තව සතියක් ඉතිරිව ඇත
මනරම් හිමාලය තරම් උස
සොඳුරු අන්නාපූර්ණා වැටිය තරම් දිග
සිහිනයකුත් තවම ඉතිරිව ඇත
සැබෑකරගන්න වෙහෙසෙන
දෙවසරක් නැගී
සිඳී බිඳී වැටුන
ඒ සිහිනෙට පණ දෙන්නට
තාමත් වෙහෙසෙමි මම
අවසන් මොහොත තෙක්
අත්හැර නොගනිමි වෙර
දැනුම පිපාසාවේ
ඒ සිහිනය සන්සිඳුවා ගන්න
Saturday, October 10, 2009
Sunday, October 4, 2009
මගේ පුතා හරි හපනා ......අම්මට පඩි විසිවැනිදා
දෙකේ පන්තියට එනකොට මට වාක්‍ය රචනා ලියන්න තිබුණෙ පුදුම ආසාවක්. හිනාවෙන්න එපා .දැන් මට හොඳට ,ලස්සනට අකුරු ,ඉලක්කම් ලියන්න පුලුවනි . සිංහල පාඩමේදී පූසා, බල්ලා, පොල්ගස , ලේනා වගේ පොඩි පොඩි මාතෘකා ගැන රචනා ලියන්න ආරියවතී ගුරුතුමී අපිට කියනවා.ඇය මට හමුවූ හොඳම ගුරුතුමියක්. රචනා ලියන්න අපි උන්නදු කරන්න ඕනෙ නිසා හොඳම රචනා කීපයක් තෝරගෙන පන්තියටම ඇහෙන්න කියවීම ඇගේ සිරිතක්. ඉතින් කවුරුත් හරි කැමතියි ,උනන්දුයි රචනා ලියන්න .පොඩි ආඩම්බරයක් තියෙනවනෙ තමන්ගෙ රචනාව පන්තියටම ඇහෙන්න කියවනකොට.
එදා අපේ රචනා මාතෘකාව "අම්ම". හ්ම්ම්... පැන්සලත් අල්ලගෙන , තනිරූල් කොපි පොතට ඔලුව නවාගෙන මම බර කල්පනාවක. මොනවද අම්ම ගැන ලියන්නෙ ? අම්මගෙ හැඩ රුව , අම්මගෙ රැකියාව , අම්ම මට ආදරෙයි ,මමත් අම්මට ආදරෙයි... ම්ම්ම් ...ඒවා ඉතින් හැමෝම ලියනවනෙ . මට ටිකක් අමුතු දෙයක් ලියන්න ඔනෙ වුනා.....ආහ්හ්..මතක් වුනේ ඔන්න දැන් . අම්ම මට ආසකරන කතන්දර පොත් ඇඳුම් එහෙම ගෙනැත් දෙනවා. ඒත් සමහරදාට ඒවා ඉල්ලුවහම කියනවා
"පුතේ මේ මාසෙ විසිවැනිදා වෙනකන් ඉන්න , අම්ම පඩි ගන්නෙ එදාටනේ, එතකොට පුතාට අරගෙන දෙන්නම්" කියලා.
ඇත්ත ගොඩක් වෙලාවට මගේ ඉල්ලිම් විසිවෙනිදාට පස්සෙ ඉටුවෙනවා. ඒ නිසා මම මගේ රචනාවේ මතක ඇතිවම ලිව්වා
"මගේ අම්මාගේ රැකියාව ..zzzz....ඇයට පඩි ලැබෙන්නේ විසි වැනිදාට.එවිට ඇය මට අලුත් ඇඳුම් ,කතන්දරපොත් ගෙනැවිත් දෙනවා"
ගුරුතුමී පොත් එකතුකරගෙන අපේ රචනාවල හරි වැරදි බලනවා . අපි එයාගේ මෙසේ වටේ වට වෙලා එබීගෙන ඉන්නවා. අද කාගෙ රචනා වලට "ඉතා හොඳයි" ලැබිලා පන්තියටම කියවාවිද?ඔන්න එයා මගේ පොත අරගත්තා, මම නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා.අත් අකුරු වැරදිනම් නැහැවගේ.ඒත් ඇයි ගුරුතුමී හෙමිහිට හිනාවෙන්නෙ ? ආ අම්මට පඩි ලැබෙන දවස මම රචනාවෙ ලියලා තියෙනවනේ . එයා ඒක එහා පන්තියෙ ගුරුතුමීටත් පෙන්නුවා.ඒකට කමක් නැහැ මට "ඉතා හොඳයි" එකක් ලැබුනා.තව පුංචි ප්‍රශ්නෙකුත් ගුරුතුමී මගෙන් ඇහුවා ?
"පුතාට පඩි ලැබෙන දවසක මොනවද අම්මට ගෙනැත් දෙන්නේ" ?
මම මොනවගේ උත්තරයක් දුන්නද කියන්න මතක නැහැ.
ඒත් අම්මගෙ විසිවෙනිදා පඩි ලැබෙන දවස මම ටිකෙන් ටික ලොකුවෙනකොට හරිම වැදගත් දවසක් වුනා. දෙකේ පන්තියෙදි මට තිබුන කතන්දර පොත්, ටොෆි ,චොක්ලට් වගෙ සරල ඉල්ලිම් ලයිස්තුව මම ලොකුවෙනවත් එක්කම දිගවුනා,සංකීර්ණවුනා.ටියුෂන් ගාස්තු,සීසන් ටිකට් එක , පාසැල් සේවා ගාස්තු , ගැටවරවියේ අඳින්න ආස අලුත් අඳුම් මෝස්තර ඒකට එකතුවුනා. තාත්ත අතට දෙන පඩියත් එකතු කරලා ගෙදර අනිත් උවමනාවනුත් සම්පූර්ණ කරලා ඔය කිව්ව හැමදෙයක්ම ලබාදෙන්න අම්මට තිබුනෙ පුදුම කලමනාකරණ හැකියාවක්. මම විශ්වවිද්‍යාලයට යාමත් එක්ක , නංගිගේ උසස් අධ්‍යාපනයත් එක්ක අපේ ඉල්ලිම් තව දීර්ඝ වෙනවා.නවතැන් ගාස්තු,පොත් පත්,එක එක පාඨමලා, විභාග ,ඇඳුම් කැඩුම්,..අපේ ඉල්ලිම් ලයිස්තුව වේගයෙන් ඉහල ගියාට ඒ හා සාපේක්ෂව අම්මගෙ රජයේ සේවක වැටුප ඉහල ගියේ හෙමින්. ඒත් අම්ම කවදාවත් අපේ ඉල්ලිම් වලට බැහැ කිව්වෙන් නැහැ. දෙන සල්ලි වියදම් කලේ කොහොමද කියලා කවදාවත්ම ඇහුවෙත් නැහැ.විශ්වවිද්‍යාලෙ ගියාට පස්සෙ සමහර වෙලාවට මම ගෙදර එන්න හිතුවෙ විසිවෙනිදායින් පස්සේ මාසෙ අන්තිමට වගේ සල්ලි ඉල්ලගෙන යන්න .එහෙම ආවත් අම්ම මතක ඇතුව මම ඉල්ලන්නත් කලින් ලියුම් කවරෙක දාලා පරිස්සම් කරලා තිව්ව සල්ලි මට දෙනවා එන මාසේ වියදමට . පොඩි කාලෙ වගේමයි .ඇය කවදාවත් මගේ ඉල්ලිම් අමතක කලේ නැහැ.
උපාධියක් අරන් විශ්වවිද්‍යාලෙන් පිටවෙලා මගේ පලවෙනි රැකියාව කරද්දිත් , විසි වෙනිදා වැදගත් දවසක් වුනා. අම්ම කවදාවත් කිව්වෙ නැහැ "ඔයාගෙ පඩියෙන් දැන් ඔයාගෙ වැඩ කරගන්න "කියලා. උද්ධච්ච කමට මම නොකිව්වට එයා දැනගෙන හිටියා මගේ මුල්ම වැටුප ඒතරම් ලොකු වැටුපක් නොවෙන වග .ඒ දවස් වල ගෙදරින් සල්ලි නොඉල්ලුවත් අම්ම හරි පුදුම දෙයක් කලා.
හැම මාසෙ අගම මම ගෙදර එනකොට හරිම ලස්සන කොට්න් සාරියක් දෙකක් මගේ අල්මාරියේ තියලා තියෙනවා.ඒකටම හරියන හැට්ටෙකුත් මහලා. අම්මා දන්නවා මගේ ආධුනික කාලෙ වැටුප අඩුවුනාට වෘතීය මට්ටම පවත්වාගෙන යන්න ගොඩක් අඳුම් කැඩුම් ඔනෙ වග . ඒ සාරි වල මිල ගනන් කවදාවත් එයා මට කියලා නැහැ. එයා මට හැමදාම කිව්වේ
"ලොක්කා ලස්සනට ඇඳින්න , එක සාරියක් එක මාසෙක එක වතාවකට වැඩිය ඇඳින්න එපා "
අද මට තියෙන ලස්සන කොට්න් සාරි ඔක්කොම එදා අම්මා අරන්දුන්නු ඒවා . ඒ අතරින් මම ඇන්ඳ පලවෙනි සාරියත් , මගේ වෘතීය ජීවිතයේ ඉතාම වැදගත් දවසක ඇන්ඳ ඇත්දල +රිදී පාට සාරියත් මට හරිම වටිනා අම්මගේ විසිවැනිදා පඩියෙන් ලැබුන අගනාම සිහිවටන .මට අද මතක්වුනේ අම්ම කවදාවත් එයාගේ රැකියාවෙදි ඒවගේ වටිනා මිල අධික සාරි නොඇන්ඳ වග .
මට ආයෙත් සිහිවෙන්නෙ මගේ දෙකේ පන්තියෙ ගුරුතුමී ඇහුව ප්‍රශ්නෙ.
"පුතාට පඩි ලැබෙන දවසක මොනවද අම්මට ගෙනැත් දෙන්නේ" ?
ඒ එක්කම අම්ම මාව නලවද්දි කිව්ව මේ නැලැවිලි ගීයත් සිහිවෙනවා.
මගේ පුතා හරි හපනා
දවසක කොලඹට යනවා
පනම් තුනක් පඩි කනවා
ඉන් පනමක් මට දෙනවා
එදා දෙකේ පන්තියෙ ඉඳලා , විශ්ව විද්‍යාලයට ගිහින් ,උපාධියක් අරන් , කොලඹ රැකියාවක් කරලත් අවුරුදු දෙකක් යනකන් මට අම්මට එක පනමක් වත් දෙන්න බැරිවුනා.
තාමත් මට හිතෙනවා දෙකේ පන්තියෙදි ආරියවතී ගුරුතුමී ඇහුව ප්‍රශ්නෙට මම උත්තර දුන්න මදි කියලා.දැන් මම අම්මගෙන් කිසිම දෙයක් නොඉල්ලුවත් ,ඇගේ විසිවෙනිදා පඩිය දැන් මට අවැදගත් දෙයක් වුනත් ,අම්මා ආසකරන රසකැවිල්ලක්වත් අරගෙන යන්නෙ නැතුව අත්දෙක වන වන ගෙදර යන දවස් තාමත් ඔනෙ තරම් තියෙනවා.ගෙදර ගිහිල්ලත් "මට මහන්සියි" කියලා මුලු සති අන්තෙම අම්ම එක්ක කතා නැතුව නිදාගන්න වෙලාවල් අනන්තයි.ඒත් අම්ම තරහ නැහැ.කීයට හරි මම ගෙදර එන එක තමයි ඇගේ බලාපොරොත්තුව . ඒත් තාමත් ඉඳ හිට මගේ අල්මාරියේ අලුත් ලස්සන සාරි තියලා තියෙන ඇගේ පුරුද්දනම් නැවතිලා නැහැ.
Saturday, October 3, 2009
නුඹට රිසි නම් යන්ට යන්නෙමි මගේ හිමියනි
සුමිත්‍රා රාහුබද්ද මහත්මියගේ "අග පිපි මල්" නවකතාව මම ඉතාම ආසාවෙන් නැවත නැවතත් කියවන පොතක්.පසුව එය ටෙලි නාට්‍යක් ලෙසක් රස වින්දා.මධ්‍යම පාන්තික පවුලක සිදුවෙන් දික්කසාදවිම ගැන කියවෙන "අග පිපි මල්" මට කාරණා රාශියක් නිසා හරි සමීපයි .මගේ වෘතීය ජිවිතය ඇරඹෙන කාලයේ බොහෝ දික්කසාද නඩු ගොනු කියවන්න ලැබුණා.අපි මේ නඩු ගොනු දකින්නෙ කරුණු කාරණා ගොඩක් සම්පිණ්ඩණය කරලා නිගමන වලට එලඹෙන්න උවමනා "තොරතුරු සටහන් "හැටියට .නමුත් එයින් එහාට ගිය කොයි තරම සංවේදී හද සසල කරන කතා මේ වටා තියෙනවද ?
කසාද, දික්කසාද නීතිය සහ වචන අපිට ලැබුනෙ ලන්දේසි කාරයන්ගෙන් . පැරණි රෝම ලන්දේසි නීතිය අනුව නම් "කසාදය " ගිවිසුමක් .ඒකියන්න්නෙ "කන්ට්‍රැක්ට්" එකක්. හරි භෞතික දෙයක්. ඔය ගිවිසුම නීත්‍යානුකූලව විසුරුවා හැරීම තමයි දික්කසාදය . උඩරට නීතිය අනුව , මුස්ලිම් නීතිය අනුව සහ සාමාන්‍ය නීතිය අනුව කසාදයක් විසුරුවන්න උවමනා වෙන හේතු එකෙනෙකට වෙනස් . ඒත් ඔය කියන හේතු ඉදිරිපත් කරලා උසාවිය සෑහීමකට පත්වෙනවනම් කසාදෙ විසුරවන්න පුලුවන් .
කසාද සහ දික්කසාද ගැන තියෙන නීති කරුණු භෞතික හා රාජකාරි දේවල් වුනත්, මේ නඩු කටයුතු වලදි හද සසල නොවෙනවා කිව්වොත් එය හැබෑවක් නෙවෙයි .මේ කතන්දරය ලියන්න හිතුනෙත් ඒ නිසා 'අග පිපි මල් ' හි තේමා ගීතය මගෙ සවනට වැකුන වෙලාවෙ ඒ හැඟීම තීව්‍ර වුනා .මේ මගෙ ආධුනික කාලයේ අත් දැකීමක්.මෙහෙම දේවල් ගොඩක් තිබුනත සමහර වෘතීය කරුනු හරස් වීම නිසා ඒවා ලියන්න බැහැ.
එදා අගනුවරට ආසන්න උසාවියක දික්කසාද නඩුවක නසයි අඥාවක් නියත කරන දවසක්. තවමත් තරුණවිය නොඉක්මවූ ප්‍රකට පුද්ගලික ආයතනයක සේවය කරන කඩවසම් විධායක නිලධාරියෙකුත් , ඉතා රූමත් තරුණ වය්දයවරියකුත් පෙත්සම්කරු හා වග උත්තරකරු ලෙස පෙනීසිටියා. සැමියා නම් සිටියෙ මුහුනට නගාගත් උඩඟු සිනාවෙන් .ශෝකයෙන් වෙලුන බිරිඳ සෙමින් ඉකිලන වග මම දුටුවා . ඇය අපේ සේවා දායිකාව . මෙගේ ජ්‍යේෂ්ට සොහොයුරියක් ඇය වෙනුවෙන් පෙනී හිටියා .
නසයි තීන්දුව නියත කරමින් විවාහය විසිරවීමේ ආඥාව දිස්ත්‍රික් උසාවිය ප්‍රකාශකලා. ඇගෙ සිහින් ඉකි බිඳුම ඇයටත් නොදැනීම මහා කඳුලු ගංගාවක් වෙලා වේගවත් ඉකි බිඳුමකට හැරවිලා හිතේ හිරකරගෙන හිටි මහා වේදනාවක් ඉවුරු බිඳගෙන ගලා හැලෙනවා. නියෝගය නියත වීමත් සමග ඇගේ සැමියාව සිටි තරුණ නිලධාරියා නම් ඉතාම උදාරම් ලීලාවෙන් ,උඩඟු හිනාවෙන් තම නවීන මෝටර් රථයෙන් උසාවි බිමෙන් පිටව ගියා .ඒත් ඇය ?
කාලයක් ආදරයකරලා , අවුරුදු පහක් එකට දීගකාලා ,නාමෙට හරි එක වහලක් යට හිටිය දෙන්නෙකුට , තමන් එක්ක එකට හිටිය ගෑනි දිහා එකවරක් වත් නොබලා මෙහෙම යන්න පුලුවන්ද ? අඩු තරමින් මම යනවා කියන්නවත් හිතක් නැත්ද ?
ඇගේ මහා කඳුලු ගංගාව අපි සියලුදෙනාම වේදනාවට පත් කලේ ඇගේ කතාව අපි දන්නා නිසා . මෙවන් ගැහැනියකට අනුකම්පාව ඇවැසි වුනත් ඇය හැම දෙනගේම කුහුලින් පිරුන ඇස්වලට කතා මවන රසඳුනක් නොවිය යුතුයි .කසාද නිවසට නැවත යාමට අයිතිය අහිමි ඇයට අඩු තරමින් නිදහසේ හැඬීමටවත් ඉඩ දිය යුතුයි . ඒ නිසා අපි තීරණය කලා ඇය අපේ නිල මැදිරියට මදකට ගෙන යන්න .
මේ දෙන්නගේ විවාහය පෙම් සබඳතාවක් . ඒකත් හරි වෙනස් විදියට සිද්ද වුන දෙයක්. මේ තරුණයා ඇය හඳුනා ගන්නෙ , අගේ සොහොයුරියට ඉදිරිපත් වූ විවාහ යෝජනාවකින් . සොහොයුරියට සහ දෙමාපියන්ට ඔහු නොගැලපුනත් ඇගේ හිතේ ඔහු වෙනුවෙන් සෙනෙහසක් උපදිනවා. එය පෙම් සබඳතාවක් වෙලා දෙමවුපියන් එරෙහි වුවත් ඇය නොවෙයි එය නවතන්නෙ . "ඔය විවාහය කරහත්තොත් අයෙත් පවුලට වැද්ද නොගන්න බවට" ඇගේ මවත් ,පියාත් තර්ජනය කරද්දි , ඇය තනි කැමැත්තට ආසිරි සිලෝගීත දෙමාපිය හිතමිතුරු පිරිවර සෙනග නැතිව ඔහු හා අතිනත ගන්නවා ඒ වසර පහකට උඩදි .
එතකොට ඔහු ආයතනයේ සාමාන්‍ය මට්ටමෙ නිලධාරියෙක් . එත් ඇගේ මෙහෙයවීම , උනන්දු කිරීම විතරක් නෙවෙයි , ඇගේ ආර්ථික ශක්තිය නිසාත් ඔහුට හැකිවෙනවා තමන්ගෙ රැකියා ක්ෂ්ත්‍රයේ ඉහල සුදුසුකම් ලබන වෘතීය විභාග කීපයකට පෙනී සිට සමත් වෙන්න . ඒනිසා ඔහු ඉතා ඉක්මනින් ආයතනයේ ඉහලම මට්ටමේ තනතුරක් හොබවන විධායක නිලධාරියෙක් වෙනවා.ප්‍රශ්නෙ පටන්ගන්නෙ එතැන ඉඳලා .
අවුරුදු පහකට පස්සෙ ඔහුට ඇගේ අඩුපාඩු පේන්න ගන්නවා . ඔහුගෙන් ඇයට එල්ලවන පලවෙනි චෝදනාව හා දෝෂාරෝපණය දරුවන් නැතිකම . ඒක අවියක් කරගෙන ඇයට හිත් රිදවීම කරන්න විතරක් නෙවෙයි ඇයව නොතකා හැර වෙන තරුණියන් හා පෙම් සබඳතාවල පැටලෙන්නත් ඔහු පසු බට වී නැහැ . අන්තිමට ඔහුගේ ආදරය සිඳී වියලී යාමත් එක්ක ඇතිවන දැඩි බලපෑම් නිසා ඇය විවාහක නිවස හැරදා යනවා. නැවත ඔවුන් මුණගැහෙන්නෙ උසාවි බිමේ , ඔහු විසින් ඇය වග උත්තර කාරිය කර හා ඔහුපෙත්සම් කරු ලෙස පවරන දික්කසාද නඩුවකදියි.
ඔහු මේ නඩුව පුරාම ඇගෙන් දික්කසාදවීමේ දැඩි මතයක සිටියා.ඔහුට ඇය පෙනෙන්න ඇත්තෙ අලුයම ලූ කෙල පිඬක් වගේ .
ඇය මේ තරම් හඬා වැලපුනේ තාමත් ඇගේ හිතේ ඔහු වෙනුවෙන් තියෙන ආදරයත්, තමන් ගැන ඇතිවුන , ආත්මානුකම්පාවත් නිසාවෙන්න ඔනෙ. දෙමවුපියන් පවා එරෙහි වෙද්දි තනි මග ගිය ගැහැණියක් වූ ඇයට ඔහුත් ඇතුලුව බොහෝ දේ අහිමිව ගොස් තිබුණා.පවුලෙහි සියළුදෙනා ඇය සැලකුවේ ඔවුන්ගේ මුහුණු වල දැලි ගෑ එකියක් ලෙස .ඒ නිසා ගෙදරට ,පවුලට නැවත ගෙන්වා නොගැනීමේ පිය මහරජ අණ ක්‍රියාත්මක වෙලා තිබුණ.විනාඩි විස්සක් පමණ එක දිගට ඇය හැඬූ අයුරු අපේ හිත් සසල කලා.
උසාවි බිමෙන් නික්මී යන ඇයට ඇත්තේ කාගේ සවියද?සමාජයෙන් ඇයට කොයිතරම අපවාද ,අවමාන එල්ල වෙවිද ? මගේ හිතෙන් ආව එකී පැනයත් සමග ඇය නැගීසිටියේ එතනින් නික්ම යන්න. මගේ සහෝදර නිලධාරිනියගේ සන් කිරීම අනුව මම ඇය ඇගේ මෝටර් රථය තෙක් කැඳවා ගෙන ගියා .
අපි නිහඬව උසාවි සංකීරණයේ මදක් ඈතින් වූ රථ ගාල වෙත පිය මැන්නා.
"මේ මගේ පලවෙනි සහ අවසාන ආදරය, දැන් මම හිත හදාගන්න ඔනෙ , මාරුවක් අරගෙන මම ඈත පලාතකට යනවා ටික කාලෙකට .එතකොට මට මේවා අමතක කරන්න පුලුවන් වෙයි හෙමින් හෙමින් "
නිහඬ බව බිඳිමින් ඇය සෙමින් මා හා කතා කරන්න පටන් අරන් තිබුනා.මටත් නොදැනී ඇය මගේ අතක් අල්ලාගෙන මෝටර් රථය වෙත පිය මනිමින් හිටියා. ඇගේ අතේ සීතල ස්පර්ශය මට දැනුනා.ඒත් මම උත්සාහ කලේ නැහැ මගේ අත මුදාගන්න ඇයගෙන්.
එදායින් අවුරුදු පහකට කලිනුත් මේ ගැහැනිය ඔහු හා අතිනත අරන් ඇගේ මංගල ගමන යන වෙලාවේ ඇයට ආසිරි සුබ පැතුම් පතන්නට , මල් වරුසා විසුරුවන්නට කවුරුත් නොහිටින්න ඇති . අදත් ඇය කිවිවෙකුත් නැතිව , හුදෙකලාව එදා බැඳි පෙම් දම් විසුරුවා දමා තනිමගක යන වග මට සිහිවුනා.
"බැන්ද රන් දම් මගේ ගෙල වට මුදා අහසට..... නුඹට රිසි නම් යන්ට යන්නෙමි මගේ හිමියනි".....
පසු සටහන
ඇගේ සිදුවීම අපේ රාජකාරි දිවියේහි තවත් එක දික්කසාදයක් වුවත් එය කොපමණ අපේ සගයන් ගේ හද සසල කලාද කිව්වොත් ඇය වෙනුවෙන් පෙනී සිටි මගේ සහෝදර නිලධාරිනිය හවස ඇයට තිබුන සියලු රාජකාරි නඩු කටයුතු වෙනත් සොයුරෙකුට පවරා වරුවක නිවාඩු ගෙන ගෙදර ගියා ඇගේ හිත මහත් සේ කම්පාවූ වග පවසමින්. දික්කසාද නඩු ගොනු මහ ගොඩක් කියවූ මම ඊට ටික කාලෙකට පස්සෙ තීරණය කලා උසාවිය මට හිමි රාජකාරි ස්ථානය නොවන වග .
ඇගේ සිදුවීම අපේ රාජකාරි දිවියේහි තවත් එක දික්කසාදයක් වුවත් එය කොපමණ අපේ සගයන් ගේ හද සසල කලාද කිව්වොත් ඇය වෙනුවෙන් පෙනී සිටි මගේ සහෝදර නිලධාරිනිය හවස ඇයට තිබුන සියලු රාජකාරි නඩු කටයුතු වෙනත් සොයුරෙකුට පවරා වරුවක නිවාඩු ගෙන ගෙදර ගියා ඇගේ හිත මහත් සේ කම්පාවූ වග පවසමින්. දික්කසාද නඩු ගොනු මහ ගොඩක් කියවූ මම ඊට ටික කාලෙකට පස්සෙ තීරණය කලා උසාවිය මට හිමි රාජකාරි ස්ථානය නොවන වග .
Friday, October 2, 2009
වැඩ නිමවන්න.....
අගනුවරම නිදිගත් රෑ
මිහිරි පෙම් බස්
දුර ඈතකට ගිහින්
දෑස අයාගෙන
පරිගණක තිරය වෙත
වෙහෙසකර නෙතු පියන්
කර්කශ ලිපි අතර
නින්දට දඟලන
හීලෑ නැති හිත
වත්තන් කරන්
අඩක් කා හමාරවූ
චීන මකරුන්
සුව පහසු ඇති
සිතල පාලු කුටියක
රාත්‍රිය දිය කරන්
පෙරඹරින් හිරු නැගෙන
අරුණටත් පෙර
වැඩ නිමවන්න
අඩක් පිරියම් කර
ජීවිතය
මිහිරි පෙම් බස්
දුර ඈතකට ගිහින්
දෑස අයාගෙන
පරිගණක තිරය වෙත
වෙහෙසකර නෙතු පියන්
කර්කශ ලිපි අතර
නින්දට දඟලන
හීලෑ නැති හිත
වත්තන් කරන්
අඩක් කා හමාරවූ
චීන මකරුන්
සුව පහසු ඇති
සිතල පාලු කුටියක
රාත්‍රිය දිය කරන්
පෙරඹරින් හිරු නැගෙන
අරුණටත් පෙර
වැඩ නිමවන්න
අඩක් පිරියම් කර
ජීවිතය
Subscribe to:
Posts (Atom)