පොඩි කාලේ යන්තම් පොත් කියවන්න පුලුවන් වුන දා ඉඳන්ම මට පොත් කියවන්න උනන්දු , කලේ තාත්තා . මට පුංචිකාලේ දෙවිදියකට පොත් ලැබුණා . ගොඩාක් ලමා පොත් තාත්තගේ යාලුවන්ගේ ලමයි පාවිච්චි කරලා කියවලා ඉවර වුන ඒවා මිටි පිටින්ම මට තියාගන්න ලැබුණා . ඒ අතරින් ගොඩාක්ම පොත් ලැබුනේ ප්‍රජානි ඇන්ටිගේ ගෙදරින් එහේ අක්කලා පොඩි කාලේ කියෙව්ව පොත් . අනුලද සිල්වා , සුනිල් ජයවීර , කුමාරතුංග මුණිදාසගේ ලමා පොත් ගොඩක් ඒ අතර තිබුණා . අනුල ද සිල්වාගේ කැවුම් අප්පුලා , සුනිල් ජයවීරගේ "පිංහාමි හා කිඹුල් ගෙදර මනමාලි , කුමාරතුංගගේ හත්පණ එයින් මගේ සිත් ගත්තා . ඒ පොත් වැඩිහිටි වියට ඇවිල්ලත් ආයේ ආයේත් කියවන්න ආසා හිතෙන පොත් . කවුරු හරි පාවිච්චි කරලා දෙන පොත් ටිකක් ඉරිලා , බලි කුරුටු එහෙම ඇඳලා තිබුණත් මම ඒවා ආසාවෙන් කියවන්නත් ආදරෙන් රැක බලාගන්න උනන්දු වුනා .කැම්පස් යනකන්ම ඔහොම එකතුවුන ලමා පොත් මිටියක් පොත් රාක්කේ කොණක තිබුනා .පස්සේ අපේ අම්මා ඒවා අහල පහල පොඩි ලමයින්ට දීලා කියවන්න . ඒ පොත් අහිමි වෙලා ගියත් ඒවගේ රස අමතක කරන්න බැරි නිසා අදත් මේ පොත් දැක්ක තැනකින් මිලට ගන්න මම උත්සාහ ගන්නවා .
ටිකාක් ගැටවර වෙනකොට වෙනස් පොත් කියෙව්වා .ඒකට උවමනා අඩිතාලම වැටුනේ තාත්තගේ ඉස්කෝලේ තිබුණ පුස්තකාලේ . මගේ කියවීමේ සා පිපාසාව නිව්වට ඇත්තෙන්ම ඒ විසල් පුස්තකාලයට මම ඉතාම ණය ගැතියි . ගැටවර කාලේ තියෙන පොත් පිස්සුව හොඳකරගන්න එක එක මාදිලියේ පොත් කියෙව්වා . කල්ලන්දූවේ මුතු කොල්ලය , සෝම පුර වීරයෝ ,රන්සිරිගේ සංග්‍රාමය කියවලා අඳුනගත්තු කුලසේන ෆොන්සේකාගේ "පාලම යට " පොත කියවනකොට මට වැඩි වයසක් නෑ . ඒ පාසල් පුස්තකාලය නිසා මම , මාර්ටින් වික්‍රමසිංහ , සරච්චන්ද්‍ර , ඉලන්ගරත්න ,චින්තා ලක්ෂ්මි , කේ ජයතිලක , සරත් විජේසූරිය අඳුනාගන්නවා . මඩොල්දූවෙත් , අපේ ගමේත් උපාලි ගිනිවැල්ල , ජින්නා ,හා කිරි බබා එක්ක ත්‍රාස ජනක දඟකාර ලෝකෙක කිමිදිලා ,ඉන් පස්සේ උපන්දා සිට , ගම්පෙරලිය , කලියුගය , යුගාන්තය , කරුවල ගෙදර , සත්ව සංතතිය , උපාසකම්ම , වහල්ලු වගේ කෙටි කතා වෙලුම් , තේරි ගී, සිංහල සාහිත්‍යයේ නැගීම වෙනකන්ම කියවනවා .වික්‍රමසිංහ පොත් වල මම ඉතාම ආසා වුනේ තිසර ප්‍රකාශකයනේ පැරනි මාදිලියේ පිට කවර වලට .දැන් ඔක්කොම වික්‍රමසිංහ පොත් අලුත් වෙලා ඒ නිසාමදෝ එදා කියෙව්ව වික්‍රමසිංහ පොත් වලින් ලැබුණ රසය අද මට නොලැබෙනවා වගේ .ඔහුගේ පොත් වල භාශා රටාවටත් මම හරි ආසයි , ජන සාහිත්‍යයෙන් , විද්‍යාවෙන් , එදිනදා සමාජ ව්‍යවහාරෙන් පෝශණය වුන බසක් වික්‍රමසිංහට තිබුණේ .බෙන්ගාලි සාහිත්‍ය වoග බසින් මිහිරි ලාලිත්‍යයෙන් සිoහලට පරිවර්තනය කෙරුව චින්තා ලක්ෂ්මි නිසා මට අපූ ත්‍රිත්වය කියවන්න ලැබුනේ .නිශ්චින්දි පුරේ , ඉඡාමතිය , සෝණාඩන්ගා මිටියාවත , බුල්නා තොටුපොල , සිලි සිලි ගාණ බට පඳුරු , කුතුම්බිනාර් කුලුණ , ලීලා එක්ක පෝර්තෝ ප්ලාතා යන අපූ , ගැන ඇය මැව්ව චිත්තරූප මොන තරම් ද කිවොත් මාත් අපූ එක්ක කතා කර කර ඒ පොත් කියෙව්ව. ඒවට මගේ අතිනුත් කෑලි දාලා හදාගත්තු දෙබස් පැන්සලෙන් පොතේ ලිව්ව කාලයක් තිබ්බා :)
මේ වෙනකොට සෑහෙන්න බරපතල විදියට හැදිලා තිබුණ කියවීමේ පිස්සුව කොතෙක්ද කිව්වොත් ඕනෙම පොතක් නොකා නොබී වුනත් එක හුස්මට කියෝලා ඉවර සිරිතක් තිබ්බා . ඔය උමතුව වැඩිවුනේ ඒකටම හරියන යාලුවො දෙතුන් දෙනකුත් හිටි නිසා . අපි ඔක්කොම කතා වෙලා ගම් සභා පුස්තකාලේට බැඳුනේ සාමාන්‍ය පෙල කරන කාලේ . විභාග වලට සූදානම් වෙන ලමයි නවකතා හා වෙනත් වල් පල් කියවීම් ගැන වැඩිහිටියන්ගෙන් ,ගුරුවරුන්ගෙන් ලොකු විරෝධයක් තිබුණත් අපේ ගෙදර එහෙම පරිසරයක් තිබ්බේ නෑ .අඩු ගානේ කියවන පොත් මොනවද කියලා හොයන්න බලන්නවත් ආවේ නෑ .හන්දියේ පොඩි කන්දක් උඩ තිබ්බ ගම්සභා පුස්තකාලේ ගැසට් එක බලන්න , පත්තර කියවන්න රස්තියාදු වෙන අයගේ තිප්පලක් කියලා තමයි ගමේ මතයක් තිබේ .ඒත් අපි තුන් හතරදෙනෙක් මම ,වසූ , දිනූ , රුවන්ති එහෙම කතාවෙලා සතියේ හැම සඳුදම පුස්තකාලේට ගියා පොත් මාරු කරන්න .ඉස්කෝලේ ඇරිලා එන ගමන් හන්දියෙන් බස් එකෙන් බැහැලා පොත් මාරු කරන් ආයේ හැතැක්ම දෙකක් බඩ ගින්නේ පයින් ගෙවල් වලට යන එක අපිට ඒ හැටි කරදරයක් වුනේ නැත්තේ පොත් රහ නිසා වෙන්න ඕනේ .ගම් සභා පුස්තකාලෙන් එක්කෙනෙක්ට පොත් 2 ක් දෙනවා සතියක් තියාගෙන කියවන්න .අපි කට්ටිය පොත් අරගෙන අපේ පොත් කියවලා ආයේ එක එක්කෙනා එක්ක මාරු කරගෙනත් කියවනවා .එතකොට එක්කෙනෙක්ට සතියකට පොත් පහක්වත් කියවන්න පුලුවනි .හප්පා එහෙම පිස්සුවක් .ගම්සභා පුස්තකාලේදී තමයි මට මහගම සේකර , සුගතපාල ද සිල්වා , සයිමන් නවගත්තේගම , ටෙනිසන් පෙරේරා , රන්ජිත් ධර්මකීර්ති , සුමිත්‍රා රාහුබද්ද ,ඊවා රණවීර , අයිලින් සිරිවර්ධන ,ගුනදාස ලියනගේ , ඇරැව්වල නන්දිමිත්‍ර වගේ ලේඛකයොන්ගේ පොත් කියවන්න ලැබෙන්නේ . මේ වැඩි දෙනෙක් මහ මිනිස්සුන්ගේ ජීවිත වල අහුමුලු, අඳුරු තැන් දුක් දොම්නස් , වැටීම් ,නැගිටීම් ගැන ලිව්ව අය .අද ඒ අයගේ පොත් කියවද්දී එදා ගැටවරකාලේ නොදැක්ක අර්ථයක් ,හැඟිමක් ඒ කතා ගැන දැනුනත් ඒ කාලේ මොන පිස්සුවකින් කියෙව්වද කියන්න තාම තේරුමක් නෑ . කැම්පස් යන්න බලාගෙන ගෙදර හිටි අවුරුදු දෙකේ කාලේ ගෙවාගන්න ගම්සභා පුස්තකාලෙන් වුන සේවයනම් කියන්න බෑ .ඒ කාලේ හැම දේටම ගෙදර සකල බුජන් වෙලා හිටි නිසා සතියකට පාරක් පොත් මාරු කරගෙන ,අම්මට උවම්නා සිල්ලර බඩු ලැයිස්තුවත් කඩෙන් අරන් ,එන පුරුද්දකටත් ඇබ්බැහි වෙලා හිටිය. පත්තර පොත් කියවන රස්තියාදු කාරයො ගැවසෙන තැනකට තරුණ දූල යවන්න එපා කියලා අහල පහල උදවිය අපේ තාත්තට කීප සැරයක් කියලා තිබ්බත් තාත්ත මගේ පුස්තකාල ගමන් නම් කවදාවත් තහනම් කලේ නෑ.:)
සෑහෙන්න දැනුම් තේරුම් වයසට ආවම තමා දැනගත්තේ පොත් කියවන්න ආසා , පොත් එකතුකරන අය ඒවගේ තව කෙනෙක්ට කියවලා පරිස්සම් කරලා ගෙනෙත් දෙන්නම් කිව්වත් පොතක් ණයට දෙන්න මැලි වෙනවා කියලා .ඒ නිසා , තමන්ගේ පොත් අල්මාරියෙන් ඕනෙම පොතක් ගෙනිහින් කියවලා ගෙනිත් දෙන්න අවසර දුන්නු මගේ අසල්වැසි , පාසල් යාලුව ගැනත් කියන්න ඕනේ ඒ වසූ , අපි දෙන්නගේ ගෙවල් බොහොම කිට්ටුවෙන් තිබුනේ .පොතක් කියවන්න ඕනේ වුනාම එහේ ගිහින් එයාගේ පොත් අල්මාරියෙන් පොතක් ගේන එක හරි ලේසියි. මට කිසි තහනමක් නෑ .වසූගේ ගෙදර ලමයින්ට පොත් කියවන්න උනන්දු පරිසරයක් නිසා එයාගේ අම්මත් තාත්තත් පොත් මිලට ගන්න සිරිතක් තිබ්බ .ඒ ඔක්කොම පොත් ලස්සන අල්මාරියක අහුලරා තිබ්බේ .මේ පොත් වල අයිතිය ගැන වසූ හා එයාගේ අක්ක අතර නිතර දරුණු සටන් ගියත් වසූ කවදාවත් ඒයාගේ යාලුවන්ට පොත් නොදී ඇරියේ නෑ . රුසියන් සාහිත්‍ය කියවන්න පුලුවන් වුනේ වසූ ගේ පොත් අල්මාරියට පින් සිද්දවෙන්න . ගෝර්කි ගේ අම්මට හැමෝම ආස වුනත් ඇත්තම කියන්න එපැයි මොකද්දෝ හේතුවක් නිසා මම ඒ පොත බාගෙට කියවලා අතෑරියා . නමුත් දොස්ටොවුස්කි , මිහායිල් ශෝලහොවු ,චින්ගීස් අයිත්මාතොවු , පුශ්කින් හා චෙකොෆ් ප්‍රිය කලා . මාසෙකට සැරයක් රාජකාරි වැඩ වලට කොලඹ එන වසූගේ අම්මා පොත් ප්‍රදර්ශන වලින් පොත් ගේන සිරිතක් තිබ්බා .ඒ නිසා තමයි දැදිගම වී රුද්‍රිගු පරිවර්තනය කල රාදුගා පොත් ගොඩක් කියවන්න හම්බවුනේ . ඊට පස්සේ කාලේක වසූට විද්‍යා ප්‍රබන්ධ පිස්සුවකුත් හැදුන නිසා අපි කට්ටියම ක්ලාර්ක්ගේ 2001 සීරිස් එකත් කියෙව්වා . පොත් නිසා නිවාඩු කාලේ වැඩියෙන් වසූගේ ගෙවල් පැත්තේ රස්තියාදු ගැහුව අපි යාලුවො තව තව නොයෙක් අණ්ඩපාල පර්යේෂණ/ සොයාගැනීම් එහෙමත් එහෙමත් කලා :) .
යාලුවන්ගෙන්, පුස්තකාල වලින් පොත් කියෙව්ව මට පොත් තෑගි දුන්නේ ඉස්කෝලෙන් .අපේ ඉස්කෝලේ හැම ත්‍යාග ප්‍රදානෝත්සවයකටම තෑගි දෙන්නේ පොත් . තෑග්ගක් ගන්න එක ලේසි නෑ .එක්කො පන්තියේ පලවෙනියා වෙන්න ඕනේ නැත්නම් යම් ලකුණු සීමාවක් සම්පූර්ණ කරලා ඒ ඒ විෂයන්ට තියෙන ප්‍රයිස් ටෙස්ට් එකකින් වැඩිම ලකුණු අරන් සමත් වෙන්න ඕනේ .එහෙමත් නැත්නම් උසස් පෙල /සාමාන්‍ය පෙල පන්තිවල විභාග ලකුණු වලින් උපරිම දක්ශතා දක්වන්න ඕනේ .අපිට තෑගි දුන්නු පොත් බොහොමයක් නවකතා හා කෙටි කතා .ලස්සන සුදු හා ලා නිල රිබන් පටි වල එතිලා විද්‍යාලීය ත්‍යාග අරමුදල විසින් පිරිනැමුන ........ ත්‍යාගය හිමි වන්නේ .......... සිසුවියටයි කියලා පාසල් ලාන්ඡනය සහිතව පොතේ මුල් කවරේ ඇලවුන සටහනක් එක්ක ඒ.ජී. අයි.ද සිල්වා ප්‍රින්සිපල් සර් ගේ අත්සනින් යුත් තෑගි උත්සවෙන් ලැබුණ අදත් මාගාව තියෙන පොත් තමයි අස්වැන්න , රයිගම් පුත්තු , පිච්චමල , නව වසර (පරිවර්තන ), කරත්තය , නිරානන්දය , වඩබාගින්න ,සයුරු තරණය, මහල්ලා සහ මුහුද (පරිවර්තන ) , සිද්ධාර්ථ (පරිවර්තන ) හා මගේ අමතක නොවෙන උසස්පෙල තෑග්ග සුනේත්‍රගේ ප්‍රේම පුරාණය .මේ නවකතා තෑගි දීම ටිකක් වෙනස් වුනේ විශ්වවිද්‍යාලට තේරුණ අක්කලා, අයියලාට විතරයි . එතකොට එයාලා තමන්ට කැම්පස් එකේදී පලවෙනි අවුරුද්දේ ඕනේ වෙන පොත් කීපයක් ගැන ඉඟියක් අoශබාර මිස්ට හරි සර් ට හරි දෙනවා .ඒ පොත් තෑග්ගට ලැබෙනවා . ඒ ඇරුණම අපේ ඉස්කෝලේ ඒ කාලේ තිබ්බේ බොහොම නිදහස් විදියට ලමයින්ට කියවන්න පොත් තෑගි කෙරුව සිරිතක් . කොටින්ම කිව්වොත් කිසි තහනමක් නැතිව වැඩිහිටි ප්‍රේම කතා ලමයින්ට තෑගි දුන්න ඉස්කෝලයක් :)
කියවන උමතුව ඇවිලිලා යන්න තව හේතුවක් වුනේ ගෙදරට ගේන පත්තර .මතක ඇති කාලේක ඉඳන් අපේ තාත්තා දිවයින පාඨකයෙක් .සති අන්තේ , නිවාඩු දවස්වල තාත්තගේ නමේ මුල අකුරු ගැහුව පත්තරේ මැම්බර් කඩෙන් ගේන එක බාරවෙලා තිබ්බේ මට . මම වැඩියෙන් කැමති වුනේ දිවයින ඉරිදා සoග්‍රහයට .කාලීන ප්‍රශ්න ගැන දිවයිනේ විශේෂාoග ලිපි හා කවි පිටුව කියවන්න මම ඒ කාලේ මනාපවුනා .ඊට අමතරව අමතක නොකර බැලුවේ සුන්දර නිහතමානි ද මැල් ලිව්ව මානිගේ තීරුව කොලම .ඒකේ තිබ්බ උපහාස රසේ නම් කියලා නිමක් නෑ .මම දිවයිනට ආස වුන අනික් හේතුව තමයි ඒ කාලේ අනික් පත්තර එක්ක ගත්තම දිවයින මුද්‍රණය ලස්සනයි .හොඳ පෙනුමයි. ඔ යකාලේ අපි සති අන්ත සිලුමිණ ගත්තත් 1990 පස්සේ වගේ ඒක නැවතුනේ ලේක් හවුස් එක බේරෙගෙදර පච මෝල වුන නිසා .ඔය එක්ක තමයි විකල්ප පත්තර ආවේ .දිවයින බලලා මදි වගේ නිසා තාත්තා ඇත්ත , හා රාවය ගෙදරට ගෙනාවා . රාවය පත්තරේ වෙඩි වගේ ලියන ස්ටයිල් එකට මම හරි ආසයි .කොටින්ම සාමාන්‍යපෙල කාලේ මම රචනා ලියන්න අරගෙන තිබුණේ ඒවගේ . මෙලෝ හසරක් නොදැන හබයාස් කොපුස් , මූලික අයිතිවාසිකම් , වගේ කෑලි අල්ලගත්තේ රාවයෙන් . ඇත්ත පත්තරේ කෝසල සිහිනය කියන කොලම කියවන්න මම හරි ආසයි .වැඩියෙම එහි හාස්‍යට ලක්වුනේ එවක හිටි ජනාධිපතිවරයා හා එතුමාගේ සහ පිරිවර . ඒ වගෙම ජෙෆ්‍රි යූනූස්ගේ කාර්ටූන් එකත් හරි මරු . කාර්ටූන් අඳින්න ගිහින් යූනූස්ගේ නහය කැපුවෙත් ඔය කාලේ වෙන්න ඕනේ . මුල්ම කාලේ රාවයේ කවි පිටුව රත්න ශ්‍රී විජේසිoහ සන්ස්කරණය කලා කියලා අපැහැදිලි මතකයක් තියේ . ඒ කාලේ මගේ පත්තර වීරයා වුනේ දිවයිනේත් විකල්ප පත්තර කීපයකත් වැඩකල සුනිල් මාධව . එහෙන් මෙහෙන් යමක් දේශපාලනේ ගැන දැනගත්තේ ඔය පත්තර වලින් .දැන් නම් ඔය එකක්වත් කියවන්නේ නෑ අකුරු අමතක වේවි කියලා බයට :)
ඉගෙන ගන්න කොලඹට ආවට පස්සේ කියවිමේ උමතුව වෙනුවට තෝරා බේරාගෙන කියවන්න සිද්දවුනා .ඒකට හේතුව කියවන්න බොහෝ දේ තිබීම හා කාලය සීමිත වීමත් නිසා . ඒ තමයි එන්.එල් .ආර් / එස්.එල් .ආර් වල එක පිටුවක් තේරුම් ගන්න දෙපැයක් විතර අනිමිස ලෝචන කෙරුව කාලේ . මුලින්ම අපේ පුස්තකාලේ තිබුණේ බිම් ගෙයක් වගේ මහා විසාල අදුරු දූවිලි පිරුණ ගුහාවක් වගේ තැනක . පොත් කියවන්න කිසිම ප්‍රියමනාප තැනක් නෙවේ .ඒත් දෙවෙනි අවුරුද්ද වෙනකොට අපිට හරි ලස්සන අලුත් සත් මහල් ප්‍රාසාදයක් පුස්තකාලේ හැටියට ලැබුනා විදුලි සෝපානත් එක්ක . ඇත්තම කිව්වොත් කැම්පස් එකේ තිබුණ හොඳම තැන -සේෆ් හෙවන් . අපි කට්ටියක්ම සෙට් වෙලා හිටියා වැඩක් ඇතත් නැතත් ඕක වටේ කැරකුණ අන්තිම මොහොතේ පාඩම් කල අනික් වෙලාවට වෙන අනම් මනම් පොත් කියෙව්ව . මම වැඩියෙන් කැමති වුනේ සති අන්ත නිවාඩු දවස් එහෙම නැත්නම් හවස පහෙන් පස්සේ පුස්තකාලෙට යන්න .එතකොට බොහොම නිස්කලන්කයි . ඉහල මාල වලට ගියාම තුරු හිස් තණ පිටි අතරින් මැවෙන රීඩ් මාවත දිහා බලන් ඉන්න පුලුවනි මේ දර්ශනේ වැඩිය ලස්සන වෙන්නේ වහින දවසට . සමහර දාට පාඩම් කරන්න එපා වෙලා විභාගේ කටේ තියාගෙනත් මෙතැන්ට වෙලා නවල්ස් , සමාජ විද්‍යාව, වෙස්ටර්න් ක්ලැසික් , ඇමරිකන් හිස්ට්‍රි ගැන පොත් කියෙව්වා මතකයි . මම ආස කෙරුව අනික් පුස්තකාලේ රැජින පාරේ තියෙන බ්‍රිතාන්‍ය මණ්ඩල පුස්තකාලේ . මෙතැන සුව පහසු වට පිටාව , පොත් පහක් කාර්ඩ් එකට ගන්නත් මාසයක් තිස්සේ තියාගෙන කියවන්නත් පුලුවන් වුන නිසා මම මේ පුස්තකාලෙට ආස වුනේ . තව හේතුවක් තමයි මේකේ කැන්ටින් එක .කැම්පස් නිවාඩු කාලේ ලාබෙට රස්තියාදු ගහන්න තිබ්බ නියම තැනක් .මෑතක් වෙනකනුත් මේකේ සාමාජිකත්වය තිබ්බත් මේ පුස්තකාලේ පාවිච්චි වුනේ අදාල පොත් කියවන්න විතරයි .ඒ ගැන නම් පොඩි දුකක් හිතට තියෙනවා
මට මේ සටහන ලියන්න හිතුනේ මෑතකදී හමුවුන කෙනෙක් එක්ක කෙරුව කතාබහක් නිසා .අපේ ලමා කාලේ , තරුණ කාලේ කියවන්න පොත්පත් සොයාගන්න අපහසු වුනත් ,හොඳ පුස්තකාල නොතිබුණත් ,අතේ මිල මුදල් නොගැවසුනත් පොත් කියවන්න උනන්දු වුනා .නමුත් දැන් ඒ සේරම ලැබිලත් සමහර වෙලාවට අපිට අර තරම් කියවීමේ උමතුවක් නැහැ . අනේ මන්දා :)