලැබෙන,ඉඩ පහසුකම් සහිත තැනක්.අපි හැමෝම අසුන්ගන්නෙ බිම . ඒකට ඇති තරම් කුශන් මෙට්ට තිබුණ. බිමට කාපට් අතුරල තියෙනවා .කවුරුත් සීතල පලවාහරින්න තට්ටු තුන හතරක් ඇඳුම් අඳලයි ඉන්නෙ . දුම් දමන උණුවතුර බොය්ලේරුවත් , දෙහි යුශ ,සීනි,මී පැණි පානයත් සීතල නිසා එන පොඩි පොඩි ලෙඩ පලවා හරිනවා.මේ සාලාව කෙලවර තණපිටියෙ කහපාට මල් පිපුන මෙරිගෝල්ඩ් මල් පඳුරු සහ සීත මැදින් එන හිරු රැස් උදෑසන නෙතට සොඳුරු දසුන් මවනවා. ඉගෙනගන්න ,දැනුම සොයන්න හොඳ වට පිටාවක් .මට දැනෙන්නෙ පැරණි ඉන්දියාවෙ ගුරු කුලයක ඉන්නව වගේ හැඟීමක් .


දකුණු ආසියාවේ සියලුම රටවල් සහ නැගෙනහිර ආසියාවේ බුරුමය නියෝජනය කරමින් පැමිනි තරුණ කාන්තාවන් මේ දේසන සාලාවෙ අසුන් අරන් ඉන්නේ. මේ අය අතර විශ්ව විද්‍යාල ආචාර්ය වරියන් ,නීතිවේදිනියන්, ජනමාධ්‍යවේදිනියන්, රජයේ ආයතන වල විධායක නිලධාරිනියන් වගේම ඈත ගම වල මිනිසුන් සමග ඔවුන්ගේ යහපත වෙනුවෙන් උරෙනුර ගැටී හරි හරියට වැඩකරන කාන්තාවනුත් සිටියා.ඔවුන් දකුණු ආසියාවේ විවිධ ජාතීන් , ආගම් ,කුල නියෝජනය කලා.අපි තුල තිබුණ විවිධත්වය හරියට නොයෙක් පාටින් හැඩවුන සුවඳින් අනූන ලස්සන මල් කලඹකට සමානයි.අපේ කාලය වෙන්වුනේ ආසියාවේ කාලීන ආර්ථිකය , දේශපාලනය , සංවර්ධනය , ආගම් , ජන සමාජය ගැන විමර්ශනාත්මකව ඉගෙන ගන්න .බොහොම උණුසුම වාද විවාද ,අලුත් අදහස් වලින් පිරුණ දේශන සාලාවක්. අපිට උගන්වන්න ඇවිල්ල හිටියේත් ලෝප්‍රකට දකුණු ආසියාණු සම්භවයක් සහිත ආචාර්යවරියන් . මේ උණුසුම් වාද විවාද මුලු ආසියාව පුරා පැතිරිල හිටිය අපි අතර වෙනස්කම් ඉක්මවා ගිය සහෝදරත්වයක් ඇතිකලා. මේ හැම කාන්තාවක්ම විශේෂ කෙනෙක්. ඒ ඔවුන් ඉහල වෘත්තීන් වල නිරතවෙලා ඉන්න නිසා නෙවෙයි . මේ හැමකෙනෙක්ම ඒ තත්වෙට එන්න ලොකු සටනක් කරලා තිබුණා.දුප්පත් කම ,කුල පීඩනය,පටු සමාජ ආකල්ප වගේම ,ධනවත් ,කුලවත් පවුල් පෙලැන්ති වල යල් පැන ගිය මත වලට පයින්ගසා ඉදිරියට ආව ගමන ගැන ඒ හැම කෙනෙක්ටම වෙන්වුන කතාවක් තිබුණා.


අපි හැමෝටම ඉගෙනීම විනෝදජනක දෙයක් වුනා. බොහොම හර බර සාකච්ඡා අතර දකුණු ආසියාවට ආවේණික ජන නැටුම් ,ගායනා එහෙමත් අපි රඟ දැක්වුවා. තේ විවේකයේ කවුරුත් අසල තියෙන තණපිටියට දුවයන්නෙ අව්ව තපින්න. පැය දෙකක දවල් කෑම විවේකයේ රෙදි හෝදගන්න , ඔනෙ නම් නිදාගන්න , එහෙම නැත්නම් පොතක් පතක් කියවගන්න පුලුවනි .


හවස් වීගෙන එනකොට අන්නාපූර්ණා වැටිය සිඹින මලානික හිරු රැස් අමුතු සිතුවම් අඳිනවා.හවස පහ වෙනකොට අපේ දවල් දවස අවසානයි. සමහරු නම් හීතල නොතකා තණපිටිය වටේ දුවනවා. යෝගා ව්‍යායාම කරනවා.මම පටු මාවත දිගේ දුලික් හිල් නිකේතනයේ පහල බෑවුමට ඇවිදගෙන යනවා. එතනට ගියහම හිමාල මිටියාවතෙන් සමුගන්නා අවසාන හිරු කිරණත් දැකගන්න පුලුවනි . උදේ නගරයට ගිය ගැහැණුන් මිනිසුන් ආයෙමත් ගම්මානය දෙසට පල්ලම් බහිනවා. ඒ හැම කෙනෙක් අතේම අඩුම කුඩුම පිරුණ මල්ලක් තියෙනවා. සමහරු ගොවි බිම් වලට උවමනා පොහොර මිටි කරෙන් අරගෙන යනවා. ඈත මිටියාවතේ පැල්පත් වල පහන් දැල්වෙනවා. පොඩි දරුවන්ගේ කටහඬවල් , හරකුන් ගේ උම්බෑ සද්දේ ඇහෙනවා. මට දැනෙන්නේ "අපූගේ ලෝකය " පොතේ නිශ්චින්දි පුරේ තොටුපොලවල්, බට කැලෑ,මල් ගොමු අතර තනිවුනා වගේ හැඟීමක් .


සීතල වැඩිකමට හවස හත විතර වෙනකොට හරි බඩගිණියි. ඒ නිසා කලින්ම රාත්‍රී ආහාර සූදානම්. හීතල මකන්න අවන්හල මැදතියෙන ලොකු ගිනි උඳුනේ දර කොට පිලිස්සෙනවා. කවුරුත් උඳුන වටේ තියෙන සෝෆා වල වාඩිවෙලා උණුසුම් වෙනවා. කෑමෙන් පස්සෙ ආයෙත් කවුරුත් දේශන සාලාවට එක්වෙන්නවා. ආසියාවේ විවිධ රටවල ප්‍රකට සිනමා කෘති නරඹන්න. හැම රටකින්ම ආව අය මේ සිනමා දර්ශන සඳහා චිත්‍ර පට ගෙනැවිත් තිබුණ.බොහෝමයක් ඒවා ආසියාවේ සමාජ ප්‍රශ්න විදහා දක්වන සිනමා පට . ගොඩක් වෙහෙස දවස්වල නම් සිනමා දර්ශන අවලංඟු කරනවා.ඒ වෙනුවට කවුරුත් කැමති හින්දි චිත්‍රපට ගීත සමග නටන්න පුලුවනි . එහෙම නැත්නම් සංගීත සැඳෑවල් පවත්වනවා. හැමෝම තරඟෙට පන්ජාබි, බෙන්ගාල ,කර්නාටක , උර්දු,පශ්තුන් , දෙමල ,සිංහල,නේපාල ගීත ගයෙනවා.ලංකාවෙ "සුරංගනී" බයිලා සිංදුවට තිබුණෙ පුදුම ඉල්ලුමක් !!


මෙහෙම දවස් වල රාත්‍රී දහය විතර වුනත් අපි සමහරුන්ට නිදාගන්න උවමනාවක් නැහැ.ආයෙමත් කාගෙහරි කාමරේකට කට්ටියම එකතුවෙනවා. දවල් දවසේ අපි කතාකල දේවල් අපේ රටවල තියෙන දේශපාලන ප්‍රශ්න , ඒ හා බැඳුන අපේ අත්දැකීම් , ගැන බොහොම උණුසුම් සංවාද මේ වෙලාවට ඇතිවෙනවා. කවුරුත් ලෝක බලවතා වුණු ඇමෙරිකාව නිර්දය ලෙස විවේචනය කරනවා විතරක් නෙවේ , අපේ කලාපයේ ඉන්දියාවේ , පාකිස්ථානයේ පිලිවෙත් එහෙමත් හෙලා දකිනවා.ඒ වෙලාවට අපි අපේ රට වල දේශ සීමා වලින් ඈත්වෙලා සර්වලෝක පුරවැසියො වෙනවා. මේ වෙලාවට අපි ලංකාවෙන් ගෙනිච්ච ඉඟුරු තේ , ලෙමන් තේ ,මාරි බිස්කට් හරි වටිනවා. කෙලවරක් නැති විහිලු කතා , පරණ ප්‍රේම කතා ,වලට එහෙමත් මේ වෙලාව වෙන් වෙනවා. හීතල කපාගෙන මහ රෑ අපේ සින හඬවල් දෝංකාර දෙනවා.


මාසයක් තිස්සේ උදේ පාන්දර ඉඳලා මැදියම් රැය වෙනකන් මෙහෙම අපේ දවස් ගෙවුණද කියලා හිතනකොටත් පුදුමයි. ඉගෙනීම අපේ සිත , කය හා මනසට විනෝදයක් වෙන විදියට සකස්වෙලා තිබුණා. බොහෝ පුහුණු වැඩමුලු වල වගේ කෙලවරක් නැති නීරස පවර් පොයින්ට් ප්‍රසන්ටේශන්ස් තිබුණෙ නැහැ.අපේ දැනුමේ සහ බුද්ධියේ උල්පත් වුනෙත් අපිමයි.වට පිටාවේ තුබුණ සැහැල්ලු බව,සරල බව , සුන්දරත්වයත් නිසා අපි වෙහෙසට පත්වෙන්න නැතුව ඇති . හැමෝම කිව්වෙ තමන් ගෙවූ හොඳම පුහුණු කාලසීමාව මෙය බව .


මට මේ වෙනස කොයිතරම් දැනුනද කිව්වොත්,හරියට මාසෙකට පස්සෙ ලංකාවට ඇවිත් ඊට පහුවදා ජායික් හිල්ටන් හෝටලේ තිබුණ දින තුනක රැස්වීමකට හසභාගි වෙද්දි මට දැනුණෙ මම ඒ තරු පන්තියේ සුපිරි පරිසරයට අයිති නැති සත්වයෙක් වගේ. ඒ අධි පහසුකම් සහිත පරිසරය හැරදමා හිමාල මිටියාවතේ අල්පේච්ච දුලික් හිල් නවාතැනට ආයෙ යන්න ඇත්නම් කියලා හිතුන වාර අනන්තයි.එදා තමයි මට දැනුනෙ ජීවිතේ මේ මොහොත රස විඳීම හා ජීවත් වීම කොයි තරම් වැදගත් ද කියලා. මොකද ආයෙමත් ඒ මොහොත එන්නෙ නැති නිසා.










Wednesday, January 27, 2010

Suba Anagathya & better Change


ඊයෙ පෙරේදා මිය ගිය වුන්ගේ
මල සොහොන් උඩින්
අඬු බඬු කැඩුන වුන්
මග තනි කර දමා
වේදිකාවෙන් ඇසුන
දෙස් දෙවොල් පරුස බස්
දෝංකාරය මැදින්
කොල රතු නිල්
පොලිතින් කඳු අතරින්
යහපත් වෙනසකට දකින්න
සුබ අනාගතයට පාර මේ

Saturday, October 10, 2009

ඉතිරිවූ සිහිනය

තව සතියක් ඉතිරිව ඇත
මනරම් හිමාලය තරම් උස
සොඳුරු අන්නාපූර්ණා වැටිය තරම් දිග
සිහිනයකුත් තවම ඉතිරිව ඇත
සැබෑකරගන්න වෙහෙසෙන

දෙවසරක් නැගී
සිඳී බිඳී වැටුන
ඒ සිහිනෙට පණ දෙන්නට
තාමත් වෙහෙසෙමි මම

අවසන් මොහොත තෙක්
අත්හැර නොගනිමි වෙර
දැනුම පිපාසාවේ
ඒ සිහිනය සන්සිඳුවා ගන්න