Sunday, October 30, 2011

වස්සාන මාලිගාවේ ගෙවුන ආනන්දනීය මොහොතක් -Monsoon Palace ( Sajjan Gahr)



මේ දවස්වල හැන්දෑවෙනකොට හතරවටින් අහස කළු කරලා වහින්න පටන්ගන්නවා .වැස්සත් එක්ක එන සීතල ,වැහි වතුර වැටෙන සද්දෙට මම ආසයි .ඔහොම වෙලාවට මම කැමති නිවී සැනසිල්ලේ එක තැනකට වෙලා දුම් දාන කිරි කෝපි එකක් බොන්න .ඒ ගමන් අතීත මතක අහුලන්නත් කැමති .ඔයහිරි පොද වැස්ස මැදින් යාලුවොත් එක්ක කඳුකර මිටියාවත් වල ගිය ගමන් වල රස මතක අවුස්සන්නේ ඔහොම වෙලාවලදී .අදත් නිවාඩු පාඩුවේ වැස්ස රසවිඳින ගමන් පහුගිය දවස්වල ගිය ගමනක්දී ගත්ත  ඡායාරූප එකතුවක් බලනකොට  තමයි මට වස්සාන මාලිගාව මතක්වුනේ.



වස්සාන මාලිගාව එහෙමත් නැත්නම්   Sajjan Gahr  ,  උදයපූර් වල තවත් ලස්සන අප්‍රකට තැනක්.නගරෙන් කිලෝමීටර දහයක් විතර ඈතින් අරවල්ලි කඳු වල තියෙන පුංචි මාලිගාවක්. මේක පිහිටල තියෙන කඳුකර බිම අක්කර දාස්ගානක රක්ෂිත කැලෑවක් .බෑවුම් පාරක් දිගෙයි මාලිගාවට යන්න ඕනේ . අතරමග වඳුරො , මොනරු , මීමින්නො , මුව පැටවු එහෙමත් හම්බවෙනවා . මම වස්සාන මාලිගාව බලන්න ගියෙත් උදයපූර් වල අහස කලු කරන් පැල් බැඳන්  වහින දවස්වල .ඒ නිසාම වැහි අඳුරේ , පොදවැස්සට තෙමීගෙන මේ කඳුකර මාලිගාවට ගිය ගමන හරි සුන්දරයි .


උදයපූර් කියන්නේ රාජස්ථානයේ ප්‍රෞඩ මහරාජාවරුන්ගේ වංශයක් වුන 'මර්වාර්" වරුන්ගේ වාසභූමිය . නගර මාලිගා ,අලංකරණ කටයුතු වෙනුවෙන් ඔවුන් දැක්වූයේ පුදුම උනන්දුවක් .අරවල්ලි කඳු මුදුනේ මේ වස්සාන මාලිගාව ඉදිවුනෙත් එහෙමයි . මර්වාර් රාජවංශයේ සාජන් සිං කියන මහරාජා තම්යි මහල් නවයකින් යුත් මාලිගාව ඉදිකරල තියෙන්නේ ඒ 1874-1884 කාලේ . මෙතැන පාවිච්චිවෙලා තියෙන්නේ වැහි වලාකුලු නිරීක්ෂණය කරන කාලගුණික මධ්‍යස්ථානයක් හැටියට .ඒවගේම මහරාජාවරු දඩයමේ යද්දිත් වැහි කාලයේ විනෝදයෙන් ඉන්නත් පරිහරණය කල මාලිගාවක් .පොලවත් බිත්තිත් සුදු කිරි ගරුඬ වලින් නිමවලා තියෙන්නේ .වලාකුලු ආරුක්කු සහිත ද්වාර වලින් යුත් රාජස්ථානයට ආවේණික වාස්තු නිර්මාණශිල්පය මෙහිත් තියෙනවා . ඇතුලේ වනජීවී තොරතුරු එකතුවකුත්  තියෙනවා .


පොලව මට්ටමේ ඉඳන් මීටර දාහක් විතර උසින් තියෙන මේ මාලිගා බිමේ ඉඳන් බැලුවම මුලු උදයපූර් නුවරම හරි ලස්සනට පේනවා . පිචෝලා හා පතා සාගර් විල් , අරවල්ලි බෑවුමේ කොලපැහැයෙන් වැසුන මිටියාවත් දකගන්න පුලුවන් .මාලිගාවේ තුන්වෙනි මහල වෙනකන් ඉහලට නැග්ගම හරි අපූරුවට මේ දේවල් පේනවා .සාජන් සිංගෙන් පස්සේ ආව මහරාජාවරු මෙතැන ගැන එතරම් සැලකිල්ලක් දක්වලා නෑ.ඒ ජල පහසුකම් නොතිබ්බ නිසා .නමුත් මෑත අතීතයේ 1956 විතර එවක සිටි උදයපූර් මහරාජා ආයෙත් මෙතැන  ප්‍රතිසංස්කරණය කරලා උදයපූර් වැසියන්ට පවරලා තියෙනවා විනෝද උයනක් හැටියට . මෙතැන පෙම්වතුන්ගේ පාරාදීසයක් කියන්නත් පුලුවන් . යන එන අයට නිවී හැනහිල්ලේ විවේක ගන්න උද්‍යාන බංකු තියෙනවා . ඒවගෙම හොඳට පායන දවස් වල ඉර උදාවත් , ඉර බැහීමත් බලන්න පුලුවන් පහසුකම් තියෙනවා .


වැහි අඳුරේ , පොදවැස්සට තෙමීගෙන ඔය බංකුවක් උඩට වෙලා ,ඈත මීදුමෙන් වැහුන මිටියාවත් දිහා බලන් ,සීතල සුලඟ විඳිමින් මාත් සෑහෙන්න වෙලාවක් මෙතැන හිටියා . ඒ මොහොත ගැන නම් කියන්න වචන නෑ . මුලු ලෝකෙන්ම ඈත්වෙලා ,කරදර ,වැඩ රාජකාරි ඔක්කොම මොහොතකට අමතක කරලා මොණරුන්ගේ සද්දෙ අහගෙන  ඇස්පියාගෙන අනන්තයට ගිය පැය කීපයක් .ජීවිතේ ගතකෙරුව හොඳම මොහොතක්.
ආනන්දනීය අත්දැකීමක් .


ප/ලි

වැස්ස එක්ක අපි ඉන්න  මනෝභාවය ,පරිසරය සමග  වැස්ස විඳීම  සිද්දවෙනවා( මම මේ කියන්නේ ගංවතුරක් නෙවෙයි හොඳේ ) මට එහෙම හිතුනේ හදිස්සියෙන් මතක්වුන ථේර ගාථාවක් නිසා .මේ ගාථාවේ සිංහල පරිවතනේ මතකින් කියන්න තරම් මගේ මතකය පැහදිලි මදි . ඊට අදාල පොත තමයි පරාක්‍රම කොඩිතුවක්කු මහත්මයගේ රශ්මි කියන කාව්‍ය ග්‍රන්ථය . ඉන්ග්‍රිසියෙන් ඔය අදාල ථේර ගාථාව මම දැක්කේ  දැන් කියවමින් හිටි පොතක තිබිලා . මේ අජකරණී කියන නදිය අසබඩ දන් වලඳලා සැහැල්ලු සමවත් සුවෙන්න හිටි වෙලාවක හාත්පස පරිසරය වැස්සකට සූදානම් වෙන විදිය දුටුව රහතන් වහන්සේ නමක් ඒ පරිසරය ඇසුරෙන්  තමන්ගේ ආනන්දනීය අත්දැකීම කියන විදිය .

When the cranes with clear pale wing 
Fly in fear with the black cloude 
seeking shelter and finding none
The river Ajakarani gives me joy

From- Wonder That was India - p459 by A.L Basham

මේ ඉන්ග්‍රිසි කවියේ සිංහල අදහස මගේ පරිවර්තනයක්

කලු වැසි වලාකුලට බිය වැද
ලැගුම් සොයා
අව පැහැ පියාපත් සලා  
පලා යන කණකොක් රැලින් යුතු
අජකරණී නදිය
මසිතට ආනන්දනීය වෙයි 



 

Saturday, October 8, 2011

ට්‍රාන්සිට් ට්‍රැවලර් 1



දෙපැයකට කලින් කොලඹ කටුනායකින් අහසට නැගුන ජෙට් එයාර්වේස් ගුවන්යානය චත්‍රපති ශිවාජී ජාත්‍යන්තතර ගුවන්තොටෙන් ගොඩබාන්නයි සූදානම .දැන් වෙලාව හරියටම රෑ දයයි .ගුවන්යානය නියමිත වෙලාවට ගුවන්තොටට ගොඩබාන්න සූදානම් වග නියමුවා නිවේදනය කරනවා .වින්ඩෝ සීට් එකක් ගාව හිටිය මට  අහස සිඹින විදුලි එලියෙන් ආලෝකවත් වුන දැවැන්ත දැකුම්කලු ගොඩනැගිලි වලින් අලංකාර වුණ පසෙකින් සයුරු තීරයකට මායිම් වුණ මුම්බායි නගරයේ මනරම් දසුනක්  දිස්වෙනවා.

එතකොට මට මතක්වුනේ පුංචිකාලේ අම්මගේ මල් මල් සාරි කෑල්ලක් දෝතියක් වගේ පටලන් , කොස්කොල ඔටුන්නකුත් දාගෙන , කලුපාට ප්ලැටිග්නම් කූරකින් රැවුලක් ඇඳලා , මූණ පුරා පවුඩර් නාලා , රතුපාටින් කම්මුල් පාටකරලා, පොඩි කුඩේකුත් අතට අරන් බහුබූත කෝලම නට නට කිව්ව කවියක්.

බහුබූතයෙකි මම බොම්බායේ
වෙලඳාම කරන්නෙමි ලංකාවේ
හෙරලි ටිකක් මම කෑ සොඳිනා
මගෙ හැකිලී තිබුණ බඩ ඩෝලේ වුනා
.....................................................
අක්කාවරුනි මගෙ නැටුම් බලා
මට දෙනවද දැන් තෑගි සොඳා

බොම්බාය ලෝකෙ කොහේ තියෙනවද කියල පුංචිකාලේ මට තේරුමක් තිබුනේ නෑ .ඔන්න ටිකක් ලොකු මහත්වෙලා හින්දි චිත්‍රපටි පිස්සුවෙන් පෙලෙන කාලේ තමා දැනගත්තේ බොම්බාය කියන්නේ ඉන්දියාවේ සිනමා කර්මාන්තයේ මහගෙදර පිහිටි බොලිවුඩ් පුරේ කියලා .ඒත් පොඩි කුහුලක්  තිබුණා .ලෝක ඉතිහාසය , සිතියම් පොතේ නැවු තොටු ඉගෙනගත්ත කාලේ බොම්බාය -Bombay කිව්ව ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ප්‍රධාන නගරයට ඇයි  දැන්  මේ මුම්බායි -Mumbai කියන්නේ කියලා .මගේ ගුවන් ටිකට් පතෙත් නගරයේ නම සටහන් වුනේ මුම්බායි කියලා  ඒ ගැන නම් බොම්බායට ගොඩ බහින්න කලින්ම ටිකක් සොයාබැලුවා .  මුම්බා දේවිය-Mumba Devi  කියන දෙවඟනට ගරු කරන්න මරාති බාෂාවෙන් මේ නගරය මුම්බායි කියලා හඳුනවලා ."ආයි" කියන්නේ මාරාති බාෂාවෙන් අම්ම කියන අරුත .මුම්බා අම්මගේ නගරය මුම්බායි කියල මරාති වැසියො කිව්ව වුනත් කාලයක් ඉන්දියාව යටත්කරගෙන මුම්බායේ නැවුතොටේ තමන්ගේ වෙලඳ අණසක පතුරන් හිටි සුද්දට මේ නම උච්ඡාරණය කරන්න පුලුවන් වෙලා තියෙන්නෙ බොම්බේ කියලා .ඉතින් ලෝකෙ කවුරුත් සුද්දට මුල්තැන දීල බොම්බේ , එහෙම නැත්නම් බොම්බාය කිව්ව මේ නුවරට ආයේත් එහි මරාති නම නිල වශයෙන් ආරූඪ කරන්නේ  1996 දී එවක ප්‍රබල දැඩි මතධාරී  දේශපාලන පක්ෂයක් වුණ ඉන්දියාවේ  ශිව් සේනා පක්ෂය. කැලේ මාරුවුනාට කොට්ටියගේ පුල්ලි වෙනස්වෙනවද ? ඒනිසා ඔන්න මමනම් කැමති අර පරන සිතියම් පොතේ තිබ්බ සුද්දා කිව්ව බොම්බාය කියන නමට . 



ඔය බහුබූත කෝලම් නටන පුංචිකාලේ කවදද හිතුවෙ හැබෑවටම බොම්බායට යන්න ?.ඒත් ඉතින් මේ අවුරුද්දේ සැප්තැම්බර් දිහාවට මට එහේ යන්න වුනා .වෙලඳාමක් කරන්න නෙවේ හොඳ යාලුවෙකුට වෙච්චි පොරොන්දුවක් ඉටු කරන්න . ඇත්තටම ඒක වුණෙත් හරි අහම්බෙන් .මට යායුතුව තිබ්බේ අහමදාබාද් නුවරට රාජකාරියකට .ඒ යන්න වුණේ බොම්බාය හරහා .නියමිත දිනේට අහමදාබාද් වලට යන්න ගුවන් යානයක් වෙන් කරගන්න බැරි වුන නිසා ඊට දවස් දෙහෙකට කලින් අහමදාබාද් වලට යන්න මට සිද්දවෙලා . ඒ කියන්නේ දෙදොහක් නිකන් අහමදාබාද් වල රස්තියාදුවෙන්න වෙනවා .ඒ සති අන්තයක් . ඔන්න එතකොට තමයි මට ටිකිරි මොලේ පහලවුනේ .බොම්බායේ ඉන්න මගේ හොඳ යෙහෙලියකට කවදහරි එයාව දකින්න එනව කියලා වෙච්චි පොරොන්දුව ඉටුකරන්න මේ හොඳම වෙලාව කියලා . ඔය වග විස්තර කියලා   මේල් එකක් ස්වේතට ලිව්ව විතරයි සාදරයෙන් "මුම්බායට "පිලිගන්නවා කියලා මට පිලිතුරු  මේල් එකක් ලැබුණා .ඒ විතරක් නෙවේ මගේ
ලංකාවේ ට්‍රැවල් ඒජන්ට් සති අන්තයේ ඉරිදට බොම්බායේ ඉඳන් අහමදාබාද් වලට යන්න මගේ ගුවන් ගමන වෙනස්කරන්න ලොකු මුදලක් ගෙවන්න කිව්ව වෙලාවේ උදව්වට ආවේත් එයා . චීප් ඩොමෙස්ටික් ෆ්ලයිට් එකක් බුක් කරලා මාව ඒ කරදරෙන් ගලව ගත්තා .ඉතින් රාජකාරියට අහමදාබාද් ලට කලින්ම යන්නේ    නැතුව මම ට්‍රාන්සිට් ට්‍රැවලර් කෙනෙක් හැටියට ඔන්න ඔහොමයි අහම්බෙන් බොම්බායට ගොඩබහින්න පොටක් පාදගන්නේ . සිකුරාදාවක මහ රෑ බොම්බායට ගොඩබහින මගේ අරමුණ වුණේ හොඳම මිතුරියක් එක්ක අල්ලාප සල්ලාපයේ යෙදීමේ ප්‍රීතියත් පොඩි කාලේ හීනයක් වුණ ඉතිහාස පොතෙන් කියෙව්ව ලෝක සිතියමෙන් දැක්ක බොම්බාය කියන වෙලඳ නගරය දැක ගැනීමත් .


ගුවන් යානයෙන් ගොඩබැහැල සෙනග පීරන් ගමන් මලු දෙක බෙල්ට් එකෙන් ගත්ත මම ඉස්සෙල්ලම කලේ නොනිදා මම එනකන් මග බලන් ඉන්න මගේ මිතුරියට කෝල් එකක් දිල්ලා මම ගොඩබැස්ස වග දැනුම්දීම . මොබ්බායේ චත්‍රපති ශිවාජී ජාත්‍යන්තර ගුවන්තොට පැය විසිහතර පුරාම බොහොම කලබල කාරී ජනාකීර්ණ ගුවන්තොටක් . බොහෝ යුරෝපා ,මැද පෙරදිග , අප්‍රිකා , ඔස්ට්‍රේලියා රටවලට ගුවන් ගමන් ක්‍රියාත්මක වෙන මධ්‍යස්ථානයක් . සෙසු ඉන්දියානු නගර වල ගුවන්තොටවල් සමග සන්සඳනය කරද්දී පිරිසිඳු නවීන ගුවන්තොටක් .නමුත් රට ඇතුලේ ගුවන් සේවා ක්‍රියාත්මක වෙන ගුවන්තොට තියෙන්නේ මීට තරමක් ඈතින් . බොම්බායේ ඩොමෙස්ටික් එයාර්පෝට් එකෙන් ගොඩබහින මගියෙකුට ඉන්දියාවෙන් පිට රටක  ගුවන්තොටකට යන්න ඕනෙ නම් චත්‍රපති ශිවාජී ජාත්‍යන්තර ගුවන්තොටට මගීන් නොමිලේ ගෙනයන ගුවන්තොටුපොල බස් රථ සේවයකුත් තියෙනවා.


කලින්ම ස්වේතා ඊ මේල් එකකින් එවලා තිබ්බ උපදෙස් නිසා මේ පාර ගුවන්තොටෙන්ම ප්‍රී පේඩ් ටැක්සියක් සොයාගන්න ඒතරම් අමාරුවුණේ නෑ .වෙලාව රෑ එකොලහට විතර මම මරුටි කාර් එකක නැගිලා ගුවන්තොටේ ඉඳන් විනාඩි හතලිහක් විතර නුදුරෙන් තියෙන කාදිවාලි ඊස්ට් වල ඉන්න මගේ මිතුරියගේ නිවහනට යන්නයි කල්පනාව .ටැක්සි රියදුරා ටිකක් ඉන්ග්‍රිසි කතාකරන එක හිතට සහනයක් .

තමන් මුලින්ම ගොඩබහින ඔනෙම රටක් ,නගරයක් ගැන පලවෙනි අදහස පහල වෙන්නේ ගුවන්තොටකින් එලියට බැහැලා පාරදිගේ යනකොටනේ .මහ රෑ වීදි දිගේ ඇදෙන වාහනයෙන් එලිය බැලුව මට පෙනුනේ පුදුම දසුනක් .ඒ වීදි දෙපස , අගු පිල් වල , ගුවන් පාලම් යට හරියට සැමන් ඇහිරුව වගේ පැක් වෙලා එක පේලියට,එක යායට  නිදාගන්න මිනිස්සු සමූහයක් .එතකොටයි මට මතක්වුණේ බොම්බාය කියන්නේ ආසියාවේ දෙවැනි විසාල මුඩුක්කුව වුණ ධාරවි-Daaravi පිහිටලා තියෙන මිලියන 20 කට  අධික ජන ගහනයක් සහිත ඒවගෙම අවුරුද්දකට මිලියන 10 ක් විතර සංක්‍රමණිකයන් රැකියාවක් ,ජීවත් වෙන්න මාර්ගයක් සොයාගෙන එන තුන්වෙනි ලෝකෙ රටවල් වල අධික ජන ගනත්වක් තියෙන නගරයක් කියලා . මහපාරෙන් ජීව්තේ හොයන්න ආව මිනිස්සුන්ගේ සුව යහන වුනෙත් මහපොලව.

කරදරයක් නැතුව නියමිත ලිපිනයේ පිහිටි නිවාස සංකීර්ණයට ලඟා වුණ මම බෑග් දෙකත් උස්සන් විදුලි සෝපානයෙන්  හත්වෙනි මහලෙන් බහිනකොටම දැක්කේ මාව පිලිගන්න දුවගෙන එන මිතුරිය ස්වේතා .රෑ මැදියමක් වෙනකන් මම එනකන් එයා ඇහැරගෙන ඉඳලා ."අපරාදෙ කියන්න බෑ මේ ටී ජී ඉතින් යාලුවෙකුට පොරොන්දුවක් වුනොත් රෑ මැදියමේ හරි ඒක ඉටු කරනවනේ" කියල එයා මට විහිලුවකුත් කරලා ගමන් මලු දෙක අතට අරන් මගේ බර හෑල්ලු කලා . මට වෙන්කරල තියෙන කාමරයත් ,ඇඟ පත හෝදගෙන පිරිසිඳුවෙන්න නාන කාමරයත් පෙන්නුව ස්වේතගේ ඊලඟ ප්‍රශ්නේ වුනේ මගේ රෑ කෑම .කෑම කන්න තරම් පිරියක් නැති නිසා මගේ ඉල්ලිම වුණේ හොඳ උණු උණු චායේ එකක් . TG  Do you need Indian Tea ? ස්වේතා ආයෙත් අහලා සැක හැර දැනගත්තා .

මම නාලා පිජාම එකත් ඇඳන් කුස්සියට එද්දී   මගේ මිතුරිය ලොකු උස මග් දෙකකට චායේ හදාගෙන කුස්සියේ කෑම මේසෙට වෙලා බලන් ඉන්නවා . කරදමුංගු ,කරාබු නැටි ,එනසාල් , කුරුඳු ,එලකිරි , තේ කොල එකට උනු කරලා , ගානට සීනි දාලා හැදුව තේ එකේ සුවඳ එනකොට මගේ ගමන් මහන්සිය කොහේ ගියාද මන්දා . ආහ්.... මේ තමයි මම ඉන්දියාවෙදි බිව්ව මතක තියෙන හොඳම චායේ එක . ඒ චායේ සුවඳත් , මම එනකන් මග බලාගෙන හිටිය මගේ මිතුරියගේ ආගන්තුක සත්කාරයත් රෑ මැදියමේ දිග අල්ලාප සල්ලාපයකට මුල පුරන්න හොඳ පරිසරයක් නිර්මාණය කලා . අපි දෙන්නම එක වගේ ක්ෂේත්‍රයක වැඩකරන නිසාත් ටිකක් එක වගේම පිස්සු නිසාත්  කතාකරන්න ඕනෙ තරම් මාතෘකා තිබුණා . අහස උසට නැගුණ බොම්බායේ තට්ටු නිවාස සංකීර්ණයක හත්වෙනි මහලේ පුංචි කුස්සියක මේසෙ වාඩිවෙලා උණු උණු චායේ බොනගමන් අපි කතාකලේ ලංකාවේ සහ ඉන්දියාවෙ නූතන දේශපාලන ප්‍රවණතා ගැන . අපේ චායේ කෝප්ප හිස් වෙලත්  පුංචි කුස්සියේ වට මේස කතාව ඉවර නැහැ. වරක අපි ලෝක දේශපාලනේ ඉඳලා , මිනිස් අයිතිවාසිකම් හරහා හින්දු හා බෞද්ධ දර්ශනයේ  ඉගැන්වීම ගැනත් එයින් නොනැවතී ලංකාවේ ආහාර රටා ගැනත්  කතා බහ  කරමින් හිටියා . උයන්න පියන්න වගේම බුද්ධිමය ප්‍රිය සංවාදයටත් ගෑනු එකතුවෙන්නෙ කුස්සියට ද කියලා අපිට හිතිලා හිනාත් ගියා.මුලු නිවාස සංකීර්ණයම නිදිගත් එලිවෙන පාන්දර ජාමේ ඒ පුංචි කුස්සියේ හිනාව හා මිත්‍රත්වය ගලමින් තිබුණා .එදා උදේ පාන්දර හයට කොලඹට ඇවිත් නවයේ ඉඳන් ඔෆිස් එකේ වැඩ කරලා හවස හතරට ගුවන්තොටුපොලට යන්න පිටත්වෙලා තව පැය තුනක්  ගුවන්තොටේ ඉඳලා , ආයෙත්  දෙපැයක ගුවන් ගමනකින් පස්සේ රෑ මැදියමේ ඉඳන් පහුවදා එලිවෙන පාන්දර පහ වෙනකන් අල්ලාප සල්ලාපයේ යෙදෙන්න තරම් ශක්තියක් මට ඉතිරිවෙලා තිබුණා.රෑ මැදියමේ නිදිවරාගෙන පහුවදා පහන්වෙනතුරු මා එක්ක කතාබහ කරන්න ප්‍රිය මිතුරු සමාගමකුත් තිබුණා . ප්‍රියයන් හා එක්වීම සතුටක් කියන්නේ මේ වගේ හමුවීම් වලට වෙන්න ඕනේ  .

ප/ලි

බොම්බායේ රවුම් ගැහුව විස්තර පසුවට බලාපොරොත්තුවන්න