Tuesday, January 31, 2012

පාර දිගේ




ඈ තම කාර්යාල සගයාත් සමග ලහි ලහියේ බස් නැවතුමට ආවාය

"සීමිතයක් තිබුණොත් හොඳයි වාඩි වෙලා යන්න" ඈ තමාටම කියාගත්තාය .සිතූ සේම හරි බරි ගැහී යන්න වැඩි සෙනගක් නැති ඉක්මනින් ගමන් අරඹන සීමිත නැවතුමක් වීය .

රාජකාරියට යන්න එන්න ගතවන දෙපැයේ ඈ කවදාත් මනාප මුහුද පැත්තේ ඇති අසුනක වාඩි වෙන්නය . යන එන මග උදේ හවා දකින මුහුදු තීරය කවදාවත් එපා වෙන්නේ නැත. එක දවසක් නොව දැන් අවුරුදු හයක් තිස්සේ මේ මුහුද හිරු නගින උදෑසනත් , ගිනි මද්දහනේත්  ,  ඉර අවරට යන හැන්දෑවේත් ඈ දකින්නීය .දින ,සති මාස අවුරුදු ගෙවුන ඉක්මන ...කාලය කවුලු දොරින් පැනයයි.රස්සාවට ගිහින් අවුරුදු හයකුත් මාස හයක් ගෙවී ඇත .හරියට අද ඊයේ වගේ ඈට හිතේ .මේ රස්සාවට එනවාට ඈ දන්න හඳුනන බොහෝ අයත් ගෙදර උදවියත් එක හෙලා අකමැති වූ නමුත් ඈ කැමැත්තෙන් ආවාය .දැන් ඉතින් ආපසු හැරීමක් නැති හැඩකි .ගලන ගඟක් කොහොම හරස් කරන්නද ?ආයේ ආපසු හැරී කොහෙන් නම් පටන්ගන්නද ?එනිසා ඈ රැකියාව ගැන අන් බසකට කන් නොදෙනු ඇත .


බස් රථය ගමන් ආරම්භ කර ඇත .සයුර දෙසින් බැසයන හිරුගේ රැස් වේගෙන් ඇදෙන රිය  කවුලුවෙන් ඇගේ මූණට පතිතවී ඇත .ඉමක් කොනක් නැති මුහුද දිහා බලන් ඇගේ හිත ඈ හා දොඩමළු වූ ලෙසකි ඈ කල්පනා කෝච්චියට ගොඩවෙලාය .එහෙම වූ විට ඈට තමන් අසලින් අසුන්ගන්නා සිය කාර්යාල සගයාත් අමතක වේ .ඔහු සුපුරුදු ලෙස ඈටත් එක්කම ටිකට් ගනී. 

ඇගේ කල්පනා ලෝකය බිඳෙන්නේ සිය කාරයාල සගයා විමසන පැනයක් දෙකක් නිසාවෙනි 

"ඔයා ගෙයක් හරි ඉඩමක් හරි ගන්න හොයන එක අත් ඇරියද ?"

ඔහුට කාන්සියට කතා බහට මාතෘකාවක් ලැබී ඇත .ඉන්න හිටින්න තැනක් ඉඩමක් කඩමක උවමනාව  ඇගේ හිතට දැනුනේ දැන් ටික කාලෙක ඉඳන්ය .එනිසා ඒ ගැන යම් හෝඩුවාවක් තිබුනොත් කියන ලෙස ඔහුත් දැනුවත් කලා මතකය .

"නෑ , එහෙමම නෑ ඒත් මේ දවස්වල මම හිතුවේ මෙහෙන් යනවද ඉන්නවද කියන එක . ඔය ඔක්කොම තීරණය වෙන්නේ මම ඊලඟට යන තැන අනුවනේ .ඇරත් මගේ වන්දිය නොගෙන මේව ප්ලෑන් කරන්න අමාරුයි" ඈ කල්පනාකාරිව කියන්නිය 

"ඔවු ඒක ඇත්ත"ඔහු එකඟවෙයි . 
"මේ දවස්වල ඉඩම් ගෙවල් ටිකක් ලාබයි .චාන්ස් එකක් ආවොත් අතාරින්න එපා "
ආයෙත් උපදෙසකුත් ලැබෙයි 

ඈ කල්පනා සයුරේ කිමිදෙන්නීය .හිටියොත් වන්දිය ලැබේ .ගියොත් නොලැබේ .දැන් ඈ ඉන්නේ වැට උඩය .ඒත් පනින්න පෙර හිතා බලන්න දේවල් ගොඩකි .හිටියොත් බැංකු ණයක් ගෙන යමක් කරගත් හැක .ගියොත් යා යුතේ වන්දිය අතැතිව මිස හිස් අතින් නොවේ .වන්දිය ලැබුනොත් කරන්නට බොහෝදේය ..ගෙයක් ගන්න ,බාගයක් ලීස් කරලා කාර් එකක් , නැත්නම් ඔක්කොම පැත්තක දාලා පොඩි කාලේ හිතූ සේ ඇගේ සිහිනයන් වූ   ,හිස හැරුන දිහා ඇවිදින්න කාගෙන් තහනමක්ද ? ඒත් තනිමතයට එහෙම යන්න පුලුවන් කාටද ? වයසට යන ලෙඩවෙන දෙමවුපියන් සිටිනා විට එහෙම දමා ගසා යා හැකිද ? ,හැමෝම හිතන්නේ ජීවිතය ගැන වැඩි බරක් පතලක් නොහිතා සිනා වෙන ඇය වැන්නියකට  එය  හරි  ලේසි වැඩක් කියාය .ඒත් ඒ අපහසු හැඟීම දනේ ඈම පමණකි .ඒත් හීන පොදියක බර ඇගේ ඔලුවේය .ඒ බර බිමින් තියන්නත් ඈ අකමැතිය .ගොඩ කල් උහුලා ඉන්නත් බැරිය .වෙහෙසය .

ඇගේ දැහැන ආයෙත් බිඳුනේ එස්. එම්. එස් පණිවුඩයකිනි ඒ හොඳම මිතුරියකගෙනි ."මට අර ඇග්‍රරිමන්ට් එකේ ෆෝර්මැට් එකක් එවනවද ?"ඇගෙන් ඉල්ලිමකි .බොහෝ මිත්‍ර සමාගම් නැතත් ඉන්නා යාලුවෝටික දෙනා  ඈට ප්‍රියවෙයි .ඒත් ඈට සමහර වෙලාවට   දහස් ගානක් සෙනග අතරේත් මහා තනියක් දැනෙනවා වගේය .එවර ඇගේ මුවග සිනාවක් නැගුනේ යමක් මතක්වීය .ස්කයිප් වලට පින් සිදුවන්නට දෙන්නා දිවා රෑ නොබලා කතා බස් කර තිබුනි.ප්‍රිය සාමිච්චි කෙතරම් දුරදිග ගියාද කිතොත් ඇගේ  දින පොතේ  සමහර වැදගත් රැස්වීම, ගමන් බිමන් , ඇඳිය යුතු ඇඳුම්  ඈට වඩා හොඳින් ඔහු මතකයේ තබාගෙන සිටියේය .ඒත් පසුව ඒ සාද ,සාමිච්චී, වාද, විවාද වී ඒවා  විසංවාද වීය . දෙන්නා යන්නේ කවදාවත් හමු නොවන රේල් පීලි දෙකක් උඩ බව දෙන්නාටම වැටහුණි . රණ්ඩු කරමින් දෙමගක යාම පලක් නැති වග  දෙන්නාම තීරනය කලෝය.ඒත් ඉඳහිට උනුන් ගැන විමසන පුරුද්ද එකිනෙකාට අවවාද දෙන ගතිය දෙන්නාටම අමතක වී නැත .

ඇගේ මතක සිතුම්පටක් සේ ඳෙයි ,බස් රිය පොල් රුප්පාවන් පසු කරගෙන වේගයෙන් ඇදෙයි.කල්පනා කෝච්චියද ඒ  වේගයෙන්ම අතීතය වර්තමානය හා අනාගතය අතරින් දුවයි .එය කොහේ කොතැනක නවතිනු ඇත්ද කියා ඈ නොදන්නිය  .ඒත් අසීමිත  හීන හා බලාපොරොත්තු පොදි බැඳන් ඒ කල්පනා කෝච්චිය හැමදාම ඇදෙනු ඇත .ඇය මුවග සිනා හා නොකියූ  සුසුම් ද ගෙනෙනු ඇත.ඇය හීන පොදි බැඳන් ඉදිරියටම ඇදෙනු ඇත.ආයේ හෙටත් සීමිත නැවතුමක  නැගී  සිහින හිස දරා වැඩට යනු ඇත .  

Saturday, January 28, 2012

ආදරයේ නුවර.. අග්‍රා... දුටිමි


T

චිත්තෝර් වලින් සැප්තැම්බර් 25 වෙනිදා  රෑ සමුගත්ත මම ග්වාලියර් වලට යන රෑ කෝච්චියට ගොඩවුනේ ආදර සැමරුම් කැටිවුන අග්‍රා නුවර දැකගන්න . මගේ මෙවර රාජස්තාන් සවාරියේ අවසාන අදියර වුනේ අග්‍රා නුවර දැක ගැනීම . අග්‍රා , උදයපූර්,ජායි පූර් සංචාරක  නගර ගෝල්ඩන් ට්‍රයන්ගල් (Golden Triangle) කියලයි හන්දුන්වන්නේ . මම අග්‍රා යන අතරමග ජායි පූර් පහුකලත් පහුගිය වතාවේ "ජල් දි ජල් දි කියල ජායිපූර් නැරඹුව නිසා " කෙලින්ම අග්‍රා ගියා . රෑ එකොලහට චිත්තෝර්  වලින් පිටත්වෙලා අග්‍රා වලින් බහිනකොට පහුවදා උදේ එකොලහයි .

අග්‍රා ගැන මගේ හිතේ ඇඳිලා තිබුනේ යමුනා ගං තිරේ  බොහොම සාමකාමි , මෝගල් වරුන්ගේ අභිමානය කැටිවුන සංස්කෘතික  නගයරක් විදියට .ඒත් දුම් රියෙන් එලියට බහිනකොටම ඒ සිතුවිල්ල වෙනස් වුනා . අග්‍රා ත් ඉන්දියාවේ ජනාධික , වාහන තද බදය උපරිම තියෙන , සමර් කාලෙට අධික හිරු රැස් වලින් පීඩා විඳින , ගෑස් හා තෙල් කම්හල බහුල නූතන ඉන්දියානු නගරයක් ,කොමර්ෂල් හබ් එකක් .


තද හිරු රැස් ,දූවිලි , ට්‍රැෆික් මැද්දෙන් අග්‍රා කාන්ට් ඉස්ටේසමේ ඉඳලා අපේ  නවාතැන වුන එයාර්ෆෝර්ස් බේස් කෑම්ප් එකේ ඒරියා 4 සීමාවේ ගයත්‍රි හා භානුගේ ගේ නිල නිවහනට සේන්දුවෙනකොට ඉර මුදුන්වෙලා .ගයත්‍රිගේ ආගන්තුක සත්කාර විඳලා සීතල ලැසී බිලා ඇඟපත් නිවාගෙන දවල්ට කාලා මම ලහි ලහියේ ලෑස්තිවුනේ රතු බලකොටුව හා මෝගල් ගෘහනිර්මාණ ශිල්පයේ මුදුන් මල කඩ වූ ටාජ් මහල් දැකගන්න.දිර්ග දුම් රිය ගමන් වලින් හොඳටම හෙම්බත්වෙලා හිටියත් මහන්සි නොබලම රතු බලකොටුවටත් (Red Fort) ටාජ් මහල් බලන්නත් යන්න මට තිබුනේ නොඉවසිල්ලක් .ඒත් මට වැඩිය හොඳින් නගරේ ගැන දන්න මගේ ටුක් ටුක් රියදුරාට අවනත වෙන්න වුනා .ඔහුගේ අදහස වුනේ මුලින්ම රතු බලකොටුවට බලලා එතැනින්ම ටාජ් මහල් නරඹන්න ප්‍රවේශපතකුත් අරන්  පස්සේ ටාජ් බලන්න යන්න කියන එක . ෆටේපූර් සිකිරි (Fatefur Sikiri) කියන මෝගල් වරු ගොඩනැගුව පැරණි නගරය දැකගන්න මට ඕනෙ වුනත් ඔහු කිව්වේ  අග්‍රා ඉඳලා කිලෝමීටර තිස් දෙකක් විතර ඈතින් ඇති එහි යාමට අපිට වෙලාවක් නැති වග .ඒ නිසා ටාජ් හා රතු බලකොටුව විතරක් මගේ මෙවර ප්ලෑන් එකට එක් කරගෙන සැනසෙන්න වුනා.
Amar Singh Entrance 

රෙඩ් ෆොර්ට් එහෙම නැත්නම් රතු බලකොටුව වචනයේ පරිසම්මාප්ත අර්ථයෙන්ම රතු පැහැ විසාල ප්‍රාකාරයකින් ආවරණය වුන අක්කර සිය ගානක් ඇතට විහිදෙන බලකොටුවක් .එහි මුල්  ඉතිහාසය දහවැනි සියවස තරම් ඈතට ඇදෙනවා . එවක මෙය යමුනා ගංතීරයේ වූ මැටියෙන් පවුරු නිමවූ බලකොටුවක් . මෙය  මෝගල් පරම්පරාවේ අග්‍රගණ්‍ය නිර්මාණයක් වෙන්නේ අක්බාර් රජවරු අග්‍රා නුවර තමන්ගේ අගනුවර කරගත් කාල වකවානුවේ ඒ කියන්නේ 15 වෙනි සියවසේ.අක්බාර් වරු රතු පැහැ ගල් වලින් මේ බලකොටු තාප්ප සවි ශක්තිමත් කරලා බඳිනවා. බලකොටුවට ඇතුල්වෙන විසාල ද්වාර දෙකක් තියෙනවා .එකක් අමර සිං ( Amar Singh Gate ) ලෙසත් අනික දිල්ලි ගේට්(Delhi Gate ) ලෙසත් හඳුන්වනවා . එයින් දැනට පාවිච්චිවෙන්නේ අමර සිං ද්වාරය . එතැනින් තමයි බලකොටුවට පිවිසෙන්නේ . ඒ සඳහා විදේශිකයෙක්ගෙන් ඉන්දියන් රුපියල් 250/= ක වටිනාකමින් යුත් ටිකට් පතක් අයකරගන්නවා . මෙතැනිනම ටාජ් බලන්න යන්නත් ටිකට් පත් ගන්න පුලුවනි. ඒක ලෙහෙසියි .බලකොටුව මහජන දර්ශනයට දිනපතා හිරු උදාවේ සිට හිරු බැසීම දක්වා විවෘතයි.
Jahangiri Mahal


බලකොටුව අතුලත විසාල මාලිගා අංගණ රාශියක් තියෙනවා .මුලු බලකොටුවෙම කිලෝමීටර පහක් ,හයක් විතර පයින් අවිදින්න ඕනේ . මේ මාලිගා බොහොමයක් ඉන්දිකරවලා තියෙන්නේ ෂාජහාන් රජතුමා ඔහුගේ රුචි අරුචි කම් අනුව .ඇතුල්වෙනවත් එක්කම විසාල කුලුණු දෙකක් එක්ක තියෙන රතු පැහැ "ජහන්ගිරි මහල් මාලිගාව " ( Jahangiri Mahal)   ) දැකගන්න පුලුවන් .මෙය වෙන්වෙලා තියෙන්නේ බලකොටුවේ විසූ කුලවතුන්ගේ භාර්යාවන්ට . විමෙන්ස් ක්වාර්ටර්ස් එකක් වගේ . ඇතුලත විසාල මාලිගා මැද මිදුල් , මල් කම් වලින් අලංකෘත කුලුණු හා ද්වාර දැකගන්න පුලුවනි."ජහන්ගිරි මහලේ" පිටුපස අංගණයට ගියවිට ඈත යමුනා තීරයේ ඇති ටාජ් මහලත් දිස්වෙනවා . මාලිගා නිර්මානයේදී රතු ගල් වගේම කිරි ගරුඬත් යොදාගෙන තියෙනවා. ෂාජහාන් රජු නුවර වැසියන් බැහැදකින්න ගොඩනැගුව Diwan-i-am palace  මාලිගාවත් කාස් හවුස්- Khas House  කියන තැනත් මීට හොඳම උදාහරණ .මේ තැන් වල වලාකුලු හැඩේට රැලි ආරුක්කු තියෙන සාලාවන් දැකගන්න පුලුවනි. අග්‍රාවේ ප්‍රකට අක්බාර් රජෙක් වුණ ෂාජහාන් අන්තිමට ඔහුගේ පුතෙක් අතින්ම මේ බලකොටුවේ හිර කරුවෙක් වෙලා කල්ගෙවලා මියැදෙනවා. ඔහුගේ හිරකාර ජීවිතය ගතකරන්නේ Muthammam-Burj Tower කියන මාලිගාවේ .මෙතැනටත් ඔහු විසින් තම ප්‍රිය බිරිඳ මුම්ටාස් මහල් සිහිවෙන්න ගොඩ නැගූ ටාජ් මහල් හොඳින් දිස්වෙනවා . නිවී සැනසිල්ලේ රතු බලකොටුව බලමින් මාලිගා අංගන වලට වෙලා විඩා නිවමින් අර රැලි ආරුක්කු , විසාල කුලුණු ,පැරණි ගල් කැටයම් අතර කිමිදෙන්න දවසක් විතර යනවා .ඒත් මට එහෙම වෙලා නැති නිසා පැය තුනක් විතර බලකොටුවේ ගත කරලා පින්තූර ටිකකුත් අරන් ලහි ලහියෙන් ගියේ ඊට කිලෝමීටර 2 1/2  විතර ඈතින් තියෙන ටාජ් මහල් ආදර  සැමරුම් සිහිවටනය බලන්න .



විදේශිකයෙක්ට  ටාජ් මහලට අතුල්වෙන ප්‍රවේශපත්‍රය ඉන්දියන් රුපියල් 750/= ක් වෙනවා .සතියේ සිකුරාදා හැර අන් දිනයන්හී උදේ හිරු උදාවේ ඉඳලා හිරු බැසීම තෙක් ටාජ් මහජන ප්‍රදර්ශනයට විවෘතයි . ඇතුල් වෙන්න කලින් ඉතා දැඩි ආරක්ෂක පරීක්ෂාවකුත් කරනවා .සියලුම වාහන ඇතුල්වෙන ගේට්ටු වලින් යම් දුරකදි නවත්වා සංචාරකයන් පයින් යා යුතුයි .  යමුනා ගංතීරේ ටාජ් මහල ඉදිවුන බිමත් උද්‍යාන අලංකරණයෙන් , තණ බිම්  වතුර මල් , පොකුණු වලින් හැඩ වෙලා තියෙනවා .ටාජ් මහලට යා යුත්තේ විසාල ද්වාර දෙකක් පහුකරලා පා ගමනින් . ඇවිදගෙන යන විට දර්ශනය වෙන මේ කිරි ගරුඬ මාලිගාවේ පින්තූර ගැනීමට හැම කෙනෙක්ම පොර කනවා.ටාජ් ඉන්දියාවේ සංචාරකයන් අධිකව ගැවසෙන  තැනක් හැටියටයි වාර්තා වෙන්නේ.ටාජ් මහල වෙත යද්දී පාවහන්,තොප්පි ආදිය  ගැලවිය යුතු වෙනවා . තද හිරු රැසින් යුත් ගිම්හාන කාලයේ කිරි ගරුඬ රත්වෙලා යටි පතුල් පිච්ච්ද්දී මාත් පිවිසුනා  ටාජ් හහල ඇතුලට.

ෂාජහාන් -මුම්ටාස් නොමැකෙන ආදරයේ දැවැන්ත සිහිවටනය වුන ටාජ් මහල් නිර්මාණයට හේතුවන්නෙ මුම්ටාස්ගේ වියෝගය හා ෂාජහාන්ගේ හිතේ ඈ වෙනුවෙන් තිබුණ අසීමිත ප්‍රේමය .ඔහු ඒ පෙම් පුවත කියන්න මේ කිරි ගරුන්ඩ මැදුර ඉදිකරවනවා දක්ශ ගෘහනිර්මාණ ශිල්පීන් අතින්.එහි ද්වාර වල මල්, ලිය වැල් හා කුරාන පාඨ සටහන් වෙලා තියෙනවා . ඇතුලට අශ්ටාශ්‍රයක හැඩේට ඉදිවුන කොටුවක ෂාජහාන් හා මුම්ටාස්ගේ සොහොන් තියෙනවා . මුස්ලිම් පල්ලි වල තියෙන පිවිසුම් ද්වාර වල හැඩය ගත්ත දැවැන්ත ද්වාර හා ඩෝම් සහිත ඉතා උස් කුලුණු ගොඩනැගිල්ල වටා දැකගන්න පුලුවනි .ලස්සනම දේ තමයි අතුලත නරඹලා එලියට ඇවිත් ඔය විසාල ද්වාරයක් ගාව බිම වාඩිවෙලා ඉඳන් හවස් යාමේ ඈතින් ගලාගෙන යන යමුනා නදිය දිහා බලන් ඉන්න එක .මම යන කාලේ යමුනාව හිඳී වියලී ගිහින් හීන් වතුර පාරක් විතරයි තිබුණේ .
j

අපි කවුරුත් ටාජ් මහලේ ගැන යුග යුගයන්හි රැව් දෙන අතීත ආදර කතාව  හොඳින්ම දන්නවානේ .ඒ නිසා මට හිතුනා මේ සටහනින් ටාජ් මහලේ වර්තමාන  කතාවත් ලියන්න .ටාජ් මහලේ නූතන කතාවේ කතා නායකයා තමයි  තමයි එම් .සී .මෙහෙතා-M.C.Mehta  කියන ඉන්දියාවේ ප්‍රකට පරිසර නීතිවේදියා. 1994 දී ඔහු දකිනවා යුනෙස්කෝ ලෝක උරුමයක්(UNESCO World Heritage)  වුන ටාජ් මහලේ කිරි ගරුඬ අව පාටවෙලා කහ පැහැ ගැන්විලා ජරාජීර්ණ වෙනවා .මම මුලින්ම කිව්වනේ අග්‍රා කියන්නේ  රසායණික පිරිපහදු වලින් යුත් ජනාධික කොමර්ශල් හබ් එක කියලා . ඔය  පිරිපහදු අතර මථුරා කාර්මික සීමාවෙ තියෙන  රසායණික පිරිපහදු , වලින් පිටවෙන සල්ෆර් ඩයොක්සයිඩ් මුසු වායූන් ඉහල වායු ගෝලයට ගිහින් අම්ල වැසි (Acid Rain )වැස්සවිම නිසා ටාජ් මහලේ කිරිගරුඬ දුර්වර්ණ වීම් හා දිරාපත්වීම් සිදුවෙන බව ඔහු සාධක සහිතව පෙන්වනවා .ඒ වගෙම අග්‍රා වල තියෙන ගඩොල් පෝරණු , අධික වාහන තදබදය හා වාහන දුම් ,ජෙනරේටර පරිහරණය ටාජ් මහල අවට -Taj Trapezium  Zone රිසර දූෂණයට   හේතුවෙන වගත් පෙන්වනවමින් ඉන්දියානු රජයට එරෙහිව ඔහු උපරිමාධිකරණයේ නඩුවක් ගොනු කරනවා ඒ  .C.Mehta Vs Union Of India (UOI)& Ors. W.P. (C) No.13381/1984 ( Taj Trapezium Case) .ඉන්දියානු ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේ පරිසරය සුරැකීම ගැන තියෙන ප්‍රතිපාදන Article 48 A  හා  බොහොම සුවිශේෂී නීති ප්‍රතිපාදනයක් වූ   Article -21 යටතේ තියෙන Protection of life and personal liberty ,අග්‍රා වල පරිසර දූෂණය ගැන පලවුන රජයේ විමර්ශන වාර්තාවක් වුන Report on Environmental Impact of Mathura Refinery යන දෑ ඔහු මේ නඩු පැවරීමට යොදාගන්න නෛතික සාධක වෙනවා . 

ඉන්දියානු උපරිමාධිකරණය මේ නඩු කටයුත්ත සලකන්නේ පොදු යහපත  (Public Interest Litigation -PIL) වෙනුවෙන් පැවරූ නඩුවක් හැටියට .ටාජ් මහලට වෙන හානිය  මෙහෙතා මහත්මයට වෙන පුද්ගලික හානියක් නොවුනට  එය පොදුවේ ඉන්දියානුවන්ට බලපාන හා අනාගත පරම්පරාවලට බලපාන කාරණයක් නිසා පුද්ගලයෙක් හැටියට මේ නඩුව පැවරීම ඊට ඉදිරිපත්විමේ අයිතිය හෙවත් ලොකුස් ස්ටැන්ඩායි( Locus Standaii)  ඔහුට ලැබෙනවා . මේ නඩුව ආසියාකරයේ පොදු යහපත වෙනුවෙන් උපරිමාධිකරණයේ සක්‍රීය දායකත්වය -(Judicial Activism ) දකවන හොඳ උදාහරණයක් වගෙම පරිසර නීතියේ නව නැම්මක් ඇති කරන අවස්ථාවක් වෙනවා . නඩුව අහන  කුල්දීප් සිං ගරු විනිසුරු තුමා 
( Hon.Justice Kuldeep Singh) ටාජ් මහලේ ඓතිහාසික වටිනාකම ඉතාම ලස්සනට පෙර අපරදිග ඉතිහාස සටහන් උපුටමින් දක්වනවා .ඔහු වරෙක මෙහෙම කියනවා 




The Taj - is the "King Emperor" amongst the World Wonders. The Taj is the final achievement and acme of the Moghul Art. It represents the most refined aesthetic values. It is a fantasy-like grandeur. It is the perfect culmination and artistic interplay of the architects` skill the jewellers` inspiration. The marble in-lay walls of the Taj are amongst the most outstanding examples of decorative workmanship. The elegant symmetry of its exterior and the aerial grace of its domes and minarets impress the beholder in a manner never to be forgotten. It stands out as one of the most priceless national monuments, of surpassing beauty and worth, a glorious tribute to man`s achievement in Architecture and Engineering.
Lord Robert in his work "Forty-one years in India" describes the Taj as under :
"Neither words nor pencil could give to the most imaginative reader the slightest idea of all the satisfying beauty and purity of this glorious conception. To those who have not seen it, I would say, - Go to India; the Taj alone is well worth the journey."


පරිසර විද්‍යාඥයන් , නීතිවෙදීන් , මධ්‍යම ආණ්ඩුව හා උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ පරිසරය සුරැකීමට, හා කාර්මික සංවර්ධනයට  ඇති රජයේ ආයතන වල ඉහල පරිපාලකයන් , කර්මාන්ත කරුවන් යන සියලුදෙනා එක කරගන්න අධිකරණය මේ ගැන විමර්ශන ගනනාවක් කරලා උසාවි නියෝගයන් කීපයක්  දෙනවා

ටාජ් මහල් ගැන මේ නූතන ආදර කතාව සංවර්ධන අරමුණු  හා සංස්කෘතික උරුමයන් එකට ගැටුන අවස්ථාවක් ( Modern Development vs Preserving Cultural Heritage ) ලෙස හඳුන්වාදෙන්න පුලුවනි .

ටාජ් මහල නැරඹුව මම හවස පහට විතර ආයෙත් එන්න පිටත්වුනා . අග්‍රා නුවර රසකැවිලි වලට ප්‍රසිද්ධයි. එහෙම රසකැවිලි වලටම වෙන්වුන ප්‍රකට පෙටා ශොප් එකකින් ලංකාවේ යාලුවොන්ටත් ,ගෙදර අයටත් අග්‍රා පුහුල්දෝසි පාර්සල් කීපයක්  ගත්තා . මට ඉහලින්ම ආගන්තුක සත්කාර කල ගයත්‍රි හා භානු දෙන්න එදා රෑට බත් උයලා , පරිප්පු කඩල කරියක් ,එලවලු සාම්බාර් , චට්ට්නි  , එක්ක බිත්තර තම්බලා  , මිල්ක් ශේක් හදලා , සවු නූඩල්ස් අතුරුපසකුත් එක්ක අමතක නොවෙන රස රෑ කෑමක් දුන්න . දවාලේ මහන්සිය යන්න හොඳට නාලා බඩ පැලෙන්න කැම කෑව එදා රෑ .ඌෂත් භානු හා ගත්‍රිත් කුස්සියේ කෑම උයද්දී මම එයාලගේ පුංචි පුතා ලාමා ( චීනු ) එක්ක සෙල්ලම් කලා .ගයත්‍රි මට මුව නොසෑහෙන්න ස්තුති කලා අවුරුදු හයකට පස්සේ එයාගේ මිතුරිය ඌෂා දැකගන්න පුලුවන් වුනේ මගේ අග්‍රා ගමන නිසා කියලා. පහුවෙනිදා උදේ හතරට භෝපාල් එක්ප්‍රස් කෝච්චියේ දිල්ලි බලා පිටත්වෙන්නත් , එදාම හවස ලංකාවට එන ගුවන් යානයට නැගිය යුතු නිසාත් මම කලින් නිදා ගන්න ගියා .  පුංචි පුතා මම නිදාගන්න ගිහිල්ලත් මගේ කොණ්ඩෙන් අදිමින්  සෙල්ලම් කලා මේ පවුලේ ආගන්තුක සත්කාර මැද්දේ අග්‍රා කියන්නේ ආදරයේ නගරයම තමයි කියලා මට හිතුනා . 


ප/ලි 
පහුවෙනිදා උදේ හතරට ඔවුන්ගෙන් සමුගත්ත මම ඌෂත් එක්ක අග්‍රා කාන්ට් ඉස්ටේසමට ගියේ දිල්ලි යන භෝපාල් එක්ප්‍රස් කෝච්චියට ගොඩවෙන්න . එතැනින මම දිල්ලියට යන්නත් ඌෂා ජායිපූර් වලට යන්නත් සමුගත්තා . සමුගනිද්දී අපි  පොරොන්දුවුනේ  ආයෙත් මතු යම් දිනක රාජස්ථාන් වල ජසල්මේර් වලදි මුණගැහෙන්න .2011  සැප්තැම්බර් මාසේ දිල්ලි , උදයපූර් , මවුන්ට් අබූ, චිතෝර් , අග්‍රා නගර බලන්න ගිය සංචාරක සටහන් මෙතැනින් අවසන් වෙනවා 

දිල්ලියට ගියොත් අඩු වියදමින් අග්‍රා නරඹන්න යන එක හරි පහසු දෙයක් . දිල්ලියේ ඉඳන් උදේ ගිහින් හවස එන්න වුනත් පුලුවන් .සීග්‍ර ගාමී ශටාබ්දී හා රාජධානි එක්ප්‍රස් කෝච්චි ඒ වගේම සීග්‍රගාමි බස් රථ සේවා දිල්ලි හා අග්‍රා අතර නිරන්තරයෙන් තියෙනවා  .බජට් ට්‍රැවලර් කෙනෙක් නම් චෙනායි ගිහින් එතනින් එක්ප්‍රස් ට්‍රේන් එකේ අග්‍රා යන්න පුලුවනි .මේන්න ලින්ක් එක ඉන්දියන් රේල්වේ එකට ඊ ටිකට් බුක් කරන්න .අග්‍රා දකින්න යන්න හොඳම කාලේ ඉන්දියාවේ සීත කාලේ ඒ කිව්වේ නොවැම්බර් -දෙසැම්බර් වගේ .එතකොට බලකොටු, ටාජ් මහල් වල කිරි ගරුඬ රත්වෙන්නේ නෑ. නගරයේ තද හිරු රැස් නෑ .ඇවිදින්න ලේසියි.උදෙන්ම ඉර නගිද්දී ටාජ් මහල ගාවට යන්න පුලුවනි නම් ගොඩක් ලස්සනයි.



Sunday, January 22, 2012

චිතෝර් බලකොටුවේ සැඟව ගිය වීර මහරාණී -රාණි පද්මිණී

උදයපූර් වල මෝටි මගරි මහරාජා ආර්ට් ගැලරි එකේ තියෙන
රාණි පද්මිණිගේ ගින්නට බිලිවෙන  සිත්තමක්


විසිතුරු මාලිගා සංකීර්ණ වලින් හෙබි මර්වාර් වංශික රාජ්පුත් වරුන්ගේ අගනුවර වුන  උදයපූර් වලට නූතන   රාජ්පුත්ඉතිහාසයේ හිමිවන්නේ බොහොම වැදගත් තැනක්. උදයපූර් විදෙස් සංචාරකයන්ගේ ප්‍රධාන පෙලේ ආකර්ෂණයක් ඒ නිසාමදෝ රාජ්පුත් ඉතිහාසයේ බොහෝ නොමැකෙන වීර සටන් සිදුවුන චිත්තෝර් ( Chittor ) නුවර කාලයේ වැලිතලාවෙන් වැලලිලා ගිහින්.චිත්තෝර් එහෙමත් නැත්නම් චිත්තර් ගාර් (Chittorgarh) නුවර පිහිටල තියෙන්නෙ උදයපූර් වල ඉඳලා කිලෝමීටර දෙසීයක් විතර ඈතින් .උදයපූර් වල ඉඳන් චිත්තෝර් වලට යන්න පැය දෙකක විතර කාලයක් ගතවෙනවා . දිල්ලියේ ඉඳලත් කෝච්චියෙන් හරි හය් වේ එකෙන් හරියන්න පුලුවනි.ඒකට පැය දහයක් විතර යනවා .ආයෙත් දවසක රාජස්තාන් ගියොත් අනිවාර්යෙන්ම චිත්තෝර් යන්න  හිතාගත්තා .ඒකට හේතුව මහරාණි රාණි පද්මිණිගේ-Rani Padmini  කතාව . මේ මහරාණී ලංකාවෙන් රාජ්පුතානාවේ මහරාජා රතන් සිංට දීග කුමාරිකාවක් කියලයි ඉතිහාසයේ කියන්නේ .ඉතින් මේ ලංකාවෙන් දීගගිය කුමාරිකාව ගැන ඉතිහාස කතා දැනගන්නත් මට තිබුණේ ලොකු කුතුහලයක් .ඔන්න ඒ නිසාම මම 2011සැප්තැම්බර් වල චිත්තෝර් නුවරට ගියා ඒ උදයපූර් වල ඉඳලා.
කොටු තාප්පය 

චිත්තෝර් රාජ්පුත්වරුන්ගේ සියලු ඉතිහාසය සැඟවිලා තියෙන්නෙ චිත්තෝර් බලකොටුවේ .මේ බලකොටුව මුහුදුමට්ටමින් මීටර 200ක් තරම් උස කන්දක අක්කර හත්සීයක් තරම් දුරට විහිදිලා තියෙනවා .බලකොටුව වටේට තියෙන ප්‍රාකාරය කිලෝමීටර දෙකක් විතර දිගයි .අදවෙනකොට බලකොටුවේ සමහර පැති වල  මිනිස් ජනාවාස කඩ සාප්පු එහෙමත් තියෙනවා .නොකඩවා වහින මෝසම් වැහිත් ,වැහි අඳුරත් ,සීතලත් නොතකා තමයි මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ චිත්තෝර් බලකොටුව බලන්න මම ගියේ .

ප්‍රධාන ද්වාර එහෙම නැත්නම් Pol කියලා හඳුන්වන ගල් වලින් නිමවපු විසාල අර්ධකවාකාර උස් ප්‍රවේශ හයක් පහුකරලා තමයි බලකොටුවට ඇතුල්වෙන්න ඕනේ . මේ ද්වාර ඉතා උසින් හා පලලින් තියෙන්න ඇත්තේ යුද්ධයට යොදාගත් ඇත් ,අස් වගේ සේනාවන්ට ඇතුල්වෙන්න පහසුවට වෙන්න ඕනේ .බලකොටුව ඇතුලේ මාලිගා සංකීර්ණ (මේවා මහරාජා වරුන්ට , ඔවුන්ගේ කාර්ය මංඩල වලට , සොල්දාදුවන්ට , සේවකයන්ට වෙන වෙනම වෙන් වෙලා තියෙනවා ) , පැරණි හින්දු දේවාල , කැටයම් වලින් අලංකාරවුණ ස්ථම්භ , ජයින පංසල් , වගේම පොකුණු හා කුඩා ජලාශ දැකගන්න පුලුවන් . ඒ කියන්නේ පුංචි නගරයකට උවමනා ගොඩක් දේ මේ බලකොටුව ඇතුලේ තිබිල තියෙනවා . යුද්ධයකදී ජල හිඟයක් වුණොත් ඊට ඉතා හොඳ සූදානමකින් හිටි වග පේන්නෙ බලකොටුව ඇතුලෙ තියෙන ජල මූලාශ්‍ර දිහා බැලුවම.
රාණි පද්මිණී මාලිගා පරිශ්‍රයේ කොටසක් 

මේ බලකොටුවේ ඉතිහාසය ක්‍රි.ව .7 වන සියවස තරම් ඈතට දිවයනවා .බලකොටුව ගොඩනගන්නේ Bappa Rawal   කියන මහ රාජා විසින් .මේ බිම් කඩ ඔහුට කුමාරිකාවක් සරණපාවා ගනිද්දි ලැබුන විවාහ දායාදයක්.මේ බලකොටුව ඉතිහාසයේ නොමැකෙන ශෝඛාන්තය සනිටුහන්වෙන්නේ මහරාජා රතන් සිං ගේ කාලයේ . මහරාණි රාණි පද්මිණී විවාහවුනේ මහරාජා රතන්සිං එක්ක . මේ මහරාණි ලංකාවේ කුමාරිකාවක් කියලා තමයි ඉතිහාස කතාවල කියවෙනේ. ඇය රූපයෙන් අගතැන්පත්  කුමාරිකාවක් . මහරාජා රතන්සිං සාහිත්‍ය සංගීත කලාවට බොහෝ අනුග්‍රහ දැක්වූ හොඳ රසිකයෙක් .ඔහුට හිතවත් සංගීත ශිල්පියෙක් හිටියා චේතව රාඝන් කියලා .යම දවසක මේ මහරාජා දැනගන්නවා චේතව රාඝන් රාජ ද්‍රෝහී කුමන්ත්‍රණ වල නිරතවෙන්නෙක් කියලා . ඔන්න එතැන ඉඳන් තමයි සේරම ප්‍රශ්න පටන්ගන්නේ . රතන්සිං මහරාජා චේතව රාඝන් ගැන බොහොම කෝපයට පත්වෙලා ඔහුගේ ශරීරය පුරාම දැලි ගාලා බූරුවෙක්ගේ පිටේ නග්ගලා නුවරින් එලවලා දානවා . 

උපක්‍රමශීලී චේතව රාඝන් දිල්ලියේ සුල්තාන් අලවුදීන් කිල්ජි- Alauddhin Khilji වෙත ගිහින් ඔහු හා මිතුරුවෙනවා රතන්සිංගෙන් පලිගන්න . ඊට සුදුසුකාලය ආවම ඔහු අලවුදීන් ඛිල්ජිව මෙහෙයවනවා චිතෝර් නුවර වටලලා  රූමත් රාණි පද්මිණීව බලෙන් පැහැරගන්න . තමන්ගේ සේනාවත් එක්ක ඇවිත් චිතෝර් බලකොටුව සමීපයේ කඳවුරු බැඳලා මහරාජා රතන්සිංට පණිවුඩයක් යවනවා තමන් ඉතාම කැමැත්තෙන් ඉන්නවා රූමත් රාණි පද්මිණීව මුනගැහෙන්න ඒවගේම එයා කැමතියි රාණි පද්මිණී තමන්ගේ සහෝදරියකගේ තනතුරේ ලා සලකලා ගරු කරන්න කියලා .මේ රාජ්‍යතාන්ත්‍රික පණිවුඩයට මහරාජා රතන්සිං රැවටුණත් රානි පද්මිණීටනම් තිබුනේ සැකයක් .ඒ නිසා ඇය සැමියාට කියනවා තමන් අලවුදීන් ඛිල්ජී මූණට මුණගැහෙන්න කැමති නැති වගත් ,ඔයතරම් දැකගන්න උවමනානම් තමන් බලකොටුවේ නෙලුම් පොකුණක තියෙන ගිම්හාන මාලිගාවට ආවම එහි තියෙන දර්පණ වලින් පරාවර්තනය වෙලා ඊට නුදුරෙන් තියෙන අනික් ගිම්හාන මාලිගාවේ දර්පණ වලට ලැබෙන ප්‍රතිබිම්බය ඛිල්ජිට බලාගන්න පුලුවනි කියලා .මහරාණි කිසිසේත්ම කැමතිවෙන්නේ නෑ ඛිල්ජි පියවි ඇසින් ඇගේ රුව දකිනවට . අන්තිමට වෙන විකල්පයක් නැති තැන අලවුදීන් ඛිල්ජි දර්පණ වලින් මහරාණිගේ රුව රසවිඳලා ඒ රාගයෙන් උමතුවෙලා මහරාජා රතන්සිං ව හිරබාරයට ගන්නවා. රාජ්‍ය තාන්ත්‍රිකයෙක් තමන්ගේ නුවරින් පිටවෙලා යද්දී ඔහු සමග පසුගමන් යාම සිරිතක්නේ .එහෙම ඛිල්ජි නික්මයන වෙලාවේ ඔහුට පසුගමන් යන්න ආව රතන්සිං මහරාජාව හිරබාරයට ගන්න කියලා ඛිල්ජී තමන්ගේ හේවායන්ට අණ දෙනවා.
රාණි පද්මිණිගේ කතාව 




මහරාණී දකින්න ඛිල්ජි හිටියේ මෙතැන 


ඉන් පස්සේ රාණි පද්මිණීට පණිවිඩයක් එවනවා තමන්ගේ සැමියාට අභය දානය උවමනානම් වහාම ඛිල්ජිගේ ඇතොවුර කාන්තාවක් වෙන්න කියලා . පණිවුඩය ලද වහාම මේ මහරාණි බොහොම සැලසුම්සහගතව ලෑස්තිවෙනවා සැමියා බේරගන්න උපක්‍රමයකුත් එක්ක . ඇය තීරණය කරනවා ඇතොවුරට යන්න . ඒ වෙනුවෙන් බොහොම උත්සව ශ්‍රීයෙන් සැරසුව පල්ලැක්කි වල නැගිලා තමන්ගේ පරිවාර සේවිකාවො එක්ක පෙරහැරෙන් ඛිල්ජි මුණගැහෙන්න යන්න තමයි සූදානම. නමුත් මේ පල්ලැක්කි වල ආයුද සන්නද්ධ දක්ෂ සෙබල මුලුවක් සැඟවිලා ඉන්නේ . ඛිල්ජි කඳවුරු බැඳන් ඉන්න තැනට මේ පල්ලැක්කි පෙරහැර සේන්දුවුනහම සතුටින් පිනාගිය ඛිල්ජි මහරාණි පිල්ගන්න එනවාත් එක්කම පල්ලැක්කි වලින් එලියට පනින සෙබල මුළුව ඔහුගේ කඳවුර ඇතුලට පැනලා මුරභටයො එක්ක සටන් කරලා මහරාජා රතන්සිං බේරගෙන මහරාණිත් එක්ක චිත්තෝර් නුවරට පලා එනවා .


නමුත් ඛිල්ජිගෙන් බේරීමේ සතුට තියෙන්නෙ සුලු මොහොතයි . ඛිල්ජිගේ මහා සේනාව මුලු චිත්තෝර් බලකොටුවම වටලනවා .නගරය එක්ක තියෙන සියලු සම්බන්ධතා , සැපයුම් මාර්ග අවහිර කරනවා . රතන්සිංගේ සීමිත යුධ ශක්තියෙන්මේ සටන  දිනන්න බැරි වග පෙනි පෙනීත් ආත්මාභිමානය රැකගන්න බලකොටුවේ සිටි සියලුම හේවායන් සේවකයන් තමුන්ගේ අඹුදරුවන්ගෙන් සමු අරන් යුධ පෙරමුණට යනවා .ඉතිරිවෙන්නේ ගැහැණු හා ලමයි. මහරාණි ප්‍රමුඛ සියලු කාන්තාවො තීරණය කරනවා දරුවන් ආරක්ෂිත තැන් වලට යවලා ලොකු දරසෑයක් හදලා සුදු වතින් සැරසිලා එයට පැනලා ගිනි තබාගෙන මැරෙන්න . රතන්සිං පරදවලා ඔහුව මරලා බලකොටුව ජයගෙන එන ඛිල්ජි දකින්නේ දර සෑයක දැවෙන මහරාණී රාණි පද්මිණී හා සෙසු ස්ත්‍රීන් . මේ බලකොටුව තුන් පාරක්ම මේවගේ අක්බාර් වරුන්ගේ ඛේදනීය ප්‍රහාර වලට ලක්වෙලා පිරිමි යුද්ධයේ තමන්ගේ ආත්මාභිමානය රැක ගන්නත් , ගැහැණු තමන්ගේ ආත්මගරුත්වය රැකගන්නත් ජීවිත පූජාකරන තැනක් වෙනවා .
මහරාණී ආවේ මේ ජල් මහල් මන්දිරයට 

මහරාණී රාණි පද්මිනිත් ඒ සියලුම කාන්තාවොත් වීරවරියන් හැටියට සලකන චිත්තෝර් වැසියො හැම අවුරුද්දේම ජොහාර් මේලා Jauhar Mela කියලා මහා සැණකෙලි උත්සවයක් පවත්වලා ඔවුන් සමරනවා .මහරාණි රාණි පද්මිණී ශෝඛාන්තය  වීර කාව්‍යන් ,නාට්‍ය නිර්මාණ වලටත් පාදක වෙනවා . ජායිසී මල්ලික් මොහොමඩ් කියන කවියා පහලොස්වෙනි සියවසේ දී ලියන "පද්මාවත්" කියන කාව්‍යයේ මෙන්න මෙහෙම ඇය ගැන කියනවා .

"According to Jayasi, Chitor stood for body, Raja for mind, 
Ceylon for heart, Padmini for wisdom and Alauddin for lust" 
ඒවගෙම පස්සේ කාලෙක ඇල්බර්ට් රසල් කියන ප්‍රංශ ඔපෙරා කරුවා මේ කතාව ඔපෙරාවකටත් නගනවා.ලංකාවේ නිපදවුන" පද්මාවතී " නාඩගමත් මේ කතාව ඇසුරින් ලියලා තියෙන්නේ . 


මේ විසාල බලකොටුව බලන්න ගියවෙලාවේ ඉඳන් මම ලොකු ආසාවකින් හිටියේ රාණි පද්මිණීගේ මාලිගාව දැකගන්න . ගරාවැටුණ මාලිගා සංකීර්නයක් වුණ එය පිහිටියේ බලකොටුව කෙලවරේ පොකුණකට යාබදව . මම ලංකාවෙන් කිව්වම එහි සිටි මුරභටයො මට ප්‍රවේශපත්‍ර නොමැතිවම ඇතුලට යන්න ඉඩදුනේ මහරාණිගේ රටෙන් ආව කෙනෙක් නිසා . ගරාවැටුණ මාලිගා සංකීර්ණයේ විසාල ඉඩක් වෙන්වෙලා තිබුණා සේවක නිවාස වලට . මම කල්පනාකලේ මේ මහරාණී තමුන්ගේ සේවකයන්ට බොහොම හොඳින් සලකන්න ඇති කියලා . ස්වාමි පුත්‍රයා වෙනුවෙන් සටන් කරලා මැරෙන්න ඔය තරම් පිරිසක් එක්වෙන්න විදියක් නෑ ඇය සේවකයන් අතර ප්‍රසාදය දිනා නොහිටියනම් .මට හිතුනේ එහෙම .බලකොටුවේ එක්පැත්තක තියෙනවා කුඩා ගිම්හාන ගෘහයක් පොකුණට මූණදාලා .එහි තමයි අලවුදින් ඛිල්ජි මහරාණිගේ රුව බලන්න මග රැකලා ඉඳලා තියෙන්නේ .මේ ගෘහය ඇතුලේ බිත්තිවල දර්පණතල එල්ලලා තියෙනවා . මෙතැන ඉඳන් බැලුවම පොකුණේ තියෙන කුඩා ගිම්හාන ගෘහයක් දැකගන්න පුලුවනි.මහරාණි තමන්ගේ රුව ඛිල්ජිට දර්ශනය වෙන්න ඇවිල්ලා තියෙන්නේ මෙතැනට. මේ ගිම්හාන ගෘහයටනම් යන්න දෙන්නේ නෑ . 
Rana Kumbha Palace 




මීරා දෙවොල 

චිත්තෝර් බලකොටුව ඇතුලේ මාලිගා සංකීර්ණ ගොඩක් තියෙනවා .ඒ අතරින් රනා කුම්භ මාලිගාවත්- Rana Kumbha Palace  වැදගත්.කොටුවට ඇතුල්වෙන සීමාවේමයි මේක තියෙන්නේ . මෙයත් චිත්තෝර් තමන්ගේ බලකොටුව කරගත්තු මහරාජා රනා කුම්භගේ   වාසභවන . මෙතැන ඉඳන් බැලුවම හින්දු කතාවල මිතිකල් කිවිඳියක් හැටියට සැලකුව මීරා බායි සහ බලවත් දේවතාවියක් වූ කාලි මාතාව  වෙනුවෙන් ඉදිවුන පැරණි දෙවොල් දෙකක් මෙතැනට පේනවා  . මීරා කිවිඳිය  ක්‍රිෂ්ණ දෙවිඳුන්කෙරෙහි බොහෝ බැති සිතින් ඔහු වෙනුවෙන් භජන් ගායනා කල තැනැත්තියක්.ඇය ගැන හොහෝ ජන කතා චිත්තෝර් වැසියන් අතරේ මුඛ පරම්පරාගතව එනවා . මීරා වෙනුවෙන් කැපවුන මේ සියවස් ගනනක් පැරණි දෙවොලේ අදත් භජන් ගී ගැයෙනවා , ක්‍රිෂ්ණ පූජා පැවැත්වෙනවා. මීරා දෙවොලත් කාලි මාතා දෙවොලත් ඓතිහාසික අතින් ඉතාම වැදගත් තැන් කියලා හිතුනේ එහි ඇති සියුම් ගල් කැටයම් නිර්මාන දිහා දැක්කම . බලකොටුව පුරාම මේ ගල් කැටයම් වල ලාලිත්‍ය දකින්න පුලුවනි. දේවාල වල අන්තරාලය , ගර්භගෘහය , හා පිටත ආලින්දය කියන කොටස් තුනක් තියෙනවා .උදයපූර් වල තියෙන මාලිගා සංකීර්ණවල අලංකරණයන්ට වඩා චිතෝර් වල කැටයම් , ලියවැල් වල වෙනසක් තියෙනවා චිත්තෝර් ගල් කැටයම් හා ගෘහ නිර්මාණ සම්ප්‍රදාය ගැන මොනවහරි කලින් කියවලා මෙතැන නරඹන්න ආවනම් ගොඩක් හොඳයි කියලා මට හිතුනා . 
Vijay Stamba -Victory Tower 
Stone Carving 

බලකොටුව ඇතුලේ තියෙන ගල් කැටයම් වලින් අලංකාර වුනු මතු මහල් බොහෝ ගණනක් ඇති උශ් කුලුණුත් අමතක කරන්න බෑ . එයින් ප්‍රධාන වෙන්නේ කීර්ති ස්ථම්භය හා  ජය ස්ථම්භය .නම් වලින්ම කියවෙන විදියට චිතෝර් මහරාජා වරුන්ගේ ජුධ ජයග්‍රහණ , හා ඔවුන්ගේ ප්‍රෞඩ බව ලෝකෙට කියාපාන්න මේ කුලුණු ඉදිවෙන්න ඇති . මෙවයේ මතු මහල් වලට නගින්න පටු පියගැට පේලි තුබුණත් පුරාවිද්‍යා වටිනාකම නිසා නරඹන්නන්ට ඒවා උඩට නැගීම සීමා කරල තියෙනවා .මට හිතුනේ මේ කුලුණු චිතෝර් වැසියන්ගේ කීර්තිය ලෝකෙට කියාපාන්න වගේම බලකොටුවට එන පර සතුරු විපත් ගැන  ඔත්තු බලන්නත් පාවිච්චි කරන්න ඇති කියලා.
Go Mukh Fountain 



Go Mukh Reservoir 


View of City from Fort 

ඔය කුලුණු ආසන්නයේම චිත්තෝර් වල ප්‍රධාන ජල මුලාශ්‍රයක්වුන ගෝ මුඛ- Go Mukh Reservior  කියන චිතෝර් වැසියන්ට අනුව කිසිම නියඟයකට නොහිඳෙන ජලාශයක් තියෙනවා. නමේ අරුතින් කියවෙන විදියටම මේ ජලාශයට ජලය එන්නේ ගව මුඛයක හැඩේට ඉදිවුන උල්පත් කටකින්. මේ ජල උල්පත බොහොම බලගතු තැනක් කියලා මෙහි යන එන අයගේ විස්වාසයක් තියෙනවා.කවුරුත් එයින් එන වතුර ටිකක් බීලා මූණ අතපය හෝදගන්නවා . මාත් එහෙම කරලා එතැන තියෙන පුංචි දේවාලෙට පඬුරකුත් දැම්ම.මේ ජලාසේ ඉන්න මාලුන්ට කෑම දීමත් යන එන අයගේ චාරිත්‍රයක්. ඒ වගේම ඒ අවට ඉඳන් පහල චිත්තෝර් නගරය හොඳින් නරඹන්න පුලුවනි . බලකොටුවේ උස් ප්‍රකාර හා   ඈත නගරයේත් මනරම් දසුන් මෙතැනට පේනවා.
Fate Prakash Palace 

මම අන්තිමටම ගියේ පටේ ප්‍රකාශ් ( Fate Prakash Palace )මාලිගාවට .මේ තමයි බලකොටුවේ තියෙන කෞතුකාගාරය .මහා විසාල පැරණි මහරාජා මාලිගයක එක් කොටසක් කෞතුකාගාරයක් හැටියටත් අනික් කොටස ප්‍රාථමික පාසලක් හැටියටත් පැවැත්වෙනවා. එදා නිවාඩු දිනයක් නිසා මට කෞතුකාගාරන නඹන්න තිබුණ අවස්ථාව මග හැරුණා .
Last Click of the Fort 

දවල් දහයට විතර් බලකොටුව බලන්න ගිය ඌෂත් මමත් එතැනින් එන්න පිටත්වුනේ හවස පහට විතර . ඒත් මටනම් බලකොටුවෙන් එන්න බැරි ගතියක් දැනුනා . අර ගරා වැටුණ මාලිගා සංකීර්ණ , පරන ගඩොල් අතර මහරාජා වරුන්ගෙත් මහරාණි වරුන්ගෙත් මොනතරම් සැඟවුණ කතාන්දර ,රහස් කාලයේ වැලිතලාවෙන්  වැලලිලා යන්න ඇතිද කියලා  බලකොටුවේන් පිටවෙන ලඳු කැලෑවකින් වටවුන අභය භූමියක් හැටියට වෙන්කෙරුණ මාර්ගයේ එද්දී මම කල්පනා කරමින් හිටියේ .ඒ වෙනකොටත් හිරි පොද වැස්ස වැටෙනවා අපිවත් තෙමාගෙන . වැහි අඳුරත් මීදුමත් නිසා බලකොටුව කෙමෙන් නොපෙනී යමින් තිබුණා . 


ප/ලි

හොඳින්ම චිත්තෝර් බලන්න නම්  මුලු දවසක්ම යනවා .එදා රෑ දහයට තියෙන  කෝච්චියෙන් චිත්තෝර් ඉඳලා අග්‍රා බලා යන්න මගේ සැලසුම වුන නිසා වැඩිය හවස් වෙනකන් සිත්සේ මට බලකොටුව නරඹන්න බැරිවුනා .  මගේ චිත්තෝර්  මිතුරිය ඌෂා නිසා රාජ්පුත් ශිෂ්ටාචාරයේ සැඟවුණ අභිමානය වූ චිත්තෝර් නුවර නරඹන්න මට හැකිවුනා .රාණි පද්මිණී ගැන වැඩි විස්තර කියවන්න ඕනෙ නම් මෙන්න මේ ලින්ක් එකට යන්න .








    

Thursday, January 19, 2012

ලොස්ට් ඔපචුනිටීස් -Lost Opportunities




හවස් යාමයේ නගරයේ තිබූ කලබලය දැන් නැත .ඉඳහිට ඇහෙන්නේ හයිලෙවල් පාරේ යන වාහන වල සද්දයක් පමණි . දවාලේ ඇති වාහන තදබදය දැන් නැත .එලවලු , පොල් ලොරි , මස්කඩ කාරයන් , මාලු වෙලෙන්දන් නිසා දවල්ට මහා කාලගෝට්ටියක සිරි ගන්නා කිරුලපන පොදු වෙලඳපොල අඳුරේ ගිලී නිසලය. හවසට තොරතෝංචියක් නැතුව බීගෙන කෑගහන ,රණ්ඩු වෙන පහල  කූඹි කැලේ වත්තේ ගෑණු මිනිස්සුන්ගේ සද්ද බද්ද දැන් නැත . බාධාවකට ඇත්තේ මාර්කට් එකේ  සුන් බුන් කුණු ගොඩ පිසගෙන ජනේලයෙන් කාමරයට පනින දුගඳ හුලඟ පමණි .කවදාත් මට පුරුදු අන්තිම මොහොතේ ,අවේලාවේ අවදිව නිදි වරන් වැඩ කිරීමයි .ඇඳකුත් කුඩා පොත් මේසයකුත් තැබියහැකි බැල්කණියකට විවර වෙන කාලයක් නිවැසියන් අබලි බඩු මුට්ටු දමන්න පාවිච්චිකල මේ කුඩා කාමර පොඩ්ඩ මගේ නවාතැනයි .ඇඳ පුරා විසිරුන පොත් ගොඩ මතින් වැතිරී කේ .ලෝගනාදන්ගේ ලොස්ට් ඔපචුනිටීස් ( K.Loganathan - Lost Opportunities ) හි වඩුක්කොඩෙයි ගිවිසුම ගැන කියවමින් සිටියෙමි . මේ කොටස නොකියවා සිටියොත් මගේ හෙට දේශනය වටහාගැනීම අසාර්ථක වනු ඇත .

පොතෙහි නිමග්න වී සිටින මට පහල ගේට්ටුවට මහ හඬින් තඩි බාන සද්දයක් ඇසේ . මාර්කට් එකේ පදිංචි වී සිටින අයාලේ යන බලු රැලත් කලබල වී බුරා වැටෙති . පහල ගෙදර කුලියට ගෙන සිටින බර්ගර් පවුල හෝ දෙවැනි තට්ටුවේ සිටින නිවැසියන් ඇහැරෙන පාටක් නැත . දැන් දැන් ගේට්ටුවට පා පහරවලුත් වැදෙන හඬ ඇසේ . වෙලාව රාත්‍රී එකට පමණ ඇත . 

මම නිදන ඇඳුම පිටින්ම දොර හැරගෙන පඩිපෙල දිගේ පහලට බැස්සෙමි . පහල බැල්කණියෙන් බැලූ විට දැක්කේ කාකි නිල අඳුම් ඇඟලා ගත් හමුදා භටයන් පිරිසක් ගේට්ටුවට තඩිබාන බවකි .ඔවුන් මා දැක ඇත 

"කෝ මේ ගෙවල් වල මිනිස්සු . නැගිටින්නේ නැද්ද ? අපි ගෙවල් චෙක් කරනවා . හදිසි වැටලීමක් .බෝම්බ පුපුරන්නේ කියලා නෙවේ ".

රළු හඬින් එක් හමුදාභටයෙක් කෑ ගසයි 

"ඉන්න මම ගෙදර අය නැගිට්ටවන්නම් " 

තද නින්දෙන් පිබිදුන ගෙහිමියන් පහල අගුලු ලා ඇති යකඩ ගේට්ටුව හැරියේය  . ටොක් ටොක් ලෙස තාලයට බූට් සද්දයක් එයි . පහල සිටි හමුදා පිරිසෙන් හත් අට දෙනෙක්ම ඉහල මාලයට එයි . 

කවුද ගෙදර ඉන්නේ ආයෙත් අර රළු හඬ ප්‍රශ්නකරයි 

"අපි දෙන්නයි ළමයි තුන්දෙනයි මේ තට්ටුවෙ ඉන්නේ .පහල බදු දීල තියෙන්නේ පවුලකට .ඉහල කාමර කෑල්ලේ මේ දරුවා ඉන්නවා " 

ගෙහිමියා යටහත්ව කියයි .

සෙබලුන්ගෙන් කොටසක් තුවක්කු මානාගෙන පහල පාරේ බර අඩි තබමින් යති .අර රළු හඬ මොවුන්ගේ ඉහල නිලධාරියා විය යුතුය . කීපදෙනෙක්ට පහල කුලී ගෙදරට යන්න සන් කරන ඔහු අලුත් යමක් සොයාගත්තා සේ මා දෙසට හැරෙයි .

"තමුන් කවුද , මේ ගෙදර උදවිය තමාගේ කවුද ?" මට පැනයකි 

"මම කැම්පස් යනවා .මෙහේ නැවතිලා ඉන්නේ "

"මේ දරුවා ගාල්ලේ අපේ හිතවත් පවුලක .දැන් අවුරුද්දක් තිස්සේ අපේ ගෙදර ඉඳන් කැම්පස් යන්නේ "

 ගෙහිමියා මා මතය තහවුරු කරයි .

"කොහේ කැම්පස්ද ?"

ආයෙත් පැනයකි 

"කොලඹ "

"දෙන්නෙක් යන්න උඩට  ."

 නැවත ඔහුගෙන් අණකි 

සෙබලු දෙන්නෙක් වහ වහා පඩි නැග මගේ අට්ටාල කාමරයට යති .එහි දොර විවර වී ලයිට් එලි දැල්වේ . කුඩා මේසය උඩත් ඇඳ මතත් පොත් විසිරිලාය .

බරාස් ගා මගේ කබල් පුටුව ඇදි එක් අයෙක් ඇඳුම් බෑගය ගෙන පිරික්සයි . එහි ඇත්තේ මගේ ඇඳුම් කෑලි ටිකය .අනිකා පොත්මේසයට නැඹුරුවී ගොඩගසා ඇති පොත් පිරික්සයි .

ඔහු එකදහස් නවසිය හැත්තෑ අටේ  ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් , දණ්ඩ නීති සංග්‍රහයත් , අපරාධ නඩු විධාන සංග්‍රහයත් අවුස්සා එලියට ගෙන ඇත . 

"මේවා මොකටද?"

 ආයෙත් පැනයකි

"ඕවා මම ඉගෙනගන්නවා " තව ප්‍රශ්න යොමුවන්නට පෙර මම වහ වහා මම මගේ ශීෂ්‍ය හැඳුනුම්පත ඉදිරිපත් කරමි .

"හරි මිස් බොහොම ඉස්තුතියි "

 එවර හමුදා භටයා බොහෝ සංවරය . 

"මේ බලන්න"

 මගේ පොත් බෑගය අදින අනිකාගෙන් හඬක් මතුවෙයි 

මම වහා එබී බැලුවෙමි . තම අතේ ඇති දෙමළ බසින් ලියැවුණ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් , දණ්ඩ නීති සංග්‍රහයත් , තව දෙමල බසින් ලියවුන පනත් කීපයක් එකට  කර හම් බැම්මෙන් බැඳි පබ්ලිකේශන් බියුරෝ එකෙන් මුද්‍රිත ලොකු පොතකුත් අතට ගත් ඔහු මහා අනර්ඝ දෙයක් සොයාගත්තෙකු සේ කෑ ගසයි .

මට වුන හදිය මතක්වෙන්නේ දැන්ය . එදා දවල් දේශන ඉවර වී එලියට එන විට මා වෙත ආ ටෙරා හා චිත්ති මගෙන් ඉල්ලිමක් කලෝය . 

"අදට මේ පොත් ටික ඔය බේග් එකේ දාගෙන ගෙනියනව ප්ලිස්?
.හෙට ගේනවද ?.අපි දෙන්නටම පොත් වැඩි තමා අද .ලයිබ්‍රරි බූක්ස් ගොඩකුත් තියෙනවා තමා . ලොකු උදවු හෙට ගෙනාවොත් " 

කැඩුන සිංහලෙන් කියන චිත්තිගේ ඉල්ලිම ඉවතලිය නොහැක .මට ඉඳහිට හෝ දේශන මග ඇරුනොත් සටහන්පොත ණයට දෙන්නේත් ඈය. .

මේ දෙන්නම මගේ යාලුවෝය. අඳුනාගත්තේ කැම්පස් එකේදීය .ටෙරා දෙමළ මාධ්‍ය පන්තියේය . චිත්ති හා මම අනික් පන්තියේය .කවුරුත් ඉන්ග්‍රිසි අණ පණත් සමග මවු බසින් ලියැවුණ අණ පණත් ද පාවිච්චි කරමු . එතකොට සමහර දේ තේරුම් ගන්න ලේසිය . පොත් වල ටෙරාගේ හා චිත්තිගේ නම් දෙමල අකුරින් කාබන් පෑනෙන් ලියා ඇත .

"මේව මොකටද මිස් , මිස් දෙමළ කතා කරනවද, කියවනවද ?"

අනික් හමුදා භටයා පසෙක දිගහැර දමා ඇති චානක අමරතුංගගේ අයිඩියාස් ෆෝ කොන්ස්ටිටියුශනල් රිෆෝම්ස් පොත අතට ගෙන එහි බර මනින ලෙස එහා මෙහා හරවයි.

දැන් නම් මට ටිකක් බය හිතේ .

"නෑ මම දෙමළ කතා කරන්නේ නෑ , දෙමල කියවන්න , ලියන්න මම දන්නේ නෑ "

"එහෙනම් මේවා ?" ඔහු නැවත මෙසය මත ඇති දෙමල බසින් ලියවුන අණ පණත් පෙන්වයි 

"මේවා මා එක්ක එකට ඉගෙනගන්න යාලුවො දෙන්නෙක්ගේ , එයාලගේ බෑග් වල දාගෙන යන්න ඉඩ මදි නිසා මට දුන්න අද ගෙනිහින් හෙට ගේන්න .මේවා අපි ඉගෙන ගන්නවා . අන්න අර පොත් වල දෙමළ පරිවර්තන " 

මම නැවතත්  එක්දහස් නවසිය හැත්තෑ අට ආණ්ඩු ක්‍රම් ව්‍යවස්ථාවත් , දණ්ඩ නීති සංග්‍රහයත් පෙන්නුවෙමි . 

"මේව ඔක්කොම රජයෙන් ප්‍රකාශයට පත්කරන්නේ .අර රාජ්ජ ලාංචනේ තියෙන්නේ " 

ඔවු රාජ්‍ය ලාංචනේ තියෙනවනම් බයවෙන්නෙ මොකටද .මොකෝ මේව මම අච්චුගහපුවද ? යටිහිතින් මට හිතේ 

"මොකද තමුසෙලා පරක්කු ?"

ආයෙත් අර රළු හඬය 

"නෑ සර් මේ ? "

හමුදා භටයා ඔහු සොයාගත් අනර්ඝ වස්තූන් ඉහල නිලධාරියාට පෙන්වයි . 

"තමුන්ගේ ශිෂ්‍ය හඳුනුම්පත තියෙනවද?"

ඔහු ඒදෙස බැලුම් හෙලන අතර මගෙන් අසයි .මම රෝස පැහැ ශිෂ්‍ය හඳුනුම්පත හා කහ පැහැ ජාතික හැඳුනුම්පත පෙන්වමි . 

"එතකොට මොකටද මේ පොත්" 

මම මුල සිට අගට  ආයේ කතාව කියමි 

ඔහු කාමරය සිසාරා බැලුම් හෙලයි .ඒ අතර අනිකා ඇඳේ මෙට්ටයත් ඉවත් කර මගේ ඇඳයටට එබී බලයි 

කේ.  ලෝගනාදන්ගේ ලොස්ට් ඔපචුනිටීස් පොත ඇඳෙන් බිමට වැටී අර රළු හඬ ඇත්තාගේ දෙපාමුලට විසිවෙයි . 

"ඔය ඇති , අපි යමු , දොර වහගන්න "

අර රළු හඬ කියයි . චෙක් කිරිලි එතැනින් ඉවරය 

මම නැවත පොත් මේසයේ පොත් අඩුක්කු කර , එකදහස් නවසීය හැත්තෑ අටේ අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් , දණ්ඩ නීති සංග්‍රහයත් අනික් පොත් අතර උඩින්ම තියමි . මේවා නිතර ඕනෙ වෙනවාය . 

තාමත් බිම පෙරැලී ඇති කේ  .ලෝගනාදන්ගේ ලොස්ට් ඔපචුනිටීස් පොත අවුල් වූ පොත් මේසය සකසන මගේ පයට පෑගෙයි . ඒ නොදැනුවත්වය .මගේ නොසැලකිල්ලය.  එය බිම වැටුනේ අපි හැමෝගේම නොසැලකිල්ල  නිසාය  .

පැහැදිලි කිරීම 


චානක අමරතුංග ලිබරල් පක්ෂයට සම්බන්ධවූ ලංකාවේ ආණ්ඩුක්‍රම වෙනස්කම් සිදුවියයුතු අයුරු හා සුලු ජන අයිතීන් එයට ඇතුලත් විය යුතු අයුරු ගැන මත පලකල සිංහල විද්වතෙකි . කේ. ලෝගනාදන් සන්නද්ධ අරගලයේ  එක් පාර්ශවයක් නියෝජනයකොට කලකදී ඉන් මිදී එලියට අවුත් අරගලය හා එහි ඉතිහාසය දෙස වෙනස් ඇහැකින් බැලූ දෙමළ විද්වතෙකි .චානක රිය අනතුරකින් අකාලේ මියගිය අතර ලෝගනාදන් සන්න්නද්ධ කල්ලිය අතින් මිය ගිය අවසන් දෙමළ විද්වතුන් ගොන්නට එක්වේ .
වඩුක්කොඩෙයි ගිවිසුම -1971 දෙමල ඊලාම නිජබිම් සංකල්පය එවක ඊලාම් සටන්කාමීන්  නිල වශයෙන් ඉදිරිපත් කලේ මේ හරහාය 

මගේ මිතුරු ටෙරා  මෙයින් හත් වසරකට පෙර විනෝද චාරිකාවක් ගොස් දියේ ගිලී අකල්හි අපෙන් වියෝවුවේය .චිත්ති ඉන් වසරකට පසු සදහටම  ලංකාව හැරදා ගියාය .


තාමත් තිස් තුන් වසක් ගෙවීත් අපි හැත්තෑ අටේ පුස්තකය අපේ මුඛ්‍ය නීතිය කරගෙන (grund norm ) පාලනය වේමින් සිටිමු . 

Saturday, January 14, 2012

මතක වස්ත්‍ර


"මම හිතුවෙ නෑ ලොකු මේතරම් දවස් අවුරුදු නිවාඩුවට ගෙදර ඉඳීවි කියලා. නිතරම ගමන් යන්න තියාගත්තුගමන්නේ "


නිල්මිණි හෙමින් තේ කෝප්පය තොලගාමින් කියයි .


අපි දෙන්නා පොඩි කාලේ සිටම කවදාවත් උනුන්ට නම් කියා අමතා නැත .දෙන්නාම ඉපදුනේ එකම අවුරුද්දේ එකම මාසයකය . වෙනස මම නිල්මිණිට වඩා එක සතියක් බාල වීමයි . මට ලොක්කා කියා අපේ ගෙදර කියන පුරුද්දට ඈ එය කෙටි කර "ලොකු" කියයි . සහෝදර සහෝදරියන් පස් දෙනෙක්ගේ පවුලක ඇය තෙවැන්නා වී 'සුදු" යන ආමන්ත්‍රණය ලැබී ඇති නිසා මාත් ඈට "සුදු" කියමි.


"කෝසලත් එන්න හිටියේ . ඒත් එයා සෑහෙන්න කාලයක් වැඩට නොගිහින් ඉඳලා අද තමයි වැඩට ගියේ "
"ඒ මොකෝ වැඩ නැතුව හිටියද "
"නෑ ලී මෝලෙන් පර්මිට්  නැති ගස් වගයක් කපන්න කියලා මේගොල්ලන්ට කියලා අන්තිමට නඩුවකත් පැටලිලා කරදර ගොඩක් වෙලා තමයි බේරුමක් වුනේ . මෝලෙන් ආයෙ අද වැඩට එන්න කියලා තිබ්බේ "


ඈ නොනැවතිල්ලේ කියවයි .මම මේසේ පසෙක වාඩි වී සිටිනා වයස දොලහක තරම් පිරිමි දරුවා දෙස බැලීමි . ඔහු උනන්දුවෙන් මේසය මත ඇති ඉන්ග්‍රිසි පත්තර කෑල්ලක අකුරු එකතුකරයි .


"පුතා මේ වචනේ කියවන්න දන්නවද ?"
පොඩි එකා මා දිහා බලා නැවත පත්තරයට එබී අකුරින් අකුර වචනය ගැටගසයි .


"වී , අයි , එස් , අයි , ඕ , එන් ......ආයෙත් කල්පනා කරයි ....විශන් ...ඔහු ජයග්‍රාහීව මා දිහා බලයි .
"හරියට හරි" , මම දරුවාගේ පිටට තට්ටුවක් දැම්මෙමි


නිල්මිණිගේ මූණ ආලෝකමත්වෙලාය.


"අයියා හරි පිලිවෙලයි , උනන්දුයි පාඩම් වැඩට , ශිෂ්‍යත්වේත් පාස්වුනා ,ඉස්කෝලෙනුත් හොඳ කියනවා. ඒකට නංගි .මෙයා හරි  කම්මැලියි , සෙල්ලමටමයි හිත" .


ඈ වයස හතක් පමණ වන දැරිය දෙස බලා කියයි.පොඩි එකී ලජ්ජාවෙන් ඇඹරෙයි
"නෑ එයත් අය්යවගේ වේවි"   මම කියමි


"ශිෂ්‍යත්ව ලකුණු වලින් පුතා සෙන්ට්‍රල් එකට දැම්මා. ස්කූල් බස් එකේ යවන්න වියදම් වැඩියි .පාරෙ බස් එකේ යන්න පුරුදුකලා . දැන් තනියෙන්  බස් එකේ පන්ති එහෙම යනවා. ළමයින්ට උගන්නන එකත් ලේසි නෑ ලොකු. ඒත් අපිට බැරිවුන එකේ මෙයාලවත් ගොඩ දෑන්න එපැයි" . ඈ ආයෙත් කියන්නීය .


"හ්ම්"  මම කිසිත් නොකියා සිටිමි


"පුතාලගේ ඉස්කෝලේ දෙමවුපිය රැස්වීම් නිතරම . කෝසලට වෙලා නෑ ඕවට යන්න  වැඩට ගියහම . මම තමයි යන්නේ . අම්මලට ඉස්කෝලේට එන්න කියන්නේ සාරි ඇඳලා .වැඩි දාට මට යන්න වෙන්නේ සාය හැට්ට ඇඳන් . පුතාගේ පන්තිබාර මිස් මාව දන්න නිසා මොනවත් කියන්නේ නෑ. ඒත් පුතා ආස නෑ හැමදාම මම එහෙම එනවට .අනික් ලමයින්ගේ අම්මලා  ලස්සනට සාරි ඇඳලා එනවා කියලා ගෙදර ආවම නහයෙන් අඬනවා නිතරම . බැරිද ලොකුගේ පරණ සාරියක් දෙකක් ....."


ඈ කියවිල්ල නවතා මා දෙස ඕනෑකමින් බලයි


"එන්න කාමරේට ඔයා කැමති එකක් ගන්න ". මම ඇයට හිසෙන් සන් කරමි


"නෑ ලොකු කැමති එකක් දෙන්න ".ඇය කියයි


"නෑ එහෙම හරියන්නේ නෑ ඔයා තෝරගන්න .ඔයානේ අඳින්නේ "


"ඉස්සර ලොකුගේ කාමරේ හරි පිලිවෙලයි, මෙහෙම නෑ ."


  ඇය ඇඳ මත රැඳි පොත් , අඳුම් ඈත් මෑත් කර වාඩිවී පිලිවෙල නැති පොත් මේසය දෙස බලමින් කියන්නිය  .


"හ්ම් , මට දැන්  වෙලාවක් නෑ සුදු "


අල්මාරිය ඇර දෙමින් " ඔන්න ඔයා තෝරගන්න අර උඩම තට්ටුවෙ තියෙන්නේ " මම ඇයට ඉඩ දෙමි


"මේව පරණ වෙලා නෑ  මට හොඳ වැඩියි . මේව ඔයාට තව අඳින්න පුලුවන් ". ඈ මාදෙස බලයි .


"නෑ මට දැන් ඕව අඳින්න වෙලා නෑ" මම උදාසීනව කියමින් අල්මාරියේ අනික් දොර පලුවට පිට දෙමි .


"ලොකූ කාලෙකින් ඒ පැත්තේ ආවෙ නෑ .ලොකු  මාමා ඊයේ හම්බවෙලා කිව්ව ගිය  අවුරුද්දටවත් බුලත් දීල කතාකරන්නවත් ආවෙ නෑ කියලා ". ඈ සාරි තෝරමින් මගෙන් අසයි .


"මට නිවාඩුත් නෑ වැඩිය .ආවත් වෙලාවක් නෑ මහගෙදර පැත්තේ යන්න "


ගමේ යන්න ඇති අකමැත්ත සඟවාගෙන මම අල්මැරුන පිලිතුරක් දෙමි




"හ්ම් ඒකට කමක් නෑ . නිවාඩු තිවුනොත් දවසක  එන්න අපේ දිහා . ඉද්දගලෙන් නාලා .... අපේ දිහායින් බත් ටිකක් කාලා .... ඇඹිලකන්දේ පන්සල් ගිහින් එතෑකි ".


"ඉද්දගල තාම තියෙනවද ?ඉද්ද පඳුරුත් තියෙනවද ? "මම නවපණක් ලද්දෙකු සේ අසමි


"ඔවු තාම තියේ .දැන් පන්සල් කන්දේ ඉඩම් වෙන්දේසි කරලා .අපි ඉන්නෙත් ඒ හරියේ .ඉද්දගල ලිඳ ගම් සබාවෙන් හොඳට හදලා. ඒ හරියේ කැලෑගතිය දැන් නෑ.ඒ නිසා ඉද්ද පඳුරු නම් නෑ ඒත් පාර හොඳට හදලා. "


නිල් කැටේට වතුර පිරුණ ඉද්ද පඳුරු ගොන්නකින් වටවුණ , පන්සල් කන්ද පාමුල වූ ඉද්දගල මගේ පොඩි  කාලේ මතක ගොන්නක එකතුවයි .


"ලොකුට මතකද ඒ දවස්වල? ඉස්කෝලෙ නිවාඩුවට ඔයා ගමේ ආවම  මම , අපේ අයියා , පොඩී  එක්ක නාන්න ඉද්දගලේ යනවා."


මම අල්මාරියට පිටදී දෙනෙත් පියාගෙන අතීතයට යමි ...පන්සල් කන්ද පාමුල අඩි පාරෙන් ඉද්දගලට යායුතුය .යන මග දිගට දං , හිඹුටු ,බෝවිටියා  පඳුරු පිරීලා .දැඩි පායන කාලයක ඇරුන විට ගම්මු වැඩිය මේ ලිඳට යන්නේ නැත .මේ ලිඳෙන් නෑවේ මළපලාව වත්තේ  හිටි පවුල් කීපය පමණි .අපි නඩේ මෙහි යන්නේ කැලෑ වැදී ගඩාගෙඩි කන්න ආසා නිසාය . පන්සල් කන්ද පාමුල පිහිටි දිය උතුරන සීතල  උල්පතක් වූ මෙයින් අතින් වතුර ගතහැක . නමටම ගැලපෙන ලෙස ඒ ඉසව්වේ සුදු මල් පිපුණ ඉද්ද පඳුරු ගොල්ලකි . කරුණාසේන ජයලත්ගේ "හතුරු හිතක් " පොත කියවනවිට පූජිතරත්නලාගේ ගෙවල් ගාව ඇති ඉද්ද පඳුරු ගැන කියන හැම විටම මට සිහියට එන්නේ මේ ඉද්දගලේ ඉද්ද පඳුරුය.


"ලොකූට මතකද දවසක් අපි නාන්න ගිහින් පරක්කුවෙලා , අපේ තාත්තගෙන් කෝටු පාර ලැබුණා ඔක්කොටම ?"


"ඔවු වැඩියෙන් ගුටි කෑවේ මංජු අයියා ..අපි පොඩි ඈයො එක්ක කැලෑ වදින්න ගියා කියලා . ඉද්දගලෙන් නාලා එද්දී අයියා මට පන්සල්වත්තේ සල් ගහෙන් සල් මල් අහුලලා දෙනවා .වැඩිදාට නාලා ඔයාලගේ අම්මගෙන් බතුත්කාල මම එන්නේ .ඔයාලගේ චූටි නංගී ගොඩාක් පොඩියි . සාලේ ගැටගහලා තියෙන රෙදි ඔංචිල්ලාවෙ නිදි".මට  කිමිදෙන්න මතක සාගරයක් ඇත


"හ්ම්.... චූටි අද හිටියනම් අවුරුදු විසිපහක ලොකු කෙල්ලෙක් .අයියා පොඩි කාලේ ඉඳන් අපිට ආදරෙයි පවුලට  හරි හිතයි  .ඔය කසාදේ කරගත්තට පස්සේ පවුලෙන් හරියට ඈත්වුනා .දැන් අයියා  වැඩිය ගම ඒමක් නෑ ලොකූ ". සුදු විස්සෝප වී කියයි .


"සාරි තෝරගත්තද ? "කතාව වෙන අතකට හැරවිය යුතු නිසා මම අසමි .


සාරි කීපයක් ඇඳ මත විසිරී ඇත. ඈ මා දිහා හිස් බැල්මෙන් බලයි .


"ඇයි අර ක්‍රීම් පාටට  එකයි ලා නිල් පාට එකයි ගන්නේ නැත්තේ ?. දෙකේම  පල්ලුව ලස්සනයි .ඔයා උස මහත නිසා ඔසරියකට හරි හැඩවේවි ".


කාලෙකට කලින් මම ඒ සාරි දෙකටම මහත් ආසා කලෙමි .ඒ සාරි ගත්තු දිනයත් අද වගේ මතකය .මා නිතර අඳින්න ආසා සාරි අතර මේ දෙකත් විය  .ඇන්ද විට හැඩ බලන්න අයද සිටිවග මතකය .නමුත් දැන් ඒ මතක වලින්  වැඩක් නැත . ඉතින් සාරියෙනුත් වැඩක් නැත .අඳින්නේ නැතුව මොකට ඕවා අලමාරියේ තියාගන්නවාද ?.


"ලොකු සාරියක් ඇඳලා ඉන්නවා මම කවදාවත් දැකලා නෑ ," ඈ සාරිවල පල්ලුවේ ඇති සිහින් මෝස්තර බලමින් කියයි


"නෑ මම දැන් සාරි අඳින්නේ හරි කලාතුරකින් .කලබල රස්සාවක් එක්ක සාරි අඳින්න බෑ   සුදු " ආයෙත් සුපුරුදු කම්මැලි ගතියෙන් මම උත්තර දෙමි .


"දැන් ඔහොම ඉන්නද කල්පනාව"? .


"ඔවු ඇයි මොකෝ මේකෙ වැරැද්දක් තියෙනවද ? "


"නෑ එහෙම නෙවෙයි ..ඒත්...... "..ඈ කතාව නවතා මාදෙස බලයි
"...ඒදවස්වල ලොකු මට කිය කියා හිටියේ ...."ආයෙත් කතාව නැවතෙයි


"නෑ ඒව ඔක්කොම ඉවරයි ..දැන් .මට ඕවට නාස්තිකරන්න  වෙලා නෑ"
  මම අල්මාරියට පිටදී දෙනෙත් පියාගෙන සිහින් හඬින් කියමි .ඉද්දගලත් වෙනස්වෙලා එහෙනම් මට හිතේ .


                                                        ****************


කාමරයේ ජනෙල් වලින් බැසයන මලානික හිරු කිරණ ඇඳ මත වැටී ඇත . අල්මාරිය අසල පැදුරක වාඩි වී අම්මා රෙදි ගොඩක් තෝරයි .පසෙකින් ගොඩ ගැසූ හොඳට නැවූ  සාරි කීපයකි .අල්මාරියේ කපුරු සුවඳ දසත විසිරෙයි .මම හෙමින් ඇඳ මත වාඩි වී අම්මා දෙස බැලීමි


"දැන් මේවයින් බාගයක් විතර  වැඩක් නෑ . අවුරුදු තිස්  හතක් තිස්සේ ඇඳපුවා . අල්මාරියේ ගොඩ ගැහිලා .මොනවා කරන්නද මන්දා ?"


 මගෙන් උත්තරයක් නැතත් ඈ කියවයි


"ඕවා කවුද ගන්නේ .ඔයින් බාගයක් විතර පරණ මෝස්තර .තුනී වෙච්චි සාරි " මම සරදම් හඬින්  කියමි


"ඔවු පරණම ඒවා මම තෝරලා වෙන් කලා .."ඈ මට පෙන්වයි


"මේ මගේ පලවෙනි පත්වීම දවසෙ ඇන්ද සාරිය ...රුපියල් විසිපහකට සමූපකාරෙන් පුංචි අම්ම අරන්දුන්නේ .මම වැඩට යනවා කිව්වම"


ඈ ලා කොල පාට සාරියක් පෙන්වයි . එහි වාටි ගානට ඉටි පන්දමකින් බීක්කු හැඩේට පුලුස්සා ඇත .


"මේක ඇඳන් චේ ගුවෙරා එකට අහුවෙලා හිටි ලොකු මාමව බලන්න වැලිකඩ ගිය දවසේ ,   මාම හරියට ඇඬුවා ...එයා මාව මුලින්ම සාරියක් ඇඳලා ඉන්නවා දැක්කේ එදා"


"අඬන්න එයා? . ගෙදර අයියා වුණාට  එයා දන්නේ එච්චරයි නේ.වෙන මොනවද එයා කරලා තියෙන්නේ ?.කෙහෙම්මල් දේසපාලනේ විතරයි. එයා නිසා තමයි අම්මට අවුරුදු විස්සේදි රස්සාවට යන්න වුනෙත් ඉගෙනීම අත ඇරලා .ඊට පස්සේ ඉක්මනට කසාද බඳින වුනේ ". 


මම තරහෙන් නුරුස්සනා බැල්මකින් උත්තරදෙමි .


අම්මාට මගේ රොස් පරොස් වදන් වලින් වැඩක් නැත . ඈ  අගනා වස්තුවක් ලෙස ඒ සාරියේ වාටි පිරිමදියි .


"මේ සාරි තුනම තාත්තා  කොලඹ ගියදාක ගෙනාවේ"


රෝස , දම් හා ලා කොලපාට මෝස්තර වලින් යුත්  සාරි තුනකි .ඒවා මට සෑහෙන්න මතකය .මා පාසලේ ප්‍රාථමික පන්තිවල ඉන්නා කාලයේ අම්මා වැඩට ගියේ නිතරම ඒවා ඇඳලාය .බාලාංශ පන්තිය එකොලහට ඇරුන විට ඇය මාව ගන්න පාසලට එයි . එවිට ඇයට ගුරුතුමියගෙන් අසන්න වෙන්නේ අකුරු ලියන්න , කියවන්න මගේ ඇති දුර්වල කම්ය , නැත්නම් දඟ වැඩය . පොත්බෑගයත් එල්ලන් පාසල් ගේටුවෙන් පිටවුන වහා අම්මා නැවත මගේ දුර්වල කම් ගැන මග දිගටම දොස් කියන්නීය . ඇගේ වෙගයට ඇවිද යන්නට බැරි පුංචි මම ඇගේ සාරි පොටේ එල්ලී බැනුම් අසමින් යමි .ඒ නිසා ඔය සාරි තුනම මට පෙන්නන්න බැරිය .වහ කදුරු වගේය.


"මේ ලොකුමාමා බඳින දවසේ ඇන්ද සාරිය ....මේක පොඩි මාමගේ මගුලට ඇන්දේ ...."ඈ නොනැවතිල්ලේ කියවයි


"දැන් ඕව තියාගෙන වැඩක් නෑ .කාට දෙන්නද ?මොනවා  කරන්නද ?කවුරු අඳින්නද ?"


මම නුරුස්සනා ලෙස ඇගෙන් අහමි


"ඔවු මොකද කරන්නේ? තියාගෙන ඉඳලා තේරුමක් නෑ .අල්මාරියෙ ඉඩ ඇහිරෙනවා .ඒත් විසිකරන්න දුකයි "


"හ්ම් එක්කො කුණු ලොරිය ආවම් දෙන්න , නැත්නම් පුච්චල දාන්න .කවුරුවත් ගන්න එකක්යැ"


මම සරදම් ලෙස සැහැල්ලුවෙන් කියමි


ඈ දුකින් පිරුණ මූණින් මාදෙස බලයි ."මේ වගේ සාරි විස්සක් තියෙනවා"


"දෙන්න ඔය ටික මට ,පුච්චල ඉවරයක් කරන්න "


"හ්ම් ඕනෙ එකක් කරන්න එහෙනම් " ඈ අහක බලන් කියන්නිය


සාරි ගොඩ එක් කරගත් මම නිවස පිටුපසට ගොස් එක තැනක ඒවා ගොඩ ගැසීමි. ඉක්මනින් පුලුස්සන අටියෙන් ලාම්පුතෙල් ටිකක් හලා ගිනි කූර ලං කලෙමි


නයිලොන් රෙදි උණුවී වැගිරෙමින් එකිනෙක ගිණි ගෙන දැවෙයි . අම්මා පිලිකන්නේ දොර අසලට වී සාරි ගිණි අවුලන මාදෙස බලා සිටියි


නයිලොන් ගිනිගෙන දැවෙන සැර රස්නය මගේ මූණට වැටී ඇත . වගක් නැතිව මම ගිනිගෙන දැවෙන ඉතිරි සාරි කෑලි එක්කර පිලිස්සිම් ඉක්මන් කරමි . සාරි වලින් තාම කපුරු සුවඳ ගිලිහී නැත. මෙලෙසින් අතීත මතකය සියල්ලත්  පුලුස්සනු හැකිනම් යෙහෙකැයි මට සිතේ.