Saturday, March 5, 2011

අපේ කන්තෝරුවේ "වෙඩි නොවදින බොලෙරෝ ඩක්කු"




මගේ "ලැට් එක "නැතිවුණ කාලෙ අපේ කන්තෝරුවෙ උන්නු ඔෆිසර උන්දැලා වැඩ රාජකාරි වලට යහමින් ගමන් බිමන් ගිය කාලයක්.කොලඹ , මාතර , හම්බන්තොට , මොණරාගල , අම්පාර ,බැටී, ට්‍රින්කො , වවුනියා,මන්නාරම ,   නුවර , හැටන් , ......බලාගෙන ගියහම ගොගිය දිල්ලියක් නෑ.හැම තැනම කරක්ගහලා .ඉතින් මේවයෙ යන උන්දැලට වාහනත් දෙන්න ඔනෙ නේ.  ඔෆිස් එකට ඒවෙනුවෙන් මහින්ද්‍රා ස්කෝපියෝ ජීප් තුනකුයි , මහින්ද්‍රා බොලෙරෝ කැබ් දෙකකුයි ,ටොයෝටා ඩබල් කැබ් එකකුයි, හයර් වෑන් එකකුයි , ඉස්තිර රියදුරො පස්දෙනෙකුයි සැදී පැහැදී හිටියා. ඔය මහින්ද්‍රා වාහන අපේ අල්ලපු රටේ ඒවනෙ .ඒකලෙ අපේ ප්‍රෝග්‍රෑම් සපෝර්ට් යුනිට් එකේ ඉහල  මැනේජර් කෙනෙකුට පුදුම උණක් තීල තියෙනවා මෙච්චර හොඳ සෙකන්ඩ් හෑන්ඩ් ජපන් වාහන තියෙද්දිත්  අල්ලපු රටෙන්ම වාහන ගෙන්නන්න. ස්කෝපියෝ ජීප් නම් හොඳ පෙනුමයි .ගමනත් පහසුයි . හතර පස් දෙනෙක් නග්ගගෙන  යන උන්දැලගේ හට්ටි, පෙට්ටි, වට්ටිත් අරස්සා ඇතුව  පටෝගෙන දුරගමන් ගියහැකි .හැබැයි නඩත්තු වියදම් අධිකයි කියල තමා ලොජිස්ටික් අංසේ කොල්ලො කියන්නේ . මේ ඔය මහින්ද්‍රා ස්කෝපියෝ ,බොලෙරො ලංකාවට ආපු අලුතම .මගෙ හිතේ අපේ ආයතන සමූහයේ   වෙන්න ඕනේ එක්වර මේ තරම මහින්ද්‍රා වාහන තොගයක් තිබුනේ ඒ කාලේ .


බොලෙරෝ වාහන නම් කිසිම කෙනෙකුට පෙන්නන්න බෑ. වැරදිලාවත් පැය තුනක හතරක දුර ගමනකට ඔයින් එකක් ලැබුනොත් යන එකාට බුදු සරණයි .අපි යන එන පාරවලුත් ඒ තරම් හොඳ නැහැනේ.ඉතින්  ගමනාන්තෙට යනකොට  ලඟම තියෙන හොස්පිටල් එකට තමා ඇඩ්මිට් වෙන්න වෙන්නේ .ඒ තරම් ගැස්සෙනවා , උඩයනවා, පැද්දෙනවා.අතපය කැකුම් ,කොන්දේ අමාරු හැදෙනවා. ඔය වාහන වල දොරවල් වහන්න ඕනේ අල්ලපු රටේ වාහන හැදුව  ෆැක්ටේරියේ උන්දැලට ඇහෙන්න කියලා තමයි රියදුරු මහත්තුරු කියන්නේ .නැත්නම් දොර ලොක් වෙන්නේ නෑ. වැඩි සැප  පහසු නැති මේ බොලෙරෝ කැබ් වලට කවුරුත් කිව්වේ "බොලෙරෝ ඩක්කු" කියලා. ඉතින් ඔහොම  බොලොරෝ ඩක්කුවක දුර ගමනක් කාරිය යන්න වුනොත් අපේ උන්දැල ප්‍රෝග්‍රෑම් සපෝර්ට් යුනිට්  එකේ ලොක්කගේ නෑ පරම්පරාවම මතක්කරකර පින්දිදී  තමයි ගමන යන්නේ . ඒ තරම ගමන සැප පහසුයි .


වාහන ගැන වගේම අපේ රියදුරු තුමාල ගැනත් කියන්න එපැයි . රියදුරො පස් දෙනාගෙන් හතරදෙනෙක්ම මැදි වයසේ අංකල්ලා, අයියලා. කලින් ඔය ටුවරිස්ට් බස් කොම්පැනි වල , රෙන්ට් අ කාර් සර්විස් වල , ලංගමේ වැඩකොරපු පුරුදු කාරයො.පස්වැනියා පොඩි කොල්ලෙක් .අවුරුදු විසිතුනක් විතර .අලුතෙන් ඩ්‍රයිවින් ලයිසොමක් අරන් වැඩට ආව එකෙක් .මිනිහගේ නම සුනිල් .හැම ඔෆිස් එකේම වගේ අපේ ඔෆිස් එකෙත් රියැදුරු උන්දැලා තම තමුන්ගේ ඩ්‍රයිවින් සීනියෝරිටි එක ගැන බොහොම සැලකුවා.ඉතින් සීනියර් උන්දැලා නිතරම ඔය ස්කෝපියෝ ජීප් , ටොයොටා කැබ් එක  වගේ වැදගත් වාහන  ඩ්‍රයිවින් කොලා .අනේ අර සුනිල් කොලුවට තමා හැමතිස්සේම බොලෙරෝ ඩක්කු එලවන්න වුනේ. 


සුනිලුත් ඉතින් මහ පිස්සු වාත පොරක් .කිසි දවසක වෙලාවට වැඩට යන්න එන්නේ නෑ.අට කිව්වොත් නවයට තමා එන්නෙ. මම දවසක් උදේ අටට මේ යෝදයා එක්ක ගමනක් යන්න බලන් හිටියා .ම්හූ... මිනිහ නෑ අටයි කාලත්.  පහුවෙලා ඉතින් මිනිහගේ මොබයිල්  පෝන් එකට කතා කලහම කිව්වේ "මිස් මම මේ ඔෆිස් එක ගාවමයි ඉන්නේ " කියල .එහෙම කිව්වට ආවේ නවයට විතර .මිනිහට මම කතාකරනකොට ඉඳල තියෙන්නේ මොරටුව හරියෙ වගේ .සුනිල් ඔහොම පරක්කුවෙලා එන්නත් තමන් ඉන්න තැන ගැන බොරු විදින්නත් හරි සූරයා.ඒනිසා ලොජිස්ටික් අංසේ කොල්ලොත් , සීනියර් ඩ්‍රයිවර්ලත් මිනිහට නිතරම කාඩ් ගහනවා , මඩ ගහනවා ඉවරයක් නෑ.


මට කියන්න අමතක වෙනවා තව පොඩ්ඩෙන් .අපේ වාහන වල යන ඔෆිසර උන්දැලට නීති මාලාවක් තියෙනවා . දුර ගමන් යද්දි "කෝලින් පොයින්ට්ස්" කියල එව්ව වගයක් තියෙනවා . ඒව පහුකරනකොට ප්ලීට් මැනේජර්ට කෝල් කරන්න ඕනේ .ඔය වාහන වල කිසිම පිටස්තරයෙක් අඩු තරමින් පවුලෙ කෙනෙක්වත් ගෙනියන්න බෑ.එහෙම නම් ආයතනයේ ලොක්කගේ අවසර ඕනේ. කිසිම හේතුවක් නිසා සන්නද්ද හමුදාවල උදවිය මේ වාහන වල ගෙනියන්න බෑ. ඒක නිසා හැම වාහනේකම   කලු  තුවක්කුවක් රතු  තනි ඉරකින් කැපුව සඥාවක් සහිත ලොකු  ඉස්ටිකර් එකකුත් අලවලා තිවුනේ.


ඒ අපිට  බෙලිඅත්ත , වීරකැටිය පත්තෙත වැඩිපුර රවුම් ගහන්න වුන කාලයක් . ඒගමන් බිමන් වල ඩ්‍රවින් වැඩේ අපේ ප්ලීට් මැනේජර් සුනිල්ට බාරදුන්න මිනිහගේ ගමත් ඔය කිට්ටුව නිසා .මිනිහ බොලෙරෝ වාහනෙන් අපිව එකගෙන යනවා එනවා .ඔය අතරේ ලොජිස්ටික් කොල්ලො කියන්න ගත්තා වීරකැටියේ , බෙලිඅත්තේ සමහර මුදලාලිලත් බොලෙරෝ ඩක්කු  ගන්න හරි උනන්දු වෙලා කියලා .ඒකට හේතුව අපේ සුනිල් කියලයි කාඩ් ගැහුවේ .


ලොජිස්ටික් එකේ උදවිය කියන විදියට මෙහෙමයිලු වෙලා තියෙන්නේ . අපි රාජකාරියට බැස්සුවාට පස්සේ අපේ රියදුරු සුනිලට වෙන වැඩක් නැහැනේ .ඉතින් මිනිහා වාහනේ හෙවනක පාක් කරගෙන ඇලට් පාරක් දානවා, එක්කො පත්තරයක් බලනවා, නැත්නම් අහල පහල කඩේකට වෙලා කයිවාරු ගහනවා. ඉතින් දවසක් ඔහොම ලඟ කඩේක මුදලාලි  කෙනෙක් එක්ක අපේ සුනිල් කතාවට වැටිලා. කඩේ මුදලාලිත් එයාගේ වැඩ වලට බඩු අදින්න වාහනයක් ගන්න හිතහිත හිටි වෙලාවක් නිසා ඒ ගැන සුනිල්ගෙන් විස්තර අහමින් හිටි වෙලාවක මෙන්න මෙහෙම සංවාදයක් ඇතිවෙලා .


මුදලාලි- "මහත්තයෝ මොකෝ අර ඔහේගේ වාහනේ තුවක්කුවක්   තනි ඉරකින් කැපුව ඉස්ටිකර් එකක් අලෝල තියෙන්නේ ?


සුනිල් -" මේකනේ මුදලාලි අපි මේ බෙලිඅත්තේ , වීරකැටියෙ එහෙම එනකොට ආරස්සා ඇතුව එන්න එපැයි.(කවුරුවත් මගෙන් අහන්න එපා ඔය කියන කාලෙ ඔය  පලාත්වල තිවුණ ආරක්ෂක මුරකාවල් , තර්ජන ගැන  හොඳේ ) .ඉතින් අපි ඒ ගැන හිතලා වෙඩිනොවදින වාහන ගත්තා අපේ කන්තෝරුවට . ඔය තුවක්කුව තනි ඉරෙන් කපපු ඉස්ටිකරෙන් කියන්නේ මේ වාහන බුලට් පෲෆ් ,වෙඩි වදින්නේ නෑ.ඉන්දියාවේ වාහන කොම්පැනියෙන්මයි ඔය බුලට් පෲෆ්  සහතික කරන ඉස්ටිකරේ අලෝල එවල තියෙන්නෙ .  ඔන්න මුදලාලි කියාපු වාහනේ ගන්නවනම් ,බඩු අදින්න , ගමන් බිමන් යන්න , මේ පැත්තේ ඕනෙ වලියක් , තර්ජනයක් වුණු වෙලාවක පැනල යන්න නියම වාහනේ මෙ බොලෙරෝ ඩක්කුව.වෙඩිවදිනව බොරු "

ඉතින් සුනිල්ගේ ඔය කතාවෙන් පස්සේ තමයිලු බෙලිඅත්ත ,වීරකැටිය පැත්තේ මුදලාලිලා බොලෙරෝ ඩක්කු ගන්න උනන්දු වුනේ ....ලොජිස්ට්ක් කොල්ලෝ කියන්නේ එහෙමයි 

ප/ලි
ඇත්තටම අපි ඔය වාහන වලින් ඔය ගම් පැතිවල කරක් ගහන්න ගත්තට පස්සේ ඒ පලාත්වල යමක් කමක් ඇති උදවිය කීපදෙනෙකුත් බොලෙරෝ වාහන ගත්තු බව නම් ඇත්ත කතාව .මාත් ඔයකාලෙ ඒ ගම වල ඔය වාහන තියෙනවා දැක්ක අපේ ආගමනයෙන් පස්සේ .