Wednesday, May 18, 2011

දකු මනරම් සව් සිරි පිරි තොටගමුව


අනංග දෙවිඳු

වෙස්සන්තර කතාව -ජූජකයා දරුවන් කැටිව යාම

පංච නාරි ඝටය

සක් පිඹින්නා

සාම ජාතකය
රහතන් වහන්සේ නමක්

මාර පරාජය

ද වෙසක් පුන් පෝයදා පන්සල් යන්න හිතුවා .ඉතින් හවස් යාමේ අයිස්ක්‍රීම් , සිසිල් බීම දන්සල් කීපයකුත් වැඳපුදාගෙන තොටගමුවේ රන්පත් පුරාණ රජමහා විහාරයට ගියා .ගාලු කොලඹ ප්‍රධානපාරේ කහව සහ හික්කඩුව කියන නගර දෙක අතර තියෙන පනස් හත්වෙනි  සැතපුම් කණුව කිට්ටුව තියෙන අතුරු පාරකින් මීටර පන්සීයක් විතර ඉස්සරහට යනකොට තමයි "තෙල්වත්තේ පුරාණ තොටගමු රන්පත් රජ මහා විහාරය " හමුවෙන්නේ.පන්සල පිහිටි ගම  ගම හඳුන්වන්නේ තෙල්වත්ත කියලා .

මේ පන්සල ඓතිහාසික  වශයෙන් බොහොම වැදගත්කමක් ගන්න පූජනීය ස්ථානයක් . පුරා විද්‍යා දෙපාර්තමේන්තු ලිපි ලේඛණ වල "තෙල්වත්තේ පුරාණ  තොටගමු රජ මහා විහාරය" ලෙස හඳුන්වන නමුත් ගම් වැසියන් අතර ප්‍රසිද්ධ "තොටගමු විහාරය" කියලා.ලංකාවේ විහාර දේවාල වල නම් ගම් ඇති පැරණි පොතක් වෙන "නම් පොතෙත් " පන්සල හඳුන්වන්නේ ඔය කියන  නමින්. මෙහි සිත දියුණු කරගත් රහතුන් වහන්සේලා  වැඩසිටි නිසා රන්පත් විහාරය ලෙස හැඳින්වුණාලු. මේ පන්සලේ ඉතිහාසය අනුරාධපුර ,පොලොන්නරු යුගයන් තෙක් දිව යනවා .පොලොන්නරු යුගයේ සිටි පලවන විජයබා රජතුමා මෙහි විහාර කර්මාන්ත කෙරෙව්වා කියලා පැරණි පොතපතේ තියෙනවා.

කොහොම නමුත් මේ විහාරයේ ස්වර්ණමය යුගය සනිටුහන්වන්නේ කෝට්ටේ රාජධානි සම්යේ විසූ සයවෙනි පැරකුම්බා රජුගේ අනුග්‍රහය සහ උගත් පැවිදි පඬිරුවණක් වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන්ගේ අධිපතිත්වය නිසා.ෂඩ් භාෂා පරමේශ්වර රාහුල හිමියන් හා තොටගමු විහාරය අතර ඇත්තේ ගසට පොත්ත මෙන් බැඳුන සම්බන්ධතාවක් .

කුමර වියේ සිටම කාව්‍ය ශාස්ත්‍රයට උපන් හපන් කම් පෑ රාහුල හිමියන් ගැන බොහෝ ජනප්‍රවාද තියෙනවා. උන්වහන්සේ කුඩා කාලේ තමන්ගේ දුක සැප විමසන්න ආව හයවැනි පැරකුම්බා රජුට කවියකින් උත්තර දුන්නේ මෙහෙම

මා වැනි බිලින්දා -වර වර ලඟට කැන්දා
දුක් සැප කුමන්දා - අසන නිරිඳෝ වෙන කොයින්දා

පුංචි රාහුල හාමුදුරුවෝ පන්සල් මිදුලේ තිබුණ ගොම ගොඩක් අස්කරන්න සුර දෝතා නම් කොලුගැටයාට කවියකින් කිව්ව විදිය මේ

සුර දෝතා -වර මෑතා
ගොම දෝතා- දම ඈතා

වීදාගම මෛත්‍රිය හිමියන්ගේ ගෝලයෙක් වුණ රාහුල හිමියන්  සංස්කෘත, ප්‍රාකෘත,මාගධි, පෛසාචි,සෞරසේනි , අපබ්‍රංස කියන භාෂා හයෙහි කෙල පැමිනි උගතෙක් .ඒනිසයි උන්වහන්සේ ෂඩ් භාෂා පරමේෂ්වර වුනේ . කාව්‍ය කරණයේ කෙල පැමිනි රාහුල හිමියන් පරවි, සැලලිහිණි සන්දේශ කාව්‍ය සහ කාව්‍යශේඛරය රචනා කර තිබෙනවා.ඒ විතරක් නෙවේ ගුප්ත විද්‍යාවන්ගේ පරතෙරටම උගත් හාමුදුරුවෝ යකුන් ගස් බැඳගෙන වැඩගත්තා කියා ජනප්‍රවාද කතාවල කියවෙනවා.

කෝට්ටේ යුගයේ හයවැනි පැරකුම්බා රජුගේ නොමද රාජ්‍ය අනුග්‍රහයත් ,රාහුල හිමියන්ගේ හසල බුද්ධි ප්‍රභාවත් හේතුවෙන් පහලොස්වැනි ශතවර්ෂයේ තොටගමු විහාරය උසස් විද්‍යාස්තානයක් වෙලා තියෙනවා .එහි වූ විජයබා පිරිවෙණෙහි බොහෝදෙස් විදෙස්  ගිහි පැවිදි උගතුන් ඉගෙනුම ලැබුවාලු.ඔවුන්ට කාව්‍ය , ඡන්දස්,තර්ක ශාස්ත්‍රය ,තුන්පිටකය , ගුප්ත විද්යා,සකු ,මගධ,දෙමල භාෂා, වෛද්‍ය ශාස්ත්‍රය,අර්ථශාස්ත්‍රය උගන්වලා තියෙනවා."තොටගමුවෙ වෙලත් බණ බැරිනම් වැඩක් නෑ කියල" මේ පන්සල පැත්තේ මිනිස්සු අතර ජන වහරේ කියවෙන ප්‍රස්ථාපිරුලකුත් තියෙන්නවා.  උසස් අධාපන ආයතනයක් ලෙසින් විජයබා පිරිවෙණෙහි වූ අතීත ශ්‍රී විභූතිය ගිරා සංදේශයේ මේ  කවි පෙලින් කියවෙනවා.

විදි විහිගුම් සමුදුර වෙරළත හමුව
සුර පුර බිම් බටමෙන් වඩවන ළමුව
සැදි පලරම් විසිතුරු ගෙවුයන් සුමුව
දකු මනරම් සව් සිරි පිරි තොටගමුව (197 පැදිය )

තුරු යටියෙන් හුණු පැටි ලෙහෙණුන් රැගෙන
සිතු අටියෙන් සිඹ ඇඟැ පිරිමැද සෙමින
මල'ගටියෙන් පැන් පොවමින් අතින'තින
සිටිපැටියෙන් හෙරණුන්ගෙන් වෙයි සොබන  (208 පැදිය )

මනරම් වෙහෙර තුල තැන තැන සපැමිණිය
සිතියම් බණ අසුන් විදහා අපමණය
සිත සොම්නසින් සිහිකර කර බුදු ගුණය
අබිදම් පෙල අරුත් විමසන සඟගණය (219 පැදිය )

ඔය කවි අතරින් ගස් වලින් බිම වැටුන ලේන් පැටවු ආදරයෙන් සිඹ පිරිමැද සනහා මල්ගොටු වලින් උන්ට පැන් පොවන පුංචි හාමුදුරුවරු ගැන කියන කවියට මම ගොඩක් ආසයි.ජනප්‍රවාදයන්ට අනුව මේ මහා පිරිවෙණෙහි විසූ විද්‍යාර්ථින්ගේ නඩත්තුවට අහල පහල ගම් වලින් ලොකු සේවයක් වෙලා තියෙනවා .ඔය හේතුව නිසාම ඒ ගම් වලට නම් යෙදිලා තියෙන්නෙත් ඔවුන් පිරිවෙණට සැපයූ සේවාව අනුව .

1) අහාර පාන සහල් බත් සැපයූ ගම -බත් දුන් ගම -බද්දේගම
2) සීනි සැපයූ ගම -සීනි ගම
3) පූජාවට මල් සැපයූ ගම -මල්වැන්න, මලවැන්න
4) පෙරහන්කඩ සැපයූ ගම- පැරෑලිය
5) පහන් පූජාවට තෙල් සැපයූ ගම -තෙල්වත්ත
6) රෑ පහන් ආලෝකවත් කරන්න මී ඉටි සැපයූ ගම -මීටියාගොඩ
7) හාමුදුරුවන්ට වෙහෙර විහාර තනාදුන් ගම -විහාරගොඩ , වේරගොඩ
8) සිවුරු පඬුපොවන්න උදවු කල ගම -කහව
9) අවු වැසි වලින් ආරක්ෂාවෙන්න බට පැලලි සැපයූ ගම - බටපොල
10) පිරිවෙණට සම්බන්ධ බමුණන් නැවතීසිටි ගම -බ්‍රහ්මණවත්ත  

ශ්‍රීවිභූතියෙන් ඇලලී ගිය මේ උසස් අද්‍යාපන ආයතනයට කණකොකා හඬන්නේ 1505 පෘතුගීසි ආක්‍රමණයත් එක්ක .ඔවුන් සියලු වෙහෙර විහාර ගිනිබත් කරනවා. ශතවර්ෂ දෙකක් විතර වල් බිහිවුණ මේ පුදබිම කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ,වැලිවිට සරණංකර සංඝරාජයන් සමග මෙහෙයවූ ආගමික පුනරුදය නිසා නැවත ස්ථපනයවෙනවා ඒ 1734-1799 කාලෙදී. ඔය වකවානුවේ දැන් පුරාණ පිළිමගෙය කියලා හඳුන්වන විහාර මන්දිරය ගොඩනැගෙනවා.1805 දී දැන් අලුත් පිලිමගෙය කියලා හඳුන්වන විහාර මන්දිරය නිමවෙනවා .


පුරාණ පිළිමගෙයත් , අලුත් පිලිමගෙයත් කලාත්මක වශයෙන් බොහොම වැදගත් තැන් දෙකක් .මේ පිලිම ගෙවල් දෙකේම මහනුවර සම්ප්‍රදායට අයත් බිතු සිතුවම්, ලතා ,මාලා කර්ම  වලින්  අලංකාරවෙලා තියෙනවා.පැරණි පිලිමගෙයි වෙස්සන්තර ජාතකය , දහම්සොඬ ජාතකය සිතුවමට නගා තියෙනවා . එහි අන්තරාලයේ විශේෂ දෙව් රුවකුත් අඹලා තියෙනවා.ඒ විවාහයට ප්‍රෙමයට අදිපති අනංග දෙවියාගේ රුව .ලංකාවේ අනංග දෙවි රුවක් සහිත එකම පන්සල තොටගමු විහාරය  බවයි කියන්නේ.ගර්භ ගෘහයේ සැතපෙන් පිලිමයට ඉදිරියෙන් මතු බුදුවෙන බෝසතුන් බවට විශ්වාස කරන උපුල්වන් දෙවි රුවක් අඹාතියෙනවා .අලුත් විහාරගෙයි සාම ජාතකය ,අටවිසි බුදුවරු , බුදුන්වහන්සේ බුද්ධත්වයට පත්වී කල මාර පරාජය එහෙම දැකගන්න පුලුවන් .බුදුන් බුදුවූ බවට මහී කාන්තාව සාක්ෂි දෙන අයුරු , කෝපයෙන් දැවෙමින් ඇතුපිට නැගී සේනාව සමග එන මාරයා අපූරුවට සිත්තමට නගා තියෙනවා.

නුවර යුගයේ සිතුවම් වලට ආවේණික කහ ,රතු,සුදු ,නිල් වර්ණ රටා  සහ ද්විමාන  මිනිස් රූ ,සතුන් , ගස් වැල් මේ සිත්තම් වලත් තියෙනවා.මහනුවර යුගය වනවිට මහා සම්ප්‍රදායන්ගෙන් ඈත්වුණ ජන කලා සම්ප්‍රදායකට සාහිත්‍ය කලාවන් යොමුවෙලා ගැමියන් සිත්තරුන් වෙලා පොදු ජනයාගේ පහන් සංවේගය,ශ්‍රද්ධාව  පිණිස බණ කතා සිතුවමට නගනවා .1799දී නිමැවූ පුරාණ පිළිමගෙයි සිත්තම් අඳින්න ගාලුදිසාවේ කඩොල්ගල්ලේ මහ සිත්තරා සහ පොඩ්ඩ සිත්තරාගේ සේවය ලබාගෙන තියෙනවා.අලුත් පිලිමගෙයි සිතුවම් නිමවලා තියෙන්නේ අටකෝරළේ මුදියන්සේ සිත්තරා.විහාරගෙවල් වල බිතු සිතුවම් ගැන කියනකොට මතකද සැලලිහිණියේ එන තොටගමුවේ  රාහුල හිමියන් ලියූ මේ කවි පද ?

මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවතී
බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති

18 වැනි හා 19 වැනි සියවස් වලත් තොටගමු විහාරය එවක විසූ දානපතියන්ගේ අනුග්‍රහයෙන් දියුණු පමුණු කරලා තියෙනවා .ඒ අතරින් සුවිසාලව ඉදිවුණ බණ මඩුව විශේෂයි .නමුත් කෝට්ටේ යුගයේ විශිෂ්ට විද්‍යාස්තානයක් ලෙස පැවති යුගයනම් ඉන් පස්සේ ආව පර සතුරු උවදුරු එක්ක ගරාවැටෙනවා.විශේෂයෙන් ඉංග්‍රිසින් කෝල්බෘක් ප්‍රතිසංස්කරණ යටතේ පිරිවෙන් අධ්‍යාපනය බැහැර කර දමනවනේ .ඉතින් පන්සල් වලට විසාල අධ්‍යාපන ආයතන පවත්වාගෙන යන්න රාජ්‍ය අනුග්‍රහය නැතිවෙලා බටහිර මිෂනාරී අධ්‍යාපනය පැතිරෙනවා. එහෙම වුණත් අදටත්  පොඩි හාමුදුරුවරු 25 නමක් විතර විජයබා පිරිවෙනේ ඉගෙන ගන්නවා.

යුග කීපයක් තිස්සේ නැගෙමින් , වැටෙමින් පැවතගෙන එන මේ පැරණි පන්සලේ අදත් ඒ අතීත ශ්‍රී විභූතියේ නටබුන් තියෙනවා ,නමුත් මේ වනවිට බිතු සිතුවම් බොහොමයක් දුර්වර්ණ වෙලා විනාශවෙමින් යනවා.පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ඒගැන ඉක්මන් පියවරක් නොගත්තොත් මේ සිතුවම් තව ටික කාලෙකින් මැකිල යාවි.ඒ වගේම පන්සල නිධන් හොරුන්ටත් ගොදුරු වුණ කාලයක් තිබුණා . පහුගිය සුනාමි මහා ජල ගැල්ම වෙලාවේ අහල පහල ගම් වල  අසරණ වුණ බොහෝ පිරිස් දිවි ගලවාගන්න දුවගෙන ආවෙත් මේ පන්සලට .පුරානෝක්ති කතාවක කියනවා කැලණිතිස්ස රජ සමයේ මුහුද ගොඩගැලූ විටත් සක් දෙවි රජ මේ පන්සල ආරක්ෂා කලා කියලා. ගැමියො අදත් කියන්නේ මුහුද නුදුරින් තිබුණත්  සුනාමි සැඩ රල පන්සලට ආවෙ නැත්තේ ඒ නිසා කියලා .මෙහි ඇති නාථ ,විශ්ණු හා කතරගම දේවාල ගැනත් බෝධීන් වහන්සේ ගැනත් අහල පහල ගම් වල උදවියගේ ලොකු විශ්වාසයක් තියෙනවා.

ගාලු පාරේ තියෙන ඓතිහාසික හා කලාත්මක වටිනාකමක් සහිත ඒත් බොහෝ ප්‍රසිද්ධනැති බොදු පුදබිමක තොරතුරු ලියමින් මේ වෙසක්ඟේ සමරන සම්බුද්ධත්ව ජයන්තියට සුලුවෙන් හරි දායක වෙන්න පුලුවන් වුණා කියල මට හිතෙනවා .

ප/ලි

ඔබ ගාලු පාරේ විනෝද ගමනක් , රාජකාරි ගමනක් යන අතරේ වුණත් ගොඩ වැදිලා මේ පන්සල නරඹන්න පුලුවනි. පාසල් සිසුන්ට ගවේශකයන්ට බොහොම වටින තැනක් කියලා හිතෙනවා. ව
විශේෂයෙන් අර චිත්‍ර නරඹන්න අමතක කරන්න එපා .මේ ලිපිය ලියන්න මම වැඩි දුර කරුණු එකතු කරගත්තේ මෙන්න මේ පොත් වලින්.

1 ) Paintings of Sri Lanka -Thelwatta by Nandana Wutwongs,Leelananda Premathilake and Roland Silva ( Archaeological Survey of Sri Lanka - Central Cultural Fund ) 


2) තෙල්වත්තේ පුරාණ තොටගමු රන්පත් විහාරය - මහානාම මංගලසිරි මයා 

තොරතුරු සොයාගන්න පොත් ලියූ මේ ලේඛකයන්ටත්  පින් අනුමෝදන් කරනවා .ඒ වගේම  සිංහල භාෂාව   හා සාහිත්‍ය , චිත්‍ර කලාව , පෙර අපරදිග ඉතිහාසය ,සමාජ අධ්‍යනය,ඉංග්‍රිසි භාෂාව   ,බෞද්ධ ශිෂ්ටාචාරය   විෂයන්  ලෙස බොහොම රසවත්ව
මට ඉගැන්වූ සියලුම ගුරුවරුන්ට මේ සටහන පූජා කරනවා . ඒ ඔවුන් හැම කෙනෙක්ම කලාවට සාහිත්‍යට , ගවේශණයට හා සංචාරයට උවමනා නොසිඳෙන රසවත් සිතුවිලි උල්පත් මට දුන්න නිසා. 
ඔබත් තොටගමු විහාරය හා රාහුල හිමි ගැන දන්නා තොරතුරු ඇතොත් මෙහි සටහන්කරන්න

Monday, May 16, 2011

නමස්තේ පොකරා 2 -අලුත් අවුරුදු උදාවේ වීදි සැරිය

අප්‍රේල් 14 අලුත් අවුරුදුදා උදේ මගේ නවාතැනට පෙනුන මච්චපුත්‍රි කන්ද
 වයි ෆයි විත් කොෆී
 යන්න කැමති කොහේටද




පොකරා වල  ට්‍රෙකින්ග්

ඩේවිස් ෆෝල් වලින් අපි තුන්දෙනා සමුගන්නකොට හවස හයත් පහුවෙලා .ඒ ගමනේ විස්තර දැනගන්න ඕනෙ නම් මෙන්න මේ සටහන කියවන්නකෝ .ආයෙත් අපි නවාතැනට ආවා .එතකොට තමයි මතක්වුනේ අද අප්‍රේල් දහතුන්වැනිදා අලුත් අවුරුදු උදාවෙන්න තියෙන්නෙ තව පැය කීපයය් විතරයි.ඔන්න ඉකමනට අපි එන පාරේ තිබුණ කෝල් සෙන්ටර් එකකට ගිහින් ගෙදර අයට කෝල් එකක් දීලා ලංකාවේ අවුරුදු සූදානම් ගැන ඇහුවා .


තවදෙයක් කියන්න අමතකවුනානේ .නේපාලයෙත් අපි වගේම අලුත් අවුරුදු සමරනවා අප්‍රේල් 14 වැනිදා .එදාට නේපාලයේ නිවාඩු දවසක් .අද 13 වැනිදා මැදියම් රැයේ නේපාලෙට අවුරුද්ද ලබන්නේ .අවුරුදු උදාව පොකරා වල සමරන්න ආව දේශීය සංචාරකයන්ගෙන් සහ අවුරුදු සැණකෙලි පොලවල් වලින් අඩුවක් නෑ. අපි තුන්දෙනා තීරණය කලා රෑ කෑමකට අවන්හලකට ගිහින් අවුරුදු උදාව සමරන්න .


පොකරා වීදී සහ අවන්හල්  අලුත් අවුරුදු උදාව වෙනුවෙන් බොහොම කලබල වෙලා.මමත් සෑම් සහ මෝනා එක්ක ලේක් සයිඩ් වල තිබුණ අවන්හලකට ඇවිදගෙන ගියා.පාර දෙපැත්තේ අවන්හල වල බොහොම ආකර්ෂනීය දැන්වීම් පුවරු ප්‍රදර්ශනය වෙනවා .අවුරුදු උදාවට  සංගීතය ,නැටුම් ආහාර පාන සමගින්හැම අවන්හලක්ම විදුලි බුබුලු වලින් අලංකාරවෙලා . සමහර තැන්වල නේපාල් ජනගී ජන නැටුම් .තවත් තැනක ඩී ජේ නැටුම් , රෙගේ , රස්තා ,හෙවී මෙටල් මියුසික් වාදනවා වෙනවා .හැමතැනින්ම එන්නේ එන්න , කන්න බොන්න , ප්‍රීතිවෙන්න ඇරයුම්.වීදි දිගේ ඇවිදගෙන යද්දී මම හිතාගෙන්න උන්නේ අපි නේපාල් ජන ගී නැටුම් තියෙන අවන්හලකට යාවි කියලා .


ඒත් ඉතින් හැමවෙලාවෙම අපි හිතන දේ වෙන්නෙ නෑනේ .අපේ ගමන කෙලවර වුණේ කන පැලෙන්න හෙවි මෙටල් මියුසික් වාදනය වෙන මන්දාලෝකයෙන් යුත් අවන්හලකින්.එතැන මෝනාගේ තව මිතුරියක් අපි එනකන් බලා හිටියා .හ්ම්ම්...සංගීත  කණ්ඩායමක් ගී ගයනවා ඒ එක්කම එන සද්දේ පපුව දෙදරවාගෙන යනවා. මට ටිකක් අපහසු බව තේරිලාද කොහෙද මෝනා යෝජනාකලා අවන්හලේ පිටත ආලින්දයේ කුෂන් අතුරලා තිබුණ මිටි මේසෙක අසුන්ගන්න .මෙතැන කන පැලෙන්න සංගීතේ වුණාට විදේශීය සංචාරකයන්ගෙන් පිරිලා ඉතිරිලා ගිය තැනක් .කවුරුත් රිසි ලෙස තම කමති මධු විත තොලගානවා මද අඳුරේ.සමහරු පාකිස්තාන් ජාතිකයො දුම් බොන දුම් පයිප්ප වලින් දුම් උරනවා .අපි කෑමත් බීමත් ඕඩර් කලා .

කෑමට සැන්ඩ්විච් එකක් ඕඩර් කරලා බලන් හිටියා .අමුත්තෙකුත් ඉන්න නිසා බකමූණෙක් වගේ රවන් ඉන්නත් බෑනේ .ටිකක් අනික් අය එක්ක කතාකරලා ආයෙත් නිහඬවුණා.කන පැලෙන සංගීතේ මැද්දෙන් කතාකරන්න වෙන්නෙත් මහ හය්යෙන්නේ.අනික් තුන්දෙනාට කතා බහ කරන්න සතුටුවෙන්න ඉඩදීලා මම පොටෝ කීපයක් ගත්තා . වටපිට හැරිලා අහල පහල බැලුවා.මට පිටිපස්සේ මේසේ ඉන්න තරුණ විදේශික යුවලක් කාඩ් සෙල්ලම් කරනවා .ඉස්සරහ මේසේ වයසක යුවලක් ලොකු කතාවක .තව මේසෙක ලොකු පවුලක්ම වාඩිවෙලා අම්මලා, තාත්තලා, ලමයි, ආච්චිලා ,සීයලා හැමෝම එක්ක ලොකු වාදයක් රෑ කෑම ඕඩර් කරන්න.මෝනා එයාගෙ මිතුරිය එක්ක බර කතාවක් .සෑම් නිහඬව මගේ  කැමරාවේ පින්තූර බලනවා .මට ඈනුම් යන්නත් එනවා .කඳුකර ගමනේ මහන්සියයි ,කන පැලෙන සංගීතෙන් ඇතිවුන විඩාවයි,නිදිමතකුයි ඇවිල්ල. ඔන්න යාන්තන් ඉතින් බිල ගෙවලා එලියට ආවා .

තාම මහපාරේ සැනකෙලි සිරි .රෑ දයට විතර ඇති ඒත් කඩවල් අවන්හල් ඇරලා.පවුල් පිටින් බොහොමයක් උදවිය නගරේ ඇවිදිනවා .අපේ නඩේ ආයෙත් කයිවාරු ගහමින් අත් අල්ලන් ඇවිදගෙන යනවා . හිටිගමන් මම මග ඇරෙනවා ඒ පොටෝගන්න මග නතරවුණහම ".මචන් හරි අප්" කියලා අනික් අය කෑගහනවා .තුන්දෙනාම ආයෙ නතරවුණේ ග්‍රොසරි ශොප් එකක් ගාව. ආයෙත් ස්ප්‍රයිට් , බීර ,අල චිප්ස් අරගෙන නවාතැනේ අවුරුදු උදාව සමරන්න වගේ.


ඔය පාර්සල් එල්ලගෙන කාමරේට ගියාට පස්සේ මතක්වුනේ අපි හතරදෙනෙක් කියලා .ඉතින් ඇඳන් තුන එකතුකරා .මම පිටත ආලින්දයේ තිබුණ කුෂන් කීපෙකුත් ගෙනාවා. බීර බොන අයට වාඩිවෙන්න .එතකොට තමයි දැක්කේ යාබද කාමරේ දොරේ අලවල තිබුණ දැන්වීම .


If you are drunken you will not be Tattooed 


මට ඒක දැකලා හිනා.වෙලාවට හෝටලේ කවුරුත් දන්නේ නෑ මම බීල නෑ කියලා.


බොන උදවියට ආවතේව කරල මමත් සෑමුත් දෙන්න අපි ඔක්කොගෙම කැමරාවල තිබුණ පොටෝ මගේත් මෝනගෙත් ලැප්ටොප් වලට ඩවුන්ලෝඩ් කලා .කැමරා බැට්‍රි චාර්ජ් වෙන්න තියලා අපි පින්තූර බැලුවා.සෑම්ට ඕනෙ පොටෝ සිලෙක්ට් කරලා ඒව එයාගෙ පෙන් එකට  දැම්ම .අනික් දෙන්න බරටම වැඩ.මොකක්දෝ පරණ ප්‍රේමවන්තයො ගැන කතාවක්.අපි ඒකට බාදා කලේ නෑ.ඉඳහිට ඔහොම පරන තුවාල කොනිතිගහන එක කාගෙත් පුරුද්දක්නේ.ඔන්න ඒ අතරේ ඩෝං පටෝං සද්දෙට රතිඤ්ඤා පුපුරනවා මුලුනගරෙම .මැදියම් රෑ දොලහ පහුවෙලා .නේපාලෙට අවුරුදු උදාවෙලා ,මමත් සෑමුත්  අපේ කාමරේ ජනේලෙන් පිටට පැනලා බැල්කණියට ගියා . අහල පහල ගෙවල් වල උදවිය නිලා පත්තුකරනවා ,සමහරු අනික් අයට අතවනමින් අවුරුද්දට සුබ පතනවා .පොකරා අහස එකම මල්වෙඩි සැණකෙලියක්.අපි හතරදෙනත් එකිනෙකා වැලඳගෙන අලුත් අවුරුද්දට සුබ පතාගත්තා.නිදාගන්න ගියේ කොයි වෙලාවෙද කියලනම් මතක නෑ.


මම පහුවෙනිදා 14 වැනිදා අලුත් අවුරුද්ද දවසේ උදේ ඇහැරුනේ මෝනගේ සද්දෙට .එයා කෑගහනවා ජනේලෙ දිහා බලාගෙන 


"Machan look at this virgin Machchapucharee  , it's a sunny day , I am excited man , isn't it amazing "


ඇත්තටම ඒක හරි අපූරු දර්ශනයක් . මම  වහ වහා මගේ කැමරාවත් අරන් ඉහල මාලයේ විවෘත බැල්කණියට ගියා . වෙලාව උදේ අටට විතර.මුලු නගරයම අලුත් හිරු කිරණින් නෑවෙනවා .හරිම පැහැදිලි අහසක් .හීතල සහ අඳුරු මීදුම කොහෙන් ගියාද කියලා දන්නේ නෑ. අන්නපුර්ණා වැටියේ කඳු මුදුන් දෙකක් වෙන මච්ච පුත්‍රි -Machchapucharee  (Fish tail) සහ හිමචූලි- Hima chuuli  ඉහල අහසට නැගීහිටින අපූරුව මෙතැනට හොඳින් දිස්වෙනවා. පොකරා එන ඕනෙම සංචාරකයෙක් සතුටුවෙන දසුනක් මගේ ඇස් ඉදිරියේ තියෙනවා.මච්ච පුත්‍රි කන්දට ඒ නම ලැබිල තියෙන්නෙ මාලුවෙකුගේ වලිග කෙලවර වගේ දෙකට බෙදුන මුදුන් දෙකක් ඒට ඇතිනිසා.ඇත්තෙන්ම මේ කන්ද හඳුන්වන්නේ මච්ච පුත්‍රි කන්‍යාව ( Virgin Machchayapucharee ) කියලා .ඒකට හේතුව කිසි කෙනෙක් තාම මේ හිමෙන් වැසුන  ගිරි මුදුන තරණය කරලා නැති නිසා . ඒක තරමක් අවදානම් දෙයක් නිසා නේපාල් රජය එය තහනම් කරලා තියෙනවා . කඳු වල පින්තූර ගන්න අතරේ මම දැක්කේ සාම ස්තූපයත් ඈතින් දිස්වෙනවා


මම කඳුවල ඇති තරම් පින්තූර අරගෙන අලුත් හිරු කිරණත් විඳලා පහලට බැහැලා අනිත් කමැලියොත්   නැගෙට්ටෙව්ව. අද අප්‍රේල් 14 අලුත්  අවුරුද්ද .කට්ටියම ඇඳ පැලඳගෙන වීදි සංචාරයක් යන්න එලියට බැස්සා. අවුරුදු ඇඳුම් අඳන් ගමන් බිමන් යන පවුල් වලින් පාර පිරිලා.කාන්තාවො විචිත්‍ර රතු වර්ණ සාරි ඇඳලා තිලක තියලා හරි ලස්සනයි .


වට පිට බලබලා යනකොට තමා දැක්කේ එක අවන්හලක නාම පුවරුව Restaurant Once Upon A Time !!.මම එතන ඉඳන් වරුවක් විතර හිනාවෙලා තව ඉස්සරහට යනකොට ගෙස්ට් හවුස්  කීපෙක නම් සඳහන් නාමපුවරුවක් මෙන්න මෙහෙම තියෙනවා  Karma Guest House , Lonely Guest House , Nirvaana Guest House  නරක නෑ කර්ම නවාතැනට ගිහින් කරපු කර්ම ගෙවලා , Lonely  නවාතැනේ ටිකක් බණ බාවනා කරලා .....නිර්වානෙට යන්න පුලුවන් .තව තැනක ට්‍රැවල් ඒජන්සියක් හඳුන්වන්නේ Boomarang Travel Agents කියලා  , මට කල්පනාවුනේ එක ගමනකට විතරක් මෙතනින් ටිකට් ගත්තම ඇති කියලා මොකද රිටර්න් එක ඉබේ ලැබෙනවනේ.මම මේ දැන්වීම් පුවරු රසවිඳිදී මෝනා කිව්වේ Machan this is Pokharaa , You just name it ! Its there ! කාටහරි ඕනෙ නම් මෙහේ ටොම් ඇන්ඩ් ජෙරී සාප්පුවක් වුණත් දාන්න පුලුවන් .  අපරාදෙ කියන්න බෑ පොකරා වල හැම ගහක් ගලක් යටම  ෆ්‍රී.WI FI තියෙනවා . සමහර රෙස්ටුරන්ට් වල දැන්වීම් තියෙන්නෙ "ටේක් අවේ කොෆී විත් වයි ෆයි  කියලා .අපිත් වැඩි කලබල නැති "වයි ෆයි "රෙස්ටුරන්ට් එකකට ගියා උදේ කෑමට . පාස්වර්ඩ් එකකුත් ඉල්ලන් , කෑමත් ඕඩර් කරල ආයෙත් මෝනයි මමයිපැයකට වැඩිය  කයිවාරුව අපේ රාජකාරි වැඩ කටයුතු ගැන.සෑම් ලහි ලහියේ මූනු පොතට ඊයෙ ගත්තු පින්තූර දානවා.


කාල බීල ආයෙමත් අපි පාරදිගේ අත් අල්ලන් කියව කියව යනවා වට පිට බල බල .ඔහොම මග තොට බලමින් ඉබාගාතේ යන කිසි වගකීමක් නැති සංචාරකයෙක් වීමේ සතුටක් තියෙනවා. ඒපාර අපි ගොඩවුණේ විසිතුරු බඩු තියෙන සාප්පුවකට . මෝනා සහ සෑම්ට එතැන හොඳටම හිත ගිහින් . මම ඉතින් ඔය ඇට මාල වලලු වැඩි පාවිච්චියක් නැති නිසා එලියට ඇවිත් අහල පහල සාප්පු දිහා  බල බල හිටියා . එක සාප්පුවක පෂ්මිනා සාලු විකුණනවා.Just Feel Me Dear Humane කියල පුවරුවක් සාලුවේ ගහලා.පෂ්මිනා කියන්නෙ බැටලු ලොම් වලින් හදන සාලු වර්ගයක් .බොහොම සැහැල්ලුයි .සීත කාලෙ උණුසුම රඳවනවා.හොඳම පෂ්මිනා සාලුවක් ග්‍රෑම් 5 ක් වත් බර නෑ . එයින් එකක් ඩොලර් දෙසීයකට වැඩියි . පෂ්මිනා බලලා අහවර වෙලා මම ටී ශර්ට් එම්බ්‍රොයිඩරි සාප්පුවකට ගොඩවුණා. නේපාලෙට ආවේණික අන්නපූර්ණා , හිමාලයා, යෙටී ,ඕම් ලකුණ , යැක් ගවයන් , පැරණි පන්සල් වල රූප ටී ශර්ට් වල එම්බ්‍රොයිඩර් කරලා විකුණනවා .ටින් ටින් කාටූන් එකේ චරිතත් ඉන්නවා. මම පහුගිය වතාවේ ටින් ටින් ටී ශර්ට් එකක් ගත්ත නිසා මෙදා පාර අන්නපූර්ණා වැටිය දැක්වෙන ටී ශර්ට් එකක් මිලට ගත්තා .ලඟ තිබුණා ලස්සන රෙදි බෑග් විකුණන කඩයක් .ඒක නේපාල රජයේ ආධාර ලැබෙන කාන්තාවන් සඳහා ස්වයං රැකියා සපයන කර්මාන්තයක් .එතැන ලස්සන බෑග් මහලා විකුණනවා . හිත හිතා ඉන්නෙ නැතුව රෙදි වලින් මැහුව ලැප් ටොප් බෑග් එකකුත් ගත්තා .ඔන්න මම මගේ ශොපින් එවර වෙලා වට පිට බලනකොට දැක්කේ මෝනයි සෑමුයි දෙන්න මාව හොයනවා .


අපි පොකරා ගමන හමාර කරන්න ආයෙත් පිව්හා විල වටේ රවුමෙන් ඇවිදගෙන නවාතැනට ආවා.දැන් හවස එකට විතර ඇති . මමයි, සෑමුයි අපේ පොකරා ගමන අහවර කරලා කත්මන්දු පිටත්වෙන්න ලෑස්තිවුනා.අපේ ආපසු ගමනත් බස් එකෙන්ම තමයි .මෝනා හෙට ඉඳලා ඇගේ රාජකාරි කටයුතු පටන්ගන්න පොකරා වල රැඳෙනවා . මම එයාගෙන් සමුගත්තේ ආයෙත් වතාවක් නේපාලෙට එන පොරොන්දුවෙන්. අපි එකඟ වුණේ ඊලඟ වතාවේ බස් එකෙන් ලුම්බිණි යන්නත් ,අන්නපූර්ණා බේස් කෑම්ප් එකට යන්නත් . ඔහොම හීනයක් හිතේ තියාගෙන තමයි මම අප්‍රේල් 15 නේපාලෙන් සමුගත්තේ .


ප/ලි


හිමාල මිටියාවතට ගිය ගමන්  කතාව මෙතැනින් අවසන් වෙනවා . මම පොකරා වල රැඳුනේ දින දෙකකටත් අඩු කාලයක් .නමුත් එයින් ලැබුණ සතුට නම් නිමක් නෑ.ඒකටම එකතු වුණ ප්‍රිය මිත්‍ර සමාගම ඒ සතුට දෙගුණ කලා
 

Sunday, May 8, 2011

නමස්තේ පොකරා 1 -කඳු මංපෙත් අතරින්

Phewa Lake

Boat ride in the Lake


Lake Pewa ,Pokahra city and Mountains

Machchaya Putri get cleared
Headloading woman climbing hills

මේ සටහන කියවන්න කලින් මගේ නේපාලෙට සැපත්වීම ඉස්සෙල්ල කියවල ඉන්න.

අපේ පුහුණුව අවසන්වුනේ අප්‍රේල් දොලොස්වෙනිදා .අවුරුදු දවස් දෙක නේපාලෙම ගතකරලා එන්න තමයි මගේ කල්පනාව.මෝනගේ අදහස වුනේ දවස් දෙකකින් නරඹන්න පුලුවන් ගොඩක් දුර නැති පොකරා (Pokahra) වලට යන්න .පොකරා කත්මඩු වල ඉඳලා කිලෝමීටර 225 විතර ඈතින් තියෙන ලස්සන සංචාරක නගරයක් . ගුවනින් යනවනම් කත්මන්ඩු ඉඳලා  පැයබාගෙකින් යන්න පුලුවනි .යන්න එන්න ගුවන් ටිකට් පතක් නේපාල් රුපියල් 3000-4000 අතර වෙනවා . බස් එකක යනවනම් පැය හයක් ගතවෙනවා.ට්‍රැවල් ඒජන්සි වලින් ටුවරිස්ට් බස් එකක සීට් බුක් කරන් යන්න පුලුවනි . ටිකට් එකක් නේපාල් රුපියල් 700-1000 අතර වෙනවා . නමුත් පොකරා යන පාරේ තියෙන මනකම්මා දේවාලය වගේ තව සංචාරකයන්ගේ හිත්ගත්තු  තැන් වල  නවත්වමින් යන නිසා ගමන හෙමින් .මට තියෙන්නෙ දවස් දෙකක් වගේ කෙටිකාලයක් නිසා මහ පාරට වෙලාව නාස්තිකරන්න බැහැනේ. ඉක්මනින් , ලාබම ක්‍රමේට පොකරා යන්න වෙන්නෙ කත්මන්ඩු වල ග්‍රීන් ලයින් බස් නැවතුමෙන් මයික්‍රො වෑන් එකක නැගල යන එක.මේ හයි ඒස් වෑන් වලින් දුරගමන් මගීන් ප්‍රවාහනය කරන විදියක් . පොකරා වලට මයික්‍රො වෑන් එකකින් යන්න ටිකට් එකක් නේපාල් රුපියල් 400.


ඒත් පුහුණුවට ආව වැඩිදෙනෙක් මට නතුරු ඇඟෙව්ව වැහි කාලෙ ඔහොම වෑන් වලින් කිලෝමීටර 225 යන එක ඒතරම් හොඳ දෙයක් නෙවේ කියල.ඒ කතාවෙ පොඩි ඇත්තක් තිබුණා. කඳු ,හෙල් ,මහා පල්ලම්, දල බෑවුම් වලින් පිරුණ මේ පාරේ නිතරම නායයාම් , රිය අනතුරු බහුලයි .ඒත් ඉතින් එහෙම කියලා ගමන අතාරින්න පුලුවන්ද?.කොයිකටත් ගොදාවරියේ ට්‍රැවල් කවුන්ටරෙන් විපරම් කලාම ඒ අය කිව්වෙ මේ දවස් වල එහෙම  ප්‍රශ්නයක් නෑ යන්න පුලුවනි කියලා .කඳුකර පාරක  මෙහෙම බස් එකක යනකොට පොඩි විනෝදෙකුයි ත්‍රාසජනක ගතියකුයි තියනවනේ .මම ඉතින් රට තොට ,මිනිස්සු , ජනජීවිතේ දකින්නත් හරි කැමතිනිසා මයික්‍රො වෑන් එකකම පොකරා යන්න තීරණේකලා.


අපි ගමන පිටත්වෙන්න තීරණය කලේ දහතුන්වෙනිදා එලිවෙන පාන්දර හයට විතර. කලින් වතාවක මට මුණගැහිලා අඳුනගත්තු මෝනාගේ හොඳම මිතුරියක් වුණ සමීරාත් (සෑම්)  අපේ නඩේට එකතුවෙනවා. පොකරා පිටත්වෙන්න ඔනෙ නිසා මම දොලොස්වෙනිද රෑ මෝනගේ ගෙදර නතරවුණා.ඔන්න එදා තමයි මෝනගේ කෙලි පැංචි අදිතිව හම්බවුනේ අවුරුදු දෙකකට පස්සේ.දැන් එයාට අවුරුදු හතයි. මගේ ඉන හරියට විතර උස ගිහින්.පොඩි එකා මාව දැක්ක හැටිය දුවගෙන ඇවිත් අතින් අල්ලගෙන  එයාගෙ කුකුළු පැටවු බලන්න එක්කගෙන ගියා.පස්සේ අපි දෙන්න හෙලිකොප්ටරේත් උඩ ඇරියා.හිතුවට වඩා සෑහෙන්න දුරක් ඒක උඩයනවා.අදිතිට හරි සතුටුයි.මෝනගේ නැන්දත් මාමත් දෙන්න මාව ආදරෙන් පිලිගත්තා. නැන්දා මට තේ බොන්න පකෝඩා එක්ක තව විශේෂ කෑමක් ලෑස්තිකරගෙන ආවා.


This is "Beaten Rice " .Its a rice supplementary for us . Try it machan

 මෝනා කිව්ව . ඔන්න හොඳට බැලුවම දැක්කේ මේ අපේ හබල පෙතිනේ. වෙනස මේ අය හබලපෙති අපි වගේ අතුරුපසක් විදියට නෙවෙයි බත් වෙනුවට කන ප්‍රධාන ආහාරයක් විදියට පාවිච්චි කිරීම.අපි හබලපෙති වතුරේ දාලා පොඟවලා ගත්තට මේ අය නිකන්ම කෑමට ගන්නවා කඩල ,පරිප්පු එහෙම මිශ්‍ර කරලා හැදූ වෑන්ජන, අඹ අච්චාරුත් එක්ක . ඒකත් හරි අපූරු රහයි . ඔය අතරේ මම එයාලට කිව්වා අපි ලංකාවෙ හබලපෙති හදන විදිය . නැන්දා හුඟක් උනන්දුවෙන් අහගත්තා අත්හදා බලන්න .


අපි දෙන්නම කලින් නිදාගන්න ගියාට මොකෝ ඉතින් පරණ පුරුදු ලෙඩේ හෙවත් කයිවාරු ගැහිල්ල නිසා එදත් නිදාගන්නකොට එලිවෙන පාන්දර දොලහට විතර ඇති.උදේ පහට විතර ඇහරිලා ඉක්මනට ඇඳ පැලඳගෙන හීතලේ ගැහි ගැහිම ග්‍රීන් ලයින් බස් නැවතුමට ගියා.සෑම් ඒවෙනකොටත් අපි එනකන් මග බලමින් හිටියා .තුන්දෙනාම ටිකට් අරන් වෑන් එකේ පස්සෙම සීට් එකේ හරිබරි ගැහුනා.


බස් එක කත්මන්ඩු වලින් පිටත්වුන වෙලේ ඉඳලා මග දිගටම වහිනවා.හරි හීතලයි.රියදුරයි කොන්දොස්තරයි දෙන්න වෑන් එකට මගියො පහලවක් විතර පටවගෙන තිබුණා.මේ වාහන වල ජම්පින් සීට් වෙනුවට වේවැල් වලින් වියපු පොඩි ස්ටූල් තුනක් සීට් අතරට හිරකරලා ඒවට මගියො නග්ගගන්නේ නගරේ පහුවෙලා අතරමගදී. වැඩිදෙනෙක් උදේ පාන්දර නිසා නිදි කිරනවා .ඒත් අපි තුන්දෙනා පස්සෙ සීට් එකට වෙලා වගේ වගක් නැතුව කියව කියව හිනාවෙනවා.දැන් දැන් කත්මන්දු පහුකරගෙන බස් එක ඇදෙනවා ලොකු කඳු නගිමින් , පල්ලම් බහිමින් .පහල මහා ප්‍රපාතාකාර බෑවුම් බලන්නත් බයයි .ඒ මැදින්  නිල් කැටේට වතුර පිරුණ ත්‍රිශූලි ගංගාව වැස්ස නිසා සැර වුණ සැඩ පහර නංවමින් ගලනවා. පල්ලමේ තියෙන ගම් තාමත් තද මීදුමෙන් වැහිලා ඒ අතරින් හෙල් මලු විදියට වවපු කුඹුරු යායවල් , කැරට්.ගෝවා , බ්‍රොකලි පාත්ති,ගෙවල් වල කුස්සියෙන් අහසට යන දුම් රොටු  පේනවා .යන පාර දිගේම සැඟවෙමින් මතුවෙමින් කිරි පාට පෙන නගමින් ත්‍රිශූලී ගංගාව ගලනවා.ඔලුවෙ ඉඳන් දෙපතුල වෙනකන් පොරවගත්තු ගැමියො පහල බෑවුමේ ගම් වල ඉඳලා ගොවි බිම් වලට ඇදෙනවා .


අපේ වෑන් එකත් සෑහෙන්න වේගෙන් ඇදෙනවා.මීදුම පිරුණ කඳු වලල්ලේ පින්තූර අරගෙන ඉවරයක් නැති බව තේරුණහම මම වැඩේ අත ඇරල දැම්ම.උදේ නවය විතර වුණත් තාමත් වැහිබර අහස.හීතල නිසා හොඳටම බඩගිනියි .නිදාගෙන හිටි උදවියත් එකා දෙන්න ඇහැරිලා  ඇඟමැලි කඩනවා .කාටත් බඩගිනියි ටොයිලට් යන්නත් ඕනෙ.රියදුරාටනම් තාමත් ඒ ගන වගක් නෑ පාගල යනවා වැස්සෙම .අන්තිමට බස් එකේ මගියො කීපදෙනෙක් එයත් එක්ක වාද කරලා යන්තම් කෑම කඩේක නවත්තගත්තා .හම්මෝ බස් එකෙන් එලියට පැන්නම දැනුන සනීපෙ. මේ කෑම කඩේ එවෙලෙම උණු උණු උදේ කෑම හදල දෙනවා . අපිත් 'තුප්ප නූඩ්ල්සුයි" (ටිබෙටියන් විදියට හදන නූඩ්ල්ස්)  චායේ තුනකුයි ඕඩර් කරලා කෑමට වාඩි වුණා .ටික වෙලාවකින් උණු උණු නූඩ්ල්ස් කෝප්ප තුනක් මෙසෙට වැඩියා.ඒ තමයි මම මෙච්චර කාලෙකට කෑව රසම රස නූඩ්ල්ස් .


කාලා බීලා ඉවරවෙලා ආයෙ ගමන පටන්ගන්නකොට බස් එකේ  කාටත් නව පණක් ඇවිල්ලා.කවුරුත් ලඟ ඉන්න අය එක්ක  කතාවට වැටිලා. වැහි අඳුර මැකිලා ලා හිරු එලිය මෝදු වෙනවා.කඳු වැටි එයාල දවටගෙන හිටි මීදුම් සේල උනා දමලා ඉරු රැස් නානවා. අපේ රියදුරා එයාගේ කැසට් යන්ත්‍රය උස් හඬින් දැම්ම.නේපාල , හින්දි , ඉන්ග්‍රිසි කලවම් ගීත වාදනය වෙනවා .අපිත් තුන් දෙනා පිටිපස්සේ සීට් එකේ ඉඳන්  මෝනගේ මොබයිල් පෝන් එකේ රෙකෝඩ් කරල තිබුණ සින්දු අහන්න ගත්තා.හරි මරු. වෑන් එකෙ ඉස්සරහෙන් එක සංගීතයක්.පස්සෙන් තව සංගීතයක්.බස් එක ගම් නගර පහුකරගෙන ඇදෙද්දී මට පොටෝ කීපයක් ගන්න ඕනෙ වුණත් ඒ අදහස අත් ඇරලා දාන්න වුණා බස් එකේ වේගෙ වැඩි නිසා.



අපි පොකරා ටවුමට එනකොට දවල් දොලහමාරයි .හොඳට ඉර පායලා ."ඇවිදින්න යන්න හොඳ කාලගුණයක්" බස් එකෙන් බහින ගමන් සෑම් කිව්ව.අපේ නවාතැන වුනේ පිව්හා විල කිට්ටුව අතුරු පාරක තිබුණ බ්‍රෝඩ්වේ ඉන් කියලා පොඩි ගෙස්ට් හවුස් එකක් .පොකරා සංචාරක කර්මාන්තෙට ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ මේ ලස්සන විල් සහ ඒ වටේ තියෙන කඳු පන්ති නිසා. සංචාරකයන්ට වෙන්වුණ නවාතැන් අවන්හල් මේ සියල්ලම ගොනු වෙලා තියෙන්නෙ පිව්හා විල (Phewa Lake)  වටේ.බැලූ බැල්මටම පොකරා කියන්නේ බොහෝ සංස්කෘතීන් මිශ්‍රවුන මල්ටි කල්චරල් තැනක් . අවන්හල් , මග තොට යන එන මිනිස්සු , කඩ සාප්පු ඒක මැනවින් විදහාපානවා.කොන්ඩ වවාගෙන ,ටිබෙටියන් ඇට මාල දාගත්තු , ඕම් ලකුණ සහිත ටී ශර්ට් ඇඳගත් සංචාරකයන්ගෙන් මේ පොඩි නගරය පිරිලා.


අපි ට්‍රිපල් රූම් එකක් අරගෙන නාලා ටිකක් මහන්සි ඇරලා දවල්ට කාලා පිව්හා  විල වටේ සිරි නරඹන්න පිටත්වුණා. මෝනා සහ සෑම් දෙන්න තමයි ඔක්කොම ප්ලෑන් කලේ . විල දිහාට යන ලේක් සයිඩ් පාර ජනයාගෙන් පිරිලා ඉතිරිලා . සමහර තැන් වල ලොකු ගස් යට පාපැදි නවතලා තියෙනවා .ඕන කෙනෙකුට එයින් එකක් කුලියට අරන් විල වටේ සවාරි යන්න පුලුවන් .නේපාල් ජාතිකයොත් එයාලගේ නේවාරි අලුත් අවුරුද්ද සමරනවා අප්‍රේල් දාහතරවැනිදා .ඉතින් අවුරුදු නිවාඩුවට ට්‍රිප් ඇවිල්ල ඉන්න දේශීය සංචාරකයන්ගෙනුත්  නගරය පිරිලා .හැමෝම පවුල් පිටින් සතුටුවෙන්න විවේකගන්න පොකරා ඇවිත්.


පිව්හා විල නිල්පාට ජලතලයකින් පිරුණ ඇස් පෙනෙන මානෙකට යනකන් මීදුමෙන් වැහුණ කඳු වලල්ලකින් වටවුණ හරිම ලස්සන තැනක් . විලේ බෝට්ටු සවාරි යන්න පුලුවන් .අපිත් බෝට්ටුවකට නැගුනා.මම බෝට්ටුවල යන්න ටිකක් බයයි ඒත් විලේ ලස්සන  දැක්ක යන්න හිතුනා.ඔන්න ආයෙත් කඳු පෙල අඳුරු මීදුම් වලාවකින් වැහිලා හිරි පොද වැටෙනවා.හිරි පොද වැස්ස කපාගෙන අපේ බෝට්ටුව විල මැද තියෙන "බරායි" -(Barahi)දේවාලෙ දිහාට ඇදෙනවා.එන්න එන්න වැහි අඳුර වැඩි වෙනවා හිරි පොද ලොකු වැහිබින්දු වෙලා සට සට කියලා වැටෙනවා . මට ඒවෙලාවෙ මතක්වුනේ තාගෝර් තුමාගේ බංගාලි කවියක්.විල වටේ බෝට්ටු සවාරි යන කවුරුත් බරායි දේවාලෙට ගොඩවෙලා නමස්කාර කරලයි යන්නේ.


බරායි දේවාලෙට පඬුරු දාලා අපි ආයෙත් පිටත්වුනා විලේ අනික් ඉවුරට යන්න .වැස්ස හොඳටම සැරවෙලා හීතල හුලඟයි මීදුමයි එක්ක අපි විල් ඉවුරට ගොඩ බැස්සේ තෙත බරි ඇඳුම් පිටින් .එතනම තිබුණ අවන්හලට ගියේ ටිකක් උණුසුම් වෙන්න .තුන්දෙනාම හොට් චොක්ලට් පානයක් ඕඩර් කරලා කතා නැතුව විල දිහා බලාගෙන ඉන්නවා. වැස්සත් මීදුමත් කඳු වලල්ලත් හරි චමත්කාරජනක සුන්දරත්වයකින් පිරිලා .වහිද්දී මුලු දවසම වුණත් මෙතන ඉඳ විල දිහා බලන් නිස්කලංකේ ඉන්න පුලුවන් .ජීවිතේ රස විඳින්න සතුටුවෙන්න සොබාදහම මොනතරම් සොඳුරු දේවල් නිර්මාණය කරනවද කියලා මට හිතුණා.


දැන් හවස තුනයි .ආයෙත් ගමන පිටත්වෙන්නයි අපේ සූදානම . මේ අවන්හල කිට්ටුවෙන් තියෙන කඳුකර කැලෑපාරක් දිගේ කිලෝමීටර හතරක් විතර පයින් ඇවිදගෙන කඳුමුදුනේ තියෙන සාම ස්තූපය (World Peace Pagoda) දැක බලාගෙන ගම් මණ්ඩි මැදින් පහලට බහින්නයි අපේ කල්පනාව .

මෝන අපේ නඩේ ගුරා .එයා මට කියලාදුන්න මහන්සි නොවී කඳු නගින විදිය.ජන ශූන්‍ය කඳුකර කැලෑ පාරක හේදිලා ගිය ගල් පඩි , දල බෑවුම් දිගේ අපි උඩට නගිනවා . ගන සැරේට නොවුනත් උසට වැවුන ගස් කොලන් වලින් මග දෙපස පිරිලා. තාමත් වහිනවා .වැහිබින්දු සිරි සිරි ගාලා ගස් වල කොල උඩට වැටෙනවා. මගේ සීත කබායත් ,තොප්පියත් දෙකම තෙත්වෙලා . ටිකදුරක් යද්දී හොඳටම හති .එතකොට මෝනා සහ සෑම් දෙන්න "මචන් යූ කැන්" කියලා මාව දිරිමත් කරනවා .ආයෙත් අපි ගමන පිටත්වෙනවා.ඔහොම දල බෑවුමක් නැගලා උඩට යද්දී පුංචි තැනිතලා බිම් හම්බවෙනවා . එහෙම තැන්වල ටිකක් මහන්සි අරිනවා . මීදුමෙන් වැසුන පිව්හා විලත් පොකරා නගරයත් හරි ලස්සනට මේ තැන්වලට පේනවා.මගේ කැමරාව මේ සියල්ලම රූගත කරගන්න දඟලනවා.ඔයවගේ එක තැනකදී මෝන මට පෙන්නුවා පිව්හා විල ආරම්භවෙන තැනත් මීදුමෙන් වැහුන සිකිම් මනිපාල් විශ්වවිද්‍යාලයත්.ඉඳහිට පහලට බහින සංචාරකයෙක් දෙන්නෙක් අරුණම මිනිස් වාසයක් දකින්න නැති පරිසරයක් . කුරුලු හඬයි , වල් සමන්පිච්ච මල් වල සුවඳයි ,සිසි සිරි ගාල වහින සද්දෙ එක්ක හෙමින් හෙමින් අපි මේ කඳුකර කැලෑ පාරෙන් ඉදිරියට යනවා .කොහොමහරි හති දාගෙන  වෙහෙස නොබලා අපි සාම ස්ථූපය ගාවට ආවා.


මගේ ජීවිතේ දැක්ක සොඳුරුම දසුනක් තිබුණේ එතන .ඒවෙනකොට වැස්ස නතරවෙලා කඳුවලින් ලා හිරු කැරලි එබෙනවා .අඳුරු  වලාකුලු මෑත්වෙලා ලා නිල්පාට අහසේ තවරලා ඒ මැදින් සුදු හිමෙන් වැහුන අන්නපූර්ණා කඳුපෙල මෝදුවෙනවා .අපි තුන්දෙනා ආයෙත් අත් අල්ලගෙන කතා නැතුව ඈත කඳු දිහා බලන් සමාධිගතවෙලා හිටියා.ඒ තරම් ලස්සන දර්ශනයක් අපේ ඇස් ඉදිරිපිට මැවිලා තිබුණා.අන්නපුර්ණා වැටියේ හිමෙන් වැහුන  මච්ච පුත්‍රි  (Machyapucharee , Fishtail) කඳු මුදුන  හෙමින් මෝදුවෙනවා වලාකුල් අතරින්.ඒ වෙලාවෙ තමයි මට හිතුනේ වැස්ස සහ හිරු එලිය පරිසරයට දෙවිදියක ලස්සනක් ගේනවා කියලා


මගේ ගමන් මහන්සිය කොහේ ගියාද කියල නැහැ. තෙතබරි වුන සීත කබායත් තොප්පියත්  ගලවලා දාලා  බැහැගෙන යන  හිරු කිරණ විඳින්න මට ඕනෙ වුනා . සෑහෙන්න වෙලාවක් නිහඬව ස්ථූපය ගාව හිටිය අපි තුන්දෙනා අත් අල්ලගෙන පහලට බැස්සේ ඒ ලඟ තිබුන පොඩි කඩ පොඩ්ඩෙන් තේ ටිකක් බොන්න .


කඩේ ඉස්සරහ පිදුරු හෙවිලි කරලා උණබට වලින්  පුංචි  පැලක් හදාලා ලී බංකු කීපයක් තියලා තුබුණා සංචාරකයන්ට ගිමන් අරින්න . බිස්කට් පැකට් එකකුත් අරන් තේ බොන ගමන් අපි කතාකලේ කලබලෙන් පිරුණ විවේකයක් නැති ප්‍රශ්න ගොඩක හිරවෙලා ඉන්නවට වඩා මොනතරම සැහැල්ලුවක් මේ පරිසරයෙදී දැනෙනවද කියලා . තේ කඩේට ආව වයසක ආච්චිලා දෙන්නෙක් අපිට කිව්වෙ වැඩිය රෑවෙන්නෙ නැතුව පහලට යන්න කියල .අපි ඒ දෙන්නටත් අපේ ගානෙ තේ අරන්දීල ටිකක් කතාකලා.දෙන්නටම වයස හැත්තෑවකට වැඩියි.කවදාවත් ඉස්කෝලෙ ගිහින් නෑ.දරු මුනුබුරො ගොඩක් එක්ක පහල කඳුකර ගමේ ජීවත්වෙනවා . අපිට තරම සංකීර්ණ ජීවිත මේ මිනිස්සුන්ට  නැහැ.


තේ කඩේ ඉඳන් අන්නපූර්ණා වැටිය  සිඹින අවසන් හිරු රැස් දහරත් නෙතට හසු කරගත් අපි ආයෙත් ගම් මණ්ඩිය මැදින් හේදිලා ගිය ගල් පඩි අතරින් පහලට බැස්සා.පහලට බහින එක ඒ තරම් අමාරු නැහැ.  පොකරා නගරයේ ගොඩනැගිලි ගිනිපෙට්ටි වගේ පේනවා. හවස්කරේ කඳුකර නිවෙස් වල ගෑනු හරක් රංචු පිදුරු මඩු වලට ගාල් කරනවා .මේ පිදුරු මඩු හඳුන්වන්නේ "තුවා" කියල . හරක් ගාල් කරන්න , දර ,පිදුරු ගබඩා කරගන්න යොදාගන්න මේ පිදුරු මඩු කඳුකර ගම් වල  සුලබ දසුනක් . පොඩි ළමයි මිදුලේ සෙල්ලම් කරනවා .පහල නගරයට වැඩට  ගිය ගමේ උදවිය කඳුකර පාර දිගේ ගෙවල් වලට එනවා .බොහොමයක් ගෑනු උදවිය හාල් , එලවලු පිරුණ බඩුමලු පිටේ එල්ලන් කන්ද නගිනවා .මේ මිනිස්සු හැමදාම උදේ හවස කඳු පලම් නගිමින් බහිමින්  දුක් විඳගෙන ජීවිත සටන ගෙනියනවා .සමහර ගම් වැසියො අපිට නමස්තේ කියමින් පටු ගල් පඩි දිගේ පහලට බහින්න උදව් කලා .මෙහෙම ගමක ලෙඩක් දුකක් වුනෝත් ඉතින් දෙවියන්ගේ පිහිට ඇර වෙන පිහිටක් නෑ.ඒත් මේ මිනිස්සු ගෑනු එහෙම කියලා ජීවිත සටන අත ඇරලත් නෑ.ජීවිතේ බොහොම සුලු සැප පහසුකමක් නැතිවුණත් මැසිවිලි කියන අපිට මේ මිනිස්සු,ගෑනු  හොඳ ආදර්ශයක් හැමදේම නැතිවෙලා ගියත් ආත්ම දහිරියෙන් ජීවිතේ ගෙනියන්න .මේ ගමන සිහිවෙන්න මම කඳුපාරෙන් ගල් කැට කීපයක් අරන් සාක්කුවට දාගත්තා .


කඳුකර පාරෙන් පල්ලම් බැස්ස  ගමන අවසන් වුණේ ඩේවිස් ෆෝල් කියන තැනින් . පිව්හා විල මහා දිය ඇල්ලක් විදියට මෙතැනින් අවසන් වෙනවා. පිව්හා විල තරණය කරගෙන කැලෑවක් මැදින් ගිය අපේ කඳුකර ගමනත් මෙතැනින් අවසන් වුණා.


ප/ලි
පොකරා ගමනේ අමතක නොවෙන අත්දැකීම තමයි මේ කඳුකර කැලෑ පාරෙන් වැස්සට තෙමීගෙන ගිය ගමන .ලංකාවෙදි නම් මම ඇස්මා හැදෙනවට බයේ කිසිම දවසක තෙමීගෙන මෙහෙම ගමනක් යන්නෙ  නැහැ. නමුත් එදා හොඳටම තෙමිලත් මාව ලෙඩ වුනේ නැහැ.පොකරා නගරයේ වීදිසැරිය ගැන තව කතන්දරයක් තියෙනවා .ඒක එන සතියේ ලියන්නයි කල්පනාව .  නීතට විශේෂ ස්තුතිය .එයා කියවන්න මග බලාගෙන ඉන්නව කිව්ව නිසා මට කතාව ඉක්මනට ලියන්න හිතුණා

පොකරා ගැන තව විස්තර කියවන්න ආසනම් මෙන්න මෙතැන්නින් බලන්න පුලුවනි .

Saturday, May 7, 2011

නේපාලයට සැපත් වුණෙමි-හිත මිතුරු සෙනග හමුවීමි



Mo Moos
Godavari Village Resort , Tawukhil,Lalithpur-Kathmandu


අප්‍රේල් හත්වෙනිදා එලිවෙන පාන්දර  දොලහට විතර  වර්ෂ අවසාන  ව්‍යාපෘති වාර්තාව ලියලා හමාරකලා.මේ වාර්තාව බාරදෙන්න තව සති දෙකක් විතර තිවුණත් විදෙස් ගතවෙන හැම වෙලාවකම  මම කැමති මගේ ඔක්කොම වැඩ රාජකාරි අහවර කරලා යන්න .අවුට් ඔෆ් ඔෆිස් ඊ මේල් එකත් දාලා ,ඇක්ටින් වර්ක් ඇරේන්ජ්මන්ට් වලට කෙනෙකුත් පත්කල වග කියලා සේරම වැඩ අහවර කරල ගියහම හිතට සනීපයි .එලිවෙන පාන්දර හතරට විතර ගුවන්තොටුපොලට යන්න වෙනවා .නිදාගන්න වැඩිවෙලාවක් නෑ. ඔක්කොම වැඩ අහවර කරල ගමන්මලු දෙකත් හරි බරි ගස්සලා ලොක් කලා .මේ දෙකම පිරිල තියෙන්නෙ වැඩි හරියක් යාලුවන්ට් ගෙනියන පොඩි පොඩි තෑගි වලින්.මෝනගේ දුව අදිති වෙනුවෙන් ගත්තු රිමෝට් කන්ට්‍රෝල් එකකින් උඩයන හෙලිකොප්ටරය සහිත පාර්සලයත් මගේ බැක් පැක් එක ලඟින්ම තිව්ව අමතකවෙලා දාල යාවි කියන බයට .මේක දාන්න තරම් ඉඩක් මගෙ ට්‍රැවල් බෑග් දෙකේම  නෑ.බැරිවෙලාවත් අමතකවෙලා ගියොත් පොඩි එකා හරියට දුක්වේවි.එයා මම එනකන් මග බලාගෙන ඉන්නෙ මේ සෙල්ලම් හෙලිකොප්ටරේ එක්ක සෙල්ලම් කරන්න.කෙලි පැංචි මට ස්කයිප් වලින් කතාකරලත් ඒ ගැන විස්තර ඇහුවා.


යාන්තන් ඇහැ පියාගෙන එනකොට එලාම් එක වැදුනා පාන්දර තුනයි . ඉක්මනට ලෑස්තිවුනා තුනහමාර වෙද්දි ගුවන්තොටුපොලට මාව ගෙනියන ටැක්සිය එනවා. ඔය අතරේ කෝල් එකකුත් ආවා ටැක්සි රියදුරාගෙන් තව මොහොතකින් එනවා කියලා . වැඩි වෙලා ගියේ නෑ වාහනයක් ගේට්ටුව ගාව බෙරිහන් දුන්න.යාන්තන් වාහනේට ගොඩවෙලා හරි බරි ගැහිලා බම්බලපිටිය හරියෙදී ඇහැ පියාගන්න හිතුව විතරයි මෙන්න තව කෝල් එකක් ,


"මිස් මේ xz එයාර්පෝට් ටැක්සි සර්විස් එකෙන් අපි දැන් මිස්ව පික් කරන්න ඇවිත් ඉන්නෙ අංක දොලහ ගෙදරට "


මේ මොන අපබ්‍රංසයක් ද ? අපේ කන්තෝරුවෙ ඇඩ්මින් නෝනට මොකක් හරි පටලැවීමක් වෙලා ටැක්සි දෙකක්ම මට බුක් කරලා වගේ .හපෝයි ඒ රියදුරා එක්ක කතාකරල මනුස්සයට ඒක ඒත්තුගන්නන්න සෑහෙන්න වෙලාවක් ගියා .යාන්තන්න ආයේ ඇහැපියවෙන්න එනකොට මෙන්න කටුනායකට ඇවිත්.


තව පැයක් විතර නිදිමතේ එකල මෙකල වෙවී ඉඳල බැග් එක කාර්ගෝදාල ඉමිග්‍රේශන් පාස්කරල ගියා කියමුකෝ.අන්තිම සිකුරටි චෙකින් එකේදි තමයි වැඩේ වුනේ. අරෙහෙන් මෙහෙන් ලයිට් පත්තුවෙනවා සද්ද ඇහෙනවා. සෙල්ලම් හෙලිකොප්ටරේ රිමෝටෙක ඩිටෙක්ට් වෙලා . ගුවන් හමුදා නිලදාරිණියත් , ගුවන්සේවයේ නිලදාරීනුත් කලබල වෙලා . ප්‍රස්නේ ටිකක් බරපතලයි . රිමෝට් එකෙන් උඩයන සෙල්ලම් හෙලිකොප්ටරයක් නිසා  මේක කැබින් දාන්න දෙන්න බැහැ කියලා ඔවුන් කියනවා . අන්තිමට ලඟ තිබුන පොලිතින් බෑග් දෙකක දාලා පාර්සල් කරලා තව මොනවදෝ ෆෝර්ම් එකකුත් පුරවලා දුන්න කාර්ගෝ දාන්න හෙලිකොප්ටරය ගැන තියන ඔක්කොම ආසාවල් අත ඇරලා.දැන් ඉතින් හිත හදාගන්න වෙනවා මේ පොඩි පාර්සල් එක ,මහ බෑග් එක්ක තෙරපිල කැඩිල බිඳිල යාවිද මන්දා.දිල්ලියෙදි ට්‍රාන්සිට් වෙනකොට මේක මගේ කත්මන්ඩු ගුවන්යානයට යාවිද කියලත් සැකයි .මොනව කරන්නද? පොඩි එකාට දිල්ලියෙ ඩියුටි ෆ්‍රී එකෙන් චොක්ලට් එකක්වත් අරන් යනවා කියල හිත හදාගත්තා.


ගමන පිටත්වුන වෙලේ ඉඳන් කරදර .ඔහොම හිත හිත සිකුරටි චෙකින් ඉවරවෙලා සපත්තු දෙකේ ලේස් ගැටගහගෙන නැගිටිනකොටම  දැකල පුරුදු මූණක් . ආයෙත් හොඳට බැලුව. බොහොම පිලිවෙලට ඇඳලා ගාම්භීර පෙනුමත් එක්ක එයත් මට හිනාවෙනවා. දෙවියනේ ඔන්න දැන් මතක්වුනේ මේ ප්‍රොෆෙසර් නිලංකා නේද ?. විශ්ව විද්‍යාලෙන් පිටවෙලා අවුරුදු හයකට විතර පස්සේ මැඩම්ව දැක්කේ.ඉක්මනට ගිහින් කතාකලා .එතකොට තමයි අපි  දන්නේ අපි දෙන්නම එකම ගුවන් යානෙන් නේපාලෙට යනවා ප්‍රොෆෙසර් නිලංකා අපේ පුහුණුවේ දේශක වරියක් හැටියට සහබාගි වෙනවා .මම ආයෙත් එයාගෙ ගෝලයෙක් වෙලා.


යාන්තන් ගුවන්යානය ගුවන් ගතවුනහම තමයි හිතට සැහැල්ලුවක් ආවේ ,ඒපාරනම් ඇස්දෙක පියාගත්තා හොඳට.පැයබාගයක් විතර ප්‍රමාදවෙලා තමයි ගුවන් යානය දිල්ලියට ගොඩබැස්සුවේ.ඉන්දිරාගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොල "කොමන් වෙල්ත් ගේම්" වලින් පස්සේ හරියට හැඩ වැඩ වෙලා .ඒත් සෑහෙන්න දුරක් කිලෝමීටර එකකට වඩා ඇවිදගෙන එන්න වෙනවා ට්‍රාන්සිට් කවුන්ටරයට. එතන හරිම කලබලගෑනියක් .


නේපාලෙන් ආව ගුවන් යානයක් ප්‍රමාදවෙලා ගොඩබැහැලා .ඒකෙන් ආව ලන්ඩන් , ෆ්‍රැන්ක්පර්ට් , මිලානෝවලට ට්‍රාන්සිට් වෙන සුදු ජාතිකයන්ගේ දිග පෝලිමක් . මේ ඔක්කොම ඉක්මනට සිකුරටි චෙකින් කරලා යවන්න ගුවන් සේවා නිලධාරීන් උත්සාහ කරනවා .


එනි ජෙට් එයාර්වේස් පැසෙන්න්ජර් ටු මිලානෝ ෆ්‍රැන්ක්පර්ට් ?
වර්ජින් පැසිෆික් එයාර්වේස් පැසෙන්ජර්ස් ටු ලන්ඩන් ?
මිලානෝ ෆ්‍රැන්ක්පර්ට් ජෙට් එයාර්වේස්...
වර්ජින් ලන්ඩන් වර්ජින් ලන්ඩන්


බොහෝ මගියො හතිදාගෙන ට්‍රාන්සිට් කවුන්ටරයට දුවගෙන එනවා .සිකුරටි චෙකින් වලට ගියහම ඉන්දියන් පොලිස් කාරයො කෑගහනවා ලැප්ටොප් එක තරම් අපරාධකාරයෙක් ලෝකෙ කොහේවත් නෑ වගේ . ඒ මදිවට කාගෙද සුද්දෙක්ගේ සාක්කුවක තිබිල ලයිටරයක් අහුවෙලා එක ජංජාලයයි


 මේ හැමෝගෙම ගුවන් යානා වලින් මගීන් කැඳවන අවසාන නිවේදන නිකුත්වෙනවා. ගුවන්සේවකයො කෑගහනවා "ගේට්ස් ඕපන් උපර් උපර්" කියල (ඉන්දියන් ක්‍රමේට අපර් කියන්නේ ඔහොම ) 
මේ කලබගෑනිය බලාගෙන ට්‍රාන්සිට් පෝලිමේ ඉන්නකොට මට මතක්වුනේ පොඩිකාලෙ ඉගෙනගත්තු නර්සරි රයිම් එකක තාලෙ. මම ඒ තාලෙ  දාල විකාර කවියකුත්  ගෙතුව


Virgin London Virgin London
Madam Laptop ....Madam Laptop
No match box... No Match Box
Gates Open..... Gates Open
"Uper Uper .".
Finala call....Final call
London on Fire ...Fire


මම හදිස්සි කාරයො කීපදෙනෙකුට ඉඩදීල පෝලිමේ ගිහින් ට්‍රාන්සිට් වුණා.තව කිලෝමීටරයක් විතර ඇවිදගෙන ගිහින් මගේ ගුවන්යානාවට පිවිසෙන ගේට්ටුව හොයාගෙන හති අරින්න හිතුව විතරයි කවුදෝ මගේ පිටට තට්ටු කලා . ටිකක් වියපත් ප්‍රසන්න පෙනුමක් තියෙන ලස්සන සුදු ,කලු කපු සල්වාර් එකකින් සැරසුණ කාන්තාවක් හිනහවෙමින් හිටියා.


"ඔයා zzzz ආයතනයෙන් නේද ? " එයා අහනවා
.
මම පුදුමෙන් වගේ බලද්දි එයා හිනාවෙලා මගේ  බැක් පැක් එකේ ගැටගහල තිබුණ රාජකාරි කාඩ් පත පෙන්නුවා.එයා අපේ ආයතනයේ උපදේශක වරියක් හැටියට කාලයක් වැඩ කරලා තියෙනවා .මගේ යාලුවො කීපදෙනෙකුත් දන්නවා .ඇයත් මම යන පුහුණුවටම නේපාලෙට යනවා . අපේ ගුවන් යානෙ පැය බාගයක් ප්‍රමාද නිසා ලඟ තිවුණ කෝපි හලට ගිහින් හොඳ කය්යික ගහගෙන තේ බිව්ව.


ඔය ඔක්කොම ජර මර පහුකරගෙන අතුරු ආන්තරාවක් නැතුව නේපාලෙට සැපත්වුණේ එදා හවස තුනට විතර. ගොඩබැහැපු ගමන් ආයෙත් මතක්වුනේ පොඩි එකාගේ හෙලිකොප්ටරේ. ඒකට මොනවා වෙලාද කියල හිත හිත බැගේජ් බෙල්ට් එකට ගියා.හරි පුදුමයි මගේ බෑග් එකටත් කලින් හෙලිකොප්ටර්  පාර්සල  එනවා කිසි අතුරු ආන්තරාවක් වෙලා නෑ වගේ . මම පැනල පාර්සලය බෙල්ට් එකෙන් ඩැහැගත්තා .දැන් නම්  මගේ බෑග් එක නැතිවුනත් කමක්නැහැ.


හ්ම්ම්... ඔක්කොම කදමලු කරගහගෙන ත්‍රිබුවාන් ජාත්‍යන්තර ගුවන්තොටෙන් එලියට බැස්සා විතරයි වේරම්බ වාතයක් වගේ දුවගෙන අවිදින මෝනා මාව සිප  වැලඳගත්තා.


"මචං යූ කම් අගේන් රයිට් ආෆ්ටෙර් ටූ ඉයර්ස් ඈස් යූ ප්‍රොමිස්. වෙල්කම් ටු නේපාල් මෑන්" කියලා එයා මාව. බදාගෙන කෑගහනවා සතුට වැඩි කමට . මට "මචං" කියල ප්‍රසිද්දියේම කතාකරන හිතවත්ම මිතුරියන්ගෙන් එක්කෙනෙක් මෝනා .මාත් එයාට ඇටොමික් බොම්බ් , කවුබොය් ශර්පා වගේ නම් වලින් අමතනවා .ඔහොම සීමා බන්ධන නැතුව කතා කරන්න පුලුවන් , යාලුවො ඉන්න එකත් සැපතට කාරණාවක් . එහෙම යාලුවො කාලෙකින් දැක්කම හිතට ලොකු සතුටක් දැනෙනවා.


ආගිය විස්තර කතාකරමින් අපි ගියේ ලඟ තිවුණ කෝපිහලට .එතනින් ඩෝනට් දෙකකුයි , කෝපිය් අරගෙන ගුවන්තොටුපොලේ කුලී රථ ගාල පැත්තට ගිහින් කයිවාරුවක් ගහගෙන බෑග් පටවල තිබුණ මගේ ට්‍රොලිය උඩ වාඩිවෙලා දෙන්නම කෝපි බිව්ව.අපි දෙන්නට ටික වෙලාවක් මෙතැන ඉන්න වෙනවා කල්කටා වල ඉන්දල එන සුම් සහ එලිනා මිතුරියන්  මුණගැහෙන්න . ඒදෙන්නත් ආවම අපේ ප්ලෑන් එක ආයෙත් රෙස්ටුරන්ට් එකකට ගිහින් කාල බීල ටිකක් කයිවාරු ගහන්න . හැමෝම මුණගැහෙන්නෙ අවුරුදු දෙකකට පස්සේ නෙ .  ඔය අතරේ අපිව පිලිගන්න ගුවන්තොටුපොලට ඇවිත් හිටිය සංවිධායක මංඩලේ උදවිය මුණගැහිලා  අපි තුන්දෙනා  පරක්කුවෙලා අපේ නවාතැනට  එනව කියල කියන්නත් අමතක කලේ නැහැ .


අපි දෙන්න ඉතින් කට කමසිරියාවක් නැතුව කියව කියව හිනාවෙවී කෝපි බිබි ටැක්සිකාරයො පිරුණ තැනක වගේ වගක් නැතුව ඉන්නකොට එතැනට ආව නේපාල් පොලිස් රාලහාමිකෙනෙක් අවවාදකලා අමුත්තන් සඳහා වෙන් වෙලා තියෙන සාලාවට ගිහින් වාඩි වෙලා ඉන්න කියලා .අන්තිමේදී අපිට මනුස්සය මහ වදයක් වුණා . රංඩු කරන්න බැරි නිසා දෙන්නම කුනු දූවිලි පිරුණ ගුවන්තොටුපොල අමුත්තන්ගේ සාලාවට ගිහින් ඉඳගත්තා .මම හිතන්නෙ පොලිස්කාරයට අපි දෙන්නගේ කියවිල්ලයි ,හිනාවයි ටිකක් ගානට වැඩියි වගේ දැනෙන්න ඇති .කල්කටා ගුවන්යානය සෑහෙන්න වෙලාවක් ප්‍රමාදවෙලා ගොඩබැස්ස. සුම් සහ එලීනා මගීන් පීරගෙන ආවා . ආයෙත් සිප වැලඳගැනීම් , හිනා වීම් අඩුවක් නෑ. සුම් සතුටු කඳුලු හෙලනවා.අපි ප්ලෑන් කරලම  'සර්ප්‍රයිස්' එකක් දීල එයාව ඇඬෙව්වා.  සුම් දැනගෙන හිටියේ නෑ මමත් මෝනත් එයාව බලාපොරොත්තුවෙන් ගුවන්තොටුපොලේ ඉන්නව කියලා.ගොඩක් සතුටුවුණහම සුම්ට ඇඬෙනබව අපි දැනගත්තේ මීට කලින් දුලික් හිල් වල හමුවුණ වෙලාවෙ.


ඉතින් කට්ටියම ටැක්සියක නැගලා පාතන් දර්බාර් වලට ගියා . යනගමන් කතාවුනේ ලංකාව අවාසනාවන්ත විදියට ලෝක කුසලානෙ පරාදවුන එක ගැනයි , නේපාලෙ සංවර්ධනේට ඉන්දියාව කරන නින්දිත බලපෑම් ගැනයි . ඒවෙලාවට මෝන ඉන්දියානුවන්ට බනින්න පටන්ගන්නෙ " දීස් ඉන්ඩියන්ස්" කියල.අපි පාතන් දර්බාර් වල "කැෆේ ඩි පාතන්" කියන අවන්හලට ආවා.මේ හරියෙම තමයි මීට අවුරුදු දෙකකට කලින් අපි බෆ් ඩෙවල් කාල චැන්ග් බිව්ව පොඩි කඩේ තියෙන්නෙත්.


අවන්හලේ වැඩි සෙනගක් නෑ. මිටි මේස තියල කුශන් මෙට්ට අතුරපු බොහොම ප්‍රියමනාප තැනක් . හැමෝගෙම ගමන් මලු පැත්තක තියලා වාඩිවෙලා මහන්සි ඇරලා කෑම ඕඩර් කලා .කාටත් "මො මෝ" (Mo Moo)  කන්න දොලදුකක් තිබුණ නිසා චිකන් "මො මෝ" ලොකු  පිඟන් දෙකකුයි , ලැසියි , ස්ට්‍රෝන්ග් බ්ලැක් තේ හතරකුයි , "සයිෆාලි" කියන නේපාල් කෑමයි ඕඩර් කරා.


කෑම එනකන් ආයෙත් ආගිය කතන්දර කියවන්න ගත්තා . සුම් තව මාස දෙකකින් නිව්යෝර්ක් යනවා . මෝනට කාර්යාලයේ උසස්වීමක් ලැබිලා.එයා ගිය මාසෙ රාජකාරි වැඩකට බ්‍රසීලයට ගිහින් ඇවිත් වැඩි දවසක් නැහැ.එලිනා අලුත් තැනක  රැකියාවකට ගිහින්. අපි හැමෝම ටිකක් මහත් වෙලා .කවුරුත් කතාකරමින් හිනාවෙන අතරේ මම පොටෝගහනවා. "මචං ඩෝන්ට් ටේක් මයි ටමී" කියලා මෝන කෑගහනවා .


අපි හැමෝගෙම ගමන් මලු ලිහාගෙන කාටත් ගෙනාව තෑගි දිග අරිනවා .මනිපූර් වල අපේ හොඳම මිතුරියක් වෙන චිත්‍රා, සුම් අතේ අපි හතරදෙනාටම මනිපුර් දුපට්ටා (shawls) එවල . ඒව ඉම්පාල් ටවුමෙදී සුම්ට දෙන්න චිත්‍රා, සුම් එන බස් එක අල්ලගන්න ගොඩක් වෙලා මග බලාගෙන ඉඳලා තියෙනවා.මිතුරියන් අතර සහෝදරත්වය වැඩි කරගන්න දුපට්ටා තෑගි දීම ඉන්දියානු කාන්තාවන්ගේ සිරිතක්. කවුරුත් තමන්ගෙ දුපට්ට පෙරවගෙන ඒ මේ අත කැරකෙමින් හැඩ බලද්දී මම ෆැශන් ෂෝ එක කැමරා ගත කලා.එලිනා සහ සුම් , මෝන සහ මා වෙනුවෙන් කල්කටාවෙන් ලස්සන මෝස්තර තියෙන කුරුතා දෙකක් ගෙනිල්ල . මගේ ගමන් මල්ලෙන් ලංකාවෙන් ගෙනිච්ච ටී ශර්ට් , පොත් සහ චිත්‍රපටි සී ඩී ඒ තුන්දෙනාට තෑගි කලා .අදිතිගේ හෙලිකොප්ටරයත් මෝනට බාරදුන්න. අපි බෑග් දිග ඇරගෙන හිනා වෙමින් කෑකෝ  ගහමින් සතුටුවෙනවට රෙස්ටුරන්ට් එකේ උදවියගෙන් කිසි බාදාවක් තිබුණේ නැහැ.ඔය අතරේ කවුරුත් යාලුකමට  මාල්බරෝ ලයිට්ස් එකකුත් පත්තුකරන් මාරුවෙන් මාරුවට දුම් උගුරු කීපෙකුත් බිව්ව.ඒ සැඳෑව    යාලු මිතුරුකම් උතුරා පිටාරගලා ගිය මොහොතක් වුණා.


මෝනට සමුදීල හවස හතට විතර  සුම් , එලිනා සහ මම අපේ නවාතැන වුන  ගෝදාවරී නිවාඩු නිකේතනයට පිටත්වුනා. පැයක විතර ගමනකට පස්සේ අපි ගෝදාවරියට ආවා.පුහුනුව සංවිධානය කරන ආයතනයේ ගයත්‍රි ඒ වනවිටත් ගුවන්තොටුපොලේදීම කට්ටි පැන්න අපි හතරදෙනා එනකන් මග බලමින් හිටියා .අපි හැර පුහුණුවට සහහාගිවන අනිත් සියලුම දෙනා ඒවනවිටත්
ගෝදාවරියට ඇවිත් තමන්ගේ නවාතැන් කාමර ලබාගෙන තිබුණා.


ගයත්‍රි තරමක් බැගෑපත්වී අපි තුන්දෙනාට කියාසිටියේ නිවාඩු නිකේතනයේ කාමර වෙන් කරගනීමේ ගැටලුවක් පැන නැගුන නිසා පොරොන්දු වූ පරිදි අපිට ඩබල් රූම් දීමට නොහැකි බවත් මේ ගැටලුව හෙට උදේ විසඳන තෙක්  අපි තුන්දෙනාට අද දිනයේ ට්‍රිපල් රූම් එකක ඉන්න ලෙසය.ඉබ්බ දියට දැමූවිට ඇන්නෑවෙදැයි කිව්වසේ අපි එක පයින්ම යෝජනාවට කැමතිවුණා පමණක් නොව මුලු පුහුණු කාලයේම ට්‍රිපල් රූම් එකක ඉන්න හැකි බව ඇයට සතුටින් පැවසුවෙමු. සංවිධායකයන්ට එය මහත් සැනසුමට හේතු වූ කාරණයක් වූවාට සැකයක් නැත .

දුලික් හිල් වලදි වගේ ආයෙත් රෑ මැදියමක් වෙනකන් නොනිදා කතාකරන්න අපි තුන්දෙනාම  ගාව ඕනෙතරම රස කතා තිබුණා. ඉතින් අවුරුදු දෙකකට පස්සේ හමුවුණ අපි තුන්දෙනාට මීට වැඩිය සැපක්  කොහෙද .

ප/ලි


හිමාල මිටියාවතෙ ගමන් කතන්දර ලියන්න ටිකක් පරක්කු වුණා . වැඩ වැඩි වුණ නිසා .මේ සටහනින් හිමාල ගමන් කතා පටන්ගන්නවා .  බස් එකෙන් පොකරා ගිය කතාව ගැන මීලඟට  ලියන්න හිතාගෙන ඉන්නවා .