මගේ හොඳම මිතුරියක් වූ ඇයට ජීවිතයේ ඉතා සංවේග ජනක අවස්ථාවකට මුහුණ දෙන්න සිදුවුණි.ඇගේ පවුලේ සමීපතම ඥාතීන් හා හිතවත් මිතුරු මිතුරියෝ ඒකී සංවේග ජනක මොහොතේ ඇය ලඟින්ම සිටියහ . සියල්ල අවසානයේ නොසිතූ විරූ මොහොතක තවත් හිතවත් අමුත්තෙක් පැමිණ සිටියේය . ඇගේ මිතුරියන්වූ අපි එන යන ඇගේ බොහෝ හිත්වතුන් දැන සිටි නමුත් මොහු මින් පෙර අපට හමුවී නැත .එදින හවස සියලු කටයුතු අවසානයේ ඔහුගේ ආගමනය සිදුවිය . එවෙලෙහි මා සිටියේ යා බද කාමරයක් ඇඳක් මත වඩි වී විඩා නිවමිනි . එවෙලෙහි මා සිටි කාමරයට ආ ඇය " මහන්සි නැත්නම් ටිකක් එලියට එන්න , මට කෙනෙක් හඳුන්වා දෙන්න තියෙනවා, හැබැයි බණින්න එපා " යයි අසරණ සිනාවක් සහිතව කිව්වාය .
ඉතා හිතවත් අපි උණුන් හා බැන වැදීගෙන නැතත් එකිනෙකාට අවවාද කරගත් අවස්ථා එමටය .එසේ තිබියදී ඈ මෙතරම් බැගෑපත්ව කියන්නේ කා ගැනද ?. ඔහ් හරි එහෙනම් මේ අර ගල් ඉබ්බාවත්ද ? ඒකද මේ තරම් මෙයා බැගෑපත්වෙන කාරණය ?'
"කවුද අමල්ද ඇවිත් ඉන්නේ ?"
මම අමුත්තක් නොපෙන්වා එහෙත් මැඩ ගත් කෝපයෙන් යුතුව එකවරම ඇසීමි
"ඔවු ඒ අමල්.. කැන් අයි ඉන්ට්‍රොඩියුස් යූ ටු හිම් ? ". ඇය මද තැතිගැන්මකින් කීවාය
අමල් මේ වංචාකාරයා ලැජ්ජ නැතුව ආව හැටි .මගෙ හිත තරහෙන් කෑ ගෑවෙව .එහෙත් හිතේ ඇති සියල්ල කටින් පිට කරන්න හොඳ වේලාව මෙය නොවේ.
"මට ගොඩක් මහන්සි දැනෙනවා ,ඔලුවත් කැරකෙනවා වගේ ...ටිකක් හාන්සිවෙලා ඉඳලා මම ඒ පැත්තට එන්නද ? අනික් යාලුවො ඉන්නවනේ ."
අමුත්තක් නොපෙන්වා මම කීවෙමි . මේපමණ වෙලා කඩිසරව එහා මෙහා දිව්ව මට දැන් හැදුන අමුතු මහන්සිය කුමක්දැයි ඇය අසුවේ නැත .
"කමක්නෑ රෙස්ට් කරන්න .මම එයාව පස්සේ ඉන්ට්‍රොඩියුස් කරන්නම් ".ඇය සෙමෙන් පවසා නික්ම ගියාය .
ඇය තාමත් සිටියේ සුදු වතින් සැරසීගෙනය . මුහුණ බොහෝ විඩාපත්ය . හරි හැටි නින්දක් ලැබුනේත් නැත. තව ඉටුකලයුතු වගකීම් රැසකි.ඒ මැද මොහු මෙතැනට මොකට කඩා පාත්වීදැයි මගේ හිතේ තද කේන්තියක් ඇති විය .
ඔහු මෙයින් තුන් වසකට පෙර ඇය හා බොහෝ හිතවත්ව සිටියේය .එකී හිතවත්කම් ප්‍රේමයකට ලියලා එන කල ඈ ඒ ගැන තම දෙමවුපියන්ටද දැන්වූවාය . එහෙත් අවසන නොසිතූ විරූ ලෙස ඔහු ඈ මග ඇරියේය .ඊට නිසි හේතුවක්ද නොවුනි .ඇගෙන් එන කිසිදු දුර ඇමතුමකට මාසයක් ගෙවෙනතුරු ඔහු පිලිතුරු නොදුනි.ඔහු ගැන පිලිබඳ සොයා ඇය සිත් තැවුලෙන් බොහෝ වෙහෙසුනි.අවසානයේ ඇය ,ඔහු ගැන පිලිබඳ ඇති වූ සිත අමාරුවෙන් ඉවතලූවාය . ඒ ඇගේ රාජකාරි දිවියේ බොහෝ කාර්ය බහුල වැදගත් සමයකි.එවැනි කලක මෙසේ හේතුවක් නොකියා ඇයට සිත් පීඩා කර මග හැර ගිය ඔහු ගැන මාතුල එතරම් ගරුත්වයක් ඉතිරිව නොතිබිණි .
"එයාට මේක ඉවර කරන්න ඕනෙ වුනානම් හරි කමක් නෑ ඉවර කරන්න තිබුණා .ඒත් මෙහෙම නෙවේ . නිකන් ඔයාව මග ඇරලා කඩේ යවලා පහත් විදියට හැසිරෙන්න ඕනෙද ?.ඇයි කෙලින් කීවෙ නැත්තේ . ඔයා මොන තරම් හිතින් වද වුනාද ඒ කාලේ ? "
ඔය බිඳුන පෙම් පලහිලව්ව ගැන විමසන කතා බහ ඇදුන හැම විටම තරහෙන් පුපුරමින් මම කියමි
මා හාන්සිවී සිටි ඇඳ අසලම අපේ තවත් මිතුරියන් දෙදෙනෙකි
"කවුද පණිවිඩේ කියලා තියෙන්නේ ?"
"කවුද ඉතින් අපේ එක්කෙනාම තමයි .අපිට යැව්ව එස්. එම්. එස් එකම එයාටත් යවලා "
"ඔහ් ..මිනිහට සේරම ඉවර වුනාම තමයි එන්න මතක් වුනේ එහෙනම් .පේන්නැද්ද කිසි වගකීමක් නැති කෙනෙක් වග ?.ඔය තරම කලින් දැනගෙනත් ඇඳන් ඇවිත් තියෙන්නේ රතු පාට ශර්ට් එකක් .මොලේ ඇති මිනිහෙක් කරන වැඩක්ද ? ඔහොම රතුපාට පිරිවැස්සක් එල්ලන් එන්නේ ?"
ඔවුන් අතරකින් බොහෝ කටකාර එකිය වූ හසී තරහෙන් බැන්ණ වදී .ඒ කතාවට කන් දෙන මට සිනාත් යයි .
මම ඇඳේ විට්ටමට කොට්ටය තබා හාන්සි වීමි
ඔහු නැවත ඇය මුලා කරාවිද ? ඈ සිටින්නේ තරමක් අසරණ තත්වයකය . එවැනි විටක ඈ මුලා කරන්න ඔහුට ලේසි වෙනු ඇත .එහෙත් මේ ඔවුන්ගේ පුද්ගලික ගණු දෙණුවකි . ඔවුන් එකිනෙකාට නැවත ආදරේකරනු හැකිනම් එය අපි වලකන්නද ? දෙන්නාම වැඩිහිටියන්ය .ඉතින් එහි ඇති වරද කිම ? ඒත් ඔහුගේ සත් භාවය විස්වාස කල හැකිද ?
දැන්නම් මගේ ඔලුව ඇත්තටම කැරකේ . මම සෙමින් අනික් ඇලයට හැරුණෙමි .
හසී හා රුවී කොහේ හෝ ගොස් ඇති හැඩකි .
"දැන් කොහොමද ඔයාට ? තාම ඔලුවේ කැකුමද ?"
නැවත මගේ මිතුරිය එතැනය .ඈ තාමත් සුදු පැහැ සාරියෙන් සැරසීගෙනය .
"ආ මේක බොන්න .ඇපල් සෝඩා"
ඈ සිනා මුසුව මා වෙත වීදුරුවක් පෑවාය . ඇපල් සෝඩා බොන්න මගේ ඇති පෙරේතකම ඇය හොඳින්ම දනී
"තෑන්ක්ස් . අමල් ගියාද ? "
මම වෙනසක් නොපෙන්වා කල්පනාකාරීව ඇසීමි .
"ඔවු ගියා ". ඇය සිහින් හිනාවකින් කිව්වාය
"හ්ම් සොරි ඒ වෙලේ මට මොනව වුනාද මන්දා .හරි මහන්සියක් දැනුනා .නැත්නම් මම එනවා ටිකක් කතා කරන්න .අපරදේ ."
මම ඔහුට කතා නොකිරීම ගැන සමාවට කාරණා එකතු කලෙමි .
ඈ තවමත් සිනාසීගෙනම මා දිහා බලා මගේ අතක් අල්ලා ගත්තාය .
"හ්ම් ..මම ඔයාව දන්නේ දැන් අවුරුදු ගාණක ඉඳන් .ඔයා ලේසියෙන් කෙනෙක් මග අරින්නේ නෑ . විශේෂයෙන් කිට්ටුම යාලුවෙක්ගේ ඉල්ලිමක් .මේ තරම් දුවලා පැනලා වැඩ කල ඔයාට ඔය ටික මහන්සිත් නෑ . ඒත් මම දන්නවා ඔයා කෙනෙක්ට අකමැතිනම් කිසි වෙලාවක ඔයාට ඒක හංගන්නත් බෑ.කොහොමත් ඔයා පැහැදිලි බ්ලැක් ඇන්ඩ් වයිට් මනුස්සයානේ .අමල් ගැනත් එහෙමයි . මම දන්නවා ඒ කාලේ මම වින්ද දුක ගැන ඔයා ඉන්නේ එයත් එක්ක පුදුම තරහෙන් කියලා .ඒක නේද ඔලුවෙ කැකුමක් පිටින් දාලා මග ඇරියේ . ?"
ඈ මගේ හිත නිවැරදිව කියවා ඇති සැටිය .
සොරකම් කල එකෙක් අතටම හසු වූ සේ මම ලජ්ජා වීමි .
"මන්දා මට ලොකු තරහක් ආවා .සොරි මම එහෙම නොකරන්න තිබ්බ .අඩු තරමින් ඔයා මට ඇවිල්ල ඉන්ට්‍රොඩියුස් කරන්න හැදුව වෙලේ එක වචනයක් වත් ඇවිත් කතා කරන්න තිබ්බ'"
"නෑ ඒක හිතන්න එපා .අපි දෙන්න කාලෙක ඉඳන් යාලුවො .ඒ නිසාවෙන්මයි ඔයා නො ආවේ .ඒක මම දන්නවා . ඔයාට අයිතිය තියෙනවා ඕනෙ තරම් එහෙම කරන්න .ඒ අපේ යාලු කම නිසා .අමල්ට මම සමාව දුන්නත් ඔයා , හසීගෙන් එහෙම කිසි සමාවක් නැති බව දන්නවා .හසිත් ඔන්න කියව කියව එහාට මෙහාට දුව දුව මට බණිනවා .ජස්ට් ෆොර්ගෙට් ඉට් "
ඇය අවසන සැහැල්ලුවෙන් සිනා මුසුව කීවාය
කාලක ඉඳන් හඳුනන අපි එකිනෙකාගේ හොඳ මෙන්ම නුගුණ , නොහොඳ , හැසිරීම තරහයාම් ගැන ඉතා හොඳින් දනිමු .ඒවායේ හංගන්න දෙයක් නැත .එසේ වූවාය කියා අපේ යාලුකම අඩු වී නැත .එය හැමදාම වැඩි වෙයි .
මම ආයාසසෙන් සිනාවීමි .
"හරි හරි අපි ඔය ගැන නිවී සැනසිල්ලිලේ උඩ බැල්කණි එකේ මීටිමක් දාමු .බය වෙන්න එපා .මම ඉහල උසාවියට ඔක්කොම කරුණු කාරණා ඉදිරිපත් කරන්නම් ."
ඇය මා හිනාගස්වමින් කිව්වාය
ජීවිතයේ ඉතාම ශෝකී මොහොතකත් ඉවසිල්ලෙන් කතා බහ කරන්නත් ,නිරවුල්ව සිතන්නත් , විහිලුවකින් සිනා සෙන්නත් ඇයට හැකි වීම ගැන මම පුදුම වෙමි .