Saturday, January 29, 2011

සිකුරාදාට හැදෙන අලි බඩගින්න !



සිකුරාදා කියන්නෙ සතියෙ වැඩ රාජකාරි සේරම ඉවර කරල යන්තන් හුස්මක් ගන්න ගෙදර යන දවසනේ. එදාට ටිකක් කලින් ගෙදර යන්න පුලුවන් නම් තවත් හොඳයි .ඒත් එහෙම වෙන්නෙ හාවා හඳ දකින්න වගේ හරිම කලාතුරකින් .


ඒ මදිවට හැම මාසෙම සිකුරාදාවල් කීපයකදී මට අලි බඩගින්නකුත් හැදෙනවා.ඒක වෙන්නෙ මෙන්න මෙහෙමයි . හැම මාසෙම දවස් හත අටක් රාජකාරි කටයුතු වලට මට කොලඹ ප්‍රධාන කාර්යාලෙට වාර්තා කරන්න වෙනවා . එහෙම වුණහම ඉතින් ස්ටෆ් ක්වාටර්ස් එකෙ රැයක් දෙකක් ලගින්න වෙනවා . මොකද ඔය වැඩ ටික ඉවර කරගන්න සතියෙ බදාදා කොලඹට ගියහම ආයෙ ගෙදර එන්න වෙන්නෙ සිකුරාදා හවස් කරේ. එහෙම වුණහම අලි අමාරුවක වැටෙන්නෙ කටට රහට කෑම ටිකක් නැතුව . ඒ කියන්නෙ සුපුරුදු රතු කැකුළු බත් , පොල් සම්බල්, මාලු , එලවළු , කොල මැල්ලුම් , කිරිහොදි වගෙ දෙවල් කන්න ලැබෙනවා බොරු . පොල් , එළවළු , මාලු , එහෙම ගිණි ගනන් කාලෙක ඕවා සුපිරි කෑම බව හැබෑව .ඒත් මම ඉතින් තුන් වේලටම බත් කන්න පුරුදු මනුස්සයනේ. ඉතින් කොලඹට සේවයට ගියහම හිතේ හැටියට රතු බත් කටක් කෑව බොරු.මගේ ඔෆිස් එක වටේම තියෙන්නෙ විච්චූරණ නම් ගම් තියෙන සුපිරි චීන , ඉන්දියන් , තායි කෑම කඩ වල මගේ ටේස් එක නැහැනේ.එතකොට ඉතින් උදේට පෙරේරා සහ පුත්තුන්ගෙන් පිටි ගුලියක් ගිලිනවා.එහෙම නැත්නම් මැගී එකක් ම්යික්‍රො වේව් එකේ දාලා හදාගන්නවා. දවල්ට පෘට් ජූස් බොනවා.ලොකු බඩගින්නක් නම් ඉතින් ඔය තායි , චීන , ඉන්දියන් කඩේකින් තෙල් ගොඩගහපු ටේක් අවේ පැකට් එකක් ගෙනිත් ඔෆිස් එකේ කා එක්ක හරි බෙදාගෙන කනවා.රැට නම් හරිම අමාරුවක වැටෙන්නෙ . ඔය ඔක්කොම කඩවල රෑට බෙහෙතකටවත් බත් එලවලු මාලු නැහැනේ. ඉතින් ඔය පිට්ටු ආප්ප ඉඳි ආප්පවල පිහිට තමයි . ඔහොම රෑ දෙකක් ගෙවිලා සිකුරාදා වෙනකොට හොඳ ගනන්. එදාට ඉතින් හිතෙන්නෙම ඉක්මනට වැඩ අහවර කරලා ගෙදර ගිහින් රතුබත් කන්න.


ඔහොම හිතලා දවල් කෑමත් නොකා දොලහමාරට විතර වැඩ ඉවර කරන්න ගිනි කසයා වගේ වැඩ කරනවා දවල් කෑම අමතක කරලා .දොලහමාරට විතර කොලඹින් පිටත්වුණොත් කලුතර පැන්නට පස්සෙ කඩේකින් හිතේ හැටියට රතු බත් කටක් කන්න පුලුවන් .අනේ ඉතින් මේ සිකුරාදාත් , ඒ කියන්නෙ ඊයෙත් මම ඔහොම හිතලා වැඩ කොලාට මොකෝ ඔෆිස් එකෙන් පිටත්වෙනකොට හවස තුනහමාරත් පැනලා.ඔක්කොම වැඩ ඉවර කලත් ලොක්කි මුණගැහිලා සේරම දේවල් වලට එයාගෙ අත්සන් අරගෙන ෆයිල්ස් බාරදෙනකොට දන්නෙම නෑ වෙලාව ගිහින්. පිටත්වෙනකොට බඩ පණුවො පිනුම් ගහනවා ඒත් ඉතින් මේ වෙලාවට බත් හෙව්ව බොරු .මගේ රියදුරාටත් වැඩි දවසට මේ සන්තෑසියමයි වෙන්නෙ . සතියෙ දවස් පහම කොලඹ නේවාසික වෙලා ඉඳලා වැඩි දවසට ඉක්මනට ගෙදර යන්න මගේ වාහනේ එල්ලෙන හුස්නි සහෝදරයාත් එහෙමයි . ඉක්මණට අපි එක්ක ගෙදර යන්න මිනිහත් ලන්ච් නොගෙනම වැඩ ඉවර කරනවා .අන්තිමට බඩගින්නෙ .


ඉතින් අපි බඩගිණි කාරයෝ තීරණය කොලා මොරටුව පැන්නම තියෙන හරි හමන් කඩේකින් උණු පාණුයි , මාලු හොදියි කාලා ප්ලේන්ටියක් වත් ගහන්න ඕනේ කියලා. ඔය අතරේ මොරටුව පහුකරද්දී මාදැලක් ඇදලා අලුත්ම හාල්මැස්සො , පැන්නො ලාබෙට විකුණනවා. අපිත් නවත්තලා හාල් මැස්සො එහෙමත් අරගෙන ගෙවල් වලටත් කෝල් දුන්න රතු බත් උයලා පොල්සම්බල් හදලා තියන්න කියලා .


"අලුත් මාලු ටික , ගිහින්  හොදි හදාගෙන උණු උණුවෙන්ම කන්න පුළුවනි" කියලා හුස්නි කියනකොට හැමෝගෙම කටට කෙල උණලා බඩගිණි දෙගුණ වුණා.


ඉතින් පානදුර හරියෙදී පාන් කන්න කඩයක් සොයාගන්න අපි තීරණය කළා. ඒත් ගොඩක් කඩවල් වල හවසට පානුයි හොදියි දෙන්න කඩකාරයෝ කැමති නැහැනේ. ඔන්න ඉතින් යූ ටර්න් එකකුත් ගහලා අපේ වාහනේ නැවත්තුවා උනු පාන් , උනු උනු සුප්, දැන් බෑව ආප්ප, එන්න කන්න කොත්තු වගේ ආකර්ෂණීය පුවරුවක් එහෙම තිඹුන තැනක . හුස්නි බැහැලා ගියා බලන්න . ඔන්න ගිය පයින්ම එනවා තාම හොදි හදලා නැහැ කියාගෙන . "මුන්ගේ බෝඩ් ලෑලි මොන මගුලකට ගහනවද මන්දා" කියලා බණිමින් මගේ රියදුරා වාහනේ සැර දැම්ම .තරහටත් එක්ක දැන් මර බඩගිනියි තුන්දෙනාටම .ඔහොම ගිහින් ආයෙත් නැවත්තුවා ලොරි එහෙම නවත්වලා තියෙන කන්න බොන්න තියෙනවා කියලා හිතුව පොට් එකක . මෙන්න ආයෙත් කෑම ගැන විපරම් කරන්න ගිය මිනිහා එනවා ගියපයින්ම "කඩේ එකාගෙ බෙල්ල ගලවලා අතට දෙන්න හිතෙනවා, පානුයි හොදියි ඇහුවම කොත්තු කන්න කියනවා ඒකා" කියමින් .


අන්තිමටම බඩගිනි වැඩි කමට වාද්දුවේ පාන් බනිස් තියෙන , රෑ කෑමට කොත්තු හදන කඩේක නැවැත්තුවා මොනවහරි කන්න . කට්ටියම බැස්සා.
"අඩේ දවල් බුෆේ එකේ කෑම වලන් එහෙමත් තියෙනවා නේද ?"
"සමහර විට බත් ඇති. ඒ නැතත් මාලු හොදි තිබුණොත් පාන් කන්න පුලුවනි "
ඔහොම කියලා කඩේට ගොඩවුණ මම හට්ටි වලන් අරිද්දී අනික් දෙන්න රෝස් පානුයි මාලුරි කන්න ඕනෙමයි කියලා කඩේ මල්ලිට තදින්ම කියා හිටියා .
" මහත්තයා රෝස් පාන් කන්න පුලුවනි , මාලු නම් නැහැ තාම රෑට ඉව්වෙ . දවල් මාලු හොදි තමයි තියෙන්නෙ "මළයා කියනවා .
"බත් කන්න නම් නැහැ.ඒත් මාලු හොදි හොන්දයි පිනුල් වෙලා නෑ".හට්ටි වලං ඇරිය මම කිව්ව
"එහෙනම් මල්ලි දෙන්න රෝස්පානුයි , මාලු හොදියි , ආ තව සුප් තුනකුත් දෙන්න" අපි ඕඩරේ බාරදුන්න.
අපි තුන්දෙනා ඔය ඔක්කොම එක්ක පලමු වටයට රෝස්පාන් පහකට වගකිව්ව. මලයට කියලා තව රෝස්පාන් හතරකුත් ගෙන්න ගත්තා.ඔය අස්සේ මගෙ රියදුරා පොල් සම්බල් ටිකක් ගන්න පුලුවන්ද කියලා විපරම් කළත් කඩේ මළයා කිව්වෙ ඉතිරි පොල් සම්බල් උදේ හදපුවා නිසා කන්න එපා කියලා . දසවැනි රෝස් පාන් එකටත් වග කියලා වැඩේ අහවර කරන්න හිතුවත් කඩේ මළයා කිව්වා ශෝ කේස් එකේ තිබුණ ඔක්කොම රෝස්පාන් පිඟානම ඉවරයි කියලා.
හායි හූයි කියලා මාලු හොදි එක්ක පාන් කාලා සුප් බීලා , ප්ලේන්ටී වලටත් වග කියලා බිලත් ගෙවලා යන්න කලින් මළයට ස්තුති කරන්නත් අපි අමතක කලේ නැහැ. අපේ කෑමෙ විලාසෙට මලය හිතන්න ඇති අපි ඉතියෝපියාවෙන් ගොඩබැහැලා කියලා.
"හම්මෝ දැන් තමයි මට පණක් ආවේ" ගමන පටන් ගන්න ස්ටීයරින් වීල් එකට අත තිව්ව මගේ රියදුරු කිව්ව.
දැන් අපි නවත්තනකොට තිබුණ පොද වැස්ස තරමක් වේගෙන් වහිනවා.වාහනේ ගමන ස්ලෝ වෙලා වැස්ස නිසා .
"හොඳ වෙලාවට අපිට කෑම කන්න ලැබුනේ , නැත්නම් මෙහෙම ස්ලෝ වෙවී වැස්සේ ගාට ගාට පානුයි හොදියි කන්න කඩ හොයලම මහමග බඩගින්නෙ නහින්නයි අපිට වෙන්නෙ "
හුස්නි කිව්ව විදියට අපි ඔක්කොටම හිනා


ප/ලි
මම ගෙදර එනකොට රෑ හතහමාර විතර ඇති. රතු බතුයි , පොල් සම්බලුයි හදලා තිබුණේ .ඉක්මණටම ගෙනාව හාල් මැස්සො හොදි හදලා බත් පිඟානක් කෑවම තමා අලි බඩගින්න නිවුණේ .

Saturday, January 1, 2011

ජාඩියට මූඩිය – ....ජාඩි ...ජාඩි...ජාඩි


ජාඩියට මූඩිය වගේ කියන්නෙ හොඳට පෑගෙන , ගැලපෙන එහෙම නැත්නම් අදකාලෙ භාෂාවෙන් කියන්නම් නියමෙට සෙට් වෙන අයගේ සංයෝගයක්නේ .


මොනවද හැබෑටම ජාඩි කියන්නෙ ? මේ දකුණු පලාතේ මුහුදුකරේ ගම් වල අති ප්‍රසිද්ධ කෑමක් . ජාඩි කන්නත් , ජාඩි හදන්නත් නම් දරාපු උදවිය ඉන්නේ බලපිටිය , දොඩන්දූව ,රත්ගම ,ගිංතොට , අහංගම වගෙ ගාල්ල, මාතර පලාත්වල. ජාඩි හදන්නෙ මාලු වලින් .ඇත්තටම කිව්වොත් මේ මාලු කල්තියාගන්න සරල ක්‍රමයක් .වැල්ලකරේ ගම් වල මාලු අතිරික්තයක් තියෙන කාලෙට ලුණුත් ගොරකත් දාලා මාලු කල් තියාගත්තා අවාරෙට එහෙම නැත්නම් අහේනි කාලෙට කන්න . ඒ කාලෙ මිනිස්සු මාලු හිඟ වුණහම අද කාලෙ වගෙ වෙලඳ ඇමතිට බැන්නෙ නැහැ නෙව .


ජාඩි ගැන මම දන්නෙ අපේ ගෙදරත් කාලයක්ම ජාඩි හට්ටියක් තිබුණ නිසා . ජාඩි හදාගන්නෙ මෙන්න මෙහෙම .මේකට ඔනෙ වෙන්නෙ


1. අලුත් මාලු – වැල්ලෙන් ගෙනාව ගමන් නම් වැඩිය හොඳයි . හුරුල්ල , කුම්බලා (බෝල්ලො කියලත් කියනවා), බලයා, අලගොඩුවා, වගෙ මාලු තමයි ගන්නෙ . මාලු හොඳට ලුණු වතුරෙන් හරි , මුහුදු වතුරෙන් හරි හෝදගන්න ඕනෙ.මාලු වල තියෙන වැලි ඉවත් වෙන්න සෝදා ගැනීම වැදගත්.ඊට පස්සේ මාලුන්ගේ ඔලුවත් බඩත් අයින්කරලා ලොකු මාලුන්ගේ නම් පෙති කපාගන්න




2. ලුණු කැට සහ වියලි ගොරකා යහමින් ඕනෙ වෙනවා


3. පිරිසිදු වියලි ලොකු මැටි මුට්ටියක් අරගෙන ලුණු ගොරක තට්ටුවක් අතුරලා , මාලු පෙති හෝ මාලුවන් කීපදෙනෙක් තියන්න . දැන් ඊට උඩින් ආයෙත් ලුණු ගොරක අතුරලා ආයෙත් මාලු තට්ටුවක් අතුරන්න . මෙහෙම ඔක්කොම මාලු අතුරලා ඉවර වෙලා මුට්ටියෙ කට හොන්දට කඩ වැස්මකින් බදින්න . ඊට පස්සේ වතුර නොවැටෙන , මැස්සන් නොගැවසෙන තැනක මේ ලුණු ගොරක මාලු මුට්ටිය තියන්න .දුම් මැස්ස තමයි මේකට හොඳම තැන .


මාසයක් විතර ගියහම මාලු ටික ගාණට පදම් වෙලා තියෙනවා. ලුණු වල තියෙන ලවණ ගතියට මාලුවගේ ඇඟේ තියෙන වතුර ලුණු උරාගන්නවා . විද්‍යාත්මකව මේකට කියන්නෙ ආසෘතිය කියලා . ගොරකත් මේ වැඩේට උදව් වෙනවා. ඒ නිසා මාලු නරක් නොවී තියෙනවා. මේ මාලු මාසයක් විතර යනකොට කෑමට ගන්න පුලුවන් . අවශ්‍ය තරම් මාලු මුට්ටියෙන් අරගෙන හෝදලා පෙති කපලා මැටි හට්ටියකට දාලා , ඊට සෑහෙන්න රතුලූණු , හොඳ සැරට මිරිස් කුඩු , පමණට ලුණු (ලුණු දානකොට පරිස්සමෙන් මේව ලුණු මාලුනේ) , හායි හූයි කියන්න සැරට කොචිචි කරල් කීපයක් දෙකට පලලා, පමණට දිය කිරි දාල තැම්බීගෙන එනකොට මිටි කිරි එකතුකරලා හැඳි ගාල ලිපෙන් බාගන්න ඕනෙ . ජාඩි හොද්දට කන කෑමක් නිසා හොදි හිඳෙන්න දෙන්න එපා. ජාඩි වල නියම රහ එන්නෙ කොච්චි දැම්මහම . මේ ජාඩි හොද්ද එක්ක රතු බත් කන්න පුලුවනි ඔනෙ තරමක් . පොල් සම්බලකුත් එකතු වුණහම හරි රසයි . ජාඩි බත් අදින කෑමක්. ඒවගේම තමයි පොල් දාල තැම්බුව කොස් , දෙල් තම්බලා පොල් එක්ක කන්නත් ජාඩි හරි නියමයි . රතු බත් එක්ක , දෙල් කහ පොල් දාලා මලවලා , ජාඩි හොද්දක් හදාගත්තම හරි ජාති දවල්ට බත් කන්න .


ඉස්සර ජාඩි කඩවල් වල විකුණන්න තිබිල තියෙනවා. ඒව තිබිල තියෙන්නෙ පීප්ප වල දාලා. ජාඩි මුදලාලිලත් ඉඳලා තියෙනවා. ඒකනෙ සින්දුවක් තියෙන්නෙ" ඇරපිය ලුසිය දොර ජාඩි කඩේ ජෙමා මම" කියලා. ජාඩි හදන්න අති ප්‍රසිද්ද දොඩන්දුවෙ , බලපිටියෙ පැරැන්නො සුලුප්පු යාත්‍රා වල නැගිල ලුණු ගොරක එහෙමත් අරෙන ඉන්දියාවෙ තූත්තු කුඩි වරායට ගිහින් එහෙන් මාලු අල්ලන් ජාඩි කරලා ඒව පීප්ප වල දාගෙන ඇවිත් ලංකාවෙ විකුණුවා කියලාදොඩන්දූවෙ ධීවර වරාය ඉතිහාසයේ කියවෙනවා. මේ කියන්නෙ දහ නවවෙනි ශතවර්ශය මුල කාලෙ .


මේ ගාල්ල මාතර වැල්ලකරේ ජාඩි කොයිතරම් ප්‍රසිද්ධ කෑමක් ද කිව්වොත් ඒ ගැන මාර්ටින් වික්‍රමසිංහ ශූරින්ගේ කරුවල ගෙදර , අපේ ගම , උපන්දා සිට පොත් වල එහෙමත් සඳහන් වෙනවා මට මතකයි. කරුවල ගෙදර පොතේ සිරිමල් කරුවල ගෙදරගේ මල්ලි නිමල් කියනවා වැල්ලකරේ ගම් වල ගෑණු බුලත් හපලා මැදුන කටට රහ හොඳින් දැනෙන්නෙ හොඳට කොච්චි මිරිස් දාලා ජාඩි හොදි කනවා කියලා . වතුර වැටුනොත් , එහෙම නැත්නම් මාලු පරණ වුණොත් ජාඩි හට්ටියෙ පණුවො එකෙක් දෙන්නෙක් හැදෙන්න පුලුවන් කියලා මතයක් තියෙනවා. . ඒත් සමහර පැරණි උදවිය කියන්නෙ ඒක එතරම් හිතන්න ඕනෙ දෙයක් නෙවෙයි , පණුවො රස වැඩි කරනවා කියලා. මට මතකයි දවසක් ඔය ජාඩි ගැන කියාදෙන්න ගිහින් කොලඹ පැත්තේ යාලුවන්ට ඔය පණු කතාව කිව්වම ඒ හැමෝම ඊය මල ජරාවක් කිව්ව .හැබැයි ඒ නිසා ජාඩි පහත් කරලා සලකන්න ඔනෙ කෑමක් නෙවෙයි .එහෙමනම් අද කාලෙ අපි මොන තරම් වස විස කනවද උජාරුවට සල්ලිත් දීලා.ඒ එක්කම ජාඩි නිසා අපිට තව අතුරු පලයක් ලැබෙනවා. ඒවට කියන්නෙ ලුණිජ්ජ කියලා . අහල තියෙනවද මේ ගැන.ලුණිජ්ජ කියන්නෙ මාලු, ලුණු , ගොරක එක්ක පදම් වෙනකොට හට්ටියේ එකතුවෙන දියරෙට . ලුණිජ්ජත් සමහර කෑම උයනකොට රස කාරකයක් හැටියට කදිමයි . පොලොස් ගැට ,කෙසෙල් මුව උයද්දි ලුණිජ්ජ ටිකක් එක්කලහම වෑංජනේ පංකාදු පහයි. පොල්සම්බල් හදලා , දෙහි දානකොට ලුණිජ්ජ ටිකක් එක්කලහම හරි රසයි .


ජාඩි කන්න ආස කෙනෙක් ඉන්නවනම් ඉතින් හදාගන්න වෙනවා. එහෙම නැත්නම් ගාලු මාතර පාරේ යද්දි කොස්ගොඩ තියෙන සංචි ජාඩි බත් කඩේට ගොඩවුණොත් ජාඩි එක්ක බඩ පිරෙන්න බත්කාලා, ජාඩිත් , ලුණිජ්ජ බෝතලේකුත් මිලට අරන් යන්න පුලුවණි . මම මෙතැනට තාම ගිහිල්ල නැතත් අපේ තාත්තනම් කැමති බත් කඩයක් . එහෙමත් නැත්නම් දොඩන්දූව , බලපිටිය , ධීවර වරාය වලින් විපරම් කලොත් ඒ කිට්ටුව ඉන්න ජාඩි දාන ධීවරයන්ගෙන් ජාඩි මිලට ගන්න පුලුවනි . ඒ පලාත්වල තාමත් පැරණි උදවිය මේ කර්මාන්තෙ සුලුවට කරනවා . සුපර් මාකට් හරි සිල්ලර කඩවල හරි ජාඩි විකුනන්න තියෙනවා තවම මම දැකලා නැහැ. අදකාලෙ නවීන පන්නෙට හැදුන උදවියට ජාඩි රහ නොදැනුනත් මේ අපේ ගම් වල හොඳ කෑමක් .


ප/ලි
ජාඩි කාල තියෙනවනම් ඒ ගැන විස්තර දන්නව නම් ලියන්න.මේ සටහන ලියන්න සමහර දේවල් අහගත්තේ අම්මගෙන්.මේ සටහනමෙතැනිනුත් කියවන්න පුලුවනි.